රාවය

අවනඩුව

අවනඩුව

ශාන්ති දිසානායක

හෙන්දිරික්කා මල් පිපුණට පස්සේ හැන්දෑ කරුවල ගාට ගාට එන බව කොයි කවුරුත් වගේම කෙල්ලත් දැන හිටියාය. පුර හඳ පායා දිලෙන රැයක නම් ගහ කොළ ගෙවල් දොරවල් හරකා බාන වසා දොදොල් පට්ටයක් වගේ කළුවට කළුවේ වැජඹෙන්නට අන්ධකාරයට හයි හත්තිය නොලැබේ. කිසියම් පැහැති සුන්දරත්වයකින් හාත්පස බබළන බැවිනි. එහෙත් අමාවක අන්ධකාරය තරු කැකුළකටවත් මෝදූ වන්නට ඉඩක් නොදේ. ඒ උමතු ඇඳිරියට කෙල්ල කොයි තරම් බයදැයි කිරි අම්මා කාටත් වඩා හොඳින් දැන හිටියාය. එහෙත් හැන්දෑ අඳිරිය වඩවන හෙන්දිරික්කා මල දැක දැකම කෙල්ලට පං මල්ල දිගු කරන්නට උන්දැ නොපැකිලුණාය.

“දැන් එයි දැන් එයි කියලා මඟ බලන් හිටියට කොල්ලා ආවේ නෑනේ.”

අණක් නියෝගයක් පනවනවා වෙනුවට කිරි අම්මා මව් හදවතක සන්තාපය පළ කළාය.

කොල්ලා හරක් දක්කාගෙන යන කල කොතෙක් එපා කීවද පස්සෙන් වැටෙන්නට කෙල්ල වග බලා ගනියි. එහෙත් අද ඒ මුරණ්ඩු කමට වැට කඩොළු බැන්දේ ඇගේ ආදරබර තාත්තාය. ඔහු සිය දෝනියැන්දා දැකබලා ගන්නට පැමිණියේ වයිවාරණ කෑම බීම උස්සාගෙනය. ඒ කඩ කෑමට වඩා ඇය වැව් පිටියේ පලු වීර ගෙඩි කඩා කන්නට ප්‍රිය කළාය. එහෙත් තාත්තා වැඩි වේලාවක් නොරැඳී යන බව දැනගත් ඇය නිය විකමින් කල්පනා කළේ මහ වැව් පිටියේ හරක් පට්ටියක් එක්ක ඔට්ටු වන කුඩා කළු කොල්ලා ගැනය. එකෙකුට එකෙක් කිසිසේත් සමාන නොවන එළ හරක් පාඩුවේ තණ උලා කන බැවින් ඔහුට ඒ හැටි කරදරයක් නැතත් තමා සිටියා නම් හොඳ බව කෙල්ල කල්පනා කරයි. සීනි සියඹලා කන්නට, දිවුල් අහුලන්නට, දං පඳුරු පීරා ඉදුණු දං කන්නට තව කොතෙක් දෑ තිබේද කෙල්ලටත් කොල්ලාටත් එක්ව කරන්නට. ඉතිං එහෙව් සාංකාවෙන් හැකිළී හුන් කෙල්ලට මේ පන් මල්ලත් ඒ ආරාධනාවත් කියලාවත් කරගන්නට බැරි දෙයකි. ඡන්මයෙන් විසල්ව ගිය ඇගේ දෙඇස් දැක දැක කිරි අම්මා දයාන්විත සිනාවක් පෑවාය.
“කළුවර වැටීගෙන එන්නේ. දුවපන් ඉතිං කස් ගාලා…… පාරේ ඉන්න තරම කූඹීයෝ, පළඟැට්ටෝ එක්ක බජනෙට නොගිහින් එක පිම්මට දුවපන්…”
ඒ අවවාදය හිස සලා පිළිගත් කෙල්ල දුවන්නට පටන් ගත්තාය. හරියට යකෙක් පස්සෙන් පන්නාගෙන එන්නා වගේය. තමා පමාවන තරමට කළු යකා ඉස්සර වන බව දන්නා නිසාය.

“කළුවරට බය වෙන්නේ මොකටද? හොඳට ඇස් ගෙඩි දෙක ඇරලා බලපන්කො අටපල් කළුවරේ එහාට මෙහාට ඉගිල්ලෙන් නැද්ද කියලා කලාමැදිරියෝ….ඒ ඇබිත්තට එළිය බිංදුව ඔයාකාර දිලිහෙන්නේ ඔය කළුවර හින්දම නෙමේද? ඩිංගක් උඩ බැලුවා නම් පෙනෙයි තරු කැට මැණික් කැට වගේ දිලිහි දිලිහි තියන රඟ….කෑලි කපන කළුවර නොවෙන්න ඔය තරු ඔයාකාර දිලිහෙයිද බං….?”

