සරසවි පියසමර: විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙහි සාකල්‍යවාදී හරය නැවත සොයා ගැනීම

ලියනගේ අමරකීර්ති
මහාචාර්ය
සිංහල අධ්‍යයනාංශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
පසුගිය සතියෙන්….

“A Plea for a Ceylon University” යන නමින් ලංකා විශ්වවිද්‍යාල සංගමයේ සභාපතිවරයා ලෙස අරුණාචලම් යටත් විජිත ආණ්ඩුව වෙත ඉදිරිපත් කළ ලේඛනය “විශ්වවිද්‍යාලය” යන්න ඔහු පරිකල්පනය කළ ආකාරය පෙන්නුම් කරන දෙවන ලේඛනයයි. එහිදී ඔහු ලංකාවට විශ්වවිද්‍යාලයක් අවශ්‍ය වන්නේ මන්ද, එහි සැකැස්ම කෙසේ විය යුතුද, එහි ඇතුළත් විය යුතු ශිෂ්‍ය පිරිස කවුද, විශ්වවිද්‍යාලයේ ව්‍යූහ කෙබඳු විය යුතුද විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාමේ වියදම් දැරිය යුත්තේ කවුද යනාදී කරුණු ඉතා සවිස්තරව සාකච්ඡා කරයි.

ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේ කේම්බි්‍රජ් හෝ ලන්ඩන් විශ්වවිද්‍යාලවල පාඨමාලා ඒ ලෙසින්ම ලංකා විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම සඳහා ලංකාවේ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම ඵලක් නැති බව පොන්නම්බලම් අරුණාචලම් ඉතා පැහැදිලිව තර්ක කළේය. එම විශ්වවිද්‍යාල ඉංග්‍රීසි පාඨමාලා සඳහා ශේක්ෂ්පියර්ගේ නාට්‍ය ඉගැන්වීමත්, ඒවා රස විඳීමට ප්‍රමාණවත් තරම් වන භාෂා දැනීමක් ලැබීම එංගලන්තයේ ශිෂ්‍යයන්ට ප්‍රයෝජනවත් වුවත්, එවැනි පාඨමාලාම ලංකාවේ ඉගැන්වීමේ ඵලය කුමක්දැයි පොන්නම්බලම් අසයි. ලංකාවේ තරුණ තරුණියන්ට අවශ්‍ය වන්නේ “නූතන ඉංග්‍රීසිය පිළිබඳ හොඳ ව්‍යවහාරික දැනුමක්” යැයි තර්ක කරයි. පොන්නම්බලම් තව දුරටත් මෙසේ කියයි: “ලංකාවේ ළමයින් ශේක්ෂ්පියර් අධ්‍යයනය කිරීම යනුවෙන් බොහෝ විට අදහස් වන්නේ අදාළ පොත යන්තම් අධ්‍යයනය කිරීම හෝ වටහා ගැනීමය. ඊටත් වඩා අඩුවෙන් ශේක්ෂ්පියර්ගේ චින්තනය හෝ ශෛලිය වටහා ගැනීමය. සිදුවන්නේ ශේක්පියර්ගේ කෘතිවල නූතන පාඨශාලා මුද්‍රණවල එන සටහන් කෑදර ලෙස කටපාඩම් කරගැනීමය. කේම්බි්‍රජ් සීනියර් දේශීය විභාගය විශිෂ්ට සාමාර්ථ සහිතව සමත් වුවත් නිවැරදි අක්ෂර වින්‍යාසය සහිතව ලියන්නට බැරි දරුදැරියන් මම දනිමි.”

කේම්බි්‍රජ් හෝ ලන්ඩන් විශ්වවිද්‍යාල ආකෘතිය සිතෙහි තබාගෙන ඉංග්‍රීසි උගන්නා අප රට තරුණ පිරිසට අවුරුදු දහයක් තරම් ඉංග්‍රීසි ඉගෙනගෙනත් ඒ බස නිවැරදිව ලියන්නට හෝ කතා කරන්නටත් හොඳ ඉංග්‍රීසි සාහිත්‍යය ගැන හැඟීමක් ඇති කරගැනීමටත් හැකියාවක් නැතැයි පොන්නම්බලම් තර්ක කරයි. බටහිර සංස්කෘතියේ බාහිර අංග අනුකරණය කරන්නට ඒ අය තැත් කළත්, “බටහිර සංස්කෘතිය කෙරෙහි අමුත්තන්” සේ පවතින බවද ඔහු කියයි. මෙහිදී “බටහිර සංස්කෘතිය” යනුවෙන් ඔහු අදහස් කරන්නේ හුදෙක් සංස්කෘතියම නොව සංස්කෘතිකවත්භාවය යැයි පෙනේ. එසේම බටහිර සංස්කෘතියට අනුගත වී සිටින ස්වදේශිකයන්ට සිංහල සහ දෙමළ වැනි ස්වදේශීය භාෂා ගැන කිසිම අවබෝධයක් නැති හෙයින් සිංහල සහ දෙමළ සාහිත්‍යයික ප්‍රතිභානය නූතන යුරෝපයේ හොඳම ප්‍රාණය සමග සම්බන්ධ කිරීමක් සිදු වන බවක් පෙනෙන්නට නැතැයි පොන්නම්බලම් තර්ක කරයි. එවැනි “සාහිත්‍යයක් නිර්මාණය කිරීමෙන් හා පැතිරීමෙන් විනා යුරෝපීය ශිෂ්ටාචාරයේ වන යහපත් දේවල්” සාමන්‍ය ජනයාට ළඟා විය හැකි මට්ටට ගෙන ආ නොහැකි යයි ඔහු කියයි. යුරෝපීය ශිෂ්ටාචාරයේ වන යහපත් දේවල් සමාන්‍ය ජනතාව වෙත ගෙන ඒමෙන් ඒවා සාමාන්‍ය ජනතාවගේ ජීවිතයේ සහ චරිතයේ කොටසක් බවට පත් වී ජාතික ජීවිතයේ ශක්තිමත් වර්ධනයට දායක වන්නේ යැයිද ඔහු පෙන්වා දෙයි. එසේ ජාතික ජීවිතය වර්ධනය කරගත් රටක් හැටියට ඔහු ගෙන හැර පාන්නේ ජපානයයි.
යුරෝපීය ශිෂ්ටාචාරයේ විශිෂ්ට අංග ජාතික ජීව ප්‍රාණය සමග මුසු කරගැනීම පිළිබඳ කාරණය ගැන පොන්නම්බලම් අරුණාචලම් කතා කළේ කවර අර්ථයකින්දැයි අද අර්ථකථනය කිරීම දුෂ්කරය. ලංකාවට විශ්වවිද්‍යාලයක් දිනාගැනීමේ සියුම් සටන ජය ගැනීමේ අවශ්‍යතාව නිසා බි්‍රතාන්‍ය පාලකයන් සමග සීරුවෙන් කටයුතු කිරීමේ අරමුණින් එසේ කීවේද විය හැකිය. යුරෝපීය ශිෂ්ටාචාරයේ හොඳම අංග අපගේ ජාතික ජීවිතයෙහි වර්ධනයට අවශ්‍ය යැයි ඔහු සිතුවේද විය හැකිය. කෙසේ වෙතත් විශ්වවිද්‍යාලයේ කාර්ය සම්බන්ධයෙන් තීරණාත්මක අදහසක් එහි අඩංගු වේ. විශ්වවිද්‍යාලය යනු ලෝක මානව ඥානය සම්මිශ්‍රණය වන තැනකි.

