රාවය

වෙන්ව ගියොත් නසිති, එක්ව ගියොත් දිනති (?)

වෙන්ව ගියොත් නසිති, එක්ව ගියොත් දිනති (?)

උපාලි කොළඹගේ

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මුඛරි දේශපාලනඥයකු බව අමුතුවෙන් කිව යුතු නැත. රාජිත ඇට නැති දිවෙන් හොඳින් වැඩ ගන්නා අතරම සාපේක්ෂ වශයෙන් වැඩකාරයකු ද වෙයි. ඖෂධ මිල අඩු කිරීම, ස්ටෙන්ට් මෙන්ම පිළිකා රෝගීන් සඳහා රජයේ රෝහල් වලින් ඖෂධ දීමේදී තිබු ලක්ෂ 15 සීමාව ඉවත් කර රෝගීයාගේ අවශ්‍යතාවය මත සීමාවකින් තොරව ඖෂධ ලබා දීම ආදී සෞඛ්‍ය සත් ක්‍රියා රාශියක් පසුගිය කාලයේ ඔහු අතින් සිදු කෙරුණි. එමෙන්ම පෞද්ගලික රෝහල් මගින් සිදුවන ගසාකෑම් අවම කිරීමේ ප්‍රයත්නයක ද රාජිත නිරතව සිටී.

එමෙන්ම ඇමති මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ආණ්ඩුව වෙනුවෙන් ප්‍රබල කාර්යභාරයක් ඉටු කරන පුද්ගලයා ද රාජිතය. රාජිත සමග මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වන්නේ නිහඬ හා නිවුණු ඇමතිවරයකු වන ගයන්ත කරුණාතිලක මහතාය.

රාජිත ප්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණීමට ප්‍රමාද වූ විට ගයන්ත බොහෝ විට බලා සිටිනුයේ රාත්‍රී වැඩ මුරයට එන වෘත්තීය සගයා පරක්කු වූ විට මෙන් චකිතයෙනි. ඒ කිසිවක් නිසා නොව රාජිතගේ මුඛරි කමෙන් ආණ්ඩුව ගොඩ දමා ගත හැකි බව ගයන්ත සියල්ලටම වඩා හොඳින් දන්නා නිසාය.

රාජිත සේනාරත්න පෙනී සිටිනුයේ ද නායකයන් දැන් සම්පූර්ණයෙන්ම අමතක කර දමා ඇති ශ්‍රී ලංකා -එජාප සම්මුති ආණ්ඩුව වෙනුවෙන්ය. ප්‍රධාන පක්ෂ දෙකකින් හා කුඩා පක්ෂ කිහිපයකින් සැදුම් පත් සමස්ත ආණ්ඩුව වෙනුවෙන්ම පෙනී සිටින පුද්ගලයන් වර්තමානයේ බොහෝ සේ හිඟය. එහි ප්‍රමුඛයෙකි රාජිත ඇමතිවරයා.
කෙසේ වුවත් මේ අන්දමට වටවන්දනාවේ ගියේ රාජිත සේනාරත්නට ප්‍රශස්ති ගායනයකට නම් නොවේ.

ඔහු අතින් සිදු කෙරෙන දේශපාලන කාර්යභාරයක් ඇගයීමට ලක් කිරීමට හා එහි අර්ථවක් භාවය ගැන සඳහන් කිරීමටය.
දැනට විරසකව සිටින එජාප හා ශ්‍රීලනිප යළි සරණ බන්ධනයකට යටත් කිරීමට රාජිත බලවත් උස්සාහයක යෙදී සිටින බව දේශපාලන ක්ෂේත්‍රය තුළ මේ දිනවල දැඩි කතාබහට ලක්වී තිබේ. වෙන්ව ගියොත් පරාජය ස්ථිර මෙන්ම එක්ව ගියොත් ජයග්‍රහණය ස්ථිර බව ද රාජිත සේනාරත්න ඇමතිවරයා ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධව ද බොහෝ තැන් වලදී පවසා තිබේ. ඔහු මේ සඳහා සංඛ්‍යා ලේඛන හුවා දක්වමින් සංඛ්‍යා ලේඛන හරඹයක් ද සිදු කරයි.

