ජනබලය කොල්ලකෑමට ප්‍රතිමුඛ සාධාරණයක් ඕනෑ

විමලනාත් වීරරත්න

ලංකාව සිදුවීම්වලින් ගහණ රටකි. එකක් පසුපස එකක් වශයෙන් එන සිදුවීම් නිසා මෙරට ජනයාට අලසකමකින් තොරව දවසරින්නට හැකිවී තිබේ. ඥානසාර හිමිගේ සිද්ධිය කෙමෙන් යට යනවිට වෙඬරුවේ උපාලි හිමිගේ සිද්ධිය මතුවූයේ සති දෙකකට අඩු කාලයක් ඇතුළතය. දේශපාලකයෝත්, ජනමාධ්‍යයත් කරන්නට තිබෙන එලෝ කෝටියක් වැඩ පසෙකලා උක්ත සිදුවීම් ගැන දින ගණන් සංවාද කරති. මීට සති තුනකට පමණ පෙර එක ළඟම වාගේ රාජිත එල්ටීටීඊ විරු සමරුව ගැන දයාර්ද්‍රව කතා කිරීමෙනුත්, ජනාධිපත,ි සෝභිත හිමියන්ගේ ගුණසමරු රැස්වීමට ගොස් හතර වටේට ප්‍රහාර එල්ල කිරීමත් නිසා ඥානසාර-උපාලි සිද්ධීන්වලදී මෙන්ම සමාජයට ළඟින් ළඟ සංවාද කිරීමට අවස්ථාව ලැබුණි. එක ළඟ සමාන පද යෙදීමෙන් මතුවන්නේ අනුප්‍රාසයයි. ඒ සිංහල භාෂාවෙහිදීය. එක ළඟ උක්ත සිදුවීම් නිසා සමාජය අත්කර ගනිමින් සිටින්නේ අනුප්‍රාසය නොව පිළිකුළයි. ජනමාධ්‍යවේදියෝ මෙවැනි නිරර්ථක සාකච්ඡාවලට පිටු ගණන් වෙන් කරති. එහෙත් එසේ කැරෙන සංවාද දෙස සති කිහිපයකට පසු හැරී බලන්නට මේ කිසිවකුට ඉස්පාසුවක් නැත. එසේ හැරී බලනවා නම් එම සංවාද සියල්ලෙහි ඇති හරසුන් බවත් මහජනයාට අදාළ නැති බවත් ඔවුන්ට පෙනී යනු ඇත.

හිට්ලර් කතාව

වෙඬරුවේ උපාලි හිමිගේ හිට්ලර් කතාව ජනාධිපති, අගමැති දක්වාම අය අදහස් පළ කළ මාතෘකාවක් බවට පත්විය. බුදු දහම සහ හිට්ලර් එකට යන්නේ කෙසේද යන්න තමාට නොතේරෙන බව අගමැති ප්‍රකාශ කළ අතර ජනපතිත් පුදුමයකට මෙන් ඊට විරෝධය පළකර තිබුණේ රට හදන්නට විවිධ නායකයන්ට කරන අඬගැසීම් තම පැවැත්මට අභියෝගයක් නිසා විය හැකිය. නොඑසේ නම් සංඝ සමාජයේ සාමාජිකයකුගේ කෙතරම් නොතරම් ප්‍රකාශයකට වුව ජනපති කට නාරියි. වෙඬරුවේ උපාලි හිමි ප්‍රකාශ කර තිබෙන්නේ සංඝ සමාජයේ එක්තරා කොටසක් දරන මතයකි. එම මතය වෙනස් කළ නොහැකි වුවත් එම මතය ජනතාවගෙන් බහුතරය මත පැටවීමේ ප්‍රයත්නය පරාජය කිරීම මෙරට ප්‍රගතිශීලීන්ගේ, බුද්ධිමතුන්ගේ හා සමාජ වුවමනාවක් ඇති ජනමාධ්‍යවේදීන්ගේ යුතුකමය. හුදෙක් ප්‍රකාශයකට එරෙහිව එක් එක් පුද්ගලයන්ගේ මත දැක්වීම්වලින් පමණක් එය සිදුකළ නොහැකි අතර එම මතය පරාජය කරන චින්තාවක් පුරවැසියන් තුළ ගොඩනගන්නේ කෙසේද යන්න කෙරෙහි පුළුල් අවධානය යොමු කිරීම වැදගත්ය. එසේ කළයුත්තේ රට හිට්ලර් කෙනකුට පක්ෂපාතීත්වය දැක්වීමේ අනතුරක් ඇති නිසාම නොව ලංකාවේ සමාජය කිසි වගවිභාගයකින් තොරව රැල්ලට ගසාගෙන යන සමාජයක් නිසාය. ලංකාවට අවශ්‍ය බෝසත්කම නිසාම මැරුම් කෑ කුරුණෑගල රජ කළ බෝසත් විජයබාහු රජ කෙනකු නොවේ. හිට්ලර් කෙනකුද නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පදනම් කරගෙන රට පාලනය කරන නායකයෙකි.

