දෙමළ දේශපාලනයේ අභියෝගය

සුනන්ද දේශප්‍රිය

මෙරට දෙමළ ජනයාගේ සාමකාමී දේශපාලන අපේක්ෂා අද තරම් බිඳ වැටුණු අවස්ථාවක් නැති විය හැක. ඊට හේතුව නම් 2015 සිරිසේන – රනිල් ආණ්ඩුව බලයට පත් කිරීම මගින් ස්වකීය ඉල්ලීම් දිනා ගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි අන් කවර ජනාධිපතිවරණයකදීටත් වඩා මෙරට දෙමළ ජනයා කල්පනා කළ නිසාය. එබැවින්ම එම දෙබෑයන් බලයට පත් කරනු පිණිස දෙමළ ජනතාව ඔවුන්ගේ දේශපාලන සංවිධාන එකහෙළා කටයුතු කළ නිසාය.

1994 ජනාධිපතිවරණයෙහිදී ද දෙමළ ජනයා රොද බැඳ චන්ද්‍රිකා කුමාරතුංගට ඡන්දය දුන්නාය. එනමුත් ඇයට එක්සත් ජාතික පක්ෂයේ සහාය නොලැබුණි. ඇයද ඕනෑවට වඩා කල් ගත්තාය. සමහරවිට දේශපාලන විසඳුමක් ලබාදෙන ව්‍යවස්ථා වෙනසක් සඳහා තිබූ හොඳම දේශපාලන වාතාවරණය තිබුණේ 1994 -2000 කාලයෙහිදී විය හැක. යුද්ධය බුරබුරා නැගෙමින් තිබූ අතර සාමකාමී විසඳුමක අවශ්‍යතාව සිංහල ජනයා අතර පෘථුලව පැතිරී තිබුණි. එල්ටීටීඊ සංවිධානය යථාර්ථවාදී දේශපාලන විසඳුමකට එකඟවී නම් සහ රනිල් වික්‍රමසිංහ කකුලෙන් නොඇද්දේ නම් සන්ධීය දේශපාලන ක්‍රමයක් මෙරට ස්ථාපිතවීමට හොඳටම අවස්ථාව එකල තිබුණි.

2015 ඇති වූ වෙනස නම් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම එක්වී සෑබෑ බලය බෙදීමක්ද ඇතුළු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා එකඟත්වයක් ඇති කර ගැනීමයි. 2015 සිරිසේන ජනාධිපතිවරණයෙහි මූලික තේමාවක් වූයේ නව ව්‍යවස්ථාවක් පිහිටුවීම මගින් ශ්‍රී ලංකාවෙහි නීතියෙහි පාලනයද මානව හිමිකම්ද ප්‍රජාතන්ත්‍රවාදයද ශක්තිමත් කිරීමයි. එනයින් බලය බෙදීම මගින් 1948 සිට හැට වසරක් පුරා පවතින දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම සැපිරීමට ශ්‍රී ලංකාවට මහඟු අවස්ථාවක් උදාවිය.

සිරිසේන – රනිල් දේශපාලන මධුසමය සිනහ මුහුණුවලින් එතෙකුදුත් පිරී ගොස් තිබුණු 2016 ජනවාරි 08 දින, යහපාලන වර්ෂ පූර්ණය සැමරීමට බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවෙහි මහ උත්සවයක් පැවැත්වුණි. එහි ප්‍රධාන දේශනය සඳහා ඇරයුම් ලබා තිබුණේ පරසිදු ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ගෝපාල්සාමි ගාන්ධිට ය.
ඔහු එදා මෙසේ කී මේ වචන දෛවෝපගතය.

“ශ්‍රී ලංකාවේ ජනතාව ඔවුන්ගේ කාර්යය ඉටුකර තිබේ. දැන් ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීම නායකයින්ගේ කාර්යභාරයයි. ජාතික සමගි ආණ්ඩුව හමුවෙහි දහසක් කාර්යයන් තිබේ. ආර්ථික ප්‍රතිසාධනය, රැකියා නියුක්තිය, සමූහාණ්ඩුවෙහි ලිබරල් උපාංග යළි පිහිටුවීම ද ඒ අතර වෙයි. එනමුත් ලිබරල් සමූහාණ්ඩුවක ප්‍රධානතම, අර්ථාන්විත, මූලධර්මීය මූලිකත්වය විය යුත්තේ ජාතිය සමන්විතවන මූලික ප්‍රජාවන් අතර විශ්වාසය යළි ස්ථාපනය කිරීමත්, සවිමත්කිරීමත්ය. තමන් කෙරෙහි සමස්තයක් වශයෙන් සහ සක්‍රීයව සාධාරණය ඉටු කිරීමට හැකියාව සහ අධිෂ්ඨානය ආණ්ඩුවට ඇතැයි එකී ප්‍රජාවන් තුළ පවත්නා විශ්වාසය ශක්තිමත් කිරීමය.
බලය බෙදා හැරීම කෙරෙන් ඉවතට යෑමට ශ්‍රී ලංකාවට ඉඩක් නැත.

