රාවය

නඩුව දිනුම්. මම දිනුම්ද?

නඩුව දිනුම්. මම දිනුම්ද?

ශ්‍රීලාල් සෙනෙවිරත්න

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වන ‘ඇත්ත’ පුවත්පත ප්‍රකාශයට පත් කරන ‘ප්‍රගති ප්‍රෙස්’ පෞද්ගලික සමාගමට එරෙහිව මවිසින් පැවරූ නඩුවේ තීන්දුව ඉකුත් 21 වෙනිදා (2018-06-21) ප්‍රකාශයට පත් කෙරුණේ අසාධාරණ ලෙස රැකියාවෙන් පහකළ මට රුපියල් අනූදහසක වන්දි මුදලක් ගෙවන ලෙස වගඋත්තරකාර පාර්ශ්වයට නියම කරමිනි. තීන්දුව ප්‍රකාශයට පත්වන්නේ වසර තුනකටත් වැඩි කාලයක් තිස්සේ සිදුකෙරුණු නඩු විභාගයකින් අනතුරුවය. මේ පිළිබඳ පළවූ පුවත් වාර්තාවල හිසේ සඳහන් වූයේ ‘… නඩුව දිනුම්’ යනුවෙනි. ඒ නඩු තීන්දුව ප්‍රකාරවය. එහෙත් ‘නඩුවෙන් මා දිනුම්ද?’ ඒ ගැන විවෘතව විමසා බලන්නට අදහස් කළේ තිරය පසු පස වූ අඳුරු පැතිකඩ පුරවැසි සමාජයේ අවධානයට ලක් කිරීමේ වැදගත්කම නිසාවෙනි.

මේ නඩු නිමිත්ත මතුවෙන්නේ රට තුළ මතුවූ විශේෂිත සමාජ දේශපාලන අර්බුදයක් මත්තෙහිය. 2014 වසර වන විට රට පාලනය කළ රාජපක්ෂ රෙජීමය රට මිලිටරිමය ඒකාධිපතිත්වයක් වෙත දක්කාගෙන යමින් තිබිණ. ඒ අවස්ථාවේ සමාජ වගකීමක් සහිත පුරවැසි මාධ්‍යවේදියකු ලෙස මම කටයුතු කළේ ඒ විපතෙන් රට මුදාගැනීමේ අභිලාෂයෙන් යුතුව පෙළ ගැසුණු සමාජ සහ දේශපාලන බලවේගයන් සමඟිනි.

ඒ වන විට මම ‘ඇත්ත’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘය. ප්‍රධාන කර්තෘ ධුරය දැරුවේ ආචාර්ය මයිකල් ප්‍රනාන්දුය. 2015 ජනවාරි 08 රටේ හැට දෙලක්ෂයකට අධික ජනතාවක් ප්‍රකාශයට පත් කළ ජනමතය ගොඩනැඟීම වෙනුවෙන් අප දෙදෙනා එක්ව ‘ඇත්ත’ මෙහෙයවමින් සිටියේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන ස්ථාවරයද එයම වූ බැවිනි. එසේ තිබියදී විධායක ජනාධිපති ධුරය ස්ථාපිත කිරීමේ පටන් එය අහෝසි කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන ස්ථාවරය හිටි අඩියේ වෙනස් වන්නේ තුන්වැනි වරටත් ජනාධිපති ධුරයට පත්වීම සඳහා මහින්ද රාජපක්ෂ, එවක ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ වනවාත් සමඟමය. ඒ පසුපස වූයේ ‘රුපියල් කුට්ටි’ ප්‍රතිලාභයක් බව අපට පසුව දැනගන්නට ලැබිණ.