ලංකාවේ බිය

ලංකාව සිය පාලකයා පිළිබඳ තුන් ආකාරයේ බියක් ඇති කරගත් රටකි. එය එක්තරා ආකාරයක තුන් බියක් ලෙසද හැඳින්විය හැකිය. එහි පළමුවැන්න හෙවත් පළමු බිය ගෙන දෙන්නේ රට සහ ජනතාව ගැන නොසැලකිලිමත් බුර්ෂුවා පන්නයේ පාලකයාය. චන්ද්‍රිකා කුමාරතුංග එම ස්වරූපය නියෝජනය කළ බව පෙනුණි. ආවොත් ආවාවේ ගියොත් ගියාවේ යන දූ කෙළියේ න්‍යාය ඇගේ දේශපාලනයේ සංදර්භීය ලක්ෂණය ලෙස දක්නට ලැබුණු අතර එම වසර එකොළහ තුළ කිසිම අතකින් රට දියුණු නොවුණි. වසර 17ක එජාප පාලනය පෙරළා දමා මහජන හිතවාදී මුහුණුවරකින් පටන් ගත් චන්ද්‍රිකා පාලනය වසර දෙකක් ගතවන විට අපකීර්තියට පත්වූයේය. ඇතැම් බලප්‍රදේශ හොරුන්ගේ රාජධානි ලෙස පවත්වාගෙන යනු ලැබිණි. 17 වසරක පාලනයෙන් බැට කෑ ජනයා සුවපත් කරනු වෙනුවට 17 වසරක් රට පාලනය කළ පිරිසගෙන් පළිගන්නා ආකාරයේ කොල්ලකාරී සමාජ, ආර්ථික වැඩසටහන් එවක ක්‍රියාත්මක කැරිණි. කිසිදු හිරිකිතයකින් තොරව පොරොන්දු කඩකරන දේශපාලනය කරළිය මත අභ්‍යාස කැරුණේ චන්ද්‍රිකා ආණ්ඩු සමයේදීය. විධායකය අහෝසි කිරීම ඇතුළු බොහෝ පොරොන්දු ඊට නිදසුන් ලෙස දැක්විය හැකි අතර ව්‍යාජ වාමාංශික ලේබලයක් අලවාගෙන දුර්වල දක්ෂිණාංශික පැවැත්මක් වෙත චන්ද්‍රිකා පොදු පෙරමුණු ආණ්ඩුව රැගෙන ගියාය.

ලංකාවට දෙවැනි බිය ඇතිවන්නේ උන්නතිකාමී පාලකයාගෙනි. ආසන්න උදාහරණය මහින්ද රාජපක්ෂය. සැබැවින්ම ලංකාව තුළ හිට්ලර් පන්නයේ ලක්ෂණ මුල්වරට මුදාහැරියේ රාජපක්ෂ ආණ්ඩුවයි. එක් නිදසුනක් මෙබඳුය. ජනපතිවරයා ආරක්ෂක රථ පිරිවරාගෙන මහමග යනවිට පමණක් නොව ජනපති ආර්යාව ගමන් යනවිටත් අන් සියලු වාහන නතර කැරුණි. නවත්වාගෙන සිටින යතුරුපැදිවල යතුරු හමුදා සාමාජිකයෝ අතට ගත්හ. ඇතැම්විට පා ගමනින් යන පිරිස තාප්ප පැත්තට හරවා තැබූහ. මේවා සිදුවූයේ හිට්ලර්ගේ අවධියේදීය. හිට්ලර් අත්හදා බලන්නට ගෝඨාභය එන්නට වුවමනා නැත. මහින්ද රාජපක්ෂ හිට්ලර්ගේ ඇතැම් ප්‍රාථමික උපාය මාර්ග අත්හදා බලා තිබේ. හිට්ලර් හැදුවේ මතුපිටින් ඉතා සුන්දර නමුත් යට නොපෙනෙන ලෙස මළමිනීවලින් සුසැඳි සමාජ පරිසරයකි. එහි මූලිකාංග රාජපක්ෂ පාලනය තුළ දිස්විය. ප්‍රශ්නය වන්නේ මේ වනවිට බොහෝ දෙනකුට ඒවා අමතකව තිබීමය. ඒ අමතවීමට බලපෑවේද මෛත්‍රීපාල – රනිල් අවගමනය මිස අනෙකක් නොවේ.

