හොඳ සිහිය අහිමි කරගැනීම

වික්ටර් අයිවන්

රටේ විවිධ තල නියෝජනය කරන නායකයන් ලෙස සැලකිය හැකි පුද්ගලයන් පමණක් නොව, රාජ්‍ය නිලධරන්නන්, සාමාන්‍ය සමාජය සේ ම ජනමාධ්‍යයද හොඳ සිහිය අහිමි කර ගනිමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. මෙය රටට හෝ සමාජයකට විය හැකි ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් වන අතර ලංකාවේ ආයතන ක්‍රමය කුණුවී තිබෙන තරම අනුව බලන විට ඇතිවී තිබෙන හොඳ සිහිය අහිමිවීමේ ක්‍රියාවලිය පුදුමයට හේතුවක් නොවන බවද කිව යුතුය.

අස්ගිරිය අනුනාහිමියන් ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව කරන කතාවෙන් මෙම විවරණය ආරම්භ කරනවා වෙනුවට සාමාන්‍ය ජනයාට අදාළ ප්‍රශ්න දෙකක් ලෙස සැලකිය හැකි කිළිනොච්චියේ ගමක දිවියකු මරා දැමීමේ සිද්ධිය හා කෙසෙල් ඉදවීමට පිටකොටුවේ මැනිං වෙළෙඳපොළේ වෙළෙඳුන් රසායනික දියරයක් පාවිච්චි කිරීම ගැන ලිවීමට අදහස් කරමි. ඒ නිසා මිනිසුන් කෙසෙල් මිලදී නොගැනීමෙන් ඉදුණු කෙසෙල් තොග විසි කරන්නට සිදුවීම හා මැනිං වෙළෙඳපොළේ කෙසෙල් වෙළෙඳුන් බෙහෙත් විදින ක්‍රමය අත්හැර පරණ ක්‍රමයට කෙසෙල් ඉදවන්නට ගෙන තිබෙන තීරණය ටෙලිවිෂන් නාලිකා මගින් වාර්තා කිරීමේ සිද්ධිය ගැන කතා කිරීමට අදහස් කරමි. ඉන්පසුව අස්ගිරි අනුනාහිමියන් හිට්ලර් කෙනෙකු වී හෝ රට ගලවා ගන්නා ලෙස ගෝඨාභය රාජපක්ෂගෙන් කරන ලද ඉල්ලීම ඇතුළත් ඓතිහාසික කතාව ගැන කතා කිරීමට බලාපොරොත්තු වෙමි
එකිනෙකට වෙනස් මේ නිදර්ශන තුනම ලංකා සමාජය, එහි නායකයන්, නිලධාරීන් හා සමාජයට උගන්වන අධ්‍යාපන ආයතනය ලෙස සැලකිය හැකි ජනමාධ්‍ය හොඳ සිහිය අහිමි කරගෙන තිබෙන තරම පෙන්නුම් කරන කදිම නිදර්ශන තුනක් ලෙස සැලකිය හැකිය.

