උසස් පෙළ විෂය නිර්දේශයෙන් වතුර කෙටිකතාව ඉවත් කිරීම

වින්ද්‍යා ගමගේ

ප්‍රවීණ ලේඛක අජිත් තිලකසේනගේ ‘වන්දනාව’ කෙටිකතා සංග්‍රහයේ ‘වතුර‘ කෙටිකතාව උසස් පෙළ විෂය නිර්දේශයට ඇතුළත් කර වසරක කාලයකට පසුව ඉන් ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය තීරණය කර ඇත. එම කෙටිකතාවේ සාමාන්‍ය ලේඛක වහරෙන් පිටගිය භාෂා භාවිතය මෙයට හේතු ලෙස දැක්වූවත්, කෙටිකතාවේ අන්තර්ගතය රටේ සදාචාරයට නොගැළපෙන්නේ යැයි පූජ්‍ය පක්ෂය කළ ප්‍රකාශයක් පදනම් කොටගෙන එය ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බව පසුව අනාවරණය විය. මෙම ක්‍රියාවට විරෝධය දක්වමින් විෂය නිර්දේශයට අදාළ කෙටිකතා සංග්‍රහයේ කතා ඇතුළත් ජයතිලක කම්මැල්ලවීර, නිශ්ශංක විජේමාන්න, කීර්ති වැලිසරගේ සහ මහාචාර්ය ලියනගේ අමරකීර්ති යන ලේඛකයෝ සිය කෙටි කතා ඉවත් කරගැනීමට කටයුතු කරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ බලධාරීන්ට දැන්වූහ. එතැන් සිට සිදුවූයේ කුමක්ද?

‘වතුර’ කෙටිකතා රචක
අජිත් තිලකසේන
මේ අවස්ථාවේ මගේ කෙටිකතාව සම්බන්ධව විවිධ අදහස් තිබෙනවා. මා මේ පිළිබඳව මාධ්‍යයට අදහස් නොදැක්වීමට තීරණය කළා.

ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්
ආචාර්ය ජයන්ති ගුණසේකර
විෂය නිර්දේශයන් පිළිබඳ අවසන් තීරණ ගන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය මණ්ඩලය සහ පාලක සභාව යන අංශ දෙකෙන්. මා විසින් කර ඇත්තේ ඉහත අංශ දෙකෙන් ගන්නා ලද තීරණ අදාළ ලේඛකයන් වෙත දැනුම්දීම පමණයි. එම තීරණ සම්බන්ධව යම් අභියාචනයක් පැමිණියහොත් ඒවා ඉහත අංශ දෙක වෙත යොමු කරනවා. මෙම සිදුවීමට අදාළව පැමිණි අභියාචනා ඉහත අංශ දෙක වෙත මා යොමුකර තිබෙනවා. එහෙත් ඔවුන් මෙම අභියාචනා තවමත් සාකච්ඡාවට ගෙන නැහැ.

ගැටලුව දැක්කේ
වසරකට පසුවද?