තෙවැනි බිය පිළිබඳ හොඳම උදාහරණය වර්තමාන ජනපතිය. ගැමි නායකයෙක් නම් තවත් එපා කියන තත්ත්වයකට ඔහු ලංකාවේ සමාජය ගෙනාවේය. මෛත්‍රී කෙතරම් සුචරිතවාදී වුවත් රටේ කිසිවක් නොකෙරී කයිවාරුවලින් දුවන තත්ත්වය ජනතාව දිගින් දිගටම ඉවසා සිටින්නේ නැත. සම්මුතිවාදී ආණ්ඩුව ඇවිදින මංතීරුවක්වත් හරියට හදාගන්නට බැරි ආණ්ඩුවක් බව ඇතැම්හු කියති. තම ආණ්ඩුවේ හොරු අල්ලන්නේ නැති අය පැරණි ආණ්ඩුවේ හොරු අල්ලයිද? ඝාතකයන්ට දඬුවම් දෙයිද? ගුවන්තොටුපොළ වසා හොරු අල්ලන බව මැතිවරණ ප්‍රචාරක කටයුතු නැගලා යන අවස්ථාවක කිව්වත් ඒ හොරු තම ඇඳුම අස්සේ දාගත්තා විනා ජනාධිපති අවංකව පසුගිය ආණ්ඩුවේ හොරෙක් අල්ලන්නට මැදිහත් වූ අවස්ථාවක් දක්නට නොලැබුණි. ආරම්භයේදීම ඔහු එය පෙන්නුම් කළේ බරපතළ චූදිතයකු රජයේ සාක්ෂිකාරයකු බවට පත්කරමිනි. අනතුරුව ඔහු දුන් සාක්ෂ්‍යකුත් නැත. ජනපතිට ඒ ගැන වගේ වගක්ද නැත. එසේ බලනවිට මහ බැංකුව කෙරෙහි පමණක් තද අවධානයක් යොමු කැරුණේ තනිකරම දේශපාලන වුවමනාවක් මතද යන ප්‍රහ්නය දැන් දැන් නැගෙනු නොවැළැක්විය හැකිය. ඒ අනුව මහ බැංකුව කඩා තිබුනේ රාජපක්ෂලා නම් ඒ සඳහා ජනාධිපති කොමිසමක් පත්කැරෙන්නට විදියක් නැත. මෙවැනි ආන්තික යැයි පෙනෙන තර්කවලින් දමා ගසන්නට සිදුවන තත්ත්වයක් උදාකර ගත්තේ ජනාධිපතිවරයා විසින්මය.

තුන්බිය නැති කරන්නේ කෙසේද?

ලංකාව මුහුණ පා සිටින්නේ උභතෝකෝටිකයකටය. ඇතැමුන් කියන්නේ උක්ත නායක ස්වරූප ත්‍රිත්වයට විකල්පය ජනතාවට පාලන බලය ලබාදීම බවය. ජනතාවට පාලන බලය ලබාදීම යනු කුමක්ද? එහි සීමාව හෝ ප්‍රමාණය විවරණය කැරෙන්නේ කවාරාකාර ලෙසද? ජන බලයක් ගොඩනගමු යන්න ව්‍යාජයක් වන්නේ ඇත්තටම ජන බලයක් කිසිදාක රාජ්‍ය බලය හසුරුවන මට්ටමකට ගොඩ නොනැඟුණු නිසාය. ජනබලයට හැමවිටම සීමාවක් තිබුණු අතර එම සීමාකාරී අවස්ථාවෙන් පසු ජනබලය ඛණ්ඩනය කැරිණි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මනා රූපකායක් ලෙස සමාජය තුළ ඉස්මතුවන්නේ මෙතැන්හිදීය.

සැබැවින්ම ජනතාවට බලය ලබාදීම යන්නට න්‍යායික අර්ථයක් තිබේද? ජනතාවට දේශපාලන න්‍යාය පත්‍රයක් නැත. ඇත්තේ අවශ්‍යතා සමූහයකි. එකම ප්‍රශ්නය එම අවශ්‍යතා කිසිදා සාකල්‍යයෙන් ඉටුනොවිමය. ජනතාවට එකමුතු වී කළහැකි දේවල් කවරේද? ජනතාව එකමුතු වී එක් වැඩක් කරනු පසුගිය දවසක කිළිනොච්චි ප්‍රදේශයේදී දැකගත හැකිවිය. ඒ පොලුවලින් හා උදලුවලින් පහර දී කොටියකු මැරීමය. ඒ ආකාරයට ජනයාට එකමුතුවී කිඹුලකු වැනි සතකු ඝාතනය කළ හැකිය. එහෙත් ඔවුහු (සාමාන්‍ය ජනයා) අලි නොමරති. අලි එක් අතකින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වැනිය. ප්‍රතික්ෂේප කරන්නට විදියක් නැත.

