සූපවේදයේ සුපිරි තරුව – ඇන්තනි බෝඩෑන්

ප්‍රභාෂ්වර

1956, ජූනි 25, ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී උපන් ඇන්තනි මයිකල් බෝඩෑන්හට කුඩා කල සිටම මුදල් යහමින් අතපත ගෑමට හැකිවූයේ ඔහුගේ පියා කොළොම්බියා සංගීත සමාගමේ විධායකයකු ලෙසද, මව නිව්යෝක් ටයිම්ස් පුවත්පත් කර්තෘ මණ්ඩල සාමාජිකාවක ලෙසද උසස් රැකියාවල නියැලුණු හෙයිනි. අකුරු කියවීමට හැකියාව ලද විගස, අම්මා හා තාත්තා එදිනෙදා වියදමට ලබාදෙන මුදල් පවා බෝඩෑන් වියදම් කළේ ත්‍රාසජනක අත්දැකීම්වලින් සපිරි ටින් ටින් හා ඇස්ටරික්ස් කාටුන් කතා පොත් මිලදී ගැනීම සඳහාය. මව, පියා සහ තම එකම මල්ලී සමග ප්‍රංශයේ සංචාරයක යෙදුණු අවස්ථාවක, බෝට්ටුවෙන් මුහුදට ගොස් බෙල්ලන් අල්ලන ධීවරයකු බෝඩෑන්ට මුණ ගැසුණි. ජූවර් නමැති ධීවරයා සමග බෙල්ලන් අල්ලන්නට යා යුතුයැයි බෝඩෑන් සිය පවුලේ සාමාජිකයන්ට පෙරැත්ත කළ පසු ඔවුහු ඊට එකඟතාව පළ කළහ. මුහුද මැදදී බෝට්ටුවෙන් ජලයට බැසගත් ජූවර්, කිමිදී නැවතත් මතුපිටට පැමිණියේ බෙල්ලකු අතැතිවය. බෙල්ලාගේ කටුව පිහියකින් කපා, දිළිසෙන සුදු පැහැති උගේ ‘මදයක්’ වැනි සිරුර අමුවෙන්ම අනුභව කරන මෙන් බෝඩෑන් පවුලට ජූවර් ඇරයුම් කළත් මයිකල් හැර අන් සියලුදෙනා පිළිකුළෙන් ඉවත බැලූහ. දෙවරක් නොසිතූ 12 හැවිරිදි මයිකල් බෝඩෑන්, එම සුදු මස් වදැල්ල සැණෙකින් අතට ගෙන ගිල දැමීය. අමුතු අත්දැකීම් ජනනය කරන ආහාර හා සම්බන්ධ ක්ෂේත්‍රයක මතුදා වැඩ කළ යුතුය යන හැඟීම ඔහු තුළ ඇතිවූයේ බෙල්ලා අමු අමුවේ අනුභව කිරීමෙන් පසුවය.

තිතට මත

පාසලේ ඒකාකාරී විෂය මාලාව, යෞවන ජවයෙන් සපිරි බෝඩෑන්ව හෙම්බත් කළේය. 16 වැනි වියේදී, එනම් සාමාන්‍ය පෙළ පන්තියට පැමිණි පසු ඔහු විවිධත්වය හා විචිත්‍රත්වය සොයා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි විය. ගංජා, කොකේන්, හෙරොයින් සහ අතට හසුවුණු හැම වර්ගයේම මත්පෙති පානය කරමින් රෑ එළිවන තුරු සාද පැවැත්වීම ජීවිතය කරගත් බෝඩෑන්ටම ගැළපෙන මිතුරු කැළක් ඔහු සතු විය. කෙතරම් පිස්සු නැටුවත්, ඔහු තුළ තිබූ තදබල මතක ශක්තිය සහ ගණිත නිපුණතාව හේතුවෙන් සියලු වාර විභාගවලදී ඉහළ ලකුණු ප්‍රමාණයක් හැම විෂයකටම පාහේ ලබාගැනීමට හෙතෙම සමත් විය. ගෝරිවලට නිතර පැටලෙන මැරයකු හා මත්ලෝලියකු ලෙස බොහොමයක් සිසුන් ඔහුව හංවඩු ගැසුවද, පාසලේ ගුරුවරු ඒ ගැන වැඩි තැකීකමක් නොකළේ, බෝඩෑන් හැම විභාගයකින්ම හොඳින් සමත් වනු ඒ අය දුටු හෙයිනි. මව්පියන්ට තම නාස්තිකාර පුත්‍රයාගේ ‘නයිට් ක්ලබ්’ ජීවන රටාව වටින් පිටින් සැළවූ පසුව, ඔවුහු මෙතෙක් බෝඩෑන්ට ඉල්ලූ ඉල්ලූ විට යහමින් සැපයූ මුදල් ප්‍රමාණය වහාම නවතා දැමූහ. ඉන් නොසැලුණු ඔහු, සිය බෝඩිං සගයා සමග එක්ව විශාල හෝටලයක පිඟන් සෝදන්නකු ලෙස අර්ධකාලීන රැකියාවක් සොයා ගත්තේය. ඊට අමතරව, ඉඩ ලද හැම අවස්ථාවකම පිට්සා අවන්හලක වේටර්වරයකු ලෙසද සේවය කළේය. එහෙත්, අවන්හල්වල සුළු රැකියාවන්හි නිරත වන අයට එහි ජ්‍යෙෂ්ඨ සේවකයන්ගෙන් සහ ප්‍රධානීන්ගෙන් ඇනුම් බැනුම් හා අවඥාසහගත සැලකිලි නිතර හිමිවන වග ඔහුට ප්‍රත්‍යක්ෂවම වැටහුණේ ඒවායේ වැඩ කරන අතරතුරදීය. කෙසේ හෝ උසස් පෙළ සමත් වී, සූපවේදියකු වීම සඳහා අවශ්‍ය වෘත්තීය පුහුණුව ලබාගෙන තාවකාලිකව සමු දුන් බෝඩෑන්, උසස් පෙළ හොඳින් සමත් වූවා පමණක් නොව ඇමරිකානු සූපවේදී සරසවියට ඇතුළු වී 1978දී ඉන් උපාධිය දිනා ගත්තේය.

