ජම්පර වාදය හා හිමිනමගේ පැටිකිරිය

උපාලි කොළඹගේ

අතීත කාමය මනෝ ව්‍යාධියක පෙර ලක්ෂණ සේ සැළකිය හැකිය. එය ජාතියක් හැටියට, රටක් හැටියට වැළඳ ගැනීමට ගියහොත් ඉන් පොදුවේ සමාජයට අනර්ථයක් සිදු විය හැකිය යන්න අපේ අදහසයි.

අපි ඉතිහාසයට ගරු කරමු. ඉගෙන ගනිමු. එහෙත් ඉතිහාසය හිස මත තබාගෙන අනාගතයට පියමං නොකළ යුතුය යන්න මගේ විශ්වාසයයි. ඉතිහාසය චමත්කාරව පෙනුන ද ඉතිහාසකරුවාගේ නිමැවුම චමත්කාරජනක අතිශෝක්තියකි. එහි ඉදිරිගාමී ලක්ෂණ වලට වඩා ඇත්තේ පසුගාමී ලක්ෂණය.
නූතන ලෝකය සම්පූර්ණයෙන්ම සුද්දාගේ නිපැයුමක් සේ සලකන ඇතැම්හු ඊට ගරහති. නින්දා කරති. පසුගාමීත්වය කරා සමාජය ඇදගෙන යෑමට දන්නා හැම උප්පරවැට්ටියක්ම කරති.

එක් එක් රජ සමයන්හි සිදු වූ අභ්‍යන්තර ආවුල් මෙන්ම යුද්ධ ඇසුරින් ඊනියා යුදවාදයම රට තුළ ප්‍රචලිත කිරීමට වලිකති.

වර්ගවාදයේ තිඹිරි ගෙයද පසුගාමීත්වය යන්න අපේ අදහසයි. පසුගාමී සාමජ තලයේ වර්ග වාදය මනා සේ ප්‍රචලිත කළ හැක. එහි වර්ධනය අසීමාන්තිකය. මුළු සමාජයම වර්ග වාදයෙන් මත්ව අවුල් වූ මනස් ඇති උන්මත්තකයින් ලෙස හැසිරීමට වූ විට ඉන් මහත් ඵල ලබනුයේ දේශපාලනඥයාය. වර්තමානයේ ශ්‍රී ලාංකික දේශපාලනඥයාගේ අමෘතය බවට පත්ව ඇත්තේ කුරිරු වර්ග වාදයයි. එහි සිංහල, දෙමළ, මුස්ලිම් කියා වෙනසක් නැත. නමුත් පළමු වගඋත්තරකරුවා සිංහලයාය. ඒ ඔහු සංඛ්‍යාත්මකව මේ රටේ ජන ගහනයෙන් වැඩිම අගයක් ගන්නා නිසාය. පසුගිය කාලයේ වර්ගවාදයෙන් වැඩිපුරම වාසි අත්කර ගත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. මහින්ද පෙරහරේ ගිය පොල් ලෙලි වුවද එගොඩ වූයේ මෙ නිසාය. මහින්ද පාර්ශවයේ නිල නොවන ජනාධිපති අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද අනාගත පෙරගමන්කරුවාද ඊනියා වර්ග වාදයයි. නැත්නම් සුපුරුදු බසින් කිවහොත් දුෂ්ට ජාතිවාදයයි.

වර්තමානයේ උද්ගත වී ඇති බරපතළම ඛේදවාචකය නම් මෙම වර්ග වාදය පැතිර වීමේ මෙවලම බවට රටේ ආගමික සංස්ථාව පත්ව තිබීමයි. වහෙන් ඔරෝ භාෂාවෙන් තොරව කියන්නේ නම් මේ රටේ සිංහල ජාතිවාදය පැතිර වීමේ ප්‍රමුඛයා බවට බෞද්ධ භික්ෂූන් වහන්සේ පත්ව තිබීමයි. එහෙත් හැම භික්ෂූවක්ම වර්ගවාදී යැයි මින් අදහස් නොකෙරේ. එනමුත් බෞද්ධ භික්ෂූන් වහන්සේ බහුතරයක් ඍජුවම හෝ වක්‍රව ජාතිවාදයට උඩගෙඩි දෙන බවකි දකින්නට ලැබෙනුයේ. එමෙන්ම ජාති හෝ වර්ගවාදය පිළිකෙව් කරන භික්ෂූන් වහනසේ ද ඊට එරෙහිව නැගී නොසිටීම නිසා සමාජය තුළ වර්ගවාදී භික්ෂුව දිදුලන බවක් පෙනේ. මෙය බරපතළ වරදක් ලෙස මා දකිනුයේය. මුණීවත තුළ සැගවුණු සැබෑ වත ප්‍රශ්නකාරීය.

ඇතැම් දේශපාලනඥයින් භික්ෂූන් වහන්සේ සඟ සසුන හා සබැඳි ආගමික කාරණයක් ලෙස ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ පිළිබඳ සිද්ධිය හුවා දැක්වුව ද වර්ගවාදයෙන් තෙම්පරාදු වූ දේශපාලන කාරණාවක් ලෙසය මා එය දකින්නේ. ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ශික්ෂාකාමී සැදැහැති භික්ෂූන් වහන්සේ නමක් නොවන බව මෙම සිද්ධිය ගැන උදහස්ව දොඩවන ගිහි පැවිදි දෙපාර්ශවයම දනිති. මුස්ලිම් විරෝධයේ සංකේතය ලෙසය ඔවුහු උන්වහන්සේට ගරු කරනුයේ.
මේ සිද්ධියේදී පමණක් ජම්පර කතාවක් කරළියට එන්නේ ඇයි ? දැනටත් භික්ෂූන් වහන්සේ 15 ස් නමක් ජම්පරය ඇඳ සිරදඩුවම් විඳිති. මෙයින් ඇතැම් භික්ෂූන් වහන්සේ ස්ත්‍රී දූෂණයට වරදකරුවන් වූ අයයි. මා නම් සිතන්නේ කුමන හෝ ජාතියක් විනාශ කිරීමට තැත් කරන තැනැත්තා ස්ත්‍රී දූෂකයකුට වඩා අපරාධකරුවකු බවයි. ස්ත්‍රී දූෂණයකදී බොහෝ විට අගතියට පත් වන්නේ එක් අයෙකි. එහෙත් වර්ග විනාශයකදී අති විශාල පිරිසක් විපතට පත් වේ.