පටු වාර්ගික- භාෂාමය ජාතිකවාදය විසින් මධ්‍යස්ථ ශ්‍රී ලංකික දෙමළ නායකයින්ගේ අපේක්ෂා අසංවේදීව නිෂ්ප්‍රභ කිරීම, නපුරු සිහිනයක් බවට පත්ව අවසානයෙහි ලොවෙහි ඉතාම ලේවැකි යුද්ධයක් බවට වර්ධනය වූ බව මා මෙන්ම මෙම ශාලාවෙහි සිටින සැවොම දන්නා කරුණකි. පොන්නම්බලම්ලා සහ වෙල්වනායකම්ලා සහ තිරුචෙල්වම්ලා දැක්මක් සහිත නොපසුබට මිනිසුන් වූහ.

පොන්නම්බලම්ලා සහ චෙල්වනායගම්ලා කළකිරවා, ඉවතලා, කොන් නොකරන ලද්දේ නම් වේලුපිල්ලෙයි ප්‍රභාකරන් කෙනෙක් අවශ්‍ය නොවනු ඇති. එම ශ්‍රේෂ්ඨ නායකයින් අද නැතත්, අද ශ්‍රී ලංකාවෙහි ත්‍රස්තවාදයෙන් නොබා දිවිරැකගත් දෙමළ දේශපාලනඥයින් සිටින බව අප අමතක නොකළ යුතුය. එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දේශපාලන විසඳුමක් සඳහා වෙහෙසවන සෑම දෙමළ දේශපාලනඥයකුම තර්ජනය හමුවෙහි දිවි රැකගත් අයෙකි. ඒ වනාහී නොපසුබටභාවයේ ළකුණකි.
ව්‍යවස්ථාගරුක, පාර්ලිමේන්තුවාදීමය වන, එක්සත් සහ යුක්තිගරුක ශ්‍රී ලංකාවක් කෙරෙහි විශ්වසය තබා ඇති ශ්‍රී ලාංකික දෙමළ ජනයා කලකිරවා කොන් නොකළ යුතුය. පැරණි විෂම චක්‍රය යළි පණ නොගැන්විය යුතුය. ලාංකික දෙමළ අපේක්ෂා හිතෛෂීව ඉටුකරනු විනා ශ්‍රී ලංකාවට වෙනත් තෝරා ගැනීමක් නැත. මන්දයත් ඒවා ඓතිහාසික අවශ්‍යතාවක් වන නිසාය. ශ්‍රී ලංකාව නව කලකිරීම්, නව නොසලකාහැරීම් සහ නව කොන්කිරීම් වැළැක්වීම පිණිස කළ යුතු සියල්ල කළ යුතුය. එවැනි තත්ත්වයක් විසින් හුදකලා වූ ලාංකික දෙමළ ඩයස්පෝරා මනසෙහි සැඟව ඇති ඊළාම් සිහිනය යළි පණපෙවීමට ඉඩ තිබේ. පළිගැනීම්සහගත ප්‍රචණ්ඩත්වයක්, නව දෙවැනි වටයක්, සහ එහිම නිවුන් වර්ධනය සහ මර්දනය අතිශය අවාසනාවක් වනු ඇත.

