නොබෙල් සාහිත්‍යධරයකුගේ විස්මිත ආදර සිහිවටනය

සම්පත් බණ්ඩාර

“තුර්කියේ සිටින බෙහෙවින් නිර්මාණශීලී එමෙන්ම නිර්භීත ලේඛකයාගේ අතිශය වික්‍රමාන්විත මෙන්ම අතිශය නිර්මාණශීලී අදහස ක්‍රියාවට නැංවීමේ අපූර්ව ප්‍රතිඵලය මෙයයි…”
බීබීසී රූපවාහිනී සේවයේ අමන්දා රුබෙරි නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභී ඔර්හන් පාමුක් විසින් නිර්මාණය කරන ලද ‘The Museum of Innocence’ (අහිංසකයන්ගේ කෞතුකාගාරය) පිළිබඳ නිපැයූ කෙටි වාර්තා චිත්‍රපටය සඳහා යොදාගත් සංක්ෂිප්ත නිර්වචනය එබඳුය.

සාජාහාන් රජු ටජ්මහල ඉදිකරනු ලැබුවේ තම ප්‍රේමය වෙනුවෙනි, පාමුක් මෙම නිර්මාණය කරනු ලබන්නේ වෙනත් පෙම්වතුන් දෙදෙනකුගේ දුක්බර අවසානයක් වෙත ළඟා වූ හැඟුම්බර ආදර අන්දරයක් වෙනුවෙනි. එය අතිශය නිර්මාණශීලී සිතුවිල්ලක් මෙන් ම ඇමරිකානු ඩොලර් මිලියන ගණනක් වැය කරමින්ද, ඒ සඳහා කෞතුක වස්තූන් සොයා වසර ගණනාවක් ගතකිරීමද හිතුවක්කාර වීර, වික්‍රමාන්විත චාරිකාවකි. නිර්මාණශීලී අවදානමකි.

තුර්කියේ ‘ඉස්තාන්බූල්’ නුවර ‘කුකුර්කුමා’ ප්‍රදේශයේ දක්නට ලැබෙන මේ ‘අහිංසකයන්ගේ කෞතුකාගාරය’ විශ්ව සාහිත්‍ය වංශාවලියේ අතිශය අපූර්ව භෞතික නිර්මාණයකි. එයට 2014 වසරේ ‘European Museum of the Year’ (වසරේ හොඳම යුරෝපීය කෞතුකාගාරය) සම්මානය හිමිවිය. හුදු ආදර ස්මාරකයක් පමණක් නොවී විවිධ ජාතීන් හැත්තෑ දෙකකට වාස භූමිය වූ යුරෝපයත් ආසියාවත් යා කෙරෙන සංස්කෘතිකමය පුරවරයක් වන ඉස්තාන්බූල් හි විසිවැනි සියවසේ දෙවැනි භාගයේ සංස්කෘතිය හා ජන ජීවිතය නිරූපණය කරන මානව විද්‍යාත්මක කෞතුකාගාරයක් ලෙසද මෙය සංවර්ධනය කිරීමට ඔර්හන් පාමුක් සමත් වී තිබේ. මෙම කෞතුකාගාරය හා එහි තැන්පත් කර ඇති භාණ්ඩ ඔහුගේම තවත් විශ්ව සාහිත්‍ය කෘතියකට වස්තු විෂය විය. 2006 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ලැබීමෙන් පසුව නිකුත් වූ ප්‍රථම නවකතාව ලෙස මෙය ‘The Museum of Innocence’ (අහිංසකයන්ගේ කෞතුකාගාරය) නමින් 2008 වසරේ එළි දුටු අතර, මේ වනවිට එය භාෂා හැටකට පරිවර්තනය වී තිබේ. විචාරකයන්ට අනුව විශ්ව සාහිත්‍ය කෘතියකට පාදක වූ ලොව ප්‍රථම කෞතුකාගාරය මෙයයි. පාමුක් ඔහුගේ එම කෘතිය රචනා කර ඇත්තේ සාහිත්‍ය ලෝකයේ බහුල නොවන නවකතා ශානරයක් වන ‘encyclopedic novel (විශ්වකෝෂමය නවකතා) ශානරය වෙත අනුගතවෙමිනි. පාමුල් මේ පිළිබඳව පවසා ඇතේතේ ‘ I Will build a museum, and Its cataloge will be novel’ (මම කෞතුකාගාරයක් ගොඩ නගනවා. එහි නාමාවලිය නවකතාවක් වේවි.) යනුවෙනි.

