ප්‍රචණ්ඩත්වය: වරද කාගෙද?

සුනන්ද දේශප්‍රිය

‘වරද කාගෙද?’ සිනමා පටය මුල්වරට ප්‍රදර්ශනය වූයේ 1954 දී ය. එනමුත් අප පාසැල් යන වියෙහිදී අම්බලන්ගොඩ රීගල් හෝ රිච්මන්ඞ් සිනමා හලෙහි එය යළි ප්‍රදර්ශනය විය. එහි ප්‍රධාන නිළිය වූයේ රීටා රත්නායකය. සමහරවිට අද දක්වාම මෙරට වැඩිපුරම ප්‍රදර්ශනය වන දේශපාලන ප්‍රකාශන ඇතුළත් වන්නේ ‘වරද කාගෙද?’ යන තේමාව යටතේ ය. අපි බොහෝ විට අනුන්ට වරද පැටවීමට කැමැත්තෙමු.

යාපනය එජාප මන්ත්‍රීනී විජයකලා මහේෂ්වරන් යාපනයේ නීතිය සහ පාලනය පවත්වා ගැනීම පිණිස “එල්ටීටීඊ පාලනයක් අවශ්‍යයැ”යි කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ට්වීටර් පණිවිඩයක් යවමින් දේශපාලන විචාරකයකු වන ගෙහාන් ගුණතිලක මෙසේ ප්‍රශ්න කර තිබුණි.

“ජ්‍යෙෂ්ඨ බෞද්ධ භික්ෂුවක් හිට්ලර් කෙනකු ඉල්ලා සිටී; ජනප්‍රිය ගායකයකු සුදුවෑන් ඉල්ලා සිටී; ආණ්ඩුවේ ඇමැතිවරියක එල්ටීටීඊය ඉල්ලා සිටී. මොවුන් කතා කරන්නේ කාටද? සමහරවිට අප නොදන්නා දෙයක් ඔවුන් දන්නවා වෙන්න පුළුවන්, ශ්‍රී ලාංකිකයින් ඇත්තටම රුධිර පිපාසිතයින්ද? භයානකයි!”
සමහරවිට ඔහුට අමතක වූ තවත් කරුණක් තිබේ. එනම් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා බව පෙනෙන ගෝඨාභයගේ ‘වියත්මග’ ප්‍රධානීන් දැන් පුවත්පත් හරහා තමන් බලයට පත්වූ පසු ‘දේශද්‍රෝහීන්’ට මරණ දඬුවම දියයුතු බව ප්‍රකාශ කරන්නට පටන් ගෙන තිබීමයි. ඒ කොතෙක්දයත් ඔවුහු දැන් සිටම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනියට ද වක්‍ර මරණ තර්ජන කරති.

මෙරට බිය වද්දන මාෆියා ගණනාවකි. ප්‍රචණ්ඩත්වය හෝ බියගැන්වීම සිය ආයුධය කරගත් ත්‍රීවීල් මාෆියාව, බස් මාෆියාව, පාතාල මාෆියාව, යාචක මාෆියාව, පිම්පි මාෆියාව … තව කොපමණ නම් වෙත්ද? අයෙක් මෙයට දොස්තර මාෆියාවද එක් කරනු ඇති!

බස් මාෆියාව ශ්‍රී ලංකා දේශපාලනයේ සංකේතයක් වැන්න. බස් හිමිකාරිත්වය ගැන කවර හෝ සමීක්ෂණයක ප්‍රතිඵල නැතත් පොදු පිළිගැනීම වන්නේ ඒ පිටුපස පොලිස් සහ දේශපාලන හස්තයන් තිබෙන බවයි. නීතියක් රීතියක් නොසලකා කිසිවකුට බිය නැතිව චණ්ඩිකමින් පවත්වාගෙන යන පුද්ගලික බස් සේවාව සමහරවිට මෙරට පෘථුලම මාෆියාව විය හැකිය.