දිවියා මැරීමේ සිද්ධිය

කිළිනොච්චියේ ගමක මිනිසුන් දිවියකු මැරීමේ සිද්ධිය ටෙලිවිෂන් මාධ්‍ය ජනතාවට වාර්තා කළේද එම සිද්ධිය විග්‍රහ කළේද මරා දමන ලද දිවියා කෙරෙහි ලොකු අනුකම්පාවකුත්, මරා දැමීමේ සිද්ධියට දායක වූ මිනිසුන් කෙරෙහි උපරිම මට්ටමේ පිළිකුලක් ඇති කිරීමට හේතුවන ආකාරයටය. දිවියා මරන ලද මිනිසුන් තුළ දිවියා අල්ලා ගැනීමට හැකිවීමෙන් හා ඌ මරා දැමීමට හැකිවීමෙන් ලොකු සතුටක් ජනනය වී තිබූ බව ඒ පිළිබඳව පළවූ රූප රාමුවලින් පැහැදිලිව දැකිය හැකිය. කිසියම් ගමක කලක් තිස්සේ භීතියට පත්කිරීමට හේතුවූ පුද්ගලයකු හෝ සතකු අල්ලා ගත් විට මුළු ගමම එම පුද්ගලයා හා සතා වටා මහත් ප්‍රීතියකින් එකට ඒකරාශීවීම ඉතාමත් ස්වාභාවිකය. එම පුද්ගලයා හෝ සතා ගම කෙරෙහි ලොකු භීතියක් ඇති කරනවාට අතිරේකව ලොකු හානියක්ද කර තිබේ නම් ගමේ මිනිසුන් සාමූහිකව එම පුද්ගලයාට හෝ සතාට පහරදීමද ඉතාමත් ස්වාභාවිකය. එවැනි පහරදීමකදී රැස්වූ හැම කෙනකුම පාහේ එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට එම පහරදීමේ ක්‍රියාදාමයට දායකවීමද ස්වාභාවිකය.
මේ දිවියා කොතරම් ලස්සන හෝ දුලබ සතකු වුවද ඌ කිසියම් කලක් ඒ ගමේ මිනිසුන් භීතියට පත් කරන්නට ඇත. ඌ ගමේ මිනිසුන්ට සේ ම ගමේ මිනිසුන් ඇති කරන සතුන්ටද හානි කරන්නට ඇත. උගේ පැමිණීම නිසා ගමේ පුංචි දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා විශේෂ වෙහෙසක් දරන්නට සිදුවන්නට ඇත. දිවියා මැරීමට බලපෑ පසුබිම් කරුණ නොසලකා එම මැරීමට දායක වූ ඒ ගමේ මිනිසුන් දඩයම් කරන ප්‍රතිපත්තියක් සාධාරණ විය හැක්කේ කෙසේද? මෙම මරා දැමීම සිදුවූයේ වනාන්තරයක නම් ඊට දායක වූ අයට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීම සාධාරණය. එහෙත් මරා දැමීම සිදුවූයේ ගමකය. දිවියන් ජීවත් විය යුත්තේ ගම්වල නොව වනාන්තරවලය. එහෙත් දැන් වනාන්තරවල ජීවත් විය යුතු වන සතුන් ජීවත්වන්නේ ගම්වලය.

දිවියා මැරීමේ සිද්ධියට දැනටමත් ඒ ගමේ පුද්ගලයන් හත්දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, ඒ අය අතර පුනරුත්ථාපනය කළ එල්ටීටීඊ පරණ සාමාජිකයකු ද සිටින බව වාර්තා වී තිබේ. එම විශේෂණයේ ඇති වැදගත්කම කුමක්ද? ඔහුගේ සහභාගිත්වය නිසා අප එය තේරුම්ගත යුත්තේ එය එල්ටීටීඊයේ වැඩක් ලෙසද? එල්ටීටීඊයේ ලාංඡනය කොටියාය. ලංකාවේ දිවියන් මිස කොටින් නැත. කොටියා සඳහා ලංකාවට තිබෙන ආදේශනය දිවියාය. ප්‍රභාකරන් ඇති කළේද දිවියෙකි. එල්ටීටීඊ සාමාජිකයකු එල්ටීටීඊ ලාංඡනය ලෙස සැලකිය හැකි දිවියකු මැරී නම් සංකේතාත්මක අර්ථයෙන් ඔහුගේ එම ක්‍රියාව තේරුම් ගත යුතුව තිබෙන්නේ ඔහු එල්ටීටීඊකාරයකු වශයෙන් නොව, එල්ටීටීඊ විරෝධියකු වශයෙනි. දිවියා මැරීමේ ක්‍රියාව දඬුවම් පැමිණවිය යුතු බරපතළ වරදක් ලෙස සලකා ක්‍රියාකළහොත් එම ගමෙන් කාලක් පමණ වන පුද්ගල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට සිදුවිය හැකිය. බරපතළ වැරදි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන රටක ගම්වල සිදුවන මෙවැනි දේවල් සඳහා අකුරටම නීතිය ක්‍රියාත්මක කරවන ප්‍රතිපත්තියක් මහජන කෝපයට හේතුවිය හැකිය.

වන සතුන්ගේ ඇතිවී තිබෙන වේගවත් වර්ධනය හා වනාන්තරවල සිටිය යුතු සතුන් ගම්වල ජීවත්වීම හා උන්ගෙන් ගම්මුන්ට සිදුවන හානි උපරිම මට්ටමකට වර්ධනය වී තිබෙන ආකාරයක් පැහැදිලිව පෙනෙන්නට තිබේ. සමහර ප්‍රදේශවල ගංගා මිනීකන කිඹුලන්ට වෙන්කර දී තිබෙන බවක් පෙනෙන්නට තිබෙන අතර වෙනදා ඒ ගංගා ප්‍රයෝජනයට ගත්තේ මහජනයාය. දැන් එම ගංගාවල කොටු කළ පුංචි කොටස් කිහිපයක් මහජනයාට වෙන්කර දී ගඟේ වැඩි කොටසක් මිනීකන කිඹුලන්ගේ ප්‍රයෝජනය සඳහා ලබාදී තිබේ. මිනී කන කිඹුලන්ට නිදහසේ මිනිසුන් සපාකෑමේ අයිතිය ලබාදී තිබෙන අතර ආත්මාරක්ෂාව සඳහා හෝ කිඹුලන් මරන මිනිසුන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක වන ක්‍රමයක් ක්‍රියාත්මක වේ.