ඇතැම් අමාවක රැයක මිණිබිරිය උකුලේ හොවාගන්නා කිරි අම්මා ඒ කියා දුන්නේ ගැඹුරු කතාවක් බව කෙල්ලට නොහැඟිණ. එහෙත් ඇය කළු යකාට බියව පැරද පලා නොගොසින් ඒ එළිය බිංදු දකින්නට වෑයම් කළාය. කෑදර කැකුළු කටවල් අටක හිරිහැරයෙන් එල්ලා හැලෙන දෙතනේ ඔබාගත් මුහුණ මඳකට මෑත් කොට කළු යකාට අභියෝග කළාය. එහෙත් මේ හැන්දෑවේ ඇය වැව් පිටියට දුවන්නේ තට්ට තනියමය. තනියක් තියා තනිනොතනියට මොකක්වත්, මොකෙක්වත් නැතුවමය. බියෙන් හැකිලෙනවා වෙනුවට සිරියෙන් ජවයෙන් පණ පොවමින් හතිලෑවාය.

වැව් පිටියේ තැන තැන තණ උලා කන ගව රැල මිසක කොල්ලෙක් දකින්නට නොලැබීමෙන් කෙල්ල වික්ෂිප්ත වූවාය.
“චූටි මාමණ්ඩි….” යි ඇය කෑ ගෑවේ ඒ මේ අත දුව යමිනි.දඹ ගසක අතු අතර මනාව පිරික්සමිනි. කෝං ගස් යටට පවා දිව යමින් “චූටී මාමණ්ඩි…අනේ කොහෙදෝ…එන්ඩෝ….මං ආවෝ…” යි අතොරක් නැතිව බෙරිහන් දුන්නාය.එහෙත් කළු කොල්ලාගේ හෙවණැල්ලක්වත් දකින්නට අපොහොසත් වූවාය.

“අනේ රත්තියේ කොයි චූටි මාමණ්ඩි….? කෑදරකමට කකා ඉන්නැතුව කොහෙද හොයන් නැද්ද චූටි මාමණ්ඩි?”
කෙල්ල හඳයාගේ මව වන රත්තිට පවා දෝෂාරෝපණය කළාය. වයිරාට පාරක් ගසන්නට ද නොපැකිළුණාය. ඒ සිව්පා සත්තු තම කුඩා ස්වාමියා පිළිබඳව කරදර වෙනවා වෙනුවට ඔහේ වමරා කති.

පං මල්ල අත්තක එල්ලූ කෙල්ල වැව් පිටිය සිසාරා බැල්මක් හෙළුවාය. පළමුව දිව යා යුත්තේ වැව් පිටියේ ඈත කෙලවරටද නොඑසේනම් වැවට දැයි නිශ්චය කර ගන්නට මොහොතක් කල් මැරුවාය. කොල්ලා සිහිලැල් දිය දහරේ ගිලි ගිලි නානවා විය හැක. ඔහුට දිය නාන්නට වේලාවක් අවේලාවක් නැත. ඔහේ හිතුණු හිතුණු වේලාවට වතුරට පනී. වැව් පිටියට ආ හැටියේම කමිසය ගලවා අත්තක එල්ලන බැවින් වැවට පැනීමේ දී ගලවන්නට වෙන්නේ කොට කලිසම පමණි. කෙල්ලද ගවොම් පොඩිය හා ජංගිය ගලවා වැවට පනින්නට බිඳකුදු මැලි නොවූවාය. එකිනෙකාගේ හෙළුව දෙස බලන තරමේ උනන්දුවක් පවා ඔවුන් තුළ නොවීය. දැක්කද ශරීරයේ අත පය නහය කට වගේම අංගයක් විනා අසභ්‍ය හෝ විස්මිත යමක් සේ නොහැඟිණ. අනෙක් අතට රෙදි පෙරදි වල හිරිහැරයෙන් මිදී දියේ ගිලීම වූ කලී වෙනස්ම හා මිහිරිම අත්දැකීමක් විය. එයින් මිනිසා තුළ නිරායාසයෙන් ජනිත වන අධිපති හා උද්දච්ච හැඟීම් වියැකී දියේ පිහිනා යන අබිතන් මාළුවෙකුට ඉහළ නිල් අහසේ සරණ කුරුල්ලෙකුට වඩා වටිනා ප්‍රෞඪ ජීවින් නොවන බව පසක් නොවීද?
සියල්ල අඳුරින් වැසී යන්නට පෙර කඩිමුඩියේ දිය නාන කීපදෙනා අතර කළු කොල්ලාගේ කැහැටු පංචස්කන්ධය දක්නට නොලැබිණ.
“චූටි මාමණ්ඩි….”