මගේ පෞද්ගලික අදහසත් වෙන්ව ගියොත් ස්ථිර වශයෙන්ම පරාජයට පත්වන අතර එක්ව ගියොත් ජය ගැනීමට සෑහෙන ඉඩක් ඇති බවයි.
ඒ මෙම අඥාන නායකයින් දෙදෙනා පසුගිය කාල පරාසය තුළ පාක්ෂිකයන් අතර වගා දිගා කළ විරසක මනෝභාවය නිසාය. 2015 ජනවාරි 8 වැනිදා ආසන්න වන විට පැවති ධෛර්ය හා උද්යෝගය යළි එලෙසින්ම ස්ථාපිත කිරීම එතරම් පහසු වෙතැයි සිතීමට නොහැකිය.

ඊට සම්පූර්ණයෙන්ම වග කිව යුත්තේ මෛත්‍රී- රනිල් දෙබානය. එහි වැඩි වරද මෛත්‍රී අතේය. රනිල් ගෙන ගියේ දිය යටින් ගරිල්ලා සටනකි.
ප්‍රසිද්ධ වේදිකාවේ කොලේ ඉරාගෙන ඇගේ හලා ගත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය. ඔහු කළ කී දෑ නිසා එක්ව ගමනක් යෑමට යෝජනා කිරීමම ලජ්ජාවට කරුණක් විය හැක. මහ බැංකු සිද්ධියේ දී රනිල් ඇදගෙන නෑවාට අමතරව මෛත්‍රී ඇතුළු ගෝලබාලයෝ රනිල් වාඩි කරවා හොඳ හැටි නැව්වෝය. අර්ජුන මහේන්ද්‍රන්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රෙකමදාරුව මත පත්කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. සිරිසේන මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ලිපිකරුවා නොවේ. ඔහු මේ රටේ විධායක ජනාධිපතිවරයාය. ඉහළ තනතුරු වලට පුද්ගලයන් පත් කිරීමේදී එම පුද්ගලයන් ගැන සොයා බැලීම ජනාධිපති රාජකාරියේම කොටසකි. කෙසේ වුවත් අගමැතිවරයාට ද මෙතැන ඇත්තේ වගකීම පිළිබඳ ප්‍රශ්නයකි. අර්ජුන් මහේන්ද්‍රන් උරච්චිකර නොබැලීම නායකයන් දෙදෙනාගේම පරිලාපන ඉව පිළිබඳ ගැටලුවකි.

මෙම අපවාදය අගමැති හිස මත කඩා වැටුණේ ඔහු අර්ජුන් මහේන්ද්‍රන් සුද්ධ කිරීමට යෑමෙනි. එහෙත් මේ ගැන කතා කරද්දී ජනාධිපතිවරයා කොච්චර ‘නෝටි’ වනවා දැයි කිවහොත් එජාපයට ආණ්ඩුව භාර දුන්නාට මහ බැංකුව බිඳින්න කිව්වේ නැතැයි ප්‍රසිද්ධියේ කියා සිටියේය. එහෙත් තමන්ගේ මාණ්ඩලික ප්‍රධානියා කෝටි 54ක අල්ලසක් ඉල්ලා සිටියේ කාගේ බහකට දැයි ඔයු කරුණු පැහැදිලි කරන්නේ නැත. රාජිත යළි දෙපාර්ශවය පුරුද්දන්න හදන්නේ මෙවැනි පැලුම් ගණනාවක් තිබියදීය. පුරවැසි සංවිධානවල උත්සාහය මෙයමය.

