මාලිංගට ගෞරවාන්විත සමුගැනීමක් දෙන්න

කොතරම් දක්ෂතා දැක්වුවද වත්මන් තේරීම් කමිටුව තමාට දිගින් දිගටම අවස්ථාව ලබා නොදෙන බැවින් තමන් ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බව ලසිත් මාලිංග මාධ්‍යයට අදහස් දක්වා තිබුණි.

මාලිංග පන්දු යවනවා සේ ම හිතට එන දේ කෙළින් කියා දමන්නෙකි. එය අද ඔහුගේ ක්‍රිකට් දිවියටම බලපා ඇත. මාලිංග කණ්ඩායමට නුසුදුසු තරම් අසාර්ථකයකු වනුයේ ඔහු හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර විවේචනය කිරීම නිසාය. ඔහු එවකට ක්‍රීඩා ඇමතිවරයාව කටයුතු කළ දයාසිරි ජයසේකරට කී කතාව මහත් ආන්දෝලනාත්මක විය. එය මාලිංගගේ ක්‍රීඩා දිවියම විනාශ කරන්නට හේතුවිය. ඒ ජයසේකර සහ තිලංග එක්වී ඉතා සූක්ෂ්මව මාලිංගගේ ගමන නවතා දැමූ බැවිනි. මාලිංග ශ්‍රී ලංකා පිලට එක්වන්නට නොහැකි තරම් නුසුදුස්සෙක් නොවේ. එහෙත් දයාසිරි ජයසේකරට කී කතාවට ඔහුගෙන් පළිගෙන ඇත. අද දයාසිරි ජයසේකර ක්‍රීඩා ඇමති නොවූවද? තිලංග තවමත් ක්‍රිකට් පරිපාලනය තුළ කෙරුමාය. ඒ නිසා මාලිංගට තවමත් තැන අහිමිය.

ලසිත් මාලිංග කී දේ හරිද වැරදිද? යන්න වෙනම කතාවකි. එහෙත් මාලිංග යනු සැබෑ දක්ෂයෙකි. මාලිංග කෙනකු බිහිවන්නේ කලාතුරකිනි. එබැවින් ඔහුව ගෞරවාන්විත සමුගැනීමක් ලබාදීම මෙරට ක්‍රිකට් බලධාරීන්ගේ වගකීමකි.

එසේ නොකොට පෞද්ගලික හේතු මත වැඩ කිරීම හිරිකිතය. මාලිංග දක්ෂයෙකි. ඔහුට තවදුරටත් ක්‍රීඩා කළ හැකි හැකියාව පවතී. අඩුම තරමේ ඔහුට තව තරග කිහිපයක් ක්‍රීඩා කොට අගනා වටිනා සමුගැනීමක් සටහන් කිරීමට ඉඩදීම වැදගත්ය. මන්ද මාලිංග යනු මෑත කාලයේ ශ්‍රී ලංකාව බිහිකළ දක්ෂතම වේග පන්දු යවන්නාය. ඔහු ලෝක මට්ටමේ ඉහළින්ම සිටින ක්‍රීඩකයෙකි. සංගා, මහේල මෙන්ම මාලිංගද වෙනම අනන්‍යතාවකි. දේශපාලන හේතු මත එය අහිමි කරන්නට උත්සාහ කිරීම යහපාලනයට උචිත නැති ක්‍රියාවකි.