රාවය

15 වැනිදා තෙක්

15 වැනිදා තෙක්

ජගත් ප්‍රේමචන්ද්‍ර 

ලෝක පාපන්දු වසන්ත සවාරිය මේ ඉරිදායින් අවසන් වේ. කණ්ඩායම් 32ක් කාණ්ඩ 8කින් තරග වැදුන තරගාවලියට පැවැත්වීමට නියමිත ව ඇත්තේ තෙවැනි ස්ථානය සඳහා වන තරගය(14දා) සහ මේ ඉරිදා පැවැත්වෙන අවසාන මහා තරගයයි. අවසාන තරගය සඳහා ප්‍රබල ප්‍රංශ කණ්ඩායම සමගින් ක්‍රොඒෂියා කණ්ඩායම සුදුසුකම් ලබා ඇත. තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ප්‍රංශය සහ බෙල්ජියම අතර පැවැති අතර එම තරගයෙන් 1-0ක් ලෙසින් ප්‍රංශය ජය ගත්තේ ය. පාපන්දු ක්‍රීඩාවේ උරුමකාරයන් වූ එංගලන්තය 1-2ක් ලෙසින් පරාජය කරමින් ක්‍රොඒෂියාව ජයග්‍රහණය කළේ ය. එය ඔවුන් ලෝක කුසලානය දිනූ ජයග්‍රහණයක් සේ සැලකුණි.

ප්‍රංශය අවසාන තරගය සඳහා සහභාගී වෙන්නේ මීට පෙර 1998 වසරේ දී ලෝක ශූරයන් වූ අභිමානයත් සමගිනි. ලෝක ශේණිගත කිරීමේ දී හත් වැනි ස්ථානය දිනා සිටින ප්‍රංශය ලෝක පාපන්දු කුසලාන තරග ඉතිහාසයේ එකී දක්ෂතාවට අමතර ව 2006 වසරේ දී අනු ශූරතාව ද දිනා ඇති රටකි. ලෝක ශේණිගත කිරීමේ දී 20 වැනි ස්ථානයේ සිටි ක්‍රොඒෂියාව මේ තරම් දුර ඒ යැයි කිසිවකුත් විශ්වාස තැබුවේ නැත. කෙසේ වෙතත් ක්‍රොඒෂියාව ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ මීට පෙර ඉහළ ම දක්ෂතාව දක්වා ඇත්තේ ප්‍රංශය ලෝක ශූරයන් වූ 1998 වසරේ දී තෙවැනි ස්ථානය දිනා ගනිමිනි.

දෙවැනි වටයේ දී නොසිතූ කණ්ඩායම් ඉදිරියට පැමිණෙමින් ප්‍රබල කණ්ඩායම් හඬා වැටෙමින් ගෙදර යැවීමට සැලැස්වීම මෙවර තරගාවලියේ දී දුටු සුලබ දසුනක් වූවේ ය. තරගාවලිය සඳහා සහභාගී වූ කණ්ඩායම් 32න් කණ්ඩායම් 28ක් ම මේ වනවිට ගෙවල්වලට ගොස් ඇත. ඒ අතරට හඬා වැටෙමින් ගිය දැවැන්තයෝ ද වූහ. ගියවර ශූරයන් වූ ප්‍රබල ජර්මානුවන් ද ඒ අතර ය. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව අංක එකේ සිටි ජර්මානුවන්ට අත් වූ මේ ඉරණම පාපන්දු ලෝලීන්ගේ දැඩි කම්පනයට හේතු වූවාට සැක නැත.
විශේෂයෙන් ම ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ සිවු වරක් ලෝක ශූරයන් ලෙසත්, සිවු වරක් අනු ශූරයන් ලෙසත් සහ සිවු වරක් තෙවැනි ස්ථාන සහ සිවු වැනි ස්ථානයක් ලෙසින් ඉහළ ම දක්ෂතා දක්වා ඇති ජර්මන් කණ්ඩායම මේ ලැබූ පරාජය මේ සියවසේ ලැබූ දැවැන්ත ම කඩා වැටීම ලෙසයි සැලකෙන්නේ.

