රාවය

දිඹුල්කුඹුර නොදැක වෙඬරුවට යාම

දිඹුල්කුඹුර නොදැක වෙඬරුවට යාම

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

භික්ෂුන් වහන්සේ පිළිබඳ කතා පුවත් එකිනෙකට වෙනස් මාදිලි දරමින් දිගට ම ජනතා අවධානයට ලක්වෙමින් තිබේ. සාමාන්‍ය ජනතාවගේ අවධානය පමණක් නොව ඇතැම් කතා ඇසී, ඊළඟ තත්පරයේ ම ප්‍රතිචාර දක්වන්නට තරම් අගමැතිට හා ජනාධිපතිට පවා ඒවා වැදගත් වී තිබීම නොසලකා හැරිය නොහැක. එහෙත් එය ‘බිය‘ විසින් ජනිත කරනු ලැබූ ‘වැදගත්කමක්‘ විනා ඊට එහා ගිය අවංකව ම පැන නැගුන වැදගත්කමක් යැයි සිතිය නොහැක. මක්නිසාද රටේ කඩා වැටීම නිවැරදිව අවබෝධ කරගෙන ඊට පිළිතුරු සහිත හෝ සැබෑ ලෙස ම ඊට පිළිතුරු සොයන, අගමැතිවරයෙකු හෝ ජනාධිපතිවරයෙකු රට කරවන්නේ යැයි විශ්වාසයක් ජනතාව තුල ගොඩනගන්නට ඔවුන් සමත් වී ඇද්ද ?

ශ්‍රී විමලධම්ම හිමි

ආණ්ඩුවේ සිටින එජාපය හා ශ්‍රීලනිපය නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරුන් මෙන්ම මංගල සමරවීර, ලක්ෂ්මන් කිරිඇල්ල, දුමින්ද දිසානායක වැනි ඉදිරි පෙළ ඇමතිවරු පමණක් නොව, වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා හා සිරිසේන ජනාධිපතිවරයා වහා ප්‍රතිචාර දැක්වූයේ සහ දක්වමින් සිටින්නේ , සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් කළ අනුශාසනවක තිබූ බරපතල කරුණු කිහිපයක් පිළිබඳවය.ගෝඨාභය රාජපක්ෂගේ උපන් දිනය දා ඔහුගේ නිවසේ පැවති දානයකින් පසු කළ අනුශාසනාවේ මෙම කරුණු අන්තර්ගත වී තිබිණි. එහෙත් සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමි පසුගිය ජූනි 24 වන දා මහනුවර පැවැති විවෘත කිරීමේ උත්සවයක දී දැක්වූ අදහස් පිළිබඳ ආණ්ඩුවේ මේ නායකයන් අනුගමනය කරමින් සිටින්නේ නිහඬ ප්‍රතිපත්තියකි.

දිඹුල්කුඹුරේ හිමිගේ කතාවේ අන්තර්ගතය මෙසේය. ”බලන්න වර්තමානයේ ලංකාවේ තත්ත්වය ගැන. ගිහිවේවා, පැවිදිවේවා කාටත් පාරේ බැහැලා යන්න බෑ. රෑ නෙමේ, දවල්වත් බෑ. කපනවා, කොටනවා, වෙඩි තියනවා, බෝම්බ ගහනවා, පොලුවලින් ගහනවා. එහෙම බලනකොට දෙයියනේ මේ රටේ දූෂණ , මුදල් සොරා ගැනීම් ඉහළ සිට පහළට ම තියෙනවා. මත් කුඩුවලින්, මත් ද්‍රව්‍යවලින්, මත් පැන්වලින් දූෂණයෙන් දූෂණයට පත්වෙලා. මොන සක්වළකින් ඇවිල්ල ද මේ රට හදන්නේ ? මේ රට නැවත යථා තත්ත්වයට පත්වන්නේ කාගෙන්ද කියන එක අපට මහා ප්‍රශ්නයක්. මේ රට කොහොම හරි හදන්න ඕන කියන එක තමයි භික්ෂූන් වහන්සේ වශයෙන් අපි, ලොවට රටට ප්‍රකාශ කරන්නේ. ”
අපරාධ, රාජ්‍ය දේපළ- රාජ්‍ය මුදල් කොල්ලකෑම, මත් උවදුර ආදියෙන් ශ්‍රී ලංකාව වෙලාගෙන තිබෙන බවත් කොයි ලෝකයකින් කවුරුන් හෝ පැමිණ කෙසේ හෝ රට යළි ගොඩනැගිය යුතු බවත් මෙම ප්‍රකාශයේ හරය වන්නේය. දැනට පාලනයේ සිටින නායකයන් එවැන්නකට සමත්කම් නොදක්වන බව ද එහි යටි අරුත වෙයි. මංගල, කිරිඇල්ල, රනිල් හා මෛත්‍රී , උපාලි හිමියන් සිය ප්‍රකාශය කර දිනකට දෙකකට පසු කළ මේ ප්‍රකාශය, නොකළ එකක් සේ නොසලකා හරින්නේ , මෙවැනි කඩාවැටීමක් රට තුළ නැතැයි ප්‍රතික්ෂේප කළ නොහැකි නිසා යැයි අනුමාන කළ හැක.

