පාපන්දු නිසා හුළං ගිය නීතිඥවරු

නිමල් අබේසිංහ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් පිරිසක් නීතිඥ සංගමයේ නීත්‍යනුකූල අවසරයක් හෝ අනුදැනීමක් නොමැතිව ස්පාඤ්ඤයේ පැවති ලෝක නීතිඥවරුන්ගේ පාපන්දු තරගාවලියට සහභාගිවීම සම්බන්ධයෙන් රාවය පුවත්පතේ ලිපියක් පළවීමෙන් පසුව නීතිඥ සංගමයේ ඇතැම් නිලධාරීහු ඉමහත් කලබලයට පත්වී ඇති බව පෙනේ. එයට හේතුව වන්නේ 2018.06.22 දින සංගමයේ විධායක සභා රැස්වීමක් කැඳවා තිබීමෙනි. මෙම රැස්වීම සම්බන්ධයෙන් විධායක සභා සාමාජිකයන්ට යවන ලද ලිපියේ න්‍යාය පත්‍රයේ සඳහන්ව ඇත්තේ කරුණු දෙකකි. එනම් 2017 වසරේ නීතිඥ සංගමයේ සාමාජිකයන් සහභාගි වූ ආසියානු නීතිඥ පාපන්දු තරගාවලියට සහභාගි වූ නීතිඥ කණ්ඩායම ලබාගෙන තිබූ රුපියල් ලක්ෂ 7ක ණය මුදල අයකර ගැනීමත් නීතිඥ සංගමයේ අභ්‍යන්තර තොරතුරු රාවය පුවත්පතට ලැබුණේ කෙසේද යන්න සාකච්ඡා කිරීමත් යන්න පමණකි. මෙහිදී පළමු කාරණය මතුකර තිබුණද විධායක සභාව කැඳවීමේ මුඛ්‍ය පරමාර්ථය රාවයට තොරතුරු යෑම බව කිව යුතුය. සංගමයේ භාණ්ඩාගාරිකවරයා විදේශගතවූ බැවින් ජූලි 30 දින පැවැත්වෙන සංගමයේ මහා සභා රැස්වීමේදී මෙම කරුණු සාකච්ඡාවට ගැනෙන බව නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා රාවය කළ විමසුමේදී පැවසීය.
නීතිඥ සංගමයේ විධායක සභිකයන් වෙත යවන ලද එකී න්‍යාය පත්‍රයේ සඳහන් පරිදි රාවය පුවත්පතට සංගමයේ අභ්‍යන්තර තොරතුරු ලැබුණේ කෙසේද යන්න සොයා බලනවාට වඩා වැදගත්වන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අනුදැනුම හෝ අවසරය රහිතව නීතිඥ පාපන්දු කණ්ඩායම ස්පාඤ්ඤ තරගාවලියට සහභාගි වූයේ කෙසේද යන්න ගැන පරීක්ෂණයක් මගින්ම සොයා බැලීමය.

එලෙසම ඒ වනවිට සංගමයේ ලේකම් ධුරයෙන් ඉවත්ව සිටි හිටපු ලේකම් නීතිඥ අමල් රන්දෙණිය විදේශ ගතවන පාපන්දු කණ්ඩායමට අවශ්‍ය ලිපි ලබාදීම සඳහා යැයි පවසමින් සංගමයේ ලිපි ශීර්ෂ විස්සක් ලබාගන්නේ කුමන අයිතියක් මතද? එකී ලිපි ශීර්ෂ නීති විරෝධී ලිපි ලේඛන සකස් කිරීමට භාවිත කර ඇත්ද? යන්න සොයා බැලිය යුතු නොවේද? ඇරත් සභාපති යූ.ආර්. ද සිල්වා වත්මන් ලේකම් කෞෂල්‍ය නවරත්නට එලෙස ලිපි නිකුත් නොකරන ලෙසට උපදෙස් ලබාදී තිබියදීත් එය එසේ වූයේ ඇයිද? ඒ ලිපි නිකුත් කළේ වත්මන් ලේකම්වරයාමද? නැතිනම් ඔහුගේ අත්සන ව්‍යාජ ලෙස භාවිත කර තිබේද? යන්න මහා සභාවේදී නැගිය යුතු ප්‍රශ්න සහ විසඳාගත යුතු ප්‍රශ්නය.