ඉංග්‍රීසි ඉගෙනීමටත්, බටහිර සංස්කෘතිය වෙත අනුගතවීමටත් අවශ්‍ය පහසුකම් සපයන අතරම, අප රට තරුණ පරම්පරාව තමන්ගේ මව් භාෂාවටත්, දේශීය ඉතිහාසයට සහ සම්ප්‍රදායවලටත් ආගන්තුකයන් නොවී අධ්‍යාපනය ලබන්නටද පහසුකම් සපයා දීම විශ්වවිද්‍යාලයේ කාර්ය බව අරුණාචලම් කියයි. “තමන්ගේ මව් භාෂාව නිවරුදිවද පහසුවෙන්ද භාවිත කරන්නටද, සම්භාව්‍ය භාෂාවල සහ ඒවාගෙන් ලියවුණු සාහිත්‍යයෙහි සුන්දරත්වය අගය කරන්නටද, තමන් වසර දෙදහස් හාරසීයක් තරම් ඈතට යන ශ්‍රේෂ්ඨ ඉතිහාසයක උරුමක්කාරයන් බව වටහා ගන්නටද තමන්ද එවැනි ඉතිහාසයකට උරුමකම් කියන්නට තරම් වටිනා පුද්ගලයන් බවට පත් වීමටද” විශ්වවිද්‍යාලයේදී ඉඩ ලැබෙනු ඇති බව ඔහු ඉතා ආකර්ෂණීය ලෙස තර්ක කරයි.

එම ලේඛනයේදී මනුෂ්‍ය ජීවිතය සඳහා සාහිත්‍යයෙහි වැදගත්කම අරුණාචලම්ගේ නොමඳ අවධානයට ලක් වේ. සාහිත්‍යය ගැන යම් කිසිවෙකුගේ අදහසක් උපුටා දක්වමින් අරුනාචලම් කියන්නේ මෙවැන්නකි: යම් ජාතියකට තමන්ද අනික් ජාතීන්ද වඩාත් හොඳින් පොලඹවාලන්නට හැක්කේ ඒ ජාතියට අයත් ජාතික සාහිත්‍යය මගිනි. විශේෂයෙන් පුරාකෘතික (archetypal) කාව්‍ය මගිනි. ශ්‍රේෂ්ඨ සාහිත්‍යය සියල්ල විනිවිද ගොස් සියල්ලටම නව වර්ණයක් ලබා දෙයි; පුද්ගලයන්ද සමස්තයද හැඩගස්වයි.
මෙම තර්කය තුළ “තමන් අනික් ජාතීන්ද වඩාත් හොඳින් පොළඹවාලීම” යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි අරුණාචලම් පැහැදිලි නොකළත් ඔහු ඉඟි කරන්නේ මෙවැන්නකි: සාහිත්‍ය අධ්‍යයනයෙන් ලැබෙන වාග් චාතූර්ය සහ සංස්කෘතිකවත් වාග් විලාසය නිසා කෙනෙකුට අනෙක් මනුෂ්‍යයන්ට ඒත්තු යන සේ කතා කරන්නට හැකියාව ලැබේ. එසේම ජාතියක පුරාකෘතික කාව්‍ය අධ්‍යයනය නිසා ඒ ජාතියේ සාමූහික විඥානයට ආමන්ත්‍රණය කිරීමේ හැකියාව ලැබේ. අද මානව ශාස්ත්‍ර අධ්‍යයනයෙහි වැදගත්කම සේ බොහෝ දෙනෙකු විසින් දකිනු ලබන ඇතැම් ගුණාංග අරුණාචලම්ගේ ලංකා විශ්වවිද්‍යාලය සංකල්ප ගත කරමින් ඉදිරිපත් කළ මුල් ලේඛනවල දකින්නට පුළුවන.
අරුණාචලම් අපට විශ්වවිද්‍යාලයක් ඉල්ලා සිටිමින් යටත්විජිත ආණ්ඩුවට ඉදිරිපත් කළ ලේඛනයෙහිදී සාකල්‍යවාදී අධ්‍යාපනයක් ඉල්ලා සිටින බව ඉතා පැහැදිලිය. සමාජ ප්‍රගමනය සඳහා විද්‍යා දැනුමෙහි වැදගත්කම අවධාරණය කරන ඔහු විද්‍යා අධ්‍යාපනය වර්ධනය කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කරන්නේ අප රට විද්‍යා අධ්‍යාපනය ඇති කිරීම වෙනුවෙන් සටන් කළ ආචාර්ය ආනන්ද කුමාරස්වාමිගේ ඒ ගැන කී දේ නැවත නැවත සඳහන් කරමිනි. ලංකා විශ්වවිද්‍යාලයේ අවශ්‍යයෙන්ම ඉගැන්විය යුතු විෂයයන් ඔහු අංකනය කර දක්වන්නේ පහත සඳහන් විෂයයන්ට මහාචාර්ය ධුර අවශ්‍ය බව කියමිනි:

1. ඉංග්‍රීසි භාෂාව සහ සාහිත්‍යය
2. ලතින් සහ ග්‍රීක සාහිත්‍යය
3. ගණිතය
4. භෞතික විද්‍යාව
5. උද්භිද විද්‍යාව
6. රසායන විද්‍යාව
7. ජීව විද්‍යාව
8. මානසික සහ සදාචාර දර්ශනය සහ තර්ක ශාස්ත්‍රය
9. ඉතිහාසය සහ දේශපාලන ආර්ථිකය
10. සංස්කෘත සහ පාලි භාෂාව සහ සාහිත්‍යය
11. සිංහල භාෂාව, සාහිත්‍යය සහ ඉතිහාසය
12. දෙමළ භාාෂාව සාහිත්‍යය සහ ඉතිහාසය
13. ප්‍රංශ සහ ජර්මන් භාෂා සාහිත්‍යය සහ ඉතිහාසය

ලංකාවේ බිහි වන්නට යන විශ්වවිද්‍යාලයේ සිටිය යුතු යැයි ඔවුන් සැලකූ මහාචාර්යවරුන්ගේ ලැයිස්තුව පමණක් පරීක්ෂා කළද සාකල්‍යවාදී විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් පිළිබඳ ඔවුන්ගේ උනන්දුව පැහැදිලි වේ. මෙම ලැයිස්තුව මෑතකදී ලංකාවේ බිහි වූ විශ්වවිද්‍යාල සමග සසඳා බලන කෙනෙකුට වයඹ, ඌව වෙල්ලස්ස, සබරගමුව පමණක් නොව මොරටුව වැනි විශ්වවිද්‍යාල පවා විශ්වවිද්‍යාලය පිළිබඳ සාකල්‍යවාදී අර්ථයෙන් බොහෝ ඈත බව පෙනේ. මෙම ආරම්භක ලේඛනවල පරිකල්පිත විශ්වවිද්‍යාල ආකෘතියෙහි අඩංගු සාකල්‍යවාදී අධ්‍යාපනය පිළිබඳ අදහස පේරාදෙණිය වැනි පැරණි විශ්වවිද්‍යාලවල ආරක්ෂා වෙමින් සහ වර්ධනය වෙමින් පවතීද නැතිනම් ටිකෙන් ටික දුර්වල වෙමින් පවතීද යන්න අපගේ අවධානයට ලක් විය යුතුය. එසේම මෙකී අධ්‍යාපනය පිළිබඳ හුදෙක් යටත්විජිත පාලනය පිණිස ස්වදේශික සේවකයින් බිහිකර ගැනීමට පිණිස කෙරෙන ඉතා පටු උපයෝගීතා අර්ථයක් ගත්තක් නොවන බවද අපගේ අවධානයට ලක් විය යුතුය.

අධ්‍යාපනය හුදෙක් උපයෝගීතා අර්ථයෙන් නොසැලකුවද එවකට ජාතික අවශ්‍යතා ලෙස ඔවුන් හඳුනාගත් අංගද සැලකිල්ලට ගනු ලැබිණි. ඉහත කී ලෙස දැනුමෙන් යුතු, සංස්කෘතිකවත්, සියුම් රසඥතාවෙන් යුතු නූතන පුරවැසියෙකු බිහි කර ගැනීම අධ්‍යාපනයෙහි අරමුණ ලෙස සලකන ලද අපි දුටිමු. (“රසඥතාව” යන්නෙන් අදහස් කෙරුණේ කවර කලාවක් පිළිබඳ රසඥතාවද, “සංස්කෘතිකවත්බව” යනුවෙන් අදහස් කෙරුණේ කාගේ සංස්කෘතික අගයයන් අන්තරීකරණය කර ගැනීමද යනාදී විසංයෝජනීය ප්‍රශ්න කොතෙකුත් ඇසිය හැකිය. එහෙත් ඒවා නිසා අධ්‍යාපනය පිළිබඳ සාකල්‍යවාදී අදහස බිඳ නොවැටේ.) එසේම කෘෂි කර්මය පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනය විශ්වවිද්‍යාලයෙහි ඇති කළ යුතු බව ඔවුහු තර්ක කළහ. එපමණක් නොව වන ගහණය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය යැයි තර්ක කළ ඔවුන් එහිලා දැනුමින් යුතු වන නිලධාරීන් පුහුණු කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්හ.
වාණිජ සහ කාර්මික අධ්‍යාපනයේ විශ්වවිද්‍යාලය අධ්‍යාපනය තුළ ඉහළ ස්ථානයක ලා සැලකිය යුතු බව අරුණාචලම් තර්ක කළේය. ඒ අංශ සම්බන්ධයෙන් බරපතළ අවශ්‍යතාවක් පවතින්නේය යන්නට හේතු ලෙස ඔහු දක්වන කරුණු සිත්ගන්නාසුලුය. සිංහල ජනතාව අතර වාණිජ කටයුතුවලට උනන්දුව අඩුවීම එක් ප්‍රධාන හේතුවකි. ලංකාවේ ව්‍යාපාර කටයුතුවලින් අතිවිශාල කොටසක් හුදෙක් “සංචාරක කුරුල්ලන් සේ” දිවයිනෙහි සිටින ඉන්දියානු දෙමළ ජාතිකයන්, චෙට්ටිවරුන්, පාසිවරුන් අත පැවතීම නිසා ඔවුන් යුරෝපීය අය සේම මෙහි උපදින ලාභය ඉවතට රැගෙන යන බව අරුණාචලම් කියයි. කර්මාන්ත ක්ෂේත්‍රය මුළුමනින්ම පවතින්නේ විදේශිකයන් අත වීමද බරපතළ ගැටලුවකි. ඒ නිසා ස්වදේශිකයන් කර්මාන්ත සහ වාණිජ කටයුතුවල පුහුණු කිරීම විශ්වවිද්‍යාලයේ කාර්යයක් විය යුතු බව ඔහු තර්ක කරයි. එහෙත් විශ්වවිද්‍යාලය යනු එපමණක් නොවිය යුතු බව පෙන්වා දෙන ඔහු ලලිත කලා සහ සංගීතය නොසලකා නොහළ යුතු යැයි පෙන්වා දෙයි. පුරාණ යුගයේ සිට මධ්‍යකාලීන යුගය ඔස්සේ නූතනය දක්වාම පෙරදිග සේම බටහිරද කලාව උත්කෘෂ්ටම සිතිවිලි සහ පරමාදර්ශ සාක්ෂාත් කරගත් බවද, සෑම ශ්‍රේෂ්ඨ ජනතාවකගේම ජීවිතය තුළ විශාල කාර්යක් චිත්‍ර කලාව, මූර්ති කලාව, සහ ගෘහ නිර්මාණ ශිල්පය විසින් ඉටු කෙරෙන බවද අරුණාචලම් කියා සිටියි. සාකල්‍යවාදී අධ්‍යාපනයක් පිණිස ලලිත කලාවල වැදගත්කම අරුණාචලම් විසින් මතු කෙරෙන්නේ ඉතා උද්යෝගී වැකිද, ආකර්ෂණීය අලංකාරිකද මගිනි:

“ලූතර් කී සැටියට ‘මුණිවරයන්ගේ කලාව වන සංගීතය යනු ආත්මයේ කලබලකාරකම් සන්සුන් කළ හැකි එකම කලාවය.’ බීතෝවන් කී ලෙස මනුෂ්‍ය ආධ්‍යාත්මයේ ජීවිතය සහ පංචේන්ද්‍රියන්ගේ ජීවිතය අතර අතරමැදියා සංගීතය වන්නාක් සේම එය අන් කිසිම දෙයකට සැපයිය නොහැකි දෙයක් මනුෂ්‍යයා වෙත සපයයි. අහෝ ලංකාවේ එහිලා ඇත්තේ මොන තරම් නම් හිඩැසක්ද!”

ශිෂ්‍ය ප්‍රජාව සහ ඔවුන්ගේ ජීවිතය

අපගේ විශ්වවිද්‍යාලයේදී ශිෂ්‍යයන්ට උරුම විය යුතු ජීවිතය කවරක්ද යන්න සම්බන්ධයෙන් අරුණාචලම් දක්වන අදහස්වල අගය නැවත වටහා ගත යුතු කාලයක් පැමිණ තිබේ. ඔහු මෙසේ කියයි: විශ්වවිද්‍යාලය යන්න අප අවබෝධ කර ගන්නා ආකාරයට එහි විභාග පැවැත්වීම යනු විශ්වවිද්‍යාලයෙහි ද්වීතියික කාර්යයකි. ඒ නිසා ලංකා විශ්වවිද්‍යාලයේදී විභාගවලට ලැබෙනු ඇත්තේ ඊට හිමි එම ද්වීතියික කාර්යයි. ඔහු මෙම කාරණය ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්නේ ඒ වන විට ලංකාවේ පැවැති සාමාන්‍ය අධ්‍යාපනයත්, උසස් අධ්‍යාපනයත් අතිශයින් විභාග කේන්ද්‍රීය වීමය. විශේෂයෙන් ලන්ඩන් විශ්වවිද්‍යාලය මගින් පැවැත්වෙන විභාගවලට ලංකාවේ සිට පිළිතුරු ලියා උපාධි ලබා ගැනීමේ ක්‍රමයක් පැවැත්විණි. ඒ වූකලි විභාග ලිවීමක් මිස නියම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමක් නොවේ. අද වන විට ලංකාව නැවතත්, ඒ තත්ත්වයට ගමන් කර ඇතිදැයි සිතෙන්නේ විභාග කේන්ද්‍රීත්වය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ලක්ෂණයක් වී ඇති නිසාය.