කොමියුනිස්ට් පක්ෂයේ මේ දේශපාලන කරණමෙන් පසු ඇත්ත කර්තෘ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ගෙදර ගියේ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දක්වමින් පුවත්පත සංස්කරණය කරන ලෙස බලකරමින් කොමියුනිස්ට් පක්ෂ නායකයන්ගෙන් කර්තෘ නිදහසට එල්ල වූ බලපෑම්වලට විරෝධය පළකිරීමක් වශයෙනි. කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම ප්‍රගති ප්‍රෙස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ද වන ‘බැංකු ජිනේ’ හෙවත් දික්ඕවිට කංකානම්ගේ ජිනදාස සහ අ.ග. ජයසේන දෙදෙනා ඇත්ත කාර්යාලයට පැමිණ මා කාර්යාලයෙන් පන්නා දමන්නේ ඉන් අනතුරුවය.

එලෙස රැකියාව අහිමිවීමෙන් පසු මම කම්කරු දෙපාර්තමේන්තුවට ගියේ මට හිමිවිය යුතු සේවක අර්ථසාධක, සේවක භාරකාර, ආදී වන දායක මුදල් ලබාගැනීමට ඇති හැකියාව සොයා බැලීමටය. ප්‍රගති ප්‍රෙස් නමින් සමාගමක් එම අරමුදල්වලට ඒ තාක් දායකවී නොමැති බව මා දැනගත්තේ එහිදීය. සමාජවාදයටද එහා ගිය කොමියුනිස්ට්වාදයක් පිළිබඳ ජනතාවට දේශනා පවත්වන දේශපාලන පක්ෂයක මේ භාවිතාව පිළිබඳ ඇතිවූ ජුගුප්සාව යටපත් කරගනිමින් මම මගේ හිමිකම් ලබාදෙන ලෙස ඉල්ලා කම්කරු කොමසාරිස්වරයාට පැමිණිල්ලක් කළෙමි. එය විභාගයට ගත් අවස්ථාවේ ‘ප්‍රගති ප්‍රෙස්’ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා (ඔහු කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු බව කියන ඊ.ඒ. සමරසිංහය.) ප්‍රකාශ කළේ මා ‘ප්‍රගති ප්‍රෙස්’ හි සේවකයකු නොවූ බවය. එහි රැකියාවක් කළේ නම් ඒ බව ඔප්පු කරන ලෙස මට අභියෝගයක් ද කළේය. සේවක අර්ථසාධක අරමුදල් හිමිකම් නොලැබීමට වඩා මේ ප්‍රකාශය මා ලක්ෂ වාරයක් කම්පනයට පත් කරන්නට සමත් විය. අධිකරණය ඉදිරියේ නඩු පැවරීම හැර යුක්තිය ඉෂ්ට කරගැනීම සඳහා මට විකල්පයක් නොවීය.

නඩු විභාගයේදී වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේ ඉහත කී නීතිඥ සමරසිංහ සහ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති, නීතිඥ රාජා කොල්ලුරේය. ඔවුහු අධිකරණය ඉදිරියේ කියා සිටියේ මා ඇත්ත පුවත්පතට ලිපි සැපයූ නිදහස් මාධ්‍යවේදියකු පමණක් වූ බවත්, ඒ හැර කිසිදු සේව්‍ය-සේවක සම්බන්ධතාවක් ඔවුන්ගේ සමාගම සහ මා අතර නොවූ බවත්ය. ‘රතු’ මැයි රැලි වේදිකාවල කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් මහත් හඬක් නංවමින් කතා පවත්වන, වමේ දේශපාලන පක්ෂ නායකයන් ලෙස සමාජය ඉදිරියේ වැජඹෙමින් දෙස් විදෙස් කම්කරු සම්මේලන ආදියට පවා සහභාගි වන පුද්ගලන්ගේ නිරුවත එලෙස අධිකරණ ශාලාවේදී ප්‍රදර්ශනය කෙරෙන අවස්ථාවේ මම මහත් අසීරුතාවකට මුහුණ පෑවෙමි. මට ‘ප්‍රගති ප්‍රෙස්’ සමාගමෙන් පත්වීමේ ලිපියක් ලබාදී නොතිබීමත්, වැටුප් වාර්තා රහිතව වවුචර් මගින් වැටුප් ගෙවා තිබීමත් හේතුවෙන් මගේ සේවකභාවය අධිකරණය ඉදිරියේ ඔප්පු කිරීම අභියෝගයක්ව තිබිණ. කෙසේ හෝ වේවා අවසානයේ අධිකරණය මා ඉදිරිපත් කළ අවශේෂ සාක්ෂි පදනම් කරගනිමින් සත්‍ය තහවුරු කරමින් නිවැරදි තීන්දුවකට පැමිණ තිබීම මා පමණක් නොව සියලු ජනමාධ්‍යවේදීන්ම ලත් ජයග්‍රහණයකි.