ප්‍රවීණ ලේඛක ජයතිලක කම්මැල්ලවීර
උසස් පෙළ කෙටිකතා සංග්‍රහයේ, අජිත් තිලකසේනයන්ගේ ‘වතුර’ කෙටිකතාව ඇතුළත් වී තිබුණා. ගොඩගේ ප්‍රකාශන සමාගම, එය ප්‍රකාශයට පත්කර, අවුරුද්දක් පමණ කාලයක් ශිෂ්‍යයන් භාවිත කර තිබෙනවා. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවත් මෙම කෙටිකතා සංග්‍රහය මුද්‍රණය කර නැහැ. මෑතකදී මහාචාර්ය රත්නසිරි අරංගල මහතා කළ දේශනයකදී අපට දැනගන්නට ලැබුණා. බෙල්ලන්විල විමලරතන හිමි ඇතුළු තවත් හිමිවරුන් කිහිපදෙනකුගේ ඉල්ලීම පරිදි මෙම කෙටිකතාව උසස් පෙළ විෂය නිර්දේශයෙන් ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය, තීන්දු කර ඇති බව. ඉන්පසු මමත් ලියනගේ අමරකීර්ති, නිශ්ශංක විජේමාන්න, කීර්ති වැලිසරගේ යන අය ජාතික අධ්‍යාපන ආයතනය වෙත වෙන වෙනම ලිපි ලියමින් ඔවුන්ට දැනුම් දුන්නා, තිලකසේන මහතාගේ කෙටිකතාව ඉවත් කරන්නේ නම් අපේ කතාද ඉවත් කරන ලෙස. ‘හාමුදුරු කෙනකුගේ කුටියකින් ගැහැනු කටහඬක් ඇසීම’ වැනි දෙයක් එම කෙටිකතාවේ සඳහන් වීම නිසා එය ඉවත් කිරීමට තීරණය වී ඇති බව අපට දැනගන්නට ලැබුණා. එහෙත් ජාතික අධ්‍යාපන ආයතනය අපට ලිඛිතව දැනුම් දුන්නේ තිලකසේනයන්ගේ භාෂා භාවිතය, සම්මත භාෂා භාවිතයට පටහැනි නිසා මෙය ඉවත් කිරීමට තීරණය කළ බවයි. එම පිළිතුර විශ්වාස කළ නොහැකි බව දන්වමින් මම ඔවුන්ට ලිපියක් යොමු කළා. එම කෙටිකතාව විෂය නිර්දේශයට ඇතුළත් කර වසරක් ගතවනතුරුත් භාෂා භාවිතයේ ගැටලුව ඔබට නොතේරුණේ මන්දැයි මම එම ලිපියෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න කළා.
පසුගියදා පැවති උත්සවයකදී මහාචාර්ය රත්නසිරි අරංගල සහ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අනාවරණය කළ පරිදි සිද්ධිය සැකෙවින් මෙසේය. උසස් පෙළ කෙටිකතා සංග්‍රහය සම්පාදනය කිරීමට මුලින් පත් කළ විද්වත් මණ්ඩලයේ තීරණ සම්බන්ධව ඇතිවූ විරෝධතා හේතුවෙන් අධ්‍යාපන ඇමතිවරයා විසින් මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය කුසුමා කරුණාරත්න වැනි පිරිසකගේ එකතුවෙන් නව විද්වත් මණ්ඩලයක් පත් කළා. ඔවුන්ගේ තීරණය වූයේ ‘වතුර’ කෙටිකතාව ශිෂ්‍යයන්ට ගැඹුරු වැඩි බැවින් එය කෙටිකතා සංග්‍රහයෙන් ඉවත් කළයුතු බවයි. එහෙත් ජාතික අධ්‍යාපන ආයතනය ඒ සඳහා කටයුතු කළේ නැහැ. අවුරුද්දක් පමණ කාලයක් එය දරුවන් අතර භාවිතවීමට ඉඩ හැර (ගොඩගේ ප්‍රකාශන ආයතනයේ මුද්‍රණය තුළ මෙය අඩංගු විය) පසුව අපවත් වී වදාළ බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ඉල්ලීම මත එම කෙටිකතාව විෂය නිර්දේශයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවත්, මෙම කතාව පාසල් සිසුන්ට ඉගැන්වීම නොකරන ලෙසටත් පාසල්වලට උපදෙස් දී ඇති බව දැනගන්නට ලැබුණා.
මෙම කෙටිකතාව නිර්දේශ කර අවුරුද්දකට පසුවත්, එම කෙටිකතා සංග්‍රහය පුද්ගලික ප්‍රකාශකයන් මගින් සිසුන් අතරට ගොසින් අවුරුද්දක කාලයක් ගතවූ පසුව එය විෂය නිර්දේශයෙන් ඉවත් කිරීමෙන් අදාළ ලේඛකයාට බරපතළ අසාධාරණයක් සිදුකර ඇති බවයි මගේ පෞද්ගලික මතය.

