රාවය

ජනතාව මෝඩද?

ජනතාව මෝඩද?

ටිරන් කුමාර බංගගමආරච්චි

රුසියාවේ සිටි ලංකාවේ තානාපති උදයංග වීරතුංග ගැන ආයෙත් කතාබහක් මෝදුවී ඇත. ඒ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ හයිකාරකමක් හේතුවෙනි. මේ මොහොතේ මහින්ද රාජපක්ෂ කියනුයේ උදව්වක් ලෙස තමන් උදයංග වීරතුංග ගෙනවිත් දීමට සූදානම් බවත් හැකිනම් අගමැති රනිල් වික්‍රමසිංහ අර්ජුන මහේන්ද්‍රන්ව එලෙස රැගෙනවිත් පෙන්වන ලෙසත්ය. මෙය අභියෝගයකි. තමන්ගේ හොරා තමන් ගේන අතර උඹලගේ හොරා උඹලා පුළුවන් නම් ගෙනත් පෙන්නපිය පන්නයේ අභියෝගයකි. උදයංග ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තැයි පන්නයේ ප්‍රවෘත්ති පසුගිය කාලය පුරා රජය ප්‍රසිද්ධ කළද ඒ සියල්ල ආණ්ඩුවේම අතේ රෝල් බවට පත්වූයේ සමස්ත ආණ්ඩුවම විහිළුවට ලක්වෙමිනි. හොරකම් කිරීම මෙන්ම හොරු ඇල්ලීමත් තමන්ට හැකිමුත් රනිල්ට හොරකම් කළාට හොරු ඇල්ලිය නොහැකි වී ඇතැයි මහින්ද මේ නොකියා කියන කතාවය. උදයංග පිළිබඳ මතකය මිනිසුන් කෙරෙහි දැන් දැන් සාමාන්‍ය වී ඇත. ඔහු මෙරටට ආවද? අත්අඩංගුවට ගත්තද? ඉන්පසු එසැණින් ඔහුව නිදහස් කළද? ඔහු නැවත රාජපක්ෂලා සමග දේශපාලනය ඇරඹියද? මේ කිසිවක් දැන් ජනතාවට මහ ලොකු දේ නොවන බව කිව යුතුය. අද දවසේ හැමදේම මාධ්‍ය සංදර්ශන විනා ජනතා ආදර්ශ නම් නොවන බව කිව යුතුය. නිව්යෝර්ක් ටයිම්ස් සිද්ධිය වුව ජනතාවට නොවැදගත් බව කිව යුතුය. ඒවා දේශපාලන පොර පිටියේ සූදු ඇල්ලීමට අපූරු ඔට්ටු වුවත් දැන් මේවා හරහා දේශපාලනය කළ නොහැකි තරමට ජනතා හිත් දිනාගැනීමට නොහැකි පිළුණු කෑම බව කිව යුතුය. බැඳුම්කරයට මෙන්ම නිව්යෝක් ටයිම්ස් සිද්ධියද පරීක්ෂණ කළ යුතුයැයි තර්ක මතු වේ. පරීක්ෂා කළද සිදුව ඇති සන්තෑසිය කුමක්ද? ඇත්තටම බැඳුම්කර සිද්ධියේ තවත් අතුරු කතා මේ මොහොතේ එළියට