වන සතුන්ට නිදහසේ වර්ධනය වන්නට ඉඩදෙන රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ අලි, මොනරු, වල් ඌරන්, ඉත්තෑවන්, රිලවුන් හා දඬු ලේනුන් වැනි කෘෂිකර්මයට හානි කරන වන සතුන්ගේ ගහණය කෘෂිකර්මයට ඔරොත්තු නොදෙන තරම් ප්‍රමාණයකට වර්ධනය වී තිබෙන අතර ඒ මගින් ගොවීන්ට හා කෘෂිකර්මයට සිදුවන වන හානිය අතිවිශාලය. අවශ්‍ය අවස්ථාවලදී සිය පුරවැසියන් සිය දහස් ගණනින් හෝ මරන්න පසුබට නොවන රාජ්‍යය සතුන් මැරීම හා උන්ගේ මස් කෑම සලකන්නේ පාපයක් ලෙසය. මන්දපෝෂණයේදී ලංකාව සැලකෙන්නේ අංක 1 ලෙසය. රක්තහීනතාවයේ අනුපාතිකයද ඉහළම මට්ටමක පවතී. රටේ මාංශජනක ආහාරවල අඩුවක් නැතත් ඒවා ආහාරයට ගැනීම සැලකෙන්නේ පාපයක් ලෙසය. මන්දපෝෂණයෙන් පෙළෙන්නන් සලකන්නට සිදුවී තිබෙන්නේ හොඳ මතු ජීවිතයක් සඳහා දුක් විඳින භාග්‍යවන්තයන් ලෙසය.

වස විස දැමූ කෙසෙල්ගෙඩි

අතීතයේදී උත්සව අවස්ථාවලදී කෙසෙල් ඉදවීම සඳහා යොදාගත් ජනප්‍රිය ක්‍රමය වූයේ කෙසෙල් කැනේ ඇවරි කපා පෙට්ටියකට දැමූ කෙසෙල්වලට කජු කොළ හෝ බිලිං කොළ දමා හෝ කෙසෙල් කැන් වළලා එම වළට දුම් ගැසීමය. ඒ ක්‍රම දෙකේදීම සිදුවන්නේ එතලින් වායු තත්ත්වයක් ඇති කිරීම මගින් කෙසෙල් ඉදෙන්නට සැලැස්වීමය. වර්තමානයේ මහා පරිමාණයෙන් කරවන ඉදවීම සඳහා ඒ පැරණි ක්‍රමය යොදාගත නොහැකි බැවින් දැන් කෙරෙන්නේ එතලින් දියරය විදිනයක ආධාරයෙන් කෙසෙල් කැන් මත විදීමය. ඒ ක්‍රමය නිර්දේශ කර තිබෙන්නේ රජයේ ආයතනයක් වන පසු අස්වැන්න තාක්ෂණික ආයතනය විසිනි. කෙසෙල් පමණක් නොව වෙනත් සමහර පලතුරු වර්ග ඉදවා ගැනීම සඳහාද ඒ ක්‍රමය යොදා ගනී. එය කවර මට්ටමකින්වත් ශරීරයට හානිකරන වස විස ගණයෙහිලා සැලකිය නොහැකිය. එහෙත් ඒවා පලතුරු ඉදවීම සඳහා පාවිච්චි කිරීමේදී නිසි මාත්‍රාවක් නොදැක අධික ලෙස පාවිච්චි කිරීම හා ඒවා හොඳින් පැසුණු පලතුරු සඳහා යොදා ගන්නවා වෙනුවට අමු පලතුරු සඳහා යොදා ගැනීම ලංකාවේ පොදුවේ දක්නට ලැබෙන ලොකු දෝෂයක් ලෙස සැලකිය හැකිය. ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබා නොදීමේ වරද භාරගත යුත්තේ රජයේ කෘෂි නිලධාරීන්ය. ගමකට සිටින කෘෂි නිලධාරීන් ගණන සේ ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට සිටින කෘෂි නිලධාරීන් සංඛ්‍යාව අතිවිශාලය. කෘෂිකර්මයේ දියුණුව පිණිස ඔවුන්ගෙන් ප්‍රමාණවත් සේවාවක් වේද යන්න ප්‍රශ්නයකි. ඔවුන්ගේ කටයුතු අධීක්ෂණයට ලක් කෙරෙන විධිමත් ක්‍රමයක් තිබෙන බවද පෙනෙන්නේ නැත. එතලින් පරිහරණය නිවැරදි කරන තැනකට නොගොස් එතලින් වස විසක් ලෙස හඳුන්වා මහජනයා බියගැන්වීම බරපතළ වරදක් නොවන්නේ කෙසේද?