ඉගිළෙන්නට හැර
කළ වෙඩි තැබීමක් වගේ
ප්‍රවීණ ලේඛක නිශ්ශංක විජේමාන්න
උසස් පෙළ නව විෂය නිර්දේශයට, මගේ කතාවක් ඇතුළත් කිරීම සම්බන්ධව මට විමතියක් තිබෙනවා. මන්ද එසේ ඇතුළත් කිරීම සම්බන්ධව අධ්‍යාපන දෙපාර්තමේන්තුව හෝ ජාතික අධ්‍යාපන ආයතනය මෙතෙක් මට දන්වා නැහැ. මට මෙය දැන්වූවේ ගොඩගේ පොත් සමාගමේ කාර්යාලයෙන් පමණයි. එතැන යම් වැරැද්දක් තිබෙන බව පෙනෙනවා. මේ සම්බන්ධව අද වනතුරු මට ලිඛිත ප්‍රකාශයක් අදාළ රජයේ ආයතනයෙන් ලැබී නැහැ. කතුවරයකුගේ කතාවක් පාසල් පොතකට තෝරා ගත්තා නම් සදාචාරාත්මක අයිතියක් තිබෙනවා ඒ සම්බන්ධව කතුවරයාගේ අවසරය ලබාගැනීමට. ඒ අවසරය අද වනතුරුත් මගෙන් ලබාගෙන නැහැ. ඒ වගේම ඔවුන් එසේ කරනවා නම් කතුවරයා කැමැත්ත ලබාදෙන බවට ලියවිල්ලක් ලබාගත යුතුයි. එහෙත් මෙතනදී එහෙම දෙයක් සිදුවුණේ නැහැ. මේ කාරණා දෙකෙහිදීම ජාතික අධ්‍යාපන ආයතනය අසමත් වෙනවා. කිසියම් කතුවරයකුගේ කතාවක් පාසල් පොතකට තෝරා ගැනීමම ලේඛකයාට ලබාදෙන වරප්‍රසාදයක් යැයි ඔවුන් සිතනවා. ඒ නිසා ඒ පිළිබඳව ලේඛකයාට දැන්විය යුතු නැති බවකුයි ඔවුන් සිතනවා ඇත්තේ. මට එය සංතෝෂයට කාරණයක් වුවත්, එතැනින් හිත් රිදීමක් ඇතිවෙනවා. මගේ කතාවක් ඔවුන්ගේ පොතක පළවීම ගැන ඇයි මට දැනුම් නොදෙන්නේ. අනෙක් ලේඛකයන්ගේ එසේ දැනුවත් කිරීමක් සිදුකළා නොකළා දැයි මා දන්නේ නැහැ.
අනෙක් කාරණය මෙසේ ලේඛකයකුගේ කතාවක් පාසල් පොතකට ඇතුළත් කරන්නේ විද්වත් මඬුල්ලක කථිකාවකින් පසුවයි. එහෙත් එසේ කථිකාවකින් ඇතුළත් කළ කතාවක් නැවත ඉවත් කිරීම ‘අහසට ඉගිළෙන්නට හැර, වෙඩි තැබීමක් වගේ.’ එය ලේඛකයාට කරන දරුණු අපහාසයක්. අජිත් තිලකසේනයන්ට ඔවුන් කළේ එවැනි දෙයක්. එය නින්දිත ක්‍රියාවක්. එසේ යම් කතාවක් විෂය නිර්දේශයකට ඇතුළත් කරන්නේ නම් හෝ ඉවත් කරන්නේ නම් ඒ පිළිබඳව විධිමත් ප්‍රකාශනයක් වගකිවයුතු නිලධාරීන් විසින් කළ යුතුයි. එහෙත් රජයේ වගකිවයුතු ආයතනයක් වන ජාතික අධ්‍යාපන ආයතනය විසින් එවැන්නක් මෙතෙක් සිදුකර නැහැ.
මේ සම්බන්ධව මම ජාතික අධ්‍යාපන ආයතනයට ලිඛිතව දැනුම් දී තිබෙනවා. තිලකසේනයන්ගේ කතාව ඉවත් කරන්නේ නම් විධිමත්ව ඒ පිළිබඳව අප වෙත දැනුම් දිය යුතු බවත්, ඒ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවත් එසේම කෙටිකතා සංග්‍රහයේ අඩංගු මගේ කතාව මම ඉවත් කරගන්නා බවත් මම එහි සඳහන් කළා. එම ලිපියට මට තවමත් පිළිතුරක් ලැබී නැහැ.
