රාවය

නූතන කවිය ප්‍රසාදජනකයි – කපිල එම්. ගමගේ

නූතන කවිය ප්‍රසාදජනකයි – කපිල එම්. ගමගේ

දිනී ජයසේකර
කවි බස

කවිය සහ කවියා අතර ඇති සහ සම්බන්ධතාව ගැන ඔබේ අදහස මොන වගේද?

මම දකින විදියට කවිය කියලා කියන්නේ කවියාගේ ආත්ම ප්‍රකාශනයට. එතකොට කවි ලියන කෙනෙක් තමන්ගේ ජීවිත අත්දැකීම් පෙරළා ආපසු සමාජයට ප්‍රකාශ කරන මාධ්‍ය හැටියට තමයි කවිය සැලකිය හැක්කේ. වඩාත් සංවේදීව අත්දැකීම ප්‍රතිනිර්මාණය කරලා ප්‍රකාශ කරන්න පුළුවන් හොඳම මාධ්‍ය කවිය. එතකොට මේ දෙක අතර ඒ කියන්නේ කවියා සහ කවිය අතර තියෙන්නේ අවියෝජනීය සම්බන්ධතාවක්. ඒක බිඳෙන්නේ නැහැ. කවියා හැම වෙලේම තමන්ගේ අත්දැකීම කවියක් බවට පෙරළලා තමයි සමාජය අතරට යවන්නේ. මේ අත්දැකීම් ප්‍රතිනිර්මාණයේදී බොහෝ වෙලාවට තමන් මුහුණ දෙන අත්දැකීම් සහ කියවලා , දැකලා , අහලා අපිට අත්දැකීම් ගන්න පුළුවන් වෙනවා. ඒ මොකක් හරි අත්දැකීමක් තමන්ව කම්පනීය තත්වයට පත් කරපුවහම තමා ඒක කාව්‍යෝක්තියක් බවට පත් වෙන්නේ. එතකොට ඒ ඒ කම්පනීය බව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ එකම අත්දැකීම ඇතිව කවි පහක් ගත්තොත් කවියෝ පස් දෙනෙක්ට පස් ආකාරයට අත්දැකීම ඒ ඒ අයට සංවේදී වෙන්න පුළුවන්. ඒ නිසා කවියාගෙන් කවියාට එකම අත්දැකීම වෙනස් ආකාරයන්ට ප්‍රතිනිර්මාණය වෙන්න පුළුවන්.

කවියේ සාර්ථකත්වය සඳහා කවි අභ්‍යාස අවශ්‍යයමද?

මම හිතනවා ඇත්තටම කවිය කියන එක බොහොම සංවේදී මාධ්‍යයක්. ඒ වගේම අපේ ජන සමාජය ගත්තොත් අපේ ජන සමාජය තුළ කවිය අනාදිමත් කාලයක ඉදලා අත්දැකීම් ප්‍රක්ෂේපනය කරපු මාධ්‍යයක්. අපි ඈත අතීතයට ගියොත් පුරාතන පද්‍යය සාහිත්‍යය කියලා අපි කියවන හුඟක් දේවල්. තව අපි එහාට ගියොත් හය හත වර්ෂ වල ලියවුණ සිගිරි කවිය වගේ දේවල් ගත්තත් ඒව තුලත් තියෙන්නේ මිනිස්සුන්ගේ අත්දැකීම්. එතකොට ඒ මිනිස්සු ඇයි මේවා කවියෙන් ප්‍රකාශ කළේ? ඒකට හේතුවක් තිබ්බා ඇත්තටම. ඒ තමයි අතීතයේදී අපේ සමාජය තුල හිටපු බහුතරයට සාක්ෂරතාවය පිළිබද ගැටලුවක් තිබුණා. ඉතිං ඒ නිසා එගොල්ලෝ ගොඩක් දේවල් රස වින්දේ අහලා. ඒ නිසා කවිය වගේ ශබ්ද මාධූර්යක් සහිත කලාංගයකට වැඩි තැනක් හම්බ වුණා. ඉතාමත් කෙටියෙන් අත්දැකීමක් විඳ ගන්න පුළුවන් වුණා. ඉතිං ඒකම තමා කවිය අනාදිමත් කාලයක ඉදලා අපේ ජන සමාජය තුළ අත්දැකීම් ප්‍රකාශන මාධ්‍යයක් හැටියට පරිහරණය කරන්නේ. අද වෙනකොට මම විශ්වාසය කරන දේ තමයි සමාජයෙන් බැහැර වෙන කවියට පැවැත්මක් නැහැ කියන දේ. මම කියන්නේ කවියා පවතින සමාජයට මදක් ඉදිරියෙන් සිටිය යුතුයි, සහ රසිකයාට ග්‍රහණය කරගත හැකි නිර්මාණ ඉදිරිපත් කල යුතුයි.

නූතන කවිය මොනවගේ තැනකද මේ වන විට තියෙන්නේ?