මහින්ද පාලනය හා රාජපක්ෂ පාලනය

වේඬරුවේ උපාලි අනුනායක හිමියන් ගෝඨාභය රාජපක්ෂ අමතා කියූ කතාවේ හරය වූයේ ඔහු හිට්ලර් කෙනෙකු වී හෝ මිලිටරි පාලනයක් ඇතිකර හෝ රට හැදිය යුතු බවය.
සියල්ල අතහැර ඒ ප්‍රකාශයට ඉහළ ප්‍රමුඛත්වයක් දුන් අග්‍රාමාත්‍යවරයා හා ජනාධිපතිවරයා, ඊට පෙර එම ස්ථානයේ දී ම ගෝඨාභයට අනුශාසනාවක් කළ කොටුගොඩ ධම්මාවාස නාහිමියන් කළ ප්‍රකාශය ද නොසලකා හැර තිබිණි. ධම්මාවාස හිමිගේ ප්‍රකාශය මෙසේය. ”ඊළඟට සුදුස්සා ‘අහවලා‘ (ගෝඨාභය) කියන හැඟීමක් දැන් ජනතාව අතර පැතිරිලා තියෙනවා. ඒක අපිට ලොකු සතුටක්.” මහින්ද රාජපක්ෂ හෝ ඒකාබද්ධ විපක්ෂය තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැතත්, නොවැළක්විය හැකි බාධකයකින් මග හරස් නොවුනහොත් ඊළඟ ජනාධිපතිවරණයට ගෝඨාභය ඉදිරිපත් වියහැකි බව බොහෝදුරට අනුමාන කළ හැකිය.

ගෝඨාභය මෙරට පාලකයා වුවහොත් ඒකාධිපති පාලනයක් බිහිවන බවත්; වේඬරුවේ උපාලි හිමියන්, හිට්ලර් කෙනෙකු වී හෝ රට හදන්න යැයි ඔහුට කීම, නොකළ යුතු මහා අනුචිත ප්‍රකාශයක් බවත් රනිල්, මෛත්‍රී ඇතුළු ‘යහපාලන ආණ්ඩුවේ‘ තීරක නායකයන්ගේ එක ම අදහස බව කරුණු අනුව නිගමනය කළ හැකිය. 2015 ජනවාරි 15 ට පෙර රටේ නායකයා වූයේ ගෝඨාභය නොව, මහින්ද රාජපක්ෂ ය. ගෝඨාභය පමණක් නොව බැසිල්, නාමල්, ශිරන්ති, යෝෂිත ආදී රාජපක්ෂවරු මහින්දගේ පූර්ණ ආශීර්වාදයෙන් රාජ්‍ය දේපළ, රටේ නීතිය, අධිකරණය, ජනමාධ්‍ය , පාර්ලිමේන්තුව, පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය, ක්‍රීඩාව, ආරක්ෂක අංශ, නිලධාරීන් ආදී සියල්ල කෙළෙසන තත්ත්වයකට පත්කර තිබිණි. රාජපක්ෂ පාලනයේ ප්‍රධානියා මහින්ද මිස වෙන කිසිවෙකුත් නොවේ. ගෝඨාභය එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඊට ද පූර්ණ අවකාශය සැලසෙන්නේ මහින්දගේ ආශීර්වාදයෙන් බව බොහෝදුරට අනුමාන කළ හැකිය. ගෝඨාභය එපා කියන මහින්දවාදීන් පවා කියමින් සිටින්නේ මහින්ද නම් කරන අපේක්ෂකයාට සහාය දෙන බවයි. ව්‍යවස්ථාමය බාධකය ඉවත් කරගෙන මහින්ද යළි අපේක්ෂකත්වය ගන්නේ නම් සියලු, අපේක්ෂක ප්‍රශ්න විසඳී යළි මහින්ද පාලනයක් වෙනුවෙන් ඒ සියල්ලන් කැපවනු ඇත.
එවැනි පාලනයක් බිහිවුවහොත් සත්‍ය ලෙස ම එය මහින්ද පාලනයක් නොව යළි පැමිණි ”රාජපක්ෂ පාලනයක්” වීම නොවැළක්විය හැකිය.

