රාවය

බුදු දහම කඹයක්ද?

බුදු දහම කඹයක්ද?

කෙතරම් දැනුවත් වුවත් දැනුම ප්‍රායෝගිකත්වයට නොනැංවීම මෙරට නායකයන් තුළ ඇති අඩුවක් හා අර්බුදයක් ලෙස හඳුනාගත හැකිය. පොසොන් පොහොයදා ජනපති අනුරාධපුරයේ ආගමික කටයුතු ගණනාවකට සහභාගි වී සිටි අයුරු දක්නට ලැබිණි. අගමැති සිය පොසොන් පණිවුඩයෙන් කීවේ ජාතීන් අතර භේද දුරැලා ඔවුන් අතර සංහිඳියාව ඇති කිරීම පිණිස බුදු දහම මිස අන් කිසිවක් උපකාර නොවන බවය. එමෙන්ම සමාජය නූතනත්වයෙන් යුතු තැනක් බවට පත්කිරීමට බුදු දහම උපස්ථම්භක වන බවද හෙතෙම කීවේය.
ඔවුන් එසේ කීවත් කළත් අද වනවිට පෙනීයන්නේ අඩුම තරමින් නායක දෙපළගේ සහජීවනය පිණිසවත් බුදු දහම උපකාර වී නැති බවය. ඒ සමගම ඔවුන් දෙදෙනා ගැන නිරීක්ෂණය කරන කෙනකුට පෙනීයන්නේ කෙතරම් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වුවත් ඒ දෙදෙනාම බුදුදහම භාවිත කරන ඛේදජනක පිළිවෙළය. බුදු දහමේ ඇති වැදගත්කම මතුර මතුරා නායක දෙපළ කකුළු ගමනක යන බවය.

මෙහි වරදක් සිදුවී ඇත්තේ බුදු දහමෙන් විය නොහැකිය. එය රටේ අභ්‍යාස වන ආකාරයෙනි. ජනපති අනුරාධපුරයේ ආගමික වතාවත්වල නියැලෙයි. අගමැති බුදුදහමේ සහජීවන මාවත ජනයාට පහදා දෙයි. එහෙත් දෙදෙනාම බුදු දහම කඹයක් බවට පත් කරගන දෙපැත්තට අදිනු පෙනේ. එවැනි තත්ත්වයක් උදාවූයේ ඇයි? අඩුම තරමින් බුදු දහම සංග්‍රහශීලී අරුතකින්වත් භාවිත කළ නොහැකි ඇයි? බුදු දහමේ හරය අනුව යමින් දෙදෙනාම එක්වී රටේ ප්‍රශ්න සාකච්ඡා කළ නොහැකි වූයේ ඇයි? ඔවුන් රටේ ප්‍රශ්න මේ සා ඔඩු දුවන මට්ටමට පත්වනතුරු ව්‍යාජ ලෙස වතාවත්වල නිරත වූයේ ඇයි? ඔවුහු බුදු දහම සත්‍යයක් ලෙසට ගෙන සංහිඳියාවට උපයෝගීතාවාදී අරුතකින් හෝ භාවිත කිරීමට උත්සාහ කළෙහි නම් රටේ අවුල මේතරම් දිග්ගැස්සෙනු ඇත්ද?

බුදු දහමට ප්‍රමුඛ තැන දෙන්නට මෙරට නායකයෝ උනන්දු වෙති. ඒ පූර්වගාමීන් අනුව යමින් වත්මන් නායකයෝද බුදු දහමට ප්‍රමුඛ තැන දුන්හ. එසේ තිබියදීත් සමාජ ප්‍රශ්න විසඳා ගැනීමට ඉන් සහනයක් නොලැබෙනවා නම් ඒ මන්ද යන්න ඊළඟට ඔවුන් විමසා බැලිය යුතුව තිබුණි. අප කළයුත්තේ බුදු දහමෙන් රාජ්‍ය පාලනය ගලවා ගැනීමද නැතහොත් රාජ්‍ය පාලනයෙන් බුදු දහම බේරා ගැනීමද යන්නත් මෙරට නායකයෝ සිතා බැලිය යුතුව ඇත. බුදු දහමට ආගමික හා සමාජීය කටයුතු කරගැනීමටත්, රාජ්‍යයට රාජ්‍යයේ කටයුතු කරගැනීමටත් ඉඩ සැලසෙනවා නම් දේශපාලන නායකයන්ට මෙසේ පරස්පර ජීවිත භාවිතයක් ගෙනයාමට සිදුවන්නේ නැත.

