මේ ආණ්ඩුව යටතේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එන්නේ නෑ – ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය – මනෝ ගනේෂන්

නිමල් අබේසිංහ

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාට වත්මන් රජයේ ඇමති ධූරයක් ලබා ගන්නා ලෙස ඔබ ආරාධනාවක් කළා. එය ඔබ කළේ කුමන පදනමක් මතද?

මගේ පක්ෂය වෙනුවෙන් ඒ ප්‍රකාශය කළේ. එය ආණ්ඩුවේ ආරාධනාවක් වෙන්නත් පුළුවන්. අනිත් එක මම ආණ්ඩුවේ ඇමතිවරයෙක් විදිහට ආණ්ඩුවේ සම්බන්ධතාවත් ඒක තුළ තිබෙනවා. මේ ආරාධනාවට හේතු වුණේ මේ රටේ දෙමළ ජනතාවට අවසානයේ දේශපාලන විසඳුමක් නැත. සංවර්ධනයක් නැත. කියන ඉරණමට ඔවුන්ට මුහුණ දෙන්න වෙයි කියලා මම තරයේ සැක කරන නිසා. ලබන අවුරුද්ද වෙනකොට යුද්ධය අවසන් වෙලා අවුරුදු දහයක් සම්පූර්ණ වෙනවා. ඒ කාලේ ටී.එන්.ඒ. සංවිධානය තමයි, උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට නායකත්වය දුන්නේ. පැවතුණ ආණ්ඩු සමග ගනුදෙනු කළේ. එනමුත් දේශපාලනය කියන මාර්ගයේ සැළකිය යුතු තැනකට තවම එන්න බැරිවෙලා තිබෙනවා. ඒත් ගිය ආණ්ඩු කාලයට වඩා 2015න් පසුව පත්වුණු අපේ ආණ්ඩුව තුළ යම්කිසි සැනසිල්ලක් ලැබිලා තිබෙනවා. මොකද ගිය ආණ්ඩුව කාලේ ජාතික ආතතියක් තිබුණා. දැන් ඒක ජාතික ප්‍රශ්නය විදියටයි තිබෙන්නේ. තියන කොට සිංහල බෞද්ධ නොවන අයට සිංහල බෞද්ධ අය සමග ප්‍රශ්නයක් ඇති කරන්න රාජ්‍ය ආශීර්වාදය සහිතව හැකි වුණා. මේ ආණ්ඩුව කාලේ ඒක අවසන් වෙලා ජාතිවාදීන්ට රාජ්‍ය ආශීර්වාදයත් අඩු වුණා. දැන් තිබෙන්නේ ජාතික ප්‍රශ්නය විතරයි. ඒත් අර ප්‍රශ්නය විසඳන්න අලුත් ව්‍යවස්ථාවක් හදනවා කියන තැනට ගිය අපේ ආණ්ඩුවට ඒක ඇත්තටම කරගන්න බැරි වේලා තිබෙනවා. ඒ වගේම උතුරු නැගෙනහිර පළාත් දෙකේම දිස්ත්‍රික් 8ක් තියනවා. ඒවායේ සංවර්ධන කටයුතු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හරහා සිදුවෙනවාට වඩා ටී.එන්.ඒ. ඍජු සහභාගීත්වය ඇතිව සිදුවුණා නම් ඒ ඇමතිවරයා හරහා සංවර්ධන කටයුතු කඩිනමින් කරන්න පුළුවන් කියලා මම හිතනවා.

කැබිනට් එකේ සාකච්ඡා කරලා තමන්ගේ බලතල පාවිච්චි කරලා සංවර්ධන වැඩ කරන්න පුළුවන් කියලා හිතනවා. ඒ නිසා තමයි මම ඒ ආරාධනය කළේ. මම මේක අවසන් කරන්නම් විශේෂයෙන් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් නැතිව සංවර්ධනයක් නැතිව ඉන්නවාට වඩා මේක අවම වශයෙන් හොඳ යෝජනාවක් කියලා මම හිතනවා.