ජනපති සිරිසේන හා අගමැති රනිල් හිරිවැටීම

වේඬරුවේ උපාලි හිමිගේ ප්‍රකාශයට සිරිසේන ජනාධිපතිවරයා දැක්වූ ප්‍රතිචාරය මෙසේය. ”ඔබ වහන්සේලා යම්කිසි තැනක අනුශාසනා කරනවා නම් මේ රටට ඒකාධිපතියෙක් ඕනෙයි කියලා අපි වරද්ද ගත්ත තැන එතන. පාලනය තද වැඩියි කියලා, පාලනය ඒකාධිපති ස්වරූපයට යනවයි කියලා තමයි 2015 ජනවාරි 08 මේ රටේ ජනතාව වෙනසක් කෙරුවෙ කියන එක අමතක කරන්න එපා. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස ශක්තිමත් කරලා ඒ සියලු දේ දුන්නාම, ඒ සියල්ල අද වැරදි විදියට පාවිච්චි කරලා ඒ දුන්න ආයුධෙන් ම අද අපිට ගහනවා. ඔය ඉල්ලන ආඥාදායකයෝ, ඒකාධිපතියෝ, හමුදා පාලනය ඇතිවෙන්න, කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නැහැයි කියන එක , මම පැහැදිලිව කියන්න ඕනේ.”

වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්‍රතිචාර දක්වා තිබුණේ ඊට වෙනස් ආකාරයකිනි. ”හිට්ලර් හා බුදු දහම එකට එකතු කරගෙන ඉදිරියට යන්නේ කෙසේදැයි මට තේරෙන්නේ නැහැ. සෑම මතයකට ම බුදු දහම තුළ ඉඩක් තිබෙනවා. නමුත් පාලකයෙක් ඉඩී අමින් වගේ පොල්පොට් හෝ හිට්ලර් වගේ වියයුතුයැයි පැවසිය නොහැකියි. එය අපි හෙළාදැකිය යුතුයි. එවැනි ප්‍රකාශයක් මා ඉදිරියේ කවුරුන් හෝ කළා නම් ඒ මොහොතේ ම එය හෙළා දකිනවා.”

අගමැතිගේ මතය තරමක් ගැඹුරු හා දාර්ශනික බව පෙනුනත් ජනපතිගේ අදහස සරල හා ප්‍රයෝගික බව පෙනේ. එහෙත් කළ යුතුව ඇත්තේ අර්බුදය, ගෝඨාභයට හෝ බුදු දහමට ලඝු කිරීම ද ? කළ යුතුව තිබුණේ රට ප්‍රපාතයේ අග්ගිස්සට වැටෙන්නට ඉඩ දී බල තරගයේ ආත්මාර්ථය ප්‍රමුඛතා ලයිස්තුවේ ඉහළට ම ගැනීමට ඉඩකඩ ලබා දෙමින් කිසිවක් නොකර සිටීම ද ? සිදු වී ඇත්තේ ද සිදුවෙමින් පවතින්නේ ද සිදුවිය යුතුව තිබෙන දේ නොවන බව අපැහැදිලි නැත.

