ජනතාව පාගා ගෙන වරප්‍රසාද භුක්ති විඳින හැටි

ලැසිල් ද සිල්වා – පාර්ලිමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ (පරිපාලන)

“ජනාධිපති අපේක්ෂකයන්ට ප්‍රශ්න පත්තරයක්” යන මැයෙන් වික්ටර් අයිවන් මහතා රාවය පුවත්පතට 2018 ජූනි මස 24 දින සැපයූ ලිපියට පිළිතුරු ලිපියක් රාවයට සැපයීමට මා අදහස් කළෙමි.

අයිවන් මහතා සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයකු පත්වුවද ඔහුට රට පාලනය කළ නොහැකිය යන්නයි. දියුණුව කරා රට ගෙනයෑම සඳහා රටේ නීතිය, සාමය හා වෙනත් දහසකුත් දේ නිසි ලෙස ස්ථාපිත කිරීමට දක්ෂතාව සහිත පාලකයකු, රාජ්‍ය නායකයකු අපට එහෙයින් දැන් අවශ්‍ය වී ඇත. මෑත අතීතයේ දේශපාලනයට පිවිසි සියල්ලෝ ධනවතුන් වූහ. අද දේශපාලනයට පිවිසෙන්නේ ධනවතුන් නොවේ. ඔවුන් දේශපාලනයට පිවිස ඉතා සුළු කලකින් මිලියනපතියන් බිලියනපතියන් බවට පත්වී ඇති බව හෙළිවී ඇත. විමසුම් ඇසින් බලන විට වර්තමාන දූෂිත දේශපාලකයාට මිනිසා සාර්ථක ලෙස ඔසවා තැබීම, දියුණු කිරීම මෙන්ම ලෞකික හා ආධ්‍යාත්මික සංවර්ධන අවශ්‍යතා ගැන කුමන හෝ අවබෝධයක් නොමැත.

අවංක පාලකයන් අපට නොසිටි හෙයින් සියලු පුරවැසියන්ගේ අයිතීන් මෙන්ම ඔවුන්ගේ අනාගතයද දූෂිත දේශපාලකයෝ විනාශ කර දැමූහ. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා පත්කර ගනු ලැබූ රජයයන් හා දේශපාලකයන් ජනතාව ඉදිරියේ වර්තමානයේ තදබල සේ පිරිහීමට ලක්වී ඇත. 1945දී දෙවන ලෝක යුද්ධයෙන් අසීමිත ලෙස බැට කෑ ජපානය ලෝක ආර්ථික බලවතකු වූයේ ජපාන පාලකයන්ගේ හා ජනතාවගේ දැඩි කැපවීමය. දැන් අපේ පාලකයන්ද අරපිරිමැස්මකින් යුතුව හා දැඩි විනයකින් යුතුව රට පාලනය කිරීම ආරම්භ කළ යුතුවේ.

රට ඉදිරියට ගෙනයෑමට නම් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අත්‍යවශ්‍ය වේ. කළමනාකරණය තාක්ෂණික දියුණුව හා ව්‍යවසායකත්වය රට දියුණු කිරීමට අත්‍යවශ්‍ය අඩිතාලම බැව් සැලකිය යුතුය. ඉන් නො නැවතී කඩා වැටුණු විවිධ සේවාවන් නඟා සිටුවීමද ඇරඹීමට දක්ෂතාව ඇති අවංක පාලකයකු බිහි කිරීම හරහා අලුතින් තෝරා පත්වන පාලකයකුට රට ගොඩ ගැනීමට අපහසු නොවනු ඇත.

