රාවය

ෆයිසර්ගේ වීරයා තිලංගද?

ෆයිසර්ගේ වීරයා තිලංගද?

රජිඳු කාශ්‍යප

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ගොඩ ඒමක් නම් පෙනෙන තෙක් මානයක නැත. දැන් කතාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට්හි සාමාජිකත්වය අහිමි කරන බව ය. ඒ මාස 6ක් ඇතුළත නිලවරණය පවත්වන්නේ නැතිනම් ය. මේ කතාව ප්‍රචාරය කෙරෙන්නේ අයර්ලන්තයේ දී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 75 වැනි වාර්ෂික විධායක කමිටු රැස්වීමෙන් පසුවය. එහි දී ගත්තා යැයි කියන තීරණයක් අනුව ය.

එහෙත් නිලවරණ කතාව අතිශයෝක්තියෙන් උලුප්පා පෙන්වන ලද්දක් බැව්ය අපට නම් ආරංචිය. දැනට පත් ව ඇති තත්ත්වයෙන් මුදා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට ඒ වෙනුවෙන් ම වු නිල මඬුල්ලක් පත් කරගන්නා ලෙසින් වූ දැනුම්දීමකි කර ඇත්තේ. එය නිලවරණයකින් පත්වෙන පිරිසක් ද නොමැති නම් අතුරු කමිටුවක් ද යන්න නිල වශයෙන් ම දැනුම් දීමක් සිදුකර නොමැති බැව්ය.

එහෙත් ප්‍රවෘත්තිය තටු ගසා ඉගිලෙන්නේ නිලවරණයකින් පමණක් පත්වෙන නිලධාරී පිරිසක් යන්නෙන් පමණි. ඇතැම් විට මෙය කෙහෙල් කැණ වැට පැන්න කතාවට හපන් විය හැකි ය. කෙසේ වෙතත් ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපාගේ සේ ම හිටපු සභාපති තිලංග සුමතිපාල ගේ ද බලාපොරොත්තුව මේ නිලවරණ සිහිනය ම පමණකි.
මේ වෙද්දී කළ යුතු හොඳම දේ පසෙක තබා දූෂිතයන් මත්තේ ම හිස ගසා ගන්නට දඟලන ක්‍රීඩා ඇමතිවරයා මේ හා හූවත් සමගින් ඉතා ඉක්මන් වෙනු නොඅනුමාන ය. ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ අට අනූවක් ව්‍යාධීන් එලෙසින් ම පවතිද්දී ය.

ඇමති මුස්තාපා තම හිත මිතුරු දිස්ත්‍රික් දේශපාලනඥයාට අවශ්‍ය පාර සකසා දෙද්දී, තිලංග සුමතිපාල මේ වෙද්දී තමන්ට අවශ්‍ය ඡන්ද පදනම ඔඩොක්කුවේ දමා ගෙන සිටියි. එබැවින් ඔවුන්ගේ පැවැත්ම නිලවරණයක් ම ය. ශ්‍රී ලංකා ක්‍රිකට් මාෆියාව අනුව නිලවරණයකින් තිලංග පරාජය කිරීම මහා වික්‍රමාන්විතයකි. එය මේ කල්ප කාලයේ කිසිවෙකුටත් කළ නොහැකි දෙයක් බැව්ය මත ය.

දැනටමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන මෙරට ඇත්තේ හොඳ හෝ යහපත් ප්‍රතිචාරයක් නොවේ. එය මෙරටින් එතෙරට ද ඉගිළ ගොස් ඇතිවාට සැක නැත. තිලංග හා ඔහුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම හැරෙන්නට අනෙක් සෑම කෙනෙක් ම ශ්‍රී ලංකා ක්‍රිකට්හි පාලනය දැඩි ලෙසින් විවේචනය කරති. ශ්‍රී ලංකා ක්‍රිකට්හි සිදුවෙන සහ සිදුවුණ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වෙද්දී අධිකරණයේ සේ ම එෆ්.සී.අයි.ඩී. යේ ද කරුණු ගොනුකර තිබේ. මේ තත්ත්වය අද ඊයේ ආරම්භ වූවක් නොව, මෙය කාලයක් තිස්සේ සිදුවූවකි. එකී කාලයේ නිසි බලධාරී තිලංග සුමතිපාල ය.

ඒ මගින් කියාපාන්නේ ව්‍යසනයේ මූලය තිලංගය. ක්‍රීඩා ඇමතිවරයාට ක්‍රිකට් ගලවා ගැනීමේ සැබෑ උවමනාවක් වෙත් නම් කළයුත්තේ ඒ ව්‍යසනයට හේතුවූ මූලය ගලවා දැමීම ය. එහෙත් එවැන්නක් කරන පාටක් නම් පෙනෙන්නටවත් නැත.