බැසිල්ගේ ගමන හා ගෝඨාගේ නිහඬ බව

2015 ජනවාරි 08 න් පසු මහින්ද මැදමුලනට ගිය අතර ජාතික ඇඳුම හා සාටකය ද හැරදමා පරාජයේ වගකීම ද භාරගෙන බැසිල් විදේශගත විය. ගෝඨා නිහඬ පිළිවෙතකට මාරුවිය. ශ්‍රීලනිපයේ නායකත්වය අපහසුවකින් තොරව මෛත්‍රී වෙත පිරිනැමුණ අතර එජනිසයේ ගිවිසුම්ගත පක්ෂ ඊට අදාළ සාකච්ඡාවලට අඛණ්ඩව සහභාගී වෙමින් සිටියහ. යහපාලන ආණ්ඩුව ශ්‍රීලනිප හා එජාප හවුලක් බව නායකයන් දෙදෙනාට ම අවබෝධ නොවුන අතර සිරිසේන ජනාධිපතිවරයාට ශ්‍රීලනිපය ඇතුළු වම කළමනාකරණය කිරීමට ශූර ඥානයක් නොතිබිණි. ශූර ප්‍රජතන්ත්‍රවාදියෙකු යැයි හඳුන්වා ගන්නා වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය වරයාට ද , වේගයෙන් කඩා වැටෙමින් පැවති රටේ බලකණු කෙළින් සිටුවීමට ප්‍රායෝගික සැලැස්මක් නොතිබූ අතර හවුල් ආණ්ඩුවට ද උචිත , ජනතා අපේක්ෂා වෙත ගමන් කරන ”හවුල් ආර්ථිකයක්” වෙත පිවිසීමේ ශූර ඥානය ද පහළ නොවීය.
පිළිතුරු නැති ප්‍රශ්න වැල හා දිවීමේ තරගය

දැන් කළ යුතුව ඇත්තේ මංගල සමරවීර ඇමතිවරයා හරහා වේඬරුවේ උපාලි හිමියන් “දේවදත්ත පරම්පරාවේ භික්ෂුවක” බව හඳුන්වමින් සතුටුවීම ද ? “හිට්ලර් කෙනෙකු බලයට පත්වූ පසු මාධ්‍යට කුමකින් කුමක් වේ දැයි” අසන වික්‍රමසිංහ මහතා තමන් මෙතෙක් කුමකින් කුමක් කළේ දැයි විමසිය යුතු නැද්ද ? “ආපු පාර වරද්දගෙන මහා වළක වැටෙන්න ලෑස්ති වෙන්න එපා” කියන “අපි මේ සමාජයේ පෙන්නුම් කරන මේ යහපත් බව(මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ආදිය ) යමෙකු වැරදි විදියට දකිනවා නම් ඒ ගැන කනගාටු වනවා” යනුවෙන් කියන සිරිසේන මහතා ද විමසාගත යුතුව ඇත්තේ කඩා වැටුන රට ගොඩ ගැනීමට තමන් ඇතුළු හවුලට ප්‍රතිපත්තියක් හා වැඩපිළිවෙළක් තිබුණේ ද ? ඉදිරිය සඳහා හෝ එවැන්නක් පවතී ද යන්න පමණි.

දිවීමේ තරගයක දී ඉදිරියෙන් දිවයන කෙනෙකු පරාජයට පත්විය හැකි ප්‍රධාන ක්‍රම දෙකකි. එක්කෝ, ඒ මොහොතේ ජයග්‍රාහකයා පිටුපසින් එන පරාජිතයාගේ වේගයට වඩා අඩු වේගයක් දක්වා සිය වේගය අඩුකරගත යුතුය. නැතිනම්, පිටිපසින් එන පරාජිතයා, ඉදිරියේ සිටින ජයග්‍රාහකයාට වඩා වැඩි වේගයකින් දිව යා යුතුය.