රාවය

විජයකලාගේ ප්‍රකාශය හා සමාජ වගකීම

විජයකලාගේ ප්‍රකාශය හා සමාජ වගකීම

වින්ද්‍යා ගමගේ

රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් යාපනයේ පැවති උත්සවයකදී කළ කතාවක් නිසා දකුණේ ඇතැම්හු නොසන්සුන් වූහ. මාධ්‍ය වාර්තා වලට අනුව ඇය කියා තිබුණේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුළි පුබුදුවා ගත යතු බවය. දකුණේ දේශපාලනයෙන් උතුරේ ප්‍රශ්න මගහරින තාක් මේ අභියෝගාත්මක තත්ත්වයට රටට මුහුණ දෙන්නට සිදුවනු ඇත. විජයකලාගේ ප්‍රකාශයෙන් ප්‍රකෝප නොවී අපේ වගකීම ඉටු කිරීම පිළිබඳ ප්‍රශ්නයක් මෙහි ඇත. මේ සාකච්ඡාව ඒ පිළිබඳවය.

ප්‍රකාශය නොව ප්‍රශ්නය තේරුම් ගත යුතුය
නිර්මාල් රංජිත් දේවසිරි

මෙවැනි ප්‍රකාශ ඒවායේ වාක්‍යාර්ථයෙන්ම නොගත යුතුය. කලින් ගෝඨාභය සම්බන්ධව හාමුදුරුවන්ගේ ප්‍රකාශයත් සාමාන්‍ය වාක්‍යාර්ථයෙන් ගත යුතු ප්‍රකාශ නොවේ. විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ ය ගෙන ඒමට කටයුතු කරනවා නම් ඇය ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරන්නේ නැත. ඇය කළ එම ප්‍රකාශයේ තිබෙනවා අපේක්ෂා භංගත්වයක්. එය අස්ගිරි අනුනායක හිමියන්ගේ ප්‍රකාශයේත් තිබුණා. අපට අවශ්‍ය කරන්නේ එවැනි දැඩි පාලනයක් යන අදහස පමණයි එතන තිබෙන්නේ. උතුරේ ජනයා හොරකම් වැනි අකටයුතුකම් ගැන බිය නැතිව සිටියා. එල්.ටී.ටී.ඊ තිබූ අවධියේ මම මෙය හොඳින්ම අත්දැක තිබෙන දෙයක්. තමා වගේම ඉතාම කෲර ප්‍රතිවාදියෙක් සිටිනවා. එම නිසා ඒ කෲරත්වයට බියක් පැවතුණා. ඒ නිසා මෙතන තිබෙනවා ශක්තිමත් පාලකයෙක් අවශ්‍යයි කියන අදහස. සාමාන්‍යයෙන් සමාජයක් බිඳ වැටෙන විට, සමාජයක ගැටලු මතුවන විට, මෙය සමාජයෙන් නැගෙන ස්වාභාවික ප්‍රතිචාරයක්. මේ දේවල් වාක්‍යාර්ථයෙන් නොගත යුතුයි. ඒත් දේශපාලන බල තරගයේදී දේශපාලන පසමිතුරුතා වලදී මේ දේවල් තමන් කැමති ලෙස වාක්‍යාර්ථයෙන් ගෙන දේශපාලන ප්‍රචාරය සඳහා භාවිත කරනවා. ඒ නිසා මම නම් මේ ප්‍රකාශය එතරම් බරපතළව සලකන දෙයක් නොවේ. ඒත් මේ ප්‍රකාශය පිටුපස තිබෙන, මෙවැනි ප්‍රකාශයක් කිරීමට හේතුවන මානසිකත්වය ආදී දේ ගැන වෙනම කතා කළ යුතුයි. මෙතනදී විජයකලා මහේෂ්වරන් විවේචනය කිරීම අර්ථ විරහිතයි. ඒත් උතුරේ තිබෙන ප්‍රශ්නය තේරුම් අරගෙන ඒ පිළිබඳව දකුණේ සම්මුතියක් ගොඩනැගිය යුතුයි. ඒත් එහෙම දෙයක් සිදු වී නැහැ.
දෙපැත්තෙම අන්තවාදය ප්‍රතික්ෂේප කළ යුතුයි
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