නවකතාවට පාදක වූ අහිංසක පෙම්වතුන් යුවළ කෙමාල් සහ ෆුසුන්ය. පෙම්වතා වූ කෙමාල් ධනවත් වංශවත් පවුලක තරුණයකු වූ ෆුසුන් දුගී පවුලක තරුණියක් වූවාය. දෙදෙනා අතර දුර නෑ සබඳකමක් ද තිබිණි. මෙය 1970-80 දශකයන් තුළ ඇදී යන ආදර කතාවකි. දෛවෝපගත ලෙස 1974-1984 කාලය තුළ ෆුසුන් සිය පවුල සමග වාසය කළේ කෞතුකාගාරය ඉදිවී ඇති වීදියේ පිහිටා තිබූ නිවසකය. කෞතුකාගාරය සඳහා පාමුක් සොයා ගත් පළමු භාණ්ඩය වූයේ පෙම්වතියකව ගත කළ සමයේ ෆුසුන් විසින් පැළැඳි කරාබු ජෝඩුවකි.

මහල් හතරකින් සමන්විත ‘අහිංසකයන්ගේ කෞතුකාගාරයේ’ එකිනෙකට වෙනස් ප්‍රමාණයන්ගෙන් සැලසුම් කළ ප්‍රදර්ශන කුටි 83ක් දක්නට ලැබේ. මෙම කෞතුකාගාරය කලාත්මකව නිර්මාණය කිරීම උදෙසා පමණක් පාමුක් වැය කළ මුදල ඔහු නොබෙල් සාහිත්‍ය සම්මානය සඳහා ලැබූ ත්‍යාග මුදල වන ඇමරිකානු ඩොලර් මිලියන 1.5ට සමානය. මෙය අපේ රුපියල්වලින් නම් කෝටි 24කට සමානය. කෞතුකාගාරය සඳහා මිලදී ගත් ගොඩනැගිල්ල හා ප්‍රදර්ශන භාණ්ඩ මිලදී ගැනීම සඳහා වැය කළ මුදලද සැලකූ විට එය ලංකාවේ මුදලින් රුපියල් කෝටි 50කට ආසන්න මුදලක් ආයෝජනය කළ දැවැන්ත සංස්කෘතිකමය ව්‍යාපෘතියකි. මෙම කෞතුකාගාරය මහජනයාට විවෘත වී ඇත්තේ නොමිලයේය. අවශ්‍ය අයකුට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන මෙහි නඩත්තු අරමුදලට ස්වේච්ඡාවෙන් දායක විය හැකිය.

