වැදගත්ම දේ පරිපූර්ණ කාව්‍යමය අත්දැකීමයි – තිඹිරියාගම බණ්ඩාර

කවි බස
දිනී ජයසේකර

කවියකුගේ ප්‍රධාන මාධ්‍ය භාෂාවයි. එහිදී කවියට ආවේණික භාෂාවක් තියෙනවාද?

කවියට ආවේණික වෙච්ච භාෂාවක් නැහැ. පැරණි කවි සමය අනුව සිතන අය එවැනි භාෂාවක් ඇතැයි සිතනවා. කවියෙහිදී භාවිත වන්නේ ව්‍යවහාර භාෂාවයි. මෙය ගත් වහර, කට වහර යනාදී වශයෙන් භාෂා මූල ගණනාවකින් පෝෂණය වෙනවා. නූතන සිංහල කවි බස සිංහල වචනවලට අමතරව දෙමළ, සංස්කෘත, පාලි, ඉංග්‍රිසි යනාදී භාෂාවෙන්ගෙන් පෝෂණය වෙනවා. මහගමසේකර සමකාලීන කවි බස මැනවින් ප්‍රයෝජනයට ගත් නිර්මාණකරුවෙක්. එහෙත් වර්තමානයේ ඇතැම් සරසවි ඇදුරන් කවියට ආවේණික භාෂාවක් ඇතැයි සිතා කටයුතු කරන බව පෙනෙනවා. මෙය දුර්මතයක්.

යුගයෙන් යුගයට කවි පරම්පරා බිහිවෙනවා. ඒ ගැන ඔබගේ අදහස?

මෙය ලොව ඕනෑම රටකට පොදු තත්ත්වයක්. භාෂාව කියන්නේ නිදහසේ ගලා යන ප්‍රවාහයක්. ඒ අනුව භාෂාව මුල් කොටගත් කවිය නිදහසේ විවිධ පැති මාන ඔස්සේ ගලාගෙන යනවා. ලංකාවේ ජනප්‍රියම කාව්‍ය ධාරාවක් බවට පත්වූ කොළඹ කවියට 50 – 60 දශකවල තිබූ ප්‍රසාදය අද වෙනස් වෙලා තියෙනවා. වත්මන් කාලපරිච්ඡේදවල ප්‍රචලිතම කාව්‍ය ධාරාව නිදහස් කවියයි. කවිය අන්තර්ගතය හා ආකෘතිය අතින් අලුත් වෙමින් මානව ජීවිතයේ හර පද්ධතීන් වෙනස් මානවලින් දකිමින් වර්ධනය වෙනවා. මේ අනුව කලින් කලට කවි පරම්පරාවල් බිහිවීම සහේතුකයි. එහෙත් තමන් ප්‍රිය කරන කවි මග අනුව ගුරුකුල නිර්මාණය කර ගැනීම කවියේ ඉදිරි ගමනට බාධාවක්.

කවියේ ප්‍රභේද රාශියක් තියෙනවා. ඒ අතරින් ඔබ ප්‍රිය කරන විශේෂ ප්‍රභේදයක් තිබේද?

