විස්ස නිසා නව ව්‍යවස්ථාව යළි මතු වුණා – ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක

සංවාදය – ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

ඔබේ සභාපතිත්වයෙන් යුතු වූ මහජන අදහස් ලබාගැනීමේ කමිටුවේ රාජකාරි ඉවර වෙලා දැන් අවුරුදු දෙකකටත් වැඩි කාලයක්. ඒත් අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කාර්යය තවම මැදක්වත් ඇවිත් නෑ?

ව්‍යවස්ථා සම්පාදන වැඩපිළිවෙළ මේ වන විට අවුරුදු තුනකට කිට්ටු කාලයක ඇවිත් තියෙනවා තමයි. ඔබ කිව්වා වගේ අපේ කමිටුව පත් කළේ දෙදහස් දාසයේ ජනවාරි මාසයේ. දෙදහස් දාසයේ මැයි මාසෙ දහවැනිදා වෙනකොට අපේ වැඩකටයුතු ඉවර කරලා පිටු තුන්සිය ගාණක වාර්තාවක් අපි ඉදිරිපත් කළා.
ඉන් පස්සෙ දෙදහස් දාසයේ මාර්තු නමවැනිදා පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කරගත්තා යෝජනාවක්. ඒ මුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාම ව්‍යවස්ථා සභාවක් ලෙස කටයුතු කරමින් ශ්‍රීලංකාවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අරං එන්න ඕනෙ කියලා.ඒ ව්‍යවස්ථා සභාවේ තීරණයක් අනුව එම ක්‍රියාවලියට නායකත්වය දෙන්ඩ විසි එක් දෙනෙක්ගෙන් යුත් මෙහෙයුම් කාරක සභාවක් පත් කරගත්තා. එහි නායකත්වය අගමැති තුමාට හිමි වුණා. අද වන විට මෙහෙයුම්කාරක සභාව හැත්තෑ අටවතාවක් රැස්වෙලා තියෙනවා. පහුගිය ජනවාරි වන විට මෙහෙයුම් කාරක සභාව ව්‍යවස්ථා සභාවට සාකච්ඡා කරන්න මූලික වාර්තාවක් ඉදිරිපත් වුණා. ඒ වගේම ඒ මෙහෙයුම් කාරක සභාව පත් වෙලා, නීතිය හා සාමය, අධිකරණය, මුදල්, මූලික අයිතිවාසිකම්, රාජ්‍ය සේවය වගේ ඉතාමත් වැදගත් විෂයන් පිළිබඳ සාකච්ඡා කරලා මත ඉදිරිපත් කිරීම සඳහා අනු කාරක සභා හයක් පත් කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිවෙක් ඉල්ලන එකක් නෙමෙයි, ජනතාව වෙත බලෙන් පටවන එකක් බව අද ඇතැම් පාර්ශ්වවලින් චෝදනා එල්ලවනවා. මේ වැඩ පිළිවෙළ අද වන විට හිඟන්නාගේ තුවාලෙ වගේ රටේ ධනයත් කාලයත් කැපකරමින් ඒ ඒ වෙලාවට පක්ෂවලට ගොඩ යන්න තියෙන දේශපාලනික තුරුම්පුවක් විතරද?

කලිනුත් කිව්වා වගේ මේක හැම දෙනාගේම පිළිගැනීම මත ආරම්භ කෙරුණු එකක්. ව්‍යවස්ථාව සකස් කරන්නේ පාර්ලිමේන්තුව නෙමෙයි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසිය විසි එක් දෙනාගෙන් යුත් ව්‍යවස්ථා සභාව මගින්. ඒ වගේම ඒ මෙහෙයුම් කාරක සභාව තුළ ඉන්නවා පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයක ම නියෝජිතයෝ. ඒ වගේම අනු කාරක සභා හයේ සභාපතිත්වය දරන්නේ බන්දුල ගුණවර්ධන, මහින්ද සමරසිංහ, රවුෆ් හකීම්, ශ්‍රීධරන්, සුසිල් ප්‍රේමජයන්ත වගේ අය. මේකෙන්ම පේනවානෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම කියන මේ කාරණය කාගෙවත් ඒකපාර්ශ්වික උවමනාවක් නෙමෙයි සර්ව පාක්ෂික ව්‍යායාමයක් කියලා. ලංකා ඉතිහාසයේ පළමුවැනි පාරට තමයි මේ විදිහේ බහු පාර්ශ්වික ප්‍රයත්නයක් විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය වෙන්නෙ.

