රාවය

යුරෝපයේ දේශපාලන සංහිඳියාවට බලපාන අනවසර සංක්‍රමණික ගැටලුව

යුරෝපයේ දේශපාලන සංහිඳියාවට බලපාන අනවසර සංක්‍රමණික ගැටලුව

එස්. නන්දලාල්

යුරෝපය පුරා පැන නැගී ඇති සංක්‍රමණික ගැටලුව විසින් ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්ගේ පාලනය බරපතළ අර්බුදයකට හෙළනු ලැබූ අතර ඇය ඉන් ගැලවී ගත්තේ අසීරුවෙනි. ඔස්ටි්‍රයාව හරහා පැමිණ යුරෝපයේ අනෙක් රටවලට යන අතරතුරේ ජර්මනියේ සරණාගතයන් ලෙස රැඳී සිටින පුද්ගලයන් පලවා හරින්නට දැඩි ක්‍රියාමාර්ග නොගැනීම නිසා ඇය පසුගිය කාලය පුරා එරට ජාතිකවාදී දේශපාලන පක්‍ෂවල දැඩි විවේචනයට බඳුන් වෙමින් සිටියා ය.
දිගටම ඇගේ සභාගයේ ප්‍රධානතම පාර්ශ්වකරුව සිටි ක්‍රිස්තියානි සමාජ සංගමය නම් පක්‍ෂයේ නායක අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය හොර්ස්ට් සීහොපර් ආණ්ඩුව හැරයාමට පවා තර්ජනය කිරීමෙන් තත්ත්වයේ බැරෑරුම්කම වටහා ගත හැකි ය.

පසුගිය වසරේ සැප්තැම්බර් 17දා පැවැති මහ මැතිවරණයෙන් ඇන්ජෙලා මර්කෙල්ගේ ක්‍රිස්තියානි සමාජවාදී සංගමය සහ සීහොපර්ගේ නායකත්වයෙන් යුත් ක්‍රිස්තියානි සමාජ සංගමය යන හවුලට ලබාගත හැකිවූයේ ආසන 598 ඇති ජර්මානු පාර්ලිමේන්තුවේ ආසන 246ක් පමණි. ආණ්ඩුවක් පිහිටුවීමට නම් ආසන 355 තිබිය යුතු ය. අනෙක් පක්‍ෂ සමග සාකච්ඡා වට කිහිපයක් ම පවත්වන ලද නමුත් අසාර්ථක වූ අතර අවසානයේ ආසන 153 හිමි මාර්ටින් ෂුල්ස්ගේ නායකත්වයෙන් යුත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය හා එක්ව ආණ්ඩුවක් ස්ථාපනය කරන්නට ඇයට හැකිවිය. එය සිදුවූයේ පසුගිය පෙබරවාරි මාසයේ ය. ඒ මාස කිහිපය ජර්මනියේ පාලනය ගෙනයන ලද්දේ ආණ්ඩුවක් නොමැතිවය. පසුව ෂුල්ස් සිය පක්‍ෂයේ නායකත්වයෙන් ඉවත් විය.

සරණාගත විරෝධී රැල්ල ජර්මනියට එන්නේ අසල්වැසි හංගේරියාව, ඔස්ටි්‍රයාව සහ ඉතාලිය යන රටවල් වෙතිනි. ඒ රටවල දේශ සීමා සංක්‍රමණිකයන්ට වසා දමන්නට ගන්නා ලද තීරණය සිය රටේ ද ක්‍රියාත්මක කරනු දැකීම එරට ජාතිකවාදීන්ගේ අභිප්‍රායයි. එහෙත් යුරෝපා සංගමයේ එකඟතා අනුව කටයුතු කරන්නට ප්‍රමුඛත්වය දෙන චාන්සලර් මර්කෙල්ට එය අසීරු කරුණකි. එයින් යුරෝපා සංගමයේ එකමුතු බවට මෙන් ම ස්ථාවරත්වයට ද හානි පමුණුවයි.

