බඩගින්න හා කැවුත්ත

ශාන්ති දිසානායක

අදෘශ්‍යමාන අත් රැසක් මහ විසාල මාගලක් උස්සාගෙන ඉන්නවා වගේය. මහ ගිනි දවාලක උන්හිටි හැටියේ කඩාපාත් වන අන්ධකාරය සම්බන්ධයෙන් කෙල්ල හිතන්නේම එයාකාරයෙනි. ඈත ආකාසයේ කොයි කොතැනකවත් වැහි බිත්තර නැත්තෙන් ඒ අඳුර වැහි මන්දාරමක් නොවන බව මුමුණන්නේ කෙල්ලගේ අම්මාය.

“කෝකටත් රෙදි ටික ගන්ඩ. පරණ ආකාසේ, කාටද ඉතිං විස්වාස කරන්ඩ පුළුවන්.”

කොයි වෙලෙත් කිරි උරා බොන කිරිසප්පයෙක් එක්ක ඔට්ටු වන ඇය කෙල්ලට අණ කරයි. ඉස් ඉස්සෙල්ලාම තමා අම්මාගේ ඇකයෙන් ඉවතට තල්ලු කර දැමූ මල්ලිත් තුරුළු කරගෙන නංගීට කිරි පොවන අම්මා දිහා කෙල්ල බලා ඉන්නේ අයා ගත් ඇසිනි. ඇගේ කුඩා හෘදය සාංකාවෙන් බරව යයි. අම්මාගේ ළමැදේ උකුලේ කොයි කොහොම වෙතත් දෙපයේ හෝ ඇබිත්තං ඉඩක් තමාට ලැබෙන්නේ නම් දාසියක වාගේ ගෙදර සියලු වැඩපළ කරන්නටත් රෑට ජංගිය තෙමා නොගන්නටත් දහ අතේ දිවුරා පොරොන්දු වන්නට ඇය සූදානම්ය. එහෙත් අම්මාට ළං වන්නටවත් ඉඩක් නොලැබේ. එක්කෝ මල්ලි අඩදබර කරයි. එහෙමත් නැත්නම් නංගී අඬා වැටේ. ඔක්කෝටම වඩා ඉවසන්නට බැරි අම්මාගේ දැනමුතු කයි කතන්දරය.

ඔයා දැන් ලොකුයිනේ….ඔයානේ ඉතිං අක්කා….ඔයා තමා වැඩිමලී……”

මල්ලිට වඩා යාන්තම් අවුරුද්දකින් වැඩිමහල් තමා අම්මා ඔය කියන තරම් ලොකු වන්නේ කොහොමදැයි කෙල්ලට නොවැටහේ.

“යන්ඩ……යන්ඩ ඉතිං. රෙදි ටිකවත් ගන්ඩ බැරිද ඔච්චර ලොකු ළමයකුට…..ඕකත් මහ වැඩක්ද?…..?”

කිරි බරින් දරු බරින් උතුරා යන ගැහැනිය කෙල්ලට කෑගහන්නේ පර දරුවකුට අණ කරන කුඩම්මා කෙනකු වගේය.

