රාවය

ගමේ දුප්පත්කම වී ගොවිතැන, මස් හා වට්ටක්කා

ගමේ දුප්පත්කම වී ගොවිතැන, මස් හා වට්ටක්කා

වික්ටර් අයිවන්

ලංකාවේ ග්‍රාමීය කෘෂිකාර්මික ප්‍රදේශ තිබෙන්නේ ඉතාමත් නොදියුණු දුප්පත් හා කාලකණ්ණි තත්ත්වයකය. එම තත්ත්වය ග්‍රාමීය කෘෂිකර්මය හා ගොවි ජනතාව නගා සිටුවීම සඳහා රාජ්‍යයට හෝ කෘෂිකර්මයට වෙන් කළ රාජ්‍ය නිලධර තන්ත්‍රයට ප්‍රායෝගික දැක්මක් නැතිකම, ග්‍රාමී ගොවි ජනතාවගේ ආචීර්ණ කල්පිත පසුගාමී ආකල්පද, වෙළෙඳපොළ බලවේගයන්ගේ දුෂ්ට ක්‍රියාකලාපයන්ද, ස්වභාව ධර්මයෙන්ද එල්ල වී තිබෙන අභියෝගයන් හා වන සතුන්ගේ ගහණයේ පාලනයක් නැතිකම නිසා වන සතුන්ගෙන් කෘෂිකර්මයට සිදුවී තිබෙන අතිවිශාල හානිද, වගා කරන ඉඩම් අනාර්ථික වන තරමට කැබලිවීම් වැනි හේතූන් ප්‍රධාන සාධක ලෙස බලපා තිබෙන්නේයැයි කිව හැකිය.

වී ගොවිතැන

මා හැමදාමත් පුන පුනා කියා තිබෙන ආකාරයට කෘෂිකර්මයේදී වී ගොවිතැන ලංකාවේ දුප්පත්කම වගා කරන හා වර්ධනය කරන වැදගත් සාධකයක් ලෙස ක්‍රියා කරයි. ලංකාව රටේ වැදගත්ම කෘෂිකාර්මික භෝගය ලෙස සලකන්නේ වී ය. කෘෂිකර්මය සඳහා වෙන් කළ ඉඩම්වලින් වැඩිම ඉඩම් ප්‍රමාණයක් වෙන්කර තිබෙන්නේද වී ගොවිතැන සඳහාය. ලංකාවේ තේ, පොල්, රබර්, වී, වෙනත් ක්ෂේත්‍ර භෝග වගාවන් හා හේන් ගොවිතැන යන භෝග වගාවේ ප්‍රධාන අංශ හය සඳහා යොදාගෙන තිබෙන මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 2084799ක් වන විට ඉන් අඩකට ආසන්න භූමි ප්‍රමාණයක් එනම් හෙක්ටයාර් 922151ක්ම යොදාගෙන තිබෙන්නේ වී ගොවිතැන සඳහාය. කුඹුරු ඉඩම් සඳහා වෙන්කර තිබෙන ඉඩම් ප්‍රමාණයෙන් ස්ථිර වශයෙන් වගා නොකරන නැතහොත් මුළුමනින් වගා කිරීමට අත්හැර තිබෙන ඉඩම් ප්‍රමාණය කොතරම්ද යන්න ගණනය කර නැතත් ඒ සංඛ්‍යාව සමහරවිට සියයට 25ක් තරම් විශාල විය හැකිය.

කුඹුරු ඉඩම් සඳහා බලපාන නීති ඉතා දරදඬුය. කුඹුරු ඉඩමේ ස්වභාවය වෙනස් කිරීමට හේතුවන ලෙස වෙනත් වගාවන්ට මාරු කිරීම නීති විරෝධී වන අතර ඒ නිසා කුඹුරු ඉඩම්වලට තිබෙන වෙළෙඳපොළ මිල ඉතාමත් පහත් තත්ත්වයක පවතී. සමහරවිට ඒවා විකිණීමේ හැකියාවක් ඇත්තේම නැති තරම්ය. කුඹුරු ඉඩම් වගා කිරීම අත්හැරීම කෙරෙහි බලපා තිබෙන හේතුද විවිධය. කරිජ්ජ වැනි හේතු නිසා වගා නොකරන කුඹුරු ඉඩම් තිබෙනවා සේ ම වී ගොවිතැනින් ලැබෙන ආර්ථික ඵලදායීතාව ඉතාමත් පහත් තත්ත්වයක පැවතීම නිසා කුඹුරු වගා කිරීම අත්හළ විශාල පිරිසක්ද සිටිති. ඉඩම අනාර්ථික වන තරමට කැබලිවීම නිසා කුඹුරු ගොවිතැන අත්හළ අයද සිටිති.