ඒත් ඔබ කිව්වා වගේ අද සමහර අය කියමින් ඉන්න බවක් පේනවා, මේ ව්‍යවස්ථාවට මහජන වරමක් නෑ කියලා. බාල දේශපාලනික තුරුම්පුවක් කියලා කියන්න පුළුවන් මහජන ඡන්දයෙන් පත් වුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසිය විසිපස්දෙනාගෙම සහභාගීත්වයෙන් සිදුවන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වැඩපිළිවෙළ නෙමෙයි. ඒකට ජනවරමක් නෑ කියමින් ගෙන යන දේශපාලන වැඩපිළිවෙළ.

අනික් කාරණය තමයි මේ ආණ්ඩුව බලයට එද්දී මිනිස්සුන්ට දීපු මූලික පොරොන්දුවක් තමයි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩනගනවා කියන එක. මේ රටේ ජනතාව පහුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය කියන දෙකේදිම වර්තමාන පාලනයට ඡන්දය දුන්නේ ඒ නිසා.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා මහින්ද රාජපක්ෂව නැවත බලයට ගේනවාද නැතිනම් මේ පවතින ක්‍රමයම තියාගෙන ඔහුගේ සහෝදරයෙක් විධායක ජනාධිපති කරනවාද වගේ කාරණා මත මේ වන විට ව්‍යවස්ථාවක් සැදීම ඒකාබද්ධ විපක්ෂයේ කාර්යයක් වෙලා තියෙන බව ඇතැම් අය පෙන්වා දෙනවා?

තිරයෙන් පිටුපස එහෙම කතාවක් තියෙනවා තමයි. ඒත් අපිට පේන විදිහට මේ හැමෝම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් කැපවෙලා වැඩ කරනවා කියලා කියන්න පුළුවන්. හැමෝටම පොදු එකඟතාවලට එන්න බැරි වුණ කාරණා වන ලංකාවේ මැතිවරණ ක්‍රමය කොයි වගේ විය යුතුද, ලංකාවේ ආණ්ඩු ක්‍රමය කොයි වගේ විය යුතු ද දෙවන මන්ත්‍රී මණ්ඩලයක් නිර්මාණය කළ යුතුද වගේ වැදගත් සාකච්ඡා කරමින් ඉන්න වෙලාවේ තමයි අගමැති තුමාට විරුද්ධ විශ්වාසභංගය ආවේ. ඊට පස්සේ ආවා පළාත් පාලන මැතිවරණය. මේ නිසා මේ කාරණය තරමක් පස්සට ගියා.

පහුගිය මාසයේ නැවතත් මෙහෙයුම්කාරක සභාව නවත්තපු තැන ඉඳන් ඉදිරියට ගෙනයෑමට රැස් වුණා. බන්දුල ගුණවර්ධන, දිනේශ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, රවුෆ් හකීම්, රනිල් වික්‍රමසිංහ, ලක්ෂ්මන් කිරිඇල්ල, සුමන්තිරම්, සම්බන්ධන්, සුසිල් ප්‍රේමජයන්ත වගේ හැමෝම එතනදි සහභාගී වුණා. එතනදි තීන්දු වුණ දේ තමයි විශේෂඥයින්ගේ සහායද ඇතිව ව්‍යවස්ථා කෙටුම්පතක් නිර්මාණය කළ යුතුයි කියලා. දැන් ඒ කාර්යය සිදුවෙමින් යනවා. ඒ වගේම ලබන මාසෙ අවසානය වෙද්දි ඒක ඉදිරිපත් කරන්න පුළුවන් වේවි.

ජනතා විමුක්ති පෙරමුණ ගෙනා විසිවන සංශෝධනය එන්නේ ඔබ කියන විදිහට අලුත් ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ සාර්ථකව සිදුවන අතරේ. විසිවන සංශෝධනයේ ආගමනය මේකට බලපාන්නෙ කොහොමද?