දැනට පෙනෙන්නට තිබෙන්නේ නම්, ඇමැති ෆයිසර් මුස්තාපාගේ ක්‍රිකට් වීරයා තිලංග සුමතිපාල බැව්ය. ඇමතිට ඔහු තරමින් කෙනෙක් ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත. කරුණු කාරණා සිද්ධවෙන ආකාරයට පෙනෙන්නේ තිලංග සුමතිපාල ගෝනි නැතිව ම කරට නග්ගාගෙන තිබෙන්නේ ඇමති මුස්තාපාය. ඉන් ප්‍රයෝජන ගන්නා තිලංග සුමතිපාල ක්‍රිකට් පාලනය තමන්ට ඇවැසි ආකාරයෙන් කරගෙන යයි. ඒ බැව් දන්නා ක්‍රීඩා ඇමතිවරයා තමන් මේ ක්ෂේත්‍රයේ සිටින බැව් පෙන්වීමට ඉඳහිට අනෙක් ක්‍රීඩාවලට තගයක් දෙකක් දැමීමට ද අමතක නොකරයි. මේ තග ක්‍රිකට් සම්බන්ධයෙන් හාහූවක් තරමින්වත් නොමැත. එතැනදී ඔහුගේ ක්‍රියාකාරීත්වය සුවච කීකරු සුරතල් විලාසයෙනි.
ඇමතිවරයාගේ මේ ක්‍රියාකලාපය දැන දැනම පසුගිය කාලයේ හිටපු නිලධාරීන් රැසක් එක්ව ඔහු වෙත සංදේශයක් ඉදිපත් කරති. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට්හී යහපාලනය ස්ථාපිත කරන ලෙසින් ඉල්ලමිනි. එහෙත් එහි ද සුගතියක් නැත.

එසේ ම මෙරට ගෞරවයට පත් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් හී සැබෑ වෙනසක් වෙනතුරු තමන්ගේ සේවය ලබා දිය නොහැකි බවට කියා වැඩි කාලයක් ද නැත. ඔවුන් එවැනි මතකයක් දරා සිටින්නේ ඇයි ද යන්න නොසොයන හෝ නොවිමසන ඇමතිවරයා තිලංගගේ නිලවරණ මන්ත්‍රය නම් හරි අපූරුවට ජප කරමින් සිටී. අනෙක් අතට ක්‍රීඩා ඇමතිවරයා තමන්ගේ අමාත්‍යාංශ ලේකම් කමල් පත්මසිරි වෙත තබන විශ්වාසය මේ හිටපු නිලධාරීන් සහ ක්‍රීඩකයන් කෙරෙහි තබා නැත. එහෙත් තැන තැන කතාව නම්, තමන් ක්‍රිකට් ගැන උනන්දුවන සැමට ඉතා හොඳ අවස්ථාවක් දුන් බවත් ඔවුන් එය නොසලකා හැරි බවත් ය.

ක්‍රීඩා ඇමතිවරුන් අතුරින් නිර්ලජ්ජිත ම ක්‍රීඩා ඇමතිවරයා වූයේ දයාසිරි ජයසේකර ය. ඒ ක්‍රිකට් හා කළ කී දේ අනුව ය. ඇමති දයාසිරි එකල සිටියේ ක්‍රිකට් සභාපති බඳා වැළඳගෙන ය. ක්‍රිකට් පරිපාලනයේ අගුණක් හෝ අඩුවක් ඔහු දුටුවේ ම නැත. ක්‍රිකට් වෙනුවෙන් පණ වුවත් පුදන්නට සූදානමින්ය ඔහු සිටියේ ය. මේ සියල්ල සිදු වූයේ තිලංග සුමතිපාල නමැති දේශපාලනඥයා ක්‍රිකට් මහ පුටුව ද අරා සිටීම නිසා ය.

දැන් සිදුවෙන්නේ ද ඒ දේ ම දිගුවකි. වෙනසකට සිදුව ඇත්තේ ක්‍රීඩා ඇමතිකම දයාසිරිගෙන් මුස්තාපා වෙත මාරු වීම ය. දයාසිරි එදා කළ කී දේ අද මුස්තාපා ඊටත් වඩා වැඩි වේගයකින් සහ දෙගුණයකින් කිරීමය සිදුවෙනුයේ. මේ ක්‍රිකට්හි යහපාලනය බලාපොරොත්තු වන කිසිවෙක් අපේක්ෂා කරන ගමනක් නොවේ.

ඇමතිට නොතේරෙන අනෙක් සැමට තේරෙන ක්‍රියාවලියක් මේ වෙද්දී ක්‍රිකට් ක්ෂේත්‍රයේ සිදුවෙමින් තිබේ. ඒ පිටතින් පමණක් පවිත්‍ර කළ ක්‍රිකට් නමැති කෝප්පයේ හැඩ වැඩ බලන ඇමැතිවරයා එහි ඇතුළත ගැන අවධානය යොමු නොකර ගුණ වැයීමේ ක්‍රියාවලියක නිරතවීමය. එහෙත් එහි ඇතුළත අපවිත්‍රය. දූෂණයෙන් සහ චෝදනාවන්ගෙන් ගහණ ය. ඇමැතිවරයා මේ අවස්ථාවේ කළයුත්තේ ක්‍රිකට් නමැති කෝප්පයේ ලස්සන දැකීමට නම් පළමුවෙන්ම එහි ඇතුළත පවිත්‍ර කිරීම ය. ඒ අපි ප්‍රයෝජනයට ගන්නේ පිටත පෙනීම නොව ඇතුළත බැවිනි.