රාවය

ඇතුගලදී දුටු මීතොටමුල්ල

ඇතුගලදී දුටු මීතොටමුල්ල

රසික ගුණවර්ධන

කුරුණෑගල ඇතුගලේ සුදෝ සුදු බුදු පිළිම වහන්සේ වැඩ සිටින්නේ කුරුණෑගල නගරය දෙසට ඇස් යොමාගෙනය. ඇතුගලද වැවද සුන්දරය, මේ කියන්නට යන්නේ ඒ මනස්කාන්ත බව පිළිබඳ කතාව නොවේ. මේ කියන්නේ කුරුණෑගල ගඳගස්සන කතාවකි. කුරුණෑගල කුණු ගැන කතාවකි.

දෛනිකව කුරුණෑගලට පැමිණෙන්නේ යැයි සලකන පිරිස ලක්ෂයකට ආසන්නය. කුරුණෑගල නගර සීමාව තුළ පදිංචි පිරිසද ලක්ෂයක් පමණ වෙති. එසේම කුරුණෑගල නගරය තුළ පිහිටා ඇති රජයේ පාසල් ප්‍රමාණය දහයකට ආසන්නය. ඊට අමතරව පෞද්ගලික පාසල්ද පෞද්ගලික විශ්වවිද්‍යාලද විශාල ප්‍රමාණයක් පවතී. එසේම කුරුණෑගල පිහිටා ඇති රජයේ හා පෞද්ගලික ආයතන සංඛ්‍යාවද විශාලය. මේ සියල්ලෙන්ම දිනකට ඉවත්කෙරෙනවා යැයි සැලකෙන කුණු ප්‍රමාණය දළ වශයෙන් ටොන් පනස් තුනකි!

ඔබ සිතන්නේ මේ සා විශාල කුණු තොගයක් කොහේ නම් ගෙනගොස් දමනවා කියා ද? ඔබ කෙලෙස සිතුවද මේ කුණු ටොන් පනස් තුනම ගෙනගොස් හලන්නේ කුරුණෑගල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන රක්ෂිතයක අල්ලපු වැටේ ඇති එළිමහන් භූමියකටය. දිනකට ටොන් පනස්තුන බැගින් දිනපතා කුණු ගෙනගොස් දමන ස්ථානයක ස්වරූපය කෙබඳු දැයි ඔබට සිතාගත හැකිද? එය ඉතා විශාල කුණු කන්දකි. මේ කුරුණෑගල සූරියවත්තයි. ප්‍රදේශයේ පවුල් දෙසීයක් පමණ සිටිති. මේ සියල්ලෝ කුණු කන්ද නිසා පීඩාවට පත්ව සිටිති. ගෙදරක කෑම වේලක් උයාගෙන කන්නට බැරිය. ඒවා මුලින් කන්නේ මැස්සන්ය. දුර්ගන්ධය ඊට හපන්ය. ඒ ගඳ නාස් පුඩු හකුළා ගත්තද මොළය කරා නොපැමිණ නොසිටී.

මේ වනවිට කුණු දමන ප්‍රදේශය මාර්ගය අසලටම පැමිණ ඇත. අවම තරමින් බැම්මක් හෝ නොමැත. මෙහි ඇත්තේ කුණු කන්දම පමණක් නොව, මෙය කුණු ප්‍රතිචක්‍රීකරණය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වේ. එහෙත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කුණු ගොඩකි. පිවිසීමට ඇති එක් මාර්ගයක් ඇත්තේ කුණු වලින් වැසීය. ඒ කුණු ටින් බෙලෙක්ක කුණු නොව පිළිණු වූ ගඳ ගසන කුණුය. වර්ෂාව නැතුවද ඒ ප්‍රදේශය තෙත්ය. සෙරෙප්පු අතරින් චිරි චිරි ගා ඒ තෙත මතුවේ. එය අප්‍රසන්නය.
මෙහි පිවිසෙන තැන බෝඞ් කැබැල්ලක් දිරා ගිය කණු දෙකක ගැටගසා ඇත්තේ කුණු කොටස් කර ආයතනයට භාර දෙන ලෙසටය. එසේ දැන්වීමක් දමා ඇත්තේ මිනිසුන් පාරේ කුණු බෑග් දමා යන නිසා බව අපට ප්‍රදේශවාසීන් කීවද එම දැන්වීම දැමුවද අදාළ කාර්යාලය වෙතට යහතින් ගොස් කුණු භාරදී නැවත පැමිණීමට නම් ඔබ ඊට සරිලන බූට් සපත්තු දමා විශේෂ ඇඳුමකින් සැරසී පැමිණිය යුතුය. ඒ ප්‍රදේශය ඒ තරමටම අපිරිසිදුය.