විත් ඇත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන්, මහපොළ අරමුදලෙන් මුදල් විශාල පරිමාණයෙන් කොල්ලකා ඇති බව අද ආණ්ඩුව පිළිගනියි. එහෙත් අහවල් කෙන්ගෙඩියක් වේද? මේවා ජනතා හදවත් හිරිවට්ටන කතා නොවේ නම් චයිනා හාබර් එකෙන් මුදල් ගැනීම කවර කතාද? මේ සියල්ල මහ ඉහළින් කතා කරනුයේ දෙපැත්තේම දේශපාලන කොන්ත්‍රාත්කරුවන්ය. ඔවුහු පවත්වන මේ මාධ්‍ය සංදර්ශන ජනතා ආකර්ෂණයෙන් ගිලිහී ඇත්තේ වසර තුනහමාරක් තිස්සේ මේ කතා ඇති පදම් අසා ඇතිමුත් සිදුවූ දෙයක් නැති නිසාය. ඡන්දයට කවුරු දෙන සල්ලි වුව ඇස් පියාගෙන ගන්නා දේශපාලකයන් බැඳුම්කර මුදල් ගැනීම ඡන්දයට දමා සාමාන්‍ය කළේ කෙසේද? මහින්දටත් අවැසි නම් ඔව්! ඒ වෙලාවේ ඡන්දය කරන්න සල්ලි දුන්නා මම ගත්තා. මොන නායකයත් බලයේ ඉන්න මොහොතේ විදෙස් මුදල් ඡන්දයට යොදා ගන්නවා යැයි කිවහොත් ලංකාවේ ජනතාව ගොස් මහින්ද නිවස වට කරනවාද? ලබන ඡන්දයේදී මේ කතා නිසා මහින්දට කතිරය නොගහා අරිනවාද? ඒවා වාසි නම් ආණ්ඩුව කල් දමන ඡන්ද මේ මොහොතේ පවත්වා මහින්දලා නැතිභංගස්ථාන කළ හැකි නොවේද? එසේ නොකරන්නේ ඇයි? දැන් තම අසමත්කම වසා ගන්නට මේ කිසිවක් සමත් නැති බව මේ ආණ්ඩුව හොඳාකාරවම දනියි. ඔවුන්ට කළ හැකි කෙංගෙඩියක් දැන් නැත. ඔවුන් කරනුයේ එක එක කතා ගෙන ඒමය. ඒවා පරම සත්‍ය වුවද දැන් පළක් නැතිය. දැන් රාජපක්ෂ බිල්ලා ලවා ජනතාව බියවැද්දීම තේරුමක් නැතිය. මේ ආණ්ඩුවේ සිටිනුයේ ඊට වඩා වෙස් මුහුණුකාරයන් බව ජනතාව දනී. සැමගේ සැබෑ මුහුණු ජනතාව දනී. බොහෝ බුද්ධිමත් යැයි සිතා සිටින අයට වඩා ජනතාව මේ හැම දේශපාලකයාගේම පැටිකිරිය ගැන මනාව දනී. මේ මොහොතේ දේශපාලනය දුවනුයේ මේ සාමාන්‍ය කතා මත්තේය. පහුගිය කාලය දිව්වේ ගෝඨාභය රාජපක්ෂ හිට්ලර්ට අන්දමිනි. භික්ෂූන් වහන්සේ නමක් ගෝඨාභය ගැන හිට්ලර් ඈඳා කළ කතාව එකම දේශපාලන කතාව බවට ආණ්ඩුව පත්කර ගත්තේය.