මෙම නඩුව පෞද්ගලිකව මගේ රැකියාව අහිමිවීමට පමණක් අදාළ වූවක් නොවීය. ජනමාධ්‍ය විෂයෙහි බෙහෙවින් වැදගත් කර්තෘ නිදහස සහ මාධ්‍යවේදීන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවයටද එකසේ අදාළ වූවකි. හුදකලාව මා කළ නැඟී සිටීම ඒ සියල්ල වෙනුවෙන් වුවද රට තුළ ක්‍රියාත්මක කිසිදු මාධ්‍ය සංවිධානයක් අඩුම තරමේ වචනයකින් හෝ මේ කටයුත්තේදී මට සහයෝගයක් දැක්වූයේ නැත.

නඩු නිමිත්ත පැන නැඟී අවස්ථාවේ සිට නඩු විභාගය අවසන් වනතුරු සිදුවූ සියල්ල ප්‍රසිද්ධ සිදුවීම්ය. පොදු ජනතාවට කෙසේ වෙතත් ඒවා කිසිවිටකත් ජනමාධ්‍ය සමාජයට රහසක් වූයේ නැත. ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතාට ප්‍රධාන කර්තෘ ධුරයෙන් ඉල්ලා අස්වන්නට සිදුවන අවස්ථාවේ සිට සිදුවෙමින් පවතින දේ පිළිබඳව මම පෞද්ගලිකවම රට තුළ ක්‍රියාත්මක වන මාධ්‍ය සංවිධාන ප්‍රධානීන් ගණනාවක් දැනුවත් කළෙමි. ඒ අතර ඇතැමෙක් මගේ සමකාලීන මාධ්‍ය සගයන් වූහ. නඩු විභාගය අවසන් වන තුරුම විවිධ අවස්ථාවලද මම ඔවුන්ගේ සහාය ඉල්ලා සිටියෙමි. එහෙත් කිසිම මාධ්‍ය සංවිධානයක් අඩුම තරමින් සිදුවෙමින් පවතින දේ විවේචනය කරන මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමටවත් ක්‍රියා කළේ නැත.

මේ වන විට රට තුළ ක්‍රියාත්මක වන ජනමාධ්‍ය සංවිධාන සංඛ්‍යාව කොපමණදැයි නිශ්චිත වශයෙන් නොදනිතත් එය සැලකිය යුතු තරම් විශාල සංඛ්‍යාවක් බව නම් කිව හැකිය. ජාතික මට්ටමේ ජනමාධ්‍ය සංවිධානද, පළාත් මට්ටමේ ජනමාධ්‍ය සංවිධානද, ප්‍රාදේශීය ජනමාධ්‍ය සංවිධානද, ජනවාර්ගිකත්වය පදනම් කරගෙන පිහිටුවාගත් මාධ්‍ය සංවිධානද, මාධ්‍ය කුලකය පදනම් කරගත් (විද්‍යුත් මුද්‍රිත ආදී වශයෙන්) මාධ්‍ය සංවිධානද, වයස් භේදය පදනම් කරගත් මාධ්‍ය සංවිධානද ආදී වශයෙන් විවිධාකාර බෙදුම් රේඛාවන්ගෙන් වෙන්ව පිහිටුවා ගෙන ඇති මේ සියල්ල ‘ජනමාධ්‍ය නිදහස’ වෙනුවෙන් ක්‍රියාත්මක වන බව අසන්නටද, දකින්නටද ලැබේ. කොමියුනිස්ට් පක්ෂයේ නායකකාරකාදීන් කම්කරු අයිතිවාසිකම් ගැන ඝෝෂා කරමින් රට රටවල සැරිසරන්නාක් මෙන්ම මේ ජනමාධ්‍ය සංවිධානවල නායකකාරකාදීහුද මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදීන්ගේ සුරක්ෂිතභාවය ගැන කතා පවත්වමින් බොහෝ තැන්හි මහත් ඝෝෂා කරන්නාහ. අන්තර්ජාතික වශයෙන් අවධානයට ලක්වන මාතෘකා විෂයෙහි මහත් උනන්දුවක් දක්වමින් අනවරත අරගලයක යෙදෙන බවක්ද දකින්නට ලැබෙන්නේය. එහෙත් ඒ කිසිවකුට මා හෝ ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා මාධ්‍යවේදියකු වී නොමැත. අප මුහුණ දුන් ප්‍රශ්න ජනමාධ්‍ය විෂයෙහි ප්‍රශ්න වී නොමැත. හේතු අපැහැදිලිය.