කුඹුරු ඉඩම්වලට හිමිකමක් ඇති එහෙත් කුඹුරු ගොවිතැනින් වැළකී සිටින අයට ඒ කුඹුරු ඉඩම්වලින් කිසිදු ආර්ථික ඵල ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැත. ඒවා වෙනත් කාර්යයන් සඳහා විකිණීම හෝ බදු දීමද කළ නොහැකිය. ඒ නිසා තිබෙන වැදගත් ප්‍රාග්ධනයක් කිසිදු ආර්ථික ප්‍රයෝජනයක් නොලැබෙන තත්ත්වයකින් පවත්වාගෙන යෑමට ඒවාහි අයිතිකරුවන්ට සිදුවී තිබේ. (1 සටහන බලන්න.)

1 වන සංඛ්‍යා සටහන

වගාවේ ස්වභාවය ඉඩම් ප්‍රමාණය (හෙක්ටයාර්)
1. ගෙවතු ඉඩම් 1,450,849
2. තේ 229,628
3. රබර් 207,628
4. පොල් 295,552
5. වී 922,151
6. වෙනත් ක්ෂේත්‍ර භෝග වගාවන් 146,181
7. හේන් ගොවිතැන 284,025

වී ගොවිතැනින් උපයාගත හැකි ආදායම ඉතාමත් අවමය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව කන්නයකට අක්කරයකින් උපායගත හැකි උපරිම ආදායම රු. 40,000කට වැඩි නැත. එවැනි ආදායමක් පවා උපයාගත හැක්කේ වී ගොවිතැන් කරන ගොවීන්ගෙන් ඉතාමත් සුළු පිරිසකට පමණය. වී මිලදී ගැනීම සහල් බවට පත්කොට විකිණීම යන අංශවල ක්‍රියාත්මක වන විශාල වී මෝල් හිමියන් කිහිපදෙනකුගේ ඒකාධිකාරී තත්ත්වය වී වලින් උපයාගත හැකි ආදායම තවදුරටත් සීමා කිරීමට හේතුවී තිබේ. අලි, මොනරුන්, රිලවුන් වැනි වන සතුන් වී ගොවිතැනට කරන හානිය අතිවිශාලය. වී වලට ශ්‍රමය අවශ්‍යවන්නේ වෙනත් භෝග වගාවන්ට වඩා අඩුවෙනි. කන්නයකට අක්කරයක් සඳහා ප්‍රධාන වාරිමාර්ග යටතේ වගා කරන කුඹුරු ඉඩමක නම් මිනිස් දින 21ක් හා වර්ෂා ජලයෙන් වගා කරන කුඹුරු ඉඩමක නම් මිනිස් දින 18ක් පමණය. එහෙත් අහස් දියෙන් මිරිස් වගා කරන අක්කරයක ඉඩමක එක් කන්නයක් සඳහා අවශ්‍ය මිනිස් දින ගණන 105කි. වාරි මාර්ගවලින් ජලය ලබාගන්නා රතුලූනු වගාවක් සඳහා අක්කරයකට එක් කන්නයක් සඳහා මිනිස් දින 102ක්ද, රට ලූනු සඳහා මිනිස් දින 179ක්ද, අර්තාපල් සඳහා දින 107ක්ද, බෝංචි සඳහා දින 120ක්ද, වම්බොටු සඳහා දින 134ක්ද, බීට්රූට් සඳහා දින 122ක්ද, ගෝවා සඳහා දින 137ක්ද, තක්කාලි සඳහා දින 143ක්ද, ලීක්ස් සඳහා දින 124ක්ද අවශ්‍යය. වී ගොවිතැනින් ලැබෙන අඩු ආදායම් තත්ත්වය කෙරෙහි වී ගොවිතැනට අවශ්‍ය අඩු ශ්‍රමයද වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන්නේ යැයි කිව හැකිය.

අවිචාරවත් බව

වී ගොවිතැනින් උපයන ආදායම මෙන් පස් හය ගුණයක ආදායමක් මිරිස් වගා කිරීමෙන් උපයාගත හැකිය. වී ගොවිතැන් කරන භූමියෙන් එක් අඩක වී ගොවිතැන් කරන අතර, අනෙක් අඩ මිරිස් වගා කිරීමට සුදුසු තත්ත්වයක් ඇතිකර ගනිමින් මිරිස් වගා කරන තැනකට යෑමෙන් ගොවීන් උපයන ආදායමේ සැලකිය යුතු වර්ධනයක් ඇති කරගත හැකිය. ලංකාවේ මිරිස් අවශ්‍යතාවන්ගෙන් සියයට 85ක්ම ලබාගන්නේ පිටරටින් ආනයනය කිරීමෙනි. වී ගොවිතැනට මුළු බර යොදන ක්‍රමයෙන් ඉවත් වී ලංකාවට අවශ්‍ය මිරිස් ලංකාවේම නිපදවා ගන්නා තැනකට යෑමෙන් හා ඒ සඳහා යොදා ගන්නා ඉඩම්වලින් කිසියම් පංගුවක් කුඹුරු ඉඩම් යොදා ගැනීමෙන් ගොවීන් උපයන ආදායම්වල සැලකිය යුතු වර්ධනයක් ඇති කළ හැකිය. තමන්ට තෝරා ගැනීමට තිබෙන වගාවන්ගෙන් වැඩිම ආදායමක් උපයාගත හැක්කේ කුමන දේවල් කිරීමෙන්ද යන්න ගැන තුළනාත්මකව කරුණු සලකා බැලීමේ නුවණක් වී ගොවීන්ට ඇති බවක් පෙනෙන්නට නැත. ඒ සඳහා ගොවීන්ට මගපෙන්වන ක්‍රමයක් රජයට තිබෙන බවක්ද පෙනෙන්නට නැත. (2 සටහන බලන්න.)

