රාවය

ආගම රාජ්‍ය පාලනයට අතපෙවීම

ආගම රාජ්‍ය පාලනයට අතපෙවීම

වින්ද්‍යා ගමගේ

ආණ්ඩුව මොකද කරන්නේ?
දියකඩුවේ සෝමානන්ද හිමි

ආගමික සංස්ථාව රාජ්‍ය පාලනයට අනවශ්‍ය ප්‍රමාණයට අත පෙවීම දිගින් දිගටම සිදුවන්නකි.එය සිදුවන්නේ දේශපාලන සමාජයෙහිද පවතින හිස්කම නිසාය. එහෙත් අවසානයේදී උද්ගත වී ඇත්තේ මහත් ව්‍යාකූල තත්ත්වයකි.

භික්ෂූන්වහන්සේලාගේ දේශපාලන භාවිතය ගත්විට, ඉතිහාසයේ සිටම ලංකාවේ දේශපාලනයත් එක්ක භික්ෂූන්වහන්සේලා ළඟින් බැඳිලා හිටි බවට සාධක තිබෙනවා. අනුරාධපුර යුගයේ රජවරු පත්කරන්න පවා ස්වාමීන් වහන්සේපා මැදිහත් වූ බවට සාධක මහාවංශය තුළ ද තිබෙනවා. ඒ එක්ක භික්ෂූන් වහන්සේලා කල්පනා කරනවා තමන්ට ඓතිහාසිකව උරුම වුණු වගකීමක් කියලා මේ දේශපාලන මැදිහත් වීම.මෙහි තිබෙන වැදගත්ම කාරණය වන්නේ වැදගත් අවස්ථාවල භික්ෂූන් වහන්සේලා ඵලදායක විදිහට ඒවාට මැදිහත් වෙලා තියනවා. සංස්කෘතියට, භාෂාවට බොහෝ වූ අර්ථයක් ඇති කරලා දීලා තියනවා. අද තිබෙන ගැටලුව තමයි අද ලංකාවේ හැම ක්ෂේත්‍රයක්ම පරිහානියට ගිහිල්ලා තිබෙනවා. ඒ පරිහානිකර තත්ත්වයෙන් භික්ෂු සමාජයටත් ගැලවීමට නොහැකි වෙලා තිබෙනවා. පරිහානිකර අවධියක ඔවුන්ගේ හැසිරීම් තුළින් යම් ආකාරයක නොගැලපීම් තත්ත්වයන් දැනෙන්න පුළුවන් බලාගෙන ඉන්න කෙනෙකුට. භික්ෂූන්වහන්සේලාගේ මේ මැදිහත් වීම පුදුම සහගත දෙයක් නොවේ. මේ වෙලාවේ හැම කෙනාම ඉන්නේ අතෘප්තියෙන්, අසහනයෙන්. මේ අසහනය විවිධ ස්වරූප වලින් එලියට එනවා. භික්ෂූන් වහන්සේලාගේ මැදිහත් වීම පිළීබඳවත් මට කීමට ඇත්තේ ඒ කාරණයයි.