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ගෙන ආ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ඔබේ අදහස මොකක්ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 20 වැනි සංශෝධන යෝජනාව මම ප්‍රතිපත්තියක් හැටියට පිළිගන්නවා. එක පුද්ගලයකු වටා විධායක බලය එකතු වීම ගැන මමත් එකඟ නෑ. ඒ වුණත් ප්‍රායෝගිකව අද මේ රටේ විධායක ජනාධිපති ධූරය සම්පූර්ණවම අවසන් කිරීමට ඉක්මන් වැඩියි කියලා මම හිතනවා. ඒ නිසා මම ඒකට විරුද්ධයි. අපේ පක්ෂය ඒකට විරුද්ධයි. ඒ වගේම තවත් පක්ෂ කිහිපයක් ඒකට විරුද්ධයි. දැනට ගණන් හදලා බලනකොට පාර්ලිමේන්තුවේ සෑම පක්ෂයක්ම ගත්තොත් මන්ත්‍රීවරුන් වැඩි බහුතරයක් මම කියන ස්ථාවරයේ තමයි ඉන්නේ.

මගේ විරුද්ධත්වයට කරුණු දෙකක් තියනවා. ජාතික ප්‍රශ්නය තව අවසන් වෙලා නෑ. එතකොට සුළු ජන කණ්ඩායම් නියෝජනය කරන පක්ෂවලට අවුරුදු පහකට සැරයක් හරි ජනපති අපේක්ෂකයින් සමග සාකච්ඡා කිරීමට කේවල් කිරීමට අවස්ථාව ලැබෙනවා. මේ ධූරය අවසන් කළානම් ඒක නැති වෙයි. අනෙක් එක මේ මැතිවරණ අවස්ථාවේ මේ රටම එක ඡන්ද කොට්ඨාසයක් වෙනවා. එතකොට ජනාධිපති අපේක්ෂකයින්ට මේ රටේ ජීවත් වෙන සෑම ජාතියකම ඡන්දයත් අවශ්‍ය වෙනවා. සෑම පළාතකම ජීවත් වෙන අයගේ ඡන්දත් අවශ්‍ය වෙනවා. එතකොට පළාත් භේදයකින් තොරව ජාති ආගම් භේදයකින් තොරව මුළු රටම එක පුද්ගලයකුට ඡන්දය දෙන්න මුළු රටම එක ඡන්ද කොට්ඨාසයක් වෙන්නේ මේ අවස්ථාවේදී පමණයි. එය ජාතික සමගියට ඉතාම අත්‍යවශ්‍ය යැයි මම හිතනවා.

තුන්වැනි කාරණාව බලය බෙදීම පිළිබඳ තියන එකම නීතිය 13 වැනි සංශෝධනය. එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොවුණත් නීතිපොතේ තිබෙන එකම නීතිය ඒක තමයි. ඒක කොහොමද ක්‍රියාත්මක වුණේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හරි තම විධායක බලය පාවිච්චි කරලා පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා. එයට පෙර බණ්ඩාරනයක, චෙල්වනායගම්, ඩඞ්ලි චෙල්වනායගම් ගිවිසුම් දෙකම සාකච්ඡා කරලා අත්සන් කළා වුණාට එය පාර්ලිමේන්තුවේ සම්මත වුණේ නෑ. මේ වගේ අත්දැකීම් දකිනකොට අපිට හිතෙනවා විධායක ජනාධිපති ධූරය පවතින්න ඕනේ. ඒත් විධායක ජනාධිපති ධූරයේ තිබෙන බලතල ටික අඩුකර ගන්නට, ඒ සාකච්ඡාවට අපි ලැස්තියි. ඒත් සම්පූර්ණ බලතල අහෝසි කිරීම දැනට ඉක්මන් වැඩී කියලයි කියන්නේ.

ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක දෙපැත්තට ඇදීම තුළ රටේ බැලූ බැලූ අත ජනයා ආණ්ඩුවට දෝෂාරෝපනය කරන වාතාවරණයකුයි දැන් පවතින්නේ. ඔබට ඒ ගැන තිබෙන විග්‍රහය කෙබඳුද?