මේ අනුව මෙම ජම්පරවාදයේ මූලික හරය ඥානසාර හිමි නම වරදක් නොකළ අයකු බවත් සිදු වී ඇත්තේ අත් වැරදීමක් නිසා හුරතලයට මෙන් සුළු දඬුවමක් දීම ප්‍රමාණවත් බවය.
එහෙත් ගලගොඩඅත්තේ ඥානසාර හිමිනම මීට කළින්ද අධිකරණයකදී වරදකරු වී දඬුවම් විඳි අයකු බව බොහෝ දෙනා සිතාමතාම අමතක කරති.
2014 වසරේ ජූලි 22 වැනි ඉරිදා ‘රාවය’ පුවත් පතෙහි 9 වැනි පිටුවේ ‘ඥානසාර හිමිට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි’ යවුවෙන් ජේෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා ලියූ ලිපියෙහි ඥානසාර හිමියන්ට කලින් අධීකරණ දඬුවම් නියම කිරීම පිළිබඳව මෙසේ සඳහන් කර තිබේ. ‘කොළඹ 12, රථ වාහන මහෙස්ත්‍රාත් අධිකරණයේ 6315/2000 නඩු අංක යටතේ ග්‍රෑන්ඞ්පාස් පොලිසියේ ස්ථානාධිපති විසින් ගොනු කරන ලද නඩුවෙහි අධිවේගයෙන් රිය (6 ශ්‍රී 5444 වාහනය) පැදවීම, පාලනයකින් තොරව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම, වැල්ලම්පිටියේ මොහොමද් රියාද් රවීන්ද්‍ර කුමාර නැමැත්තාට අනතුරක් වන පරිදි රිය පැදවීම, රිය අනතුර පැය 24 ක් ඇතුළත පොලිසියට වාර්තා නොකිරීම ඇතුළු චෝදනා 9ක් විය. එම නඩුවේ අවසන් තීන්දුව 2000 මැයි 22 දින ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා සටහන් කර ඇත්තේ ‘ගලගොඩඅත්තේ ඥානසාර සිටී. චූදිතට/චූදිතයන්ට චෝදනාව/චෝදනා කියවා දෙමි. චූදිත චෝදනාවට/චෝදනා වලට වැරදිකරු වෙමි.’ යයි කියායි. ‘චූදිත චෝදනාවට/චෝදනා වලට වැරදිකරු කරමි. දඬුවම් නියම කරමි.’ යනුවෙන්ය. චෝදනා 9ටම වරද පිළිගත් හෙයින් ඒ සඳහා රුපියල් 10,000 ක් හෝ 03 මසක බර වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරිණ. එදින රුපියල් 4000ක් ගෙවා ඉතිරිය ගෙවීමට මාසයක් කල් ඉල්ලාගෙන තිබිණ.
අපේ ඇතැම් නායක හිමිවරුන් හා දේශපාලුවන් සඳුන් දිය කරන් නහවා පාරිශුද්ධත්වයට පත් කිරීමට තැත් කරනුයේ මෙවන් දුගඳ හමන පංචස්කන්දයකි.
ඇමති දුමින්ද දිසානායක වැනි අය ඥානසාර හිමියන් බැහැදැකීමට යන්නේ ඉහළින්ම ලැබෙන උපදෙස් හා ආශිර්වාදය ඇතුව බව අමුතුවෙන් කිවයුතු නැත. ඥානසාර හිමියන් ලවා සිංහල බෞද්ධ ඡන්ද කුට්ටියක් කඩාගෙන ගොඩ ඒම හෝ ජාම බේරා ගැනීම මෙහි යටි අරමුණ නොවේද?

උතුරු නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ඡන්දයෙන් හා වර්ග, ආගමික හා කුල වාදය පිළිකුල්කරන බුද්ධිමතුන්ගේ ඡන්දයෙන් බලයට පත්ව දුන් පොරොන්දු වලට ඉඳුරාම විරුද්ධව කටයුතු කරමින් සිංහල බෞද්ධ ඡන්ද ඥානසාර හිමියන් වැන්නවුන් ලවා ‘පික් පොකට්’ ගැස්ස වීමට දරණ ප්‍රයත්නය අතිශයින් පිළිකුල් සහගතය. ජුගුස්සාජනකය.
කෙසේ වෙතත් ඥානසාර හිමියන්ට එරෙහිව නඩු විභාගයක් අභියාචනා අධිකරණයේ විභාග වෙමින් පවති. එවකට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාට උසාවිය තුළදීම බැන තර්ජනය කිරීම පිළිබඳවය. එම චෝදනාව වඩා බරපතළ බව නීති විශාරදයන්ගේ මතයයි. එහි තීන්දුව ළඟදීම ප්‍රකාශයට පත් වීමට නියමිතය.