රාවය

මහින්ද ගේන්න කරු සුදානම් ද ?

මහින්ද ගේන්න කරු සුදානම් ද ?

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

නීති,රීති, සම්ප්‍රදායන් හා සත්‍ය අතර ඇත්තේ පැහැදිලි පරතරයකි. නීති හෝ රීති හෝ සම්ප්‍රදායන් යනු සත්‍ය මෙන්ම සාධාරණය වෙත පිවිසීම සඳහා අද දවසේ මිනිසා භාවිත කරනු ලබන ප්‍රධාන මෙවලම්ය. ප්‍රයෝගිකව තිබෙන සත්‍ය සොයායාම වෙනුවට නැතහොත්, පැහැදිලිව පෙනෙන සත්‍ය පිළිගෙන ඒ අනුව ක්‍රියා කරනවා වෙනුවට, නීති හෝ සම්ප්‍රදායන් අතර සත්‍ය සැඟවීම බුද්ධිමය, විචාරශීලී සමාජයකට උචිත වන්නක් ලෙස සිතිය නොහැක.

පාර්ලිමේන්තුවේ සත්‍ය සංයුතිය

2015 ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ජය ගැනීමෙන් අනතුරුව 2015 අගෝස්තු 17 වන දා මහ මැතිවරණයක් පැවැත්විණි.එහිදී එජාපය, එජනිස, ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය, ජවිපෙ, ඊ.පී.ඩී.පී හා මුස්ලිම් කොංග්‍රසය ලෙස පක්ෂ 6ක් පාර්ලිමේන්තුවේ ආසන දිනා ගත්හ. එජාපය අලියා ලකුණින් දිනාගත් මන්ත්‍රී ධුර ගණන 106ක් වූ අතර එජනිස බුලත් කොළය ලකුණින් ආසන 95ක් දිනා ගත්තේය. දෙමළ ජාතික සන්ධානය, ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය ලෙස මන්ත්‍රී ධුර 16 ක් ද ජවිපෙ ආසන 6 ක් ද ඊ.පී.ඩී.පී ආසන එකක් ද මුස්ලිම් කොංග්‍රසය සිය ගස ලකුණින් තරග කර එක් මන්ත්‍රී ධුරයක් ද දිනා ගත්හ.

බැලූ බැල්මට පාර්ලිමේන්තුවේ සංයුතිය මෙසේ වුවත් සත්‍ය මීට වඩා වෙනස්ය. රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්ව මෛත්‍රී හා එක්වූ රාජිත සේනාරත්න මෙන්ම චම්පික රණවක ද(හෙළ උරුමය) පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූයේ එජාපයේ අලියා ලකුණ යටතේය. මුස්ලිම් කොංග්‍රසය අලියා ලකුණ යටතේ ද අපේක්ෂකයන් ඉදිරිපත් කළ අතර සිය ලාංඡනය වූ ගස යටතේ ද අපේක්ෂකයන් ඉදිරිපත් කර ජය ගත්තේය. රිසාද් බදියුදීන් නායකත්වය දෙන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය ද ඉදිරිපත් වූයේ අලියා ලකුණින්ය . මීට අමතරව මනෝ ගනේෂන්, පලනි දිගම්බරන්, පී රාධා ක්‍රිෂ්ණන් නායකත්වය දෙන පක්ෂ 3 ද සන්ධානගත වී එම හවුල ද අලියා ලකුණින් අපේක්ෂකයන් ඉදිරිපත් කළේය. ප්‍රධාන පක්ෂය වන එජාපය ලෙස මේ සියලු පක්ෂ ඡන්දයට ඉදිරිපත් වුවද ඔවුන් සිය සන්ධානය හැඳින්වූයේ එක්සත් ජාතික පෙරමුණ ලෙසය.

එජනිස ද ඊට වෙනස් නැත. තොණ්ඩමන්ගේ ලංකා කම්කරු කොංග්‍රසය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ආදී පක්ෂ රැසක් ඡන්දයට ඉදිරිපත් වූයේ එජනිස යටතේ බුලත් කොළය ලකුණින්ය.