වසර දහයකට පහළොවකට පෙර එක් අවස්ථාවක උතුර හෝ නැගෙනහිර පළාතේ සිට කොළඹ පැමිණි පරමේෂ්වරී නමැති දෙමළ තරුණියක ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තේ ඈ එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ බව කියමිනි. මේ සිදුවීමත් සමඟ එවකට රට තුළ ක්‍රියාත්මක වූ මාධ්‍ය සංවිධාන පිදුරු ගොඩට ගිනි හුලක් වැටුණාක් මෙන් ඇවිළී ගියේ එක පිම්මටය. ‘පරමේෂ්වරී’ පුවත්පත් මාධ්‍යවේදිනියක බවත්, ඈ අත්අඩංගුවට ගැනීම මාධ්‍ය මර්දනයක් බවත් කියමින් සියලු මාධ්‍ය සංවිධාන එකවිට ඈ නිදහස් කරගැනීම දක්වා වන ‘වෘත්තීය අරගලයක්’ ආරම්භ කළේය. ආසන්න මාස කිහිපය තුළ දකුණේ ප්‍රකාශයට පත් කෙරෙන සති අන්ත පුවත්පතකට විශේෂාංග ලිපි කිහිපයක් රචනා කොට තිබුණු පරමේෂ්වරී ‘මාධ්‍යවේදිනියක’ බව ලෝකයම දැනගත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. අවසානයේ පරමේෂ්වරී නිදහස් වූවා පමණක් නොව අන්තර් ජාතික ප්‍රසිද්ධියකට හිමි මාධ්‍යවේදිනියකව බොහෝ වරප්‍රසාදවලටද හිමිකම් කී බව මට මතකය. ඒ අතර ලද විදෙස් සංචාරයකට සහභාගිවීමෙන් පසු අද දක්වාත් මේ මාධ්‍යවේදිනියට කුමක් වීදැයි ඇය වෙනුවෙන් සටන් කළ මාධ්‍ය සංවිධාන හෝ දන්නවා දැයි නොදනිමි. මා නම් නොදනිමි.