ඒ සමගින් ලෝක ශූරතාව වැඩිම වාර ගණනක් (05) දිනා ගනිමින් පාපන්දු ලොව ආධිපත්‍ය පතුරුවාගෙන සිටි බ්‍රසීල කණ්ඩායමට අත් වූ ඉරණම ද සුළු-පටු නොවේ. අර්ධ අවසන් පූර්ව වටයේ දී තම ගමනාන්තය ළඟා කර ගත් බ්‍රසීලයන් තමන් ලැබූ පරාජය සැලකුවේ මායාවරුන්ගේ ක්‍රියාවක් ලෙසිනි.
එමෙන් ම එම වටයේ දී ලෝක ශ්‍රේණිගත කිරීම අනුව 14 වැනි ස්ථානයේ පසුවූ, දෙවරක් ලෝක ශූරයන් වූ උරුගුවේ කණ්ඩායමට ද ඉතා අසරණ වෙන්නට සිදු විණි.
සත්කාරකත්වය දරමින් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබූ රුසියානු කණ්ඩායම තරගාවලියේ කැපී පෙණුන කණ්ඩායමක් බවට පත් විණි. අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට වාසනාවන්ත වූ ඔවුන් තරගාවලිය නිමාවේ දී ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළ තැනකට පිවිසෙනු ඇත. ලෝක ශ්‍රේණිගත කිරීම අනුව 10 වැනි ස්ථානයේ සිටි ස්පාඤඤ පරාජය කිරීම රුසියානු කණ්ඩායම ලැබූ සුපිරිතම ජයග්‍රහණයයි.

මොවුන් සමගින් වඩාත් කතා බහට ලක් පරාජිත කණ්ඩායම් දෙක වූයේ ආර්ජන්ටිනාව සහ පෘතුගාලයයි. ඔවුන් ලත් පරාජයන්ට වඩා මෙම කණ්ඩායම් නියෝජනය කළ ලයනල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගේ දක්ෂතාවලට ඉතා වේලාසනින් ම විලංගු දැමීමට සැලැස්වීම පාපන්දු ලෝලීන්ට දරා ගත නොහැකි වුණි.
මොවුන් දෙදෙනා ම මෙවර ලෝක කුසලානයේ සුපිරි තරු කිරුළේ හිමිකාරීත්වයට ද්වන්ධ සටනකට පිවිසෙනු ඇතැයි බොහෝ දෙනෙක්ගේ මතය වූණි. එහෙත් සියලු බලාපොරොත්තු සුන් කරමින් ඔවුන් දෙදෙනාට ම දෙවැනි වටයෙන් ඉවත් වී ප්‍රේක්ෂකයන් බවට සිදු වූ හ.
කෙසේ වෙතත් මේ වනවිට මෙවර පාපන්දු ලෝක කුසලානයේ අවසානයේ අභිමුවට පැමිණ ඇත. සුදුසුකම් ලැබූ කණ්ඩායම් දෙක ම මේ වන විට ලෝක කුසලානය තමන්ගේ රටට ගෙන යෑම ගැන විශාල බලාපොරොත්තු තබා ඇතිවාට කිසිදු සැකයක් නැත. ප්‍රබල ප්‍රංශය ජයග්‍රහණය කරනු නියතැයි කියන්නෝ ද කෝඩුකාර ක්‍රොඒෂියාව ජයග්‍රහණය කරනු ඇතැයි කියන්නෝ දබොහෝ ය.

මේ අතර වාරයේ ඇතැම් රටවල් තරගාවලියේ තරග සැලසුම ගැන සංවිධාකයන්ට දෝෂාරෝපණය කරන තැනට ද වැටී ඇත. ඒ ඇතැම් විට ප්‍රබලයන්ට පළමු වටයෙන් හෝ දෙවැනි වටයෙන් ඉවත් වීමට සිදු වීම නිසා විය හැකිය. නොසිතූ කණ්ඩායම් ඉදිරියට පැමිණිය ද තරගාවලියේ උණුසුමේ කිසිදු අඩුවක් නැති බැව් රූපවාහිනි තිර සේ ම මාධ්‍ය වාර්තා ද පෙන්වා දේ. එය වඩාත් තීව්‍ර වෙන දිනය මේ මස 15 වැනි ඉරිදා ය.