වෙස් මුහුණ ගලවන්න ලූෂන්ට පුළුවන්ද?

විමලනාත් වීරරත්න

ලූෂන් බුලත්සිංහලගේ වෙස් මුහුණ ගලවන්න නාට්‍ය ජූලි 12/13 ප.ව. 6.30ට කොළඹ ලයනල් වෙන්ඞ්ට් රඟහලේදී වේදිකා ගතවේ.

ලූෂන් බුලත්සිංහල රතුහැට්ටකාරී, තාරාවෝ ඉගිළෙති වැනි අතිශයින්ම ජනප්‍රිය නාට්‍ය කිහිපයක් කළ ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකයෙකි. එතෙකින් නොනවතින ඔහු පරිසමාප්ත රංගධරයකු ලෙස ප්‍රාසාංගික කලාව විෂයෙහි මහත් වූ මැදිහත්වීමක් කළ රංගවේදියෙකි.

වෙස් මුහුණ ගලවන්න ඔහුගේ නවතම රංගාවතරණයයි. මෙම නාට්‍ය පිළිබඳ ලූෂන් කතා සාරාංශයක් ඉදිරිපත් කරමින් කියන්නේ වෙස් මුහුණ ගලවන්න අශෝකමාලා කෙනකු හා සාලිය කෙනකු අතර කතාවක් බවය. අපි දන්නා ඉතිහාස කතාවේ එන අශෝකමාලා කුල පීඩිත ස්ත්‍රියකි. සාලිය රජ කුමරෙකි. සාලිය නම් වූ ඒ පුදුම මිනිසා ප්‍රේමය වෙනුවෙන් රජකම අත්හළේය. එය පුදුමසහගත වන්නේ ලංකාවේ ඉතිහාසය පුරාම රාජ්‍යත්වය වෙනුවෙන් ආදරය, හැඟීම්, මිනිස් සබඳතා ආදී සියල්ල පාවාදී තිබෙන ආස්ථානයකය. භෞතික සියල්ල ආදරය නම් චිත්ත සමාධිය වෙනුවෙන් දෙවරක් නොසිතා ප්‍රතික්ෂේප කළ බව පෙනෙන සාලිය ලංකාවේ මෙතෙක් උපන් සියලු කුමාරවරුන් අතර ශ්‍රේෂ්ඨතමයා විය යුතුය.
ලූෂන්ගේ නාට්‍යයේ එන සාලිය කෞතුක භාණ්ඩ වෙළෙන්දකුගේ පුතෙකි. සාර්ථක ඇන්ටික්කාරයකුට ඉතිහාස කතාවේ එන සාලියගේ පියාටත් වඩා පුද්ගලිකව ධනය තිබෙන්නට පුළුවන. ලූෂන්ගේ සාලිය, ආදරය කරන අශෝකමාලා කැරොකේ සමාජ ශාලාවක නර්තන ශිල්පිනියකි. ඉතිහාස කතාවේ එන කුල පීඩිත අශෝකමාලා හා මේ අශෝකමාලා අතර සැසඳීමක් ඕනෑනම් කළ හැකිය. වත්මන් අශෝකමාලා හුදු නර්තන ශිල්පිනියක් නොව එල්ටීටීඊ සංවිධානයේ සෙබළියක් බව ක්‍රමයෙන් හෙළිදරව් වෙයි. ඇය වෙනත් වේෂයකින් සිටින්නේ එම සංවිධානයේ අභ්‍යන්තර සැහැසිකම් නිසා යැයි ප්‍රකාශ වෙයි. ඇය එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ වී ඇත්තේ සිංහල පාලක පන්තියේ දුර්දාන්ත පිළිවෙත් නිසා තම ජාතියට සිදුවන අසාධාරණකම්වලට එරෙහිවීමටය. එය පැහැදිලි කරුණකි. එහෙත් පළමු කරුණ වන එල්ටීටීඊයේ අභ්‍යන්තර සැහැසිකම් යන්න සිංහල ජාතිවාදීන්ගේ ගොඩට නොවැටී ලූෂණ්ට නාට්‍යය තුළ පැහැදිලි කරන්නට සිදුවෙයි. ඔහුට තෝරාගත හැකි මග නම් මේ පාර්ශ්ව දෙකේම අර්බුදය එළියට ගැනීමය. වැරදි විධි ක්‍රම භාවිත අරගලයක් වැරදි මැඬපැවැත්වීමකින් පසු දෙපාර්ශ්වයම මුහුණ දෙන දේශපාලන – සංස්කෘතික අභියෝගයක් තිබේ. එම අභියෝගයට දෙපාර්ශ්වයම මුහුණ නොදීම ලූෂන් නාට්‍ය තුළ සාධනය කරන්නේ කෙසේද යන්න වැදගත් කාරණයකි.