වෘත්තීය ජීවිතය

හෝටල් සරසවියේ උගන්නා අතරතුර බෝඩෑන් තම සියලු වියහියදම් පියවා ගත්තේ, නිව්යෝක් නුවර අවට තිබෙන අවන්හල් බොහොමයක අර්ධකාලීන සේවයේ යෙදෙමින් උපායගත් මුදලිනි. තම සේවා මුරවලට නිත්‍ය සේවකයන් වාර්තා නොකරන හැමවිටකම හෝටල් හිමියෝ බෝඩෑන්ව කැඳවාගත්තේ, ඒ වනවිට හෙතෙම දක්ෂ හා ප්‍රායෝගික අත්දැකීම්වලින් සපිරි සූපවේදියෙක් බවට පත්ව සිටි නිසාය. සූපවේදී උපාධිය දිනා වසරක් ගතවීමට මත්තෙන් මැන්හැටන්හි පිහිටි ලියාල් නම් සුපිරි හෝටලයේ ප්‍රධාන සූපවේදියා ලෙස පත්වීම ලැබීමට ඔහුට හැකිවුණේ ඉහත කී අත්දැකීම් සම්භාරය හේතුවෙනි. 1999දී, “මෙය නොකියවා කෑම කන්න එපා” යන මාතෘකාව යටතේ ඇන්තනි බෝඩෑන් නිව්යෝකර් සඟරාවට ලියූ ලිපිය ඇමරිකානුවන් තුළ විශාල කතාබහකට ලක්වීම නොවැළැක්විය හැකිවිය. ඔහු ඉන් හෙළිදරව් කළේ, සුපිරි හෝටල් කුස්සිය තුළ සිදුවන, සාමාන්‍ය ජනයා නොදන්නා රහස් සමුදායකි. එම රහස් මොනවාදැයි දැනගැනීමට අපි මෙතැන් සිට ඇන්තනි බෝඩෑන්ට සවන් දෙමු.