මෙම කෙටිකතාවට අදාළව සදාචාරමය ප්‍රශ්නයක් තිබෙන බව මම පිළිගන්නේ නැහැ. එසේ නම් ලෝක සාහිත්‍යයේ තියෙන ‘ලොලිටා’, ‘ලේඩි චැටර්ලිස් ලවර්’ වැනි කතා කියවන්න ලැබෙන්නේ නැහැ. මෙම කතාව පිළිබඳව ‘ප්‍රති කියවීමක්’ (Anti-reading)

කිරීමට පාසල් ශිෂ්‍යයා සමග ගුරු භවතුන්ට ඉඩ හැරීම වෙනුවට එය ප්‍රතික්ෂේප කිරීම හරි දෙයක් දැයි මා දන්නේ නැහැ. උසස් පෙළ ළමයෙක් යනු මෙවැනි දේ තේරුම් ගැනීමට හැකි අවකාශයක සිටින අයෙක්. ශ්‍රී ලංකාවේ කෙටිකතා ඉවත් කරනවා නම්, අපේ කෙටි කතා එයට ඇතළත් කිරීමේ පළක් නැහැ. මේ පිළිබඳව අපි ඍජුවම සම්මුඛ සංවාදයක් ඉල්ලා සිටිනවා.

විශිෂ්ටයකු අවතක්සේරු කරලා
ප්‍රවීණ ලේඛක කීර්ති වැලිසරගේ
තිලකසේනයන් වගේ අපට සිටින ප්‍රවීණතම, විශිෂ්ටතම කෙටිකතාකරුවකුගේ නිර්මාණයක් උසස් පෙළ කෙටිකතා සංග්‍රහයට තෝරාගෙන, පසුව එය ඉවත් කිරීම අදාළ ලේඛකයාට කරන අපහාසයක් ලෙසයි මා දකින්නේ. යම්කිසි දෙයක් නිසා කෙටිකතාව සුදුසු නැති බවට ජාතික අධ්‍යාපන ආයතනයට අදහසක් තිබෙනවා නම් එය තෝරාගෙන ප්‍රසිද්ධියට පත් කිරීමට පෙර එය දැනුම් දිය යුතුව තිබුණා. එසේම මේ කෙටිකතාව උසස් පෙළට සුදුසු යැයි කියා තෝරා ගත්තෙත් විදග්ධ කමිටුවක් මගිනුයි. එසේ තෝරාගෙන, පසුව මෙවැනි තීරණයක් ගැනීම අයෝග්‍ය බවයි මගේ අදහස. ඒ පිළිබඳව අපේ විරෝධය පළකරමින්, එසේ තිලකසේනයන්ගේ කතාව ඉවත් කරන්නේ නම් මගේ කෙටිකතාවද ඉවත් කරගන්නා බව පවසමින් මම ජාතික අධ්‍යාපන ආයතනයට ලිපියක් යොමු කළා. තිලකසේනයන්ගේ භාෂා භාවිතයේ අර්බුදයක් මතුවන නිසා එම කෙටිකතාව ඉවත් කරන බව සඳහන් කරමින් ඔවුන් පිළිතුරක් එවා තිබුණා. ඒත් ඒ සියල්ල තීරණය කළ යුතුව තිබුණේ මීට කලින්. එසේ නැතිව කතාව තෝරා ගැනීමෙන් පසු මෙසේ කිරීම නරක දෙයක්. අජිත් තිලකසේන කියන්නේ සිංහල කෙටිකතා සාහිත්‍යයේ පමණක් නොවේ, දකුණු ආසියාතික කෙටිකතා සාහිත්‍යයේත් විශිෂ්ටයෙක්. එවැනි නිර්මාණකරුවකුගේ, නිර්මාණ අවතක්සේරුවකට බඳුන් කිරීම වැරදියි. මේ අවස්ථාව භාෂාව, ව්‍යාකරණ උගන්වන තැනක් නොවෙයි. එය නිර්මාණ සාහිත්‍යයට අදාළ දෙයක්. භාෂාව නිර්මාණාත්මකව යොදා ගැනීම පිළිබඳව ලේඛකයකුට තිබෙන අයිතිවාසිකම පිළිබඳව ප්‍රශ්න කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයට පුළුවන්කමක් නැහැ.
