රාවය

මුල්ම සත්සමුදුරේ දිග පැය හතරයි – ලාල් දිසානායක (සිනමා ශබ්ද නිර්මාණ ශිල්පී)

මුල්ම සත්සමුදුරේ දිග පැය හතරයි – ලාල් දිසානායක (සිනමා ශබ්ද නිර්මාණ ශිල්පී)

සංවාදය : බෙනිල් ශාන්ත

සිනමා ශබ්ද නිර්මාණ ශිල්පී ලාල් දිසානායක සිනමාව අල්වාගනුයේ සිරි ගුනසිංහ අධ්‍යක්ෂණය කළ “සත් සමුදුර” (1967) චිත්‍රපටයේ ආචාර්ය ඩී.බී. නිහාල්සිංහගේ සහාය සංස්කරණ ශිල්පියා ලෙසය. දේශීය සිනමාවේ ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් 1997 දී තෝරාගත් හොඳම චිත්‍රපට දහයට ඇතුළත් වූ සත් සමුදුර 60 දශකයේ නිර්මාණය වූ විශිෂ්ට සිනමා කෘතියක් ලෙස විචාරක ඇගැයීමට ලක්ව ඇත. දේශීය සිනමාවේ ආරම්භක යුගයට උරදුන් තම පියා වූ දොස්තර ලීනස් දිසානායකගේ උරුමයෙන් සිනමා ක්‍ෂේත්‍රයේ විවිධ පැති මං ඔස්සේ දිගු ගමනක් පැමිණෙන ඔහු, නිම් වළල්ල (1970), වෙස්ගත්තෝ (1970), සිහින ලොවක් (1973) චිත්‍රපට වල සංස්කරණ ශිල්පියාය. වල්මත් වූවෝ (1976) චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා, සංස්කරණ ශිල්පියා මෙන්ම නිෂ්පාදකවරයාද වේ. හැත්තෑ වැනි වියෙහි පසු වුවද දැනටත් සිනමා ශබ්ද නිර්මාණ කටයුතුවල යෙදී සිටී.
සිනමා ශබ්ද නිර්මාණය පිළිබඳ ප්‍රාමාණිකයෙකු වන ලාල් දිසානායක රජයේ ආයතන වල ශබ්ද උපකරණ පිළිබඳ තාක්ෂණික කමිටු සාමාජිකයකු ලෙසද කටයුතු කරයි. ඔහු සමග සිදු කළ දීර්ඝ සංවාදයක සංක්ෂිප්ත සටහනකි මේ.

ඔබේ ගම් පළාතෙන්ම ආරම්භ කරමු.

මගේ තාත්තා, දොස්තර ලීනස් දිසානායක. ගම කොච්චිකඬේ. දොස්තර ලෙස කටයුතු කළේ මීගමුවේ. 1953 දී තාත්තා රෝහලක් හැදුවා කොළඹ මීගමු පාරේ. අපි පාසල් ගියේ කොළඹ ශාන්ත ජෝෂෆ් විද්‍යාලයට. හැමදාම මීගමුවේ ඉඳලා තාත්තාගේ කාර් එකේ කොළඹ ආවා. තාත්තාගේ හොඳම යා`ඵවෙක් බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න. ජයමාන්න ඇතුළු පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර කළේ තාත්තා. තාත්තට පළමුවෙන්ම චිත්‍රපටයක් කරන්න අදහස ඇතිවුණේ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න නිසා. ජයමාන්නගේ චිත්‍රපට කිහිපයක්ම අපේ මීගමුවේ ගෙදර රූපගත කිරීම් කළා. පසුව තාත්තා කොළඹින් ගෙයක් ගත්තා. ඉස්කෝලේ කාලයෙන් පසුව නංගිලා දෙන්නයි මල්ලිලා දෙන්නයි අම්මා එක්ක ගමට ගියා. මම කොළඹ නැවතුණා. ඒ කාලේ තමයි තාත්තා “සත් සමුදුර” චිත්‍රපටයේ වැඩ පටන්ගත්තේ.

චිත්‍රපටවල කටයුතු කිරීමට යොමු වෙන්නේ කොහොමද?

