සමාජවාදී සමානතා පක්ෂයේ පනස් වසර සාමූහිකත්වයෙන් හා ෆීනික්ස් පක්ෂි ජවයකින්

චන්ද්‍රරත්න බණ්ඩාර

හැත්තෑ ගණන්වල අග භාගයේ වාමාංශික මතවාදී ප්‍රභවයක් තිබූ සුළුතර ශිෂ්‍ය ප්‍රජාවක් වූ අපට, සිත්ගන්නාසුලු ලංකාවේ පැවැතුණු තරුණ(ම) දේශපාලන ව්‍යාපාරය ලෙස අප සිත් සතන්හි රජකරගෙන සිටියේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයයි. එහෙත් එදා අපට ළං විය නොහැකි, ඊටත් වඩා ළංවීමට යම් බියක් වැනි හැඟීමක් තිබූ දේශපාලන ව්‍යාපාරය ද විකොසම විය. ඔවුන් සමග එක්වීම අපගේ මධ්‍යම පාන්තික ප්‍රාර්ථනා ඉටුකර ගැනීමට බාධා කරන, අපගේ මව්පිය සිහින බොඳ කරවන්නක් විය හැකි බවද අපට සිතිණි.
‘කිරි හින්දා අහක දාන්නත් බැරි, උණු හින්දා බොන්නත් බැරි, දේශපාලන ව්‍යාපාරයක් ලෙස විකොස ගැන අපේ සිත් සතන් හි ලියැවී තිබුණු අදහස විය. ඇතුළට ගියොත් ආපසු එන්නට බැරිවන දේශපාලන බන්ධනයකින් ඔවුන් අප වෙලා ගන්නවා වැනි හැඟීමක් එදවස අපට විය.
අවංක මිනිසුන්ගෙන්, කැප කරන්නන්ගෙන්, හදාරන්නන්ගෙන් හා ස්ථිරසාර අදහන්නන්ගෙන් පිරි සජීවී මානව කෞතුකාගාරයක් ලංකාවේ තිබේ නම් ඒ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය වේයැයි මම සිතමි. ඔවුන් අත දරා තිබූ රතු ධජයේ පැහැය එදා මෙදා තුර කවර වෙනසකටවත් අව පැහැ නොගැන්විණ. 1977 මැතිවරණ පරාජයත් සමග මා සාමාජිකයකු වූ ලංකා සමසමාජ පක්ෂයද එවැනිම අනෙකුත් පාර්ලිමේන්තුවාදී වමේ පක්ෂද, ක්‍රමයෙන් දියවී ගොස් පණ නළ වියැකී අද තත්ත්වයට පත්වී ඇත. පෙරස්ත්‍රොයිතා ප්‍රතිසංස්කරණ හරහා ලෝක මට්ටමෙන් නිලධාරිවාදී කොමියුනිස්ට් ව්‍යාපාරය හෑල්ලුවට ලක්වන විට හා ජේආර් ජයවර්ධන දක්ෂිණාංශික ව්‍යාපාරය හරහා ලුම්පන් ධනවාදය මෙරට යථා හා අයථා අයුරින් ස්ථාපිත කරන විට කුඩා කුඩා වාමාංශික දේශපාලන පක්ෂද විපිළිසර භාවයට පත්විය. ඇතැම් කුඩා දේශපාලන පක්ෂවලට ඔරොත්තු නොදෙන තරම් බලවත් නායකයෝ ඒ පක්ෂවල සිටි නිසාම ඒවා ඒ නායකයාගේ මතවාදය රජ වූ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය දුරස් වූ පක්ෂ බවට පත් විය.
එහෙත් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය එසේ නොවිණි. එයට සදා අනුස්මරණය කළ හැකි ආරම්භක නායකයෙක් කීර්ති බාලසූරිය නමින් සිටියේය. ඔහු අනෙකුත් වමේ නායකයන් මෙන් නොව වමේ ව්‍යාපාරයෙන් උපන්, හැදෑරීම හා මතවාදයට කැපවීම තුළින්ම ගොඩ නැගුණෙකු විය. දේශපාලනයට අනුබද්ධ බොහෝ විෂයයන් පිළිබඳ පරතෙර පත් දැනීමක් ඔහු සතු විය. ධම්ම ජාගොඩ මහතා මා සමග වරක් කී අයුරින් ප්‍රාචීන ප්‍රතිචීන කලා සංස්කෘතික දැනුම පිළිබඳ කෝෂ්ඨාගාරයක් වූ සුචරිත ගම්ලත් පවා කීර්ති ඉදිරියේ අනුමත කරන්නකු මිස විවේචකයකු නොවීය.
විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය තුළ නිරුපද්‍රිතව සිටීමට නම් ඔහු නිතිපතා හදාරන්නකුද කැප වෙන්නකුද විය යුතු විය. පනස් වසරක් මුළුල්ලේ මේ ස්ථාවරයන් රැක ගැනීමට ඔවුන් සමත් වීම වනාහී සියලු මානව ගුණාංග අඩු ලංසුවකට විකිණෙන සමාජ පරිසරයක ගරු කටයුතු තත්ත්වයක් නොවේද?
1968 – ජූනි 16-17 කොළඹදී පැවති සමුළුවකදී ගන්නා ලද තීරණයක් අනුව විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ආරම්භ විය. එය ඊට වසර විසිපහකට පමණ පසුව එනම් 1996 දී සමාජවාදී සමානතා පක්ෂය යනුවෙන් වෙනස් විය.
බලයේ අද්දරටවත් එන්නට බැරි වුණත් විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ශ්‍රී ලංකාවේ මහන්සි වී දේශපාලන වැඩ කළ අවංක මිනිසුන් සංචිතයක් සහිත පුරෝගාමී වාමාංශික පක්ෂයක් ලෙස හැඳින්විය හැකිය. මොවුන් ‘මාක්ස්වාදී තවුසන්’ පිරිසක් ලෙස හැඳින්වීම යෝග්‍ය නොවිය හැකි නමුත් යම් විශ්වාසයක, මතවාදයක එයට කැපවෙමින් ඒ අනුසාරීව ජීවත්වීමේ අර්ථයෙන් ඒ ‘තවුස්’ හැඳින්වීම මම ගනිමි.
සමාජවාදී සමානතා පක්ෂයේ (විකොස) සාමාජිකයකු නොවී එහි අභ්‍යන්තරය හෝ ක්‍රියාකාරීත්වය ගැන ලිවීම ගැන එහි නියමුවන් මා හා උරණ වනු ඇත. එහෙත් ඔවුන්ගේ දේශපාලන ක්‍රියාවලිය අපගේ ජීවිතයට බලපෑ ආකාරය සුළුපටු නොවන නිසා ඔවුන්ගේ ස්වර්ණ සැමරුම මට නම් මඟ හැර යා නොහැකි දෙයකි.
මට හා 70 දශකයේ ශිෂ්‍යයන් වූ වෙනස් වාම අදහස් දැරූ සුළුතර කණ්ඩායමකට විකොස හා යම් අනුරාගී බැඳීමක් තිබිණි. එකල මහනුවර ජීවත් වූ අප මෙන්ම දිවයින පුරා අප වැනි විකොස තුළින් ආශ්වාදය ලැබූ පිරිස් සිටියෝය. සතිපතා නිශ්චිත දිනෙක මහනුවර ඩී.ඇස්. සේනානායක පුස්තකාලය අසල අප පාසල් ඇරී එනතෙක් එදත් අදත් විකොස නොවෙනස් සාමාජිකයකු වූ වීරසේකර සහෝදරයා රැඳී සිටියේ පක්ෂ පුවත්පත වූ කම්කරු මාවත අප වෙත දීමටය. ඒ අස්වැසිල්ලේ ඔහු සිය දර්ශනයෙන් පදාසයක් අපට පහදා දෙන්නට උත්සාහ කළේය. ඒවායින් අප දැනුවත් වූවාට වඩා ඔහුගේ අවංකභාවය හා කැපවීම පිළිබඳව ගෞරවයක් අපට ඇතිවිණි.
මා අයත් කලා ධාරාවේ ලාංකීය පහන් තරුව වූයේ ධර්මසේන පතිරාජය. අපි ඔහුගේ අනුසාරයෙන් මහාචාර්ය සුචරිත ගම්ලත්, පියසීලි විජේගුණසිංහ, ධම්ම ජාගොඩ හඳුනා ගැනීම සිදුවූවා පමණක් නොව ඔවුන් ලංකාවේ කලාව වෙත පැතිරවූ දැවැන්ත හා ඓතිහාසික ආලෝකයෙන් එළිය ලැබූවෝද වෙමු. මේ දැවැන්ත දේශපාලන හා සංස්කෘතික කාර්යයේ මෙහෙයවන්නා වූයේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයයි.
