භික්ෂු දේශපාලනය සහ නව දක්ෂිණාංශිකය

ජයදේව උයන්ගොඩ

බෞද්ධ භික්ෂුන් සහ දේශපාලනය යන තේමාව ලංකාවේ දේශපාලනය තුළ නිරතුරුවම මතුවේ. ඒ සමගම වරින් වර එය බෙහෙවින් නාට්‍යකාර ලෙසද ප්‍රකාශ වෙයි. මෑත සතිය-දෙක පමණ කාලය තුළදී මේ තේමාව, ඉතා තියුණු ලෙස දෙවරක් මතුවිය. ඉන් පළමුවැන්න ඥානසාර හිමි සිරගතවූවාට පසුව ඔහුගේ භික්ෂූත්වය පිළිබඳ විවාදයයි. දෙවැන්න හිට්ලර් වැනි බෞද්ධ පාලකයකු පිළිබඳව තමන් තුළ ඇති ආශාව, අස්ගිරියේ අනුනායක ස්වාමීන් වහන්සේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ආශීර්වාදාත්මකව එළිකිරීමයි.
මේ කාරණා දෙකම, නූතන ලංකාවේ ආගම සහ දේශපාලනය ගැන ලියන පොතක පරිච්ඡේද දෙකකට ප්‍රමාණවත් ඒවාය. මේ ලිපියෙන් මා අදහස් කරන්නේ, ඒ කාරණා දෙක වෙතින් මතුවන අතුරු තේමාවක් ගැන විභාග කිරීමටය. එය නම් ‘බෞද්ධ ඒකාධිපතියකු’ පිළිබඳව දැනට අලුත් සාකච්ඡා ආරම්භ වී ඇති කරුණයි.

හිට්ලර් කතාව

වෙඬරුවේ උපාලි නායක හිමියන් ගෝඨාභය රාජපක්ෂට ‘හිට්ලර්’ කෙනකුවීමට කළ ආරාධනය වෙතින් අනාවරණය වූ කරුණක් ගැන පළමුවෙන්ම කිව යුතුය. එනම් ලෞකික දේශපාලනය සහ රාජ්‍ය පාලනය පිළිබඳ කටයුතුවලට මැදිහත්වීම තම යුතුකමක් සහ වගකීමක් ලෙස සලකන අපේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා දේශපාලනය ගැන ඇති නොදැනුවත්කමේ මහතය. විශ්වවිද්‍යාල මහාචාර්ය පදවිය දරමින්, දේශපාලනයට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදවලට සහභාගි වන භික්ෂූන් පවා නිරතුරුව පෙන්නුම් කරන්නේ, දේශපාලනය ගැන උන්වහන්සේලාට ඇත්තේ අශාස්ත්‍රීය, අතිසරල, යල්පැනගිය සහ වැඩවසම් යුගයට පමණක් ගැළපෙන අදහස් බවය. මේ මගින් මෙම දේශපාලන භික්ෂූන් වහන්සේලා තමන්ටත්, බුද්ධ ශාසනයටත්, සමාජයටත් කරන හානිය වැළැක්විය හැක්කේ කෙසේද?
මට පෙනෙන පරිදි, එයට පිළියම් දෙකක් තිබේ. පළමුවැන්න භික්ෂූන් වහන්සේලා දේශපාලනය ගැන ඕනෑවට වඩා අදහස් ප්‍රසිද්ධියේ පළ නොකර හිඳීමයි. තමන් නොදන්නා දේ ගැන නිහඬව සිටීම උන්වහන්සේලා පුහුණු කළ යුතු සහ සතුවිය යුතු සුපටිපන්න සහ උජුපටිපන්න ගුණවලටද ගැළපේ. දෙවැන්න, භික්ෂු අධ්‍යාපනය සහ පුහුණු පාඨමාලාවලට සහ පණ්ඩිත විභාගයට දේශපාලන විද්‍යාව සහ ආණ්ඩුක්‍රම නීතිය විෂයයන් බවට පත්කිරීමයි. ලංකාවේ භික්ෂූන් වහන්සේලා ලෞකික දේවල්වලට කොතරම් මැදිහත් වුවත්, ලෞකික ලෝකය පිළිබඳව උන්වහන්සේලා සතු මඳ දැනුම සහ අවම අත්දැකීම් පිළිබඳ ගැටලුව ජයගැනීමට ක්‍රියාකිරීමේ එක් සාධනීය මුල් පියවරක් මෙය විය හැකිය

