අවිය මුවහත් බව දැවෙන විහඟුන් හඬගා කියත්!

ප්‍රියත් ලියනගේ

සියලු කළා නිර්මාණයෝ එම නිර්මාණයට ප්‍රස්තුත වන සමයයෙහි අදාල ඓතිහාසික මොහොතේ ආමුද්‍රණය ප්‍රතිනිර්මාණය කරති. පසුගිය සියවස අවසන් භාගයේ ශ්‍රී ලාංකීය සමාජයේ ජීවිත දහස් ගණනක් දවාලූ භීෂණයේ ගොදුරු බවට පත්වන අහිංසක විහඟ කැදැල්ලක කථාන්තරය තිරයට ගෙන ඒම දැවෙන විහඟුන් නිර්මාණය කළ සංජීව පුෂ්පකුමාරගේ ප්‍රයත්නය වී තිබේ.

දැවෙන විහඟුන් චිත්‍රපටය තුළින් ප්‍රබල වෘතාන්තයක් ප්‍රේක්ෂකයා වෙහෙසට පත් නොකරමින් සරලව සහ සංවේදීව ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂ වරයා සමත් වෙයි. තම ජීවිතය අරඹා හැදී වැඩුණු සමාජයෙන් ලද අත්දැකීම් තුළින් විඳි කම්පනය සියලු දෙනාට වැටහෙන ලෙස සරලව ප්‍රතිනිර්මාණය ලෙහෙසි කාර්යයක් නොවේ. දැවෙන විහඟුන් අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර , බලහත්කාරයෙන් එබ්බවූ සංකේත හෝ සංකීර්ණ සංස්කරණ විජ්ජා වලින් තොර ආකෘතියක් යොදා ගනිමින් අතිශය සුගම ලෙසින් ප්‍රේක්ෂකයා වෙත තම කතාව ඉදිරිපත් කිරීමේ දුෂ්කර කාර්යභාරය ට උර දී සිටියි. සිනමා කථා කීමේදී “සරල අපහසුය සංකීර්ණ පහසු ය” යන්න මගේ හැගීමයි. මෙහිදී ඔහු අනුගමනය කරන්නේ මුල සිට අගට අනුපිළිවෙලින් කථාන්තරය ගලා යන කාලානුක්‍රමික රීතියයි.

කාලානුක්‍රමික ලෙස වෘතාන්ත නිර්මාණය මුහුණ දෙන්නාවූ අභියෝග පිළිබඳ කුමාරතුංග මුනිදාස යෝ මෙසේ කියති.
සරල රීතියෙන් වස්තුවක් වින්‍යාස කරන කලැ, එය සියලු අතින් ස්වාභාවික වියැ යුතුයැ. කතාවෙක් නම්, පටන් ගැන්මෙහි සිටැ අග තෙක් පිළිවෙළින් ප්‍රවෘත්තිය සඳහන් කරනු වෙයි. වර්ණනයෙක් නම්,පළමු කොටැම හමු වන තැනින් පටන් ගෙනැ ක්‍රමයෙන් එක් එක් කොටස නඟා හඳුන්වනු වෙයි.
– කුමාරතුංග මුනිදාස – ප්‍රබන්ධෝපදේශය

මිනිසා මිහිමත බිහිවූ දා සිට නොයෙක් මාදිලියේ කතාන්තර විවිධ මාධ්‍ය යොදාගනිමින් ඉදිරිපත් කිරීම සිදුවුණි. සිනමා තිරකථා රචනයේදී දින, සති, මාස සමහර අවස්ථාවල දී වසර ගණනක් ගතවන්නේ ප්‍රේක්ෂකයා වෙත වඩා සමීප වන චරිත සහ ඒ චරිත මුහුණ දෙන අත්දැකීම් වෙත සංවේදී වන අන්දමේ ආකෘතියක් නිර්මාණය කර ගැනීමට යි. ප්‍රබල චරිත මුහණ දෙන්නාවූ නාට්‍යමය කම්පනයෙන් පිරි රසවත් කථා ආශ්වාදය දනවන අයුරින් නිර්මාණය බලවත් අභියෝගයෙකි.