ඔය හිට්ලර් කතාව මම ඒ තරම් ලොකු දෙයක් හැටියට ගන්නේ නැහැ. ඊට වඩා වැදගත් කරුණු තියනවා අද සාකච්ඡාවට ගත යුතුව තිබෙන. භික්ෂූන් වහන්සේලාගේ අඩුපාඩු නැතැයි කියලා මම කියන්නේ නැහැ. ඔවුන්ගේ බරපතල ප්‍රශ්න තිබෙනවා. නමුත් වෙලා තිබෙන්නේ, ආණ්ඩුව හා අන් සියලු දෙනාම කටයුතු කරන්නේ හරිම සැක හිතෙන විදිහටයි. උදාහරණයක් ලෙස ව්‍යවස්ථාව සම්බන්ධව ගතහොත්, එය සංශෝධනය කළ යුත්තේ, සෑහෙන සංවාදයකින්, හැම කෙනෙක්ම දැනුවත් කරලා. හැම කෙනාගෙම ගෞරවයට හේතු වන විදිහට. ඒත් අද ආණ්ඩුව කරන හැම දෙයක්ම හොර රහසේ කරන ස්වරූයක් තමයි පේන්න තියෙන්නේ. ඒ හැම කෙනාගෙම සැකය වර්ධනය වෙනවා. එවැනි අවස්ථාවක භික්ෂූන් වහන්සේ හෝ කවුරුන් හෝ කණ්ඩායමක් එයට ඇගිල්ල දිගු කළ විට, හැම කෙනාම ඒ ඇගිල්ල දිගු කිරීම ‘හරි’ කියන තැන හිටයි ඒ දෙස බලන්නේ. ඒ නිසා විනිවිදභාවයකින් යුතුව, සංවාදයක් ඇතිව රජය කටුයුතු කරනවා නම් මේ ප්‍රශ්න පැන නගින්නේ නැහැ.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලැබීම හෝ සිරගත කිරීම පිළිබඳ අද ලොකු විවාදයක් තිබෙනවා. නමුත් ඒ ගැන භික්ෂූන් වහන්සේලාගේ පැත්තේ ලොකු ප්‍රතිවිරෝධයක් තිබුණා එසේ සිරගත කිරීම වැරදියි කියලා. දේවල් හරියටම වෙන සමාජයක නම්, ඒ කියන්නේ, වැරදි කරපු මිනිස්සු, ඉතාම මැදහත් විදිහට හිරයට ගන්නවා නම් ඒ වගේම නිවැරදි මිනිස්සු කීයටවත් හිරේ යන්නේ නැත්නම් ඔය වගේ ප්‍රශ්නෙකදි භික්ෂූන් වහන්සේලාට කතා කරන්න බැරි වෙනවා. තමන්ට හිතවත් අයව එළියේ තියන්නත්, අහිතවත් අයව ඇතුළට දාන ව්‍යාපෘතියක් තමයි දැන් තියෙන්නේ. ඒ නිසා තමයි ගැටලුව තියෙන්නේ. සරළ උදාහරණයක් ගතහොත් මේ දිනවල තිබෙන ප්‍රකටම කාරණය තමයි, මහ බැංකුවේ ප්‍රශ්නයට ඍජු ලෙසම වගකිව යුතුඅය ඉන්නවා, ඉතාම සැහැල්ලුවෙන් මොනම ගැටලුවකටවත් පත් නොවී. ඊට වඩා අඩු වැරදි වුණු අය හිරභාරයට යනවා. ඒවා දකින, පක්ෂයට කොටු නොවී ඉන්න මැදහත් අයටත් විචිකිච්චාවක් එනවා ආණ්ඩුව මොනවද මේ කරන්නේ කියලා.

