රාවය

ජාතික රංග කලා අධිකාරිය හා අභියෝග

ජාතික රංග කලා අධිකාරිය හා අභියෝග

විමලනාත් වීරරත්න

ජාතික නාට්‍ය ප්‍රතිපත්තියක් උදෙසා… නම් වූ ලියවිල්ල නිකුත් වූයේ 2017 මැයි 13 වැනිදාය. එම ලියවිල්ල මගින් ජාතික රංග කලා අධිකාරිය නමින් යුත් ආයතනයක් යෝජනා කර තිබේ. ඒ හැරුණු විට නාට්‍ය කලාවේ ප්‍රවර්ධනය හා නාට්‍යකරුවන්ගේ උන්නතිය සඳහා සාධනීය යෝජනා රැසකින් එම ලියවිල්ල සංගෘහිතය.
එම්. සෆීර්, සමීර නිශ්ශංක, සචිත්‍ර රාහුබද්ධ, ජීවන්ති පෙරේරා, රන්දික විමලසූරිය, මෙම යෝජනාවලියෙහි ප්‍රාරම්භකයෝ වෙති. පරාක්‍රම නිරිඇල්ල, ලූෂන් බුලත්සිංහල, සමන් ගාමිණී, හර්ෂ බුලත්සිංහල, විශාකා ජයවීර, සුජීව පතිනිසේකර, රාසයියා ලෝහානන්දන් සහ ජයලත් එස්. ගෝමස් මෙහි මැදිහත්කරුවෝ වෙති.

ජාතික රංග කලා අධිකාරියක් පිහිටුවීම පිළිබඳ යෝජනාවලියක් මේ වනවිට සකස් කර තිබේ. එම ලියවිල්ල ඉදිරිපත් කැරුණේ ජාතික නාට්‍ය ප්‍රතිපත්තියක් උදෙසා… යන හිසින් 2017 මැයි මාසයේදීය. ජාතික රංග කලා අධිකාරිය යෝජනා කැරෙන්නේ එම ලියවිල්ලෙහි පළමු යෝජනාව ලෙසිනි. නාට්‍ය කලාව පිළිබඳ දීර්ඝ අභ්‍යාසමය පරිශ්‍රමයකින් පසුව එවැනි ආයතනයක් කෙරෙහි නාට්‍යකරුවන්ගේ අවධානය යොමුවීම වැදගත්ය. ලංකාවේ නාට්‍ය කලාව හුදෙකලාවේ කටයුතු කරන නාට්‍යකරුවන් සමූහයක් මත රැඳී තිබේ. සමාජයක ඕනෑම ව්‍යායාමයක් ඇරඹෙන්නේ පුද්ගලයකුගේ හෝ කිහිපදෙනකුගේ උත්සාහය මතය. නාට්‍ය කලාව පමණක් එසේ නොවිය හැකි නොවේ. නාට්‍ය නිෂ්පාදනය නම් වූ මේ හුදෙකලා ව්‍යායාමය ජයගැනීමට මෙන්ම පරාජය වන්නටද ඉඩ තිබේ. නාට්‍ය නිෂ්පාදකයාට එය ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය කොන්දේසි සැපිරී ව්‍යායාමය යථාර්ථයක් වුවහොත් එය පරිසමාප්ත නිර්මාණයක් නම් විශිෂ්ට නාට්‍යයක් හුදෙකලාවේ බිහිවීම සිදුවෙයි. එවැනි පරිසමාප්ත නිර්මාණයකට ප්‍රදර්ශනය කිරීම දක්වා අවශ්‍ය කොන්දේසි සපුරා ගත නොහැකි වුවහොත් එවිට විශිෂ්ට නිර්මාණයට සිදුවන්නේ කුමක්ද? යටිතල පහසුකම්වල ප්‍රශ්නය නිසා පූර්ව නිෂ්පාදනයෙහි දීම ඇනහිටි පරිසමාප්ත මට්ටමේ චිත්‍රපට හා නාට්‍ය ඕනෑතරම් තිබිය හැකිය. එහෙත් නාට්‍ය කලාකරුවන්ගේ කටයුතු පිළිබඳ යම් වගකීමක් දරන ආයතන ව්‍යුහයක් ස්ථාපිතව පැවතියහොත් නිර්මාණකරුවා භෞතිකව මියගියේ නැත්නම් නිර්මාණය ප්‍රදර්ශනය කරගැනීමේ ඉඩ සියයට සියයක්ම තිබේ.