මම ඉස්කොලේ ගියාට තාත්තා කිව්වේ කැලේ සතෙක් කියලයි. හරියට ඉගෙන ගත්තේ නැහැ. අමතර දෙයක් කළේ නෑ. පවුලකට එහෙම කෙනෙක් ඉන්නවානේ. සාමාන්‍ය පෙළ දක්වා පමණයි පාසල් ගියේ. ඉතින් තාත්තාට අවශ්‍ය වුණා මාව දෙයකට යොමු කරන්න. තාත්තාට චිත්‍රපට කිරීමට අවශ්‍ය වෙලා තිබුණා.
ඉතින් 1965 දී දිසානායක චිත්‍රපට සමාගමෙන් “සත් සමුදුර” කරන්න සූදානම් වුණා. තාත්තා කිව්ව නිසා මමත් ෆිල්ම් එකේ වැඩවලට සම්බන්ධ වුණා. අවබෝධයක් තිබුණේ නැහැ. සෙට් එකට ගියා.
ඩී.බී. නිහාල්සිංහ කැමරා අධ්‍යක්ෂණයකළා. පළමුවෙනි චිත්‍රපටයත් ඒක. සිරි ගුනසිංහ අධ්‍යක්ෂ. වසන්ත ඔබේසේකර, සිරිල් වික්‍රමගේ, ස්වර්ණා මල්ලවාරච්චි, සෝමසිරි දෙහිපිටිය ඇතුළු හැමදෙනාගේම පළමු චිත්‍රපටය සත්සමුදුර. තාත්තාට අවශ්‍ය වුණේ අලුත් අය සම්බන්ධ කරගෙන චිත්‍රපටය කරන්න.
“මහගම සේකර” තාත්තාගේ ළඟම මිත්‍රයා. ඔහුටත් බෙහෙත් කළේ තාත්තා. මහගම සේකර අපේ ගෙදර එනවා. ඔහු චිත්‍රපටයේ ගීත රචනා කළා. මීගමුවේ පිටිපන චිත්‍රපටය රූගත කළා. ඒ චිත්‍රපටයේ වැඩ කළ හැමෝම වගේ පසු කලෙක ක්‍ෂේත්‍රයේ දැවැන්තයෝ වුණා.
මම පළමුවෙන්ම සෙට් එකට වෙලා “කැලැපර්” එක ගැහුවා. ලයිට් ඇල්ලුවා. වැඩ බලන් හිටියා. පළමු චිත්‍රපටයෙන්ම වැඩ අල්ලා ගත්තා. චිත්‍රපටය “එඩිට්” කළේ කොළඹ අපේ ගෙදර. තාත්තා සංස්කරණ උපකරණ සියල්ලම ගෙනත් කාමරයක සවිකර තිබුණා. නිහාල්සිංහ චිත්‍රපටය සංස්කරණය කළා. මම ඔහුගේ ඇසිස්ටන් හැටියට වැඩ කළා.
මු`ඵ චිත්‍රපටයම සංස්කරණය කරද්දී මම එතැන හිටියා. එතකොට මට වයස අවුරුදු 17 යි. නිහාල්සිංහ මහතාට 27 යි. සත් සමුදුර සංස්කරණය කරද්දී මම සේරම වැඩ ඉගෙන ගත්තා.
චිත්‍රපටයේ සංස්කරණ වැඩ ඉවර කළා තිර පිටපතේ තියෙන හැටියට. නිහාල්සිංහ තාත්තාට කිව්වා ඇවිත් බලන්න කියලා. තාත්තා චිත්‍රපටය බලලා කුණුහරුපෙන් බැන්නා. මොකද චිත්‍රපටයේ දිග පැය 04 යි විනාඩි 10ක් නිසා.
තාත්තා කිව්වා නිහාල්සිංහට “මේ ස්ක්‍රිප්ට් එක විසි කරන්න. මේක නෙවෙයි චිත්‍රපටය” කියලා. තිර පිටපත ලිව්වේ සිරි ගුනසිංහයි, වසන්ත ඔබේසේකරයි. එදා ඉතින් ඒ අය ආධුනිකයිනේ. තාත්තා කිව්වා “එඩිට් කරන්න පැය 02කට කියලා.” මායි නිහාල්සිංහයි ඒ දේ කළා. එදා තමයි මම ඉගෙන ගත්තේ සංස්කරණයෙන් කරන්න පු`ඵවන් දේ. අනවශ්‍ය දර්ශන ඉවත් කරලා අපි වෙනම චිත්‍රපටයක් හැදුවා. ඒ දැන් ඔබ දකින “සත් සමුදුර” (1967).

සත් සුමුදුර චිත්‍රපටයේ වැඩ කටයුතු කරන කාලේ එහි ශිල්පීන් හා ඇසුර කොහොමද?