අද පලතුරු වෙළෙඳුන්ට පලතුරු විකුණන්නට සිදුවී තිබෙන්නේ වස විස නොදැමූ පලතුරු වශයෙන් හඳුන්වන බෝඞ් ලෑලිද එල්ලාගෙනය. මෙම තත්ත්වයට ප්‍රධාන කොට වසවිස න්‍යායවාදීන්ද ජනමාධ්‍යයද වගකිව යුතුය. වස විස සහිත පලතුරු ගැන ජනමාධ්‍ය ඇතිකර තිබෙන බොරු බිය පලතුරු කඩවල විකුණන්නට තිබෙන පලතුරු කෑමෙන් මහජනයා වැළකී සිටින තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ. පාපය සලකා මස්ද, වස විස සලකා පලතුරු හා එළවළුද මහජනයා ආහාරයට නොගනී. රසායන පොහොර හෝ පළිබෝධනාශක පාවිච්චි නොකරන ගොවිතැන් ක්‍රමයකට රට තල්ලු කිරීමට හේතුවූයේ එම මෝඩ මතවාදයයි. එහි අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ දේශීය කෘෂිකර්මයේ ලොකු බිඳ වැටීමක් ඇතිවී ලංකාවේ වගා කරගත් බොහෝ දේ ආනයනය කළයුතු තැනකට රට තල්ලුවීමය. වස විස ගැන රටේ ලොකු කෑගැහිල්ලක් තිබෙන්නේ රටේ වගා කරන දේවලට අදාළවය. පිටරටින් ආනයනය කරන දේවලට එවැනි කෑගැහිල්ලක් නැත. පිටරටින් ආනයනය කෙරෙන සියලුම කෘෂි නිෂ්පාදනයන් සඳහා කෘෂි රසායන හා පළිබෝධනාශක පාවිච්චි කරයි. එම රටවල් වල් නැසීම සඳහා ග්ලයිෆොසෙට් යොදා ගනී. වස විස න්‍යායවාදීන්ට ඒ ගැන කිසිදු විවේචනයක් නැත. ඔවුන්ගේ විවේචනයට හේතුවී තිබෙන්නේ ලංකාවේ වගා කරන දේවල් ගැනය. ඒ නිසා ආනයනය කරන දේවල් බාධාවකින් තොරව විකිණෙන තත්ත්වයකුත් දේශීය වශයෙන් වගා කරන දේවල් විකුණාගත නොහැකි තත්ත්වයකුත් ඇති කිරීමට හේතුවී තිබේ. අවසාන විග්‍රහයේදී දේශීය කෘෂිකර්මයේ මිනීවල හාරන්නන් බවට පත්ව සිටිනුයේ විදේශිකයන් නොව, දේශප්‍රේමී සළුපිළි හැඳගත් දේශිකයන්ය.