යෝජිත රංග කලා අධිකාරියට එවැනි වගවීමක් දැරිය හැකි ආයතන ව්‍යුහයක් ඇතැයි එහි යෝජනා පිරික්සීමේදී පෙනී යයි. නාට්‍ය පුහුණුව, නාට්‍ය අධ්‍යාපනය, විදෙස් නිර්මාණ ආභාසය, වැඩමුළු, කොළඹින් බැහැර නාට්‍ය ප්‍රවර්ධනය, නාට්‍ය පිළිබඳ නව පර්යේෂණ යනාදී බොහෝ කරුණු මෙම ජාතික නාට්‍ය ප්‍රතිපත්තියක් පිළිබඳ යෝජනාවලියට ඇතුළත්ය. ඒ බොහෝ කරුණු විටින් විට දීර්ඝ කාලයක් පුරා නාට්‍ය සමාජය තුළ සාකච්ඡාවට ලක් කැරුණු දේවල්ය. එහෙත් ඒ එකක්වත් රටෙහි නාට්‍ය කලා අවකාශය තුළ ස්ථාපිත යථාර්ථයක් වූයේ නැත. නාට්‍යකරුවන් හා අතළොස්සක් ජනමාධ්‍යවේදින් ඒවා ගැන විටින් විට සාකච්ඡා කර තිබුණත් රටේ කිසිම වගකිවයුත්තකු මේ ගැන නිසි අවධානයක් දැක්වූයේ නැහැ.

උක්ත ලියවිල්ල මගින් යෝජනා කරන රංග කලා අධිකාරියෙහි අනු අංක 03 යටතේ ඇති ජාතික රංග කලා කළමනාකරණ මහා මණ්ඩලය ජනාධිපති, අගමැති, සංස්කෘතික ඇමති, අධ්‍යාපන ඇමති, පළාත් පාලන ඇමති යන දේශපාලන අධිකාරියේ නියෝජිතයන්ගෙන් සහ ප්‍රවීණතම නාට්‍යකරුවන්ගෙන් සමන්විත වෙති. මේ සඳහා අත්‍යවශ්‍ය ප්‍රධානීන්ගේ අවධානය හා වගවීම ක්‍රියාවලියට නතුකර ගැනීම සඳහා එවැනි යෝජනාවක් කර තිබුණත් දේශපාලන නායකයන් පසුවන සංකීර්ණ තත්ත්වය සලකා බැලීමේදී මෙවැනි යෝජනාවක් කෙතරම් ප්‍රායෝගික වේදැයි යන්න සැකසහිතය. එහෙත් ඔවුන්ගේ අනුරූප නියෝජනයක් මෙහිදී දායක කරගත හැකිය. රටේ සෑම නායකයකුම පාහේ බලයට පැමිණීමට පෙර කලාකරුවන් සම්මුඛ වෙයි. ඔවුන්ගේ තතු විමසයි. කලාකරුවෝත් එවිට ක්ෂේත්‍රයේ තිබෙන ගැටලු පෙළගැස්වූ ලේඛන භාරදෙති. එහෙත් නායකයා ජයග්‍රහණය කිරීමෙන් පසු ඔහුට ඒ ගැන වගේ වගක් නැත. වන්දීන් නොවන කලාකරුවන්ට නායකයාට කිට්ටුවීමටවත් නොහැක. වන්දීන් නායකයා මගින් විසඳා ගන්නේ ක්ෂේත්‍රයේ දැවෙන ප්‍රශ්න නොව තම තමාගේ පෞද්ගලික ප්‍රශ්නය. ඉකුත් ජනාධිපතිවරණයේදීද මෛත්‍රීපාල සිරිසේන මහතාට කලාකරුවෝ කලා ප්‍රඥප්තියක් භාර දුන්හ. එම ප්‍රඥප්තියට ළඟදී කැබිනට් අනුමැතිය හිමිවිය. දැන් ඒ අනුව ක්‍රියාකාරකම් කිහිපයක් ආරම්භ කර ඇති බවද දැනගන්නට තිබේ. මෙම ජාතික නාට්‍ය ප්‍රතිපත්තියක් උදෙසා වන යෝජනාවලියේ ඇතුළත් ජාතික රංග කලා අධිකාරිය රටේ නායකයාගේ අවධානයට ලක් වන විදියක් ගැන සිතා බැලීම වැදගත්ය. කොහොමටත් 2020දීත් කවුරු හෝ ජනාධිපතිවීමට නියමිත පුද්ගලයා මෛත්‍රීලාට, රනිල්ලාට එරෙහිව දැනට මතුවී තිබෙන ජනමතය නිසැකවම කොල්ලකෑමට නියමිතය. සමහරවිට විරුද්ධ පිලෙන් නොව බලයේ සිටින කණ්ඩායමේම කෙනකු ඒ ජනමතය කොල්ලකන්නට පුළුවන. එසේ වීම ප්‍රශ්නයක් නොවේ. මන්ද එම කොල්ලකෑම අප කිසිවකුට වැළැක්විය හැකි දෙයක් නොවන නිසාය. කලාකරුවන් එසේ පත්වීමට නියමිත පුද්ගලයාට කෙසේ හෝ අවධාරණය කළයුත්තේ සහයෝගය දෙන්නේ පැහැදිලි පොරොන්දුවක් මත යන්නය. එවිට එය කලාකරුවන් සහ දේශපාලනඥයා අතර, වෙන ජනාධිපතිවරණවලදී තරම් සුහද සංවාදයක් නොවේ. හුදු ගනුදෙනුවකි. ජනාධිපති වී අදාළ පුද්ගලයා වැඩ කරන ආකාරය අනුව ගනුදෙනුව මිත්‍රත්වයක් බවට පරිවර්තනය කරගැනීම කළ හැකිය. කලාකරුවෝ සංවේදී අය බව ඇතැම්හු කියති. රටේ නායකයා බුරියට වියතක් විතර පහළ ප්‍රදේශයට ඇඟිල්ලෙන් ඇන්න විට සංවේදී වී සියලු ප්‍රතිපත්ති, කලාවේ මූලධර්ම පමණක් නොව ළඟ සිටින එකා පවා පාවාදෙන සංවේදීකමෙහි අර්ථයක් නැති බව අප කලාකරුවන්ට අවධාරණය කළ යුතුය. එමෙන්ම ජනාධිපති පුද්ගලිකව හොඳ වී වැඩක් නැත. ජනාධිපති හොඳවිය යුත්තේ ඔහු අනුගමනය කරන ප්‍රතිපත්ති විෂයෙහිය. ඒවා අලුත් දේවල් නොවුණත් කලාකරුවන් තුළත් වැඩවසම් ආකල්ප තිබෙන නිසා මේවා මතක් කිරීමට සිදුව තිබේ.