ඒ චිත්‍රපටයේ සංගීතය කළේ සෝමදාස ඇල්විටිගල. ඔහුගේ පළමු චිත්‍රපට සංගීතය. ඔහුව තාත්තා මීගමුවට ගෙන්වා ගන්නවා. තාත්තා ඔහු සමග ඩි්‍රන්ක් එකක් එහෙම අරගෙන ක්ලැසිකල් මියුසික් අහනවා. එහෙම එකක් දාලා තාත්තා ඇල්විටිගලට කියනවා මේක අහන්න කියලා. මට ඕනේ මේකයි අපේ සංගීතයයි මිශ්‍ර කරලා එකක් කියලා ඔහුට කියනවා. “සිනිදු සුදුමුදු තලාවේ…” සින්දුව හැදුණේ එහෙම. ඉතින් ඇල්විටිගල, සිරිල් වික්‍රමගේ, මහගමසේකර අපේ ගෙදර ඇවිත් තාත්තත් එක්ක ඩි්‍රන්ක් එකක් අරගෙන සංගීතයට සවන් දෙමින් ජොලියේ හිටියා.

සත්සමුදුර චිත්‍රපටය එදා සම්මාන උළෙල වල ඇගයීමට ලක් වූ අයුරු සිහිපත් කළොත් …

1968 සරසවි චිත්‍රපට උළෙලේ සම්මාන 08ක් ලැබුණා. මේ සම්මාන උළෙලින් පසු අලුත් සංගමයක් හැදුණා “චිත්‍රපට විචාරක හා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය” කියලා.
ලෙස්ලි බොතේජු, තිස්ස අබේසේකර, නීල් අයි. පෙරේරා ඇතුළු පිරිසක් හිටියේ. ඒ සංගමයෙනුත් චිත්‍රපට උළෙලක් පැවැත්වීමට සූදානම් වුණා. චිත්‍රපට 03 ක් නිර්දේශ කර සම්මාන දෙන බවට ප්‍රසිද්ධ කළා. ඒ සත් සමුදුර, දෙලොවක් අතර හා සැඩොල් කඳුළු. ගෝල්ෆේස් හෝටලයේ උත්සවය තිබුණා. තාත්තාට පමණක් ආරාධනා කර තිබුණා. ඒත් තාත්තා අම්මාවත් එක්ක ගියා. ඒ උළෙලෙදී සැඩොල් කඳුළු චිත්‍රපටයට එක සම්මානයක් දුන්නා. අනෙක් සියලු සම්මාන “දෙලොවක් අතර”ට. සත් සමුදුරට එකක්වත් ලැබුණේ නැහැ. ඔය වගේ ඒ සංගමය සම්මාන උළෙල කිහිපයක් පැවැත්වූවා.
සිංහල සිනමාවට අවුරුදු 25 ක් පිරුණු කාලයේ මේ විචාරක සංගමය පසුගිය අවුරුදු 25 ට ලංකාවේ හොඳම චිත්‍රපට 10 ය තේරුවා. ඒ දහයට දෙළොවක් අතර ඇතුළත් වුණේ නැහැ. එහෙනම් එදා 1968 දී බොරුවක්නේ කරලා තියෙන්නේ. මම තිස්ස අබේසේකරගේ මූණටම කිව්වා ඒ ගැන.

ඔබ හැඳින්විය යුත්තේ චිත්‍රපට සංස්කරණ ශිල්පියකු ලෙසද? ශබ්ද පරිපාලකයකු ලෙසද?

එදා ලංකාවේ “සවුන්ඞ්” ගැන කවුරුවත් හරියට දැනගෙන හිටියේ නැහැ. අදටත් නැහැ. ලොකේෂන් සවුන්ඞ් රෙකෝඩිං කරන්නේ මම විතරයි.