එක ම පිලේ සම්මුතිය හා විසම්මුතිය

එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධාන පක්ෂය වන එජාපය හා, එජනිසයේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රීලනිපය, හවුල් ආණ්ඩුවක් සඳහා 2015 සැප්තැම්බර් 01 වන දා ලිඛිත සම්මුතියකට එළඹී අතර ඒ අනුව එජනිසයේ 39 දෙනකුට ආසන්න ගණනක් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්හ. මෙම සම්මුතියට එරෙහි වූ එජනිස 56 ක් හෝ 57 ක් ඒකාබද්ධ විපක්ෂය ලෙස විපක්ෂයේ අසුන් ගත්තත් ඔවුන්ට විපක්ෂ නායක ධුරය හිමි නොවීය.

2015 සැප්තැම්බර් 08 වන දා කථානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තුවට කළ දැනුම් දීම අනුව එය හිමිවූයේ මන්ති ධුර 16 ක් තිබෙන ලංකා දෙමළ රාජ්‍ය පක්ෂයටය. එසේ වූයේ ඒ වනවිට විපක්ෂයේ අසුන් ගත් එජනිසයේ 56කගේ හෝ 57කගේ අත්සනින් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාව විපක්ෂ නායකවරයා වශයෙන් නම් කරන ලෙස සිරිසේන ජනාධිපතිවරයා වෙත ලිපියක් ද ඉදිරිපත් කර තිබියදීය. කථානායක කරු ජයසූරියගේ හා හවුල් ආණ්ඩුවේ තර්කය වූයේ ඒකාබද්ධ විපක්ෂයේ 56 දෙනා පාර්ලිමේන්තුවට පත් වී සිටින්නේ එජනිසයෙන් වන නිසා හා එම සන්ධානය එජාපය හා ගිවිසුම්ගතව ආණ්ඩු පක්ෂය ලෙස කටයුතු කරන නිසා එම සන්ධානයේ කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගත්තද විපක්ෂ නායක ධුරය ඔවුන්ට හිමි නොවන බවය.

විපක්ෂ නායකයා යනු කවුද ?

මෙය තර්කයක් ලෙස නිවැරදි වුවත් සත්‍ය නොවේ. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා පත්කර ගැනීමේ පනතක් (නීතියක්) නොමැති අතර පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල ද විපක්ෂ නායකවරයා පත්කර ගන්නා ආකාරය ගැන සඳහන් වන්නේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද විපක්ෂ නායකවරයා පිළිබඳ අර්ථ නිරූපණයක් නැත. ඒ කෙසේ වෙතත් එතැන් පටන් ඒකාබද්ධ විපක්ෂය ලෙස හඳුන්වා ගත් කණ්ඩායම දිනේෂ් ගුණවර්ධන සිය කණ්ඩායම් නායකයා ලෙස පත් කරගෙන පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට එරෙහි සත්‍ය විපක්ෂය බවට පත්විය. නිල විපක්ෂ නායක වූ දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් කිසිවිටෙකත් සමස්ත රටේ විපක්ෂ නායක භූමිකාව ඉටු නොකළ අතර තීරණාත්මක කිසිදු අවස්ථාවක ආණ්ඩු පක්ෂයට අභියෝගයක් වනු දැකිය නොහැකි විය. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේ දී ඔහු හා ඔහුගේ කණ්ඩායම ඡන්දය භාවිත කළේ අගමැතිවරයාට පක්ෂවය. අයවැය අවස්ථාවන්හි දී ඔහු කටයුතු කළේ ඊට පක්ෂව මිස විපක්ෂව නොවේ. මෑතක දී නියෝජ්‍ය කථානායක තෝරා ගන්නා විවාදයේ දී එය ශ්‍රීලනිපයට හිමිවිය යුතු බව පැවසූ සම්බන්ධන් මන්ත්‍රීවරයා ඡන්දය විමසන අවස්ථාවේ දී සභා ගර්භයේ නොසිට එජාප අපේක්ෂකයාට සහාය දැක්වීය.

විපක්ෂ නායකයා යනු ආණ්ඩුවේ හැමදේකට ම එරෙහි වන්නකු නොවූවත් ඔහු නිතරම විකල්ප ආණ්ඩුවේ නායකයා ලෙස කටයුතු කළ යුතුය. ආණ්ඩුවේ ප්‍රබල ම අභියෝගය විය යුත්තේ ද ඔහුය.