කෙල්ල කෝන් ගස යට හිඳගත්තේ දෙපා රුදාව නිසා නොවේ. හිතේ රුදාව ඉවසාගත නොහැකි බැවනි. කොල්ලා හරක් පැටවකු ඩැහැ ගන්නට මාන බලන දිවියාට ගොදුරු වී දැයි සැකයෙන් බියෙන් ඇගේ කුඩා ළය ගැහෙන්නට විය.

“ අනේ චූටි මාමණ්ඩි….”

දෙනෙතින් ගලන කඳුළු පිසදා ගත් හැටියේම වාගේ ඇය ඇගේ දෙපයේ ගැටී නොගැටී තිබෙන උත්තරය දුටුවාය. ඔහු කෝන් වල්ලක්ම කඩා කෑ බවට දෙස් දෙන කෝන් ඇට මත ඇගේ සෝබර නෙත් නැවතිණ. එහෙත් ඒ කෝන් ඇට පමණක් නොවීය. ඒවායේ යම් රටාවක් විය. ඇය දෑස අයාගනිමින් ඒ ප්‍රෙහේලිකාමය කෝන් ඇට රැස වටහාගන්නට වෑයම් කළාය.

“ මං මහණ වෙන්ඩ යනවා”

වැඩි ආයාසයක් නොදරාම ඇය පණිවිඩය කියවා ගත්තාය. කළු කඩි රොත්තක් තට්ටම සපා කෑ කලෙක මෙන් වහා නැගී සිටියාය. දැවිල්ලක්ද දැනිණ. එහෙත් ඒ තට්ටමේ නොව ළයෙහිය.

හිරිහැර කරදර නිමක් නොවූයෙන් කළු කොල්ලා නිතර නිතර ඒ කතාව කීවේය.
“මං මහණ වෙනවා”
පළමුව ඇය ඒ කතාව හාස්‍යයෙන් ඉවත දැමුවාය. දෙවනුව ඊට පුරුදු වූවාය. ඒ තරම් වාර ගණනාවක් ඔහු එසේ කී බැවිනි.
කිරි අත්තාගේ සහෝදරයා පැවිද්දෙකි. දරු කැළතෙන් එකකු ශාසනයට පූජා කරන මෙන් නිතර ඉල්ලා සිටියි. හතර වරිගයක් නිවන් දැකීමේ පහසුම හා කෙටිම මඟ එය බැවින් කිරි අත්තා එක හෙළා කැමති විය. එහෙත් දරු හැවිකාරෙන් ඔද්දල් වූ කිරි අම්මා දරු පැටවකුගෙන් වෙන් වන්නට නොරිසිව,
“කොල්ලාට තවම හරියට පුක හෝදගන්ඩත් බැරි එකේ තව ටිකක් පහු වෙච්චදෙන්”
කී කල් මැරුවාය.

ඔයින් මෙයින් පැවිද්දට සරිලන වයස ගෙවී යයි. ඉනික්බිති ඒ කොල්ලාට බාල කොල්ලා…. එහෙත් ඔහුද පුක හෝදාගන්නට ඉගෙන ගන්නා විට පැවිද්දට නුසුදුසු තරමට වැඩී සිටියේය. එහෙව් එකේ කිරි අම්මාගේ ඒ සටකපට ව්‍යායාමයටද පයින් ගසා බඩ පිස්සා සසරින් ගැලවීමේ ඒකායන අරමුණින් ශාසනයට තෙමේම පූජා විද?
කෝන් ඇට ගොන්න දෑතින් ගත් කෙල්ල “අනේ චූටි මාමණ්ඩි”යි මුර ගෑවාය. හරියට ඔහුගේ මළකඳ දෑහින් දැක්කා වගේය. ඇගේ අතැඟිලි අතරින් ලිස්සා යමින් යළි වියළි පස් මත පතිත වන කෝන් ඇට කොටු පාරින් ටොක්කෙන් හා තිත්ත කුණුහරුපයෙන් සදහටම නිදහස් වූ මනුස්ස පරාණයකට සාක්ෂි දැරුවේය.
දිළිඳුකම හා පවුල තුළ නොයෙකුත් ගැටලු හේතුකොට ගෙන පැවිදි දිවියට ඇතුළුවන දරුවන් කොතෙකුත් සිටින බව දැකිය හැක. සංසාරය පිළිබඳව අහෝ සංසාරයක් නොදැන වුව ඒ කෙටි කාලීන ගිහි ජීවිතයේ අසීමිත පීඩාවන්ගෙන් ගැලවීමේ ඒ කියන මාර්ගය සිවුර වීම සැබවින්ම කණගාටුදායකය. ගිහි නම අත්හැරිය ද ගිහිව විසූ ගමේ නම පැවිදි නමේ මුලට එක්වන බැවින් අපේ භික්ෂූන්ගෙන් බහුතරය දුෂ්කර ග්‍රාමීය පෙදෙස්වලින් බව වටහාගත හැකිය.