බලාපොරොත්තු බිඳීම

බලාපොරොත්තු කඩවී ගිය ජනතාවක් රටක් මේ මොහොතේ මේ කතාවලින් ආශ්වාදය ලබත්ද? දැන් ආණ්ඩුවේ සහ විපක්ෂයේ කතාවලින් සැලෙන ජාතියක් බවට රටේ ජනතාව පත්වී ඇත්ද? ජනතාව නිර්වින්දනය වී ඇත. ඒ නිර්වින්දනය කළේ මේ යහපාලන ආණ්ඩුවමය. ජනතාව ජනවාරි 8 වැනිදායින් පසු මෙරට හිතාගත නොහැකි සුරපුරක් වනු ඇතැයි සිතීය. හොරු නැති රටක් ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් යහපාලනයක් ඇරඹෙතැයි සිතීය. අන්තිමට වසර තුනහමාරක් යන තැන සිදුව ඇත්තේ ඇත්තටම හොරු කවුද යන්න සිතාගත නොහැකිව ජනතාවට හොරු මෙන් වසන්නට සිදුවීමය. අනෙක් අතට ඒවා යටපත් කරන්නට ආණ්ඩුව ගේන කතා, ගහන ගේම් කොච්චර ළාමකද? වේඬරුවේ උපාලි අස්ගිරි අනුනාහිමියන්ගේ ප්‍රකාශය ගමු. “හිට්ලර් වෙලා මිලිටරි පාලනයකින් හරි මේ රට හදන්න ඕනේ.” ඒ හිමි කී වදන්ය. මේ හරියට කෙක්කෙන් බැරි නම් කොක්කෙන් හරි කළ යුතුය පන්නයේ කතාවකි. මෙය මහා භයංකාර චිත්‍රයක් ලෙස මතු කරමින් ආණ්ඩුව නැටූ නාඩගම පෙන්වනුයේ ගෝඨා ඒම ගැන බයද? ගෝඨාභයට ඇති බයද? ආණ්ඩුව බයවී ඇතිමුත් දැන් දැන් ජනතාව තුළ ගෝඨාභයට ඇති බය පහව යමින් තිබේ. මේ ආණ්ඩුව හොරා හොරා ලෙස පෙන්වීමටවත්, බය බය ලෙස ඒත්තු ගැන්වීමටවත් නොදන්නා ගොබ්බ ආණ්ඩුවකි. ඇත්ත එයය. හොරුන්ට වඩා හොරකම් කරන හොරා කන මේ ආණ්ඩුව හිට්ලර්ලාටත් වඩා හිට්ලර්ලා සිටින තැනකි. අනෙකාට නගන හැම චෝදනාවක්ම මේ ආණ්ඩුවට එලෙසම ඇත. ජනතාවට සිතා බැලීමට සිදුව ඇත්තේ ඉන් ලොකු එකා, මහ එකා කවුද යන්නය. ජනතාව එය මනාව ඡන්දයකදී ප්‍රකාශ කරනු ඇත.

පෞද්ගලික කතා

ගෝඨාභය අවසානයේ කීවේ එම කතාව තමාට පෞද්ගලිකව නිවසට බණට ආ වෙලාවේ කී කතාවක් බවය. අද මේ අයට පෞද්ගලික ජීවිතයක් තිබේද? ගෝඨාභයගේ උපන් දිනයට පෞද්ගලිකව ඉටුකර ගතයුතු බණ මාධ්‍ය මගින් රටටම සංදර්ශන මෙන් පෙන්වනුයේ අහවල් කෙංගෙඩියකටද? පෞද්ගලික නම් එය පාඩුවේ කරගන්නට ගෝඨාට නොතිබුණිද? හැමෝම චූටි බබ්බු වී සිටිති. ආණ්ඩුව භාරගත් වැඩ හරියට කළේ නම් අද හිට්ලර්ලාට නොව යම රජ්ජුරුවන්ටවත් මේ ආණ්ඩුව බිය විය යුතු නැත. එහෙත් කිසිවක් නොකර වළහා එනෝ කියමින් මුලසිටම කෑගසමින් සිටි මේ අය අද සැබැවින්ම වළහා එනවා කීවද ජනතාව නොතකති. වළහා එනෝ කියූ වාරයක් පාසා ජනතාව බියවූ කාලයක් තිබුණි. එහෙත් ඒ කාලය දැන් කල්පැන ඇත. ගෝඨාභය නොව හිට්ලර් ආවද දැන් ජනතාව එතරම් නොතකයි.
හිට්ලර්ගෙන් යා හැකි දුර ගොස් ගෝඨාභය ඉවර කළා යැයි තෘප්ත වූ ආණ්ඩුව ඉන්පසු නිව්යෝක් ටයිම්ස් අල්ලාගෙන මේ දිනවල මහින්ද පතුරු ගසයි. දැන් ගෝඨා සහ මහින්ද යන දෙදෙනාම අහවරයි. නැවත ඔළුව එසවිය නොහැක යන ප්‍රාථමික සතුට භුක්ති විඳිති. මේ කොතරම් කාලයකටද?

