විජයකලා හා අපේ වගකීම

දෙමළ ජනයාට නිදහසේ ජීවත්වීමට එල්ටීටීඊය යළි අවශ්‍ය බවට රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය ලංකාව අල්ලා ගන්නා නිරර්ථක ප්‍රතිචාර දැක්වීම්වල උඩටම පැමිණ තිබේ. මෙරට දේශපාලනය යනු වේඬරුවේ උපාලි, විජයකලා වැනි අයගේ නොවැදගත් ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් සිටීම බවට ඌනනය වී ඇත. විජයකලාගේ ප්‍රකාශයට එරෙහිව විනය පරීක්ෂණ, අධිකරණයට යෑම, විරෝධය පෑම් ආදී ඕනෑම දෙයක් මේ කාලය තුළ බලාපොරොත්තුවෙන් සිටිය හැකිය. එහෙත් අවසානයේදී කිසිවක්ම සිදු නොවීම මෙවැනි සිදුවීම්වල නියම ස්වභාවය ලෙස පෙනී යයි.

ජනමාධ්‍ය වාර්තා කර තිබුණු ආකාරයට විජයකලා කතා කර තිබුණේ උතුරේ කාන්තාවන් හා පීඩාවට ලක්වන දරුවන් ගැනය. ඔවුන් බරපතළ දුෂ්කරතාවලට මුහුණදෙන බවත්, යාපනයේදී සය හැවිරිදි පාසල් දැරියක් ඝාතනය කර තිබුණු බවත් එල්ටීටීඊ සංවිධානය ක්‍රියාත්මක වූ කාලයේ එවැනි සිදුවීම් කිසිදා නොවූ බවත් ඇය ප්‍රකාශ කර තිබුණි. මෑත අවධියේ බරපතළ ලෙස දෙමළ සමාජය නොසන්සුන් වූයේ විද්‍යා සිසුවියගේ සිද්ධියේදීය. එක් කලෙක දෙමළ පීඩිතයා පීඩාවට පත් කරනු ලැබුවේ සිංහල පාලක පන්තිය විසින්ම නොවේ. එය දෙමළ වරප්‍රසාදලත් පන්තියේම පීඩක ක්‍රියාවලියක් ලෙස සිදුවිය. එස්. ගුණරාසා ලියූ ‘වනමැද ගඟ’ කෘතියෙහි දැක්වෙන පරිදි දෙමළ පීඩිත පන්තියේ පළමු පීඩකයා දෙමළ කුලීනයාය. යුද්ධයෙන් පසු සිංහල පාලක පන්තියේ අනවරත පීඩාවෙන් යම් පමණකට මිදුණු දෙමළ සාමාන්‍ය පන්තියට යුද්ධයෙන් පසු නැගී සිටින දෙමළ ජාවාරම්කාර පන්තිය විසින්ම මෙහෙය වන ලුම්පන් ධනවාදයට ගොදුරුවීමට සිදුවිය. විද්‍යාගේ සිද්ධිය තනිකරම එබන්දකි.