මෙරට පත්වූ ජනාධිපතිවරු එක විෂයකවත් පරප්‍රාප්ත නොවූහ. ඔවුහු හැම දෙයක් ගැනම ටික ටික දනිති. එනම් සියල්ල දනිති. එහෙත් අවසාන විග්‍රහයට අනුව හැම දෙයක්ම දන්නෝ කිසිවක්ම නොදනිති. එනිසා කිසිවක්ම නොකරති. ලංකාවට සිදුවූයේ එයයි. ලංකාවේ නායකයෝ ඊට පිළියමක් ලෙස එක් එක් විෂය පිළිබඳ විශේෂඥයන් පත්කර ගනිති. එහෙත් දැන් විශේෂඥයන් ලෙස පත්කර ගන්නේද දේශපාලනඥයා බඳුම පුද්ගලයකු බැවින් යළි එය රැකියා විරහිතයකුට රැකියාවක් ලබාදීමෙන් එහාට නොයයි.
වත්මන් ජනාධිපති වෙන දෙයක් වෙච්චාවේ මම මුන් කියන ජාතික රංග කලා අධිකාරිය අන්තිම වසර එකහමාර තුළ හදනවා කියා අධිෂ්ඨානයක් ඇති කරගතහොත් ජනාධිපති කලාකරුවන් හා එම ක්‍රියාවලිය අතර සම්බන්ධීකරණයට හොඳම පුද්ගලයකු මේ වනවිට ජනාධිපති උපදේශකයකු වී සිටියි. ඒ ධර්මසිරි බණ්ඩාරනායක මහතාය. එහෙත් ධර්මසිරිට කරන්නට තරම් බරසාර වැඩක් ජනපති විසින් පංගාර්තු කරන බවක් නොපෙනෙයි. මෙතැන් සිට ඉදිරි වසර එකහමාර ගෙවී යනතුරුම එසේම වුවහොත් කලාකරුවන්ට මේ ඩීල් එක දමා ගැනීමට සිදුවන්නේ අනාගත ජනාධිපති කෙනෙක් සමග බව පෙනෙයි. කොහොමටත් මේ ගනුදෙනුව පහසු එකක් නොවේ. එය ගනුදෙනුවක්ම ලෙස කළ යුත්තේ එබැවින් බවත් යළි අවධාරණය කළ යුතුවෙයි.