තම සැමියා පැහැරගෙන ගොස් ඝාතනයට ලක්වීමෙන් අසරණ භාවයට පත්වන අට දරු මවක් මුහුණ දෙන්නාවූ ජීවන අරගලය තියුණු ලෙස ග්‍රහණය කිරීමට දැවෙන විහඟුන් සිනමා පටය සාර්ථක ලෙස සමත් වෙයි. අනුකම්පා විරහිත අවස්ථාවාදී පුරුශාධිපති ව්‍යුහයකින් හෙබි නිහීන සමාජය හා ගැටෙන කථා නායිකාව තම සැමියා මරා දැමූ සාහසිකයනට එරෙහි දඬුවම් සොයා නොයයි. තම දූ දරුවන් ගේ කුස ගින්නෙන් දැවෙන ඇය, ජීවිතය ඉල්ලා සටන් වදී. දිනෙන් දින දීන වෙමින් පවතින කුහක වටපිටාව දිළිඳු කම නමැති සමාව දිය නොහැකි සාහසික අපරාධයට වරදකරුවී සිටින ඇයට අනුකම්පා විරහිත ලෙස දඬුවම් කරයි. අරගලයෙන් පීඩනයට පත් වන ඇය ආවේගයට පත් ව හඬා වැළපීමෙන් ප්‍රේක්ෂකයා ගේ අනුකම්පාව ඉල්ලා නොසිටී. අසාධාරණයේ ගොදුරක් බවට පුන පුනා පත්වන්නා වූ කථා නායිකාව (සහ අධ්‍යක්ෂවරයා) තම කෝපාග්නිය තැම්පත් කරගන්නේ ඉදිරි දිනෙක පුපුරවා හැරෙන මරාගෙන මැරෙන බෝම්බ සැට්ටයක් සඳහා ඩයිනමයිට් එකතු කරන්නියක මෙනි. තම බිහිසුණු අත්දැකීම් වෙත නරඹන්නා ඇද බැඳ තබා ගන්නට ඇය සමත් වන්නීය.

දැවෙන විහඟුන් රළුය. ප්‍රචණ්ඩය. විටෙක බලා සිටිය නොහැකි තරමට වේදනාකාරී දර්ශන එයට ඇතුලත්ය. එය ජීවිතය තරමට යථාර්ථවාදී ය. වරෙක පමණ ඉක්මවා ආවේගාත්මකය. සවිස්තරාත්මකය. මෙයට වැඩි සියුම්, සංවේදී ප්‍රවේශයක් තුලින් වඩා කලාත්මක පරිණත නිර්මාණයක් වෙත පිවිසීමට තිබූ හැකියාව පැහැර හැරුනේද යන සැකයද වරෙක පැන නැගේ. ඒත් හද සසල කරවන ඍජු ආරකින් ඇති සැටියෙන් රූප රාමු පෙළ ගැසීම අධ්‍යක්ෂ වරයාගේ ආවේනික ශෛලියයි.
ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ගණනාවක ප්‍රදර්ශනය වූ දැවෙන විහඟුන් මා දුටුවේ රොටර්ඩෑම් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලෙදීයි. එහි පැවැති සෑම දර්ශන වාරයකදීම සිනමා ශාලා පිරී යමින් දැවෙන විහඟුන් නැරඹීමට ජනයා එක් රොක් විය. චිත්‍රපට දර්ශනයෙන් පසු පැවැත්වුණු සාකච්ඡා සඳහා ප්‍රේක්ෂකයින් උනන්දුවෙන් සහභාගී වුණු අතර උළෙලේ ජනප්‍රිය කෘතීන් අතරින් එකක් ලෙස එය ප්‍රේක්ෂක ඡන්දයෙන් තෝරා ගැනින. එහිදී ප්‍රේක්ෂක විචාරක මෙන්ම ජාත්‍යන්තර සිනමා ප්‍රජාවේ පැසසුමට ලක්වූ දැවෙන විහඟුන් තවත් උළෙල ගණනාවෙක සම්මානයෙන් පුද ලැබීම අහඹුවක් නොවේ. සිය දෙවැනි වෘතාන්ත චිත්‍රපටය තුලින් වඩාත් විදග්ධ බවක් විදහා පාමින් සිනමාව නම් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය තුළ වත්මන් පරපුරේ ඉදිරී පෙළෙහි තැනෙක තම මුද්‍රාව ස්ථාපිත කිරීමට සංජීව පුෂ්පකුමාර සමත් වී තිබේ.