කටපාඩම් කරගත් පිළිතුරු විභාගවලට ලිවීමට විකල්පයක් වූ විශ්වවිද්‍යාලය අධ්‍යාපනය සහ ජීවිතය ගැන ලංකා විශ්වවිද්‍යාලයේ පීතෘවරයා පරිකල්පනය කළේ කෙසේද? විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ විභාගවලට මුල් තැන නොදිය යුතු බව තර්ක කරන අරුණාචලම් ප්‍රකාශ කරන්නේ ලංකාවේ ඇරඹෙන විශ්වවිද්‍යාලය තුළ විභාගවලට ඒවාට නියමිත ස්ථානය ලැබෙනු ඇති බවය. ඒ වූකලි “ද්වීතියික ස්ථානයකි.” අරුණාචලම් පරිකල්පනය කළ විශ්වවිද්‍යාලයේදී වැඩි අවධානයක් යොමු වූයේ විශ්වවිද්‍යාලය එම අධ්‍යාපනික ආයතනය ජීවිතයට එක් කරන සමස්ත අත්දැකීම කෙරෙහිය. ඔහු මෙසේ කියයි: “විශ්වවිද්‍යලය මගින් කෙරෙනු ඇත්තේ ඉතා විශිෂ්ට වූද සංස්කෘතිකවත් වූද මහාචාර්යවරුන්ගේ පෞද්ගලික බලපෑම යටතට රටෙහි හොඳම තරුණ පිරිස එක් ආයතනයක් තුළ එකට එක් කිරීමය. ඉගෙනීම නමැති දේවස්ථානයේ සැබෑම උත්තම පූජකවරුන් වන මහාචාර්යවරුන්ගේ චරිතය සහ ආදර්ශයද, ආචාර්යවරුන් සහ සහෝදර ශිෂ්‍යශිෂ්‍යයාවන් සමග සංගමය සහ සාකච්ඡාද නිසා ඇති වන මත ගැටීම්ද, බුද්ධිමය ජීවිතය උත්තේජනයට ලක්වීම්ද, සංස්කෘතිය අත්පත් කර ගැනීමටද ඉහළ පරමාදර්ශ වෙනුවෙන් පක්ෂපාතිත්වය වර්ධනය කර ගැනීමටද තුඩු දෙන පරිසරයක් ඒ විශ්වවිද්‍යාලවල පවතින බව ඔක්ස්ෆර්ඞ්, කේම්බි්‍රජ්, බර්ලින්, පැරිස්, බොන් හෝ හයිඩල්බර්ග් වැනි යුරෝපීය විශ්වවිද්‍යාලයක උගත් අය අතරින් නොදන්නේ කවුද? විශ්වවිද්‍යාල ජීවිතයෙහි වැදගත්ම ඵලය මෙය මිස ග්‍රන්ථ හැදෑරීම සහ විභාග සමත්වීම නොවේ. එවැනි බුද්ධිමය මහ සදාචාරාත්මක ජීවිතයක උල්පතක් නැතිකමින් අප විඳි අලාභය කාට නම් තක්සේරු කළ හැකිද?”
අරුණාචලම් අපේක්ෂා කළ ඒ පරමාදර්ශී විශ්වවිද්‍යාලය කරා යන මාවතින් අප කොතරම් නම් ඉවතට ගොස් ඇත්ද යන්න සොයා බලන ආත්ම පරීක්ෂාවක් අද අවශ්‍ය වී තිබේ. ශිෂ්‍යයන්ගේ බුද්ධිමය සහ සංස්කෘතික හැඩගැස්ම කෙරෙහි සාධනීය ලෙස බලපෑම් කළ හැකි ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන් කී දෙනෙක් නම් අද සිටිත්ද? එවැනි පරමාදර්ශී ආචාර්යවරුන් බවට පත් වීමේ සිහිනය සහ ඒ වෙනුවෙන් කැපවීම ඇති කණිෂ්ඨ ආචාර්යවරුන් කී දෙනෙක් නම් අද සිටිත්ද? එසේම හුදෙක් සහතිකයක් දිනාගැනීමට මිස තම බුද්ධිමය නිම්වළලු පෘථුල කිරීම, ආචාර ධාර්මික තර්කනය දියුණු කරගැනීම වැනි පරමාදර්ශ කරා යන මාවතින් ශිෂ්‍යයන්ද බෙහෙවින් ඈත්වී නොසිටිත්ද? සාධාරණය, අන්‍ය සංස්කෘතීන්ට ගරු කිරීම, විචාරාත්මක පුරවැසිභාවය, ප්‍රජාතාන්ත්‍රිකත්වය, ගැඹුරු රසඥතාව යනාදී බොහෝ වැදගත් පරමාදර්ශ දෙවැනි තැන තබා නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම වැනි කේවල සටන් පාඨයක් සමග ශිෂ්‍ය ප්‍රජාවද හුදෙකලා වී ඇති බවක් නොපෙනේද? අපගේ විෂයමාලා, ඉගැන්වීමේ විධි ක්‍රම, අධ්‍යාපනික අරමුණු වැනි දේද ආර්ථික වර්ධනය සහ රැකියා නියුක්තිය වැනි කේවල අරමුණුවලට යට වී නොතිබේද? මේ ප්‍රශ්න අසමින් සාමූහික ආත්මපරීක්ෂාවක යෙදෙන අතර ලංකා විශ්වවිද්‍යාල ව්‍යාපාරයේ පියා විශ්වවිද්‍යාලය නම් ආයතනය සංකල්පගත කළ ආකාරය නැවත පරීක්ෂා කිරීම ඉතා උචිතය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙහි කාර්ය තව දුරටත් පැහැදිලි කරමින් අරුණාචලම් මෙසේ කියයි: තරුණ තරුණියන්ගේ චරිත හැඩගැස්වීමෙහිලා විශ්වවිද්‍යාලය බලවත් උපකරණයක් වනු ඇත. තර්ක ඥානයෙන්ද, ආත්ම පාලනයෙන්ද, දැනුමින්ද, ධෛර්යෙන් හා අධිෂ්ඨානයෙන් යුතු වූද පොදු මහජනයා පිළිබඳ හැඟීමෙන් සහ සිවිල් ගුණධර්මවලින් යුතු වූද කරුණ පිරිමින් සහ ගැහැනුන් නිර්මාණය කිරීම විශ්වවිද්‍යාලයේ කාර්ය යැයි අරුණාචලම් තර්ක කළේය. මෙහිදී අපට දැනෙන්නේ අධ්‍යාපනයෙහි කාර්ය ලෙස අරුණාචලම් වැනි අය විශ්වාස කර ඇත්තේ ‘ලෝකය තුළ දැනට සිතනු ලැබ තිබෙන හොඳම දේ, ලෝකය දැනට දැනගෙන තිබෙන හොඳම දැනුම වෙත ශිෂ්‍යයන් අනාවරණය කිරීම’ යන මැතිව් ආර්නල්ඞ්ගේ ප්‍රකට කියමනින් ප්‍රකාශ වන දෙය බවය.