මෙසේ ආර්. සම්බන්ධන් විපක්ෂ නායකවරයා හෝ එම විපක්ෂයේ 16දෙනා රටේ සිදුවන දේශපාලන, මූල්‍ය, ව්‍යවස්ථාව, නීතිය, අධිකරණය, විනය, වගකීම, වගවීම, සාරධර්ම ආදී සියල්ලේ ප්‍රධාන කඩාවැටීම්වලට එරෙහිව තබා ආණ්ඩුව ප්‍රධාන අරමුණ ලෙස සඳහන් කළ, ‘යහපාලනය‘ ගොඩනගන තැනකට යාමට පවා අසමත් වීම පිළිබඳ, කිසිදා අරගලයක් නොකළේය. අඩු ම ගණනේ රටට අත්‍යවශ්‍යව තිබෙන නව ව්‍යවස්ථාවක් බිහිකිරීමේ කාර්යයේ දී ආණ්ඩුව අනුගමනය කළ ඇල්මැරුණ ප්‍රතිපත්තිය පවා නිසි බරකින් ශ්‍රී ලාංකීය සමාජය හමුවේ ප්‍රශ්න නොකළේය.

වසර 3කට පසු මනෝ ගනේෂන්

පාර්ලිමේන්තුව තුළ මේ තත්ත්වය උදා වී වසර 3කට පසු මනෝ ගනේෂන් අමාත්‍යවරයා පසුගිය දා ප්‍රකාශ කර තිබුණේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස ගෙනඒමට තීරණය කර තිබූ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උදෙසා අත්‍යවශ්‍ය බලපෑම හෝ කළ නොහැකි නම් ආර්. සම්බන්ධන්, විපක්ෂ නායක ධුරයෙන් ඉවත් විය යුතු බවය. ආණ්ඩුවට සම්බන්ධ වී ඇමති ධුරයක් ගෙන විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදෙන ලෙස ද සම්බන්ධන් මහතාට යෝජනා කිරීමට තරම් ඔහු දුර ගියේය.

හදිසියේ හෝ එසේ සිදු වුවහොත් පාර්ලිමේන්තු රීති, සම්ප්‍රදාය අනුව නම් විපක්ෂ නායක ධුරය හිමිවන්නේ ඒකාබද්ධ විපක්ෂයේ 70දෙනාගේ කණ්ඩායමට නොව මන්ත්‍රී ධුර 6ක් තිබෙන ජනතා විමුක්ති පෙරමුණටය. මෙම බි්‍රතන්‍යයෙන් ලැබුණ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව මහින්ද රාජපක්ෂට හෝ ඒකාබද්ධ විපක්ෂය නම් කරන වෙනත් මන්ත්‍රීවරයකුට විපක්ෂ නායක ධුරය ලබා ගැනීම සඳහා විවෘතව ඇත්තේ මාර්ග දෙකකි. එකක්,එජනිස තවදුරටත් ආණ්ඩුව සමග කටයුතු නොකරන බව එහි ලේකම් හෝ සභාපති ලිඛිතව කතානායකවරයාට දන්වා ආණ්ඩුවේ සිටින එම මන්ත්‍රී කණ්ඩායම ද විපක්ෂයේ අසුන් ගැනීමය. නැතහොත් විපක්ෂයේ සිටින එජනිස 70 දෙනා එජනිස හා සම්බන්ධකම් අත්හල බවට පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කර එතැන් සිට ස්වාධීන කණ්ඩායමක් වශයෙන් පිළිගන්නා ලෙස කතානායකවරයාට දැනුම් දීමය. පළමුවැන්න සිදු වීමට ඉඩකඩක් ඇත්තේ ම නැති තරම් වන අතර මහින්ද කණ්ඩායමට දෙවැන්න ක්‍රියාත්මක කළ හැකිය.

ආණ්ඩුවේ අවසාන කාලය ගතවන නිසා හා ජනපති, අගමැති ගැටුම උග්‍ර අතට හැරී පැවතීම නිසා එම කණ්ඩායමේ මන්ත්‍රී ධුර අහෝසි කරන්නට උත්සාහ කර, සිරිසේන ජනාධිපතිවරයා අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කිරීමේ ප්‍රතිපත්තියකට මාරු වේ යැයි සිතිය නොහැක.