ව්‍යවස්ථානුකූල ප්‍රතිසංස්කරණවල සිට ඊළම හා ත්‍රස්තවාදය ඔස්සේ බෙදුම්වාදය කරා වූ ශ්‍රී ලංකික දෙමළ දේශපාලන ස්ථාවරයේ පරිණාමය ආපසු හැරවිය නොහැකියැයි සිතූ කාලයක් තිබුණි. එහෙත් දැන් ඒ වෙනස සිදුව ඇත. සාකච්ඡාමය විසඳුම දැන් යළි මේසය මතට පැමිණ තිබේ. ආණ්ඩුව එහි නිදිකිරා නොවැටිය යුතුය. පළිගැනීම ප්‍රතිසංස්කරණ අසාර්ථකවන තුරු බලා සිටී. ශ්‍රී ලංකාවට පමණක් නොව දකුණු ආසියාවට පමණක් නොව ඇත්ත වශයෙන්ම නම් පොදුවෙහි ලිබරල්වාදය සහ බහුත්වවාදය උදෙසාද ජාතික සමගි ආණ්ඩුවේ මෙකී ප්‍රයත්නයන්ගේ සාර්ථකවීම අවශ්‍යය. මන්දයත් මෙම අවස්ථාව අතහැරියහොත් එය යළි පැමිණීමට ඇති ඉඩක් නැති තරම් නිසාය.
මා සිතන්නේ මෙම අවස්ථාව පැමිණ ඇත්තේ අසාර්ථකවීමට නොවේයැයි කියාය. (සම්පූර්ණ පරිවර්තනයක් නොවන බව සලකන්න.)
පසුගිය මාස ගණනාව පුරා මෙරටට පැමිණි ඉහළපෙළේ විදෙස් නියෝජිත පිරිස් හමුවෙහි දෙමළ සන්ධානයේ නායක සම්පන්දන් විසින් කරන ලද අදහස් දැක්වීම් සහ කරන ලද ආයාචනා සියල්ල මගින් පෙන්නුම් කරන්නේ එදා ගෝපාල්සාමි ගාන්ධි නොවිය යුතුයැයි කී සියල්ල දැන් සිදුවී හමාර බවයි. නැත්නම් එකී අවසානය ළඟාවෙමින් ඇති බවයි. යළි නොඑනු ඇති දේශපාලන මෙහොත ගිලිහී ගොස් හමාරය.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ආණ්ඩුව නිදිකිරා වැටෙනවා පමණක් නොව ආපස්සට යෑම ආරම්භ කර තිබේ. ජාතික සමගි ආණ්ඩුව යනුවෙන් දෙයක් දැන් නැත. සිරිසේනගේ සහ වික්‍රමසිංහගේ මුහුණු එකිනෙකා සමග සිනාසෙන්නේද නැත. සාකච්ඡාමය විසඳුමක් ලබා ගැනීමේ අවකාශය නැතිවෙමින් යන අතර ඊට සමගාමීව දෙමළ ජාතික සන්ධානය දුර්වලවෙමින්, කැඩී බිඳී යමින් තිබේ. කොළඹ සිංහල ආණ්ඩුව සමග සහජීවනයෙන් දේශපාලන විසඳුමක් ලබා ගැනීමට පසුගිය වසර තුනම පුරා කටයුතු කළ සම්පන්දන්ගේ දේශපාලන නායකත්වයට ප්‍රබල අභියෝග එල්ලවෙමින් තිබේ. යූඇන්පියේ සහ සිරිසේනගේ මෙන්ම ඔවුන්ගේද ඡන්ද පදනම දුර්වල වෙමින් තිබේ.
ආණ්ඩුව සමග හොඳ හිත පවත්වා ගැනීම පිණිස දෙමළ සන්ධානය, සිය ඉඩම්, දරුවන්, රැකියා යනාදී අයිතිවාසිකම් ඉල්ලා දෙමළ ජනතාව කෙරෙන් නැගී ආ උද්ඝෝෂණයන් කෙරෙන් කර ඇරියේ ය. පෙනෙන විදියට දෙමළ සන්ධානය සිරිසේනගේ සහ වික්‍රමසිංහගේ හොඳ හිත කෙරෙහි පමණක් විශ්වාසය තබා පාර්ලිමේන්තුවෙන් බාහිරව දෙමළ අයිතීන් සඳහා සටන් පෙරමුණක් විවෘත කිරීමට මූලිකත්වය ගත්තේ නැත. එම විශ්වාසය කොතෙක්වීද යත් ජනාධිපතිවරණයේහිදී ඔවුන් සිරිසේනට සහාය දුන්නේ කිසිදු කොන්දේසියක් නැතිවය.

