රාවය

උදයංග පැමිණියත් කළහැකි දෙයක් නැත

උදයංග පැමිණියත් කළහැකි දෙයක් නැත

ටිරන් කුමාර බංගගමආරච්චි

උදයංග වීරතුංග ලංකාවට රැගෙන එන බවට මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වී ඇත. රාජපක්ෂලාගේ දේශපාලනය හොඳ අතට හැරෙන විට ඊට රාජපක්ෂලාට ගෑවුණු සැම සිටිය යුතුය. පවුල් දේශපාලනය එබඳුය. එබැවින් රාජපක්ෂ දේශපාලනයට උදයංගගෙන් ඇති ප්‍රයෝජන විශාලය. ලංකාවට ආවා යැයි දැන් අමුතුවෙන් වෙන දෙයක් නැත. බැසිල් රාජපක්ෂ ආවෙත් මර බියෙනි. එහෙත් අද ඔහුටත් ඒ ගැන මතක නැත. මේ සහතිකය නිසා උදයංග ගෙන ඒම මහින්ද රාජපක්ෂ භාරගනුයේ ඉන් උදයංගට කිසිදු හානියක් නොවන නිසාය. උදයංග යනු මහින්ද රාජපක්ෂගේ ඥාති සහෝදරයෙකි.

චෝදනා

රුසියාවේ සිටි ලංකාවේ තානාපති උදයංග වීරතුංගට ආයුධ ජාවාරමක් පිළිබඳ චෝදනා එල්ල විය. මේ චෝදනා එල්ල වූයේ විදේශ කටයුතු අමාත්‍යාංශයටය. ඒ 2015 වසරේ මුලය. ඔහුට එරෙහි චෝදනාව වූයේ යුක්රේනයේ රුසියානු හිතවාදී සන්නද්ධ කණ්ඩායමකට අවි සැපයීමය.

යුක්රේන රජය මේ ගැන විමර්ශනයක් ආරම්භ කර තිබුණේ 2014 වසරේ අගය. මෙම විමර්ශනය පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික දැනුම්දීමක් එකලම ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට ලැබී තිබුණි. ලංකාවේ යුක්රේන තානාපති කාර්යාලයක් නොමැති බැවින් එම කාර්යයද ඉටුකරනුයේ නවදිල්ලියේ සිටින යුක්රේනයේ ඉන්දීය තානාපතිවරයා විසිනි.
ඒ නිසාම මෙම අතිවිශේෂ රාජ්‍යතාන්ත්‍රික ගැටලුව පිළිබඳ කරුණු විමසීමට 2014 දෙසැම්බර්වලම විදේශ කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් නිලධාරීන් පිරිසක් නවදිල්ලියේ සහ යුක්රේන තානාපති කාර්යලය වෙත යවනු ලැබිණි.

එහි ගිය නිලධාරීන්ට දැනගන්නට ලැබුණේ උදයංග පිළිබඳ චෝදනා දරුණු බවයි. එවකට විදේශ ඇමති ජී.එල්. පීරිස්ය. ඔහු ඒ පිළිබඳව මහින්ද රාජපක්ෂ වෙත දැනුම් දී ඇත. රාජපක්ෂගේ ඥාතිකමට ලැබුණු තානාපතිකම ආයුධ ජාවාරමට යොදාගෙන බව එකල මෙරට දේශපාලකයන්ගේ චෝදනාව විය. මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන්ද උදයංගට චෝදනා එල්ල විය. ඒ 2012 වසරේය. මෙරට නිල බලය හිමි රාජ්‍යතාන්ත්‍රිකයා ලෙස යුක්රේනයට නිතර යාම් ඊම් කිරීමට උදයංගට අවස්ථාව තිබුණි. මේ ජාවාරම් එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නට ඇතැයි එකල කතාබහ විය. එහෙත් චෝදනාව එල්ල වුවද මේ චෝදනාවට උත්තරදීමට හෝ මේ කරන පරීක්ෂණවලට සහයවීමට තානාපති වීරතුංග රුසියාවේ සිය තානාපති කාර්යාලයේ නොවීය. එවිට ඔහු සිටියේ ලංකාවේය. වෙනත් වැඩකය. ඒ වෙන වැඩක් නොව ජනපති මහින්ද රාජපක්ෂ නැවත ජනපති කරන ඡන්ද වැඩවලය.
එකල මහින්ද රාජපක්ෂ දිනවන්නට පැමිණි උදයංග නවාතැන් ගෙන සිටියේ නුවරඑළිය සුප්‍රකට ‘රැජිනගේ නිවහන’ නමැති ගොඩනැගිල්ලේය. මෙය සුද්දා හැර යාමත් සමග ජනපතිගේ නුවරඑළිය නිල නිවස ලෙස ස්ථාපිත විය. උදයංග ඡන්ද කරනුයේ ඒ නිවසේ සිටය. කෙසේ වෙතත් ප්‍රතිඵල එනවිට උදයංග අතුරුදන් විය.