2 වන සංඛ්‍යා සටහන

තෝරාගත් වගාවන් කිහිපයක්
නිෂ්පාදන වියදම හා ආදායම (අක්කරයක් සඳහා)                                              නිෂ්පාදන වියදම                                                     ආදායම
(රු.) (රු.)
1. වී (වියළි කලාපය – වාරිමාර්ග යටතේ)                                                           46,705.00                                                       40,695.00
2. වී (වියළි කලාපය – අහස් දියෙන්)                                                                   42,719.00                                                        26,981.00
3. මිරිස් (අනුරාධපුර – අහස් දියෙන්)                                                                  141,995.00                                                       208225.00
4. රතුලූනු (පුත්තලම – වාරි මාර්ග යටතේ)                                                         218,812.00                                                      141,188.00
5. ලොකු ලූනු (මාතලේ වාරිමාර්ග යටතේ)                                                         271,257.00                                                     448,763.00
6. මුං ඇට (මොනරාගල – අහස් දියෙන්)                                                              63,478.00                                                       32,522.00
7. කව්පි (මොනරාගල – අහස් දියෙන්)                                                               58,471.00                                                            35249.00
8. අර්තාපල් (බදුල්ල – වාරිමාර්ග යටතේ)                                                           293,218.00                                                       346,782.00
9. බතල (මාතලේ වාරිමාර්ග යටතේ)                                                                 103,532.00                                                          112468.00
10. මඤ්ඤොක්කා (ගම්පහ – අහස් දියෙන්)                                                       519,24.00                                                              268076.00
11. බෝංචි (බදුල්ල – වාරිමාර්ග)                                                                      162,812.00                                                              283,188.00
12. වම්බටු (අනුරාධපුරය – වාරිමාර්ග)                                                            212,769.00                                                                93,231.00
13. ගෝවා (නුවරඑළිය – වාරි මාර්ග)                                                                209,938.00                                                             270052.00
14. කැරට් (බදුල්ල – වාරි මාර්ග)                                                                       202,677.00                                                             452,020.00
15. තක්කාලි (බදුල්ල – වාරි මාර්ග)                                                                190,235.00                                                               313,765.00
16. වට්ටක්කා (මොනරාගල – අහස් දියෙන්)                                                   78,000.00                                                                     101424.00

ලංකාව භෝග වගාවේදී වී වලට අතිවිශාල වැදගත්කමක් ලබාදී තිබෙනවා සේ ම ලංකාවේ ආහාර රටාවේද බත්වලට අතිවිශේෂ වැදගත්කමක් ලබාදී තිබේ. ලංකාවේ ප්‍රධාන ආහාරය බත් වන අතර තුන්වේලටම බත් කෑම ලොකු නම්බුවක් ලෙස සලකන සම්ප්‍රදායක්ද පවතී. ආහාර වේලේ බත්වල අනුපාතිකය ඉහළ අගයක් ගනී. ලොකු බත් පිඟානක් සමග ගම්බද ජනයා කන්නේ එක එළවළු හොද්දකි. මාංසජනක ආහාරවලට ලැබී තිබෙන්නේ ඉතා නොවැදගත් ස්ථානයකි. මුහුදු මාළුවලට සාපේක්ෂව වැව් මාළුවල මිල ඉතා අඩුය. ග්‍රාමීය ජනතාවට ප්‍රෝටීන් සම්පාදනයේදී වැව් මාළු ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එහෙත් ග්‍රාමීය ජනතාව අතර ප්‍රෝටීන් ඌනතාව ඉතා ඉහළ මට්ටමක පවතී. පැරණි කාලයේදී දඩයමක් කළ විට දඩයම් කළ සතාගේ මස් ගමේ නිවැසියන් අතර බෙදාගන්නා ක්‍රමයක් ක්‍රියාත්මක වූ අතර පන්සලේ කොටස පන්සලට යවන ක්‍රමයක්ද ක්‍රියාත්මක විය.
වන සතුන්ගේ අධික ගහණයෙන් කෘෂිකර්මයට සිදුවී තිබෙන විනාශය අතිවිශාලය. ග්‍රාමීය ජනයා අතර මන්දපෝෂණය හා රක්තහීනතාව ඉහළ අගයක් ගනී. මන්දපෝෂණයේදී දැන් ලංකාව තිබෙන්නේ ආසියාවේ අංක එකටය. කෘෂිකර්මයට හානි කරන වන සතුන් දඩයම් කිරීමට ඉඩදීමෙන් හා උන්ගේ මස් ළඟ තබා ගැනීමට හා විකිණීමට ඉඩදීමෙන් වන සතුන්ගෙන් කෘෂිකර්මයට සිදුවන අතිවිශාල හානිය අවම කළ හැකිවා සේ ම ග්‍රාමීය ජනතාව අතර පවත්නා ප්‍රෝටීන් ඌනතාව පිළිබඳ ගැටලුවටද එය හොඳ විසඳුමක් වනු ඇත්තේය. ඊට අතිරේකව දඩයම ගම්වලට ආදායම් ගලා එන වැදගත් මාර්ගයක් බවට පත් කළ හැකිය.