FM විකාශය ලංකාවේ පටන් ගත්තට පසුවයි සවුන්ඞ් ගැන යම් ලෙසකින් ලංකාවේ අය දැනගත්තේ. පළමු ත්‍ඵ විකාශය වූ FM 99 ගලධාරි හෝටලයේ පිහිටුවා තිබුණේ. ලිවී විජේමාන්න පටන් ගත්තේ. ඒකේ ඩිමොන්ස්ටේ්‍රෂන් ටේප් එක හදලා දුන්නේ මම.
පළමුවෙන් මම සංස්කරණය කළ චිත්‍රපටය රංජිත් ලාල්ගේ “නිම් වළල්ල.” ඔහු ඬේවිඞ් සිල්වාගේ පුතා. කැමරාව ඩිල්මන් ජයරත්න. නිම් වළල්ලට එකතු වුණෙත් අලුත් අය. මම ගෙදර තියාගෙන චිත්‍රපටය සංස්කරණය කළා. ඒ කාලේම අපි වසන්ත ඔබේසේකරගේ “වෙස්ගත්තෝ” පටන් ගත්තා. තාත්තා මාව ඒකේ නිෂ්පාදක ලෙස දැම්මා.
පාප් වහන්සේ ලංකාවට පළමුවරට ආ ගමන පිළිබඳ වාර්තා චිත්‍රපටයක් වෙස්ගත්තෝ සමග ප්‍රදර්ශනය කළා. ඒ කාලේ රජයේ චිත්‍රපට ඒකකයේ ප්‍රධානියා (1969) ඩී.බී. නිහාල්සිංහ. ෆිල්ම් යුනිට් එකෙනුත් ඒ පිළිබඳ වාර්තා චිත්‍රපටයක් කළා. අපි අභියෝගයක් කළා අපේ එක කලින් ප්‍රදර්ශනය කරන බව. ඒ වගේම කළා. කැමරා 05 ක් යොදවා මම ඇන්ඩෲ ජයමාන්න සමග රූපගත කළා. ඇන්ඩෘත් මීගමුවේ. හියුගෝ ප්‍රනාන්දු ඇතුළු පිරිසත් මීගමුවේ. සිංහල සිනමාවේ උපත තිබෙන්නේ මීගමුවේ.

එතැනින් පසු සිනමා ක්‍ෂේත්‍රයේ විවිධ විෂයන් තුළ ඔබ රැඳී සිටිනවා.

වෙස්ගත්තෝ චිත්‍රපටයෙන් පස්සේ තාත්තා පළමු ටේප් රෙකෝඩරය ගේනවා. “නාග්‍රා” ඇකඩමි සම්මාන ලැබූ රෙකෝඩරයක්. ස්පූල් එකේ දුවන්නේ. ඒකට පු`ඵවන් ඇරිෆ්ලෙක්ස් කැමරාවත් සමග ලොග් වෙලා ක්‍රියාත්මක වෙන්න. ඒ කාලේ කිසිවෙක් එළිමහනේ සවුන්ඞ් රෙකෝඞ් කළේ නැහැ. ඇරිෆ්ලෙක්ස් කැමරාවට “බ්ලින්ක්” තිබුණේ නැති නිසා කැමරාවේ අධික ශබ්දය බාධාවක් වුණා. තාත්තා ඇරිෆ්ලෙක්ස් කැමරාවක් සහ ලයිට් සෙට් එකක් ගත්තා. මගේ ළඟ මේ සියලු උපකරණ තිබුණු නිසා හොඳ අභ්‍යාසයක් ලැබුණා. දැනට මම චිත්‍රපට 40 ක පමණ වැඩ කර තිබෙනවා. සංස්කරණය හැරුණු විට චිත්‍රපට තුනක කැමරාකරණය කළා. කාර්මික උපදේශක ලෙසත් චිත්‍රපට කිහිපයක වැඩ කළා.

චිත්‍රපටයකදී ශබ්ද නිර්මාණ ශිල්පියකුගේ කාර්යභාරය කුමක්ද?

පිටරටවලදී ලොකේෂන් එකේ සවුන්ඞ් කරන්නේ එක් කෙනෙක්, එඩිට් කරන්නේ තව කෙනෙක්, ස්ටුඩියෝ වලදී මිශ්‍රණය කරන්නේ වෙනත් කෙනෙක්. ලංකාවේදී නම් බොහෝවිට එක්කෙනාම කරනවා. මමත් එහෙමයි.
මම හොලිවුඞ් වලින් සියලු “සවුන්ඞ් ඉෆෙක්ට්” ගෙනාවා. සේරම DVD හා CD වල. හැම ශබ්දයක්ම තියෙන පුස්තකාලයක් මා ළඟ තිබෙනවා. මේ දවස්වල ගිවන්ත අර්ථසාද්ගේ කාටූන් චිත්‍රපටයේ සවුන්ඞ් කරනවා.
ඔබට අවශ්‍ය ඕනෑම ශබ්දයක් මම දෙනවා. (සිනාසෙමින්)

60 දශකයේ සිනමා සංගම් ව්‍යාපාර සමග ඔබේ සම්බන්ධය කෙබඳුද?