මම ඒක පිළිගන්නේ නෑ. මේ රටේ මේ අවස්ථාවේදී ගිය වකවානුවේ නැති ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, අධිකරණ ස්වාධීනත්වය, පොලිසියේ ස්වාධීනත්වය තහවුරු වෙලා තිබෙනවා. ඒ නිසා දැන් මේ ආණ්ඩුව ගැන විවේචනය කරනවා. කට ඇරලා කතා කරනවා. මාධ්‍ය වැරදි පෙන්නනවා. සාකච්ඡා කරනවා. ඒ කියන්නේ සද්ද වැඩියි. ඒකාලේ කැබිනට් එකේ හිටියේ , පාර්ලිමේන්තුවේ හිටියේ, රට තුළත් හිටියේ පූස් පැටව් තමයි. කට ඇරියනම් කට කැපෙනවා. මාධ්‍ය ආයතනවල ගිනි පත්තු වෙනවා. බෝම්බ වැදෙනවා. මාධ්‍යවේදීන්ගේ අතපය නැති වෙනවා. පාස්පෝට් ඇතිව හෝ නැතිව රටෙන් පැනලා යනවා. දැන් ඒ මොනවත් නෑනේ. ඒ කියන්නේ සද්ද වැඩියි. ඒක අපි අවබෝධ කරගන්න ඕනේ. සද්ද වැඩි නිසා ප්‍රශ්න වැඩියි කියන්නේ කොහොමද? ඒ කාලේ මෙයට වඩා ප්‍රශ්න තිබුණා. නිශ්ශබ්ද නිසා පෙණුනේ නැ. අපිට තිබෙන එකම අභියෝගය ණය කන්දරාවෙන් ගොඩ ගිහින් රටේ ආර්ථික තත්ත්වය තවත් සුබ කිරීම තමයි. ඒක අපි කරනවා.

උතුරේත් දකුණේත් දමිළ ප්‍රජාවගේ දැවෙන ගැටලු වලට විසඳුම් නොලැබුණු වාතාවරණයක් පවතිද්දී ඒ ප්‍රශ්න නොවිසඳීම ගැන ඔබ මොකද කියන්නේ?

මුලින්ම ඔබ ඇහැව්වේ ටී.එන්.ඒ. සංවිධානයට ආණ්ඩුවට එකතු වෙලා ඇමතිකමක් භාර ගන්න කියලා මම ඉල්ලුවේ ඇයි කියලා. ඒකට උත්තර දුන්නා. ඒත් ඒකට තව එකතු කරන්න දෙයක් තිබෙනවා.

බලය බෙදීම කියන්නේ පළාත් මට්ටමේ බලය බෙදීමක් පමණක් නොවෙයි. මධ්‍යම ආණ්ඩු මට්ටමිනුත් බලය බෙදන්න ඕනේ. ඒක කවුරුත් අවබෝධ කරගෙන නෑ. පළාත්වල නියෝජිතයෝ මධ්‍යම ආණ්ඩුවෙත් බලතල බෙදා ගන්න ඕනේ. ඒ හින්දා තමයි අර ඇමතිකමක් ලබාගන්න කියන්නේ. මේක අවබෝධ කරගන්න බැරි සමහර පටු අදහස් තිබෙන මිනිස්සු මම කරපු ආරාධනාවට විරුද්ධත්වය පළ කරනවා. ඒ කියන්නේ ටී.එන්.ඒ. නොවන අය. සමහර සිවිල් සමාජයේ ඉන්න අය. ටී.එන්.ඒ. නායකයා ස්වයං නිර්ණය අයිතිය ලබාගත්තයින් පසුව තමයි ආණ්ඩුවට එකතු වීම ගැන සලකා බලන්නේ කියලා මට උත්තරයක් දුන්නා.