ඉන්පසු උදයංග ලංකාවේම සැඟවී සිටියාද, රුසියාවේ තානාපති කාර්යාලයටම ගියාද යන්න රහසක් විය. ඒ රහස දන්නේ මහින්ද රාජපක්ෂමය. නව යහපාලන ආණ්ඩුව පත්වී රාජපක්ෂ ආණ්ඩුවෙන් පත්වීම් ලද විදේශගත ලංකා තානාපති කාර්යාල නිලධාරීන්ට ලංකාවට පැමිණෙන්නැයි දැනුම් දුන්නද උදයංග මෙරටට නොආවේය.

ව්‍යාපාර කිරීම

උදයංග රුසියානු තානාපති ලෙස පත්වන්නට පෙර ජීවත් වූයේ යුක්රේනයේය. යුක්රේනයේ කිව් අගනුවරය. ඔහු එහි භෝජනාගාර ශාලාවක් පවත්වාගෙන ගියේය. එහි හිමිකරුවා ඔහුය. ඔහු මේ දේවල් කළේ 2005දීය. මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස 2005 පත්වීමත් සමග තම ව්‍යාපාරික ඥාති සොහොයුරා රාජ්‍යතාන්ත්‍රික නිලයකට පත් කළේය. ඒ 2006 නොවැම්බරයේදීය. යුක්රේනයේ භෝජනාගාරයක් පවත්වාගෙන ගියද ඔහු 2005 මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයට උදව් කළේය. ඒ අනුව 2006 පෙරබාරියේ යුක්රේන රාජ්‍ය සිදු කළ ‘මිග් යානා ගනුදෙනුව’ පිළිබඳ කටයුතුවලට ඔහු මැදිහත් වූයේ හුදු යුක්රේනයේ වාසය කරන ලද ලාංකිකයකු ලෙසය. මේ ගැන මෙරට ජනමාධ්‍ය ප්‍රශ්න කරද්දී එවකට ආරක්ෂක ලේකම්වරයා ජනමාධ්‍යයට දැමූ සද්දය බලවත් විය. එදා සද්ද දමා යට ගැසූ ඒ චෝදනා පසුව කරළියට ආවද සිදුවූ අමුතු දෙයක් නොවීය. ඒ ලේකම්වරයා අද ජනාධිපති වන්නට සිහින මවන ගෝඨාභය රාජපක්ෂය.

මහජන අරමුදල් භාවිත කරමින් මිග් යානා මිලට ගැනීමේදී අක්‍රමිකතා සිදුකළ බවටත් කොමිස් වෙනුවෙන් බාල ගුවන් යානා ලබාගත් බවටත් සිදුකළ චෝදනා බරපතළය. එහෙත් අද ඒ බරපතළ චෝදනා වගේ වගක් නැති තැනට තල්ලු වී ඇත. එදා ‘මිග් යානා’ ගනුදෙනුවට උදයංග සම්බන්ධ වුවද ඔහුට චෝදනා එල්ලවන්නේ එයට නොව රුසියානු තානාපති වශයෙන් ඔහු යුක්රේනයේ සිටින සන්නද්ධ කණ්ඩායමකට අවි සැපයීමේදී රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද යොදාගත් බවටයි. ඒ අනුව උදයංගට අවි ජාවාරම් කළ බවට මෙන්ම රාජ්‍යතාන්ත්‍රික ද්‍රෝහීභාවයද එකතු වී ඇත.