පුද්ගලිකව මා ප්‍රිය කරන විශේෂ කාව්‍ය ප්‍රභේදයක් නැහැ. පැරණි ගී කාව්‍යයේ රසාලිප්ත, රමණීය තැන් හමුවෙනවා. එහෙත් සංස්කෘත සාහිත්‍යය අනුකරණය කිරීමෙන් ගී කාව්‍ය හරසුන් වූ අවස්ථා බහුලයි. සංදේශ කවිවලත් සමහර තැන් නිර්මාණාත්මකයි. මාතර කවිය, කොළඹ කවිය ගත්තත් ඒකමයි. වත්මනෙහි සමහරු කෙටි කවිවලට වහ වැටී සිටිනවා. ඔවුන් සිතන්නේ කවියේ අග්‍රඵලය එය බවයි. එය වැරදියි. හැබැයි නිර්මාණාත්මක අතින් විශිෂ්ටත්වයට පත් වූ කෙටි කවි රැසක් බිහි වී තිබෙනවා. මා ඒවාට කැමතියි. නිදහස් කවි යුගයේ වත්මන් අදියරෙහි බිහිවන උසස් කවි රැසක් අපගේ හද මනස ප්‍රබෝධවත් කිරීමට සමත් වී තිබෙනවා. ගුණදාස අමරසේකර නිදහස් කවියෙහි ධාරිතාව පුළුල් කරමින් නිර්මාණ විධි රැසක් භාවිතයට ගත්තා. එය වත්මන් කවියට විශාල බලපෑමක් කර තිබෙනවා. මම හිතන්නේ නිදහස් කවිය මුල් යුගයෙහි බුද්ධිවාදී කවියට ප්‍රිය කරන සුළු පිරිසකට සීමාවී තිබුණත් අමරසේකර බුද්ධිවාදී සහ භාවවාදී ලක්ෂණ කදිමට මුසු කරමින් නිදහස් කවිය මැද මාවතට ගෙනාවා. මේ අන්දමට වත්මන් කවියෙහි මා ප්‍රිය කරන කාව්‍ය ප්‍රභේද ගණනාවක් තිබෙනවා.

ඔබගේ කවියට ආවේණික වූ ආකෘතියක් තියෙනවාද? ඒ මොකක්ද?

ආකෘතිය යනු කවියේ අන්තර්ගතය අනුව නිරායාසයෙන් බිහිවන හැඩයක්. ආකෘතිය මුලින් තීන්දු වන්නේ නැහැ. පුද්ගල අත්දැකීමක්, කාව්‍යමය අත්දැකීමක් බවට ප්‍රතිනිර්මාණය කරන විට කවියෙන් වෑහෙන අරුත් සමුදාය උද්දීපනය කෙරෙන ආකෘතියක් සැපයෙනවා. කවියා එතෙක් ලද විෂය දැනුම හා රසවින්දන පරාසය ඔහුගේ මනසෙහි විදුලි කොටමින් තිබෙන නිසා අන්තර්ගතයට සරිලන ආකෘතිය සුඛනම්‍ය අයුරින් සකස් වෙනවා. මා අතින් ලියැවුණු කවිවලින් වැඩිහරියක් සිංහල ඡන්දස් සම්ප්‍රදාය ඇසුරු කරගෙන තිබෙනවා. ඡන්දසෙහි සුවඳවත් නොගෑවුණු කවි මා අතින් ලියැවී ඇත්තේ ස්වල්ප ප්‍රමාණයක්.

ආකෘතියකට කොටුවීම කවියට හානියකැයි ඔබ හිතනවාද?

කවියෙහි ආකෘතිකවාදී අත්හදාබැලීම් කවදත් කෙරෙනවා. මහගමසේකර හෙට ඉරක් පායයි කෘතියෙහි එවැනි නිර්මාණ කිහිපයක් අන්තර්ගත කළා. හැබැයි ඔහු එය අත්හදාබැලීමෙන් ඔබ්බට ගෙන ගියේ නෑ. මෑත අවදියෙහි ආඛ්‍යාන කවි යැයි හඳුන්වමින් රචනා වූ ඇතැම් කෘතිවලත් මේ ආකෘතිකවාදී බව පෙනුණා. එමෙන්ම සම්භාව්‍ය සාහිත්‍යයේ මහා කාව්‍ය සම්ප්‍රදාය අනුව යමින් ලියැවෙන ඇතැම් කෘතිවලත් මේ ලක්ෂණය පේනවා. කවියෙහිදී වඩා වැදගත් වන්නේ ආකෘතිය නොවේ. පරිපූර්ණ කාව්‍යමය අත්දැකීමක් ඔස්සේ රසික මනස චමත්කාරයෙන් පුරවාලීම කවියෙහි අරමුණයි. එවැනි ගැඹුරු කවියක් රසිකයාගේ චින්තනය අලුත් කරනවා. ජීවිතය ගැන අලුතින් හිතන්නට පොළඹවනවා. කවියෙහි ආකෘතිය ඉස්මතු කරන්නට ගියහොත් කවියෙන් අපේක්ෂා කරන දේ ඉටු වන්නේ නෑ, එය මෝස්තරයක් පමණයි.