චිත්‍රපටයට ප්‍රස්තුත වූ අන්තර්ගත කථාන්තරය සැබෑ වුවද එය මිහිපිට දහම් දිවයිනක සිදු වූවක් බව පවා උපකල්පනය කළ නොහැකි තරම් බිහිසුණුය. මෙහිදී යම් පමණක දුරස්ථ භාවයක් ගොඩනගන නිර්මාණකරු, මුලික සිදුවීම් සඳහා පසුබිම සලසන නිවෙස හුදෙකලා තැනෙක ඉදි කළ වේදිකාවක් ලෙස භාවිත කරයි. මෙම වේදිකාව නම් ලෝකය තුල රංගනය වන ජවනිකා සියල්ලේ පාත්‍ර වර්ගයා මෙන් ආලෝක කරණය, රූප රචනය සහ හඬ පටය ඇතුළු සියලු යථාර්තයෝ තමනට රිසි පරිදි මෙහෙයවීමට නිර්මාණකරු සමත් වෙයි.

සිනමාව පිරිසක් එක්ව බිහි කරන ප්‍රයත්නයකි. තමනට රිසි ප්‍රතිඵලය වෙත මෙම පිරිස් මෙහෙයවීම අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරයයි. දැවෙන විහඟුන් චිත්‍රපටය තාක්ෂණික අතින් අතිශය විශිෂ්ඨ ය. රූ ගැන්වීම, ආලෝකය සහ අඳුර, වර්ණ සංයෝජනය, වෙස්ගන්වීම, රංගනය, සංගීතය, ශබ්ද සංයෝජනය ඉහල මට්ටමක පවතී.
චිත්‍රපටයේ චරිතයක සැබෑ ස්වරුපය විදහා දැක්වෙන්නේ ඒ පුද්ගලයා මුහුණ දෙන බාධක වල පීඩනයනට ඒ චරිතය මුහුණ දෙන ආකාරයෙනි. නුතන තිර රචනයේ කීර්තිමත් ගුරු රොබර්ට් මැකී පවසන්නේ ‘greater the pressure” deeper the revelation’ චරිතය මත පැටවෙන බාධක සහ පීඩනය තීව්‍ර වන තරමට චරිතයේ සැබෑ ස්වරූපය විදහා දැක්වෙන බවයි.

(උදාහරණයක් ලෙස, බුද්ධ චරිතයේ කතුවරුන් බුදු හිමිගේ ශේෂ්ඨත්වය තීව්‍ර කරවන්නේ මාර දිව්‍ය පුත්‍රයා සහ දෙව්දත් තෙරණුවන් වරින් වර නොකඩවා ඉදිරිපත් කෙරෙන අභියෝගයන් හමුවේ දක්වන ප්‍රතික්‍රියාවන්හි බල මහිමය තුළිනි. සාතන් පාන්කඩයකු වී නම් දෙවියන් වහන්සේගේ සර්වබලධාරී බව තහවුරු කිරීමට බයිබලය අපොහොසත් වන්නේය.)
දැවෙන විහඟුන් තිර රචකයා කුසුම් ගේ චරිතය මත පටවන පීඩනය අති මහත්ය. අන්ත දරිද්‍රතාවයට පත් වන ඇයට තිරරචකයා දරුවන් අට දෙනෙක් ලබා දෙයි. සවුන්ඞ් ඔෆ් මියුසික් ච්ත්‍රපටයේ වොන් ට්‍රැප් පවුලේ දරුවන් හත් දෙනා මෙන් මෙම දරු කැළ එක්වන්නේ සමුහ ගායනයට නොව කිරි ඉල්ලා අඬන්නටත් හාමතින් ක්ලාන්තවීමට ත් අමතරව කුරිරු ගෝත්‍රවාදීන්ගේ දඬුවමට ලක්වීමටත්ය. ඇය සඳහා රචකයා නිර්මාණය කළ අත් දැකීම් සහිත සිද්ධි සමුදාය තුලට පිවිසෙන රංගන ශිල්පිනියකට ප්‍රබල නිරූපණය පහසු කටයුත්තකි. මෙහිදී එකී රංගන ශිල්පීනියගේ ප්‍රතිභාව සැහැල්ලු කිරීම අපගේ අභිප්‍රාය නොවේ.
හද්දා පිටිසර නැගෙනහිර පළාතේ දිළිඳු මාළු වෙළෙන්දෙකුට දාව දරුවන් අට දෙනෙක් බිහි කළ, මැදි වියට එළඹෙමින් සිටින කුසුම් ගේ චරිතය නිරූපණය සඳහා මටසිලුටු, සරාගී ආකර්ශණීය රංගන ශිල්පිනියක් තෝරා නොගනිමින් අනෝමා ජනාදරී වෙත යොමුවීම තුලින් වඩාත් විශ්වශනීය චරිත නිරූපණයකට සිනමාකරු යොමු වෙයි. මෙහිදී ශ්‍රී ලාංකේය සිනමාවේ මෙතෙක් නොවූ විරූ ප්‍රබල රංගනයක් ගෙන ඒමට අනෝමා ජනාදරී සමත් වෙයි. කුසුම් ගේ දුෂ්කර ක්‍රියාවේ දී අප දකින්නේ භාවයන් කුපිත කරවන සරාගී ලිංගික සංකේතයක් නොව දිරිය මවකගේ චරිතාපදානයකි. ඇය නිරුවත් කරමින් සිනමාකරු විදහා දක්වන්නේ කුහක සමාජ ව්‍යුහයේ සෙළුව මිස රූපිකාවක අඟ පසඟ නොවේ. නිරුවත් ගැහැනිය වරෙක මවක් ලෙසත්, තවත් වරෙක ඇඳි වතේ ආරක්ෂාව පවා අහිමි අන්ත අසරණ ජීවිතය ගිලිහුණු මස් වැදැල්ලක් බවටත් පත් වෙයි. ඇය හා සංවේදී වීමට හැකි ස්ත්‍රීන් දහස් ගණනෙකි.