ආගම කේන්ද්‍රීය වීම බරපතළ හානියක්
ජිනසිරි දඩල්ලගේ
හිටපු අමාත්‍යංශ ලේකම්

ආගම සමාජ විද්‍යාත්මකව සමාජ සංස්ථාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඕනෑම රටක සමාජ සංස්ථාව ගොඩනැගී තිබෙන ආකාරය බැලුවහම ඒ ඒ රටවල තියෙන සමාජ සංස්ථාව බැඳිලා තිබෙනවා යම් යම් වෙනත් කාරණා එක්ක. උදාහරණයක් වශයෙන් ජාතීන් සමඟ බැඳිලා තිබෙනවා. බෞද්ධ ආගම ගතහොත් එය වැඩිපුර සිංහල ජාතිය සමඟ බැඳුණු ආගමක්. හින්දු ආගම වැඩිපුර ද්‍රවිඩ ජාතිය සමඟ බැදී ඇති අතර ඉස්ලාම් ආගම ද්‍රවිඩ ජාතිය සමඟ බැඳී තිබෙනවා. සමාජයේ කොටස් ආගම් වලට සම්බන්ධ වෙලා ඉන්න ආකාරය, සමාජ විද්‍යාත්මකව බහුතරය, සුළුතරය යන ජාතික ස්ථර, ආගම් ස්ථර වත් තිබෙනවා. මේක සම්බන්ධ වෙනවා දේශපාලනයට. උදාහරණයක් වශයෙන් ජපානය වගේ බොහෝ දියුණු රටක් ගතහොත් මේක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද සමජාතියක් තමයි එහි තියෙන්නේ. සිංගප්පූරුව වැනි රට වලට එය අවශ්‍ය වෙන්නේ නැහැ. මන්ද එය ඉතාම කළමනාකාරිත්වයකින් දේශපාලනය ගෙන යන රටක්. බටහිර රටවල් බැලුවත් ඉතා ඉහළ කළමනාකාරීත්වයක් තිබෙනවා ඒවායේ දේශපාලනයේ. සිංගප්පූරුව ගත්තොත් ඒ රටේ හැමදේකටම තිබෙන්නේ ඉතාම විද්‍යාත්මක පදනමක්. රාජ්‍ය සේවය ගත්තත්, ආර්ථික සංවර්ධනය ගත්තත්, සමාජ කළමනාකරණය ගත්තත් ඒ දේවල් ඉතාම විද්‍යාත්මකයි. බටහිර දියුණු රටවලත් ඒ පදනම තිබෙනවා. ඔවුන් ආර්ථික විද්‍යා පදනම මත, සමාජ විද්‍යා පදනම මත, තමයි බොහෝ දේවල් වලදී කටයුතු කරන්නේ. අපේ රටේ වෙන්නේ, බලය ලබාගැනීම සඳහා ජාතිය, කුලය යන සාධක ප්‍රබල වෙනවා. ඒ කියන්නේ විද්‍යාත්මක දේශපාලනයක් නැහැ. විද්‍යාත්මක සමාජ කළමනාකරණයක් නැහැ. විද්‍යාත්මක ආර්ථික කළමනාකරණයක් නැහැ. විද්‍යාත්මක රාජ්‍ය සේවයක් නැහැ. කොටින්ම විද්‍යාත්මක දේශපාලනයක් ඇතතේම නැහැ. උදාහරණයක් විදිහට විද්‍යාත්මක අමාත්‍ය මණ්ඩලයක් පත්කළා කිව්වට එය ඉතාම අවිද්‍යාත්මකයි. මම බොහෝ රටවල සංචාරය කර, බොහෝ රටවල ප්‍රතිපත්ති අධ්‍යයනය කර තිබෙනවා. ඔවුන් සෑම විෂයකදීම විද්‍යාත්මක, කළමනාකරණය භාවිතා කරනවා. අපේ සමහර ස්ථර බැලුවොත් බොහෝදෙනා උත්සාහ කරන්නේ ජාතිකවාදී පදනමක් ම බලයට එන්නයි. එතකොට ඔවුනට සිද්ධ වෙනවා ජාතියට අමතන්න, ජාතික ප්‍රශ්න කියන ඒවා අරන් එනවා. ජාතීන්ට සලකන ප්‍රතිපත්ති අරන් එනවා. ආගමත් එහෙමයි. මේ ප්‍රතශතයට තමයි බෙදිලා තියෙන්නේ.
1956 භාෂාව පදනම් කරගත් සියලු පොරොන්දු පැහැදිලිවම මහ ජාතියට දෙන ලද මානසික අල්ලස්. ආගමට දෙන්නෙත් එවැනි අල්ලස්. ආගමට දෙන එවැනි අල්ලසක් තමයි බුද්ධාගම තමයි රාජ්‍ය ආගම, පළවෙනි තැන බුද්ධාගමට කියලා කියන එක. එනම් රාජ්‍ය විසින් ආගම නඩත්තු කිරීම කියන සංකල්පය එතුළින් එනවා. මම ලෝකයේ කොහෙවත් දැකලා නැහැ රාජ්‍යයක් විසින් ආගමක් නඩත්තු කිරීමක්, එනම් රාජ්‍ය අනුග්‍රහය ලබා දීමක්.
අපේ රටේ ජාතික ප්‍රශ්නයක් තිබෙනවා. මහජාතිය සියයට හැත්තෑ ගණනක් සිටීම නිසා, ඔවුන් පිනවීමට, ඔවුන්ට මානසික වශයෙන් අල්ලස් දීම, මානසික වශයෙන් බැඳ තබාගැනීම ආදිය නිසා තමයි ජාතිවාදය එන්නෙත්.