නූතන කවිය ගැන මට තියෙනවා යම් කිසි ප්‍රසාදයක්. මොකද මම අයිති වෙනවටත් වැඩිය පරම්පරාවක් දෙකක වගේ නව කවීන් බිහි වෙලා කවිය හොඳින් පෝෂණය කරනවා. ඒක දිහා මම බලන් ඉන්නේ ඇත්තටම සතුටින්. මොකද කවිය මගේ ආත්ම ප්‍රකාශනයක්. එතකොට මම කියන බොහොම ඇලුම් කරන කවිය වෙනුවෙන් පෙනී සිටින අලුත් කවියන්ගේ කවි ඉතාමත් නිර්මාණශීලීව හිතෙන දිහා බලලා සතුටු වෙන කෙනෙක්. ඉතිං ඒ නිසා නූතන කවිය පිළිබඳ තියෙන්නේ සුබදායි ධනාත්මක අදහසක්. මම දකිනවා නූතන කවීන් අතර ඉතාමත්ම කාව්‍යාත්මකව නූතන අත්දැකිම් කවියට ගොනු කරන භාෂාවත් එක්ක සෙල්ලම් කරන භාෂාව කවියට ගැලපෙන ආකාරයට කපා කොටා ඔප මට්ටම් කරගන්න දක්ෂ කවීන් ගණනාවක් නූතන කාව්‍ය ක්ෂේත්‍රය තුළ ඉන්නවා. ඒක සිංහල කවිය ගත්තොත් සිංහල කවිය පිළිබඳව තියෙන්නේ ඉතාමත්ම ධනාත්මක අදහසක්. මම ඒ ගැන ඉතාමත් සතුටු වෙනවා පසු පරම්පරාවක කවි ලියන පුද්ගලයෙක් විදියට.

කවියෝ භාෂාවෙන් සංවර විය යුතුද?

අත්දැකීම අනුව තමයි අපි පාවිච්චි කරන භාෂාව මොනවගේ එකක් විය යුතුද කියල තීරණය වෙන්නේ. මොකද අපි දන්නවා ඕනම අත්දැකීමක් කවියක් හැටියට ප්‍රතිනිර්මාණය කරද්දි ඒ අත්දැකීමේ ස්වරූපය අනුව තමයි කවියේ ආකෘතිය හැදෙන්නෙත් කවියේ භාෂාව හැදෙන්නෙත්. ඒ නිසා මම කියන්නේ භාෂාව කොයි විදියට පාවිච්චි කරත් කමක් නැහැ හැබැයි ඒ අත්දැකීමට ගැළපීම අවශ්‍යයි. ඒකට කාව්‍යාත්මක භාෂාවක් තියෙනවාය ඒ භාෂාව පමණයි කවියට යුතු වන්නේ කියලා එහෙම ආචීර්ණ අදහසක් මගේ නැහැ. මම කියන්නේ අත්දැකීම ප්‍රකාශ කරන්න පුලුවන් හොඳම විදිය සහ හොඳම භාෂාව කවියා දන්නවා. ඒ නිසා කවිය ඒ අත්දැකීම ප්‍රතිනිර්මාණය කරන්නේ ඊට සුදුසු භාෂාවෙන්. එතකොට ඒ අනුව කවියෙන් ප්‍රකාශ කරන ඒ අත්දැකීම වඩා හොඳින් සමාජය ඇතුළට කිඳා බසිනවා. ඒ නිසා මම කියන්නේ භාෂාව කාව්‍යාත්මකව මෙන්න මේ වගේ තැනක තිබිය යුතුයි කියලා කියන් නැහැ. නමුත් කවිය කිසියම් ලයක, රිද්මයක සිටිය යුතුයි කියලා මම හිතනවා. නමුත් මම ඒකෙන් කියන් නැහැ කවිය සිවුපද කවිය යුතුයි, ඒකට මුලට එළිවැට තිබිය යුතුයි, අගට එළි වැට තිබිය යුතුයි කියලා අදහස් කරන් නැහැ. මම කියන්නේ එහෙම කවිත් ලියවෙන්න පුළුවන් කියලා.

නූතන කවියන්ගේ කවි හුදෙක් දේශපාලනිකයි කියලා මතයක් තිබෙනවා නේද?

කවියා කවදත් දේශපාලනය ගැන කතා කළා. දැන් මම ගත්තොත් එහෙම මම 1980 ගණන් වල ඉදලා කවි ලියන්න පටන් ගත්තාම මම ආපහු මම ලියපු කවි දිහා ආපහු හැරිලබලද්දි ඒ කවිය ඇතුලේ දේශපාලනයක් තියෙනවා. මම කියන්නේ නැහැ දේශපාලනයෙන් බැහැර කවියක් තියෙනවා කියලා. මොකද ප්‍රේමය ගැන ලිව්වත් ඒ ප්‍රේම කවිය ඇතුළෙත් දේශපාලනය තියෙනවා. ඒ වගේම තමා සමාජ අත්දැකිමක් ලිව්වත්. ඒ සියල්ලම තුල දේශපාලනය තියෙනවා. හැබැයි මම කියන්නේ දේශපාලන සටන් පාඨයක් කියන්නේ කවියක් නෙවේ. අපි හෙව්වොත් එහෙම යම් යම් සීගිරි කවි තුළත් දේශපාලනයක් තියෙනවා. හැබැයි එකම දේ තමයි ඒක ව්‍යයංගයෙන් තමයි ප්‍රකාශ වෙලා තියෙන්නේ. සෘජුව ප්‍රකාශ වෙලා නැහැ. මම කියන්නේ කවියකට තිබිය යුතු දෙයක් තමයි කාවf්‍යා්ක්ති ව්‍යයංගයෙන් ප්‍රකාශ කිරිමේ හැකියාව. ඒක තමා කවියක ස්වරූපය.