ඇයගේ සැමියා සාහසික ලෙස මරා දමා බිහිසුණු ලෙස ඇය කෙලෙසා දමන කුහක සමාජ ව්‍යුහය ඇය පිළිබඳ සදාචාරාත්මක විනිශ්චයකට එළඹීමටත් ඇයට “ගල්ගසා මරන්නට” ත් කිසිදු පැකිලීමකින් තොරව ඉදිරිපත් වේ. දැවෙන විහඟුන් අපේ කාලයේ යථාර්ථය වෙත යොමු කළ කැඩපතකි. ඒ කැඩපතේ ඡායා ව තුල ඇයට වින කළ සාහසිකයින් ද ඔවුනට නිහඬ අනුග්‍රහ දැක්වූ අපද සිටිති.

වත්මන් ලාංකේය සමාජයේ ගෝත්‍රවාදී කුහකත්වයේ නිරුවත ලොව හමුවේ නිරාවරණයට සමත් අභීත කලාකරුවන් අතලොස්ස අතරට සංජීව පුෂ්පකුමාර එක්ව සිටී. ඈත පිටිසරින් ආ ඔහු ගැමියෙකි. දිළින්දෙකි. බයියෙකි. නිර්මාණශීලී සංවේදී සිනමාකරුවෙකි.
චිත්‍රපටයේ චරිත හා සිද්ධීන් හා නිර්මාණකරු අතර ඇති ලෙන්ගතු බව මෙම කෘතිය පුරා විද්‍යමාන වෙයි. කොළඹ ආශ්‍රිත මධ්‍යම පන්තියේ සිනමාකරුවන් කිහිප දෙනෙක් අතරට සීමාවුණු ශ්‍රී ලාංකීය සම්භාව්‍ය සිනමාවට පැමිණෙන පළමු පිටස්තරයා ඔහුය. සංජීව එහි පැමිනෙන්නේ ඈත වන්නියේ දරිද්‍ර ජීවිතය, වාර්ගික යුධයේ අද්දර හැදී වැඩී ලත් අත් දැකීම් කුදලා ගත් පොදියක් කර පින්නා ගත් ජීවයෙන් පොහොසත් කලාකරුවෙකු ලෙසිනි. පිටස්තරයාගේ ගමන දුෂ්කරය. පිළිගැනීම හැමවිට ප්‍රසාදනීය නොවේ. තම අත් දැකීමට අවංකවීම ඔහු සතු ප්‍රධාන අවියයි. අවිය මුවහත් බව දැවෙන විහඟුන් හඬගා කියත්.