මහජාතියේ බලය මඳිවෙනකොට සුළු ජාතිීක්ට නොයෙක් දේවල් දෙන්න පොරොන්දු වෙලා බලයට එනවා. අපේ රටේ ජනාධිපතිවරණයේදී කියන කතාවක් කමයි සුළු ජාතික ඡන්ද නැත්නම් දිනන්න බැහැ කියන එක. ඒ අනුව ජාතිය මත තමයි තීරණ ගන්න බලන්නේ. ජාතිය මත තීරණ ගැනීමේදී අනිවාර්යයෙන්ම ආගමට සලකන්න වෙනවා. පසුව ආගම මත තීරණ ගැනීමටත් සිදු වෙනවා. මේ විදිහට කාලයක් යනකොට මේ දේශපාලනය හා ආගම අන්‍යොන්‍යව යැපෙන ගතියක් ඇති වෙනවා. ඒ කියන්නේ දේශපාලනයට ආගම නැතිව බැහැ. ආගමට දේශපාලනය නැතිව බැහැ කියන උච්චස්ථානයට ඇවිල්ලා තියනවා. රටේ දේපොළ යොදාගන්නවා ආගම නඩත්තු කිරීමට. මේ තත්ත්වය ක්‍රමිකව විකාශනය වෙලා තමයි ආගමික නායකයන්ගේ උපදෙස් ගැනීමට යන්නේ. ආගමික කාර්යභාරය වශයෙන් මම දකින්නේ, සමාජ සාරධර්ම වැඩි දියුණු කිරීම්, මිනිසුන්ගේ හික්මීම ඇති කිරීම. මේක තමයි ආගමේ කාර්යභාරය. නමුත් අපේ සමාජයේ ආගමට එවැනි වගවීමක් නැහැ. ආගම් කර්තෘවරු මේ දේවල් සඳහා වතවීමක් නැහැ. ඒකත් පවරනවා දේශපාලනයට. නමුත් ආගම් වලිනුත් සමාජය ගොඩනැගීමට බලපෑමක් තියෙන්න ඕනේ. නමුත් ඒක නොවී දේශපාලනයයි, ආගමයි, අන්‍යොන්‍ය වශයෙන් යැපීම නිසා දේශපාලනඥයන්ට සිද්ධ වෙනවා ආගම් වල යම් යම් තත්ත්වයන්ට එකඟවෙන්න.

ආගමික සහතිකයක් ලබා ගන්න ඔවුන්ට අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි දේශපාලනයට බලපෑම් කිරීමට ආගමික සමාජය ඉදිරියට ඇවිල්ලා ඉන්නේ. දේශපාලන සමාජය විද්‍යාත්මක නැහැ. දේශපාලන සමාජය ජාතිවාදය, ආගම්වාදය මත යැපෙනවා. ඒ නිසා අන්‍යොන්‍ය යැපීමේ මටට්මක් ඇතිවෙලා තිබෙනවා. ඒ නිසා ආර්ථික සමාජ කළමනාකරණයට පමණක් නොවේ දේශපාලන කළමනාකරණයටත් විද්‍යාත්මක ප්‍රවේශයක් භාවිතා කරනවා නම්, ආගමික සංස්ථාව පසුපස යන්න අවශ්‍ය නැහැ. ඔය හිට්ලර්ගේ කතාව පවා පෙන්වන්නේ සමාජය පිරිහිලා, දේශපාලන නායකත්වයක් නැහැ කියන එකයි. සමාජය පිරිහිලා තියෙන්නේ දේශපාලනය නිසා කියලා තමයි ආගමික සමාජය හිතන්නේ. අනෙක් පැත්තෙන් ඔවුන්ගේ කාර්යභාරය ඉටුවුණානම් සමාජය පිරිහෙන්නේ නැහැ.