මෙකී අරමුණු සාක්ෂාත් කරගත හැකි නම් අවුරුද්දකට රුපියල් ලක්ෂයක වියදමින් වුවත් විශ්වවිද්‍යාලයක් පවත්වාගෙන යාම වටින්නේ යැයි අරුණාචලම් ලංකා විශ්වවිද්‍යාලයක් පිණිස ආයාචනයක් නම් ලේඛනයේ අවසන් ඡේදයේදී කියයි. අවුරුදු එකසිය දොළහකට පෙර රුපියල් ලක්ෂයක් යනු විශාල මුදලකි. සැබවින්ම, එම ලේඛනයේදී ලංකා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන, පරිපාලන සියලු වියදම්වලට ඇස්තමේන්තු කර තිබුණේ රුපියල් ලක්ෂයකි. අද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාසික විදුලි බිල පමණක් රුපියල් ලක්ෂ සීය ඉක්මවන යුගයක් පැමිණ තිබේ. එසේ දැල්වෙන විදුලි ආලෝකය ඒ තරමට අපගේ ප්‍රඥා ආලෝකය දල්වන්නේද? සරසවි උද්‍යානය මුළු රාත්‍රී කාලයම ආලෝක වී තිබුණද ඒ විදුලි ආලෝකයේ එළියෙන් අප ගන්නා ප්‍රයෝජන මොනවාද? මාසයකට සිනමා කෘති කීයක් ප්‍රදර්ශනය වේද? බුද්ධිමය සංවාද කීයක් රාත්‍රී කාලයේ පැවැත්වේද? ශිෂ්‍යයන් සමග සංවාදය පිණිස හවස පහෙන් පසු සිය නිල නිවාසවලින් එළියට එන ආචාර්යවරුන් කී දෙනෙක් වෙත්ද? විශ්වවිද්‍යාල නිල නිවාසය සහ නේවාසිකාගාරය අයිතියක් සහ වරප්‍රසාදයක් මිස වගකීමක් සේ නොසලකන ආචාර්ය පිරිසකගෙන් සහ ශිෂ්‍ය පිරිසකගෙන් සැබෑ නේවාසික විශ්වවිද්‍යාලයක් පවත්වාගෙන යා හැකිද? සතියකට දවසක් දෙකක්වත් දිවා කාලයේවත් සොයාගත නොහැකි ආචාර්යවරු වෙති. එපමණක් නොව සඳුදා දවසේ උදෑසන අනුරාධපුරයේ ටියුෂන් පවත්වන ආචාර්යවරයෙකුගේ ප්‍රචාරණ පෝස්ටරයක් මෑතකදී දක්නට ලැබිණි. පූර්ණකාලීන සරසවි ආචාර්යවරයෙකු වන තමා ඒ විශ්වවිද්‍යාලයෙන් වැඩ කරන දවසකදීම ව්‍යාපාර කිරීම වැරදිය යන්න ඔහුට අවබෝධ වී නැත. මේ අරුණාචලම් වැනි අය අපේක්ෂා කළ සිවිල් ආචාරධර්මද? වෛද්‍ය පීඨවල මෙවැන්නෝ බොහෝ දෙනෙක් වෙති.

ලංකාවේ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමෙහිදී උසස් අධ්‍යාපනය අපේක්ෂා කරන ප්‍රමාණවත් ශිෂ්‍ය පිරිසක් සොයාගත හැකිවේද යන්න පිළිබඳ යටත්විජිත ආණ්ඩුව වෙත සැකයක් පැවති බව පෙනේ. ඒ නිසා අරුණාචලම් සහ අනෙකුත් සරසවි පියවරු එවකට පැවති අලුත් විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංඛ්‍යාව තරමටම අපගේ විශ්වවිද්‍යාලයද ශිෂ්‍යයන් සිටින බවත් උසස් අධ්‍යාපනය සඳහා ඉල්ලුමක් ඇති බවත් පෙන්නා දීමට වෙහෙස ගත්හ. මෙය අපට අද සිතෙන් මවා ගැනීමට පවා නොහැකි මානයකි. අද අපට ඇති ප්‍රශ්නය උසස් අධ්‍යාපනය ඉල්ලා සිටින සියලු දෙනාට එය ලබා දීමේ දුෂ්කරතාවයි. සමහර විට අද ඇතැම් අය උසස් අධ්‍යාපනය ඉල්ලා සිටින සියලු දෙනාට එය ලබාදීමට විරුද්ධතාව පවා දක්වති.
ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍ය පිරිස් තෝරාගැනීමේදී අරුණාචලම් ජාත්‍යන්තර ශිෂ්‍ය ප්‍රජාවක් ගැන කල්පනා කළ බව පෙනේ. ඒ වන විටත් බුදු දහම ආශ්‍රිත දේවල් අධ්‍යයනයට ලංකාවට එමින් සිටි බුරුම, තායිලන්ත, කාම්බෝජ, චීන, හොංකොං, සහ ජපන් ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලය වෙත ආකර්ෂණය කර ගත හැකි බවත්, පාලි, සංස්කෘත වැනි භාෂාත්, ඒ භාෂාවලින් ලියවුණු ග්‍රන්ථත් අධ්‍යයනය පිණිස විශ්වවිද්‍යාලයේ ඒ විෂයයන් පිණිස මහාචාර්යවරුන් සිටිය යුතු බවත් තර්ක කරන අරුණාචලම්, ඉහත ආසියාතික රටවල් ශිෂ්‍යයන් මෙහි එවන්නට පමණක් නොව විශ්වවිද්‍යාලයේ වර්ධනයට මූල්‍ය ආධාර කරන්නට ඇතැයිද පෙන්වා දෙයි. මෙය හුදෙක් විශ්වවිද්‍යාලයට ශිෂ්‍යයන් සපයා ගැනීම පිළිබඳ කාරණයකට වඩා විශ්වවිද්‍යාලයක ශිෂ්‍ය ප්‍රජාව කවර ස්වරූපයක් ගත යුතුද යන්න ගැන ඉඟියක් ලෙසද වටහා ගන්නට පුළුවන. ලංකාවේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයත්, ශිෂ්‍ය ප්‍රජාවත් තුළ සැලකිය යුතු ජාත්‍යන්තර භාවයක් තිබිය යුතු යැයි විශ්වාස කළ බවද පෙනේ. ඒ වූකලි යටත්විජිත යුගයේදී නිසර්ගයෙන්ම පාහේ පැවති ජනවාර්ගික සංයුතියක් වුවත් එවැනි මිශ්‍ර ප්‍රජාවක් පැවතීම නිසා විශ්වවිද්‍යාලයේදී ශිෂ්‍යයන්ට ලැබෙන සංස්කෘතික අත්දැකීම සුවිශේෂ වූවකි. අද වන විට ඉඳහිට පැමිණෙන ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු හෝ ආරාධිත පර්යේෂකයෙකු ඇරුණු විට අප විශ්වවිද්‍යාලවල ජාත්‍යන්තර ශිෂ්‍යයෝ නොසිටිති. ලෝකයේ ප්‍රධාන විශ්වවිද්‍යාලවල ජාත්‍යන්තර ශිෂ්‍යයන්ගේ අනුපාතය ඒ විශ්වවිද්‍යාලයේ ප්‍රමිතිය සේම තත්ත්වය මනින නිර්ණායකයක් සේ සැලකේ.