නමා ගත් හිසින් තෙත්ව ගිය දෑසින් මිදුලට ගාටන කෙල්ල හූල්ලා වැටේ. අහසේ කොතනක හෝ ඉර යහතින් බබළන බව කියාපාන්නේ අඩ ආලෝකයයි. අඩ අඳුරද ඒ අඩ ආලෝකය ද සුළගේ සැලෙන අතු ඉති ද ඇගේ කනස්සල්ල හීන් සීරුවේ දිය කර දමයි. වියළි පත් වැස්සක් ඇගේ කිහිල්ලට අනින අතැඟිලි වාගේ ඇය සිනා ගන්වයි. දෑත විහිදා මිදුල පුරා දිව යමින් කොස් කොළ, අඹ කොළ අල්ලන්නට වෙහෙසෙන කෙල්ල දිහා ඒ මහ විසාල අඹ කොස් ගස් බලා ඉන්නේ දරු හැවිකාරයෙන් උතුරා ගිය බවලතියන් වාගේය. අම්මාත්, මල්ලීත්, නංගීත් රිදවූ හිත සනසාලන ගහකොළට, අහසට, පොළවට, බැතිබර විය යුතු බව නොදත් කෙල්ල තටු සලන සමනලයකු වාගේ ඒ මේ අත දිව ගියාය. ළයට තද කරගත් කොළ ගොඩක් එක්ක මිදුල මැද්දේ ඇද වැටුණේ හිතාමතාමය. අම්මාගේ ලොකු ඇඳේ කුඩා ඉඩක් හෝ අහිමි කෙල්ල මහ පොළොව බදා වැළඳ වැතිරුණාය. පොළෝ මතුපිට දිව යන දිමියෝ, කූඹියෝ වේයෝ, රතු කුරුමිණියෝ වගේම පොළෝ ගැබ සතර දිශාවට විහිද දිව යන අඹ මුල්, කොස් මුල් අන්තිම වතුර උගුරත් බොන කෑදර දිවක් වාගේ වතුරම සොයා උරා බොන බවත් පිරිමැද අසා දැක බලා ගන්නට ඇගේ ඇස් කන් විවර විය. වැඩි වේලාවක් පොළෝ අම්මාගේ පපුව ගැහෙන හඬ අසන්නට ඉඩ නොදුන් ශක්තිමත් දෑතක් ඇය ඉහළට ඔසවා ගන්නා ලදී. ඇගේ ඇස් ඇගේ ලොකු ඇස් දුටුවේ තාත්තාගේ සෙනෙහෙබර සිනා පොදයි. කඩ බක්කියත් තරාදියත් අතරේ යම යුද්දයක නිරත වෙමින් වුව ඔහු වැඩිමලී සොයා එන්නට ඉඩ හසරක් කෙසේ හෝ පාදා ගනී. නංගිට, මල්ලිට සින්න වූ අම්මා මේ හින්නිකිතර කෙල්ලගේ හිත රිදවන බව ඔහු දැන හිටියා වගේය. ඇය දෙවුරේ එල්ලා ගත් ඔහු නැවතත් කඩයට දිව්වේය. ඒ දිවිල්ලම ඇයට මහ හයියෙන් හිනැහෙන්නට වරම දුන්නේය.

කිසිවකු නොවූයෙන් කෙල්ල තාත්තාගේ ඔඩොක්කුවේ ඉඳගෙන ඉන්නට ද රටකජු ගොට්ටක රස බලන්නට ද භාග්‍යමත් වූවාය. ඉතිං ඒ වේලාවේ ඒ කඩ පොඞ්ඬේ මේ ලෝකයේ ප්‍රීතිමත්ම තාත්තායි, දෝණියන්දැයි එක්ව හුන් බවට සාක්ෂි දැරුවේ කරවල පුසුඹ ඉව කරන තඩි මීයකු පමණි. තව මොහොතකින් මී ඇස් දෙකක තනි නොතනියට මනුස්ස ඇස් හතරක්ද එක්කාසු විය.

“මොනවද ඕනෑ?” යි අහන්නට තාත්තාට සිදු වූයේ ඒ කුඩා පාරිභෝගිකයන් දෙදෙනාගේ නිශ්ශබ්දතාව නිසාය.
“මේ……මේ……”

කෝටුවක් වාගේ කෙසඟ කළු කෙල්ල ගොත ගැසුවාය. ඇගේ අතක එල්ලී හුන් දොඩම් ගෙඩියක් විතර උසැති බටු කොල්ලා තොල පෙරලාගෙන මුහුණ බෙරි කර ගනිමින් හැඬුමකට ලක ලෑස්ති විය.

“ඇයි? මොනවද ඕනෑ?”

තාත්තා නැගී සිටියේ බෙල්ල බදාගත් දියණිය පුටුව මත හිඳුවමිනි.

“පා……පාං……පාං….”

මින් පෙර දැක පුරුද්දක් නැතත් මේ කුඩා පාරිභෝගිකාව වෙනුවෙන් ඔහු කඩිසර විය.

“කොච්චරක්ද?”

ඇය කිටි කිටියේ තද කරගෙන මිට මොලවාගෙන හුන් කාසි කීපය කැෂියර් මේසය මත තැබුවාය.හරියට මිණි මිතු අත්හරින්නා වාගේ ලෝබකමිනි. විස්සෝපයෙනි.

“පාං……පාං කාලක්”

බියද දුකද තැතිගැන්මද පිරුණු ඇස් හතරක් වෙත එල්ල වූයේ කඳුලින් හැකිළී ගිය ඇස් හතරකි. තාත්තාටත් දෝණියන්දැටත් මේ කළු කෙල්ල හා බටු කොල්ලා වටහා ගන්නට බැරුව වාගේය.