රජයේ වනාන්තරවල සිටින වල් සතුන් මැරීමට ඉඩදිය යුතු නැතත්, ගම්වල ජීවත්වෙමින් කෘෂිකර්මයට හානි කර වන සතුන් දඩයම් කිරීමේ අයිතිය මහජනයාට ලබාදිය යුතුය. අප දන්නා අතීතයේදී පවා ගම්වල වඳුරු මස් ආහාරයට ගන්නා අය සිටියේය. මිනිස්සු තලගොයි මස් ආහාරයට ගත්හ. ඉත්තෑ මස්ද ආහාරයට ගත්හ. මොනර මස් සලකන ලද්දේ ප්‍රණීත දඩ මසක් වශයෙනි. අදත් වල් ඌරු මස්වලට මිනිසුන් අතර ලොකු ගිජුකමක් පවතී. පව් පින් ගැන අතීතයේදී නොතිබුණු වර්තමානයේ දකින්නට තිබෙන සීමාන්තික අදහස්වලින් අත් මිදී කෘෂිකර්මයට හානි කරන වන සතුන් දඩයම් කිරීමේ අයිතිය හා දඩමස් ළඟ තබා ගැනීමේ ප්‍රවාහනය කිරීමේ හා විකිණීමේ අයිතිය ලබාදීම මගින් දඩයමට කැමති කිසියම් ජනතාවකට දඩයම හොඳ ජීවන මාර්ගයක් බවට පත්කිරීමේ හැකියාව තිබෙනවා සේ ම වන සතුන්ගෙන් කෘෂිකර්මයට සිදුවන හානි අවම කරගන්නා අතර ග්‍රාමීය ප්‍රදේශවල බහුලව දක්නට තිබෙන ප්‍රෝටීන් ඌනතාව පිළිබඳ ප්‍රශ්නයටද ඒ මගින් විසඳුමක් සොයාගත හැකිය. රටේ මාංශජනක ප්‍රෝටීන් ආහාර ඕනෑවටත් වඩා තිබියදී රටේ ප්‍රෝටීන් ඌනතාව පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් තිබේ නම් එය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

ඉන්දියාව සැලකෙන්නේ හරක් මස් නොකන හින්දු රටක් ලෙසය. එහෙත් හරක් මස් අපනයනයේදී ඉන්දියාව හිමිකරගෙන සිටින්නේ ලෝකයේ පළමුවැනි ස්ථානයයි. 2014 වසරේදී ඉන්දියාව අපනයනය කළ හරක් මස් ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 2087000ලි. එය ලෝක හරක් මස් අපනයනයෙන් සියයට 20කි. ඉන් උපයන ලද ආදායම ඩොලර් මිලියන 4781.18කි. බෞද්ධ රටවල් අතර අඩුවෙන්ම මස් අනුභව කරන රට ලෙස සැලකිය හැක්කේද ශ්‍රී ලංකාවය. (3 සටහන බලන්න.)

3 වැනි සටහන

ඒක පුද්ගල මස් පරිභෝජනය                                                 බෞද්ධ රටවල් 2014 (වසරකට කිලෝ)
ශ්‍රී ලංකාව                                                                                                       6.3
කාම්භෝජය                                                                                                 16.6
මියන්මාරය                                                                                                  28.3
වියට්නාමය                                                                                                  49.9
තායිලන්තය                                                                                                 25.8
ජපානය                                                                                                        45.9

ලංකාවේ අන් සියලු දේට වඩා වැඩියෙන්ම කන්නේ බත්ය. ඒ නිසා ලංකාවේ දියවැඩියා රෝගීන්ගේ අනුපාතිකය ඉහළම තත්ත්වයක පවතී. මස් පරිභෝජනයේදී බෞද්ධ නොවන රටවලට පමණක් නොව බෞද්ධ රටවලට සාපේක්ෂවද ලංකාව ඉන්නේ ඉතා පහළ තත්ත්වයක වුවත් මාළු පරිභෝජනයේදී ලංකාව සිටින තත්ත්වය අයහපත් නැත. ඒක පුද්ගල මාළු පරිභෝජනයේදී මාළු පරිභෝජනය නොකඩවා වර්ධනය වන තත්ත්වයක් ලංකාව හිමිකරගෙන සිටින්නේ යැයි කිව හැකිය. (4 සටහන බලන්න.)

