රාවය

විජයකලා නොව දකුණේ දේශපාලකයෝත් ප්‍රභාකරන්ට ණයයි

විජයකලා නොව දකුණේ දේශපාලකයෝත් ප්‍රභාකරන්ට ණයයි

ටිරන් කුමාර බංගගමආරච්චි

මේ පාර්ලිමේන්තුව තරම් රට ගැන හිතන තවත් පාර්ලිමේන්තුවක් ලෝකයේ කොතැනකවත් නැති බව ස්ථිරය. ඔවුහු රටේ නිදහසට විරුද්ධව වචනයක් පිට වුවද ඒ වෙනුවෙන් දිවි පුදන්නට වුව සූදානම්ය. විජයකලාගේ ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වූ බව ඊයේ මාධ්‍යවල ප්‍රධාන පුවතය. මේ පාර්ලිමේන්තුව උණුසුම් නොවන දවසක් වේද? වැඩකට නැති කතාබහ ඇරුණු කොට මේ පාර්ලිමේන්තුව මහජන සුබ සිද්ධිය වෙනුවෙන් කරන දේ කුමක්ද? තම සුඛ විහරණය ගැනම සිතන මොවුන් ජනතාව ගැන සිතූයේ කවදාද? ඒ මේ විජයකලා කී කතාවක එල්ලීමද? එහෙම නැත්නම් හිට්ලර් නම කියූ සැණින් ජෝගි නැටීමද?

විජයකලා උතුරේදී කළ කතාවක නැවත එල්ටීටීඊය ඇති කළ යුතු බව කියා ඇත. පාර්ලිමේන්තුවේ සිංහල ඇමතිවරු මේ නටනුයේ ඒ ප්‍රකාශයටය. සිංහලුන්ට වඩා සිංහල වන්නට වළිකන එස්.එම්. මරික්කාර්, විජයකලා අංගොඩ මානසික රෝහලට ගෙන ආ යුතු බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මානසික රෝහලට රැගෙන යන්නේ නම් මේ මහත්වරු සියලුදෙනාම එහි රැගෙන යා යුත්තේ විජයකලාට පෙර බව මතක් කළ යුතුය.

විජයකලාගේ ප්‍රකාශය අද දකුණේද ජනප්‍රිය කතාවකි. එය අපද වගකීමෙන් කියමු. එනම් ප්‍රභාකරන් සිටියා නම් අපූරුය. මන්ද ප්‍රභාකරන් සිටින කල දකුණද මීට වඩා සංවරය. දකුණේ දේශපාලකයා සම්පූර්ණම විකෘතියක් බවට පත්වුණේ ප්‍රභාකරන් අහිමි වූ පසුවය. එතෙක් ඔවුන්ද පණ බයේ මේ තරම් පිස්සු නොකෙළියේ මියෙන බව දන්නා නිසාය. එහෙත් අද ඇමතිවරු ක්‍රියා කරනුයේ නොමියෙන මිනිසුන් ලෙසය.

විජයකලා කී පමණින් ප්‍රභාකරන්ලා නැවත ඉපදෙනවාද? එල්ටීටීඊය නැවත බිහිවනවාද? කිසිවක් නොකරන මැති-ඇමතිවරුන්ට මේවා මරු කතාය. එල්ටීටීඊය අහවර කොට සුන්නද්දූවිලි කළ රාජපක්ෂලා පමණක් නොව ෆොන්සේකාද තවමත් සිටිති. එසේ නම් මොවුන් එල්ටීටීඊය විනාශ නොකළාද? කුමන හෝ දේශපාලන බලවේගයක් කවුරු හෝ කිව් පළියට ඇති කළ නොහැකිය. අද විජයකලා කී දේට නහින මේ ඇමතිවරු එදා කීදෙනෙක් එල්ටීටීඊ සංවිධානය සමග සමගි කතාබහට ගියේද? අගමැති එදා ගිවිසුම් ගැසුවේ නැද්ද? මහින්ද රාජපක්ෂ ඡන්දය දිනන්නට ඔවුන් භාවිත කළේ නැද්ද? අදත් බැසිල් උතුර දිනිය යුතුයි කියනුයේ ඇයි? යහපාලනයම අද පවතිනුයේ උතුරේ ඡන්දවලිනි. ඒ ඡන්ද ලබාගත්තේ රාජපක්ෂලා නොකළ උතුරේ ජනතාව නගා සිටුවීම සිදුකරන බවට පොරොන්දුවෙමිනි. එහෙත් අද උතුරට වූයේ කුමක්ද? මිනීමැරුම්, කුඩු, ස්ත්‍රී දූෂණ, ළමා දූෂණ මේවා මොවුන් ප්‍රභාකරන් සිටින කල නොඇසූ නොදුටු දෑය. අඩුම තරමේ ඒවා නොවන්නට එදා දරුණු විනයක් විය. අද මේ මිනිසුන් ප්‍රභාකරන් සිටියා නම් කියනුයේ ඒ නිසාය. විජයකලා අමතනුයේ ඒ ජනතාවටය. ඇයද එහි වෙසෙන්නියකි. ඇයට වුව කුඩා දැරියක දූෂණය කොට මැරූ කල මැතිරෙනුයේ ප්‍රභා හිටියා නම් මේ දේවල් නොවන බවය. එය මානුෂීයය. යුද්ධය අහවර කළා නම් ඒ විනාශයක් නොවන්නටත් ආණ්ඩුවලට වගකීමක් තිබිය යුතුය. උතුරේ නොව දකුණේ වුව ළමුන් දූෂණය කොට මරන්නේ නම් ඒ වගකීම ආණ්ඩුව භාරගත යුතුය. එයයි ඇත්ත. එය භාර නොගෙන විජයකලාට ගල් ගැසීම විහිළුසහගතය.