යුරෝපා සංගමය නිසා යුරෝපයේ ජනයාට රටවල් අතර එහා මෙහා යාමට වීසා අවශ්‍ය නොවේ. එහෙත් ඔවුන් යුරෝපීයයන් බවට ලිපි ලේඛන තිබිය යුතු වේ. ඒවා නොමැති අය අනවසර සංක්‍රමණිකයන් ය. මොවුන් ඇත්තටම දේශපාලන හේතු සිය රටවල පවතින අනාරක්‍ෂිත බව නිසා ඒ රටවලින් පලා එන්නවුන්ට වඩා ජීවනෝපාය සොයා එන්නවුන් බව දැන් අනාවරණය වී තිබේ. ලෙබනනය සහ සිරියාව වැනි මෑත කාලයේ අස්ථාවරත්වයට පත්වූ රටවලින් මිනිසුන් යුරෝපාකරයට පලා එන්නේ එම හේතු දෙක ම නිසා බව ප්‍රකට ය. ඔවුන් එන්නේ තනිවම නොවේ. දරු පවුල ද සමග ය. කුඩා දරුවන් සමග පැමිණීමෙන් අනුකම්පාව දිනා ගත හැකි වීම ඊට හේතු වනවා විය හැකි ය. අනෙක් අතට බිරිඳ හා දරුවන් අස්ථාවර පාලනයක් සහිත සිය ගම්පියසේ තබා ආවහොත් ඔවුන්ගේ ජීවිත අවදානම මේ ගමනේ ජීවිත අවදානම තරම්ම නැතහොත් ඊටත් වඩා වැඩිවිය හැකි ය.
යුරෝපා සංගමයේ නිවේදනයක දැක්වෙන පරිදි මේ සංක්‍රමණික ප්‍රශ්නය අද ඊයේ ඇති වූවක් නොවේ. ඉතිහාසය පුරාම විදෙස් ජනතාව නෛතික මාර්ගවලින් බැහැර ව යුරෝපා වෙරළට සේන්දු වූහ. ඔවුන් ආයේ විවිධ මාවත් ඔස්සේ විවිධ ක්‍රම අනුගමනය කරමිනි. ඔවුන් පැමිණීමට හේතුව සිය රටේ දේශපාලන අස්ථාවරභාවය මෙන් ම දිළිඳුකම ද වේ.
2015න් පසු අනවසරයෙන් යුරෝපාකරයට ඇතු`ඵ වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව අතිවිශාල ලෙස ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ය. එම සංඛ්‍යාව මිලියනයකට වඩා බොහෝ අධික බව ගණන් බලා තිබේ. ඒ සඳහා ලිබියාව සහ සිරියාව සැපයූ දායකත්වය අතිමහත් ය.

නිශ්චිත පරාසයක සිට මේ අර්බුදය හසුරුවන්නට සහ ඒ සමග ගනුදෙනු කරන්නට යුරෝපා සංගමයේ සාමාජික රටවල් එකඟත්වය පළකරන ලදි. අර්බුදයේ මූලික ගැටලුව සොයා ඊට පිළියම් යෙදීම සඳහා හැකිතාක් දුරට මැදිහත්වීම ද ඊට ඇතුළත් ය. එසේම යුරෝපා සංගමය තුළ හා ඉන් පිටත මානුෂීය ආධාර සැපයීමට ද යුරෝපා සංගමය කටයුතු කරයි. සරණස්ථාන පතා යන්නවුන් (asyilum seekers) ස්ථානගත කිරීම එහි එක් අංගයකි. සමහරවිට ඔවුන් යාබද රාජ්‍යයන් වෙත යැවෙනවා විය හැකිය. සුදුසුකම් නැත්තවුන් හරවා යවන්නට ද පියවර ගැනේ. යුරෝපා සංගමය සිය දේශ සීමාවල ආරක්‍ෂක සේවා පු`ඵල් සහ දැඩි කරන අතර සොරුන්, මං පහරන්නන් සහ විවිධ අපරාධකරුවන්ගෙන් ඔවුන්ට සිදුවිය හැකි පීඩාවලට වැට බඳිනු ඇත. අවසානයේ ඔවුන්ට සුරක්‍ෂිත නිවහනක් ලබාදීම යුරෝපා සංගමයේ අරමුණයි.
චාන්සලර් මර්කෙල් කටයුතු කරන්නේ මේ ප්‍රතිපත්තිවලට එකඟව ය. එසේ ම විචාරකයන් පෙන්වා දෙන පරිදි ඇය තුළ සානුකම්පික බවක් ද තිබේ. විවේචනයට බඳුන් වන්නේ ඇගේ මේ ගුණයයි.