4 වැනි සටහන

ඒක පුද්ගල මාළු පරිභෝජනය                                                      රටවල් අනුව කිලෝ (2016)
ලංකාව                                                                                                         46.7
මාලදිවයින                                                                                                 166.0
මැලේසියාව                                                                                                 58.8
දකුණු කොරියාව                                                                                          58.3
ජපානය                                                                                                        53.7
මියන්මාරය                                                                                                  52.3
කාම්භෝජය                                                                                                35.16

මාංශ අනුභවය හා බුද්ධාගම

මස් කෑම පාපයක් ලෙස සලකන එකම බෞද්ධ රට ලෙස සැලකිය හැක්කේ ලංකාවය. මියන්මාරය, ටිබෙටය, කාම්භෝජය, වියට්නාමය හා තායිලන්තය වැනි රටවල් මස් කෑම පාපයක් ලෙස සලකන්නේ නැතිවා පමණක් නොව, ඒ රටවල් මස් පරිභෝජනයට අනුබල දෙන ප්‍රතිපත්තියක් පවත්වාගෙන යති. මියන්මාරයේ භික්ෂූන් වහන්සේලා සුලබ ලෙස ඌරු මස් වළඳන බව ප්‍රකාශ කර ඇත්තේ රේරුකාණේ චන්දවිමල හිමියන්ය. මෙම විෂය පිළිබඳව මට සැදැහැවත් භික්ෂූන් වහන්සේ කෙනකුගෙන් අසන්නට ලැබුණු තොරතුරු සමහරක් මෙසේය.

පිරිනිවන් පෑමට සූදානම් වූ බුදුන් වහන්සේ අවසන් වරට වැළඳූ දානය ඉතා ළපටිද නොවූ තරුණද නොවූ සූකරයකුගේ මෘදු හා සිනිදු වූ මාංශයකින් පිළියෙළ කරන ලද්දක් බව පරිනිබ්බාණ සූත්‍ර විවරණයේ සඳහන් වේ. මළ බද්දෙන් පෙළෙන භික්ෂුවකට සූකර මාංශ වැළඳීමට බුදුන් වහන්සේ උපදෙස් දුන් පුවතක් විනය පිටකයෙහි සඳහන් වේ. භික්ෂුන් දිවි හිමියෙන් මාංශ නොවැළඳිය යුතු බව දේවදත්ත හිමියන් පැවසූ විට එම මතය බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කොට කැමති අය වළඳන ලෙසත්, අකමැති අය අත්හරින ලෙසත් බුදුන් වහන්සේ වදාළ බව විනය පිටකයෙහි සඳහන් වේ.

මස්කෑම පාපයක් වේ යැයි කියන අධානග්‍රාහී මතය අත්හැරීමට ලංකාවට හැකි නම් එය ලංකාවේ දියුණුව කෙරෙහි ඇති කරන බලපෑම අතිවිශාලය. වල් ඌරන්, ඉත්තෑවුන්, දඬුලේනුන්, වඳුරන්, රිළවුන්, මොනරුන් වැනි වන සතුන්ගේ ගහණයෙහි ඇතිවී තිබෙන අතිවිශාල වර්ධනය හා එම තත්ත්වය කෘෂිකර්මය කෙරෙහි ඇති කර තිබෙන අතිවිශාල හානිය විසඳාගත නොහැකි පුපුරනසුලු ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ එම වැරදි මතය නිසාය. කිරිපිටි ආනයනය සඳහා ඩොලර් මිලියන 400ක් වැනි විශාල මුදලක් වැය කරන්නට සිදුවී තිබෙන තත්ත්වය වළකා කිරිවලින් රට ස්වයංපෝෂිත කරගැනීමට තිබෙන හැකියාව නැති කිරීමට හේතුවී තිබෙන්නේද ඒ නිසාය.

නො වපුරා අත්හැර තිබෙන විශාල කුඹුරු ප්‍රමාණයෙන් කොටසක් විශාල තණබිම් බවට පත් කළ හැකිය. ඒ මගින් ඒ කුඹුරු ඉඩම්වල කිරි හරකුන් ඇති කරන තත්ත්වයක් ඇති කළ හැකිය. ඒ මගින් කිසිදු ඵලදායී ආර්ථික ක්‍රියාකාරීත්වයකින් තොරව පවත්වාගෙන යන එම ඉඩම් ආර්ථික වශයෙන් ඵලදායී ඉඩම් බවට පත් කළ හැකිය. ලංකාවට සාර්ථක ගව පට්ටි පාලනයකට යා නොහැකි වී තිබෙන්නේ මස් පිණිස හරක් ඇති කිරීම පාපයක් වේ යැයි කියන ජනප්‍රිය විශ්වාසය නිසාය. හරක් කිරි සඳහා පමණක් ඇති කිරීම අනාර්ථික වන අතර, ගව පට්ටි පාලනය ආර්ථික වශයෙන් ඵලදායී වන්නේ හරක් කිරිවලට අතිරේක වශයෙන් මස් පිණිසද ඇති කරන්නේ නම් පමණය.