අප එහි ඇතුළු වූ විට අප වළක්වන්නට එහි සිටි ස්ථාන භාර නිලධාරියා යැයි කියූ පුද්ගලයකු කටයුතු කළේය. ඔහු කීවේ එහි ඇතුළුවීමට හා ඡායාරූප ගැනීමට නම් නගර සභාවෙන් අවසර ගෙන පැමිණෙන ලෙසය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයකු මෙහි නැති දැයි අප විමසූ විට ඔහු කීවේ ඔහු දිනපතා මෙහි පැමිණෙන මුත් එවලේ එහි නොසිටින බවයි. එහෙත් ගමේ පිරිස කියන්නේ දිනපතා මෙහි එන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියකු නැති බවයි. විවෘත භූමියකට, මහජනතාව සිටින භූමියකට කුණු දමන තැන තාක්ෂණ නිලධාරියකු නොසිටීම කෙසේ සාධාරණය කළ හැකිදැයි ඇත්තේ පැනයකි.

මග සලකුණු

නිතර යනෙන විවෘත කුණු ට්‍රැක්ටර් නිසා අපට කුණු කන්දට යන මාර්ගය සොයා ගැනීමට අපහසු වූයේ නැත. ට්‍රැක්ටරය නොපෙනී ගියද එය වහනය කරමින් යන කුණු ගඳම පාර සොයා ගැනීමට ඉවහල් වෙයි. එය මග හැරුණද මග දෙපස හලායන කුණු කන්දල් මග සලකුණු ලෙස කුණු කන්ද දක්වාම වැටී ඇත.
එහෙත් අපට පසුව දැනගන්නට ලැබුණේ කුණු ප්‍රවාහනය කරන විට ඒවා වහගෙන ප්‍රවාහනය කරන ලෙස ද, මඟ හැලෙන කුණු කුණු ප්‍රතිචක්‍රීකරණ සේවකන් යොදා ඇහිලිය යුතු බවටද මීට පෙර නියෝග කර ඇති බවයි. ඒ නියෝග තුට්ටුවකට මායිම් කරන බවක් පෙනෙන්නට නැත. ගම්වාසී අජිත් කීවේ එය එසේ වන්නට හේතුවයි. “මොන දෙයක්ද දන්නෑ, කුණු එකතු කරන අයට කට්ටිය බයයි. ඒ ගොල්ලන්ට ඕනෙ විදිහට තමයි මෙතන වැඩ කෙරෙන්නේ.”
ඔහු කියන ආකාරයට පනවා ඇති නියෝග ක්‍රියාත්මක වන්නේ මෙහි සිටින සුළු සේවකයන්ගේ උවමනාවටය. ඒවා සොයා බැලීම සහ ක්‍රියාත්මක නොවීම පිටුපස ඇත්තේ බලධාරීන්ගේ බය හෝ නොසැලකිලිමත්කම විය හැකිය.