කිහිපයකට සහභාගි වුණා. හුඟාක් ඒවා තමන්ගේ වාසියට පටන් අරන් කෙටි කාලයකින් අවසන් වුණා. හෙළ න`ඵ නිළි සංගමය දිගටම ක්‍රියාකාරීව තිබුණා.
එදා සත් සමුදුර පෞද්ගලික බෙදාහැරීම් මණ්ඩලවලින් ප්‍රතික්ෂේප කිරීම නිසා තාත්තා ඔවුන් සමග දිගටම හැප්පුණා. බෙදාහැරීම රජයට පවර ගන්නා තෙක් දිගටම සටන ගෙන යන බව (න`ඵ නිළි සංගමය සමග) පැවසුවා. ඇත්තටම චිත්‍රපට සංස්ථාව ආරම්භවීමට පසුබිම සැකසුණේ සත් සමුදුර චිත්‍රපටයෙන්.
තාත්තා බෙදාහැරීම් සංගම්වලට බැනලා කිව්වා “උඹලාගේ තියටර් අපි (රජයට) ගන්නවා” කියලා. ඒ කිව්වා වගේම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බලයට ආවාම අපි ඒ දේ කළා.
එදා චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තාත්තා සිටි නිසා තමයි මට මොනවත් කරගන්න බැරිවුණේ. තාත්තා කිව්වා ඔහු අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්න නිසා මට මුකුත් කරලා දෙන්නේ නැහැ කියලා. නිහාල්සිංහ මහතා හිටියත් මම මොනවත් උදව්වක් ඉල්ලලා නැහැ. පසුව 1977දී ආණ්ඩුව වෙනස් වුණා. අලුත් සභාපති ආපු ගමන් ෆයිල් ගෙන්වාගෙන බැලුවා මම මොනවද කරගෙන තියෙන්නේ කියලා. තාත්තා (ලීනස් දිසානායක) කෙළින් වැඩ කළ නිසා අපට චෝදනා ආවේ නැහැ.

එදා සහ අද සිනමා ක්‍ෂේත්‍රයේ ඔබ දකින වෙනස?

තාක්ෂණය ආවත්, අලුත් දේවල් තිබුණත්, පරණ චිත්‍රපට හොඳයි, දැන් ඒවාට වැඩිය. හේතුව දැන් චිත්‍රපට කරන අය කෙටි මාර්ගවල ගමන් කිරීමයි. අපේ රටේ පුරුද්දක් තියෙනවා වැඩ කරගෙන යන විට වැරදුණාම ඒක පස්සේ හදමු කියනවා. ඒත් කිසිවිට ඒක නිවැරදි වෙන්නේ නැහැ. ඒ නිසා වැරැද්දක් වුණොත් ඒ වෙලාවේම අපි හැදුවා. දැන් චිත්‍රපට කරන බොහෝදෙනා සිස්ටම් ගැන දන්නේ නැහැ. එදා “සිනිඳු සුදුමුදු තලාවේ…” සිංදුව අදත් ජනප්‍රියයි. ඒක රෙකෝඞ් කළේ පරණ සරසවි චිත්‍රාගාරයේ. මර්වින් රුද්‍රිගු ශබ්ද ඉංජිනේරු. ඒ කාලේ එකසැරේ සිංදුව රෙකෝඞ් කළ යුතුයි. කෑලි ගන්න බෑ. රෑ එළිවෙනතුරු ගයලා උදේ 9.00ට සම්පූර්ණ සින්දුව ගන්න බැරි වුණා. ඉතින් මර්වින් රුද්‍රිගු ටේප් එකේ තිබුණු කෑලි කපලා අලවලා සින්දුව හැදුවා. ඒ සින්දුවේ ජොයින්ට් 14 ක් තියෙනවා. කාටවත් හොයාගන්න බෑ.

සිනමා ශාලාවල ඩොල්බි ඩිජිටල් සවුන්ඞ් හා DCP ප්‍රක්ෂේපණ සවුන්ඞ් අතර සම්බන්ධය පැහැදිලි කරන්න පු`ඵවන්ද?