ඔර්හන් පාමුක් සිය කෞතුකාගාරය සඳහා ප්‍රදර්ශන භාණ්ඩ එක්රැස් කිරීම ආරම්භ කළේ 1990 දශකයේ මැද භාගයේදීය. ඒ ඔහු  ‘My name is Red’ නවකතාව රචනා කරමින් සිටි සමයයි. ඉස්තාන්බූල් නගරයේ පැරණි බඩු භාණ්ඩ අලෙවි කරන අලෙවි සැල් පීරමින් ඔහු කෙමාල් සහ ෆුසුන් පවුල භාවිත කළ ගෘහ භාණ්ඩ සොයන්නට විය. කෞතුකාගාර අත්දැකීම ලබාගැනීම සඳහා යුරෝපයේ රටවල් රැසක ලොකු, කුඩා කෞතුකාගාර හා පෞද්ගලික කෞතුකාගාර දහසකට ආසන්න සංඛ්‍යාවක් නැරඹුවේය. ඒ සම්බන්ධව ලියැවුණු විවිධ පොත්පත් හා නාමාවලි විශාල සංඛ්‍යාවක් පරිශීලනය කළේය. කෞතුකාගාරයක් නිර්මාණය කිරීම සඳහා යෝග්‍ය ඉඩම් කැබැල්ලක් හෝ ගොඩනැගිල්ලක් සොයමින් සිටි ඔහු 1999 වසරේ වසන්ත සමයේ ‘කුකුර්කුමා’ ප්‍රදේශයේ පැරණි සිවුමහල් නිවසක් මිලදී ගත්තේය. එය 1897 වසරේ ඉදිකළ ගොඩනැගිල්ලකි. ඔහුගේ අදහස් අනුව ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සහ කලාත්මක ලෙස ප්‍රදර්ශන කුටි හා වෙනත් දෑ නිර්මාණය කිරීම ප්‍රවීණ නිර්මාණ ශිල්පියකුට පවරන ලදි.

කෞතුකාගාරයේ ප්‍රදර්ශන භාණ්ඩ අතර ඡායාරූප, ඔරලෝසු, එලාම් ඔරලෝසු, බිත්ති ඔරලෝසු, සුවඳ විලවුන්, ආභරණ, යතුරු, විවිධ ගෘහ භාණ්ඩ, කුස්සියේ උපකරණ, පුවත්පත් ඉරු, ගුවන් ටිකට්පත්, ජාතික හැඳුනුම්පත්, කෙමාල් හා ෆුසුන් භාවිත කළ විවිධ භාණ්ඩ, ඇඳුම් පැළඳුම් මෙන්ම ඉස්තාන්බූල් නගරයේ ජන ජීවිතය නිරූපණය කෙරෙන විවිධ මෙවලම් අතර විදුලි ලාම්පු, ටැක්සි මීටරද දැකිය හැකිය. මේ අතර එක්තරා සුවිශේෂ එකතුවක්ද වෙයි. එනම් දුම් පානය කරන යුවතියක් වූ ෆුසුන්ගේ දෙතොල ස්පර්ශ කරමින් ඉවත හළ දුම්වැටි කොටස් (සිගරට් බට්) එකතුවයි. 1976-84 කාලයේ ඇය භාවිත කළ සිගරට් බට් 4213ක් ඒ සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද වායුරෝධනය කළ ප්‍රදර්ශන කුටියක තැන්පත් කර ඇත. ලොව තිබෙන විශාලතම ‘සිගරට් බට්’ එකතුව මෙය විය හැකිය.

ඔර්හන් පාමුක් නොබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලබන 2006 වසර වනවිට මේ සියලු අත්දැකීම් කැටි වූ ‘The Museum of Innocence’ නවකතාවේ අවසන් කොටස ලියැවෙමින් තිබිණි. 2008 වසරේ එළිය දුටු විට නොබෙල් සාහිත්‍යලාභියකුගේ නවතම නිර්මාණ ලෙස එය සාහිත්‍ය ලෝකයේ දැඩි අවධානයට ලක්විය. ඔර්හන් පාමුක් තම කෞතුකාගාරය පාදක කරගනිමින් ප්‍රබන්ධ නොවන කෘතියක්ද රචනා කළේය.  ‘The Innocence of objects’  කරන්නකි. කෞතුකාගාරයේ ඇතුළත වර්ණ ආලේඛ්‍ය ඡායාරූපවලින් සමන්විත එය විස්තර කර තිබෙන්නේ original work of art an literature’ (කලාව සහ සාහිත්‍යයේ මුල් කෘතියක්) ලෙසය. මෙය නිකුත් කර ඇත්තේ නිව්යෝර්ක් නුවර ‘ඇබ්රම්ස්’ පොත් ප්‍රකාශකයන් විසිනි.