“පාං කාලක් ඇතැයි දෙන්නෙකුට….?”

තාත්තා හිනැහෙන්නට වෑයම් කළේය. හිතේ තෙතමනය කොතෙක් වුව ද කටේ රළු බවින් තිගැස්සුණු බටු කොල්ලා හඬා වැටුණේය. අඬන්නට බලාගෙන උන් ඔහුට මුදලාලිගේ හඬද බැල්ම ද ඇහැට ඇන්න ඇඟිල්ලකි.

“ඇයි මේ අඬන්නේ?”
අක්කා ඇඬුම්බර මුහුණින් බලා හිටියා මිසක කිසි කතාවක් නොකළාය. ඇගේ සෝබර නෙත් නවතින්නේ රටකජු ගොටුවක් අතැති කෙල්ල මතය. ඒ ඇස් කෙවිටක්ව තමාට තලන බව දැනී නොදැනී ගියෙන් කෙල්ල පුටුවෙන් බිමට රූටා ආවාය.

“ හා හා වැටෙනවා දැං”

යි කෑ ගෑ තාත්තා ඇය අල්ලා ගන්නට පෙරට පැන්නේ ය. ඒ ඇසිල්ලක කාලය තුළ අර කෙල්ලත්, කොල්ලාත් අතුරුදන් වූ බව ඇදහිය හැකිද? එහෙත් එය ඒසේම සිදු විය.

“කොයි මේ ළමයි?”

තමාගේ කෙල්ල නිරුපද්‍රිත බව පසක් කර ගත් හැටියේ තාත්තා ළත වූයේ නාඳුනන ළමයින් ගැනය. ඔවුන් මෙතෙක් වේලා කඩ පොඞ්ඬේ තාවර වේවී හුන් බව කියා පාමින් දහඩිය දුහුවිල්ලෙන් කිළිටි වූ කාසි කීපය මේසය මත තිබිණ.

“කොහේ ගියාද ඇහිපිල්ලං ගහන ටිකට….?”

තාත්තා මිදුලට දිව්වේය. කෙල්ල හෙවණැල්ල වාගේ ඔහු ලුහු බැන්දාය.

“ළමයි දෙන්නා හිටියේ පාං කියාගන්ඩවත් බැරි තරමත බඩගින්නේ….”

ඒ කළු කෙල්ලගේ දෑසේ දැවුණේද බටු කොල්ලාගේ පෙරළුණු දෙතොලේ හැඬුමක්ව රැඳුණේ ද බඩගින්න බව ඔහු ඔවුන් වෙත හෙළු පළමු බැල්මෙන්ම වටහාගෙන සිටියේය.
“උක්කුං මලේ….. කඬේ ටිකක් බලා ගන්ඩකෝ” යි හඬගා කියමින් ඔහු බයිසිකලයට නැග්ගේ තමාගේ කෙල්ල පවා මොහොතකට අමතක කර දමමිනි. ඒ හින්දාම ඇය දනි පනි ගා ලැගේජය මත හිඳගත් බව පවා ඔහුට නොහැඟිණි. මද දුරක් යත්ම ඔහුගේ ඉඟටිය වෙළාගත් දෑත ඒ බව දැනුම් දුන් කළ ඔහු විමතියට පත් විය.

“නැග්ගා නේද හොර කෙල්ල බයිසිකලේට මටත් හොරෙන්” යි කිව්වා මිසක ඔහු තරවටු කරන්නට හෝ කෙල්ල බස්සන්නට අදහස් නොකළේය. අම්මාගේ ළමැදෙන් උකුලෙන් පිටමං කළ එකිය කෙරෙහි අසීමිත ආදර කරුණාවෙන් තෙත්ව යමින් ඔහු වෙර යොදා බයිසිකලය පැද්දේය. අතුරු මඟකදී එය හරවන්නට බල කරන ලද්දේ අඩ අඳුරේ දිව යන අක්කා මලෝ දෙදෙනා විසිනි.

අන්තිමේ දී පිල් කණ්ඩිය මත ගුලි වී වෙව්ලන ළමුන්ද පිල් කොණේ බූරු ඇඳක් මත වැටී හුන් මිනිසාද මේ අගක් මුලක් නැති කතන්දරයේ හිස්තැන් පුරවාලූහ.