විජයකලාගේ ප්‍රකාශය සමස්තයක් ලෙස දැකිය යුතුයි. එසේම එය සන්දර්භය තුළ තබා කල්පනා කළ යුතුයි. විජයකලා කියන්නේ දේශපාලන නියෝජිතවරියක්. ඇය යම් කිසි ඡන්ද පදනමක් මත යැපෙන දේශපාලනඥයෙක්. පුද්ගලිකව ගත්තම එල්.ටී.ටී.ඊය විසින් ඇගේ ස්වාමියාවත් ඝාතනය කළා කියලත් කියනවා. මෙය පුද්ගලික ප්‍රකාශයකට වඩා සනදර්භය තුළ ධ්වනිත වන දෙයක්. එසේ ධ්වනිත වන දෙය වන්නේ උතුරේ ජනතාව දීර්ඝ කාලීන යුද්ධය සහ යුද්ධයට පෙර තිබූ ජන වාර්ගික ඝට්ටනය, ශ්‍රී ලංකික ජාතියක් ගොඩනැගීමට අප අසාර්ථක වීම, ආදී සියල්ල සලකා බලා ඇගේ මේ ප්‍රකාශය තේරුම් ගැනීමට කටයුතු කළ යුතුයි. එල්.ටී.ටී.ඊ නැවත ඉල්ලීම කියන එක වාක්‍ය අර්ථයෙන් ගන්න හොඳ නෑ. පසුගිය අවුරුදු තුනේ යහපාලන රජයේ ආසාර්ථකත්වය පෙනෙනවා.ඒ නිසා දකුණේ මිනිස්සු දැඩි පාලකයෙක් ඉල්ලනවා. ඒ අනුව අපට පෙනෙනවා දකුණයි, උතුරයි, ඉතා සංකීර්ණ අර්බුදයක හිටින බව. උතුරේ ජන ජීවිතයට සංහිඳියාවක්, ප්‍රජාතන්ත්‍රවාදයක්, මානුෂික වශයෙන් රාජ්‍ය ඔවුන්ට සලකන බවක් පෙනෙන්නට නැහැ. දකුණේ ජනතාවත් අතෘප්තියෙන් ඉන්නවා. ඒ නිසා මේ දෙපාර්ශ්වයම දැඩි පාලනයක් ඉල්ලා හිටිනවා. මෙය වාක්‍ය අර්ථයෙන් නොගත යුතුයි. තවමත් සිංහල මිනිස්සු ඉන්නවා සුද්දගේ කාලය හොඳයි කියන. ඔවුන්ට හිතෙනවා ඒ යුගයට සාපේක්ෂව ඒ පිළිවෙළ නැහැ කියලා. මෙය ලංකාවේ රාජ්‍යයේ හා දේශපාලනයේ විශාල අසාර්ථක භාවයක්. මෙය නැවත දෙපිළ බෙදී වාද කළ යුත්තක් නොවේ. මේවා තේරුම් ගැනීමට අවශ්‍යයයි. ශිෂ්ඨසම්පන්න, ශීලාචාර සමාජයක් නිර්මාණය කිරීමට සමාජය කළ යුත්තේ කුමක්දැයි සිතිය යුතුයි. ඒ නැතිව විජයකලාව දඩයම් කිරීම නොවේ කළ යුත්තේ. විජයකලාගේ ප්‍රකාශයට වේවා දකුණේ මිලිටරි පාලනයක් ඉල්ලා, ‘හිට්ලර්’ වැනි නායකයෝ ඉල්ලන කතාවටත් මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි.
මෙය හුදෙක් දේශපාලන අර්බුදයක් නොවේ. බරපතළ ශිෂ්ඨාචාර, සදාචාර අර්බුදයක් මෙතන තියනවා. දේශපාලනයේ හෝ අනෙකුත් බොහෝ වෘත්තීන්ගේ කේන්ද්‍රය තිබිය යුත්තේ සමාජ යහපැවැත්ම තුළයි. ඒත් දේශපාලනඥයින්ට තිබෙන්නේ වෙනත් න්‍යාය පත්‍රයයි. විජයකලා එල්.ටී.ටී.ඊඑක ඉල්ලනවා කියලා අපට විශ්වාස කරන්න බැහැ. ඇය ඉල්ලා සිටින්නේ පිළිවෙළ (Order) මනුස්සකම ඉල්ලා සිටිනවා. උතුරේ තත්ත්වය නොවේ දකුණේ තිබෙන්නේ. දකුණෙත් පිළිවෙළක් ඉල්ලනවා. මොකද රජය වැඩ නොකරන නිසා. ඒත් මිනිසුසු ඉල්ලන්නේ සම්පූර්ණයෙන් වැරදි දේ. සමාජයට ශීලාචාරබවක් නැති, විනයගරුක බවක් නැති ගැටලුවයි තියෙන්නේ. මිනිස්සු හිතනවා ‘හිට්ලර්’ කෙනෙක් ආවම ඒක විසඳෙනවා කියලා. මෙය ඉතා භයානක අදහසක්. ජර්මනියේ ඒ දිනවල මේ වගේ සිද්ධි මලාවක් තමයි සිදුවුණේ. හිට්ගර් පැමිණිලා විශාල විනාශයක් කළා. උතුරේ නැවත බෙදුම්වාදී වැඩපිළිවෙළක් ආරම්භ වුණොත්, එය පැරණි වැඩපිළිවෙළට වඩා භයානක එකක් වෙනවා. ඒකට විශාල වශයෙන් දමිළ ජනයාට වගේම මුළු රටටම වන්දි ගෙවන්න වෙනවා. උතුරේ වේවා දකුණේ වේවා මේ දෙපැත්තෙම තිබෙන්නේ අන්තවාදය. ඒ දෙකම භයානක තත්ත්වයක්. ප්‍රජාතන්ත්‍රවාදීන්, මධ්‍යස්ථව මීට වඩා ගැඹුරට මේ දේවල් සිතිය යුතුයි. පෙනෙන සීමාවෙන් ඈතට සිතිය යුතුයි.