රාජ්‍ය සේවයේ කඩා වැටීම නිසා කෘෂිකර්මය, ගමනාගමනය, අධ්‍යාපනය, පොලිසිය ආදී විවිධ ආයතන ගොඩනැඟීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතුය. එය කළ හැකිද යන්න රටේ පවතින ප්‍රශ්නයකි. අයිවන් මහතාගේ මතයද එවැන්නකි. කෘෂිකර්මය නැංවීමේදී රටක් වශයෙන් අප සතුව තිබූ සෞඛ්‍ය සම්පන්න ආහාර විවිධ කූට ව්‍යාපාරිකයන් නිසා පැන නැඟුණු අතුරු ඵල වැනි විවිධ රෝගී තත්ත්වයන්ගෙන් බැට කමින් සිටින ජනතාව සුඛිත මුදිත කිරීම පිණිස කළ යුතු මෙහෙය ද ඉතා සුඑ පටු නොවේ. ඒ සඳහා විෂයානුබද්ධ දැනුම සහිත ප්‍රවීණයින් පමණක් යෙදවිය යුතු වේ.

රට දියුණු කිරීමට නම් ප්‍රථමයෙන්ම දේශපාලන නායකත්වයේ දැඩි අවශ්‍යතාව (POLITICAL WILL) ඒ සඳහා අත්‍යවශ්‍ය වේ. ඉන් අනතුරුව රාජ්‍ය, සේවකයාගේ දැඩි කැපවීම, කාර්යක්ෂමතාව, විනයගරුකභාවය යහපත් ආචාර ධර්ම මෙන් රට තුළ සුබවාදී ආකල්ප ප්‍රගුණ කිරීම ද කළ යුතුය. අප ඉතා වේගවත් ආර්ථික වර්ධනයක් අත්පත් කරගත යුතුවේ. විශ්වාසී ශාස්ත්‍රීය ආර්ථික මූලධර්මයන්ට අනුකූලව සාමකාමී ලෙස හා සාධාරණ ලෙස කඳුළින් හා ලේ වැගිරීම්වලින් තොරව වේගවත් සංවර්ධනයක් අත්පත් කරගත හැක්කේ කෙසේද යන්න තායිවානය වැනි රටවල් ආදර්ශයක් සපයා ඇත. එවැනි පූර්වාදර්ශයන්ද අප සලකා බැලිය යුතුය.

රාජ්‍ය සේවයේ බහුලව වාර්තා වන නාස්තිය, දූෂණය හා අකාර්යක්ෂමතාව මුළුමනින්ම පිටුදැකිය යුතුය. රාජ්‍ය සේවකයා නිරහංකාරී, දක්ෂ, අවංක, දැඩි කැපවීමෙන් තම යුතුකම් ඉටුකරනු ලබන අයකුගේ තත්ත්වයට පත් කළ යුතුය. ඔහු නීතිය ගරුකරන යහපාලනය සඳහා කැපවුණු ආදර්ශවත් අයකු බවට පත් කිරීම කළ යුතුවේ. එය කළ නොහැකි යන මතය අසත්‍යයකි. දේශපාලකයා මෙන්ම රාජ්‍ය සේවකයාද මහජනතාව ඉදිරියේ දැනට ඉතා අප්‍රසාදයට පත්ව ඇත. සඳහා රාජ්‍ය යාන්ත්‍රණය තුළ රාජ්‍ය නිලධාරීන් රූකඩයන් බවට පත් කිරීමට දූෂිත දේශපාලකයාට අවශ්‍ය වී ඇත. මෙය අවසන් කිරීම සඳහා සිදු කළ යුතු ව්‍යවස්ථා සංශෝධනයන්ද කිහිපයකි. රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සඳහා පත් කිරීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, විනය පාලනය වැනි බලතල ආදිය (ව්‍යවස්ථා අංක 55, (1) හා (2)) අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කළ යුතුය. අමාත්‍යංශ ලේකම්වරු පත්කිරීමේ බලය (ව්‍යවස්ථා අංක 52 (1)) ශක්තිමත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් යළි ස්ථාපිත කිරීම දැඩි අවශ්‍යතාවකි. අමතර වශයෙන් ජාතික විගණන කොමිසම මෙන්ම ප්‍රසම්පාදන කොමිෂන් සභාව වැනි කොමිෂන් සභා තවදුරටත් කිසියම් නිශ්චිත කාලයක් සඳහා පවත්වා ගත යුතුවේ.