කන්දේ කතාව

අජිත්ගේ නිවස පිහිටා තිබෙන්නේ කුණු කන්ද ඉදිරිපිටය. අප එම නිවසට ගොඩ වූයේ අජිත් මේ කුණු කන්දට එරෙහිව ක්‍රියා කරන ප්‍රදේශවාසීන් කිහිපදෙනා අතුරින් කෙනකු නිසාය. ඔහු අපට කී කතාව මෙසේය. “ඉස්සර අපි මේ ඉඩම් ගනිද්දිත් මෙතන මේ කුණු කන්ද තිබිල තියනවා. හැබැයි මම කළුතර ඉඳන් මෙහෙට ආව නිසා ඒ බවක් දැනගෙන හිටියේ නෑ. මොකද ඒ කාලේ මෙතන ලොකු බැම්මක් ගහල තිබ්බෙ. කොහොම හරි ටික කාලයක් යනකොට අපට මෙතන ඉන්ඩම බැරුව ගියා. ඊට පස්සෙ අපි හිටියේ අපේ ඔෆිස් එකේ ක්වාටස් වල. කොහොම හරි ළමයි ලොකු වුණාට පස්සෙ ආපහු මෙහාට ආවා. අපි අපට වෙන අපහසුතාවන් ගැන බලධාරීන්ට දැනුම් දුන්නත් ඒගොල්ලෝ කිසිම ප්‍රතිචාරයක් දැක්වූවේ නෑ. ඊට පස්සේ මීතොටමුල්ල කුණු කන්ද නාය ගියත් එක්කම අපිටත් බය හිතුණා. ඇයි කොයි වෙලේ මේක ගලවගෙන එයිද දන්නෑනේ. ඊට පස්සෙ තමයි අපි කුණු කන්දට එරෙහිව සංවිධානය වෙන්ඩ පටන් ගත්තේ. සත්තු ඇවිල්ලා කුණු ගොඬේ තියන මස් කටු ගෙනත් දානවා. මස් කෑලි ගෙනත් දානවා. ඒව වහළවල් වලට වැටුණහම වහලෙන් පණුවො ගෙවල් ඇතුළට වැටෙනවා. ඒවා ළිංවලට වැටෙනවා, එතකොට වතුර ටිකක්වත් පාවිච්චි කරන්ඩ බෑ. වැස්ස කලෙට තනිකරම කුණු කන්ද හෝදගෙන ඇවිල්ල කුණු වතුර මේ අපේ ගෙවල් දිහාට ගලාගෙන යන්නේ. ඒකට කාණුවක් හැදුවා දැන් තනිකරම අර කුණු වතුර ටික කුඹුරු වලට ගලාගෙන යන්නේ.”
“අපි බොන්න වතුර ගන්නෙත් සල්ලි වලට. වත්තෙ ළිඳක් තියනව, ඒ වතුර බොන්ඩ බෑ. ජරා වෙලා.”

ගම විනාශයි.

වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ රක්ෂිතය මේ කුණුගොඩ වටා ඇත. ඒ රක්ෂිතයේ විශාල ගස් ප්‍රමාණයක් තිබෙන අතර කුණු ගොඩද ගස් තරමටම උස් ය. කුණු කන්දෙන් විසිරුණු පොළිතින් බෑග් පෙරකී රක්ෂිතය පුරා විසිරී ඇත. එසේම රක්ෂිතයේ මාර්ගය අසල පෙනෙන ප්‍රදේශයේද කුණු ගොඩවල් දැකගැනීමට අපට හැකිවිය. ප්‍රදේශවාසීන් කියන පරිදි මේ වනයේ විශාල සත්ව ප්‍රභේද ගණනක් ද ඇත. මෙවැනි ජෛව විවිධත්වයෙන් අනූන පරිසරයකට කුණු ගෙනැවිත් දැමීම කෙතරම් ගැළපේදැයි විමසා බැලීමට තවම කිසිවකු ඉදිරිපත් නොවීම කනගාටුදායකය.

ජයතිලක මේ ප්‍රදේශයේ ජීවත් වූවෙකි. ඔහු කියන්නේ මෙවැනි කතාවක්ය. “ඉස්සර අපි මේ ඇළ දොළ වල බැහැල නෑව කළා. මේ වතුර හොඳ පිරිසිදුව තිබ්බේ. මාළු පැටව් ඔය වතුර වළවල් වල හිටියා. ඔය කුණු කන්ද ආවට පස්සේ තමයි ඔක්කොම විනාශ වුණේ. ඇළක දොළක බහින්ඩ බෑ, ඔක්කොම විනාසයි. ළමයින්ට නම් කොහොමත් මේ ගඳ ඉවසන්ඩ බෑ, කෑමක් කන්ඩ බෑ, මැස්සො හැමතැනම. අපි කවදාවත් සල්ලිවලට වතුර බීවෙ නෑ, දැන් වතුර ටිකක් බොන්ඩ වෙලා තියෙන්නෙත් සල්ලි වලට. ඉස්සර මේ කුඹුරු ටික හොඳ සරු සාරෙට හැදුණා. දැන් මනුස්සයකුට බහින්ඩ බෑ. කුණු කන්ද ආව විතරයි ගමම විනාශ වුණා. ඉස්සර ඕක හරි ලස්සනට තිබුණා. කුණු කන්දෙ පලතුරු, එළවළු ගස් තිබ්බා. අපි ගිහිල්ලා ඒකෙන් ගෙඩි කඩාගෙන එනවා. ඉස්සර ඉස්පිරිතාලෙන් ඩොක්ටර්ස්ලා නර්ස්ලා ඇවිල්ලා ඕකට තෙල් ගහලා බෙහෙත් ගහලා හරි ලස්සනට කළා.”
අසූ හතරෙන්, හතරෙන් තුනක් පුරන්.