වස විස ලෙස හැඳින්වෙන රසායන පොහොර හෝ පළිබෝධනාශක පාවිච්චි නොකොට කටු පොහොර යොදා වගා කළ යුගයක් නිදහසෙන් පසුද ලංකාවට තිබුණි. ඒ කාලයේ (1954-55) කුඹුරු අක්කරයක අස්වැන්න බුසල් 30.19ක් විය. රටේ සහල් අවශ්‍යතාවන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් ලබාගත්තේ ආනයනයෙනි. වී ගොවිතැනේ පැවති එම කාලකණ්ණි තත්ත්වය ජයගත්තේ කටු පොහොරවලින් හෝ සාම්ප්‍රදායික වීවලින් නොව නව වැඩි දියුණු කළ නව වී වර්ගද, රසායන පොහොර හා පළිබෝධනාශක සමග නව ගොවිතැන් ක්‍රම යොදා ගන්නා නවීන කෘෂිකර්මයට මාරුවීමෙනි. වර්තමානයේ ලංකාවේ වී නිෂ්පාදනයේ ඵලදාව හෙක්ටයාරයකට කි.ග්‍රෑම් 4428කි. නවීන කෘෂිකර්ම පිළිවෙත්වලට මාරුවෙමින් ලොකු ඉදිරි පිම්මක් පනිනවා වෙනුවට අප කළේ වස විස නැති කෘෂිකර්මයක් ගැන කතා කරමින් නැවත කටු පොහොර ගොවිතැනට මාරුවීමය. ඉන් රටේ ආර්ථිකයටත්, කෘෂිකර්මයට හා ගොවි ජනතාවටත් සිදුවී තිබෙන හානිය අතිවිශාලය. මෙම මෝඩ අත්හදා බැලීමට රට තල්ලු කිරීමට ජනමාධ්‍යයද ලොකු කාර්යභාරයක් ඉටු කළේය. වස විස ලේබලයට මුවාවී දේශීය පලතුරු ගැන බියක් ඇති කිරීමෙන් විය හැක්කේ රටේ පලතුරු වගාවද විනාශ වී රටට අවශ්‍ය පලතුරු පිටරටින් ගෙන්වන තැනකට රට තල්ලු කිරීමය.දිවියා පිළිබඳ නිදර්ශනයෙන් සේ ම පලතුරු පිළිබඳ නිදර්ශනයෙන්ද රටක් වශයෙන් හොඳ සිහිය අහිමි කරගෙන තිබෙන තරම තේරුම්ගත හැකිය.

හිට්ලර් කෙනකු ඉල්ලා සිටීම

අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමියන් හමුදා ආණ්ඩුවක් මගින් හෝ හිට්ලර් කෙනකු වීම මගින් රට ගලවා ගන්නා ලෙසට ගෝඨාභය රාජපක්ෂගෙන් කරන ලද සාහසික ඉල්ලීම රටේ ආගමික නායකයන් හොඳ සිහිය අහිමි කරගෙන තිබෙන තරම පෙන්නුම් කරන කදිම අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එවැනි ප්‍රකාශයක් ආගමික නායකයකු තබා කවර පුද්ගලයකු විසින්වත් ප්‍රසිද්ධියේ කරනු ඇතැයි සිතිය නොහැකිය. ආගමික නායකයෙක් හමුදා පාලනයක් ඉල්ලා සිටීම බරපතළ වරදක් වනවා සේ ම ආගමික නායකයකු හිට්ලර් වැනි පාලකයකු ඉල්ලා සිටීම සැලකිය හැක්කේ පළමු වරද මෙන් සිය දහස් ගුණයක් බරපතළ වරදක් ලෙසය. හිට්ලර් තරම් ලෝක ඉතිහාසයේ නින්දාවට හා පිළිකුළට හේතුවූ තවත් නායකයකු නැති තරම්ය. ජර්මනියේ හා ජර්මනියේ අණසකට යටත්ව තිබූ රටවල හිට්ලර් පවත්වාගෙන ගිය වධකාගාර මහජන ප්‍රදර්ශනයට පවත්වාගෙන යන කෞතුකාගාර බවට සංරක්ෂණය කර තිබෙන්නේ නැවත හිට්ලර් වැනි නායකයකු ලොව පහළවීම වැළකීම සඳහාය. හිට්ලර්ට තිබෙන පිළිගැනීම එවැනි අධම තත්ත්වයක තිබියදී ලංකාවේ ආගමික නායකයකු ලංකාව බේරා ගැනීම සඳහා හිට්ලර් වැනි නායකයකු පිළිබඳ බලාපොරොත්තු ප්‍රසිද්ධියේ පළකරයි නම් රට ඇද වැටී තිබෙන දේශපාලන මුග්ධභාවයේ තරම ඉන් තේරුම් ගත හැකිය. එය රටට හා ජනතාවට කරන ලද අපහාසයක් වනවා සේ ම බුදුන් වහන්සේට හා බුද්ධාගමට කරන ලද බරපතළ අපහාසයක් ලෙසද සැලකිය හැකිය. ඒ ප්‍රකාශයෙන් ගෝඨාභය රාජපක්ෂටද නරකක් මිස හොඳක් සිදුවිය නොහැකිය.

අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමි අපේක්ෂා කරන්නේ ඒකාධිපති ක්‍රමයකි. තෝරා ගැනීම තිබෙන සියලු පාලන ක්‍රම සඳහා තිබෙන ආකෘති අතර ඒකාධිපති ආකෘතිය සැලකෙන්නේ නරකම ආකෘතිය ලෙසය. ලංකාවේ ජනතාවද ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට මිස ඒකාධිපති ක්‍රමයකට කැමති නැති ජනතාවක් ලෙස සනාථ කර තිබෙන ජනතාවක් ලෙස සැලකිය හැකිය. නිදහසට ඇති කැමැත්ත ලංකාවේ ජනතාවගේ නෛසර්ගික ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. එම ශික්ෂණය බුද්ධාගමෙන් ලැබී තිබෙන ශික්ෂණයක් ලෙසද සැලකිය හැකිය.