මහින්ද රාජපක්ෂ වරක් කීවේ අපේ හාමුදුරුවනේ මම කළ වරද මේ යුද්ධය අහවර කිරීම බවත් ඒ නිසා තම පවුලෙන් මේ ආණ්ඩුව පළිගන්නා බවත්ය. එසේ නම් ඒ කියනුයේ ප්‍රභාකරන් හිටියා නම් හොඳ බව නොවේද? එය නොකර ඉන්නට තිබුණු බව නොවේද? විමල් වීරවංශ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බව කීවේය. එය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවේද? ඉස්බුල්ලා දිගන, තෙල්දෙණිය සිදුවීමෙන් පසු පාර්ලිමේන්තුවේ කීවේ මේ ආකාරයට සිදුවුවහොත් මුස්ලිම් තරුණයාට තුවක්කු ගැනීමට සිදුවන බවය. එය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවේද? එදා මේවාට විරුද්ධව පාර්ලිමේන්තුව නිහඬ වූයේ ඇයි? මේ අද කෑගහන මහත්වරු එවිට නිදා සිටියේද?

සැබැවින්ම එජාප, ශ්‍රී ලංකා, පොහොට්ටුකාරයන් මෙන්ම ජවිපේ ගැනත් ඇත්තේ ලැජ්ජාවකි. මේ සැබෑ අරුත නම් විජයකලා දෙමළ වීම නොවේද? අද දෙමළ කෙනකුට ප්‍රභාකරන් නම වුව මේ පොළොවේ කිව නොහැකිය. අලුත උපදින දරුවකුට ප්‍රභාකරන් නම තැබීමත් මහා පාපයක් වනු ඇත. මේ කුමන විගඩමක්ද? තවමත් දකුණේ දේශපාලනය කරන රාජපක්ෂලා අදත් විකුණනුයේ යුද්ධය හා ප්‍රභාකරන්ය. එහෙත් ඔහු අහිමි දෙමළ ජනයාට ඔහු සිටියා නම් කියා කීමට නොහැකිය. නැවත ප්‍රභාකරන් නොඑන බව රාජපක්ෂලා දනිති. එහෙත් ඔවුහු තවමත් ඒ බිල්ලා මවති. දෙමළ වැසියෝද නැවත ප්‍රභාකරන් කෙනකු නොඑන බව සහ සුද්දයටම දනිති. එහෙත් එදා නොවූ දේ අද උතුරේ වනවිට අද දකුණෙන් මෙන්ම උතුරේද තම ජීවිතයට රැකවරණයක් අහිමි තැන ප්‍රභාකරන් සිටියා නම් ඔහු නැවත ආවා නම් කියා සිතීම පාපයක්ද? මේ දෙපිරිසම ඉටු නොවන යථාර්ථයක් ගැන සිතති. ඒ පැවැත්ම උදෙසාය.
යුද්ධය අහවර කොට අදටත් දෙමළ ජනයා දිනා ගැනීමට සිංහල පාලකයාට නොහැකි විය. පුනරුත්ථාපනය කළ අය අදටත් වන්දියක් දී හෝ නැවත සමාජගත කරන්නට දකුණ කැමති නැත. එයින් අදහස්වන්නේ තවමත් දකුණ දෙමළ මිනිසුන් දෙස බලනුයේ ත්‍රස්තවාදීන් ලෙසම බව නොවේද? අදටත් හැම දෙමළාම ත්‍රස්තවාදියකු ලෙස බලන මේ බැල්ම අළුකර පුච්චා දමන්නේ දෙමළ හදවත්ම නොවේද?