බෞද්ධ පාලකයන්

දැන් අපි අපේ මූලික මාතෘකාවට යමු. ‘බෞද්ධ පාලකයකු පිළිබඳ අපේක්ෂාව විශේෂයෙන් සංඝ සමාජයේ සිටින දේශපාලන වශයෙන් ක්‍රියාකාරී භික්ෂූන් වහන්සේලා වරින් වර ප්‍රකාශයට පත් කරන්නකි. 1950 ගණන්වල මුලදී බෞද්ධ තොරතුරු පරීක්ෂණ කොමිසමට සම්බන්ධ වූ ගිහි පැවිදි උගත්තු නිදහසින් පසු ලංකාවේ මේ සිහිනය මුලින්ම මතු කළහ. මහාචාර්ය ගුණපාල මලලසේකර, ඇන්.කිව්. දියෙස්, එල්.එම්- මෙත්තානන්ද, පී.ද ඇස්. කුලරත්න වැනි ගිහියෝද, තල්පාවිල සීලවිමල රඹුක්වැල්ලේ සිද්ධාර්ථ, බද්දේගම විමලවංශ, හේන්පිටගෙදර ඥාණසිහ වැනි භික්ෂූන් වහන්සේද, බෞද්ධ පාලකයකු පිළිබඳ අදහස මතු කළ අයයි. ‘බෞද්ධ පාලකයා’ ලෙස 1950 ගණන්වල සංකල්පගත කරන ලද්දේ, යුරෝපීය හා කතෝලික/ක්‍රිස්තියානි බලයෙන් සිංහල බෞද්ධ ප්‍රජාවේ අභිලාෂයන් ආරක්ෂා කර දෙන, සිංහල-බෞද්ධ ජනතාවට තම දේශපාලන ඉරණම අනන්‍ය කරගත හැකි එමෙන්ම ඩී.එස්. සේනානායක වැනි නායකයකු නොව අලුත් ආකාරයේ ‘දේශීය බෞද්ධ’ නායකයෙකි. සිංහල බෞද්ධයාගේ ගැළවුම්කාරයා ලෙස ‘දියසේන කුමාරයා’ පැමිණෙනු ඇත යන විශ්වාසය පැතිරුණේද මේ කාලයේය. සුදු වෙට්ටිය හා බැනියම හැඳ නවාගත් වේටටියත් කරේ දමාගෙන, තමිල්නාඩු සහ බෙංගලි හින්දු බ්‍රාහ්මණ පිරිමින්ගේ ඇඳුම් විලාසිතාව මිශ්‍රකර හදාගත් ‘ජාතික ඇඳුම’ ඇඳගත් ඉංග්‍රීසි විලාසයට වුවත් සිංහල කතා කළා. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට පොරොන්දු වූ එස්.ඩබ්.ආර්.ඩි. බණ්ඩාරනායක සිංහල බෞද්ධයාගේ ගැලවුම්කාරයාත්, දියසේන කුමාරයාත් ලෙස ගෞරවයට පාත්‍ර විය. එහෙත් දෛවයේ සරදමකට මෙන් බණ්ඩාරනායක මහතා දියසේන කුමාරයා කළ භික්ෂුහුම කුමන්ත්‍රණය කර ඔහු මරා දැමූහ. නිදහසින් පසු ලංකාවේ ‘බෞද්ධ නායකයා’ පිළිබඳ අපේක්ෂාවේ පළමුවෙනි අදියර ඛේදජනක ලෙස අවසන් වූයේ එපරිදිය.