අප පාසල් යන අවධියෙහි කොස්ගොඩ ටොම් සහ කන්දේගොඩ ලයනල් යනු කුප්‍රසිද්ධ චණ්ඩි වූහ. ඔවුන්ගේ ආදායම් මාර්ග වූයේ කප්පම් ගැනීමයි. ඒ දෙදෙනාම විරුද්ධවාදීන්ගෙන් වෙඩිකා මිය ගියහ. එහෙත් එකල ඔවුන් සම්බන්ධ පාතාල මාෆියාවක් තිබුණේ නැත. අද අහවල් අහවල් නම්වලින් දැක්වෙන පාතාල මැරවර ජාලා මෙරට තිබේ. ඒ මැරවර ජාලාද දේශපාලනයට සම්බන්ධය. කොළඹ නගර සභා දේශපාලනය කිරීමට නම් පාතාලයේ සහාය අවශ්‍යම බව මා හා කීවේ නම් මෙවර කොළඹ නගර සභාවට තරග කර ජය ලද නියෝජිතයෙකි. අද වැඩිපුරම මෙවැනි පාතාල මාෆියා පවතින්නේ දකුණු පළාතෙහි ය. ඊට හේතුව එහි දේශපාලනඥයින් විසින් ඔවුන් බලා කියා ගැනීම යි.
උතුරෙහි ප්‍රචණ්ඩ සන්නද්ධ අරගල අවසානයකට පත්වීම විසින් ඇති කරන ලද ප්‍රචණ්ඩත්වයේ හිඩැස කඩු ගත් යතුරුපැදි කල්ලි විසින් පුරවමින් තිබේ. ප්‍රචණ්ඩ ලිංගික හිංසනයද භයානක ලෙස එහි පැතිර යයි.

ප්‍රචණ්ඩත්වය අප සමාජයෙහි ගැඹුරටම මුල් බැසගෙන තිබේද යන ප්‍රශ්නය අද දවසෙහි මෙරට දේශපාලන සමාජ ප්‍රවණතාවන් තේරුම් ගැනීමට පිටුවහලකි.
මෑතදී නිකුත් කරන ලද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ආයතනයේ වාර්තාවකින් කියැවුණේ මෙරට වයස 01-14 වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් සියයට 74ක් නිවසෙහිදී කායික වධයන්ට ලක්වන බවයි.

අප ජීවත්වන නිවස අසල ජීවත්වන එවැනි දරුවන් අට දෙනෙකුම එවැනි වධයන්ට ලක්වනු අපි නිතිපතා අත් දකිමු. “අනේ තාත්තේ ගහන්න එපා” යැයි හඬන තෙවස් වියැති දරුවකුගේ හැඬීමෙන් අප කම්පනයට පත්වන දවසක් නැති තරම්ය.

මගේ පියාද මවද නිවසෙහි දී අපට පහර නොදුන් නමුත් පාසලෙහි දී සිසු දරුවන්ට කායික දඬුවම් පැමිණ වූහ. මා ද පාසලෙහිදී ප්‍රසිද්ධ වේවැල් පහර තුන බැගින් කා ඇති දවස් ගණනාවකි. අප තිරාණාගම ජීවත්වූ අවධියෙහි දරුවන්ට අමුඩ ගස්වා ගස් බැඳ දිමි ගොටු දැමූ පියකු ද එගම සිටියේ ය.

ගෟහස්ත ප්‍රචණ්ඩත්වයද මෙරට පැතිර පවතින නපුරකි. මානව හිමිකම් ගැන සුප්‍රසිද්ධ අයකු සිය පෙම්වතියට කළු ඇසක් දී තිබුණේ 80 දශකයේදීය. එමෙන්ම මෙරට පොදු ප්‍රවාහන සේවා තුළ සියයට 90ක් ස්ත්‍රීන් ලිංගික හිංසාවන්ට ලක්වන බව වාර්තා ගණනාවකින්ම පෙන්වා දී තිබේ.