තෙවරප්පෙරුම

ඒ ප්‍රවෘත්ති අතරේ යන කොමඩිය නම් තෙවරප්පෙරුම ජවනිකාය. මේ ආණ්ඩුවේ සිටින විහිළුකාරයා ඔහු වී ඇත. හෙට අනිද්දා වනවිට ෆොන්සේකාත් තෙවරප්පෙරුම වැසී නටනු ඇත්දැයි සැකසහිතය. එය ඒ තරමට උඩු දුවා ඇති වසංගතයක් වී ඇත. තෙවරප්පෙරුම කුමක් කළද ටෙලිවිෂන්වල යන පුවතක් වී ඇත. ඔහු වැසිකිළියට ගියද කැමරාවක් ඔහු පසුපස යයි. මහින්ද රාජපක්ෂ පන්සලකට ගියද, මඟුල් ගෙදරකට ඉළව් ගෙදරකට ගියද කැමරාවක් නොව මාධ්‍යවේදීන් පිරිසක්ම ඔහු වටා යති. ඒ පරිදිම දැන් මැති ඇමතිවරු බොහොමයක් එලෙස රඟති. ඒ අය ජීවත් වන්නේම මාධ්‍ය වෙනුවෙනි. හුස්ම ගන්නේ කැමරාවක ආධාරයෙනි. තෙවරප්පෙරුමත් එවැන්නෙකි. පහුගිය ගංවතුර කාලේ මහ රෑක ඔහු වාහනයක් තල්ලු කරන රූප රාමුවද මාධ්‍යයට ප්‍රවෘත්තියකි. මේ තෙවරප්පෙරුම මර්වින් සිල්වාට වඩා ප්‍රාථමික දේශපාලන චරිතයකි. රාජපක්ෂලාගේ එකට වඩා යහපාලනයේ ජෝකර් වුව බාලය. දැන් ඔහු පිස්සු බල්ලෙක් හපා කෑ අයකු මෙන් හැසිරේ. මර්වින් පිස්සු කෙළින විට ඒ පිස්සු මහින්ද නොවැළැක්වූයේ ඒවාද අවැසි නිසාය. අද බැසිල් කියනුයේ තම ආණ්ඩුවට එදා වැරදුණේ ඒවා කියාය. එහෙත් අමතක නොකළ යුත්ත නම් මර්වින් මාධ්‍යයට කී දේය. එනම් තමන් අතින් අල්ලා රැගෙන ගොස් මහින්ද කන පිරෙන්න ගැසූ බවය. මහින්දට වැරදුණේ එතැන බවද මර්වින් කීවේය. එහෙත් රනිල්ට නම් තෙවරප්පෙරුම වෙනුවෙන් කළහැකි කිසිවක්ම නැත. කුමක් හෝ කරන්නට ගියහොත් සිදුවන්නේ මර්වින්ට වූ දේය. මේ ආණ්ඩු අතර ඇති වෙනස එයය. මේ ආණ්ඩුවට කිසිවකු පාලනය කළ නොහැකිය. රනිල්ට එදා බෑ කිව්වේ සැබැවින්ම පුළුවන් නිසා යැයි මංගල අද කියන විට ඊට වඩා හයියෙන්ම හිනාවනු ඇත්තේ රනිල්ම විය යුතුය. එය කියූදා මංගල වුව බඩ අල්ලාගෙන සිනාසෙන්නට ඇත.