අධිකරණ ක්‍රියාදාමය තුළ මා මුහුණ දුන් අත්දැකීම්ද දේශපාලන සහ ජනමාධ්‍ය විෂයෙහිලා ලත් අත්දැකීම් මෙන්ම විශ්මිතය. අපූරුය. මුලින්ම මුහුණ දුන් ගැටලුව වූයේ මා වෙනුවෙන් පෙනී සිටීමට විශ්වසනීය නීතිඥයකු සොයා ගැනීමයි. ඒ සඳහා දැරූ වෙහෙසකර උත්සාහයක් අවසානයේ තෙවන පාර්ශ්වයක නිර්දේශ කිරීමක් මත තවත් වාමාංශික දේශපාලන පක්ෂයක් වන එක්සත් වාමාංශික පෙරමුණේ (සිරිතුංග ජයසූරිය මහතාගේ දේශපාලන පක්ෂයේ) ඉදිරිපෙළ සාමාජිකයකු මෙන්ම මන්ත්‍රී ධුර අපේක්ෂකයකුද වන නීතිඥ ශ්‍රීනාත් පෙරේරාට මම නඩුව පැවරුවෙමි. නඩු විභාගය අතර තුර දිනක් අධිකරණ පරිශ්‍රයේදීම හිටි අඩියේ ඔහු අතුරුදන් වූයෙන් මම මහත් අකරතැබ්බයකට මුහුණ පෑවෙමි. එතැනින්ම අවසන්වීමට ගිය නඩුව සාර්ථක අවසානයක් කරා ගෙනයාමට හැකිවූයේ නීති උපදේශක ෂිරාෂ් නූර්දීන් මහතාගේ මැදිහත්වීම නිසාවෙනි. ගාස්තු අය කිරීමකින් තොරව ඔහු නීති උපදේශකත්වය දරමින් නීතිඥයන් කිහිප දෙනෙකුම මා වෙනුවෙන් ඉදිරිපත් කළේය.

අධිකරණය හමුවේ මේ නඩුව කැඳවූ දින ගණන තිහක් විය. එතරම් වාර ගණනක් නඩුව කැඳවන්නට අධිකරණයට සිදුවූයේ වගඋත්තරකාර පාර්ශ්වය අනුගමනය කළ තවත් ‘කොමියුනිස්ට්’ ක්‍රියා පිළිවෙතක් හේතුවෙනි. ඇතැම් නඩු දිනවල වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥයන් වෙනුවට අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ ’ඇත්ත’ කාර්යාලයේ සේවකයන්ය. ඇතැම් නඩු දිනක නීතිඥ රාජා කොල්ලුරේට කම්කරු සම්මේලන සඳහා වන විදේශ සංචාරයන්ය. තවත් දිනක නීතිඥ සමරසිංහට අසනීපය. මේ සෑම අවස්ථාවකදීම නඩුව විභාගයට ගැනීමෙන් තොරව ඉදිරි දිනයකට කල් ගියේ වගඋත්තරකාර පාර්ශ්වයේ ඉල්ලීම අනුවය. නඩුව කැඳවූ මුල් දින එකොළහ තුළ පමණක් මේ ආකාරයෙන් නඩුව කල් තැබුණු දින ගණන අටක් විය. මේ තත්ත්වය පාලනය කරගැනීමට හැකිවූයේ එකපිට දින තුනක් නඩුව කල් තැබුණු අවස්ථාවේ පැමිණිල්ලට නීතිඥ ගාස්තු ගෙවන ලෙස විනිසුරුවරයා නියෝග කිරීමෙන් පසුවය. එසේ නොවන්නට තවත් අවුරුදු ගණනාවක් මේ නඩුව විභාග වන්නට ඉඩ තිබිණ.

නඩුව විභාග කෙරෙන අධිකරණය පිහිටි ගොඩනැඟිල්ල ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් අධිකරණ අමාත්‍යාංශය කුලියට ගත් ගොඩනැඟිල්ලක් වීමත්, කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානය පිහිටියේ අධිකරණයට මීටර් පනහක් පමණ පසුපසින් එකම භූමියේ වීමත්, වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥ දෙපළ නඩුවට පෙනී සිටීමට පැමිණෙන්නේ පක්ෂ මූලස්ථානයේ සිට වීමත් නිසා නඩුව වසර තුනක් නොව තිහක් දිගට ඇදී ගියද ඔවුනට සතුටක් මිස ගැටලුවක් නොවන්නේය. එහෙත් නඩුව කල් තැබෙන වාරයක් වාරයක් පාසා මට නඩු ගාස්තු සඳහා වන පිරිවැය දරන්නට සිදුවන්නේය.