එහි තුන්වැනි අවධිය නිර්මාණය කළේ ජේ.ආර්. ජයවර්ධන මහතාය. පළමුවැනි අවධියේ ‘ බෞද්ධ නායකයකු’ පිළිබඳ සිහිනය බෞද්ධ ගිහි පැවිදි මෙන්ම නාගරික බුද්ධිමතුන් අතරින් පැන නැගුණක් වූ නමුත් ජේ.ආර්. ජයවර්ධනගේ ‘ධර්මිෂ්ඨ පාලකයා’ පිලිබඳ අදහස ඔහුගේම පෞද්ගලික සිහිනයක් විය. සැබවින්ම එම අපේක්ෂාවට සමාජමය පදනමක් නොලැබුණා පමණක් නොව, එය සමාජයේ හාස්‍යටද ලක් විය. ඇත්තවශයෙන්ම, ජේ.ආර්.ජයවර්ධන කෙරේ ‘ධර්මිෂ්ඨ පාලකයා/රජු’ පිළිබඳ ධර්මාශෝක රජුගේ උසස් සංකල්පය විකෘති කරමින්, එය ඔහුගේ පුද්ගල කේද්‍රීය අධිකාරවාදී පාලන තන්ත්‍රයට සුජාතභාවයෙන් ලබා ගැනීමට උත්සාහ ගැනීමකි. එහෙත් එය සාර්ථක වූයේ නැත. ලංකාවේ ‘බෞද්ධ නායකයා’ පිළිබඳ සිහිනයේ දෙවැනි අදියර ප්‍රහසනයක්, එනම් විකට ජවනිකාවක් ලෙස අවසන් වූයේ එපරිදිය.

‘බෞද්ධ පාලකයා’ පිළිබඳ තුන්වැනි අදියර ආරම්භ වූයේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් පරාජය වූ හෙයිනි. බලයේ සිටියදී එතුමා සිංහල ජාතියේ වීරවරයෙක් ලෙස තම ප්‍රතිරූපය ගොඩ නැගීමට විශාල ප්‍රයත්නයක් ගත් නමුදු ‘බෞද්ධ නායකයකු’ වීමේ කැමැත්තක් ප්‍රදර්ශනය කළේ නැත. 2009 යුද්ධය අවසන් වීමෙන් පසුව ‘ චන්ඩ මහින්ද’ගේ සිට ‘ධර්ම මහින්ද’ දක්වා පරිවර්තනය වීමට ඉතා හොඳ අවකාශයක් රාජපක්ෂ මහතාට තිබුණු නමුදු ඔහු එම අවස්ථාව පැහැර හැරියේය. එහෙත් මැතිවරණ පරාජයෙන් පසු තම දේශපාලන ප්‍රතිරූපය නැවත ගොඩනගා ගැනීම සඳහා බෞද්ධ භික්ෂූන් සහ පන්සල් කේන්ද්‍ර කොට ගත් ව්‍යාපාරයක් දියත් කළ විට, ඔහු වටා සිටි භික්ෂූන් වහන්සේ ඔහු හැඳින්වූයේ ‘නියම බෞද්ධ නායකයෙකු’ ලෙසයි. එහෙත් එය ‘ බෞද්ධ පාලකයකු’ පිළිබඳ මතවාදයක් දක්වා ගොඩනගා දියුණු කිරීමට මහින්ද රාජපක්ෂ මහතාවත්, ඔහුවටා සිටි නාරාහේන්පිට අභයාරාමයේ නායක හාමුදුරුවන් ඇතුළු භික්ෂු පිරිසද සමත් වූයේ නැත. ‘බෞද්ධ නායකයෙකු’ පිළිබඳ සිහිනයේ තෙවැනි අදියර අතරමග ඇනහිටියේ එපරිදිය.

සිව්වැනි අදියර

‘බෞද්ධ නායකයෙකු’ පිළිබඳ අපේක්ෂාවේ සිව් වැනි අදියර මතු වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ එම අසාර්ථකත්වයේ පසුබිම තුළය. වෙඬරුවේ උපාලි හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 69 වන උපන් දිනයේදී ඒ මහතාට දුන්හා මාධ්‍යයේ වාර්තා වූ ‘හිට්ලර්වාදී’ උපදේශයත්, එම උපදේශය පැහැදිලි කරමින් උන්වහන්සේ කර ඇති ප්‍රකාශ මෙන්ම පසුගිය කාලයේ සිදුවීම් විග්‍රහ කර බලන විට මෙම නව අවධියේ ලක්ෂණ කිහිපයක්ම හඳුනාගත හැකිය. ඒවා මෙසේ සාරාංශ කළ හැකිය.

