රාවය

ශ්‍රී ලංකා ක්‍රිකට් මාරය. මාරම මාරය

ශ්‍රී ලංකා ක්‍රිකට් මාරය. මාරම මාරය

රජිඳු කාශ්‍යප 

ශ්‍රී ලංකා ක්‍රිකට් මාර ය. මාර ම මාර ය. දඬුවම් දෙන්නටත් කලින් ම දඬුවම බාර ගැනීමට තරම් ඔවුහු නිහතමානී වෙති. මේ නිහතමානී කම තිබිය යුතුව තිබුණේ චෝදනා එල්ල වීමට කරනු ලැබූ ක්‍රියාවේ දී ය. නමුත් කවදත් කරන්නා සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කළේ සියල්ල සිදුවූ පසු සැලසුම් සකස් කිරීම ය.

ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානිකර ලෙසින් හැසිරී යැයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ට එරෙහිව වූ පරීක්ෂණයේ වාර්තාව ලැබීමට තිබුණේ දකුණු අප්‍රිකාව හා සමග පැවැතෙන පළමු ටෙස්ට් තරගය ආරම්භ වෙන දිනට දින දෙකකට පෙර ය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එය දිනකින් කල් දැමුවේ ය. ඒ කුමන කාරණයක් නිසාද යන්න කිසිවකුත් දන්නේ නැත. කිසිවෙක් විමසූ බවක් ද දැන ගන්නට නැත.

කෙසේ වෙතත් මේ ප්‍රමාදය හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහි ව පෙළ ගැසෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල් වෙත ම තැබීමට පාලකයෝ තීරණය කළ හ.
එහෙත් පාලකයෝ තරගයට පෙර සවස් වරුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවට චන්දිමාල් නොකැඳ වූහ. ඔහු පමණක් නොවේ උප නායකයා වන සුරංග ලක්මාල් ද කැඳවෙන්නේ නැත. කවදත් කරන්නා සේ ඔවුහු යොවුන් ක්‍රීඩක රොෂේන් සිල්වා මාධ්‍ය හමුවේ කතිකයා කළෝය.
පසුව ආරංචි වෙන්නේ චන්දිමාල් තමන් විසින් කළ දේ නිසා දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා නොකරන බවයි. මේ තමන් විසින් හෝ තමන්ට ලැබුණ නියෝගයක් අනුව ගත් එකක් බවයි කියැවුණේ. ඒ අතර වාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය මගින් චන්දිමාල් ට දඩුවම් නියම කළ බවට වන කතාවක් ද පැතිරෙන්නේ ය. එහෙත් එය ද මේ දක්වා ම පැවැතෙන්නේ කතාවක් තත්ත්වයේ ය. දඩුවම් ලැබී නම් චන්දිමාල්ට පමණක් නොවේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංග ගුරුසිංහ වෙත ද ලැබෙනු ඇත.

මෙවැනි කරුණක දී කවුරු කවුරුත් නිදොස් වීම සාමාන්‍ය ක්‍රමය වූව ද ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත එවැනි උවමනාවක් නොමැති බවකි පෙන්නුම් කෙරෙන්නේ. මේ වනවිට ක්‍රිකට් නිසි බලධාරීයා කුමන ආකාරයකට කටයුතු කරන්නේ දැයි දන්නේ ඔහු ම පමණි. ඔහු මේවා හී අගක් මුලක් දන්නේ නැති බැව් විශ්වාසය. එබැවින් පුටුව පමණක් ආරක්ෂා කර ගනිමින් වෙන්නට යන දේවල් ඒ ආකාරයෙන් ම කෙරීගෙන යන්න අයුරු බලා සිටිමය ඔහු කරනු ඇත්තේ.

අප පෙර සිට ම සඳහන් කළේ චන්දිමාල් කළ දේ සේ ම පුහුණුකරු ද කළමනාකරු ද කළ දේ නිවැරදි නොවන බවයි. ඔවුන් එම අවස්ථාවේ දී ගැටුම් ඉතා ම ලෙහෙසියෙන් නිරාකරණය කර ගැනීමේ අවස්ථාව තිබුණි. එහෙත් එවැන්නක් සිදු වූයේ නැත.

දැන් දඩුවම් ලැබීමේ දී ද එම තත්ත්වයේ වෙනසක් නැත. මේ සියලු කාරණා අවසානයේ බැර වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ය. ශ්‍රී ලංකා ක්‍රිකට් මේ ගැන වගේ වගක් නොමැති ව සිටින්නේ නම් විනාශ වෙන්නේ ක්‍රිකට් ආයතනය මිස එය සිදු කළ පුද්ගලයන් නොවේ.

අනෙක් අතට මේ සිදුවීම ශ්‍රී ලංකාවේ ගෞරවය බේරා ගැනීමට කළ අරගලයක් නොවේ. නොදන්නාකමින් හෝ අති පණ්ඩිත කරමින් කළ ක්‍රියාවකි. ඇතැම් දෙනෙක් අර්ජුන රණතුංග, මුත්තයියා මුරලිදරන්ට එරෙහිව පන්දුව දමා ගැසී යැයි ලත් චෝදනාවේ දී ක්‍රියා කළ ආකාරයත් මෙම සිදුවීමත් සමාන කිරීමට උත්සාහ කර තිබුණි. මේ සිදුවීම් දෙකකි. එදා රණතුංග කළ ක්‍රියාව සර්ව සාධාරණ ය. අරගලය තමන්ගේ ක්‍රීඩකයෙක්ගේ නිදොස් බැව් ඒත්තු ගැන්වීම ය. ඒ බැව් මේ වෙද්දී එකි විධානය දුන් අය ගේ ම පාපෝච්ඡාරණයන් මගින් ම හෙළි වී ඇත.

මේ සිදුවීම වෙනස් ම කාරණයකි. ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් හී තැබූ කළු පැල්ලම සුළු-පටු නොවේ. ඒ බැව් තේරුම් ගැනීමට මේ නිලධාරීන් අසමත් ය. අසමත් වෙන ගමන් ම දෙන මෝඩ චූන් ද නිමක් නැත. එනිසා ම මෙරටින් කිසිදු පරීක්ෂණයක් ද නැත. කළ කී දේ සම්බන්ධයෙන් නියතයෙන් දඬුවම් ලැබෙන බැව් දැන ඊට පෙර ම එම දඬුවම තමන් විසින් ම පවරා ගෙන ලෝකයට දෙන්නට යන්නේ තමන් සර්ව සුබවාදී සුදනන් යන පණිවුඩය ද?