අපේ රටේ ඩොල්බි ඩිජිටල් සවුන්ඞ් සිනමාශාලා සු`ඵ ප්‍රමාණයයි තියෙන්නේ. සරවුන්ඞ් ශබ්ද පද්ධතියක මැද ස්පීකරය සෙන්ටර් සවුන්ඞ්. ඒකේ ඩයලොග් යන්නේ. වමේ, දකුණේ, පැත්තේ සහ පිටිපස්සේ ස්පීකර් තිබෙනවා. ඒවාගෙන් තමයි සරවුන්ඞ් ශබ්දය එන්නේ. ඩොල්බි ඩිජිටල් වලින් වගේම DCP එකෙනුත් සරවුන්ඞ් සවුන්ඞ් එනවා. DCP එකේ තියෙන හාර්ඞ් ඩ්‍රයිව් එකේ චිත්‍රපටය දුවනවා. DCP යුනිට් එකක් චිත්‍රපට සංස්ථාවේ සිනමා ශාලාවෙත් සවිකර තිබෙනවා. හාර්ඞ් ඩ්‍රයිව් එකේ ෆිල්ම් එක තියෙන්නේ. DCP එන්න කලිනුත් හාර්ඞ් ඩ්‍රයිව් එකෙන් පොජෙක්ටරය හරහා සිනමාශාලවල චිත්‍රපට පෙන්විය හැකිව තිබුණා. DCP නැතුවත් ෆිල්ම් පටල වලින් ඩොල්බි ඩිජිටල් දිව්වා. ඒ වුණාට සවුන්ඞ් ට්‍රැක් එක තිබෙන්නේ ෆිල්ම් එකේ නෙවෙයි.
මුල් කාලයේ ෆිල්ම් වල ආවේ ඔප්ටිකල් ට්‍රැක් එකක්. ඒක මෙනෝ සවුන්ඞ් ට්‍රැක් එකක්. පසුව පිටරට වල ස්ටීරියෝ සවුන්ඞ් ට්‍රැක් තිබුණත් අපිට ආවේ නැහැ.
ලංකාවට ආ පළමු 70 mm ෆිලම් එක “සවුන්ඞ් ඔෆ් මියුසික්.” රියෝ එකේ පෙන්නුවේ. 35mm වගේ දෙගුණයක් විශාලයි. ඒකේ ඕඩියෝ එක ආවේ මැග්නටික් ටේප් එකක. මැග්නටික් ටේප් එකේ රෙකෝඞ් කළාම කොලිටි එක උසස්. ඔප්ටිකල් එකට දාපු ගමන් සම්පූර්ණයෙන්ම පහළට වැටෙනවා. 70mm පටලයේ මැග්නටික් ටේප් එකක් ඇලෙව්වා. ඒකේ තමයි ස්ටීරියෝ ට්‍රැක් එක දිව්වේ. ඒ පැරණි ක්‍රම අද අය දන්නේ නැහැ.
දැන් චිත්‍රපට සංස්ථාවේ තියෙන ආදර්ශ සිනමාහලේ සවුන්ඞ් එකට මොකද වෙලා තියෙන්නේ? ඒ තියෙටර් එකේ ඩොල්බි සවුන්ඞ් සිස්ටම් එක සවිකළේ ක්ලැරන්ස්. ඔහු හයිෆයි සෙන්ටර් එකේ හිටිය කාලේ. ක්ලැරන්ස් පමණයි ලංකාවේ සිටින ඩොල්බි සර්ටිෆයි ඉංජිනියර්. එහෙම නොවෙන කෙනෙකුට ඒ ශබ්ද පද්ධති සවිකිරීමට, සේවා කිරීමට ලබා දෙන්නේ නැහැ.
ඉතින් ඔය ශබ්ද පද්ධතිය යාවත්කාලීන කිරීමට ක්ලැරන්ස් දුන්න මිල ගණන් වැඩියි කිව්වා. එහෙම කියලා ඒ වැඬේ ගුවන් විදුලි සංස්ථාවේ ශබ්ද ඉංජිනේරුවෙකුට බාර දුන්නා. ඔහු පරීක්ෂා කරලා ශබ්ද පද්ධතිය හොඳට තිබෙන බව පැවසුවාලු.
චිත්‍රපට සංස්ථාවේ ශබ්ද පද්ධතිය සවිකරණ තාක්ෂණ කමිටුවේ මමයි, ක්ලැරන්සුයි හිටියා. මම දන්නවා ශබ්ද තත්ත්වය.
දැන් මෙහි සරවුන්ඞ් සවුන්ඞ් හා DSP ශබ්ද පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතුයි. ඉදිරිපස ස්පීකර් දෙකේ වොලියුම් වැඩි කරලා ට්විටර් 02 ක පිච්චිලා. පස්සේ මෙහෙ කෙනෙක් ඔතලා දැම්මා. සවුන්ඞ් එක ගැන දන්නේ නැති අය අතගැසීම නිසා ශබ්ද උපකරණ වලට හානි සිදුවෙලා, මම ඒ ගැන කිව්වා. ස්පීකර් වලින් “බර” “බර” ශබ්ද එනවා. අපි දන්නවා ලෙඬේ මොකක්ද කියාලා. ක්ලැරන්ස් දැන් වැඬේ අතහැරලා දාලා තියෙන්නේ. දැන් ඔතනට වැඩ දන්න කෙනෙක් ගෙනාවොත් ඉන්න අයට වැඩ වරදිනවා, කළ වැරදි හෙළිවන නිසා. අපි බය නෑ කියන්න. අපි හිනාවෙනවා. සංස්ථාවේ සිනමා ශාලාව කොට උඩ. 5.1 ශබ්ද පද්ධතිය අනතුරේ. සේවා කටයුතු නොකරන නිසා.