■ බෞද්ධ භික්ෂූන් වහන්සේගේ දේශපාලන ප්‍රයත්නය, අලුත් අවධියකට පරිවර්තනය වී තිබෙන බව පෙනේ. එහි ප්‍රධාන ලක්ෂණය නම්, ලංකාවේ ඊළඟ ජනාධිපතිවරයා විය යුත්තේ කවුද යන තීරණයට භිකෂූන් වහන්සේලා කෙළින්ම දේශපාලන වශයෙන් මැදිහත් වීමයි.

■ මෙම මැදිහත් වීම සඳහා භික්ෂූ ව්‍යාපාරය, ස්ථාපිත දේශපාලන පක්ෂවලින් ස්වායත්තව භික්ෂූන් වහන්සේලාද, බෞද්ධ ගිහි සමාජය ද බලමුළුගැන්වීම මත ගොඩ නැගෙන්නකි. දේශපාලනඥයින් විසින් මඟපෙන්වනු ලැබීම නොව දේශපාලනඥයින්ට මඟ පෙන්වීම තම කාර්යය යැයි එම භික්ෂූහු දැඩිවම දැන් සිතති. එය ඔවුන්ගේ ව්‍යාපාරයේ මතවාදයේ අංගයක් ද වේ.

■ ලංකාවේ ඊළඟ ජනාධිපතිවරයා බෞද්ධ නායකයෙකු විය යුතුය යන ඉලක්කය ඉදිරියට දමන මෙම භික්ෂු ව්‍යාපාරය එම නායකයා ප්‍රජාතන්ත්‍රවාදයේ සීමා කිරීම් වලින් නිදහස් දැඩි මතධාරී සහ දැඩි ක්‍රියාධාරීද වන නායකයෙකු විය යුතු බව ප්‍රකාශ කරති. සිංහල බෞද්ධ බහුතරයේ අභිලාෂයන්ට ප්‍රජාතන්ත්‍රවාදයෙන් සිදුවූ හානිය පිළිබඳව දිවයින පත්‍රය, චින්තන පර්ශදය, හෙළ උරුමය, ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරය,සහ මවිබිම සුරැකිමේ ව්‍යාපාරය තරමක් අතීතයේදීත් බොදු බල සේනාව රාවණා බලය හා මහසෝන් බලකාය වැනි කුඩා සංවිධාන ඉතා මෑතකදී මතුකළ මතවාදය භික්ෂූන් වහන්සේලාගේ දේශපාලන ප්‍රයත්නයක් ලෙස සංවිධානාත්මකව මතුවන්නේ දැන්ය. ප්‍රජාතන්ත්‍රවාදයෙන් සිතාමතාම ඉවතට යන ඒ ලක්ෂණ දේශපාලන යහගුණයක් ලෙස සලකන මෙම භික්ෂූ දේශපාලන ව්‍යාපාරය පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රයත්නයක් ලෙසද හැඳින්විය හැකිය.

■ මෙම පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී බෞද්ධ දේශපාලන ව්‍යාපාරයේ එක්තරා දුරකට පූජ්‍ය තන්ත්‍ර රාජ්‍යක් (Theocratic Stak) පිළිබඳ අදහසක් ගැබ් වී තිබේ. එහෙත් එම අදහස දේශපාලන ව්‍යාපෘතියක් බවට සංකල්පගත සහ ක්‍රමානුකුල කිරීමේ හැකියාව මෙම භික්ෂු නායකත්වයට තවම නැත.

■ මෙම භික්ෂු දේශපාලන ව්‍යාපාරය එහි ඇති පශ්චාත් ප්‍රජාතන්ත්‍රනාදී විභවය නිසා එය දක්ෂිණාංශික ව්‍යාපාරයක් ද වෙයි. දයාන් ජයතිලක මහතා ‘විකල්ප දක්ෂිණාංශය’ (Alt Right) ලෙස මෙම භික්ෂු ප්‍රයත්න හඳුන්වා ඇත්තේ ද එය සතු නිර්- ප්‍රති- ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යාපෘතිය නිසාය.