ලංකාවේ කිරි හරකුන්ගේ සාමාන්‍ය ඵලදාව තිබෙන්නේ දිනකට කිරි ලීටර් 2ක තත්ත්වයකය. එය ප්‍රදේශ අනුව වෙනස් වන අතර නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා ලීටර් 10ක්ද, මහනුවර දිස්ත්‍රික්කය සඳහා ලීටර් 05ක්ද, මාතලේ දිස්ත්‍රික්කය සඳහා ලීට් 03ක්ද, වේ. නවසීලන්තය හා ඕස්ටේ්‍රලියාව වැනි රටවලින් කිරි හරක් තොග වශයෙන් ආනයනය කරන තැනකට නොගොස් දිනකට කිරි ලීටර් 10ක් දොවාගත හැකි විශේෂ හරක් ප්‍රභේදයක් ලංකාව සඳහා ඇති කරගත හැකි නම් හා ගව පට්ටි පාලනය කිරි සඳහා පමණක් නොව මස් සඳහාද කරන දෙයක් බවට පත් කළ හැකිනම් ගවපට්ටි පාලනය ආර්ථික වශයෙන් ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කළ හැකිය. දැනට එම අංශය සඳහා ප්‍රමාණවත් තරමින් ආයෝජන ගලා නොඑන්නේ කිරි සඳහා පමණක් හරක් ඇති කිරීම කිසිසේත්ම ලාභදායී නොවන නිසාය. මස් කෑම පාපයක්ය කියන හැඟීම ලංකාවේ මන්දපෝෂණය හා රක්තහීනතාව වර්ධනය කරන බලවත් සාධකයක් ලෙස ක්‍රියා කරයි. එය ජාතියේ පෝෂණය දුර්වල කොට රෝගී ජාතියක් ඇති කිරීමට හේතුවී තිබේ. සමාජය මත ආරෝපණය කර තිබෙන මෙම වැරදි මතය වෙනස් කිරීමට ඉදිරිගාමී අදහස් දරන භික්ෂූන් වහන්සේලා පෙරමුණ ගත යුතුය. ග්‍රාමීය ගොවි ජනතාව අතර රජ කරන දුප්පත්කම කෙරෙහි මාංශ අනුභවය පාපයක් යැයි කියන ජනප්‍රිය ආකල්පය බලපා තිබෙන අතර එම තත්ත්වය ග්‍රාමීය ප්‍රදේශවල තිබෙන පන්සල්වල අඩු දියුණුව හා දුප්පත්කම කෙරෙහි බලපා තිබේ.
එළුමස් කිලෝවක මිල රුපියල් 2000කට වඩා වැඩිය. එළුවකු ජීව බරට මිලදී ගන්නේ කිලෝවක් රුපියල් 1800කට වැනි මිලකටය. උසස් ගණයේ ආපනශාලාවල පවා එළුමස් කියා විකුණන්නේ ආනයනය කළ බැටළු මස්ය. එළු පට්ටි පාලනය දියුණු කළ හැකි කෘෂිකාර්මික ව්‍යාපාරයකි. දිනකට කිරි ලීටර් එකක් පමණ කිරි ලබාගත හැකි විශේෂ එළු ප්‍රභේද තිබෙන්නේය. මස් පිණිස හා කිරි පිණිස එළුවන් ඇති කිරීම ලාභදායී ග්‍රාමීය කර්මාන්තයක් බවට පත් කළ හැකිය. එළුවන් හැම කොළ වර්ගයක්ම පාහේ ආහාරයට ගන්නා නිසාත් ඔවුන්ගේ වර්ධනය ශීඝ්‍ර වන නිසාත් අඩු ආදායම් ලබන ග්‍රාමීය ජනයා විශාල ආරම්භක ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවන එළුවන් ඇති කරන තැනකට යොමු කළ හැකිය.

