සමන් අමරසිංහ ෆයිසර්වත් අන්දයිද?

යන එන ක්‍රීඩා ඇමතිවරු ගැන කල්තියාම විනිශ්චය දෙනුයේ ක්‍රීඩා අමාත්‍යාංශයේම සේවකයෝය. ඔවුන්ට අනුව පසුගිය කාලයේ එනම් දයාසිරි ජයසේකරගේ කාලය තනිකර ම පිස්සු නැටූ කාලයකි. දයාසිරි ජයසේකර හිනාවෙවී කළ බොහෝ දේ අද ඇඬෙන මට්ටමට විකාර වී ඇති බව ඔවුන්ගේ අදහසය.
නව ඇමති ෆයිසර් මුස්තාපා ආ සැණින් ක්‍රීඩා අධ්‍යක්ෂ ඉවත් කොට දැමූ සත්තමට බොහෝ අය සෙලවී ගියේ ෆයිසර් මුස්තාපා සෙල්ලං නැති මිනිසකු බව පෙනුණු නිසාය. පළමු මාධ්‍ය සාකච්ඡාවේදීම ඔහු ජනමාධ්‍යයට වූ පොරොන්දු ඉටු කළාද යන්න අද වෙනම කතා කළ යුතුව ඇත. ෆයිසර් මුස්තාපා අමාත්‍යාංශ දෙකක් භාරව ක්‍රියා කරයි. දෙකක් කරන එකා එකක්වත් හරියට නොකරයි යන්න කතාවකි. එබැවින් මුස්තාපා හමුවීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ නොහැකි බවත් ඊට වැඩි ඉඩ ඇත්තේ පළාත් ආයතන අමාත්‍යාංශයේ බවත් ප්‍රධාන මැසිවිල්ලය.

ඒ අඩුපාඩු පැත්තක තැබූ කල බැලිය යුත්තේ අද ෆයිසර්ගේ මහදැනමුත්තන් වී ඇත්තේ කවුද යන්නය. ඒ අතර අගසව් ලෙස සමන් අමරසිංහ සිටියි. ක්‍රීඩා අමාත්‍යාංශයට මේ සමන් අමරසිංහගෙන් තොරව වැඩක් කළ නොහැකිද?

ජීවන් කුමාරණතුංග ක්‍රීඩා ඇමතිව සිටින කල ක්‍රීඩා අමාත්‍යාංශයට රිංගූ සමන් අමරසිංහ තවමත් ක්‍රීඩා අමාත්‍යාංශයේ බහිරවයකු සේ සිටියි. ජීවන්ගේ සිට එන හැම ඇමතිවරයාම අන්දාගෙන තම වැඬේ කරගනිමින් කාලය කා දමයි. ඔහු සිටිනුයේ ක්‍රීඩා කෞතුකාගාරය හැදීමේ කටයුතු භාරවය. මෙය හිඟන්නාගේ තුවාලය ලෙස අවුරුදු කීයක් කරන්නේද? අමාත්‍යවරු කීදෙනෙක් යටතේ මේ බොරුව මොහු කරමින් එන්නේද?

ලංකාවට ක්‍රීඩා කෞතුකාගාරයක් වුවමනාද? ඩන්කන් වයිට්, සුසන්තිකාගේ සහ ක්‍රිකට් ලෝක කුසලානය තබන්නට කෞතුකාගාරයක්ම අවශ්‍යද? එය මෙරට කෞතුකාගාරයේ එක අංශයක් ලෙස ගෙන ආණ්ඩුවට දියුණු කළ නොහැකිද?

මේ මහා පරිමාණයෙන් මුදල් ගසාකෑමේ ව්‍යාපෘතියකි. මොන ඇමති ආවද ගියද සමන් ක්‍රීඩා අමාත්‍යාංශයේ පැලපදියම්ය. ඔහුට තවත් විශේෂ සුදුසුකමක් ඇත. ඒ තම රාජකීය ගුරු තනතුරය. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු ගුරෙකි. මේ නිසා රාජකීය විද්‍යාලයෙන් එන ඇමතිවරු මොහු ඕනෑවටත් වඩා අල්ලේ නටවති. මහින්දානන්ද මොහුගේ ලණු කෑවේ එබැවිනි. දැන් ෆයිසර් මුස්තාපාද රාජකීය ලණුව කමින් සිටියි.

ජීවන් කුමාරණතුංග කාලයේ පටන්ම මොහු ක්‍රීඩාවට කළ දෙයක් නැත. එහෙත් ඒ වෙනුවට ඔහු ඔහුට ඇති පදම් දේ කරගත් බව නොරහසකි. ජීවන්ගේ කාලයේදී නිසි බලධාරියා වූ සමන් අවසානයේ ජීවන්ගේ අත්සන හොරට ගහන තැනට තල්ලු වී කනපුරා ගුටිකන්නටද සිදුවිය. එහෙව් තක්කඩියෙක් එන එන ක්‍රීඩා ඇමතිවරු එතැන් පටන් ක්‍රීඩා අමාත්‍යාංශයේ රඳවාගෙන සිටිනුයේ ඇයි? දයාසිරිගේ අපූරු උපදේශකයෙක් වූයේද සමන්ය. අද කුණු බැනුම් අහන්නේ ඒ උපදෙස් නිසාමය. අද ෆයිසර් මුස්තාපා පත්කර ඇති කමිටුවල ප්‍රධානියාද වන්නේ සමන්ය. ෆයිසර් ඇමතිවරයාටත් අල්ලාගේ පිහිටමය.

ක්‍රීඩා ඇමතිවරු සැමදා වැඩ කළේ මේ අමාත්‍යාංශයේ රිංගා සිටින කම්බ හොරු සමගය. මේ තක්කඩින් සමග යා හැකි දුරක් නැති බව තේරුම් ගන්නා විට හැම ඇමතිගේම කාලය ගෙවී ගොස්ය. ඒ කාලය තුළ මේ තක්කඩියන්ගේ මල්ල නම් තරය.

සමන් අමරසිංහලා සමග දිගු ගමනක් යනවාද යන්න ක්‍රීඩා ඇමතිවරයා ඉක්මනින්ම කල්පනා කළ යුතුය. එය එසේ නම් ඒ ගමන විනාශයටම යන ගමන බව කිව යුතුය. ක්‍රීඩා කෞතුකාගාරය නම් හිඟන්නාගේ තුවාලය මෙන්ම එහි භාරකාරයා වී සිටින අනංගයාගෙන්ද ක්‍රීඩා ඇමති ගැලවිය යුතුය. මොවුන් සමග කළ හැකි ක්‍රීඩා සංවර්ධනයක් නැත. එවැන්නක් කළ හැකිව තිබුණි නම් එය මුලින්ම කරනුයේ ජීවන් කුමාරණතුංගය. ජීවන්ව ඇන්දූ සමන් එතැන් සිට ක්‍රීඩා ඇමතිවරු කී දෙනෙක් ඇන්දුවේද? එය ෆයිසර් මුස්තාපාටත් වලංගුද?