මේ අවස්ථාවේදි අපි වර්තමානය හා අනාගතය ගැන සලකා බලලා අපට දැන් තියෙන්නේ දෙමළ ජනතාවට පළාත් සභා මට්ටමින් වැඩ කිරීමේ යාන්ත්‍රණය තව ශක්තිමත් කිරීම තමයි. ඒ යාන්ත්‍රණය යටතේ නීතියෙන් තිබෙන බලතල තවමත් අපි දීලා නෑ. ඒක හදන්න ඕනේ. 13 ව්‍යවස්ථාවේ හැටියට තවමත් සම්පූර්ණ වුණ පළාත් සභා හැටියට ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒක ලබා ගන්න ඕනේ. උතුරු නැගෙනහිරට පිට ජීවත් වෙන දෙමළ ජනතාවට පළාත් සභාවට පහළින් තිබෙන ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් පාලන ආයතන මට්ටමින් තමයි බලය බෙදීම සිදුවෙන්න ඕනේ. ඒකට අපි කටයුතු කරලා තිබෙනවා. මධ්‍යම පළාතේ නුවර එළිය දිස්ත්‍රික්කයේ අපි අලුත් ප්‍රාදේශීය සභා 6ක් ලබා ගත්තා. ඒක අපේ ප්‍රගතිශිලී සංධානය ආණ්ඩුවේ හවුල්කාරයකු විදිහට ලබාගත්ත ජයග්‍රහණයක්.

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමට පෙර රටට පොරොන්දු වූ ප්‍රධාන පොරොන්දුවක් වූයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම. බලයට පත් වූ මුල් අවධියේ එවැන්නක් ගැන කතිකාවක් තිබුණත් එහි රැස් දැන් වියැකී ගිහින් අවසානයි. මෙයත් හමස් පෙට්ටියට වැටුණු පොරොන්දුවක් නේද?

ඇතතටම දැන් අලුත් ආණුඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ ගමනේ අපි පරාජය වෙලා කියලා මට හිතෙනවා. මේ ආසාර්ථක වීමක් ලෙසයි මට පේන්නේ. ඒත් මම දැන් කියන දේ වැරදි වෙලා, බොරු වෙලා, අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අපට ලබාගන්න පුළුවන් නම් ඒකට සතුටු වෙන පළමුවැන්නා මමයි.

එනමුත් ජනතාවට බොරු පොරොන්දු දීලා රවට්ටන්න මම කැමති නෑ. ඒ නිසා මට දැනෙන විදිහට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එන පාටක් නෑ. එකක් තේරුම් ගන්න අපි ආණ්ඩුවේ කටයුත්තක් විදිහට නොවෙයි මේ රටේ කටයුත්තක් විදිහට මාත් සහභාගීත්වය දරන ව්‍යවස්ථා සැලසුම් කමිටුවේ ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරු පමණක් නොවෙයි විපක්ෂයේ මැති ඇමතිවරුත් මෙතන ඉන්නවා. ඒකාබද්ධ විපක්ෂයේත් දෙන්නෙක් මෙතන ඉන්නවා. ඒ නිසා රටක් හැටියට තමයි කරන්න උත්සාහ කළේ. ඒත් ඒක අසාර්ථක වෙලා තියනවා. ඒක ඇත්ත යථාර්ථය. ඒ නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණ 20 වැනි සංශෝධනය කියලා විධායක ජනාධිපති ධූරය අවසන් කිරීමේ යෝජනාව වෙනම පිටින් ගෙනාවේ. ඒ අයත් දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එන්නේ නෑ කියලා. ඒ වගෙ මම අපේ පක්ෂය වෙනුවෙන් කරපු යෝජනා මාලාවෙන් ප්‍රධාන යෝජනාවක් වුණේ. සිංහල හා දෙමළ භාෂා දෙකම අපි රාජ්‍ය භාෂා හැටියට පිළි අරගෙන තිබුණත් හරි දැන් තිබෙන ව්‍යවස්ථාවේ එක වාක්‍යයකින් කියනවා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කියලා. දෙවන වාක්‍යයෙන් කියනවා දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාව විය යුතුයි කියලා. ඒක වෙනස් කර සිංහල දෙමළ රාජ්‍ය භාෂා විය යුතුයි කියලා එකම වාක්‍යයකින් කියන්න ඕනේ කියන යෝජනාව මම 21 වැනි සංශෝධනය හැටියට ගේන්න අදහස් කරනවා.