“දිව පිනන කෑම, හොඳට හරි බරි ගැහී ආහාරයට ගැනීම ගැන අකාලික මිනිස් චාරිත්‍රය පිටුපස තිබෙන්නේ සතුන්ගේ ලේ වැකුණු අවයව, කෲරත්වය සහ නරක්වන්නට ආසන්නයේ ඇති සම්, මස් සහ ඇටකටුයි. රසයි, රසයි කියමින් මිනිසුන් තලු මරමින් ගිල දමන්නේ සෝඩියම් යහමින් තැවරූ ඌරාගේ තෙල් කෑලි සමූහයයි. බැක්ටීරියා පිරුණු ගඳ ගසන්නට ඔන්න මෙන්න කියා ඇති තට්ටු දෙකකින් යුතු චීස්, සතුන්ගේ මෘදු තයිමස් ග්‍රන්ථි සහ ඉදිමුණු අක්මා මත සෝස් සමග මුසුකොට හොඳින් පිසූ පසු ගනුදෙනුකරුවන් ඒවා ඉහළ මිලක් ගෙවා අනුභව කරනවා. සාමාන්‍යයෙන් ප්‍රධාන සූපවේදියා සති අන්තය සඳහා මාළු ඇණවුම් කරන්නේ බ්‍රහස්පතින්දාටයි. මාළු වෙළෙන්දා එම ඇණවුම කුස්සිය වෙත භාරදෙන්නේ සිකුරාදා උදෑසනයි. සෙනසුරාදා, ඉරිදා ඉවුම් පිහුම්වලින් මේ මාළු තොගය අහවර නොවුණොත්, සඳුදා රාත්‍රියේත්, ගනුදෙනුකරුවන්ට පිරිනමන්නේ නරක්වන්නට ආසන්නයේ පවතින එම මාළු කූරියන්මයි. කාර්ය බහුල සුපිරි හෝටල් කුස්සිවල තිබෙන ශීතකරණවල දොරවල් ඒවායේ කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් විවිධ දේ ගැනීම හා දැමීම සඳහා නිතර දෙවේලේ අරිනු, වහනු ලබනවා. එවිට ඒවායේ ඇතුළත ඇති ආහාරවලට අවශ්‍ය සිසිලස නිසි පරිදි ලැබෙන්නේ නැහැ. මීට අමතරව ශීතකරණයේ ඇති මාළු සමග ඊට සතියකට පෙර ගෙන්වූ බැටලු මස්, ඌරු මස්, එළු මස් හා කුකුල් මස් එකට ගබඩා කිරීම මාළු නරක්වීමේ ශීඝ්‍රතාව තවදුරටත් ඉහළ නංවනවා. මේසයක, නොකා ඉතිරි වුණු පාන් පෙති කුණු කූඩයට විසිකරන බව අපි ගනුදෙනුකරුවන්ට ඇඟෙව්වත්, ඒවා නැවත අලුත් පාන් සමග මිශ්‍ර කොට ඊළඟ කෑම මේසයට යැවීම අපේ සිරිතයි. දීසිවල ඉතිරි වුණු බටර් පවා අපි අහක දාන්නේ නැහැ. නරක්වීගෙන එන මස්, ගනුදෙනුකරුවාට බඬේ අමාරුවක් නොහැදෙන විදියට සෝස්, තුනපහ සහ තෙල් මුසුකොට උයන ශාස්ත්‍රය අපි ප්‍රගුණ කොට තිබෙනවා.”

තිත්ත ඇත්ත

වෘත්තීය තතු නොසඟවා හෙළිදරව් කිරීම හරහා ජනප්‍රිය චරිතයක් බවට පත්වුණු බෝඩෑන්,Kitchen Confidential” Medium Raw, A Cook’s Tour සහ  Nasty bits යන මාතෘකා යටතේ ලියූ පොත් පෙළ, ලොව පුරා උණු කැවුම් මෙන් විකිණෙන්නට විය. ෆුඞ් නෙට්වර්ක් සහ ට්‍රැවල් චැනල් යන ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන සමග ‘ගෝලීය ආහාර කලාව’ නමින් ඇති ජනප්‍රිය වාර්තා ටෙලි වැඩසටහන් මාලාවකට හෙතෙම ඉන්පසු සම්බන්ධ විය. මෙම වාග් ටෙලි දර්ශන මාලාවේදී හැමවිටම ඔහු මෙසේ කීය.
“පාසල් වියේ සිට වසර හතක් යනතුරුම මං හෙරොයින් පානයට ඇබ්බැහි වී සිටියා. ඇමරිකාවේ හිරකරුවන්ගෙන් බහුතරයකගේ කලින් රැකියාව සූපවේදී වෘත්තීය බැව් ඒ ගැන ලියැවුණු පර්යේෂණ පත්‍රිකාවක සඳහන්ව තිබෙනු මා දුටුවා. ළිප්වල ගින්දරට පිච්චුණු සහ පිහිවලට කැපුණු තුවාල කැළැල් කෝකියන්ගේ අත්පාවල තිබෙන අතර ඔවුන් මේවා වසන් කරන්නේ පච්ච කෙටීම මගිනුයි. ගිනි රස්නයෙන් පිරුණු කුඩා ඉඩක සතුන් මෙන්, අසභ්‍ය වචනවලින් එකිනෙකාට බැණ ගනිමින් සිදු කෙරෙන මේ අසීරු රැකියාවට මගේ හිත ගියේ දඩබ්බර හා නොහික්මුණු හිතක් ඇති මට එය කදිමට ගැළපුණු නිසයි. එහෙත් සූපවේදය ගැන ලියන කියන මාධ්‍ය තරුවක් බවට පත්වුණු පසු, මා හෙරොයින් හා අනෙකුත් මත්ද්‍රව්‍ය කෙරෙහි තිබූ ඇබ්බැහියෙන් මිදුණා. ඉන්පසු මා මත්පැන් වුව පානය කළේ පමණ දැනගෙනයි. ලොව විවිධ ජන කොටස් ආහාර පාන භුක්ති විඳින්නේ කෙසේද, ඒ පසුපස තිබෙන සංස්කෘතිය කුමක්ද යන්න සොයාගැනීමේ කුතුහලය පසුකලෙක මා තුළ හටගත්තා. සූපවේදී ටෙලි කතා මාලාව සඳහා මා යොමු කළේ මේ කුතුහලයයි.”