ලූෂන් මීට වසර හත අටකට පෙර දිනක රාවයට දුන් සම්මුඛ සාකච්ඡාවකදී කියූ දෙයක් වෙස් මුහුණ ගලවන්න නාට්‍ය ගැන ඔහු ලියූ පූර්ව සටහනක් අන්තර්ගතව තිබුණි. ඒ ඔහුට උදව් කළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු වූ වේළුපිල්ලේ ආරුමුගම් මහතා ගැනය. වේළුපිල්ලේ මහතාගේ කරුණික බව නොලැබෙන්නට ලූෂණ් බුලත්සිංහල කෙනකු බිහි නොවන බව ඉතා අවංකව ලූෂන් උක්ත සංවාදයේදී මෙන්ම නාට්‍ය ගැන මෙම සටහනේදීද කියා තිබේ. අඹේවෙල ගොවිපළේ ලිපිකරුවකු ලෙස පත්වීමක් ලැබී තිබුණු ලූෂන් අවස්ථා ගණනාවකදීම එය පේරාදෙණියට මාරු කර ගැනීම සඳහා සිංහල බෞද්ධ නිලධාරීන් ඉදිරියේ වැඳ වැටී තිබේ. ඒ වනවිට ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සමත්ව සිටි බැවිනි. එහෙත් ඔවුහු ලූෂන්ගේ ඉල්ලීම ගණන් නොගත්හ. අවසානයේදී එම ඉල්ලීම ඉටුකරදී ලූෂන්ට රාජකාරී කරන ගමන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී අධ්‍යාපනය ලැබීමට ඉඩ ප්‍රස්ථාව සකසා දී තිබුණේ අඹේවෙල ගොවිපළේ කළමනාකරු වූ වේළුපිල්ලේ ආරුමුගම් මහතාය. එසේ බලන විට ලූෂන්ගේ ගැලවුම්කාරයා සිංහල බෞද්ධ නොවේ. හෙතෙම දෙමළ හින්දු ගැලවුම්කාරයෙකි. ලූෂන් මෙසේ ලියයි.

“ඒ ශ්‍රේෂ්ඨ දෙමළ මිනිසා වේළුපිල්ලේ ආරුමුගම් මහතා ප්‍රමුඛ මාගේ ළමා වියේ සිට මට මුණ ගැසුණු සියලු යහපත් දෙමළ මුස්ලිම් මිනිසුන් සිහිකරමින් මා නිර්මාණය කළ සිහිවටනයයි වෙස් මුහුණ ගලවන්න.”
ලූෂන්ට ඔහුගේ සාලිය, අශෝකමාලාත් වඩා ප්‍රශස්ත තැනක තැබීම ගැන වරක් දෙවරක් නොව ලංකාවේ ඉතිහාසය, වර්තමානය හා අනාගතය වෙනුවෙන්ම සිතන්නට සිදුවන්නේ මේ පසුබිම තුළය. ඔහු වේළුපිල්ලේ ආරුමුගම්ට සාධාරණය ඉටු කිරීමට නම් සිංහල ආණ්ඩු සේ ම දෙමළ සන්නද්ධ ව්‍යාපාරය ගැනත් එහි ඉතිහාසය හා ක්‍රමික විකාශය ගැනත් පළල් දෘෂ්ටියකින් විමසා බැලිය යුතුය. ගැඹුරු දේශපාලන කියවීමකින් උපයුක්ත රංග ප්‍රයානයක් ගොඩනැගීම ගැන සිතිය යුතුය.

ඇත්තටම එය මෛත්‍රීපාල සිරිසේනලා, රනිල් වික්‍රමසිංහලා අත්හළ වගකීමකි. උතුරේ ප්‍රශ්නයට විසඳුමක් ගෙන ඒමට නම් පළමුව අප ඒ ප්‍රශ්නයට සමාරෝපය විය යුතුය. නිකම්ම දෙමළ ගෙදරක බත්හැළිය ඉදෙන මුළුතැන්ගෙයට හිස පොවා පැමිණ දෙමළාගෙන් අල්ලා ගත් බිම් අඟල දීමට පවා තටමන නායකයන්ට එය කළ නොහැකිය. ලූෂන් දේශපාලනඥයකු නොවේ. එහෙත් මේ ප්‍රශ්නය ගැන නිර්මාණයක් කරන්නට අත තබන ඕනෑම නිර්මාණකරුවකුට සොකඩ දේශපාලනඥයකුට වඩා වැඩි වගකීමක් කොහොමටත් තිබේ. ලූෂන්ට අප කිවයුත්තේ එම වගකීම ඉටු කරන්නටය.

වෙස් මුහුණ ගලවන්න යන්නෙන් ලූෂන් අදහස් කරන්නේ අපි අපේ සැබෑ මුහුණින් යුතුව මේ ප්‍රශ්නයට මුහුණ දෙමු යන්න විය හැකිය. මෙරට නායකයන් මෙම ප්‍රශ්නය දෙස බැලුවේ වෙස් මුහුණ දාගෙන පමණක් නොව බඬේ බිජුත් තියාගෙනය. එබැවින් වෙස් මුහුණ ගලවා බඬේ බිජු විරේක කරගෙන මේ ප්‍රශ්නය දෙස බැලීම වැදගත් බවත් අවධාරණය කළ යුතු වෙයි.