රාජ්‍ය සේවකයාගේ පිරිහීම වසර ගණනාවක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් සිදුවූ දෙයකි. එය ඉක්මනින් ප්‍රතිනිර්මාණය කිරීම අසීරු මෙන්ම රාජ්‍ය සේවය යථාවත් කිරීම සඳහා සැලකිය යුතු කාලයක්ද ගතවනු ඇත. අධිකරණය හා සමස්ත රාජ්‍ය සේවය විශාල වශයෙන් විනාශ කරනු ලැබ තිබේ.

රාජ්‍ය සේවයේ නීතිරීති, චක්‍රලේඛ මෙන්ම ආචාර ධර්ම පවා උල්ලංඝනය කරනු ලබන්නේ ලඡ්ජා බියකින් තොරව බැව් පෙනේ. දේශපාලකයකු මිලියන 34ක මුදලක් වාණිජ බැංකුවක තමා නමින් තිබූ ආරක්ෂක සේප්පුවක සඟවා තබා තිබුණි. එම ඇමතිවරයා එවකට රජයේ සිටි ප්‍රබලතම සොරකු බැව් එවකට රාජ්‍ය නායිකාව පවසනු ලැබූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වොෂින්ටන් සිට පැමිණි ජෙරමි කාටර් මෙන්ම එවකට ලංකාවේ නිත්‍ය නියෝජිතවරයා වශයෙන් කටයුතු කළ නදීම් උල් හක් සමග පැවැත්වූ සාකච්ඡාකදීය. ඉන්පසුව මෙම මුදල අදාළ ඇමතිවරයා විසින් ලබා දුන් වත්කම් හා බැරකම් ප්‍රකාශයේ පවා සඳහන් නොවුණු බැව් හෙළිවී තිබේ. රජයේ කෝටි ගණනක මුදලක් වංචා කරනු ලැබූ වැට් සිද්ධියේදී රාජ්‍ය නිලධාරීන්ගේ ගසාකෑමේ තරම හෙළිවිය. පොලිස් නිලධාරියකු මහ මඟ කාන්තාවකට පහරදීම වැනි අශෝභන සිද්ධීන් ද රාජ්‍ය සේවය විනාශ වී ඇති තරම විදහාපෑමකි.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, එයාර් ලංකා සමාගම වැනි විවිධ ආයතන පෞද්ගලිකකරණය කිරීමේදී සිදුවූ වංචනික කටයුතු මෙන්ම හෙජින් ගිවිසුම ආදී දෑ නිසා නිරන්තරයෙන් සිදුවන බරපතළ දූෂණ වංචා නිසා වන හානිය රටකට දැරිය නොහැකි බැව් සඳහන් කළ යුතුය. පෞද්ගලික අංශය පවා රාජ්‍ය සේවයේ කඩා දැමීම නිසා අතිශයින්ම දූෂිත බැව් අවධාරණය කළ යුතුව ඇත. දැනට ඵදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් ආයතනය ගනුදෙනුකරුවන් 24000 කගේ බිලියන ගණනක මුදල් අහිමි කර ඇත. අතීතයේ සක්විති, ගෝල්ඩන් කී, ප්‍රමුඛ බංකුව වැනි ආයතන හරහා තැන්පත්කරුවන්ගේ මුදල් අහිංසක තැන්පත්කරුවන්ට අහිමි වූ රටක ඒවා දිගින් දිගටම සිදුවේ. එවැනි නාටක යළි යළිත් දැකිය හැකිවන්නේ රාජ්‍ය ආයතන ප්‍රතිනිර්මාණය කිරීම නිසි පරිදි සිදු නොකරන හෙයිනි. මහ බැංකුව තම රාජකාරිය නිසි ලෙස ඉටු කළේ නම් මහ බැංකු වංචාව හරහා ගිනි දවාලේ මංකොල්ලකෑම සිදුවීමට ඉඩ නොතිබුණි. කෘෂිකර්ම ගොඩනැගිල්ල බද්දට ගැනීම හරහා බිලියන ගණනාවක් රජයට අහිමි කිරීම බරපතළ දූෂණයක් බව හිටපු නියෝජ්‍ය විගණකාධිපති අඹන්වල මහතා පවසා ඇත. ආංශික අධීක්ෂණ කාරක සභා දැව සංස්ථා ගොඩනැගිල්ලට ගෙන යෑම පිණිස සිදුකරමින් පවතින අලුත්වැඩියාවන් සඳහා මිලියන සියයකට ආසන්න මුදලක් පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය කාබාසිනියා කිරීමද මහත් අපරාධයකි. උපදේශක කාරක සභා අහෝසි කොට ආංශික අධීක්ෂණ කාරක සභා අලුතින් හඳුන්වා දුන් අගමැතිවරයා නැවත වසර තුනකට පසු උපදේශක කාරක සභා යළි හඳුන්වාදී ඇත්තේ කිසියම් මානසික රෝගී බවක් නිසා ද යන්න විමර්ශනාත්මකව සොයා බැලීම කළ යුතුය. මේ සම්බන්ධයෙන් වැය කළ මුදල් සම්භාරය අලුතින් ගොඩනැගිල්ලක් තැනීමට යෙදවිය යුතුව තිබුණි. රාජ්‍ය මුදල් බරපතළ ආකාරයට විනාශයට ලක්කිරීමකි. එම ගොඩනැගිලි චන්ද්‍රිකා රජය සමයේ බිලියන ගණනක් යට කරමින් පාර්ලිමේන්තුව පිටුපස දියවන්නා ඔයේ පුරවා ඇති භූමියේ තැනිය හැකිවූයේ නම් කෙතරම් නැණවත් හා කාලෝචිත පියවරක් විය හැකිව තිබුණේද යන්න සලකා බැලිය යුතුය. ජවිපෙ පවා මෙවැනි ආකාරයකට රාජ්‍ය මුදල් විනාශ කිරීම ගැන මුනිවත රැකීම පුදුමයකි.