එහෙත් මෙයට අකුල් හෙළන්නෝ පක්ෂ දෙකේම වෙති. වැඩිපුර සිටිනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ය. 16 දෙනාගේ අහිකුණ්ටික කණ්ඩායම මෙහිදි කැපී පෙනුන ද දැනට ආණ්ඩුව තුළ සිටින ශ්‍රීලනිප කණ්ඩායමේ වැඩි දෙනාද යළි ශ්‍රීලනිප -එජාප දීගයකට කැමති නැත.
ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඒත්තු ගන්වා ඇත්තේ ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග බිමට පිවිස ජය ලබා ගත හැකි බවය. ඊට අනෙක් කුඩා පක්ෂ තමන්ට එජාපයේ රනිල් විරෝධි පිරිස් කැමති කරවා ගත හැකි බවටද පුරසැරම් දොඩා තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කෑවේ මේ ලණුවය. අඩසිය වසරකට කිට්ටු දේශපාලන අත්දැකීම් ඇති සිරිසේන මහතාට මෙහි ඇත්ත වටහා ගැනීමට නොහැක්කේ ඇයි?
එතුමා වටා කැරකවෙන ශ්‍රීලනිප රැස් වළල්ල මහින්ද කරණය වූවක් බව තේරුම් ගැනීමට නොහැකිද?
16 දෙනාගේ අහිකුණ්ටකයන්ට රාජපක්ෂලාගේ පිළිකන්නේ කූඩාරම් ගසා ගැනීමට ඉඩ දීමෙන් පසුව වත් සිරිසේන මහතාගේ ඔලුව පෑදෙන්නේ නැද්ද? ඔවුන්ගේ ආධ්‍යාත්මික නායකයා මහින්ද රාජපක්ෂ මහතාය. මේ කණ්ඩායම යළි ආධ්‍යාත්මික නායකයා ළඟට යෑමේ වරම ලබා ගැනීමට ලට්ට ලොටට් පොදි බැදගෙන තැන තැන යමින් හමු නොවූ ඒකාබද්ධයේ නායකයෙන් නැත.

අවසන ශ්‍රීලනිප තනතුරු අතැර එක්වන ලෙස බැසිල්ගෙන් අවසර ලැබිණ. දැන් ඇත්තේ මහින්දට ඕනෑ ආකාරයට මෛත්‍රී පතුරු ගැසීමය.එය අකුරටම ඉටු කරන බවට මෙන්න කැට.
එජාපයේ තරුණ මන්ත්‍රී පිරිසක් ද රනිල්ට තනිව තරග බිමට එන ලෙස ඇවිටිලි කරති. මේ අයගේ අදහස තනි එජාප ආණ්ඩුවක් හදා හිතේ හැටියට තනතුරු බෙදා ගැනීමය. කේක් ගෙඩියේ භාගයක් තව කාටවත් දෙන්නේ කුමට දැයි ඔවුන් සිතනවා විය හැක.එහෙත් අවසානයේ හුළං විස්කෝතු කෑමට සිදු වෙතැයි ඔවුන් සිතන්නේ නැත.
මා නම් සිතන්නේ බලය, දූෂණය වර්ධනය කිරීමට හේතු වෙනවා සේම බලයට කෑදර වීම මිනිසා බුද්ධි හීනයකු කිරීමට හේතු වන බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද මෙහි සැබෑ තත්ත්වය තේරුම් නොගනුයේ ද ඔවුන් දෙදෙනාම දේශපාලන ව්‍යාධි වලින් බලවත් ලෙස ගිලන්ව සිටින නිසා යැයි මම විශ්වාස කරමි. තමන් වටා කැරකෙන අන්තේවාසික කේවට්ටයන්ගේ බස් අනුව තමනට අති විශාල ජන ආකර්ශනයක් ඇතැයි ඔවුන් දෙදෙනාම සිතනවා විය හැක. සහභාගී වන ප්‍රසිද්ධ රැස්වීම් වලට සහභාගි වන කෘතිම ජන ගංගා නිසාද තම තමන් පිළිබඳ අධි තක්සේරුවකට යනවා විය හැක.
කෙසේ වුවත් මාද විශ්වාස කරනුයේ රාජිත සේනාරත්න මහතා කියන ආකාරයට වෙන්ව තරග කළොත් දෙපාර්ශ්වයම පරදින බවය. එක්ව තරග කළහොත් ජය ගැනීම හෝ ඊට ආසන්නයටම ගොස් ගෞරවනීය පරාජයක් අත් කර ගැනීමට හැකි වෙතැයි යන්න මගේ පෞද්ගලික මතයයි.