ලංකාව බිහිකළ ඉතාමත් බලවත් ජනාධිපතිවරයකු ලෙස සැලකිය හැකි පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් හිමි කරගත් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ අපේක්ෂාව වූයේ සිංගප්පූරුවේ හෝ මැලේසියාවේ මෙන් කලින් කල මැතිවරණ පැවැත්වෙන එහෙත් විරුද්ධ පක්ෂවල ක්‍රියාකාරීත්වය බෝඞ් ලෑලිවලට පමණක් සීමා කළ පාලක පක්ෂය මැතිවරණවලින් වෙනස් නොවන ක්‍රමයක් ලංකාවේ ස්ථාපිත කිරීමය. එහෙත් ඍජු ඒකාධිපති ක්‍රමයක් වෙනුවට එවැනි වක්‍ර ඒකාධිපති ක්‍රමයකටද ලංකාවේ මහජනයා ඉඩ දුන්නේ නැත. ජේ.ආර්. ජයවර්ධනගේ සිහිනය ලංකාවේ ජනතාව බොරු කළේය. ඉන්පසු ලංකාව බිහිකළ තවත් බලවත් ජනාධිපතිවරයකු ලෙස සැලකිය හැකි මහින්ද රාපජක්ෂ ජනාධිපතිවරයාගේ ඒකාධිපති නැඹුරුවටද මහජනයා ඉඩ දුන්නේ නැත. රට උපරිම මට්ටමකට කුණුවූ තත්ත්වයකට පත්ව තිබුණද ඊට තිබෙන විසඳුම ඒකාධිපති පාලනයක් වේ යැයි මහජනතාව විශ්වාස කරන්නේ නැත.

ලංකාවේ ආරක්ෂක හමුදා ගොඩනගා තිබෙන විශේෂ ස්වභාවය අනුව ලංකාව හමුදා ආණ්ඩු පාලනයකට ඉඩක් ඇත්තේම නැති රටක් ලෙස සැලකිය හැකිය. හමුදා පාලනයක් තිබුණු හෝ තිබෙන හැම රටකම ආරක්ෂක හමුදා ගොඩනගා තිබෙන්නේ අවවරප්‍රසාදී පන්ති හෝ සමාජ කණ්ඩායම්වලින් එන පුද්ගලයන්ට උසස් නිලතලවලට එකතුවීමට ඉඩක් නොලැබෙන ආකාරයටය. උසස් නිලතල හැමවිටම විශේෂ පන්තියක හෝ විශේෂ වරප්‍රසාදලාභී කණ්ඩායමක ඒකාධිකාරයක් ලෙස පවතී. එහෙත් ලංකාවේ ආරක්ෂක හමුදා ගොඩනගා තිබෙන්නේ පන්ති විශේෂයක් නැතිව පහළම පන්තියකින් හෝ පහළම සමාජ කණ්ඩායමකින් එන පුද්ගලයකුට වුවද උසස් නිලතලවලට යාහැකි තත්ත්වයකටය. එම විශේෂ තත්ත්වය කවර පුද්ගලයකුටවත් සුපිරි දේශපාලන ආධිපත්‍යයක් ඇති කරගත නොහැකි පසුබිමක් ඇතිකර තිබෙන අතර එම තත්ත්වය හමුදා කුමන්ත්‍රණයකින් හෝ වෙනත් ආකාරයකින් හමුදාවට දේශපාලන බලය අල්ලා ගැනීම පහසු නොවන දෙයක් බවට පත්කිරීමට හේතුවී තිබෙන්නේ යැයි කිව හැකිය. ඒ නිසා ආරක්ෂක හමුදාවල මොනම නායකයකුටවත් හමුදාවල පොදු පිළිගැනීමක් ලබාගැනීමට හැකිවන්නේ නැත. ආරක්ෂක හමුදාවල වැදගත් හා බලවත් පුද්ගලයන් ලෙස සැලකිය හැකි ඩෙන්සිල් කොබ්බෑකඩුව, සිසිල් වෛද්‍යරත්න, ජානක පෙරේරාට හා සරත් ෆොන්සේකා යන අයට ඒකමතික පිළිගැනීමක් තිබුණේ නැත. ඒ හැම කෙනකුටම විරුද්ධව යන බලවත් චරිත හමුදාව තුළ සිටියෝය. ලංකාවේ ආරක්ෂක හමුදාවන්ගේ පන්ති ස්වරූපයට ආවේණික මෙම විශේෂ ලක්ෂණය නිසා වෙනත් සමහර රටවල මෙන් ආරක්ෂක හමුදාවන්ටද බලය අල්ලා ගැනීමක් සිදුකිරීමේ ඉඩක් ඇත්තේම නැති තරම්ය.