ඔබ වැඩ කළ එදා සහ අද අධ්‍යක්ෂවරුන් අතරින් ඔබට විශේෂ කවුද?

කිහිප දෙනෙක්ම හිටියා. ඔවුන් එක්ක වැඩ කිරීම පහසුයි. විශේෂයෙන්ම ගාමිණි ෆෝන්සේකා එක්ක වැඩ කිරීම හරිම පහසුයි. වැඬේ දන්නවා නම් කරදරයක් නෑ.
ගාමිණීගේ “සාගරයක් මැද” මම සවුන්ඞ් කළා. ගාමිණී රඟපෑමට වගේම අධ්‍යක්ෂණයටත් දක්ෂයි. ගාමිණි විජය තිරයට ආ විට පුද්ගල පෞරුෂයක් තියෙනවා. ඒක අනෙත් න`ඵවන්ට නෑ. සුනිල් ආරියරත්න කළ “සරුංගලේ” වැඩි හරියක් අධ්‍යක්ෂණය කළේ ගාමිණි ෆොන්සේකා. මම දන්නවා ළඟ හිටිය නිසා. දැන් පරපුරෙන් වැඩ කරන්න පහසුම අධ්‍යක්ෂවරයා ප්‍රසන්න විතානගේ. ඔහු වැඩ දන්නවා. ඔහු ඉදිරියේදී කරන චිත්‍රපටයේ සවුන්ඞ් කරන්නේ මම. පසුගිය දවස්වල අශෝක හඳගමගේ අලුත් චිත්‍රපටයේ සවුන්ඞ් කළා.

ඔබට සිනමා ක්‍ෂේත්‍රයේ සම්මාන ලැබිලා තියෙනවාද?

එකක්වත් නැහැ. මගේ අදහස සම්මාන ලැබුණොත් තමන් නැති වෙනවා. මෙහෙ සම්මාන දෙනවා “ශබ්ද පරිපාලනය” කියලා. ඒ ඩොල්බි ඩිජිටල් ඉන්දියාවට ගිහින් කරගෙන ඇවිත් මෙහෙදි නම දානවා. එදා විචාරක සංගමයෙන් “සත් සමුදුරට” කළ වැඬේ නිසා එදා ඉඳලා මම සම්මාන ගණන් ගන්නේ නැහැ.

චිත්‍රපට සංස්ථාව, ආරම්භක යුගයේ කටයුතු කළේ කොහොමද?

චිත්‍රපට සංස්ථාව හරියට කරගෙන ගියා ඒ කාලේ. නිහාල්සිංහ මහත්තයා සාමාන්‍යාධිකාරී. සභාපති එල්. පියසේන මහතා. තාත්තා (ලීනස් දිසානායක) නියෝජ්‍ය සභාපති. පියසේන මහත්තයා, ගාමිණි දිසානායක මහතාගේ මාමා. එයා හිටපු ආදායම් බදු කොමසාරිස්. සභාපති පියසේන මහතා නැති දවස් වලට තාත්තා මීගමුවේ සිට එනවා ලිපි වලට අත්සන් කරන්න. ඒ කාලේ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ජී.එල්. පීරිස්, ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි ඇතු`ඵ තව දෙදෙනෙක් හිටියා. මට නම් මතක නැහැ. ඒ කාලේ චිත්‍රපට හදන්න ණය දුන්නේ තිර නාටක බලලා. A B C ලෙස ශ්‍රේණිගත කළා. තිර රචනා වැඩි ප්‍රමාණයක් කියෙව්වේ තාත්තයි, ප්‍රඥාසෝම හෙට්ටිආරච්චියි. මෙහෙ හොඳට දිව්ව අභිමාන්, ගීත් වගේ හින්දි චිත්‍රපට තාත්තයි, පියසේන මහත්තයයි ඉන්දියාවට ගිහින් ගෙනාවේ. බණ්ඩාර කේ. විජේතුංග ප්‍රචාරක කටයුතු කළා.
පියසිරි ගුණරත්න සංස්ථාවේ නිෂ්පාදන අංශයේ කළමනාකරු. ඔහුට චෙකෝස්ලෝවැකියාවේ උපාධියක් තිබුණා සිනමාව සම්බන්ධව. බස්නායක මෙහෙයුම් කළමනාකරු. ඩබ්.පී. රත්නායක හිටියා. ඒ කාලේ සංස්ථාවෙන් සිනමාවට විශාල වැඩ කොටසක් කෙරුණා.