උක්ත නාට්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ යෝජනා මාලාවේ සැකෙවින් පෙර සඳහන් කළ යෝජනා වසර විස්සක පමණ කාලයක් තිස්සේ අප විටින් විට සාකච්ඡාවට බඳුන් කර ඇති බැවින් යෝජනා මාලාවේ 14 හා 15 යන පරිච්ඡේදවල අඩංගුවෙහි වැදගත්කම ගැන කෙටි අවධාරණය කිරීමක් සිදුකර මෙම සටහන නිමා කරමි.

නාට්‍ය කලාව වෘත්තීය මට්ටමක් ළඟා කරගෙන නොමැති නිසා නාට්‍යකරුවන් මුහුණදෙන පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය කෙරෙහි 14 වැනි පරිච්ඡේදයෙන් අවධානය යොමු කර ඇත. වෘත්තීය මට්ටමක් මෙරට නැති නිසා නිර්මාණයක් හෝ දෙකක් කළ පසු නාට්‍යකරුවෝ ජීවත්වීමේ අරගලයට මැදිවෙති. අනතුරුව නාට්‍ය කලාව පසෙකට දැමීමට සිදුවෙයි. අනෙක් අතට දිගටම දරිද්‍රතාවෙන් පෙළෙමින් ජීවිතයේ සැඳෑ සමය දක්වා නාට්‍ය කලාවෙහි නිරත වූ ශිල්පීහු අවසාන කාලයේදී සියලුදෙනාගේ දෝෂාරෝපණයට ලක්වෙති. නිසි වාසස්ථානයක් පවා නොමැතිව ඔවුන්ට මෙලොවින් සමුගැනීමට සිදුවෙයි. බොහෝ දෙනකුට එම දුක් ප්‍රාප්ති යුගයේදී නිසි පිළිගැනීමක් නොලැබෙන නිසා සමස්ත සමාජය සමගම වෛරයක් ඇතිවෙයි. මේ කනගාටුදායක තත්ත්වය වෙනස් කරගැනීම සඳහා නිසි කාලය එළැඹ ඇත යනුවෙන් අතිශයින්ම වැදගත් යෝජනාවක් මෙම යෝජනාවලියෙහි 14 පරිච්ඡේදයෙහි සඳහන්ව ඇත. එහි 01 අනු අංකය යටතේ දැක්වෙන්නේ ජාතික රංග කලා අධිකාරිය යටතේ නාට්‍ය කලාවේ නියැලෙන සියලුම දෙනා ඒකරාශී කර නාට්‍යකරුවන්ගේ එකමුතුවක් ගොඩනැගීමය. එමෙන්ම ඊට ස්වාධීන සංවිධාන ව්‍යුහයක් මෙන්ම පොදු නිර්දේශ ලබාදීම සිදු කළ යුතුය යන්නය. නාට්‍යකරුවන්ට මෙම සංසදයේ සාමාජිකත්වය ගැනීමෙන් එමගින් ලබාදෙන පහසුකම් භුක්ති විඳිය හැකිය.

එහි අනු අංක 05 යටතේ සඳහන්වන්නේ සියලුම නාට්‍යකරුවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හා රක්ෂණාවරණ ක්‍රමයක් ඇති කිරීමය.
මෙහි 15 වැනි පරිච්ඡේදය මගින් නාට්‍යකලාවේ සංවර්ධනය උදෙසා නාට්‍ය කලාවේ නියැලෙන්නන් විසින් ආරක්ෂා කළ යුතු වෘත්තීයමය ආචාරධර්ම පද්ධතියක අවශ්‍යතාව අවධාරණය කැරේ. එහි වැඩිදුරටත් මෙසේ සඳහන්ය.