හමුදා පාලනයකට තිබෙන ඉඩ වළකන තවත් වැදගත් සාධකයක් පවතී. එය නම් ලංකාවේ පිහිටීමට ලැබී තිබෙන උපාය මාර්ගික වැදගත්කම නිසාම ලෝක බලවතකුගේ අනුග්‍රහය නැතිව හා ඉන්දියාවේ එකඟතාව නැතිව ලංකාවේ හමුදා ආණ්ඩුවක් පවත්වා ගෙනයෑමේ ඇත්ත හැකියාවක් නැතැයි කිව හැකිය. ඉන්දු ලංකා ගිවිසුමට පෙර සහනාධාර රැගත් බෝට්ටු ආපසු හරවා යැවීමෙන් පසු එම සහනාධාර අහසින් හෙළන බවට ඉන්දියාව ලංකාවට දැනුම්දීමෙන් පසුව ඉන්දියාව අනුගමනය කරන්නට යන ගුවන් සීමාව ආක්‍රමණය කරන ප්‍රතිපත්තිය ඉදිරියේ ලංකාව කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුද යන්න ගැන තීරණයක් ගැනීම සඳහා පැවති ආරක්ෂක මණ්ඩල සාකච්ඡාවේදී එහි සිටි කිසිවෙක් පෙරළා පහර දෙන ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී නොසිටියෝය. සියලු ආරක්ෂක හමුදා ප්‍රධානීහු සිටියෝ පරාජිත තත්ත්වයකය. අන්තර්ජාතික තලයට ගිය විට අපට හිමි නියම තත්ත්වය ඒ ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය. ඒ නිසා හමුදා ආණ්ඩු පාලනයක් ගැන අනුනාහිමියන් වහන්සේ දකින සිහිනයද සැලකිය යුත්තේ සැබෑ කරගත නොහැකි සිහිනයක් ලෙසය.

බුද්ධ ශාසනයද ඇතුළුව ලංකාවේ ආගමික ආයතන අර්බුදයේ පාර්ශ්වකරුවකු ලෙස ක්‍රියාකර තිබෙනවා විනා එය විසඳාදීම සඳහා ක්‍රියාකරන විසඳුම්කරුවකු ලෙස ක්‍රියා කර නැත. ආගමික ආයතනවල එම ප්‍රවේශය ලංකාවේ අර්බුදය උග්‍ර කරන වැදගත් සාධකයක් ලෙස ක්‍රියාකර තිබෙන බවද කිව යුතුය. බුදුන් වහන්සේද ඇතුළුව ආගමික ශාස්තෘවරුන් ප්‍රශ්න පොදු මානව කෝණයකින් මිස වාර්ගික ආගමික හෝ කුල කෝණයකින් සලකා බලා නැත. එහෙත් අනුනාහිමියන් ප්‍රශ්න දෙස බලන බව පෙනෙන්නේ පොදු මානව කෝණයකින් නොව වාර්ගික හා ආගමික කෝණයකිනි.

නූතන යුගයේ ලංකාවේ සංඝරත්නයද පුපුරන ප්‍රශ්නවලදී මහජනයාට ලබාදී තිබෙන මගපෙන්වීම් හැමවිටම නිවැරදි නොවූ බවද මේ අවස්ථාවේ පෙන්වාදීම වැදගත්ය. 1954 එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක බලයට පත් කරන වැඩසටහනේ ප්‍රවර්තක බලය ලෙස ක්‍රියා කළේ සංඝයා වහන්සේලාය. බණ්ඩාරනායක සිංහල පමණක් ප්‍රතිපත්තියකට තල්ලු කළේද උන්වහන්සේලාය. එම අන්තවාදී ප්‍රතිපත්තිය සිංහලයන් අතර පැවති ද්වි භාෂිත නැඹුරුව නැති කොට සිංහලයෝ ඒක භාෂකයින් බවට පත් කළහ. ඒ නිසා සිංහල තරුණයන්ට දැන් කොරියන් භාෂාව ඉගෙන ගන්නට සිදුවී තිබෙන්නේ යැයි කිව හැකිය. අවසානයේ බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කෙරෙව්වේද කැලණිය පන්සලේ මහනායක හිමියන්ය. එය ලංකාවේ සිදුවූ පළමු දේශපාලන ඝාතනය ලෙසද සැලකිය හැකිය.