චිත්‍රපට සංස්ථාව වැටුණේ කොයි කාලෙද?

ජේ.ආර්. ගේ ආණ්ඩුවෙන් විවෘත ආර්ථිකය ආවත් සමගම, නිහාල්සිංහගේ කාලේ තිබුණු රැඟුම්පාලක මණ්ඩලයේ සහතික ලැබුණු අනුපිළිවෙළට ප්‍රදර්ශනය කළ යුතු බවට වූ නීතිය 77න් පස්සේ වෙනස් වුණා. පළමුවෙන් පෝලිම පැන්නේ ටිරෝන් ප්‍රනාන්දුගේ “පුරන් අප්පු” චිත්‍රපටය. ඒ වෙනුවෙන්ම 6 වෙනි මණ්ඩලයක් හැදුවා. ඒත් ඒ මණ්ඩලය වැඩිකල් පවත්වාගෙන යන්න බැරි වුණා. ඇන්ටන් වික්‍රමසිංහ මේක ඇනුවා. පසුව ආ කිසිම සභාපතිවරයකුගෙන් සංස්ථාවට වැඩක් වුණේ නැහැ. සුමිත්ත අමරසිංහ හොඳ මනුස්සයා. ඒත් එයාට වැඩිකල් සිටීමට නොහැකි වුණා. මැරුණා. තිස්ස අබේසේකර ඇවිල්ලා පිස්සු කෙළියා.
ඔහු චිත්‍රපට VHS වලට ගන්න හැදුවා. පිස්සු වැඩක්. තාක්ෂණය පිළිබඳ දැනුමක් නැත්තම් නිහඬව සිටිය යුතුයි. VHS වලට ගත්තාම කොලිටිය බහිනවා. විනාශ වෙනවා.
ඒ කාලේ රජයේ චිත්‍රපට ඒකකයට ප්‍රංශ ආණ්ඩුවෙන් ලැබුණු කලර් ලැබ් උපකරණ. ශබ්ද උපකරණ වලට මුදල් ලැබුණා. ෆිල්ම් යුනිට් එකේ හිටියේ ලාල් වික්‍රමාරච්චි. මගේ මිත්‍රයා. ඔහු බස්නායකගේ මස්සිනා. ටෙන්ඩර් එක ගියේ ස්විඩිශ් ආයතනයට. ස්විඩිශ් එකෙන් මාව ගත්තා ටෙන්ඩර් මණ්ඩලයට. මම සියලු උපකරණ විස්තර ඉදිරිපත් කළා. ටෙන්ඩරය ස්විඩිශ් එකට ලැබුණා. උපකරණ ගෙනාවා. ඒ වන විට සරසවි චිත්‍රාගාරය අඩපණ වෙලා. තිස්ස අබේසේකරගේ කාලේ ෆිල්ම් යුනිට් එකේ බඩු සරසවි චිත්‍රාගාරයට ගන්න චන්ද්‍රිකා ජනාධිපතිනියගෙන් අවසර ගත්තා. සරසවි චිත්‍රාගාරයට ගෙනියන්න හදන විට ප්‍රංශ ආණ්ඩුවෙන් කිව්වා උපකරණ දීලා තියෙන්නේ ෆිල්ම් යුනිට් එකට. වෙන කොහේවත් ගෙනියන්න එපා කියලා. එහෙමම සීල් තිබ්බා. කාලයක් ගත වුණා. උපකරණ නරක් වුණා. කාටවත් නැති වුණා.