බලය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය, පෙනෙන විදිහට අප සමාජයෙහි මුල් බැසගත් නෛසර්ගික විපතකි.

සිය අයිතීන් සඳහා අධිකරණයේ පිහිට පැතීම හේතු කොට ගෙන සන්ධ්‍යා එක්නැළිගොඩට මෙරට සමාජ මාධ්‍ය හරහා එල්ල වූ තිත්ත කුණුහරුප වර්ෂාව අප සමාජයෙහි මුල් බැසගෙන පවත්නා තවත් ප්‍රචණ්ඩ හැසිරීමක සංකේතයකි. සමාජ ජාල නිසා ලේඛකයින් බවට පත් විශාල පිරිසක් සිය විරුද්ධවාදීන් සමග ශිෂ්ටාචාරවත් විවාදයකට එළැඹෙනු වෙනුවට ඇදහිය නොහැකි තරමේ අසභ්‍ය ප්‍රහාරයන් එල්ල කරති. මෙසේ අසභ්‍ය දේශපාලනයක යෙදී සිටින බහුතරයක් කියන්නේ තමන්ගේ අරමුණ ජාතිය දේශය සහ ආගම රැකගැනීම බවයි. මේ සටහන ලියන රැයෙහි මා කියවූ එක් ඉතාම අශිෂ්ට සමාජ ජාල ප්‍රහාරයකයකුගේ මුහුණු පොත සැරසී තිබෙන්නේ බෞද්ධ භික්ෂූන්ගේ පින්තූර සහ සිංහ කොඩියෙනි.

රාජපක්ෂවරුන් සිය මැතිවරණ ප්‍රචාර සඳහා හම්බන්තොට වරාය ගොඩ නැගූ සමාගමෙන් කෝටි ගණනින් මුදල් ගත් බව මාරියා අබි-අබීබ් නම් ජනමාධ්‍යවේදිනිය වාර්තා කළ විට ඇය වරදකාරිය කර දඬු කඳේ ගැසීමට රාජපක්ෂ ස්තෝත්‍ර ගායකයෝ ඉදිරි පත්වූහ. ඇය සම්බන්ධයෙන්ද ප්‍රචණ්ඩ වෛරී ප්‍රකාශනයන්ගෙන් සමාජ ජාල පිරී තිබේ.
ජනාධිපති උපදේශකයකු වන බෞද්ධ හිමිනමක විසින් මෙරට ප්‍රධාන පෙළේ වෙබ් මාධ්‍යවේදියකු වන සම්පත් සමරකෝන්ට සිය මුහුණු පොත මගින් දක්වා තිබූ අසභ්‍ය ප්‍රතිචාරය කිට්ටු වන්නේ ඇවිස්සූ කල නෑසු විරූ කුණුහරුප මුදාහළ අප ගමෙහි සිටි ලැන්ටි නම් මනස විකල් වූ උගතාටය. ඉහත කී උපදේශක හිමිනමගේ වචන, දේවදත්ත පවා තිගැස්මට පත් කරනු නියත ය.

පෙනෙන විදිහට ප්‍රචණ්ඩ වෛරී ප්‍රකාශයන්ට අප සමාජයෙහි පිළිගැනීමක් ඇති අතර එමගින් සිය ශ්‍රේණීන් අතර වීරයකු වීමට අවස්ථාව සැලසෙයි. ජේ.ආර් සහ විජේතුංග යන ජනාධිපතිවරුන් දෙදෙනා හැර මෙරට පාලනය කළ සියලුම ජනාධිපතිවරුන් සහ වරියන් ඉඳහිට හෝ සිය කේන්තිය පිරිමසා ගැනීමට අසභ්‍ය වචන පාව්ච්චි කළ සහ කරන බවට ඇති පිළිගැනීම අපේ දේශපාලන සංස්කෘතියේ අශීලාචාරත්වයට දෙස් දීමකි.