ඔවුන්ගේ ඡන්ද ගත් දෙමළ දේශපාලකයා පවා අද අනාථ වී ඇත. ඔවුන්ට නැවත දේශපාලනය කළ නොහැකි තරමට ඔවුන් දෙමළ ජනයා රවටා ඇත. එනම් සිංහල පාලකයා විශ්වාස කොට දෙමළ ඡන්ද ලබා දුන් නිසාය. ඔවුන් හෙට නැවත දෙමළ ඡන්ද ගන්න නම් කුමක් කිව යුතුද? මහින්ද රාජපක්ෂ හොඳයි කිව යුතුද? රනිල්, මෛත්‍රී හොඳයි කිව යුතුද? ප්‍රභාකරන් හොඳයි කිව යුතුද?

පළාත් පාලන ඡන්දය පරාද වූ සැණින් මහින්ද ළඟට ගිය මන්ත්‍රීවරු දහසය දෙනා අවංකවම ගියේ ඇයි? ලබන වර මේ පැත්තේ සිටියහොත් පරදින නිසා නොවේද? දේශපාලනය හමාර වන නිසා නොවේද? එවැනි තක්කඩින් අද විජයකලාට ගල් ගසනුයේ රෙදි ඇඳගෙනද? මේ විලි ලැජ්ජාවක් නැති දේශපාලකයන් තවමත් කල් ගෙවනුයේ මළකුණු මතිනි.
විජයකලා කී දේ තුළ කිසිදු අගතියක් ඇතැයි නොපෙනේ. ඇය කීවේ ඇත්තය. එය දෙමළ ජනතා පැතුමය. මහ ජාතිය ලෙස ඔවුන් දිනාගනු වෙනුවට විජයකලාට බැණ වැදීමෙන් පළක් නැත. ඡන්දයට නම් හැමෝටම දෙමළ ඡන්ද වුවමනාය. එවිට විජයකලාලා දේවදූතියන්ය. කතිරයට ආගමක්, ජාතියක් නැත. ඉන්පසු නියම ජාතිවාදීන්ට ප්‍රභාකරන් මතක් කළ සැණින් සිංහල දේශපාලකයන්ට ගිනි පිටවේ. මේ බොරු තක්කඩිකමක්ය. මරික්කාර් දේශපාලනයට ආවේ කොතැනින්ද? එතනට එදා තිබූ චෝදනා මරික්කාර් අමතක කොට ඇති ඉක්මන පුදුමය. එල්ටීටීඊ සංවිධානයට ඍජුවම එදා උදව් කළ බවට චෝදනා ඈඳාගෙන එදා ඒ ආයතනයට ගැසූ යුගයක් විය. එදා යන්තම් හෝ එය නොගැළපුණි නම් අද ඒ අයට මරික්කාර්ලා බිහි කළ නොහැකි වනු ඇත. ඒ අතින් බලන කල මරික්කාර් ප්‍රභාකරන්ට ණයය. මේ බොහෝ දේශපාලකයන් ප්‍රභාකරන්ට ණයය. ඔවුන් අතිබහුතරයක් දේශපාලනය කරනුයේ ප්‍රභාකරන් පිහිටෙනි. අදටත් හෙටටත් එය එසේමය. එහෙව් උන් විජයකලා දංගෙඩියට යවන්නට වළි කති. මේ සිංහල දකුණේ උමතු දේශපාලනයේ තරමය. හැම පිස්සෙක්ම තමන් අතැර අනෙකාට පිස්සු යැයි කියයි. ඒ පිස්සන්ගේ හැටිය. විජයකලා ඔබ හරිය. විජයකලාගේ ඇමතිකම ගැලවීම නොකළ යුතුය. මන්ද ඔබේ ප්‍රකාශය දිගුකාලීන පීඩනයේම ප්‍රකාශනයක් වන බැවිනි.