“මට ඒත් හිතුණා මුණේගේ ළමයි වෙන්ඩැති කියලා….”

තාත්තා කතා කළේ හිතේ අමාරුවෙනි.

“ඇයි ඉතිං ආවේ….? පානුත් අරංමනේ එන්ඩ තිබ්බේ?”

ඔහු අක්කා මලෝ වෙත නැඹුරු වෙමින් ඇසුවේය.

“පා…පාං ගන්ඩ සල්ලි මදි නේද?”

කෙල්ල තතන තතනා ඇසූ කල ඔහු හූල්ලා වැටුණා මිස කිසිවක් නොපැවසුවේය. නිහඬවම කුස්සි කෑල්ලට කර පොවා බැලුවේය. දින දෙක තුනකින් ළිප ගිනි නොනැගුණු බවට ගතු කී ළිප දෙස බලාගත්වනම ඔහු නිකට පිරිමැද්දේය. අනතුරුව ගොරොද්දේ අදින මිනිසා වෙත අඩියට දෙකට ගියේය.

“මුණේ……මුණේ….”

වෙරි මත නැති කරන්නට ඒ උච්ච ස්වරය සමත් නොවීය. එහෙයින් මුණයා නම් වන ඒ මිනිහා බිමට ඇද දමා පහරක් දෙකක් රිදෙන්නට ගසන්නට තාත්තාට සිදු විය. කළු කෙල්ලත්, බටු කොල්ලාට බෑඟිරි ගසන්නට වූයෙන් කෙල්ලට හැඟුණේ දෙකන් බිහිරි වන බවකි.

“යකෝ….. ගෑනි වෙන මිනිහෙක් එක්ක පැනලා ගියා කියලා උඹ ඔහොම බිබී ඉඳල හරියනවද…..? බඩගින්න ඉවසන්නම බැරි තැන වෙන්ඩෑ ළමයි දෙන්නා පාං කෑල්ලක් හොයාගෙන කඬේට ආවේ…..තොපිට සහගහනවා මේව්වා තමුන්ගේ ලේ නේද?…? කකියන් නැද්ද පර බල්ලෝ කැවුතු?”

තාත්තාගේ පර බල්ලා දිව්රා කීවේ මින් පසු දරු පැටවුන්ට සලකන බවකි. උන් හදාවඩා ගන්නට වෙහෙසෙනවා විනා සුරා යකා පස්සේ නොයන බවය.

“ගෙයි මොකවත්ම නැත්නං වර කඬේට. මං ගානේ බඩු දෙන්නං. හැබැයි පිනට නෙමේ ණයට. තෝ කුලී වැඩ කරලා මට ණය ගෙවාපිය. මෙතන ලෝ දිය බිබී පෙරළිලා ඉන්නැතුව…..”

මුණයා නම් වන මිනිසා හිස වැනුවේය.

“ගෑනි ආපහු එනවානං ආදෙන්. ගෑනු මිනිස්සු අතින් තමයි වැරදි වෙන්නේ. හැබැයි මේ නොදරුවෝ බඩගින්නේ තියනවා තරම් වැරැද්දක් මේ ලෝක ධාතුවේ තවත් නෑ…. තේරුණාද තොට?”

ඒ වචන මුණයා නම් මිනිසාගේ පමණක් නොව කෙල්ලගේ හිතේ ද ලාටු ගා ඇලවූ කලෙක මෙන් යළි නොගැලවෙන්නට ඇළුණේය.

“ළමයි බඩිගින්නේ ඉන්නකොට කකියන් නැද්ද පර බල්ලෝ කැවුතු?”

දශක ගණනාවකට පෙර ඒ ගොවි ජනපදවාසී සිල්ලර වෙළෙන්දා කකියන කැවුත්තෙන් ඇසූ ඒ ප්‍රශ්නය නැවත නැවතත් අසන්නට සිදු වී තිබේ.
රට සුඛිත මුදිත කරන්නට දිවි හිමියෙන් ඇප කැප වී සිටිනවා යැයි කියන දේශපාලනඥයන් මොන මොන පම්පෝරි ගැහුවද ළමයින් තවමත් බඩගින්නේ සිටිති. පසුගිය කාලය මුළුල්ලේම එවන් හද කම්පා කරවන සිදුවීම් කීයක් නම් වාර්තා වී තිබේද? වාර්තා නොවන සිදුවීම් තව කොපමණ ඇද්ද?