කලිනුත් කිව්වා වගේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ වැඩකටයුතු විවිධ හේතු නිසා මාස ගණනක් කල් යමින් තිබ්බා. මං හිතන විදිහට ජනතා විමුක්ති පෙරමුණ විසිවන සංශෝධනය ගේන්න ඇත්තේ ඒ නිසා වෙන්න ඕන. මොකද ඒ අය හිතන්න ඇති අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙනල්ලා හැම සංස්කරණයක්ම ඉටුකරගැනීම අවිනිශ්චිත තත්ත්වයක් දරද්දී මේ මගින් විධායක ජනාධිපති ක්‍රමය හරි ඉවත් කරගන්න පුළුවන් කියලා.

මොන දේ වුණත් විසිවන සංශෝධනය ගෙනාපු එකෙන් විශාල හොඳක් තමයි වුණේ. මොකද ඒ නිසා ව්‍යවස්ථා සංශෝධනයේ අවශ්‍යතාව පිළිබඳ යටගැහෙමින් තිබුණු සංවාදය ආයෙමත් ජනතාව ඉදිරියට ගෙනාවා. ඒ වගේම ව්‍යවස්ථා සම්පාදන වැඩපිළිවෙළ ඉක්මන් කරන්නත් ඒක බලපෑවා කියලා තමයි මම හිතන්නේ.
අද පාර්ලිමේන්තුව ඉදිරියේ තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විසිවන සංශෝධනයත්. ඒක තියෙන්නෙ විධායක ජනාධිපතික්‍රමය අහෝසිකිරීම කියන සීමිත කරුණ විතරයි. ඒත් විධායක බලතල පිළිබඳ කාරණා තාමත් මෙහෙයුම්කාරක සභාව ඉදිරියේ සාකච්ඡා වෙලා නෑ. ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධනය මෙතනදි ඉදිරිපත්වීම ඉතාම වටිනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය වගේ පක්ෂ විස්සට සහයෝගය දෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. ඒත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එනවානම් විස්ස සම්මත කිරීම අවශ්‍ය නෑ. මොකද ඒකත් අලුත් ව්‍යවස්ථාවටම ඇතුල් කරන්න පුළුවන් නිසා.

නව ව්‍යවස්ථාවක් තුළින් ජනාධිපතිවරයාගේ විධායක බලතල ඉවත් කළහොත්. නාමමාත්‍රික ජනාධිපතිවරයා පත් කරන්න ක්‍රමවේදය ගැනත් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි නේද?

ඇත්තමට ඒක වැදගත් කාරණයක්. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවානම් සහ ජනාධිපති ක්‍රමයේ බලතල බොහෝදුරට අඩු කරනවානම් අපි ජනාධිපති වරයෙක් පත් කරන්න මහජන ඡන්දයකට යන එකේ අර්ථයක් නෑ කියන එකයි මගෙත් හැඟීම. මොකද බලය රහිත ජනාධිපතිවරයෙක් පත් කරන්න ජනාධිපතිවරණයකට යන එක අර්ථාන්විත නෑ. ඒ වගේ ජනාධිපති කෙනෙක් පාර්ලිමේන්තුවෙන් පත් කරන්න පුළුවන්.

මොකද ජනාධිපතිවරයාත් මහජන ඡන්දයෙන් පත් කරලා අගමැති පාර්ලිමේන්තුවෙන් පත් කළාම බල කේන්ද්‍ර දෙකක් අතර ගැටුම් ඇතිවෙන්න තියෙන ඉඩ වැඩියි. මොකද ජනාධිපතිවරයා හිතනවා අගමැති වගේ නෙමෙයි මං බලයට ආවේ ඡන්දෙන් කියලා. අනික් අතට අගමැතිවරයා හිතනවා මගේ පක්ෂයට තමයි වැඩිපුර ආසන තියෙන්නේ ඒ නිසා මමයි වැදගත් කියලා. අද ඇතිවෙලා තියෙන තත්ත්වයත් ටිකක් ඒ විදිහ තමයි. ඒත් සමහර අය කියනවා ජනාධිපතිවරයාට කොච්චර බලය අඩු වුණත් ඔහු ඍජු ඡන්දයෙන් පත් කරන්න ඕන කියලා. ඒ වගේම විසිවන සංශෝධනය මගින් ජනතා විමුක්ති පෙරමුණ කියලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයා පත් කළ යුතුයි කියලා. ඒ නිසා මේ පිළිබඳව වැදගත් සංවාදයක් ගෙන ආ යුතුයි.