ඉන්දු-ලංකා ගිවිසුම අවස්ථාවේදී මහා සංඝ රත්නය ජනතාවට ලබාදෙන ලද මගපෙන්වීම් නිවැරදි හෝ යහපත් වී යැයි කිව නොහැකිය. එම මගපෙන්වීම් ගිවිසුම නිසා ඇතිව තිබූ ව්‍යාකූල තත්ත්වය උග්‍ර කිරීමට හේතුවූ අතර ජවිපෙ දෙවැනි කැරැල්ල කරළියට ගෙනාවේ එම සමාජ වටාපිටාව ප්‍රයෝජනයට ගනිමිනි. උතුරේ ප්‍රචණ්ඩ කැරැල්ලක් ඇතිව තිබුණු අවස්ථාවක දකුණේද ප්‍රචණ්ඩ කැරැල්ලක් කරළියට ආ එම අවස්ථාවේදී ඉන්දියානු හමුදා ලංකාවට නොගෙනාවේ නම් ලංකාවේ ආරක්ෂක හමුදාවලට එකවිට බිහිසුණු කැරලි දෙකකට මුහුණ දෙන්නට සිදුවන තත්ත්වයක් තුළ ලංකා රාජ්‍යයේ පැවැත්ම පවා බිඳ වැටෙන තත්ත්වයකට පත්වන්නට ඉඩ තිබුණි. තරුණ සංඝයා වහන්සේලා ජේවීපී දෙවැනි කැරැල්ලට ක්‍රියාකාරී ලෙස දායක වූ අතර ආරක්ෂක හමුදා අතින් ඝාතනයට ලක්වූ සංඝයා වහන්සේලාගේ ප්‍රමාණයද විශාලය. එම කැරැල්ල ආරක්ෂක හමුදා විසින් මර්දනය කරනු ලැබීමෙන් පසු ලංකාවේ සංඝයා වහන්සේලා ආරක්ෂක හමුදා රට ගලවා ගත් රණවිරුවන් ලෙස සලකනු ලැබුවේද නැත.

ගංගොඩවිල සෝම හිමියන් රුසියාවේදී හෘදයා බාධයකින් අපවත්වීමේ සිද්ධියේදීද එය ස්වභාවිකව සිදුවී තිබෙන අපවත්වීමක් නොව කුමන්ත්‍රණයකින් කර තිබෙන අපවත් කිරීමක් බව ප්‍රකාශ කරමින් ලංකාවේ ඇතැම් සංඝයා වහන්සේලා රටේ ලොකු කලබැගෑනියක් ඇති කළහ. ඒ කලබගෑනියේ උණුසුම ප්‍රයෝජනයට ගෙන භික්ෂූන් වහන්සේලා ගණනාවක් පාර්ලිමේන්තුවටද තේරී පත්වූහ. පාර්ලිමේන්තුවේ ගමන් මග වෙනස් කරන බවට පුන පුනා කියනු ලැබුවද පාර්ලිමේන්තුවේ ගමන් මග වෙනස් කරනු තබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැවැත්මට වෙනස් යහපැවැත්මක්වත් පෙන්නුම් කිරීමට උන්වහන්සේලා සමත් වූයේ නැත.

ලෝක ඉතිහාසය තුළ පූජකයන් රඟපෑ භූමිකාව ඉතා බලවත් වුවත් ඓතිහාසික සංවර්ධනයේ විශේෂ අවස්ථාවකදී පූජකයන්ට තිබෙන ආධිපත්‍යයේ බිඳ වැටීමක් ඇතිවීමද පොදු ධර්මතාවක් ලෙස සැලකිය හැකිය. පූජ්‍ය පක්ෂයට ඒ ධර්මතාව ගැන අවබෝධයක් තිබිය යුතුය. යුරෝපය පුනරුද යුගයට අවතීර්ණවන්නේ පූජකයන්ට තිබූ අතිවිශාල ආධිපත්‍යයේ ලොකු බිඳවැටීමක් ඇතිවීමත් සමගය. එම ධර්මතාව ලංකාවට සේ ම වෙනත් රටවලටද අදාළය.