ඉන් රටම කම්පනය වූයේය. එල්ටීටීඊය තිබුණු අවධියේ එවැනි සිදුවීම් වාර්තා වූයේ නැත. සමහරවිට එල්ටීටීඊය මිලිටරිමය තද පාලනයක් ජන සමාජය තුළ ගෙන ගිය නිසා පරිබාහිර සමාජ විරෝධී ක්‍රියාවලට හා පුද්ගලයන්ට අවකාශයක් නොතිබුණි. ඇතැම් විටෙක සිදුවීම් සිදුවුවත් ඒවා ජනමාධ්‍යයට වාර්තා නොවන්නටත් ඇත. එවැනි සිදුවීම් සිදු නොවූ පමණින්ම එල්ටීටීඊ සංවිධානයේ ප්‍රචණ්ඩ පිළිවෙත සාධාරණීකරණය කළ හැකිද? අනෙක් අතට ජනාධිපතිවරයා තම පක්ෂය වර්ධනය කරන ක්‍රියාවන්හි පමණක් නිරතව සිටීම, උතුරට කිසිදු දේශපාලන විසඳුමක් සෙවීමට උනන්දු නොවීම, ජන ජීවිතය යළි යථා ස්වරූපයෙන් පවත්වා ගෙන යෑමට උතුරේ ජනයාගේ ජීවන මාර්ග ස්ථාවර නොකිරීම, යුද කටයුතුවලට ගත් උතුරේ ඉඩම් නිදහස් කිරීම මන්දගාමී වීම, අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම කඩිනම් නොකිරීම වැනි අත්‍යවශ්‍ය කටයුතු දකුණේ ආණ්ඩු තවදුරටත් මගහරිමින් සිටියි. විජයකලා උක්ත කතාවේදී ජනාධිපතිවරයා උතුරේ ප්‍රශ්නය මගහරින බව කියා තිබුණි. එය සපුරා ඇත්තකි. මහජන ප්‍රශ්නයක් මගහරින විට සිදුවන්නේ ජනතාව නීතිය අතට ගෙන ක්‍රියාකිරීමය. එය නරක තත්ත්වයකි. විජයකලා උතුරේ ජනයා නියෝජනය කරමින් දේශපාලනයට බට මහජන නියෝජිතවරියකි. එබැවින් තම ජනයා පිළිබඳ ඇයට වගකීමක් තිබේ. වර්තමාන තත්ත්වය තුළ එම වගකීම ඉටුකළ යුතුව තිබෙන්නේ දකුණේ ආණ්ඩු සමග එකඟතා ඇතිකර ගනිමිනි. එවැනි එකඟත්වයකට මුල පිරෙන්නේවත් නැත්නම් ජනතාව වෙනත් අතකට හැරෙන්නට පුළුවන. ඉන් අදහස් වනු ඇත්තේ උතුර යළි ප්‍රචණ්ඩ මාවතකට තල්ලු විය යුතුය යන්න නොවේ. එල්ටීටීඊය වැරදි ක්‍රමයකට වුව පෙනී සිටියේ දෙමළ ජනයාගේ අයිතීන් ගණනාවක් වෙනුවෙනි. එම මිලිටරිමය මැදිහත්වීමට ඊට සමාන ආකාරයකින් පිළිතුරු දී පරාජය අත්කර දුන් විට බහුතරයක් ජනයා කැමතිවූයේ සාමාන්‍ය ජනයා අත්තනෝමතිකත්වය, මෙන්ම අධිකාරිවාදය ප්‍රතික්ෂේප කරන නිසාය. මිලිටරිමය ක්‍රමයකින් ප්‍රජාතන්ත්‍රීය අවකාශය හා ආයතන පද්ධතිය හැකිළී යෑම කිසිවිටකත් පිළිගත නොහැක්කකි. එල්ටීටීඊ ක්‍රියාධරයෝ පවා පසුකාලීනව එම අදහස පිළිගත්හ. එබැවින් අසාධාරණයට එරෙහිව යළි ප්‍රචණ්ඩත්වයට යෑම සමස්ත සමාජයේ මතයක් බවට පත්වන්නට විදියක් නැත. මෙහි තවත් පැත්තක් තිබේ. එය දකුණේ සමාජය නිර්දය ලෙස අමතක කරන පැත්තකි. එල්ටීටීඊයට මිලිටරිමය පරාජයක් අත්කරදීමෙන් පසු උතුරේ ප්‍රචණ්ඩත්වයට තුඩු දුන් ප්‍රශ්නයට පිළිතුරු ලැබුණේ නැත. එල්ටීටීඊය බිහිවීමට බලපෑ හේතුවලට පිළියම් සෙවීම දැනටමත් බොහෝ ප්‍රමාදය. රාජපක්ෂලාගෙන් එය ඉටු නොවුණි. මෛත්‍රීපාල සිරිසේනට දෙමළ ජනයා කොන්දේසි විරහිතව සහාය දුන්නේ ඔහු මීට මැදිහත්වනු ඇතැයි යන චේතනාව පෙරදැරිවය. එහෙත් විජයකලා කියන ආකාරයට ජනපතිවරයා තම පක්ෂය නමැති ගුහාවේ සිරගතවී සිටියි. විජයකලාට පමණක් නොව දකුණේ සමාජයටත් ජනපති ගැන තිබෙන විවේචනය එම සීමාන්තික බවම මිස අනෙකක් නොවේ. අප රටක් ලෙස හා ජාතියක් ලෙස වගකීම් විරහිතව ක්‍රියාකරනවා නම් අගතියට පත් ජාතියක් වෙතින් මෙවැනි ප්‍රකාශ මතුවිය හැකිය. අප කළයුත්තේ එම බලාපොරොත්තු කඩවීම ගැන ප්‍රකෝපවීම නොවේ. සංවේදීව ක්‍රියාකර අපේ වගකීම ඉටුකිරීමය.