ලංකාවේ සමෘද්ධි ආධාර ක්‍රමය ක්‍රියාත්මක වන්නේ දුප්පත් ජනයා දුප්පත්කමෙන් මුදාගැනීම සඳහා නොව ඔවුන් දුප්පත්කමේ තබා ගනිමින් ඔවුන්ගේ ඡන්ද ලබාගැනීම සඳහාය. දුප්පතුන්ට ආධාර කළයුත්තේ දෛනික පරිභෝජන අවශ්‍යතාවන් සඳහා නොව ඔවුන් ආර්ථික මාර්ගවලට යොමු කිරීම සඳහාය. සමෘද්ධිලාභීන්ට මාසිකව ලබාදෙන ආධාර මුදල ඒ සඳහා යන වාර්ෂික වියදම හෝ දෙවාර්ෂික වියදම ඵලදායී ආර්ථික ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා එකවර ලබාදෙන ක්‍රමයක් ඇති කොට ඒවා ආර්ථික මාර්ගවලට යොමු කිරීමෙන් ඔවුන් අතර තිබෙන දුප්පත්කම නැති කළ හැකිය. ඔවුන් ආත්ම ගෞරවයෙන් යුතු මනුෂ්‍ය කොට්ඨාසයක් බවට පත් කළ හැකිය. දුප්පතුන්ට දිය යුත්තේ කන්න අවශ්‍ය මාළු නොව මාළු අල්ලා ගැනීමට අවශ්‍ය බිලී පිතිය. එය සමෘද්ධියේ දර්ශනය බවට පත් කළ යුතුය.

වගා නොකර අත්හැර තිබෙන සමහර කුඹුරු ඉඩම් ඉස්සන් ඇති කරන ඉස්සන් ගොවිපොළවල් බවට පත් කළ හැකිය. ඉස්සන් වගාවෙන් ලැබෙන ප්‍රතිලාභ අනුපාතිකය ඉහළ මට්ටමක පවතී. වගා කිරීමෙන් වැළකී සිටින කුඹුරු ඉඩම් ඉස්සන් ඇති කරන ගොවිපොළවල් බවට පත් කරන වැඩසටහනක් සඳහා රජයට අනුබල දිය හැකිය. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස්ද, පැටවුන් හා ණය ආධාර ලබාදෙන ක්‍රමද ඇති කළ හැකිය. වගා නොකරන කුඹුරු ඉඩම් අක්කර ලක්ෂ ගණනක් කිසිදු ආර්ථික ඵල ප්‍රයෝජනයක් ලබානොගන්නා කුඹුරු ඉඩම් වශයෙන් තිබීම රටේ යහපතට සේ ම ගමේ යහපතටද හේතුවන්නේ නැත. ඒ සියලු කුඹුරු ඉඩම් පහත් බිම් වශයෙන් තබාගන්නා අතර ආර්ථික වශයෙන් ඵලදායී කාර්යයක් සඳහා යොදා ගන්නා තැනකට යා යුතුය.

වගා නොකර අත්හැර තිබෙන ඉඩම්වල වර්ධනයට වන සතුන්ගෙන් එල්ල වන තර්ජනද වැදගත් හේතුවක් ලෙස බලපා තිබේ. නිතර නිතර වල් ඌරන්ගේ ආක්‍රමණවලට ගොදුරු වන ඉඩම් ගොවීන් වගා කරන්නේ නැත. වන සතුන්ගෙන් එල්ල වී තිබෙන තර්ජනය ඉවත් කිරීමෙන් පමණක් වුවද වගා කරන ඉඩම් ප්‍රමාණයේ ලොකු වර්ධනයක් ඇති කළ හැකිය. ඒ මගින් පමණක් කෘෂිකර්මයෙන් ගොවීන් උපයන ආදායම්වලද ලොකු වර්ධනයක් ඇති කළ හැකිය.