ජර්මනියල ඉතාලිය යනාදී රටවල් සරණාගතයන්ගේ අවසාන නවාතැන්පොළවල් ය. සරණාගතයන් පිළිබඳ ප්‍රශ්නයේ දී ඔවුන් සිය වෙරළට නොගෙනම ආපසු යවන්නට මුලින් පියවර ගත්තේ ඉතාලියයි. මධ්‍යධරණී සාගරය හරහා එන සංක්‍රමණිකයන් ඉතාලියේ ලැම්ඩූසා නම් කුඩා දිවයිනට ගොඩ බැස පසුව ඉතාලියට යාම පෙර සිදුවිය. එහෙත් එහි වෙරළ දැන් පෙර පරිදි සංක්‍රමණිකයන් පිළිගැනීමට සූදානම් නැත. මේ නිසා යාත්‍රාවලට දින ගණන් මුහුදේ සිටින්නට සිදුවේ. ඒවායේ එන පුද්ගලයන්ට ආහාර යනාදිය සහන කණ්ඩායම් මගින් සපයන්නට රාජ්‍ය නොවන සංවිධාන පියවර ගන්නා නමුත් පොළොවේ පය නොගසා දිගු කලක් සිටීම දැඩි ලෙස වෙහෙසකාරී ය.
මෙලෙස මුහුදු මගින් එන ලියකියවිලි නොමැති සංක්‍රමණිකයන් අතරින් වසරකට දහසක් තරම්වත් දෙනා මුහුදට බිලිවන බව සඳහන් ය. තත්ත්වයේ බරපතළකම ඉන් වටහා ගත හැකි ය. පසුගිය 29දා ලිබියාව ආසන්නයේ දියේ ගිලෙමින් පැවැති සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ලිබියානු වෙරළාරක්‍ෂක බලකාය විසින් ගලවා ගන්නට උත්සාහ කළත් දිවි බේරාගත හැකිවූයේ එහි සිටි 100 අධික පිරිසකගෙන් 16 දෙනකුට පමණක් බව වාර්තා විය.
ජුනි 29දා යුරෝපා සංගමය මේ සම්බන්ධයෙන් විශේෂ සැසිවාරයක් පැවැත්වී ය. මෙහි දී බොහෝ වාද විවාදවලින් පසුව තීරණය කැරුණේ යුරෝපයේ දේශ සීමා ආසන්නයේ සරණාගතයන් සඳහා රැඳවුම් කඳවුරු පිහිටුවීමටයි. මෙනයින් සංහිඳියාවක් ඇති කරන්නට යුරෝපා සංගමයට හැකිවන නමුත් මෙය ස්ථිරසාර විසඳුමක් නොවේ.
ඇත්තට ම නම් මේ ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ඉදිරිපත් කිරීම පහසු කටයුත්තක් නොවේ. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිවලට අනුව සංක්‍රමණිකයන් නීත්‍යනුකූල වුවත් නැතත් ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය නොවිය යුතු ය. යුරෝපා සංගමයේ ප්‍රඥප්තිවලද ඒවා එසේම ඇතුළත් ය. එහෙත් සාමාජික රටවල වැසියන්ගේ අනවසර සංක්‍රමණිකයන්ට පිළිගැනීමක් නොමැත. ඇතැම් රාජ්‍ය නායකයන් ඍජුව ම සංක්‍රමණිකයන්ට විරුද්ධ අතර ඇතැම් රාජ්‍ය නායකයන්ට සිය රටවල ජනතා සංවිධානවල බලපෑම්වලට යටත් වන්නට සිදුවේ. පසුගිය ජුනි 01දා ඉතාලියේ අග්‍රාමාත්‍යවරයා ලෙස බලයට පත් ගිසෙප් කොන්ටේ ඉන් පළමුවෙන් සඳහන් ගණයට වැටෙන අතර ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් දෙවන ගණයට අයත් වන්නී ය.

සිය රටේ කිසිම වරායක් අනවසර සංක්‍රමණිකයන්ට විවෘත නොකරන බව කොන්ටේ අගමැතිධුරයට පත් වූ දිනවල ම නිවේදනය කළේ ය. ඔහුගේ දැනුම් දීම අනුව එරට අභ්‍යන්තර කටයුතු ඇමති මැටියෝ සැල්විනි ඊට අදාළ නිවේදනය නිකුත් කළේ ය. ‘යුරෝපයේ සෑම රටකට ම තම තමන්ගේ ව්‍යාපාර තිබේ. ඉතාලියටත් ස්වීය ව්‍යාපාර තිබේ. අපි දැන් හිස ඔසොවමින් සිටිමු. අප සියල්ලන්ම මේ අනවසර සංක්‍රමණික ව්‍යාපාරය නවත්වා දැමිය යුතුයි’ ඒ අනුව සංක්‍රමණිකයන් 600ක් රැගත් ඇක්වේරියස් නැවට ඉතාලි වරායකට සේන්දු වන්නට අවසර නොදුන් අතර පසුව එය භාර ගත්තේ ස්පාඤ්ඤය විසිනි. එය වගකීම් විරහිත ක්‍රියාවක් ලෙස ප්‍රංශ ජනාධිපති එමානුඑල් මැක්‍රොන් විසින් හඳුන්වා දෙන ලද අතර ඊට පිළිතුරු වශයෙන් කොන්ටේ කීවේ එසේ කීම කුහකකම ප්‍රදර්ශනය කිරීමක් බවයි.