වෙනස

මීට පෙර එනම් රාජපක්ෂ සමයේ බොහෝ අය සිතුවේ ප්‍රශ්නයක් වේ නම් එය මාධ්‍යයට මෙන්ම ඉන්පසු ජනතා විමුක්ති පෙරමුණ ලවා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමය. දැන් ඒ තත්ත්වය යහපාලනය හරහා වෙනස් වී ඒ තැන්වලට රජිත කීර්ති තෙන්නකෝන් හෝ සමන් රත්නප්‍රිය වැන්නකු ලවා කියවා ගැනීමේ තැනකට ජනතාව මාරුවී ඇත. විසඳුම් කිසිවක් අවශ්‍ය නැත. අද බොහෝ අයට අවශ්‍ය මාධ්‍ය නඩයක් ගෙන්වා මේ අය ලවා ඒ කතාව කීමය. සමන් රත්නප්‍රිය නිව්යෝක් ටයිම්ස් සිද්ධිය කියන විට රජිත කීර්ති බැඳුම්කරය ගැන කියන්නේය. දැන් මේ දෙකම ප්‍රවෘත්තිවලදී ජනතාවට ඇසිය බැලිය හැකිය. ඉන් එහා මහා ලොකු දෙයක් ජනතාව බලාපොරොත්තු නොවෙයි. එබැවින් හෙම්බත් වනතුරු මේ අය අලුත් අලුත් කතා සෙවිය යුතුය. මේ අයම කොතෙක් කතා පෙන්වා දුන්නේද? ඒවාට කිසිත් විසඳුමක් වීද? එහෙත් මේ අය නම් මහා ලොක්කන් වී ඇත. හෙට දවසේ මෙන්ම අද දවසේ දේශපාලන චරිතවීමට මේ අයට මේ ටික ප්‍රමාණවත් වී ඇත. අද හැමෝටම වුවමනා චරිත වීමටය. අද දේශපාලකයාම නොව බොහෝ අයට මාධ්‍ය නැතිව දිවි ගෙවා දැමිය නොහැකිය. නිකමට සිතුවහොත් මේ අයගේ මේ බහුබූත ප්‍රචාරණය මාධ්‍ය වහාම නවතා දැමිය යුතුයි කියා. එසේ වුවහොත් මේ චරිත සියල්ලටම යන එන මං නැතිවනු නියතය. තෙවරප්පෙරුම ඉන්පසු වල් අලි පස්සේ යයිද? මහින්ද රාජපක්ෂ පන්සල් වුව යයිද? මෛත්‍රීපාල යෝග කරයිද? ගෝඨා උපන්දින සමරයිද? රනිල් පිස්සු නටයිද? කොටින්ම රජිතලා, සමන්ලා, ගෙයින් දොට්ට බසීද? අද සියල්ල මාධ්‍ය සංදර්ශනය. අද කැමරාවක් නැති තැනත් නැති තරම්ය. තාප්පයක් අයිනේ මුත්‍රා කරන්න ගියද එහි කැමරාවකි. ප්‍රශ්නය කැමරාව නිසා මුත්‍රා නොකර සිටීම නොව කැමරාවක් ඇති තැනක් බලා මුත්‍රා කිරීමට තරම් මානසිකත්වය හැඩගැසී තිබීමය. දේශපාලකයන් මාධ්‍ය ඉදිරියේ මුහුණ පෙන්වමින් කොල්ල කනවිට හොරා කනවිට පාතාලයෝ මුහුණ වසාගෙන කැමරාවට මුහුණදෙමින් කොල්ල කති. දෙකම එකය. මුහුණ ඇරගෙන හෝ වසාගෙන හෝ කරනුයේ කොල්ලකෑමය. ජනතාව සූරාකෑමය.