මෙම කෙටිකතාව ඉවත් කළේ සදාචාරාත්මක ගැටලුවක් නිසා බවයි අපට මුලින් දැනගන්නට ලැබුණේ. විනය පිටකයේ, පාරාජිකා පාලියේ තිබෙන දේවල් නිර්මාණ සාහිත්‍යයේදී භාවිත කළ නොහැක්කේ ඇයිදැයි ප්‍රශ්නයක් මතුවන බව සඳහන් කරමිනුයි මම ජාතික අධ්‍යාපන ආයතනයට මගේ ලිපිය ලියුවේ. එහෙත් ඔවුන්ගේ පිළිතුර වූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. එනම් මෙම කෙටිකතාවේ භාෂා ප්‍රශ්නයක් ඇති බවයි. එනිසා අප හරියටම දන්නේ නෑ. මේ කෙටිකතාව ඉවත් කිරීමේ සත්‍ය හේතුව කුමක්ද කියලා. එම පිළිතුර පිළිනොගන්නා බවත් ඒ තුළින් මගේ ස්ථාවරය වෙනස් නොකරන බවත් කියමින් මම ඔවුන් වෙත නැවතත් ලිපියක් යොමු කළා.

ඔවුන් නැගූ
ව්‍යාකරණ තර්ක වැරදියි
ලියනගේ අමරකීර්ති
ලංකා ලේඛක සංවිධානයෙන් මට දැනගන්නට ලැබුණා, අජිත් තිලකසේනගේ ‘වතුර’ කෙටිකතාව, උසස් පෙළ කෙටිකතා සංග්‍රහයෙන් ඉවත් කළේ, එහි අන්තර්ගත වී ඇති හාමුදුරුකෙනකුගේ කාමරයකින් ගැහැනු කෙනකුගේ සුසුම් හඬක් ඇසීම පිළිබඳ සිද්ධියක් පදනම් කරගෙන හාමුදුරුවරු එයට විරෝධය පළ කළ නිසා කියලා. ඒ කෙටිකතාවේ මෙය සටහන්ව ඇත්තේ ව්‍යංගයක් ලෙස, බොහොම සංදීග්ධ ලෙසයි. ඒ කෙටිකතාව තුළ ස්වාමීන් වහන්සේ හා ස්ත්‍රිය සම්බන්ධ කර කිසි දෙයක් කියවෙන්නේ නැහැ. නිර්මාණකරණයේදී නිර්මාණකරුවකුට මෙවැනි නිදහසක් වත් තිබිය යුතුයි. ඒ වගේම සාහිත්‍ය නිර්මාණවලදී මෙලෙස ව්‍යංගයෙන් දේවල් කියන ආකාරය ළමයින් ඉගෙන ගත යුතුයි. ඒ වගේම හාමුදුරුවරු පිරිසක් විනය විරෝධී දේ කරනවා නම් ඒ පිළිබඳව කතා කිරීමටත් සාහිත්‍යකරුවාට අයිතියක් තිබිය යුතුයි. තිලකසේන මහත්මයා අපට සිටින වැදගත්ම කෙටිකතාකරුවෙක්. ඔහුගේ කතාවක් නැති කතා සංග්‍රහයක මගේ කතා තිබීම වැරදියි යැයි මම ජාතික අධ්‍යාපන ආයතනයට ලිපියකින් දන්වා සිටියා.