2015න් පසු ලිබියාවෙන් පමණක් එරටට 700,000 පමණ අනවසර සංක්‍රමණිකයක් පැමිණ ඇති බව අගමැතිවරයා පෙන්වා දී ඇත. අග්‍රාමාත්‍ය කොන්ටේ පෙන්වා දෙන්නේ මෙය ව්‍යාපාරයක් බවයි. මිනිස්සු මෙහි දී විකිණෙති. මිනිස් ජාවාරම  (human trafficking) කියන්නේ මෙයට ය. ඉතින් සිය රටේ ජනතාවට භුක්ති විඳින්නට ඇති පහසුකම් ජාවාරම්කරුවන් විසින් ප්‍රයෝජනයට ගනු ලැබීම වහාම නවත්වා දැමිය යුතු ය.
කොන්ටේ විසින් පිහිටුවන ලද්දේ බටහිර යුරෝපයේ ප්‍රථම ජනතාවාදී (populist government) ආණ්ඩුව බව මාධ්‍ය විසින් හඳුන්වා දෙන ලද බව සඳහන් ය. ‘තම ජාතිය පමණයි’ යන්න ඉන් අදහස් කෙරේ.

අනවසර සංක්‍රමණික ප්‍රශ්නය යුරෝපයේ ජනතාවාදී රැල්ලක් අලුතෙන් නිර්මාණය කොට ඇති බව පැහැදිලි ය.
ජර්මනියේ අන්ත දක්ෂිණාංශික ජාතිකවාදී පක්‍ෂයක් වන ‘ජර්මනිය සඳහා විකල්පය’ (Alternative for Germany – AfG) පක්‍ෂයේ නියුරම්බර්ග් ආසනය සඳහා ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂිකා එලිනා රුත් මේ ප්‍රශ්න විසඳිය හැක්කේ හිට්ලර්ට පමණක් වන බැවින් හිට්ලර්ගේ ආගමනය අපේක්‍ෂා කරන්නියකි. හිට්ලර්ගේ පින්තුරයක් ද සහිතව ඇය විසින් පසුගිය වසරේ මැයි මාසයේ සමාජ ජාලයක තබන ලද පණිවුඩ කෙරේ බොහෝ අවධානය යොමු ව තිබූ බව සඳහන් ය. එක් පණිවුඩයක් මෙසේ ය: ‘1945 සිට සිටින තැනක් නොදනී. කරුණාකර සිටින තැනකින් අමතන්න. ජර්මනියට ඔබ අවශ්‍යයි. ජර්මන් ජනතාවට.’ දෙවැනි පණිවුඩයේ හිස කසන හිට්ලර්ගේ පින්තුරයකි. ඔහු මෙසේ කියයි: ‘ඉස්ලාමිකයන්. මට ඔවුන් අමතක වුණා.’ අමෙරිකා එක්සත් ජනපදයට සහ යුරෝපාකරයට ඉස්ලාම් අන්තවාදීන් ඇති කළ ගැටලු අසීමිත ය. හිට්ලර් පැමිණ මෙවර සමූල ඝාතනය කළයුත්තේ යුදෙව්වන් නොවන බව ඉන් අදහස් කෙරේ.

අනවසර සංක්‍රමණික ගැටලුව යුරෝපයේ දේශපාලනය කෙරේ බලපා ඇති අයුරු ගැන උදාහරණ දෙකකි ඒ. තවත් ඒවා තිබෙනවා විය හැකි ය. මෙනයින් මුලින් ජනතාවාදීන් ඊළඟට ජාතිකවාදීන්ද අවසානයේ ජාතිවාදීන් ද බවට පරිවර්තනය වන්නට තව මහ කලක් ගත නොවනු ඇති බව නම් අනාවැකියක් ලෙස කිව හැකි ය.