මේ මොහොතේ ලංකාවේ දේශපාලනය තනිකරම අපභ්‍රංසයකි. එයට ලොකු විග්‍රහ දීම මෝඩකමකි. මේ මොහොතේ දේශපාලනය යනු උණුසුම් සන්නිවේදනමය දේශපාලනයකි. දේශපාලන ටෙලි සිත්තමකි. මෙගා නාටකයකි. වැඩිපුර මාධ්‍ය භාවිත කළහැක්කේ කාටද? ඔහු වඩා ජනප්‍රිය වන්නේය. එයට යහපත් ක්‍රියාද? හොර වැඩද? ජඩ වැඩද? කම් නැත. හැම ප්‍රසිද්ධියක්ම ජනතා මතකයක්ය. හිරේට යෑම ඒ යෑමත් මාධ්‍ය සංදර්ශනයක් වීම ඒ ගිය සැණින් බන්ධනාගාර රෝහලට යෑම, නැවත ටික දිනකින් එළියට ඒම. තවත් ටික කලකින් තමන් කුමක් කළාද යන්න තමන්වත් නොදැන සිටින තත්ත්වයට පත්වීම වැනි රෝග අද සුලබය. එය බුද්ධිමත් ජනතාවද බලෙන් ඇඟට ගෙන ඇත. එනම් අමතක කිරීමය. දේශපාලකයන්ට එහා මෙහා මාරුවිය හැකිනම් එය කිසිදු හිරිකිතයකින් තොරව ඕනෑම බල්ටියක් ගැසිය හැකිනම් නිකං දෙන ඡන්දය ඒ මොහොතේ තමන්ට හොඳයි කියා සිතෙන කෙනාට දෙන්න ජනතාවට අයිතියක් නැද්ද? ඒ ජනතා මෝඩකමද? රාජපක්ෂලා එලවා යහපාලනය ගෙනා ජනතාවටම හෙට යහපාලනය එලවා රාජපක්ෂලා නැවත පත් කළ නොහැකිද? එවිට හැට දෙලක්ෂයක ජනතාව මෝඩද? යහපාලනයට ඡන්දය දෙන විට උගත්ද? බුද්ධිමත්ද? ජනතාව හැමවිටම ක්‍රියාකරනුයේ කිරා බලාය. හොරුන්ගෙන් වඩා හොරු තේරීමය. ඡන්දය දිය යුත්තේ ඉල්ලනවුන්ටය. හොඳ වුව නරක වුව තත්ත්වය එසේය. එසේ නම් රනිල් සහ ගෝඨා ඉල්ලුවහොත් දෙදෙනාගෙන් වඩා හොඳ හිට්ලර් ජනතාව තෝරා ගනු ඇත. අපි කුමක් කීවද එන එකා එනවාමය. ඒ එන්නේ කුඩා කණ්ඩායමක් හෝ තනි තනි පුද්ගල කෑගැසීම් නිසා නොව ජනතා කැමැත්ත නිසාය.
යුද්ධය අවසානයේ එය එකිනෙකා අයිති කරගත්හ. එය ‘මහින්ද වෝ’ විය. පසුව එය ෆොන්සේකාගේ වෝ විය. ඉන්පසු එය ගෝඨාස් වෝ විය. සැබෑව නම් එදා දිනූ යුද්ධය පීපල්ස් වෝ එකක් වීමය. ඡන්දයද එසේමය. සමහරු ඡන්දයෙන් පසු අපි තමයි යහපාලනය ගෙනාවේ අපි තමයි රාජපක්ෂලා ගෙදර ඇරියේ වැනි කතා නහුතයක් ඇද බාති. එහෙත් ඒ දෙකම කළේ ‘පීපල්ස් වෝට්ය.’ ජයග්‍රහණවලින් පසු කාට වුව එහි අයිතිය ගෙන උඩ පැනිය හැකිය. එහෙත් නැවත තරගයකදී විනිශ්චය ඇත්තේ ජනතාවටය. ජනතාව ඇත්තේ අසහනයකය. එහිදී විනිශ්චය ඒ ආකාරයෙන්ම සිදුවනු ඇත.

ජර්මනියේ හිට්ලර් මෙන්ම ඇමරිකාවේ ට්‍රම්ප්ද මෙම ජන අසහනයේ ප්‍රතිඵලය. නිර්මාණයන්ය. පිලිපීනයේ වත්මන් ජනපතිද එසේමය. ජන අසහනය සමනය කරන්නට යහපාලනයට බලය දුන් ජනතාවට අවසානයේ සිද්ධ වුණේ අසහනය දෙගුණ තෙගුණ කරගන්නටය. ලබන වසර වන විට ජනතා අසහනය නම් තුනී වී යනු ඇතිය. ඒ වෙනුවට දේශපාලකයන්ට සහ ඒ අයට කඬේ ගිය, යන අයගේ අසහනය නම් තෙගුණ, සිව්ගුණ වනු නියතය. එතෙක් අපි මේ අසහනය ඉවසම.