පොලිසියේ හොරා පොලිස්

නිමල් අබේසිංහ

සාමය හා නීතිය ආරක්ෂා කිරීම පොලිසියෙත් අපේක්ෂා කරන මුඛ්‍ය පරමාර්ථය වේ. එහිදී අපරාධ, වංචා, දූෂණ වැනි නීතිය කඩකිරීම් පිළිබඳව සොයා බලා වැරදිකරුවන් අධිකරණය ඉදිරියට පමුණුවා වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීමට කටයුතු කිරීම පොලිසියට පැවරෙන්නේ නිතැනිනි. එවන් ආයතනයක තනතුරකට බැඳීමේදී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණු පුද්ගලයකුගෙන් නීතිය ක්‍රියාවේ යෙදවීම අකුරටම ඉටුවේයැයි අපේක්ෂා කිරීමටද නොහැකිය. එලෙසින්ම එවැන්නකුගෙන් තමන් යටතේ සිටින නිලධාරීන්ට මෙන්ම සම තත්ත්වයේ සිටින නිලධාරීන්ට වුව යහපතක් සිදුවේයැයිද සිතිය නොහැකිය.

මෙකී පූර්විකාව සනාථ කරවන කතාවකත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් අසන්නට ලැබේ. ඇඟිල්ල දිගුවන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ වැඩබලන නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා වෙතය. චෝදනා ඉදිරිපත් කරනුයේ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, පොලිස් අධිකාරී නිහාල් තල්දූව හා සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්නද අල්විස් යන පිරිසය.නාලකද සිල්වා පොලිස් දෙපාර්තමේන්තුවට බැඳී ඇත්තේ ව්‍යාජ සහතික ඉදිරිපත් කිරීමෙන් මෙන්ම අවශ්‍ය අධ්‍යාපනික සුදුසුකම් රහිතව සේ ම අවශ්‍ය ශාරීරික පරීක්ෂණයද රහිතව බව මේ පිරිස පොලිස් කොමිසමේ සභාපතිවරයාට ලිඛිතවම පැමිණිලි කර ඇත.

ඒ අනුව නාලකද සිල්වා සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස පොලිසියට බැඳීමේදී අවශ්‍ය මූලික ශාරීරික යෝග්‍යතාව වන අඩි 5 අඟල් 6ක උස ප්‍රමාණයෙන් යුක්ත නොවූවෙකි. ඒ බැව් ඔහු පොලිසියට බැඳීමේදී ඉදිරිපත් වූ සම්මුඛ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ය. එහි සඳහන්වන්නේ ඔහුගේ උස අඩි 5 අඟල් 5 1/2ක් බවය. එසේ නමුත් ඔහු ඉදිරිපත් වූ දෙවැනි සම්මුඛ පරීක්ෂණයේදී උස අඩි 5 අඟල් 6ක් බව සඳහන්ව ඇත. පැමිණිලිකරුවන් තර්ක කරනුයේ මේ බව ඔහුගේ වත්මන් උස මැනීමෙන් සනාථ කරගත හැකි බවය.
ඔවුන් පවසන ආකාරයට නාලක ද සිල්වා අපොස සාමාන්‍ය පෙළ අංක ගණිතයට සහ සිංහල භාෂාවට සම්මාන සහිතව සමත් වී නැත. අපොස උසස් පෙළද සමත්ව ඇත්තේ වාණිජ විෂය ධාරාවෙන් විෂයයන් දෙකක් පමණි. මේ සුදුසුකම උප පොලිස් පරීක්ෂක තනතුරක් ලබාගැනීමට වුව ප්‍රමාණවත් නොවන්නකි. ඊළඟට ඔවුන් දැඩි ලෙස සැකයට බඳුන් කරනුයේ ඔහුගේ උපාධි සහතිකයය. ඇත්තේ BBMC  ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ දෙවන පෙළ) උපාධි සහතිකයකි.

එම සහතිකය ලබාගෙන ඇත්තේ බැංගලෝරයේ National First Grade College  නම් ආයතනයෙනි. එහි ලිපිනය වනුයේ  No 458/23 Hennur Cross, St Thomas Town Bangalore-560084 යන්නය. මෙවැනි විශ්වවිද්‍යාලයක් ඉන්දියාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ලියාපදිංචි වී නැති බවත් ඒ බව එම කොමිසමේ වෙබ් අඩවිය වන www.ugc.ac.in වෙබ් අඩවිය පිරික්සීමේදී නොමැති බවද සඳහන්ය. උක්ත බැංගලෝර් විශ්වවිද්‍යාලය පිළිබඳව අපද අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කර බලන විට එවැන්නක් සොයාගත නොහැකි විය. මේ වනවිට එම ලිපිනයේ ඇත්තේ Indian Academy College

නම් ආයතනයකි. මෙම කරුණු අනුවත් සැක පහළ වන්නේ නාලකද සිල්වා ඉදිරිපත් කර ඇති උපාධි සහතිකය ව්‍යාජ උපාධි සහතිකයක්ද යන්නය. එලෙසම පොලිස් දෙපාර්තමේන්තුවට සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස බැඳී උපාධියට අමතරව වෙනත් ඩිප්ලෝමා හෝ පශ්චාත් උපාධි ලබා නොගෙන නියෝජ්‍ය පොලිස්පති ධුරයකට පත්වූ එකම නිලධාරියා ඔහු බවද උක්ත ලිපියේ සඳහන් කර ඇත. මෙයට අමතරව වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා සාවද්‍ය තොරතුරු මාධ්‍යයට සපයන්නකු බවද එම ලිපියේ අන්තර්ගතය.

නාලක ද සිල්වාගේ කල්කිරියාව සම්බන්ධයෙන් විවිධ පොලිස් නිලධාරීන්ගෙන් විමසූ විට ඔවුන් පැවසුවේ නාලක ද සිල්වා සිය යටත් නිලධාරීන්ට ඉතා අමානුෂික ලෙස සලකන නිලධාරියකු බවය. ඔහු එසේ කරනුයේ එම නිලධාරීන් වැරදි කිරීම නිසා නොවන බවත් දැනගන්නට හැකිවිය. එනිසාම ඔහු යටතේ සේවය කළ ඇතැම් නිලධාරීන් ස්ථාන මාරු ලබාගෙන යෑම හෝ ස්වකැමැත්තෙන් විශ්‍රාම ගොස් ඇති බවටද දැනගත හැකිවිය. මේ අනුව ඔහුගෙන් අගතියට පත් නිලධාරීන් පිරිස සියයද ඉක්මවන බව කියැවේ. ඒ අතරේ ඇතැම් නිර්භීත නිලධාරීන් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගවලට පවා එළැඹ තිබේ. ප්‍රධාන පොලිස් පරීක්ෂක ලාල් ගමගේ හා කාන්තා උප පොලිස් පරීක්ෂිකා සුරංජිතා එබඳු අයය. ඒ අතරේ අප නොදන්නා තවත් අයද සිටිය හැකිය.
පොලිස් කොමිසමේ සභාපතිවරයාගෙන් මේ ගැන විමසීමට උත්සාහ කළත් ඔහු රැස්වීමක සිටින බව පැවසූ නිසා එම උත්සාහය අසාර්ථක විය.