කරුගේ විප්ලය

මේ කිසිදු සම්ප්‍රදායික මාර්ගයක් අනුගමනය නොකර ප්‍රයෝගික සත්‍යට ගරු කරන්නේ නම් (විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ගේ ක්‍රියාකාරිත්වය ද සලකා )විපක්ෂ නායක ධුරය හිමිවිය යුත්තේ ඒකාබද්ධ විපක්ෂයට බව අපැහැදිලි නැත. පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායට අදාළ නැතත් මගහැර යා නොහැකි ජනමතයක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙත යොමුවී ඇති බව නිමා වූ පළාත් පාලන මැතිවරණයේ දී ද සනාථ වීමේ ප්‍රයෝගික සත්‍ය නොසලකා හැරිය හැකි ද ?

මේ සියල්ලේ සත්‍ය, රීති හා සම්ප්‍රදායන් අතර සඟවා තබන්නට උත්සාහ දරන්නේ නම් එම සත්‍ය ස්ථාපිත කිරීම සඳහා ඇති මාවත කුමක්ද ? පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්තෙන් විපක්ෂ නායකවරයා තෝරා ගැනීමේ ක්‍රමවේදයකට යා හැකිය. එවිට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් විපක්ෂ නායකවරයා පත්වනු ඇත. එහෙත් මෙවැනි සම්ප්‍රදායක් ඇති කළහොත් ප්‍රබල පාර්ලිමේන්තු බහුතරයක් ඇති ආණ්ඩු පක්ෂයකට පාර්ලිමේන්තු සංයුතිය හා ප්‍රජාතන්ත්‍රවාදය විකෘති කිරීමේ අනතුරක් තිබෙනවා නොවේ දැයි පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරියකු මාගෙන් විමසා සිටියේය. විශේෂයෙන් යම් ආණ්ඩුවක් තුනෙන් දෙකේ බලයක් ලබා ගතහොත් ආණ්ඩුව පවත්වාගෙන යාමේ සරල බහුතරයට අවශ්‍ය වන 113 ට වැඩි ගණනක් තබාගෙන ඉතිරි 30 හෝ 40 හෝ 50ක් වන මන්ත්‍රී කණ්ඩායම විපක්ෂයට යවා විපක්ෂයේ බහුතර කැමැත්තෙන් විපක්ෂ නායක ධුරය ද ලබාගත හැකි බව ඔහු ඉදිරිපත් කළ තර්කයයි. එය අපැහැදිලි තර්කයක් නොවුණත් ප්‍රායෝගිකව මේ මොහොතේ සිදුව ඇත්තේ ද ආණ්ඩු පක්ෂයම විපක්ෂ නායක ධුරය ලබා ගැනීම හා සමාන තත්ත්වයක් නොවේ ද ? නැතහොත් විපක්ෂ නායකවරයා ආණ්ඩු පක්ෂයේ නියෝජිතයකු ආකාරයෙන් කටයුතු කිරීම නොවේ ද ?

පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් හෝ ස්ථාවර නියෝග වෙනස් කළ නොහැකි ඒවා නොවේ. නීති හදන්නේ ද පාර්ලිමේන්තුවයි. එක්කෝ අවදානම රැගෙන ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධුරය තමන් වෙත ලබා ගැනීමේ මාවතකට මාරුවිය හැක. නැතහොත් කතානායකවරයා නව සම්ප්‍රදායකට ඉඩ දෙමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විපක්ෂ නායකවරයා තෝරා ගැනීමට අවස්ථාව දීමේ ප්‍රතිපත්තියකට මාරු විය යුතුය. කරු ජයසූරිය කථානායකවරයා එවන් ධෛර්ය සම්පන්න මාවතකට අවතීර්ණ වුවහොත් , එය ආණ්ඩුවට ලබාදුන් අනගි අවස්තාවක් වීම ද නොවැළක්විය හැකිය. විපක්ෂය විය යුත්තේ සැබෑ ප්‍රති මල්ලවයා නම් ඒ දේශපාලන සතුරාට නිසි ස්ථානය ලබාදෙමින් ඔහු සමග සටන් කිරීමේ නිර්භීත මාර්ගය විවර කිරීම ද යහපාලනයේ කොටසක් වන නිසාය.