පාර කපාගත යුත්තේ
සංහිඳියාවටයි
ජාවේඞ් යුසුෆ්

විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය පුදුමසහගත දෙයක්. මෙම ප්‍රකාශය කරන්නේ පසුගියදා සිදුවුණු සය හැවිරිදි දරුවකු දූෂණය කිරීම සම්බන්ධවයි. එල්ටීටීඊ සමයේ මෙවැනි දේ සිදු නොවුණු නිසා නැවතත් එල්ටීටීඊය අවශ්‍ය බව ඇය පවසනවා. එම තර්කය ඉතාම බොළඳ තර්කයක්. මන්ද එල්ටීටීඊය හිටි කාලයේ දෙමළ ජනයාට කිසිදු නිදහසක් තිබුණේ නෑ. එම පාලනය යටතේ ඔවුන් විශාල වශයෙන් දුක් කම්කටොලුවලට මුහුණ පෑවා. දෙමළ ජනයාට විශාල ලෙස අසාධාරණකම් වුණා. කුඩා දරුවන් පවා බලයෙන් ළමා සොල්දාදුවන් ලෙස බඳවා ගත්තා. ඒ නිසා මම ඇගේ තර්කය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.
උතුරේ ජනතාව වගේම දේශපාලනඥයොත් දන්නවා මේ ආණ්ඩුව සංහිඳියාව වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම තවම අරගෙන ඉවර නැති බව. එම ක්‍රියාවලිය ඉතාම මන්දගාමීව තමයි සිදුවෙන්නේ. එහෙම වුණත් හැමදෙනාම පිළිගත යුතුයි, උතුරෙත් දකුණෙත් දැන් ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් ඇතිවී තිබෙනවා. මිනිසුන්ට අදහස් ප්‍රකාශ කිරීමට හැකියාවක් තිබෙනවා. සුදුවෑන්වලින් පැමිණ තාඩන, පීඩන කරන රාජ්‍ය ත්‍රස්තවාදයක් නැහැ. එය පිළිගත යුතුයි. එහෙත් සංහිඳියාවක් ඇති කර මේ රට මානසිකව එක්සේසත් කරන්න තව බොහෝ දේ කළ යුතුයි. රජය සංහිඳියා ක්‍රියාවලියට නායකත්වය දිය යුතුයි. අනෙක් ආණ්ඩුවලට වඩා මේ රජය සංහිඳියාව ඇති කිරීමට කටයුතු කළත් ඒ මතවාදය නිසි ලෙස ජනගත වූයේ නැහැ. ඒ නිසා ඕනෑම සුළු දෙයකින් දකුණේ ජනයා උසිගැන්වීමට පහසුයි. ඒ නිසා මේ සංහිඳියා මතවාදය නිසි ආකාරව ඉදිරියට ගෙනයෑමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඒ වගේම එල්ටීටීඊයේ අවශ්‍යතාව පිළිබඳ මතවාදය ජනතාවගේ මනසින් පරාජය කිරීමටත් කටයුතු කළ යුතුයි.

ආගමකට පක්ෂ නැති
ව්‍යවස්ථාවක් ඕනෑ
යහපාලනය සඳහා වන පුරවැසි ව්‍යාපාරයේ ඒ.සී. විශ්වලිංගම්

අපි නිරන්තරයෙන්ම කියන්නේ ශ්‍රී ලංකාවේ ඒකීයභාවය ආරක්ෂා කළ යුතු බවයි. ඒ වගේම රටේ ව්‍යවස්ථාව මගින් එක ආගමකට, ජාතියකට විශේෂත්වයක් ලබා නොදී සියල්ලන්ටම සමාන තැනක් දිය යුතු බව අපගේ විශ්වාසයයි. ඒ නිසා ආගම හා දේශපාලනය යන දෙක වෙන් කළ යුතුයි. එහෙත් ලංකාවේ ඒකීයභාවය ආරක්ෂා කළ යුතුයි. අපි කුඩා රටක්. මේ රට බෙදාගෙන ඉන්න බැහැ. එසේ බෙදීම් ඇතිවෙන්නේ එක පිරිසකට පමණක් විශේෂ සැලකිල්ලක් කරන විටයි. එවිට අන් අය අසාධාරණයකට ලක්වෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රශ්න ඇතිවෙලා තිබෙන්නේ.
විජයකලාට එවැනි ප්‍රකාශ සිදුකළ හැකිවෙලා තිබෙන්නේ අපේ රටේ එක් පිරිසකට විශේෂ සැලකිලි කරන නිසයි. එනිසා ආගමකට පක්ෂ නොවන ව්‍යවස්ථාවක් හඳුන්වා දිය යුතුයි.