ජනතා එකමුතුවෙන් කොටියකු මැරුවත් රටක් පාලනය කළ නොහැකිය. ජනතාව පාලනය කළ රටක් තිබේද? එසේ බලනවිට මහජන එකමුතුව යන්නට සීමාවක් තිබේ. මෙතෙක් සිදුවුණේ එම සීමාකාරී අවස්ථාවේ නායක දේශපාලනඥයකු විසින් එම ජනතා එකමුතුව හෝ ජන බලය නිර්දය ලෙස කොල්ලකෑමය. චන්ද්‍රිකා, මහින්ද රාජපක්ෂ මෙන්ම මෛත්‍රීපාල ඒ සඳහා කදිම උදාහරණය. දැන් ප්‍රශ්නය මතුවී තිබෙන්නේ ඊළඟ උදාහරණය ගෝඨාභය වුවහොත් යන්නය. සැබැවින්ම ගෝඨාභයට කොල්ලකෑ හැක්කේ ජනබල මුළුවෙහි එක් පාර්ශ්වයක් පමණය. ඒ බොහෝවිට වෙඬරුවේ උපාලිවාදීහුය. මහින්දවාදීන්වත් ගෝඨාභයට කොල්ල කෑ නොහැකි තත්ත්වයක් දැන් උදාවී ඇත. ඒ හැරුණු විට මෛත්‍රීපාල මහතාට රැවටුණු (වෙන කරන්නට දෙයක් නැති නිසා) තවමත් ප්‍රගතිශීලී ආස්ථානයක සිටින කඳවුර ජනබල මුළුවේ සීමාකාරී අවස්ථාවකදී වුව ගෝඨාභයට කෙසේවත් ළංවන්නේ නැත. ඊට දෙමළ හා මුස්ලිම් බහුතරයක් එක්වූ විට ගෝඨාභයට ජනාධිපතිවරණයක් ජයගැනීම කෙසේවත් කළ නොහැකිය. රාවය උපදේශක කර්තෘ වික්ටර් අයිවන් මහතා ගෝඨාභයට එල්ල කළ ප්‍රශ්නාවලියට ඔහු පිළිතුරු සොයා ගත්තත් ඉහත මහජන තර්කනය මත ගෝඨාභයට ජනාධිපතිවරණයකින් ජය ගැනීම කෙසේවත් කළ නොහැක්කකි. පළාත් පාලන මැතිවරණයේදී ලද පොහොට්ටුවේ ජයග්‍රහණය මීට ප්‍රති තර්කයක් ලෙස යම් කෙනකු නගන්නට පුළුවන. එහෙත් එම ඡන්දය සංයුක්ත මැතිවරණ අවස්ථාවක් නොවන බව පෙන්වා දිය හැකිය.

ප්‍රශ්නය ඉවරද?

ගෝඨාභය පරාජය කළත් ලංකාව මුහුණදෙන තුන්බිය පිළිබඳ ප්‍රශ්නය අවසන්වන්නේ නැත. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සංඝ සමාජයේ මුග්ධ තර්කවලට නොනැමෙන හා බිය නොවන බුදුන් කියූ ආකාරයේ උජුපටිපන්න ගුණයෙන් යුතු නායකයකු රටට අවශ්‍යය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආගම ඉවත් කර ආගම් ඇදහීම පුද්ගලික කාරණයක් බවට පත්කිරීමට ඔහුට හැකිවිය යුතුය. ජිනීවාවලින් කියන තුරු නොසිට දෙමළ පුරවැසියන්ට සාධාරණයක් ඉටුකිරීම දක්වා සිංහල සමාජය යොමු කිරීමට ඔහුට හැකිවිය යුතුය. ඔහු හුදු න්‍යායවාදයෙන් තොර ප්‍රායෝගික පුද්ගලයකු සේ ම නාස්තිකවාදියකු හෝ හිට්ලර් කෙනෙකු නොවිය යුතුය. මන්ද පොදු ජනයාට පිළිගත හැකි මාවත හැරපියා අනුකාරක නායකයකු වීමෙන් ලංකාවේ පොළොව තේරුම් ගත නොහැකි බැවිනි. මේ කියන නායකයා පවා මහජන එකමුතුවේ බලය සීමාකාරී අවස්ථාවේදී කොල්ලකන්නෙකි. එහෙත් එම කොල්ලකෑමට සාපේක්ෂ වශයෙන් හෝ තර්කානුකූල සාධාරණයක් ඉටුවීම මේ මොහොතේ ලාංකීය සමාජයට අත්‍යවශ්‍යව තිබෙන්නකි.