ලංකා විශ්වවිද්‍යාලය නමින් ආරම්භ වන අපගේ පළමු විශ්වවිද්‍යාලය දැන් විශ්වවිද්‍යාල දුසිමක් ඉක්මවා වර්ධනය වී තිබේ. ලංකා විශ්වවිද්‍යාලයේ සුජාත දිගුව ලෙස හැඳින්විය හැකි පේරාදෙණිය විශ්වවිද්‍යාලයට දැන් අවුරුදු හැත්තෑ පහක් වයසය. මුලින්ම ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ වූ තැන අදටත් කොළඹ විශ්වවිද්‍යාලය පවතී. ඒ ආරම්භ විශ්වවිද්‍යාලයේ බිහිවුණු ජෝර්ජ් රජුගේ නමින් නම් කරන ශාලාව අදටත් කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පවතී. ලංකාවේ විශ්වවිද්‍යාල ගණනින් වැඩි වන අතරම විශ්වවිද්‍යාලය පිළිබඳ සම්භාව්‍ය සංකල්පය වෙතින් කොපමණ විතැන්වී තිබේද? අර පැරණි ජෝර්ජ් රාජ ශාලාව තවමත් තිබෙන්නාක් සේ අපේ විශ්වවිද්‍යාලයේ ආරම්භක පියවරුන් පරිකල්පනය විශ්වවිද්‍යාලය පිළිබඳ අදහසද තවමත් තිබේද? ඒ අදහස නැවත සොයා ගත නොහැකිද?

මෙම රචනය මා මෑතකදී ලද අනුස්මරණීය අත්දැකීමක් පිළිබඳ විස්තරයකින් අවසන් කරන්නට කැමැත්තෙමි. සෞන්දර්ය න්‍යාය සම්බන්ධයෙන් මා කරමින් සිටි පර්යේෂණයක් පිණිස වෝල්ටර් පේටර්ගේ ඔයැ ඍැබබ්සි්බජැ කෘතිය කියවන්නට අවශ්‍ය විය. වෝල්ටර් පේටර් යනු 19 වැනි සියවසේ අග එංගලන්තයේ විසූ ඉතා වැදගත් කලා විචාරකයෙකි. ඔහුගේ පොතද සෞන්දර්ය කලා ගැන ලියවුණු ඉතා බලපෑම් සහගත පොතකි. එය ලියවී ඇත්තේ රමණීය ඉංග්‍රීසි ගද්‍යයෙනි. ආකර්ෂණීය ගද්‍ය රචනය අධ්‍යයන කරන සමහරුද පේටර්ගේ රචනා කියවති. මා අපගේ පුස්තකාලයට ගියේ ඒ පොත සොයා ගත හැකි වේයැයි සිතමින් නොවේ. ඒ නිසා මා නිකමට මෙන් අපේ පුස්තකාලයට යන විටත් ඒ පොත විදේශීය විශ්වවිද්‍යාලයකින් ගෙන්වා ගන්නටද සැලසුම් කර තිබිණි. එහෙත් මා පුදුම කරමින් ඒ පොත පුස්තකාල රාක්කයක ආරක්ෂිතව තිබිණි. ඒ වන විටත් මුද්‍රණ 14ක් පළ වී තිබුණු ඒ පොතෙහි 1910 මුද්‍රණය මට හමු විය. ඊටත් වඩා ප්‍රසන්න විස්මයක් ඒ කෘතිය සමග මට හමු විය. ඒ මෙයයි: ඒ පොත පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ පෞද්ගලික පුස්තකාලයෙහි වූවකි. ඒ මහතාගේ පවුලේ අය ඒ පුස්තකාලය ලංකා විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කර ඇත. මීට ශතවර්ෂයකටත් එපිට අරුණාචලම්ගේ අත රැඳි පොතක් මටද ස්පර්ශ කරන්නට ලැබීම නිසා විශ්වවිද්‍යාලය ගැන ඔහුගේ අදහස් අනුස්මරණය කරන අද දවසේ මට දැනෙන්නේ අප දෙදෙනාගේම විඥාන සේම ශරීර වෝල්ටර් පේටර්ගේ පොත ඔස්සේ දීර්ඝ කාලයක පරතරය ඉක්මවා ශිෂ්ටාචාරයේ එකම ප්‍රවාහයකට එළඹ තිබෙන බවය.

පොන්නම්බලම් අරුණාචලම්, ඔහුගේ සොහොයුරු පොන්නම්බලම් රාමනාදන්, ආචාර්ය ආනන්ද කුමාරස්වාමි, ශ්‍රීමත් ඩී.බී. ජයතිලක, ඩී. ආර්. විජේවර්ධන යනාදීන් ලංකා විශ්වවිද්‍යාලය ඇති කිරීම පිණිස මහජන මතයක් ගොඩනැගීමට කළ කාර්ය ගැන විවිධ ලේඛනවල සඳහන් වුවත්, කීර්තිධර ඉතිහාසඥයන් පවා ලංකා විශ්වවිද්‍යාලයේ ආරම්භය පිළිබඳ කතාව සාමාන්‍යයෙන් ආරම්භ කරන්නේ ශ්‍රීමත් අයිවර් ජෙනිංස් ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියෙහි ආරම්භ කරන තැනිනි. එක් අතකින් එහි වරදක්ද නැත. අරුණාචලම් වැනි අය විශ්වවිද්‍යාලයක් ඉල්ලා කළ සටනෙහි පළමු ජයග්‍රහණය 1921 වර්ෂයේදී විශ්වවිද්‍යාල කොලීජිය පිහිටුවීමය. එහෙත් අප දැන් දුටු හැටියට සම්පූර්ණ විශ්වවිද්‍යාලයක් පිළිබඳ ඉතා සාකල්‍යවාදී සංකල්පයක් 1906 තරම් ඈත කාලයක අරුණාචලම් වැනි අයගේ සිතෙහි වූ බව ඉතා හොඳින් පෙනේ. එහෙත් මහාචාර්ය කේ.එම්. ද සිල්වා වැනි ඉතිහාසඥයන් පවා විශ්වවිද්‍යාලයේ ආරම්භක පීතෘත්වය පිළිබඳ මාතෘකාවේදී අරුණාචලම් වැනි අය ගැන සඳහන් කරන්නේ නැත. ( De Silva, K. M. and G.H. Peiris. The University System of Sri Lanka. Kandy: ICES, 1995)