නීතිය කුමක් වුවද එයට පටහැනි අයුරින් රජයේ කටයුතු කරන මැති ඇමැතිවරු නිලධාරීන් සිටින රටක රාජ්‍ය සේවය ගොඩනැගීම කෙසේ කළ හැකිද යන්න ප්‍රශ්නයකි. අල්ලස දූෂණ නවතාලීම සඳහා දැඩි පියවර ගත යුතු වේ. දැනට අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් නිරතුරුව චෝදනා ලබන්නේ රාජ්‍ය අංශයේ විවිධ නිලතලවල තනතුරු දරන්නන් වේ. ඉහළ මැති ඇමැතිවරු සම්බන්ධයෙන් දූෂණ චෝදනා ලිපිගොනු ඇතත් විමර්ශන කටයුතු ඉබි ගමනින් යෑම අසාධාරණ මෙන්ම තල්මසුන්, මෝරුන් බේරී හාල්මැස්සකු අසුකර ගැනීම දක්නට ලැබේ.

බරපතළ දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිසමේ වැඩ ඇරඹු අප වසරක කාලයක අවසානයේදී රාජ්‍ය නිලධාරීන් දූෂණය පිටුදැකිය යුතු බවට මතවාදයක් ගොඩනැගෙමින් පැවතුණි. එහෙත් රජයේ දිය රෙද්දෙන් බෙල්ල කැපීමේ ප්‍රතිපත්තිය නිසා දූෂණ වංචා විමර්ශන අඩපණ වීම සම්බන්ධයෙන් මුළුමනින්ම රජය වගකිවයුතු වන අතර එම කටයුතු නොකඩවා සිදු කළේ නම් චෞර දේශපාලකයන් මෙන්ම නිලධාරීන් ගණනාවක්ම දැනටමත් දඬුවමට ලක්වන්නට ඉඩ තිබුණි. ඇත්තෙන්ම විමර්ශන කටයුතු අතිසාර්ථක අන්දමින් සිදුවෙමින් පවතින අවධියක ජනාධිපතිතුමා එම කොමිසම කඩා බිඳ දැමීමට පියවර ගත්තේ ඇයි? ගෝඨාභය මහතා පවසා ඇත්තේ දේශපාලන විරුද්ධවාදීන්ට ‘ජම්පර’ ඇන්දවීමට රජය මාන බලන බවයි. නීතියට පටහැනි ආකාරයට කටයුතු කළ සියල්ලන්ම තරාතිරම නොසලකා දඬුවම් ලැබිය යුතුවේ. ගෝඨාභය මහතාගේ අවශ්‍යතාව සොරුන්ට දඬුවම් නොකළයුතු බව නම් එම ස්ථාවරය නිවැරදි නොවේ. තවදුරටත් එවිට රට සොරුන්ගේ ග්‍රහණයේ පවතිනු ඇත.

වර්තමානයේ දේශපාලකයා තවදුරටත් රට විනාශ කරමින් පවතී. අගමැතිවරයා ඇතුළු එජාප කණ්ඩායම ඔවුන්ට පමණක් වාසිදායක වන ආකාරයට රාජ්‍ය මුදල් ආයෝජනය කිරීමට කටයුතු කරමින් පවතින බැව් පළවීය. ඒකාබද්ධය තමන්ගේ ශක්තිය ආසන සංඛ්‍යාව 70 දක්වා ඉහළ යෑම නිසා උද්දාමයට පත්ව ඇති බව පවසයි. හිටපු ජනාධිපතිවරයා ජනාධිපතිවරණ සමයේදී ඇමරිකානු ඩොලර් ලක්ෂ හැත්තෑහයක මුදලක් ලබාගත් බවට ප්‍රවෘත්තියක්ද පැතිරෙමින් පවතී. රට පුරා කොමිස්, කප්පම් කථා දිනෙන් දින ඉහළ යෑම සිදුවේ.

දේශපාලන සංස්කෘතිය හා රාජ්‍ය සේවය ප්‍රතිනිර්මාණය කිරීම තුළින්ම පමණක් ආශ්චර්යය කරා යෑමට හැකියාව තිබේ. රජයේ වියදම් කපා හැරීම, නාස්තිය, දූෂණය පිටුදැකීම මෙන්ම රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය වෙනස තුළින් රටට බරක් නොවන රටට හිතකර රාජ්‍ය සේවයක් තැනිය යුතුවේ. පවතින දූෂිත ක්‍රමවේදය නිසා විදේශ ආයෝජකයන් පවා ආපසු හැරී යන අවස්ථාද ඉතා බහුල බැව් පැවසිය යුතුය. රාජ්‍ය පාලකයා ආර්ථිකය ගොඩ නැංවිය යුත්තේ ආධ්‍යාත්මික පාරිශුද්ධිය විසින් මෙහෙයවීම සිදුකරමින් බව පැවසිය යුතුය.
දැනට පවතින ක්‍රමය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 ද පළාත් සභා මන්ත්‍රීන් 3000 කට ආසන්න ප්‍රමාණයක්ද ප්‍රාදේශීය මට්ටමේ 4486 වූ සංඛ්‍යාව 8356 නංවා දෙගුණයකින් ඉහළ නැංවීම රටට දැරිය නොහැකි බරකි. එය හැකි ඉක්මනින් නිවැරදි කළ යුතුය. ප්‍රාදේශීය සභා සඳහා නියෝජිතයින් සංඛ්‍යාව දෙගුණයක් දක්වා ඉහළ නැංවීම සඳහා පාර්ලිමේන්තුවේ වටිනා කාලය කා දමා පසුව නැවතත් පෙර පැවති තත්ත්වයට සංශෝධනය කළ යුතුය යන්න ජනාධිපතිවරයා හා අගමැතිවරයා පැවසීම වර්තමාන දේශපාලනයේ පිළිකුල් කළ යුතු දේශපාලන යථාර්ථයයි.