කර්මාන්ත හා කෘෂිකාර්මික ව්‍යාපාර අතර අන්‍යොන්‍ය අවබෝධයෙන් වැඩ කරන තත්ත්වයක් ඇති කිරීමෙන්ද කෘෂිකර්මයේ ලොකු දියුණුවක් ඇති කළ හැකිය. ලින්ක් නැචුරල් සමාගම එම කර්මාන්තයට අවශ්‍ය පත්පාඩගම් ඉන්දියාවෙන් ආනයනය කළේය. එම අවශ්‍යතාව ලංකාවෙන් ලබාගැනීම සඳහා ඔහු ලංකාවෙන් ප්‍රදේශ කිහිපයක් තෝරාගෙන අවශ්‍ය පත්පාඩගම් ලංකාවේ ගොවීන් ලවා වවා ගැනීමට උත්සාහ කළේය. ඒ සඳහා දකුණේ දරන ලද උත්සාහයන් අසාර්ථක වූ විට පත්පාඩගම් වැවිය හැකි සුදුසු භූමි කලාපයක් උතුරේ ඇති බව සොයා ගත්තේය. ඒ වනවිටත් යාපනේ පලෛ ප්‍රදේශයේ ගොවීන් පත්පාඩගම් වවන ලද අතර පත්පාඩගම් කිලෝවක් සඳහා ගොවීන්ට ලැබුණු මිල රුපියල් 650ක් වීම නිසා හා ඒ මිල නිෂ්පාදන මිලට සමාන වීම නිසා ගොවීහු පත්පාඩගම් වැවීමට උනන්දුවක් නොදැක්වූහ. රසායන විද්‍යාඥයකු වූ ලින්ක් නැචුරල් සමාගමේ හිමිකරුවා ඉන්දියාවෙන් ආනයනය කිරීම සඳහා යන වියදම ගණන් බලා නිපදවන පත්පාඩගම් කිලෝවක් සඳහා ගොවීන්ට ගෙවන මිල රුපියල් 2000ක් කළේය. ඒ සමග එම ප්‍රදේශයේ පත්පාඩගම් වැවීම ජනප්‍රිය භෝග වගාවක් බවට පත්විය. ඒ මගින් ඉන්දියාවට ගලා ගිය විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකිවූවා පමණක් නොව එම පලෛ ප්‍රදේශයේ පත්පාඩගම් වැවීම හොඳ ආදායම් උපයාගත හැකි භෝග වගාවක් බවට පත්කිරීමටද හේතුවිය.
මං ලංකාවේ බියර් නිෂ්පාදකයකු සමග කරන ලද කතාබහකදී වරකාවලින් බීර, සයිවර්, වයින් හෝ පලතුරු බීමක් නිපදවිය හැකි දැයි සොයා බලන ලෙස ඉල්ලා සිටියෙමි. ඒ සඳහා කරන පර්යේෂණයක් ආරම්භ කිරීමට ඔහු එකඟ විය. කොස් කෑමට ලංකාවේ අලුත් නැඹුරුවක් ඇතිවී ඇතත්, තවමත් ප්‍රයෝජනයට නොගෙන විනාශ වන කොස්වල ප්‍රමාණය සමස්ත කොස් නිෂ්පාදනයෙන් සියයට 75ක් පමණ විය හැකිය. වරකාවලින් බීර හෝ සයිවර් නිපදවිය හැකිනම් එසේ අපතේ යන කොස්වලින් විශේෂ කර්මාන්තයක් ආරම්භ කළ හැකිය. මගේ එම කතාව පුනරුදයට වැඩ කරන කෘෂි විද්‍යාඥයකු වන දංකොටුවේ ජයසිරි සමග ප්‍රකාශ කළ විට වරකාවලට වඩා වට්ටක්කා බීර නිපදවීම සඳහා සාර්ථක ලෙස යොදාගත හැකි අමුද්‍රව්‍යයක් බව කීවේය. මා බීර නිෂ්පාදකයාට ඒ බව කී විට එම යෝජනාවට ඔහු එක හඬින් කැමති විය. තාක්ෂණ කාරණා සැලකිල්ලට ගත්විට බීර නිෂ්පාදනයේදී වරකාවලට වඩා වට්ටක්කා සාර්ථක අමුද්‍රව්‍යයක් විය හැකි බව ඔහුගේද මතය විය. දැන් ඒ සඳහා සාකච්ඡා කෙරෙමින් තිබෙන අතර ඒ සඳහා කෙරෙන පර්යේෂණ සාර්ථක වුවහොත් වට්ටක්කාවලින් බීර නිපදවන ලොකු කර්මාන්තයක් ලංකාවේ බිහිවනු ඇත. ඒ මගින් වට්ටක්කාවලට ගොවීන්ට හොඳ ස්ථිර මිලක් ලබාගැනීමට හැකිවනු ඇතිවා සේ ම වට්ටක්කා තොග ගණනින් විසි කරන යුගය අවසන් වී වට්ටක්කා වගාව වට්ටක්කා වගා කරන ගොවීන්ට හොඳ ආදායම් ලබාදෙන ජීවන මාර්ගයක් බවට පත්කිරීමටද හේතුවනු ඇත.

මා මේ මෑතකදී පිළිකා රෝගය පිළිබඳව බටහිර විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් කරන ලද පර්යේෂණයක නිගමන අළලා සකස් කළ වීඩියෝ පටයක් නැරඹුවෙමි. එම විද්‍යාඥයන් එහි කියා තිබුණේ පිළිකා රෝගය පහසුවෙන් පාලනය කළ හැකි රෝගයක් බවය. එම රෝග තත්ත්වයන් පාලනය කිරීමට යොදාගත හැකි හොඳ ප්‍රතිකර්මයක් ලෙස ඔවුන් නිර්දේශ කර තිබුණේ වරකාය. වරකා ආහාරයට ගැනීමෙන් සෛල මැරීම පාලනය කළ හැකි බව එහි පළවී තිබූ මතය විය. එහි කිසියම් හෝ සත්‍යයක් තිබේ නම් ඉදුණු වරකා කල්තබා ගත හැකි පරිදි ටින් හෝ බෝතල් කොට අපනයනය කිරීම සඳහා වන කර්මාන්තශාලාවක් ලංකාවේ දක්ෂ ව්‍යාපාරිකයකුට ආරම්භ කළ හැකිය. ඒ මගින් හොඳ විනිමය ආදායමක් උපයාගත හැකි වනු ඇතිවා සේ ම ඒ ඒ මගින් ලංකාවේ ගස් යට වැටී විනාශ වන කොස්වලට ලොකු ආර්ථික වැදගත්කමක් ලබාදීමටද හේතුවනු ඇත.