ඇස් නිලංකාර කරන ව්‍යාජ සංවර්ධනයේ සීතාම්බර පටය හුදු හෙළුවම උළුප්පා දක්වන බව දේශපාලනඥයින් හැරුණු විට රටකට රහසක් නොවේ.
ඒ අව් අස්සේ බැදුම්කර මංකොල්ලය හා ඇඳුණු මගඩිය විගඩමක්ව අඛණ්ඩව රඟ දැක්වේ. කුසගින්නේ පසුවන දරුවන්ටද අනේක ජීවන ගැටලු අතරේ හෙම්බත් වන වැඩිහිටියන්ට ද නොමිලයේ දැකබලා ගනිමින් නවනළු රසයෙන් ප්‍රමුදිත විය හැකිය. අඳෝමැයි ! රට හා ජනතාව පිළිබඳ අංශු මාත්‍රයක හෝ හැඟීමක් මේ ධවල මන්ත්‍රධාරීන් තුළ නොවන බව දිගින් දිගටම සනාථ නොවන්නේද?

ළමයි දෙදෙනෙක් අන්ත දරිද්‍රතාව හේතු කොට ගොන මාස හතරක් තිස්සේ පාසල් නොගියාට මොකද? හැමදාම පාසල් ගොස් ඉගෙන ගත්තා කියාත් මේ කාලකණ්ණි ළමයින්ට මේ කාලකණ්ණි රටේ අනාගතයක් තිබේද?උපාධිධාරීන්ද රැකියා ඉල්ලා මහපාරේ අරගල කරන රටක ඔය අස්සක මුල්ලක ළමයි දෙන්නෙක් මාස කීපයක් පාසල් නොයෑම පුවත්පතක වාර්තා කරන්නට තරම් ප්‍රවෘත්තිමය වටිනාකමකින් යුත් ප්‍රවෘත්තියක්ද?

දියවන්නාවේ ඒ සුඛෝපභෝගී මන්දිරයේ සිට අවම මිලකට ඉහළම රස මසවුලක් අනුභව කරමින් අනෙකාට හොරා යැයි ඇඟිල්ල දිගු කරමින් අපේ පිනට පහළ වූ ඒ මහෝදරයන් නටන නරි නාටකට බල බලා අත්පොළසන් හා ඔල්වරසන් දීම හැරුණු කොට චූලෝදරයන්ට කළ යුතු වෙනත් කාර්ව භාරයක් නැත්තේද? ආඝාධයේ මුවවිට දඟර නැටුම අත වනන්නේ ක්‍රෑර හා ගොරතර මරණයට බව තව දුරටත් අමතක කරමුද?

රටේ ඉහළම ස්ථරයේ සොරකම පහළම ස්ථරය කඩා බිඳ දමා නිර්මාණය කරන ඛේදවාචකයේ තරම කියා මැන බලන්නට නම් රටකට මනා සිහි බුද්ධියක් උවමනාය. ජාතිය කුලය ආගම හා පක්ෂය මත පදනම් වෙමින් බෙදී වෙන් වී ඇන කොටා ගන්නට මාන බලන රටක ජනතාව දිය බත්වන නැවක මගී පිරිසකගෙන් සපුරා වෙනස් නොවේ. දිදුළන පැහැයන් තවරා සිත්තම් කළ සිතුවම සූරා දමා කළු හා අළු පැහැය මතු කරන්නට ද ඒ දුර්වර්ණ බව අකා මකා දමා නව පැහැයෙන් නව ජවයෙන් අලුත්ම සිත්තමක් නිර්මාණය කරන්නටද පුරවැසියා සමර්ථ විය යුතුය. බුහුටි විය යුතුය. මේ සියලු සිදුවීම් අවධාරණය කරන්නේ එයම විනා අන් කුමක්ද?

අන්ධකාරයේ වල්මත් වන්නටද අගාධයේ ඇද වැටෙන්නටද නොතිත් ආශාවක් දක්වන රටක ඒ එකම ප්‍රශ්නය පුන පුනා හා හඬ නඟා ඇසිය යුතුව තිබේ.

“ළමයි බඩගින්නේ ඉන්නකොට කකියන් නැද්ද පර බල්ලෝ කැවුතු?”