මේ පසුබිම තුළ ලංකාවේ වර්තමාන දේශපාලන මොහොත තුළ නව දක්ෂිණාංශික දේශපාලන ප්‍රයත්න දෙකක් මෝදු වෙමින් පවතින බව පෙනේ. ඒ දෙකම ගෝඨාභය රාජපක්ෂ මහතා වටා ගොනු වෙති. ඉන් පළමුවැන්න ‘වියත්මඟ සංවිධානය වටා සිටින සහ එහි සංවිධානාත්මක හරය බවට පත් වී තිබෙන විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ එකතුවයි. දෙවැන්න නව දේශපාලන භික්ෂූ ව්‍යාපාරයයි. මේ දෙකටම පොදු අරමුණු දෙකක් තිබෙන බව පෙනේ. පළමුවැන්න ලංකාවේ රාජ්‍යය පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී සිංහල බෞද්ධ බහුතරවාදී දැඩි අධිකාරවාදී පරිවර්තනයට ලක් කිරීමයි. දෙවැන්න එම පරිවර්තනයේ කතෘකයා ලෙස මිලිටරි පසුබිමක් තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියට දැමීමයි.
මේ අතර 2019-2020 ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණ වලදී ලංකාවේ ඡන්ද දායකයින් ගන්නා තීරණයට ඉදිරි මාස කිහිපය තුළ තියුණු ලෙස ගොඩ නැගෙන බල තරගය තීරණාත්මක ලෙස බලපානු ඇත.

ජවිපෙ සහ මානව අයිතිවාසිකම්

දේශපාලනයේ යෙදෙන භික්ෂූන් වහන්සේලා පමණක් නොව, ජවිපෙ මන්ත්‍රීවරුන්ටද නිසි දේශපාලන විiා අධ්‍යාපනයක් ලැබීම අත්‍යවශ්‍ය බව වසන්ත සමරසිංහ මන්ත්‍රීතුමා මාතරදී සිදු වූයේ යැයි වාර්තාවන අපරාධකරුවකු පොලිසිය විසින් වෙඩි තබා මැරීම ආරක්‍ෂා කරමින් කළ ප්‍රකාශයෙන් පෙනේ. අත් අඩංගුවේ සිටි සැකකරුවකු මරා දැමීමේ පොලිස් ක්‍රියාව හෙළා දකිමින් මංගල සමරවීර අමාත්‍යවරයා කළ ප්‍රකාශය වසන්ත සමරසිංහ මහතාගේ බලවත් දෝශ දර්ශනයට ලක් වී ඇත. එම ‘නිවැරදි’ පොලිස් ක්‍රියාව හෙළා දැකිය හැක්කේ ‘කූඩු ගතවන ඇමතිවරයකුට පමණකැ’ යිද වසන්ත සමරසිංහ මහතා කියූ බව පුවත්පත් වල වාර්තා විය.

මාතර එම අපරාධකරුවා වෙඩි තබා මැරීම පිළිබඳ පොලිසිය ඉදිරිපත් කළ මෙවැනි කතාවක්ම 1989 ඔක්තෝම්බර් හා නොවැම්බර් මාසවල කීර්ති විජයබාහු, උපතිස්ස ගමනායක සහ රෝහන විජේයවීර යන ජවිපෙ ඉහළම නායකයින් තිදෙනාත් තවත් බොහෝ දෙනකුත් අනේක දසවධ දී මරා දැමීමෙන් පසුව පොලිසිය ඉදිරිපත් කළ අහිංසක පැහැදිලි කිරීමේද තිබුණු බව වසන්ත සමරසිංහ මහතාත් ජවිපෙ සියලු සහෝදරවරුනුත් මතක් කරගත යුතුය. මේ ‘පැහැදිලි කිරීම’ වූ කලී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද අධිරාජ්‍ය වලට මෙන්ම රැඩිකල් දේශපාලන ක්‍රියාවලටද සහභාගී වන කැරලිකරුවන් මරා දැමීමේ දී පොලිසිය භාවිතා කරන සුපුරුදු ‘ පොලිස් උපක්‍රමයකි.’ මේ ගැන සංවේදී නොවන ජවිපෙ නායකයින්ට ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් පිලිබඳ ඇති දැනුම, අවබෝධය, සහ සවිඥානකත්වය අතිශයින්ම ද්‍රරිද්‍ර ඒවා බව කිවයුතු ය.

ජවිපෙ ‘සමාජ ප්‍රජාතන්ත්‍රවාදී’ සහ අනාගත ලංකාවට ගැලපෙන දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය කිරීමට එහි නායකයින් සිතන්නේ නම් මෙවැනි පටු වැරදි සහ රාජ්‍යවාදී මතවාද වල සිරවී සිටීම මහත් බාධාවක් වනු ඇත.