1958 බණ්ඩාරනායක චෙල්වනායකම් ගිවිසුමෙහි සිට නැවත නැවත අත්දැක ඇති පරිදි සිරිසේන – වික්‍රමසිංහ කෙරෙහි දෙමළ සන්ධානය තැබූ විශ්වාසයද දැන් ඒක පාර්ශ්විකව බිඳ දමා අවසන්ය. දැන් එළඹ ඇත්තේ 2020 යැයි කියන නමුත් 2019 වසරෙහි දෙසැම්බර් මාසය අවසන්වීමට පෙර පැවැත්විය යුතු ජනාධිපතිවරණයට ගණන් බැලීමේ කාලයයි.
දෙමළ සන්ධානය 2010 ජනාධිපතිවරණයෙහිදී රාජපක්ෂ පරාජය කරනු පිණිස පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය පළකර ඡන්ද ලබා දුන් නමුත් ඔහු ජයග්‍රහණය කළේ නැත. ඒ සිංහල ජනයා අතරින් අවශ්‍ය තරම් ඡන්ද ලබාගැනීමට ඔහුට නොහැකි වූ නිසාය. එළැඹෙන ජනාධිපතිවරණයෙහිදී ද දෙමළ ඡන්ද තීරණාත්මක නොවනු ඇති අතර සිරිසේන සහ වික්‍රමසිංහ දේශපාලන වශයෙන් පිරිහී ඇති නිසාම රාජපක්ෂ කඳවුර දෙමළ ජන්ද බහුතරය නැතිව ජයගැනීමට බොහෝ දුරට ඉඩ තිබේ.
තවත් වැදගත් කරුණක් නම් දෙමළ ඡන්ද මගින් බලය ලබා ගන්නවා විනා ඔවුන්ගේ දේශපාලන අභිලාෂයන් සැපිරීමට සිංහල නායකයින් සූදනම් නැති බව ‘ජාතික සමගි ආණ්ඩුව’ විසින් යළිත් වරක් සනාථ කර ඇති තිබීමයි.

දැන් දෙමළ ජනයාට, පාර්ලිමේන්තුව තුළ ස්වාධීනත්වය රැකගන්නා අතරම පාර්ලිමේන්තුවෙන් බැහැර සාමකාමී අරගල මාවත කරා ගමන් කිරීම හැර අන් මාවතක් නැත. ජනාධිපතිවරණයන්හිදී සිංහල නායකයින් බලයට පත් කිරීමට සහාය වීම දෙමළ දේශපාලනය විසින් නතර කිරීමට ද කාලය දැන් එළැඹ තිබේ.
මගේ අදහස නම් ජනාධිපතිවරණයෙහිදි දෙමළ ජනයා වෙනුවෙන් පොදු අපෙක්ෂකයකු ඉදිරිපත් කිරීමට කාලය දැන් යෝග්‍ය අවස්ථාව බවයි. ඒ සඳහා දෙමළ දේශපාලනයේ සියලු ක්‍රියාකාරී පිරිස්වලට එක්විය හැකි, එමෙන්ම සිංහල සමාජයෙහි දෙමළ අයිතීන් පිළිගන්නා ක්‍රියාකාරී පිරිස්වලට ද පිළිගත හැකි අයකු සොයා ගැනීම අත්‍යවශ්‍යය වේ. ඔහු හෝ ඇය ජයග්‍රහණය නොකරනු ඇති නමුත් දෙමළ ජනයාගේ සාමූහික අභිලාෂයන්හි පොදු නියෝජිතයකු ලෙස මෙරට සහ එතෙර මතුවීමට අවස්ථාව එළැඹෙනු ඇත.
බි්‍රතාන්‍යයන් ශ්‍රී ලංකාව පාලනය කළේ ගැත්තන්ට වරදාන දෙමින් අන් ජනයා බෙදා වෙන් කිරීම මගිනි. අද කොළඹ සිංහල නායකත්වය දෙමළ ජනයා පාලනය කරන්නේ ද වරදාන මුසුකළ බෙදා කෙටවීම මගිනි.

මෙම තත්වයට සාමූහික දේශපාලන ප්‍රතිචාරයක් දෙමළ සමාජයෙන් ඉදිරිපත් නොවන්නේ නම් යටපත්වීම සහ ප්‍රචණ්ඩ අරගලය යන දෙකෙන් එක් මාවතක් තෝරා ගැනීමට සිදුවන්නට ඉඩ තිබේ. ගෝපාල්සාමි ගාන්ධිගේම වචනයෙන් කියන්නේ නම් එය මහත් අවාසනාවක් වනු නොඅනුමානය.