රාජ්‍ය සේවයේ විශාල සංඛ්‍යාවක් කුමන හෝ අර්ථවත් රාජකාරියක යොදවා නොමැත. එවැනි අතිරික්තයක් දිගින් දිගටම පවත්වා ගෙන යැම වගකිවයුතු රජයක් නොකළ යුතුය. පළාත් සභා මෙන්ම ප්‍රාදේශීය පරිපාලන ආයතන සියල්ලේ මූල්‍ය පාලනය 100% නිවැරදි විය යුතුය. කොටින්ම කියතොත් ඕස්ටේ්‍රලියාව වැනි දියුණු රටක මාර්ග තැනීම සිදුවන්නේ ඉතා ඉහළ ප්‍රමිතියකට බව පැවසිය යුතුය. එබැවින් එම මාර්ගවල කල් පැවැත්ම දශකය ඉක්මවා යෑම සිදුවේ.

විශාල වශයෙන් සිදුවී ඇති දූෂණ කටයුතු නිසා අධික විදුලි බිලක් ගෙවීමට මහජනයාට සිදුවී ඇති බව ඇමතිවරයකු මෑතකදී පැවසීය. සමස්තයක් ලෙස ගත් කල රජය මෙන්ම රජයේ ක්‍රියාකලාපය මහජනතාවට ඉසිලිය නොහැකි බරකි. අනවශ්‍ය මුදල් වැය කිරීම නවතා දැමීම මෙන්ම රාජ්‍ය ආයතන මුදල් ඇස්තමේන්තු කිරීමේදී නියමිත පිරිවිතරයන් ආකාරයට එම කටයුතු ඉටු කිරීම කළ යුතුය. රාජ්‍ය සේවය හැකි ඉක්මනින් ප්‍රතිනිර්මාණය කළ යුතුය. රජයේ ඉහළම දේශපාලකයාගේ සිට පහළම සේවකයා දක්වා නීතිය දැඩි සේ ක්‍රියාත්මක කළ යුතුය. සාධාරණයට කැපවුණු ප්‍රතිපත්තිගරුක කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කළයුතුවන්නේ ජනතා සේවය සුබවාදීව නිසි ලෙස ඉටු කිරීමටත් රජයේ අරමුණු කරා ළඟාවීමට සමත් ප්‍රශංසනීය රාජ්‍ය සේවකයකු බිහිකරලීම ඒකායන අරමුණ විය යුතු බවත් පැවසිය යුතුය.

වසර හැත්තෑවක් තිස්සේ රටේ ප්‍රධාන පක්ෂ දෙක තට්ටු මාරු ක්‍රමයට තවදුරටත් විනාශකාරී ලෙස රට ඉතා පහත් තලයකට ඇද දමමින් පවතී. නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ඵල නෙළා ගත් අපේ මවුබිම අප අමතක නො කරන්නෙමු. වර්තමාන දේශපාලකයා ඉතා බලවත් සේ ආත්මාර්ථයෙන් ම කටයුතු කරමින් රට තුළ විවිධ ගැටුම් නිර්මාණය කරමින්, ජනතාවගේ බුද්ධියට ආමන්ත්‍රණය කළ හැකි නායකත්වයක් බිහිකිරීම අපගේ පරමාර්ථය විය යුතුය.

ප්‍රකට ව්‍යාපාරිකයකු මෙන්ම 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව කියන රොහාන් පල්ලෙවත්ත මහතාගේ අදහස්ද මෙම ලිපියට එක් කර ඇත. මෙම ලිපියේ දෙවන කොටස අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයටත් අයිවන් මහතා ඉස්මතු කරනු ලැබ ඇති කරුණු අපේ දෘෂ්ටි කෝණයෙන් ගැළපීමටත් අදහස් කරමු.