දකුණෙහි හිට්ලර් කෙනකුද උතුරෙහි ප්‍රභාකරන් කෙනකු ද අවශ්‍ය බවට මතවාදයක් ගොඩ නැගෙන්නේ අප සමාජයෙහි ඇති මෙකී ප්‍රචණ්ඩ ළැදියාවන් පසුබිමෙහි වීම, සමාජයක් ලෙස මෙරටට මාරාන්තික ය. මන්දයත් මෙම පුද්ගලයින්ගේ වචන ක්‍රියාවන් බවට පත්කිරීමට අවශ්‍යවන්නේ ඔවුන් හිට්ලර්ගේ දුඹුරු කමීස හමුදාව වැනි නිල නොවන හමුදාවක් බවට පත් කොට අතට ආයුධ ලබාදීම පමණි.

එල්ටීටීඊය උතුරු නැගෙනහිරදීද ජවිපෙ දකුණෙහිදීද සිය විරුද්ධවාදීන්ට එරෙහිව අති අමානුෂික ප්‍රචණ්ඩත්වයන් භාවිතයට නැගුවේ ය. සැකකරුවන් දෙපයින් බැඳ ඒවාට බැස්සවීම පිණිස 1988 – 90 සමයෙහි රාජ්‍ය හමුදා විසින් නාගයින් පිරවූ වළවල් පවත්වාගෙන ගියේ යැයි කියනු ලැබේ. ඔළු කට්ට ගලවා මොළයට පැට්රල් දමා ගිනිතැබූ පසු මල්වෙඩි මෙන් පත්තුවන බවට කයිවාරු ගැසූ පොලිස් නිලධාරියකු කුරුණෑගල දිසාවෙහි සිටියේ ද ඒ අවධියෙහි ය. යුද්ධයහි අවසන් අදියරෙහි දෙමළ ජනයා මුහුණ දුන් එවැනි බියජනක අත්දැකීම් ජායාරූපමය සාක්ෂි ලෙස ලොව පුරාම පවතී.

මෙවැනිම හෝ ඊටත් වඩා අතිශය දරුණු කෲරත්වයන් ක්‍රියාවට නැගූ සහ මුහුණ දුන් රටවල් (උදාහරණයක් ලෙස ජර්මනිය) දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සිය සමාජ ආත්මය සුවපත් කර ගත්තේ ඇත්ත පිළිගැනීම මගිනි. අප තවමත් සමාජ ආත්මය සුවපත් කරගැනීමට සිතා හෝ නැත. ඒ වෙනුවට ඇසෙන්නේ හිට්ලර් හිට්ලර් යන දෝංකාරයත් ප්‍රභාකරන් යන දෝංකාරයත් නම් ඊට සමාජයක් ලෙස අප වගකිය යුතු නොවේද? නායකයින් බිහිවන්නේ ජනතාවට අනුව ය යන කියමන බොහෝ දුරටම ඇත්ත ය.
දරුවන්ට සහ ස්ත්‍රීන්ට ප්‍රචණ්ඩ ලෙස සැලකීමේ සිට අනෙකා වෛරයෙන් සුන්නත්දූවිලි කළ යුතු යැයි යන අපේ පිළිගැනීම්, දකුණේ සහ උතුරේ සන්නද්ධ ව්‍යාපාර භාවිත කළ සහ ඒවා මැඬලීමේ දී රජය භාවිත කළ අමානුෂික පිළිවෙත් විවෘතව සාකච්ජා කිරීමට අප අසමත් වන්නේ නම් හිට්ලර්ලාත් ප්‍රභාකරන්ලාත් බිහිවීම වැළැක්විය නොහැකි වනු ඇත.
වරද කාගෙද? අනුන්ට එක් ඇඟිල්ලක් දිගු කරන විට ඇඟිලි හතරක් දිගු වී ඇත්තේ අප දෙසටය.