ප්‍රදේශයේ ඇති කුඹුරු අක්කර ප්‍රමාණය අක්කර අසූ හතරකි. එයින් හතරෙන් තුනක්ම මේ වන විට වගා නොකරන බව කීවේ කළපුගෙදර ගොවි සංවිධානයේ ලේකම් ජයවර්ධනය.”
කුඹුරකට බහින්ඩ බෑ, තනිකරම කුඹුරු වල තියෙන්නේ ජරාව. ඔය කාණුව දැම්ම දවස්වල ඉඳලා කෙළින්ම කුණු වතුර ටික එන්නේ කුඹුරුවලට. කුඹුරුවල වීදුරු කෑලි, ඉඳිකටු, සේලයින් කටු, පොලිතින් පිරිලා. ඔක්කොම කුණු කන්දේ ඉඳන් හෝදගෙන කුඹුරුවලට වැටෙන්නේ. ඒ හින්දා ගොඩක් ගොවීන් කුඹුරු කරන එක අත ඇරලා ඉන්නේ. අපිට ගොවි සංවිධාන නායකයෝ විදිහට කියන්ඩ බෑනේ කොහොම හරි කුඹුරු කරන්ඩ කියලා. ඔය කුඹුරු වල තියන ජරාව ඇනිල කකුල් කුණු උනහම අපිටම තමා වග කියන්ඩ වෙන්නේ.”
ඔහු සිදුවී ඇති නස්පැත්තිය අපට කියන්නේ බලධාරීන්ට සිදු කළ දැනුම්දීම්වල ලියුම් පෙන්වමින්ය.

“අපි පුළුවන් හැමෝටම දැනුම් දුන්නා, මේ ගැන හොයල බලලා විසඳුමක් දෙන්න කියලා. හැබැයි කිසිම කෙනෙක් මේ වෙනකන් බැලුවෙ නෑ. අපි ගොවියෝ, ගොවිතැන නැතුව අපි මොකෙන් ජීවත් වෙන්ඩ ද?” ගම්මානයේ ගොවීහුද මේ කුණු කන්ද නිසා අසරණව සිටිති.

“බූට් සපත්තු දෙකක් නොදා කුඹුරකට බහින්ඩ බෑ. කකුල් කුණු වෙනවා. කොහොමහරි අමාරුවෙන් කුඹුරට බැහැලා නියරවල් කොටලා වී ටිකක් පැළ කරගත්තත් වැස්ස ගමන් කුණු වතුර කුඹුරු වලට ඇවිල්ලා ගොයම් ටික විනාශ වෙලා යනවා. එක කුඹුරක් තියනවා දැන් ඒක හොඳට පැහිලා, හැබැයි ගොයම් ටික කපා ගන්ඩ කුඹුරට බහින්ඩ බෑ කුණු වතුර පිරිල කළුම කළු පාටයි.” ඒ ගොවි සංවිධානයේ සභාපති සම්පායෝ කියන කතාවය.

“කුඹුරු ටික ඔක්කොම දැන් විනාශයි. වතුර ටිකක් බොන්ඩ නෑ, ළිං ටික ඉවරයි. තිත්තවැල්ලෙ වැව ඉවරයි. වැව උඩින් බලද්දි ලස්සනට නෙළුම් පිපිල තියනවා. හැබැයි තනිකර වැව් පතුලෙ තියෙන්නෙ කුණු, විස. ඊළඟට ඒ වැවෙන් කරන කුඹුරු ටිකත් විනාශ වෙනවා. ඒකට වැඩි කාලයක් යන එකක් නෑ. මේ කුණු කන්ද නිතරම ගිනි ගන්නවා. ඒකෙන් පැතිරෙන දුම මේ හැමතැනම යනවා. ළමයින්ට මිනිස්සුන්ට ස්වසන රෝග හැදෙනවා. අපි මේව කිව්වහම ඒගොල්ලො කියනව හරි හරි ගිනි ගන්ඩ දෙන්නෑ, වතුර ගහල නිවනව කියලා. හැබැයි කියනවා විතරයි, මොකුත් වෙන්නෙ නෑ. හැමදාම මේකෙ තැනින් තැන ගිනි ගන්නවා. කුණු ට්‍රැක්ටර් යද්දි පාරෙ යන්ඩ බෑ ඇඳුම් ඉවරයි. අපි මේ ගැන කීවහම කුණු ගේද්දි ඒව වහගෙන එන්ඩ කියල නියෝග කළා. ඊට පස්සෙ අපි කීවා කුණු හලලා ආපහු යද්දි වතුර පාරක් ගහලා හෝදගෙන යන්ඩ කියලා. එතකොට එයාල කීවා ඒවට වතුර නෑ කියලා. ඊට පස්සෙ ඒකට ළිඳකුත් කපල දුන්නා. ඒත් ඒ වැඬේ වෙන්නේ නෑ.” ඒ ජයපද්මගේ හඬය. ඔහු ද මේ කුණු කන්දට එරෙහි ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටින්නෙකි.
කුරුණෑගල නගරයේ සියලුම වෙළෙඳ ආයතනවලට නියෝග කර ඇත්තේ කසළ වෙන්කර ලබාදෙන ලෙසය. එහෙත් වෙළෙඳසැල් හිමියකු පැවසුවේ, ඔවුන් කසළ වෙන්කර ලබා දුන්නද එකම ට්‍රැක්ටරයට සියලුම කසළ කවලමේ දමාගෙන යන බවයි. කෙසේ වෙතත් කසළ වෙන් නොකර භාර දුනහොත් කුරුණෑගල නගර සභාවෙන් අයකරනු ලබන දඩය රුපියල් පහළොස් දහසකි.