නඩුකරයෙන් මා අපේක්ෂා කරන සහන ලෙස මවිසින් ඉල්ලා තිබුණේ වගඋත්තරකරුවන්ගෙන් වන්දි මුදලක් සහ නඩු ගාස්තු අයකර දෙන ලෙසය. නඩුවේ තීන්දුව මගින් වන්දි මුදලක් ගෙවීමට වගඋත්තරකාර පාර්ශ්වයට නියම කොට තිබුණද නඩු ගාස්තු ගෙවන ලෙස නියම කොට නොතිබුණි. නඩු ගාස්තු පිළිබඳ කිසියම් හෝ සඳහනක්ද තීන්දුවේ නොවීය. නීතිඥයෝ මට පැවසුවේ එලෙස නඩු ගාස්තු ගෙවීමක් නියම කළ හැකි නීතිමය තත්ත්වයක් කම්කරු විනිශ්චයාධිකාරයන්ට නොමැති බවය. නඩු ගාස්තුව ආවරණය වන්නේද වන්දි මුදල තුළින් බවත් වන්දි මුදල ප්‍රමාණවත් නොවන්නේ නම් කළයුත්තේ නැවත අභියාචනයක් ඉදිරිපත් කිරීම බවත්ය.

උත්ප්‍රාසජනක කාරණය වන්නේ නඩුවෙන් දිනූ මට හිමිවන වන්දි මුදල රුපියල් අනූදහසක් වන විට නඩුව පවත්වාගෙන ගිය කාලය තුළ ඒ වෙනුවෙන් මට දරන්නට සිදුව තිබූ නීතිඥ ගාස්තුවද එපමණම මුදලක්වී තිබීමය. වන්දි මුදල ඒ ආකාරයෙන් නීතිඥ ගාස්තුවලට හිලව් වෙද්දී නඩුව කැඳවූ දින 30 පුරා අධිකරණයට යාමට ඒමට සිදුවීමෙන් මට තවත් සැලකිය යුතු අලාභයක් විඳින්නට සිදුව තිබිණ. මේ දින 30 අබාන්ස් සමාගමේ පිරිසිදු කිරීම්වල නිරත කම්කරු රැකියාවක් කළේ නම් මට රුපියල් හතළිස් දහසක පමණක වැටුපක් ලබාගත හැකිව තිබිණ. ඇඟලුම් කර්මාන්තශාලාවක මැෂින් ක්‍රියාකාර රැකියාවක් කළේ නම් රුපියල් පනස් දහසක් පමණ උපයාගත හැකිව තිබිණ. ඒ ආකාරයෙන් ගණන් බැලුවද නඩුව දිනා වන්දි මුදලකටද හිමිකම් කී මට අවසානයේ සිදුව තිබුණේ රැකියාව අහිමිවූවා මදිවාට රුපියල් ලක්ෂ එකහමාරක පමණ මුදලක් අතින් දරා අධිකරණ පද්ධතියේ ප්‍රපංච නඩත්තු කිරීමටය. ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාක් බඳුය.

මෙහි සඳහන් කළේ නඩුව තුළ මවිසින් ප්‍රත්‍යක්ෂ කළ උත්ප්‍රාසයද ජුගුප්සාවද නොඅඩුව යෙදුණු සිදුවීම් රාශියකින් කිහිපයක් පමණකි. නොකී කතා තව බොහෝය. සියල්ල කීමට නම් පොතක් ලියන්නට සිදුවන්නේය. නඩු තීන්දුව ප්‍රකාරව මම නඩුවෙන් දිනුම් බව සැබෑවක් වුවද අවසන් විග්‍රහයේදී සමස්තයෙන්ම මා පරාදය. මා පමණක් නොව මා වැනි පුරවැසියන් සියලුදෙනාද පරාදය. එහෙත් හෙට දිනයේද රටේ වාමාංශික දේශපාලන පක්ෂ නායකයෝ සුපුරුදු ලෙසම කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් වන භූමිකාවම රඟදක්වනු ඇත. ජනමාධ්‍ය සංවිධාන මාධ්‍ය නිදහස වෙනුවෙන් අනවරත අරගලයක නිරත වෙනු ඇත. කම්කරු විනිශ්චයාධිකරණ තුළ සුපුරුදු ලෙසම නඩු විභාග කෙරෙනු ඇත.