“ලෝකයේ සංවර්ධිත බොහෝ රටවල නාට්‍යකරුවන් යනු වෘත්තීය මට්ටමේ ශිල්පීන් වන අතර ඒ සියලුදෙනා තමන් විසින් සුරැකිය යුතු ආයතනික ආචාර ධර්ම පද්ධතියක් ඔවුන් විසින්ම නිර්මාණය කරගෙන ඇත.” ඒවා කිහිපයක් මෙහි සඳහන්ය. එමෙන්ම තවදුරටත් ඊට යෝජනා එක් කරන ලෙස ලියවිල්ල මගින් ඉල්ලීමක්ද කර තිබේ.
නාට්‍යකරුවන් වාචික හෝ ලිඛිත හෝ මොනයම් ආකාරයක හෝ ගිවිසුමක් උල්ලංඝනය නොකිරීම, කලාවේ සම්භාවනීයත්වය රැකෙන පරිදි ශිල්පීන් සිය පුද්ගල පෞරුෂය පවත්වාගෙන යෑම, වෘත්තීයමය ලෙස ක්‍රියාකිරීම, නාට්‍ය කලාවේ පරිහානියට හේතුවන ලෙස ක්‍රියා නොකිරීම හා පරිහානික තත්ත්වයන් වෙනස් කිරීමට පියවර ගැනීම ඇතුළු වැදගත් කරුණු 21කින් රංග කලා අධිකාරිය පිළිබඳ යෝජනා මාලාවේ 15 වැනි පරිච්ඡේදය සමන්විතය. තම තමන් හුදෙකලාව නාට්‍ය නිෂ්පාදනය කිරීමට විකල්පව සියලුදෙනා එකතු වී පුළුල් සංවිධානයක් ගොඩනැගීම, රංග කලා අධිකාරිය යටතේ වැඩ කරන වෘත්තීය නාට්‍යකරුවන් බවට පත්වීම, නාට්‍ය ශිල්පීන් පිළිබඳ තොරතුරු කාර්යාංශයක ලියාපදිංචිවීම වැනි තත්ත්වයක් මගින් වුව නාට්‍ය කලාවේ ප්‍රවර්ධනයන් හා සංවිධිත ස්ථාවරත්වයක් ඇති කළ හැකිය. එමෙන්ම 09 පරිච්ඡේදයේ සඳහන් පැරණි පිටපත් සංරක්ෂණාගාරයක්, විමර්ශන අංශයක් හා නාට්‍ය නැරඹුම් මැදිරියක් (වීඩියෝ), අතිශයින් වැදගත් යෝජනා ලෙස දැක්විය හැකිය. මේ ගැන යම් පමණකට හෝ තේරෙන නායකයකුට නාට්‍ය කලාකරුවන්ගේ මෙම ව්‍යායාමයට උපකාර කළ හැකිය. එහෙත් ලංකාවේ තිබෙන අටානූවක් ව්‍යාධි ගැන සලකා බලන විට නාට්‍ය මොන ප්‍රශ්නයක්දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. රටෙහි නායක කාරකාදීහු නාට්‍ය බරපතළ කලාවක් ලෙස නොසිතති. මෙම ලියවිල්ල ජනාධිපති, අගමැති අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් වෙත ඉදිරිපත් කර වසරක් ගතවීත් තවමත් ඒ පිළිබඳ සාකච්ඡාවක් ඇති නොවීමෙන් ඒ බව තහවුරු වෙයි. සම්භාව්‍ය දේශපාලනය මෙන්ම සම්භාව්‍ය කලාවද අභ්‍යාස කරන සංස්කෘතියක් ලංකාවේ නොමැතිවීම මේ වියවුලට හේතුව බව කිව හැකිය. දැනුම හා චින්තනය ඔස්සේ ගමන් කරන දේශපාලනයක් වෙනුවට වෙඬරුවේ උපාලිගේ හා විජයකලාගේ ප්‍රකාශ ඔස්සේ ගමන් කරන දේශපාලනයක් අධිනිශ්චය වී තිබෙන්නේද මේ අසංස්කෘතික බව නිසාමය. ජාතික රංගකලා අධිකාරිය මුහුණ දෙනු ඇත්තේත් එම අභියෝගයටය. අපගේ වගකීම විය යුත්තේ එම අභියෝගය ජයගැනීම ගැන පුළුල්ව සිතා බැලීමය.