අකටයුතුකම්

කුණු කන්ද තවම මෙහි තිබෙන්නේ ද මෙහි ජනතාවට එය තවදුරටත් පීඩාවක් වන්නේද බලධාරීන්ගේ අකටයුතුකම් නිසාය. 2010 වර්ෂයේ මෙහි මුල් ගලක් තැබෙන්නේ මහා පරිමාණ කොම්පෝස්ට් ව්‍යාපෘතියක් හා මළ අපවහන කළමනාකරණ වැඩසටහනක් ආරම්භ කිරීම සඳහාය. ඒ එවකට පරිසර ඇමතිව සිටි අනුර ප්‍රියදර්ශන යාපාගේ මූලිකත්වයෙනි. ඒ උත්සවය සඳහා විශාල නිලධාරීන් පිරිසක් හා මාධ්‍යවේදීන් පිරිසක් සම්බන්ධ කරගත් නමුත් ගම්වැසියන් ඊට සම්බන්ධ කරගනු නොලැබිණි.
එම ව්‍යාපෘතිය සැලසුම් කර තිබුණේ වසර දෙකකින් නිමකිරීමටය. ඒ සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන අනූවකට අධිකය. ඒ මුල් ගල තිබූ ස්ථානය අද ඇත්තේ වල්වැදීය.
ඉන්පසුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් මේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් යටතේ කසළ අංගණ, යන්ත්‍ර සූත්‍ර, තාක්ෂණ ඇතුළු අවශ්‍ය සියලු දේ සහ මුදල් කුරුණෑගල නගර සභාවට භාර දෙනු ලබන්නේ වර්ෂ 2013 දීය. ඒ ලබා දුන් ව්‍යාපෘතියද ආරම්භ නොවූ වග පවසන්නේ අජිත්ය. මේ පිළිබඳ සොයා බැලීම සඳහා අජිත් කුරුණෑගල නගර සභාවේ තොරතුරු නිලධාරියාගෙන් ඊට අදාළ තොරතුරු ඉල්ලා සිටිනු ලබයි. එහිදී කුරුණෑගල නගර සභාවේ තොරතුරු නිලධාරියා ප්‍රකාශ කර සිටින්නේ තමා තොරතුරු පනත පිළිබඳ නොදන්නා බැවින් ඒ ගැන තොරතුරු ලබාදිය නොහැකි බවයි, ඒ අනුව අජිත් තොරතුරු කොමිසමට මේ බව දැනුම් දුන් විට ඔවුන් පවසන්නේ තොරතුරු ඉල්ලීමේ අඩුපාඩුවක් ඇති බවයි. නගර සභාව මොවුන්ට තොරතුරු ලබාදෙන නමුදු ඒ කිසිදු තැනක රුපියල් මිලියන අනූව හෝ මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබා දුන් මුදල් පිළිබඳව සඳහනක් නොමැත. ඒ අනුව ගම්වාසීන් කියන්නේ නගර සභාවට මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබා දුන් මුදල් අවභාවිත වී ඇති බවකි. ඒ පිළිබඳව සාධාරණ සැකයක් මතු වන්නේ. 2013 සම්පත් ලබා දුන් ව්‍යාපෘතිය මේ වන තෙක් ක්‍රියාත්මක නොවීම හරහාය.