අද ලංකාවේ තිබෙන බරපතළම ප්‍රශ්නය කුමක්ද? රටේ තිබෙන ප්‍රශ්න පැටලුණු නූල් බෝලයක් බවට පත්කරනු ලැබ ඇත්තේ අප උත්තරීතර යැයි සලකන මහා සංඝරත්නය විසින් යැයි කිව හැකිය. යථාර්ථවාදීව ජිවිත පැවැත්ම පිළිබඳ සිතන බෞද්ධයෝ මහා සංඝ රත්නයේ ඇතැම් හැසිරීම් නිසා බුදුදහමේ දෛනික කටයුතුවලින් ඈත්වී සිටිති. මහා සංඝරත්නය රටේ මූලික නීතියට පවා උදැල්ල දැමීම ගැන සැබෑ බෞද්ධයෝ විරසකව සිටිති. උන්වහන්සේලා මුලින්ම බාධා කළෝ ජනපතිගේත් අගමැතිගේත් ප්‍රධාන පොරොන්දුවක් වුණු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටය. නව ව්‍යවස්ථාවක් එපා යනුවෙන් උන්වහන්සේලා නායක දෙපළට අනිසි ලෙස බලපෑම් කළහ. ව්‍යවස්ථාව යනු රටේ මූලික නීතිය වන බැවින් උන්වහන්සේලා විරුද්ධ වූයේ රටේ මූලික නීතිය යථාරූපී කරන වැඩසටහනටය. ත්‍රෛනිකායික මහ නා හිමිවරු ප්‍රමුඛ මහා සංඝ රත්නය තම විෂය ප්‍රදේශයෙන් බැහැරට යෑම නිසා රටේ නායකයෝ අවුලකට පත්වූහ. එම ප්‍රධාන ව්‍යාපෘතිය ඉටු නොවීම නිසා රටේ දැනුවත් පිරිසකගේ විරෝධයට නායක දෙපළ ලක්වූයේය. ඔවුන් දෙදෙනා අතර විරසකයක් මතුවීමට, සැලසුම් යථා පරිදි ක්‍රියාත්මක නොවීමද හේතුවිය. එසේ බලනවිට ආගමික සංස්ථාවටද ජනපති-අගමැති ආරාවුලේ කොටස්කාර භූමිකාවෙන් ගැළවිය නොහැකිය. ගැටලුව ඇත්තේ ආගමේ නොව සංඝ සමාජයේ බව පැහැදිලිය. එහෙත් සංඝ සමාජයට ඒ සා උඩට නගින්නට පදනම වැටුණේ බුද්ධාගමට ප්‍රමුඛ තැන හිමිවිය යුතුය යන වගන්තිය ව්‍යවස්ථාවට ඇතුළත් වූ දා පටන් යන්න අමතක කළ නොහැකිය.

1972 ව්‍යවස්ථා සංශෝධනයේදී මෙවැනි අර්බුදයක් මතුවන බව පෙනුණු විට පෙඩරල් පක්ෂය උක්ත යෝජනාවට විකල්පව වැදගත් යෝජනාවක් ගෙනාවේය. එය නම් ලංකාව සියලු ආගම් කෙරෙහි හෘදයාංගම වූ එහෙත් ලෝකායත රාජ්‍යයක් විය යුතුය යන සංශෝධනයය. එම යෝජනාව ප්‍රතික්ෂේප කැරිණි. බුදු දහමේ චිරස්තිථිය ඇතිවන්නේ ව්‍යවස්ථාවකට වගන්තියකින් ඇතුළු කිරීමෙන් නොව එහි සාරය මිනිස් හදවත්වලට ඇතුළු කිරීමෙනි යන්න තේරුම් ගත හැකි අයකු එම වැඩසටහන තුළ සිට නැත. ව්‍යවස්ථාව තුළ බුදු දහම හුදු වගන්තියක් වීමේ විපාක ජනපතිටත් අගමැතිටත් දැන් අවබෝධ විය යුතුය. ඔවුන් දෙදෙනාටම මේ දඬුවැට පැන යෑමට ලබාදී තිබුණු කාලය දැන් අවසන්වෙමින් තිබේ. එහෙත් කාලය අවසන්වීම සත්‍ය පසක් කරගැනීමට බාධාවක් නොවේ. එය බුදු දහමේද වැදගත් ඉගැන්වීමකි. රටේ නායක දෙපළ කෙතරම් බුදු දහම ගැන දැනගෙන සටියත් එය පළල් ජන පැවැත්මකට භාවිත කරගන්නා ආකාරය දැන සිට නැත. ඒ නිසා ඔවුන් දෙදෙනාම සංඝ සමාජයේ සිරකරුවෝ වූහ. අනියමින් බුද්ධාගමේ සිරකරුවෝ වූහ. ඔවුන් දෙදෙනාම ගමන් කළ යුතුව තිබුණේ බෞද්ධ දර්ශනය වෙතය. එසේ ගියා නම් සංඝ සමාජයට ජනපතිගේත් අගමැතිගේත් කර අඹන්නට නොහැකි වනු ඇත. ඒ දෙදෙනාටත් බුදුදහම හා පැවැත්ම පිළිබඳව පරස්පර මිථ්‍යාවක ගිලෙන්නට සිදු නොවනු ඇත.