නීතිඥ පාපන්දු කණ්ඩායමට පුහුණු සැසිවලදී ක්‍රීඩා නොකළ නීතිඥයන්ද නොවන පුද්ගලයන් ස්පාඤ්ඤ තරගයට යාමට වීසා ලබාගන්නේ කණ්ඩායම් සාමාජිකයන් බවට සනාථ කරන නීතිඥ සංගමයේ ලිපි මගින්ද? එකී පුද්ගලයන් නීතිඥ කණ්ඩායම නියෝජනය කරමින් පාපන්දු තරගවලට සහභාගි වී ඇත්ද? සැබැවින්ම ප්‍රශ්න කළයුත්තේ මෙවන් කරුණු ගැනය. ස්පාඤ්ඤයට ගිය නීතිඥ කණ්ඩායමේ ඡායාරූපවල හිටපු ජනාධිපති පුත් රෝහිත රාජපක්ෂද සිටී. ඔහු නීතිඥයකු නොවේ.

මේ අතරම ස්පාඤ්ඤයට ගිය නීතිඥ පාපන්දු කණ්ඩායමේ ශක්‍යතාව ගැන තක්සේරුවක් නීතිඥ සංගමයට තිබූ බවක්ද නොපෙනෙයි. එයට හේතුව වන්නේ මෙම කණ්ඩායම තරග තුනකට සහභාගි වී ලැබූ පරාජයයි. ඒ අනුව ඔවුන් ලද දරුණුතම පරාජය වන්නේ 19.0 සහ 16.0 ලෙස තරග දෙකකදී ලබාගත් පරාජය වේ. වාර්තා වන අන්දමට 2018 නීතිඥ පාපන්දු ලෝක කුසලාන තරගයේදී කණ්ඩායමක් විසින් ලබා ගත් අන්ත පරාජිත අවස්ථාවක් ලෙසටද මෙය දැක්වේ.