පසුව මට ජාතික අධ්‍යාපන ආයතනයෙන් පිළිතුරක් ලැබුණා. ඒ අනුව මේ කෙටිකතාව ඉවත් කිරීමට හේතුව වශයෙන් ඔවුන් දක්වා තිබුණේ එහි අනුගමනය කර තිබූ අක්ෂර වින්‍යාසය පාසල් ළමුන්ට නොගැළපෙන බවයි. පසුව මම ඔවුන්ට තවත් ලිපියක් ලිව්වා. අජිත් තිලකසේන මහතා අවුරුදු තිස් ගණනක් ලංකාවේ, සිංහල භාෂාවේ අක්ෂර මාලාව හා ව්‍යාකරණ ප්‍රතිසංස්කරණය විය යුතු බව කියමින් තනි මතයක් දරන, ඒ අදහසට කැපවී ජීවත් වන කෙනෙක්. ඔහුගේ පොත් ගණනාවක් පළවෙලා තිබෙනවා. ඒ අක්ෂර වින්‍යාසය අනුගමනය කළ සමහර පොත්වලට රාජ්‍ය සම්මාන පවා හිමිවෙලා තිබෙනවා. උසස් පෙළ ශිෂ්‍යයන් වැඩිහිටි වයසේ සිටින, සංස්කෘතික ලෝකයට ඇතුළුවෙමින් සිටින වයසේ ළමයි. ඒ අය දැනගත යුතුයි සිංහල භාෂාවේ ව්‍යාකරණය පිළිබඳව ඇති විවිධ අදහස්. මේ කෙටිකතාව හැරෙන්නට උසස් පෙළ කෙටිකතා සංග්‍රහයේ ඇති අනෙක් සියලුම කතා, සාම්ප්‍රදායික ව්‍යාකරණ නීතිය අනුගමනය කරමින් ලියවිලා තිබෙනවා. මගේ තර්කය වූයේ ළමයින්ට විකල්ප අක්ෂර වින්‍යාසය වැනි දේ හඳුන්වාදීම තුළින් භාෂාව ගැන නවීකරණවාදීව මෙන්ම ප්‍රතිසංස්කරණවාදීව හඳුන්වාදීමට මෙය අවස්ථාවක් කරගන්නා ලෙසයි.
අපි උසස් පෙළ ඉගෙන ගන්නා කාලයේ තිබුණු ‘නව කවි සරණිය’ වගේ පොත්වල සිරි ගුනසිංහ වගේ අයගේ කවි තිබුණා. ඒ අයගේ තිබුණේ සාම්ප්‍රදායික ව්‍යාකරණය නොවේ. සිරි ගුනසිංහ මහත්යා ‘නණ, ළල’ පාවිච්චි කරන්නේ නැහැ. අපි ඒවා ඉගෙන ගත්තා, ඒ ගැන ඒ වකවානුවේ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අපි සිරි ගුනසිංහ මහතාගේ සාහිත්‍ය පරිශීලනය කළත්, සාම්ප්‍රදායික ව්‍යාකරණ භාවිත කරන්න අපි ඉගෙන ගත්තා. එහෙම වුණාය කියලා ඒ කාලේ ඉගෙන ගත්තු කිසිකෙනෙක්, ‘නණ, ළල’ නැතිව ලියන්න පටන් ගත්තේ නැහැ. එමගින් වැටහෙනවා උසස් පෙළ හෝ පාසල් පාඨ ග්‍රන්ථයක විකල්ප අක්ෂර වින්‍යාසය තිබෙන පොතක්, දෙකක් තිබුණා කියලා ලොකු වෙනසක් වෙන්නේ නැති බව. ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතනයට අවශ්‍ය නම් පුළුවන්, මේ කෙටිකතාව භාවිත කරලා තමන් නිවැරදියැයි විශ්වාස කරන අක්ෂර වින්‍යාසය හොඳින් උගන්වන්න. තිලකසේනයන් මෙසේ භාෂාව භාවිත කළත්, අප භාවිත කරන්නේ මේ ආකාරයට යැයි ශිෂ්‍යයාට වඩා හොඳින් පැහැදිලි කරදීමටත් මෙය යොදාගත හැකියි. ඉහත සඳහන් කරුණු මගේ දෙවැනි ලිපියට ඇතුළත් කර, මම ජාතික අධ්‍යාපන ආයතනයට කියා සිටියා, තිලකසේන මහතාගේ කෙටිකතාව ඉවත් කිරීමට ඔබ භාවිත කරන ව්‍යාකරණ සම්බන්ධයට අදාළ තර්කයත් වැරදි බව. මම මෙසේ සඳහන් කරලා මුලින් ලියුමක් යැවූ පසු මා ආදර්ශයට ගනිමින් තවත් ලේඛකයන් කිහිපදෙනෙක් ජාතික අධ්‍යාපන ආයතනයට මේ සම්බන්ධව ලිපි ලියා තිබෙනවා. දෙවැනි ලිපිය සඳහා තවම ඔවුන්ගෙන් පිළිතුරක් ලැබුණේ නැහැ. අපි ඉදිරියේදී නීතිඥයකු මාර්ගයෙන් තවත් ලිපියක් ජාතික අධ්‍යාපන ආයතනයට යවා අපේ කතා ඉවත් කර ගැනීමට කටයුතු කරනවා.