මෙම දේශනයේදී අරුණාචලම් ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්නට එයද හේතුවක් විය.
ඉතා සාකල්‍යවාදී විශ්වවිද්‍යාලයක් පරිකල්පනය කළ ලංකා විශ්වවිද්‍යාල ව්‍යාපාරයේ පීතෘවරයා පරිහරණය කළ පොතපත තවමත් අප විශ්වවිද්‍යාලයේ තිබෙන්නේය යන්නෙන් අදහස් වන්නේද විශ්වවිද්‍යාලය පිළිබඳ සාරවත් අදහස් තවමත් අපට ළඟා විය හැකි දුරක පවතින බව නොවේද?

අපටත් මැග්නකාටාවක්?

1988 වර්ෂයේදී යුරෝපයේ පැරණිම විශ්වවිද්‍යාලය වන බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයට අවුරුදු නමසීයයක් පිරිණි. ඒ සංවත්වසරය සමරනු පිණිස යුරෝපයේ විද්වත්තු සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු එක්තරා මැග්නකාටාවක් හෙවත් මහා සන්නසක් සකසා ඊට අත්සන් කළහ. එම මැග්නකාටාව විශ්වවිද්‍යාලය නම් ආයතනය කෙසේ විය යුතුද යන කාරණය නැවතත් බලසම්පන්න ලෙස ලේඛනගත කර තිබේ. විශ්වවිද්‍යාලයේ උත්තම අරමුණ ඉටු කරන්නට නම් එය සදාචාරමය වශයෙන්ද, බුද්ධිමය වශයෙන්ද සියලු දේශපාලන බලාධිකාරිවලින්ද ආර්ථික බලයෙන්ද නිදහස් විය යුතු යැයි ඒ මැග්නකාටාව මුලින්ම කියා සිටියේය. එසේම තනි තනි ආචාර්යවරුන්ටද උචිත යැයි ඔවුන් සිතන ආකාරයට පර්යේෂණ කරන්නටද ඉගැන්වීමටද නිදහස තිබිය යුතුය. පර්යේෂණයේ සහ ඉගැන්වීමේ නිදහස විශ්වවිද්‍යාල ජීවිතයේ මූලික කරුණු වේ. සංස්කෘතිය නිෂ්පාදනය කිරීම, එය පරීක්ෂා කිරීම, තක්සේරු කිරීමද පර්යේෂණය සහ ඉගැන්වීම යන විධික්‍රම ඔස්සේ ඒ සංස්කෘතිය ඊළඟ පරම්පරාවට පවරාදීම විශ්වවිද්‍යාලයේ කාර්ය සේ එම මැග්නකාටාව දැක්කේය. විශ්වීය දැනුම ලබා ගැනීමට නිරන්තරයෙන් ප්‍රයත්න දැරිය යුතු අතර භූගෝලීය සහ දේශපාලන පෙරමුණු සීමා ඉක්මවා යමින්, විවිධ සංස්කෘතීන්ට එකිනෙක ගැන දැනගැනීමේත්, එකිනෙක වෙත එළිය සැපයීමේත් ඉතා වැදගත් අවශ්‍යතාව තහවුරු කිරීම විශ්වවිද්‍යාලයේ කාර්යකි.
මෙම වැදගත් මැග්නකාටාව හෙවත් මහා සන්නස සම්පූර්ණයෙන් සාකච්ඡාවට ගන්නට මෙහි අවකාශ නැත. එහි එන ඇතැම් කරුණු, මීට වසර තිහකට පෙර යුරෝපයේ ලියවුණු එම ලේඛනයෙන් විශ්වවිද්‍යාලය යන ආයතනය වටහා ගැනුණු ආකාරයට බෙහෙවින් සමාන ආකාරයකින් පොන්නම්බලම් අරුණාචලම්ද විශ්වවිද්‍යාලය වටහා ගත් බව මේ වන විටත් පැහැදිලිය. යුරෝපයේ මැග්නකාටාව ලියවෙන්නේ අවුරුදු නමසීයක් පරණ විශ්වවිද්‍යාලයක් අනුස්මරණය කරමිනි. ලංකාවේ අරුණාචලම් නියම විශ්වවිද්‍යාලය මෙසේ විය යුතු යැයි පරිකල්පනය කළේ විශ්වවිද්‍යාලයක් නොතිබුණු රටකය. අද අපට අපගේ විශ්වවිද්‍යාල කෙසේ විය යුතුද යන්න සංකල්පගත කරගැනීමේදී දළ වශයෙන් අවුරුදු හැත්තෑපහක් වත් පරණ විශ්වවිද්‍යාලයක් ආදර්ශය ලෙස තිබේ. එහෙත් ආදර්ශය වටා පරමාදර්ශී බුද්ධිමය සහ සංස්කෘතික ආයතයනයක්, ප්‍රඥාවේ පීඨිකාවක් ගොඩනැගීමට අපි සමත්වී සිටිමුද? අප සරසවියේ පියවරුන්ගේ සහ මව්වරුන්ගේ පිය සටහන් නැවත සොයා යා යුත්තේ ඒ ප්‍රශ්නය අප අපගෙන්ම ඇසිය යුතු නිසාය.