එහෙත් අදටත් ඒ චෝදනාවට ඔහු දක්වන ප්‍රතිචාර කුමක්දැයි දැනගැනීමට ඔහු සොයාගත නොහැකි වී ඇත. කෙනෙක් වරදක් කළාද නැද්ද යන්න තීන්දුවන්නේ චෝදනා ඔප්පු වුවහොත්ය. එතෙක් ඔහු සැකකරුවකු පමණි. ඒ නිසා සෑහෙන කාලයක් ගතවී ඇති නිසා උදයංග ඒ දේවල්වලට සැකකරු වුවද ඔහු ඊට සම්බන්ධ නැතිද විය. හැකිය. එසේ නැතහොත් දැන් ගතවූ කාලය අනුව එම පරීක්ෂණ වැළලී තිබෙන්නටද ඉඩ ඇත. මන්ද මේ චෝදනාව නැගුණේ යුක්රේන රජයේ විමර්ශන හරහා වීම නිසාය.
යුක්රේනය වාර්තා කළ තොරතුරු අනුව එකල පැහැදිලි වූයේ නවීනතම පිස්තෝල යුක්රේනයේ විවිධ පුද්ගලයන්ට සැපයීම උදයංග විසින් කර ඇති බවයි. ඉතාලියේ, තුර්කියේ හා චෙක් ජනරජයේ නිෂ්පාදිත ගිනි අවි ලෙස මේවා වර්ග කර ඇත. යුක්රේන රජය එකල මේ බව මෙරටට දැනුම් දෙනුයේ එහි සත්‍ය අසත්‍යභාවය තහවුරු කරගැනීමටය. එනම් මෙම ගිනි අවි සැපයීම ලංකා රජයද දැනුවත්ව සිදු වූවාද යන්න දැනගැනීමටය. එය එසේ නොවේ නම් ලංකාව ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර දැනගැනීමටය. දැන් ඊට ගතවූ කාලය බොහෝය. යුක්රේන රජය වුව මේ පරීක්ෂණය අතහැර දමා ඇතිවාට සැක නැත. එහෙත් ඊට යහපාලන ආණ්ඩුවට වුව වසර තුනහමාරක් යන තෙක් කළ හැකි කිසිවක් නොවීය. ජාවාරම් සඳහා තානාපතිකම යොදා ගත්තා නම් ඊට තානාපති සේ ම එම තානාපති පත් කළ ජනාධිපතිද ඊට වගකිව යුතුය. එහෙත් ඒ කිසිවක් සිදු නොවූ ගාණට අද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියනුයේ තමන් උදයංගට එන්න කිව්වා ඔහු මාසයක් ඇතුළත එනු ඇති බවය. එසේ නම් වසර තුනහමාරක් ඔහු නාවේද මහින්ද රාජපක්ෂගේම කීමට බව පැහැදිලිය. සියල්ල සමනය වන්නට දී කට්ටියම වීරයන් වී ඇතැයි පැහැදිලිය. එනම් උදයංග පැමිණියද මේ ආණ්ඩුවට කළ හැකි දෙයක් නැති තැනට අද පත්වී ඇත. දැන් ඊට හිලව් ලෙස අර්ජුන මහේන්ද්‍රන්ව ගෙන ඒමට රනිල්ට අභියෝග කිරීම විහිළුවකි.

උදයංග ගෙනවිත් මහින්ද නැවත වීරයා වනු ඇත. ඉන්පසු උදයංග 2006 කළා මෙන් 2020 මැතිවරණයටත් උදව් කරනු නියතය. ලංකාව යනු හොරකම, දූෂණය, වංචාව ස්ථාපිත වූ රටකි. මේවා නොකර දේශපාලනය කිරීම යනු ඔහු දේශපාලනය නොකළ යුතු තැනට සිද්ධාන්ත සකස් වී ඇති රටකි. උදයංග එයි. ඇවිත් ඉඳියි. එපමණයි.