කුණු කන්දේ මේ ගැටලුව නිසා වරෙක ගම්වැසියකු හා එහි සේවකයකු අතර ගැටුමක්ද ඇති වී තිබේ. ගම්වැසියන් කියන්නේ එහි සේවකයන් ඔවුන්ට උවමනා පරිදි උවමනා තීරණ ගන්නා බවයි. එක් ගම් වැසියකු පැවසුවේ වරක් ඔවුන් කසළ කන්දට විදුලි ආලෝකය සපයන ලෙසට ඉල්ලීමක් කළ පසු එහි සිටි ස්ථාන භාර නිලධාරීවරයා පවසා ඇත්තේ “පුළුවන්නන් ලයිට් එකක් දාල පෙන්නපල්ලා. කියන ඕනෑ දෙයක් දෙනවා” ආදී ලෙසය. මොවුන් මෙසේ කුණු කන්දට විදුලි ආලෝකය ඉල්ලන්නේ මොවුන් කියනා පරිදි රාත්‍රියේ කසළ කන්දේ සිදුවන විවිධ ජාවාරම් නිසාය.

කෙසේ හෝ මේ වන විට මධ්‍යම පරිසර අධිකාරිය හා කුරුණෑගල නගර සභාව දෙපසට බෝල පාස් කරගනිමින් සිටී. එයින් අසරණ වී සිටින්නේ ජනතාවය.
කෙසේ හෝ පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ වී ඇත්තේ ‘කව්ෂිමා’ නම් යන්ත්‍රයක් ගෙන්වා ගැනීමටය. එහෙත් ගමේ මිනිස්සු කියන්නේ පිළිසරු ව්‍යාපෘතියේ යන්ත්‍ර සේම ‘කව්ෂිමා’ යන්ත්‍රයද එන තෙක් බලා සිටීම නිශ්ඵල වැඩක් වීමට ඇති ඉඩ බොහෝ වැඩි බවයි. කෙසේ වෙතත් ආණ්ඩුකාරවරයා එහිදී නියෝග කර ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් පරිදි නගර සභාවට කටයුතු කරන ලෙසටය.

කෙසේ හෝ වගකිවයුත්තන්ගේ කඹ ඇදිල්ල නිසා අසරණ වී සිටින්නේ සූරියවත්ත ගමේ මිනිසුන්ය. ඔවුන් උදේද, දවල්ද, රෑද, කුණු සමග ජීවත්වන්නේ මරණයට අභිමුඛවය. ඔවුන් කියන පරිදි කුරුණෑගල මීතොට මුල්ලක් වේදැයි බියෙන් ඔවුහු කති, බොති, නොනිදා නිදියති, පිච්චි පිච්චී ජීවත් වෙති.

ඉක්මනින් ප්‍රශ්නය විසඳනවා
ප්‍රදීප් තිලකරත්න
නාගරික කොමසාරිස්
කුරුණෑගල

අපි මේ වෙද්දී මේ සම්බන්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. නිරන්තරයෙන් මීතේන් නිසා මේ කුණුගොඩ ගිනි ගන්නවා. ඒක වළක්වන්නට ඉදිරියේදී අපි ජයිකා ව්‍යාපෘතිය සමග එකතුවෙලා කටයුතු කරන්නතව්ෂිමා යන්ත්‍රය ගෙන්වන්න කටයුතු යොදල තියෙන්නේ. ඉතා ඉක්මනින් මේ කසළ ගැටලුවට විසඳුමක් ලබා දෙන්න අපි කටයුතු කරනවා.
2013 ලැබුණු මුදල්වලින් යන්ත්‍ර සූත්‍ර ගෙනල්ලා තියෙනවා. ඒත් ඒ යන්ත්‍ර කාර්මික දෝෂවලට ලක්වෙච්ච නිසා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණේ නෑ.

රක්ෂිතයට කුණු දාන්න බැහැ
ලක්ෂ්මී වික්‍රමතුංග – දිසා වන නිලධාරී
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
කුරුණෑගල.

ඔය කුණු කන්ද ආශ්‍රිතව තියන භූමිය තියෙන්නේ සුන්දරාපොළ රක්ෂිතය. මීට බොහෝ කලකට පෙර ඉඳලා තමයි මෙතනට කුණු දාන්නේ. කුණු සඳහා වෙන් කරපු නියමිත භූමියක් තියෙනවා. එතැනින් එහාට රක්ෂිතය තුළට කුණු දානව නම් අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.