පර්යේෂණ භූමිකාව

බ්‍රසීල ජාතිකයෝ කිසිවිටෙක තනිවම ආහාර ගැනීමට මැලිවෙති. ඔවුන්ට ඒ සඳහා යහළුවන් හෝ පවුලේ අය අවැසි වේ. ආහාර ගැනීම, මොවුන්ගේ මිතුරුදම් ශක්තිමත් කරන ක්‍රියාදාමයකි. පිඟානේ ඇති සියලුම ආහාර ගිල නොදමා, ඉන් ස්වල්පයක් ඉතුරු කිරීම මහත්මා ගතියකැයි සිතන්නෝ, පිලිපීන ජාතිකයෝය. පවුලේ අය එකට හිඳ ආහාර ගැනීමේ සිරිතක් පින්ලන්තය තුළ දක්නට නොලැබේ. ඇමරිකානුවෝ රාත්‍රී ආහාරය අපරභාග හතට පමණ අනුභව කළද ස්පාඤ්ඤ ජාතිකයෝ එය වළඳනුයේ රාත්‍රී 10ටය. බැටළුවන්ගේ ඇස්, මැද පෙරදිග රටවල සුපිරි ආහාර වේලකි. මෙක්සිකෝවේ ප්‍රණීත ආහාරයක් ලෙස සැලකෙන්නේ බැදපු තණකොළපෙත්තන්ය. යුරෝපයේදී ප්‍රධාන ආහාර වේල, අනෙක් කුඩා කුඩා කෑම දීසිවලට ප්‍රථම පිළිගන්වනු ලැබුවද, චීනයේදී එය සිදුවන්නේ මුල, අගට, මාරුවීමෙනි. ලෝකයේ රටවල් 100කට වැඩි ප්‍රමාණයක් සිය කැමරා හා කාර්මික ශිල්පී කණ්ඩායම සමග ආවරණය කළ ඇන්තනි බෝඩෑන්, ඉහත කී ආකාරයේ සංස්කෘතික ගවේෂණයක් බරසාර අයුරින් සිදු කළේය. ලොව රසවත්ම ආහාර වේල තමා අනුභව කළේ ධනවත් රටක් තුළ තිබෙන තරු හතේ හෝටලයකදී නොව වියට්නාමයේ හැනෝයි නුවර, ‘බණ්චා හුවොන් ලීන්’ නමැති පාර කොණක පිහිටි කුඩා කඩයේදී වග හෙතෙම අවධාරණය කළේය. ප්ලාස්ටික් පුටු සහ මේස සහිත පදික වේදිකාවේ ඇති හෝටල්වල උයන අරක්කැමියන් සුපිරි සූපවේදීන්ට වඩා දක්ෂ බැව් ඔහු නිතර පැවසීය. 2016 වසරේදී ඇමරිකානු ජනපති බැරැක් ඔබාමාව ‘බණ්චා හුවොග් ලීන්’ හෝටලයට කැඳවාගෙන යාමට බෝඩෑන් ක්‍රියා කළේය. රාජකාරී කටයුතුවලදී හමුවන විවිධ පාර්ශ්වයන් සමග කොළඹ තරු පහේ හෝටල්වලට ගොස් ආහාර ගැනීමට සිදුවුණද, ඒ සියල්ලටම වඩා රසැති කෑම මේ ලියුම්කරු අනුභව කළේ කොටුවේ චූටි මල්ලිගේ ලෑලි කඩයේදීය. ඇන්තනි බෝඩෑන්ගේ කතා මාගේ හිතට කා වැදුණේ එම නිසාය. 2005දී පළමු බිරිඳගෙන්ද, 2016දී දෙවැනි බිරිඳගෙන්ද දික්කසාදවීමට බෝඩෑන්ට සිදුවූයේ ඔහුගේ කාර්ය බහුල දිවි පෙවෙත බිරින්දෑවරුන්ට නොදිරවූ නිසාය. දක්ෂ සටන් ශිල්පියකු වූ බෝඩෑන් 60 වැනි විය ඉක්ම වූ පසුද සිය ජීවිතය ගත කළේ සෙල්ලක්කාර තනිකඩයකු ලෙසය. සුපිරි ටෙලි තරුවක් හා බිලියනපතියකු වුවද ආධ්‍යාත්මික හිස් බව ඔහුගේ ජීවිතය තදබල ලෙස වෙලාගත් හෙයින් 2018 ජූනි 08 දින ඔහු සියදිවි හානිකර ගත්තේය. එහෙත් නිර්ව්‍යාජ සූපවේදියකු ලෙස ලොව තුළ ඔහු සිදුකළ වෙනස අමරණීය වේ.