නීතිඥ සංගමය ඉහත කරුණු පිළිබඳව නොසලකා ජූලි 22 දින විධායක සභාව කැඳවා ඇති බවක් පෙනේ. එලෙසම ඉහත ප්‍රශ්නවලට අනුයාත අදහසක් පළකරන අයිතමයක් හෝ න්‍යාය පත්‍රයට ඇතුළත් නොවීමද විස්මයජනකය.
මෙයින් ගම්‍යවන්නේ වත්මන් ලේකම්වරයාගේ අවශ්‍යතාව කුමක්ද යන්නය. එනම් බරපතළ ප්‍රශ්නය ගැන සාකච්ඡා නොකර මගහැර යෑමය. නීතිඥ සංගමය හාස්‍යයට ලක්වෙන කාරණාවක්ද මෙහිදී ඉස්මතු කළ හැකිය. ඒ 2018 මාර්තු 27 දාතමින් යුතුව ප්‍රංශ තානාපති කාර්යාලයේ වීසා නිලධාරියා වෙත යොමු කරන ලද ලිපියය. එයට අනුව හිටපු ලේකම් අමල් රන්දෙණියත් වත්මන් ලේකම් කෞශල්‍ය කුමාරසිංහත් ස්පාඤ්ඤ සංචාරයට සහභාගි වන බව සඳහන්ව තිබීමය. මෙය සැකයට බඳුන් වන්නකි. දාතම අනුව නම් සංගමයේ ලේකම්වරයා විය යුත්තේ අමල් රන්දෙණිය වේ. ඊට හේතුව ඒ වනවිට සංගමයේ ලේකම්වරයා ලෙස නීතිඥ කෞශල්‍ය නවරත්න පත්වී නොසිටීමය. මේ තුළින් පවා සැඟවුණ රහසක් ඇති බව නොපෙනේද? එලෙසම කලින් සූදානම් කරගත් පරිදි වත්මන් ලේකම් නීතිඥ කෞශල්‍ය නවරත්න මේ ගමනට සහභාගි වී නැත්තේ සභාපතිවරයා විසින් පාපන්දු කණ්ඩායමට ලිපි නිකුත් නොකරන ලෙසට උපදෙස් දීම නිසා බවත් සිතිය හැකිය. එහෙත් තම ගජමිතුරන්ගේ අවශ්‍යතා ඉටුකර දෙන්නේ නීතිඥ වෘත්තියේ වටිනාකම්ද කෙලෙසමින්ය.
කලින් සඳහන් කළ පරිදි ප්‍රංශ තානාපති කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමට සැකසූ ලිපියේ එවකට ක්‍රීඩා ඇමති නීතිඥ දයාසිරි ජයසේකරගේ නමද වේ. එහෙත් සභාපතිවරයා විසින් එකී ලිපියට අත්සන් නොකිරීම නිසා දයාසිරි ජයසේකර ඇමතිවරයා තරගයට සහභාගි වී නොමැත. නැතහොත් ඔහු සිය නම කණ්ඩායම් නාමලේඛනයෙන් ඉවත් කරවාගෙන ඇතිවා විය හැකිය. කෙසේ වුවත් ක්‍රීඩා ඇමතිවරයාගේ නම පාපන්දු කණ්ඩායමේ නාමලේඛනයට ඇතුළත් කිරීමම විමතියට මෙන්ම සැකයටද බඳුන් වන්නකි. නීතිඥයන්ගේ පාපන්දු කණ්ඩායමට ස්පාඤ්ඤ ගමන සඳහා වියදම් වෙතැයි අපේක්ෂිත මුදල රුපියල් (6,858,300/-) හැට අට ලක්ෂ පනස් අට දහස් තුන්සීයකි. ඒ බැව් සංගමය විසින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරට නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ අමල් රණසිංහ විසින් යොමු කරන ලද ලිපියේ සඳහන් වේ.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගෙන් මේ ගැන විමසූ විට කියා සිටියේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මුදල් ලබාදීමට නොහැකි නිසා තමන් දන්නා සමාගම් කීපයකට ආධාර කරන ලෙස ඉල්ලා ලිපි ලබා දුන් බවයි. ඒ අනුව මෙම විදේශ සංචාරය සඳහා සමාගම් කීයකින් මුදල් ලැබුණේද? එසේ නම් ඒවා නීතිඥ සංගමයේ ගිණුමට බැර නොකර වෙනත් කිසිවකු ලබාගත්තේද යන්න බරපතළ ගැටලුවකි. ඒ අතරම ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ හිටපු සභාපතිවරයකු සහ නීතිඥයකු වන මනිලාල් ප්‍රනාන්දුගෙන්ද මෙම සංචාරය සඳහා අනුග්‍රහය ලබාදෙන ලෙස නීතිඥ අමල් රන්දෙණිය ලිපියකින් ඉල්ලා ඇත. මනිලාල් ප්‍රනාන්දුගෙන් මේ ගැන විමසීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. එය කෙසේ වුවත් ස්පාඤ්ඤයේ පැවති පාපන්දු තරගයට සහභාගි වූ නීතිඥ සාමාජිකයකු ඇඳ සිටින බැනියමෙහි පීපල්ස් ලීසිං යන්න පැහැදිලිවම ප්‍රදර්ශනය වේ. ඒ අනුව නම් ඉඟිකරනුයේ පීපල්ස් ලීසිං සමාගම මෙම සංචාරයට අනුග්‍රහය දක්වා ඇති බව නොවේද? එසේ වූයේ නම් මේ මුදල් පත්වූයේ කාගේ අතටද? ශ්‍රී ලංකාවේ වගකිවයුතු ප්‍රධාන නීතිඥ සංගමයක් ලෙස එහි විධායකයන් මෙන්ම සාමාජිකයන්ද සොයා බැලිය යුත්තේ මේ බරපතළ මූල්‍ය අවභාවිතාවන් නොවේද? එසේ නොකර රාවය පුවත්පතට තොරතුරු ලැබුණේ කෙසේද යන්න සෙවීමට උත්සුක වීම පයබරවයාට පිටිකර තබා බෙහෙත් බැඳීමක් වන්නේය.