බුදු සසුනෙහි චිරස්ථිතිය පිණිස භික්ෂූන් උවමනා බව සැබෑවකි. එහෙත් සිව්රක් දැරූ පමණින් යමෙකු බුද්ධ පුත්‍රයකු වන්නේද? මෛත්‍රිය පදනම් කරගත් දහමක අනුගාමිකයන්ගෙන් ඇතැම් දෙනා තුළ මෛත්‍රිය ඇත්තේම නැති තරම්ය. මෛත්‍රියෙන් තොර භික්ෂුවට හොඳම උදාහරණයක් නොබෝදා සිරගත කෙරුණු ගලගොඩ අත්තේ ඥානසාර හිමිය.
මෛත්‍රියේ සිසිල් දියෙන් නිවා දැමිය යුතු ජාතිවාදයේ ගිනි පුපුරු වෛරයේ පිදුරු මිටක් නොව කන්දක් දවා අවුළවාලන්නට උන්වහන්සේ කොතෙක් දුරට වගකිව යුතු දැයි දන්නේ ද නොදන්නේ මෙන් පසුවන්නෝද හොඳින්ම දනිති.
ඒ ජාතිවාදී ගැටුම් පසෙක තැබුවද අතුරුදන් සැමියා වෙනුවෙන් සාධාරණත්වය පතා අරගල කළ ඒ අභීත ගැහැනියට එපරිද්දෙන් ආක්‍රෝශ පරිභව කිරීම නොතකා හළ තරමේ සිල්ලර කාරණයක් බවට තර්ක කරණ භික්ෂූන් සිවුර කෙරෙහි බෞද්ධයා තුළ නිතැතින් ජනිත වන ගෞරවයද විනාශ කර නොදමන්නේද?
බුදු හිමියන් පටාචාරාවට, කිසාගෝතමියට පිහිට වූ බවක් හෝ මේ බුද්ධ පුත්‍රයන් දන්නේ දැයි සැක සහිතය. බුද්ධ දර්ශනය කෙසේ වෙතත් බුද්ධ චරිතය අධ්‍යයනයෙන් ජීවිතයේ බැඳුණු මලකඩ මුලමුණින්ම සූරා දැමිය හැකි බව අපේ භික්ෂුව වටහාගන්නේ කවදාද?
පැවිද්දකුගේ තබා ගිහියකුගේ වුව මුවින් පිට විය යුතු නැති තරමේ කර්කශ බසින් ඥානසාර හිමි සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට පරිභව කළේ මහහඟදී හෝ වෙනත් අවශේෂ තැනකදී නොවේ. උත්තරීතර යැයි කියන අධිකරණයේදීය. ඉතිං ඒ හිමියන් බුද්ධ ධර්මයට ද මනුෂ්‍ය නීතියට ද එක විට පිටු පෑ බවට තවත් කරුණු කාරණා අවශ්‍යය ද?
අන්තිමේ දී ඒ සියලු කරුණු කාරණා පසෙක තබා අපේ ගිහියෝ ද පැවිද්දෝද එල්ලුණේ ජම්පරයේය. හරියට මේ අරුම පුදුම දිවයිනේ ඉස්සෙල්ලාම ජම්පරයක් හැඳි භික්ෂුව ඥානසාර හිමි බවක් හැඟවෙන පරිද්දෙන් කළ කලබැගැනිය නීතිය පමණක් නොව බුදු දහම හා සසුනද අපකීර්තියට ලක් නොකළේද?

රටක ජනතාවට පීඩා ගෙන දෙන බොහෝ කරුණු සම්බන්ධයෙන් නිහඬ හා ඇල් මැරුණු පිළිවෙතක් අනුගමනය කරන මහා සංඝරත්නය ඥානසාර හිමියන්ගේ වරදේ බරපතළකම හැල්ලු කරන්නටත් සිර ගෙදරදී ඇඳිය යුතු ඇඳුම සම්බන්ධයෙන්ද කළ ඝෝෂාව නීතිගරුක පුරවැසියකුට හෝ සැබෑ බෞද්ධයකුට අනුමත කළ හැකිද? තමාගේ පිලේ හෝ පවුලේ එකකු කවර අවකෙලියක නිරත වුවද ගලවා ගන්නට වෙර දරන සමාජයක යුක්තිය හා සාධාරණත්වය පමණක් නොව බුද්ධ භාෂිතය ද මිරිඟුවක් නොවන්නේද?