ඔර්හන් පාමුක් තම කෞතුකාගාරය නිර්මාණය කිරීම ආරම්භ කර, එහි වැඩ කටයුතු සිදුකරමින් සිටි අතරතුර කෞතුකාගාර ගොඩනැගිල්ල ඉදිරිපිට වීදියේ පාපන්දු ක්‍රීඩා කරමින් සිටි කුඩා දරුවෙක් ඔහුගෙන් මෙසේ විමසීය. “පාමුක් මහත්මයා ඔයා මේ කෞතුකාගාරය විවෘත කරන්නේ කවදාද?” ඒ ඇයි යැයි විමසූ ඔහුට දරුවාගෙන් ලැබුණු පිළිතුර වූයේ ‘අපේ බෝල ගොඩාක් ඔය ගේ ඇතුළට ගියා ඒවා ඉල්ලා ගන්න….” යනුවෙනි. ගොඩනැගිල්ල තුළ හමුවූ පන්දු 17ක් ළමයින් වෙත ආපසු තිළිණ කළ පාමුක් ඉන් එක් පාපන්දුවක් ළමයින්ගෙන් ඉල්ලාගෙන ඔවුන්ට ගෞරව පිණිස එක් කුටියක තැන්පත් කළේය. අදද පාසල් නිවාඩු දිනෙක ඒ ඉදිරිපිට වීදි කොණේ පාපන්දු ක්‍රීඩා කරන කුඩා ළමුන් දැකගත හැකිය. 2012 වසරේ අප්‍රේල් මාසයේදී තම කෞතුකාගාරය මහජනයාට විවෘත කිරීමට පාමුක්ට හැකිවිය. අද එය සාහිත්‍යලෝලී සංචාරකයන්ගේ නොමඳ ආකර්ෂණයට ලක්ව ඇති ස්ථානයකි.

තුර්කියේ ඉස්තාන්බූල් නුවර උපන් ඔර්හන් පාමුක් ඉකුත් 7 වැනිදා (ජූලි 7) සිය 66 වැනි උපන් දිනය සමරනු ලැබුවේය. ඉස්තාන්බූල්හි රොබට් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු ඉස්තාන්බූල්හි තාක්ෂණික විශ්වවිද්‍යාලයෙන් ගෘහ නිර්මාණ ශිල්පයද, ඉස්තාන්බූල් විශ්වවිද්‍යාලයෙන් පුවත්පත් කලාවද හැදෑරුවද ඔහු ඒ වෘත්තීන් දෙකෙහිම නියැලුණේ නැත. ළාබාල වියේ සිට වයස විසිදෙක වනතුරුම ඔහුගේ සිහිනය වූයේ චිත්‍ර ශිල්පියකුවීමය. ඔහු නවකතාකරුවකු වීමට කල්පනා කළේ විසිතුන් හැවිරිදි (1975) වියේදීය. ඉන් සත් වසරකට පසු ඔහුගේ කුළුඳුල් නවකතාව ‘Cevdet Bey and his Sons’ (1982) එළිදුටුවේය. ඔහුට ජාත්‍යන්තර කීර්තිය රැගෙන ආවේ 1985 වසරේ නිකුත් වූ ‘The White Castle’ නවකතාවයි. අනතුරුව ‘My Name is Red’ (1988) The Black Book, Thge New Life, ‘Snow’, The Museum of Innocence, Silent House වැනි නවකතා හා ප්‍රබන්ධ නොවන කෘති රාශියක් නිසා ඔර්හන් පාමුක් විශ්ව කීර්තියේ හිනිපෙත්තට ළඟාවිය. ඔහුගේ නවතම කෘතිය වන්නේ පසුගිය වසරේ නිකුත් වූ ‘The Red Haired Woman’ නවකතාවයි.

නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම හා එකම තුර්කි ජාතිකයා වන ඔර්හන් පාමුක් නිව්යෝර්ක් නුවර කොලුම්බියා විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ තුළනාත්මක සාහිත්‍ය හා ලේඛනය පිළිබඳ මහාචාර්යවරයාය. වෘත්තීය කටයුතු හේතුවෙන් ඔහු ‘නිව්යෝර්ක්’ හා ඉස්තාන්බූල් යන නගර දෙකෙහිම ජීවත් වෙයි. මැඩි්‍රඞ් විශ්වවිද්‍යාලය, සාන්ත පීටර්ස්බර්ග් රාජ්‍ය විශ්වවිද්‍යාලය ඇතුළු ලොව ප්‍රමුඛ විශ්වවිද්‍යාල නමයකින් ඔහුට ගෞරව ආචාර්ය උපාධි පිරිනමා ඇත. අද ඔහු තුර්කියේ ප්‍රමුඛ සාහිත්‍යකරුවා පමණක් නොව ලොව පුරා වැඩිම පොත් අලෙවියක් සටහන් කර ඇති තුර්කි ජාතික ලේඛකයාය. මේ වනවිට ඔහුගේ කෘති භාෂා 63කට පරිවර්තනය වී ඇත. මේ අතර ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, ජර්මන්, ඉතාලි, අරාබි, ජපන්, හින්දි, බෙංගාලි වැනි භාෂා වෙයි. අලෙවි වී ඇති පිටපත් සංඛ්‍යාව මිලියන 13 (එක්කෝටි තිස් ලක්ෂය) ඉක්මවයි. පාමුක් ජනතාවාදී ලේඛකයකු මෙන්ම ඍජුව අදහස් ප්‍රකාශ කරන්නකු ලෙසද ප්‍රකටය. 1998 වසරේ තුර්කි රජය විසින් පිරිනැමූ  ‘State Artist  (රාජ්‍ය කලාකරුවා) ගෞරව සම්මානය ඔහු එකහෙළා ප්‍රතික්ෂේප කළේය. ඔහුගේ පිළිතුර වූයේ “මේ සම්මානය භාර ගතහොත් තුර්කියේ ජනතාවට මුහුණ දෙන්නට තමාට නොහැකි වෙනවා” යනුයි.
ශ්‍රී ලංකාව මෙන් තිස් ගුණයක විශාලත්වයකින් යුතු තුර්කිය වසර දහස් ගණනක් රෝම හා ඔටෝමාන් අධිරාජ්‍යයන්ට යටත්ව තිබී මහා සංස්කෘතියක් උරුම වූ රාජ්‍යයකි. තුර්කියේ අගනුවර නොවුණද එහි විශාලතම නගරයත් ආර්ථික හා සංස්කෘතික කේන්ද්‍රස්ථානයත් වන ඉස්තාන්බූල් මිලියන 13ක ජනගහනයක් වෙසෙන ලොව 19 වැනි ජනාකීර්ණ නගරයයි. යුරෝපයේ එය ජනගහනයෙන් දෙවැනි වන්නේ රුසියාවේ මොස්කව් නුවරට පමණි. කොටසක් යුරෝපයටද, තවත් කොටසක් ආසියාවටද අයත් වන එකම නගරය ලෙස එය ප්‍රකටය. සිය විශ්වීය නිර්මාණ තුළින් ඔර්හන් පාමුක් සමස්ත තුර්කියේද, ඉස්තාන්බූල් නගරයේද සාහිත්‍ය මුද්‍රාව බවට පත්ව තිබේ. එක් ඉන්දීය සාහිත්‍ය ලෝලියකු කළ මේ ප්‍රකාශයෙන් එය වඩාත් තහවුරු වෙයි.

“ඉස්සර තුර්කිය කිව්වහම මතක් වෙන්නේ තුර්කි පලස් දැන් ඕහන් පාමුක්….”

ඔහු තුර්කියේ ඉස්තාන්බූල් නගරය කේන්ද්‍ර කරගනිමින් මැවූ විශ්ව සාහිත්‍ය රසෝඝය සැබැවින්ම අනගි තුර්කි පලසකටත් වඩා විසිතුරුය.

(ඔබටත් You Tube – The Museum of Innocence- Orhan Pamuk ඔස්සේ මේ අත්දැකීම විඳගත හැකිය.)