බඹරු ඇවිත් චිත්‍රපටයේ වීරසේන (විමල් කුමාර ද කොස්තා) නම් වූ සිදුවන සිදුවීම් වෙනස් ලෙස දකින්නා, ඒ අගනා සිනමා කෘතියේ සාමාග්‍රීය විනාශ කරන්නා යයි එකල බොහෝ විචාරකයන්ගේ අදහස විය. එහෙත් පතිරාජගේ දෘෂ්ටිවාදයට අනුව තැනූ අනාගතය දකින්නා වීරසේන යයි මම සිතමි. ඒ චරිතය සාකල්‍යයෙන්ම පතිරාජ තුළ සිටි විකොස මිනිසා වේ යයි වැඩි දුරටත් මම සිතමි. වරක් මා පතිරාජගෙන් එය එසේදැයි ඇසූ අවස්ථාවක කිසිවක් නොකියා ඔහු සිනාසුණා මට මතකය.
මාක්ස්වාදී පක්ෂයක තිබිය යුතු අභ්‍යන්තරික ප්‍රජාතන්ත්‍රවාදය අපූරුවට රකින දේශපාලන පක්ෂයක් වේ නම් ඒ විකොස යයි මම සිතමි. අප ළමා වියේ අපට හමුවූ වීරසේකර සහෝදරයා එකල එම පක්ෂයේ නායකයකු නොවීය. සිය දේශපාලනය කෙරේ සපුරා එකඟව වෙනස් මත දරන්නන් අබියස නොසැලී නොවැටී තම මතවාදය වෙනුවෙන් පෙනී සිටිමින්ද, 80 වැඩ වර්ජනයට සහභාගි වීම හේතුවෙන් අපමණ දුක් විඳිමින් වුවද වීරසේකර සහෝදරයාට ඊට හතළිස් වසරකට පමණ පසුවත් මහනුවර වීදි සරමින් තම ව්‍යාපාරය වෙනුවෙන් ඉමහත් කැප කිරීමක් කළ හැක්කේ උත්තරීතර අරමුණක් කරා හඹා යාමට පක්ෂය ඔහු පොළඹවන නිසා විය හැකිය.
සාමාජිකයෝ පමණක් නොව නායකයෝද වාමාංශික ව්‍යාපාර හැර යන්නේ පක්ෂයක හැමෝටම පිළිගත හැකි මට්ටමේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් ඒවා තුළ නොමැති නිසාය. සෝමවංශ අමරසිංහ, වාසුදේව නානායක්කාර, බැටී වීරකෝන්, අතාවුද සෙනෙවිරත්න වැන්නෝ මේ සඳහා ඇති ජීවමාන උදාහරණයෝ වෙති. ඕනෑම වාමාංශික පක්ෂයකින් එළියට බසින, කලක් එහි වැඩ කළ කෙනෙක් කවර සමාජ දේශපාලන කටයුත්තකට බැස්සත් ඔහුගේ වැඩ ශෛලියේ වෙනසක් තිබේ. එහෙත් පක්ෂයෙන් ඉවත් වූ විකොස සාමාජිකයෝ ඊට වඩා බර සාරව වැඩ කරති. ඔවුන්ට කවදාවත් සිය ජීවිතයේ විකොස මුල් සිය ආත්මයෙන් ඉවත් කරගත නොහැකි යයි සිතමි. නීතිඥ බැසිල් ප්‍රනාන්දු, ධර්මසේන පතිරාජ, සුචරිත ගම්ලත් එවැනි උදාහරණ කිහිපයකි.
මේ ලිපියේදී මා පක්ෂයේ වර්තමාන නාමය වන සමාජවාදී සමානතා පක්ෂය වෙනුවට එහි පූර්වගාමි නාමය වන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය යන්න යොදාගන්නේ මගේ එක්තරා නොස්ටැලිජියානු මතකයක් රසවත්ව අවදි කර ගැනීමේ උත්සාහයක කොටසක් වශයෙනි. පක්ෂයට අදාළ සියලු කුදුමහත් කටයුතු ගැන උනන්දු වන සසප සාමාජිකයෝ මගේ ඒ අහිංසක යොදා ගැනීම නිවැරදිව තේරුම් ගනිත්වා.
මා යම් ශාස්ත්‍රීය කටයුත්තක නියැළෙන විට දැනෙන වෙහෙස නිවා ගැනීමටත්, අඛණ්ඩව ඒ කටයුත්තේ යෙදීමට අවශ්‍ය ධෛර්යය සම්පාදනය කර ගැනීමටත් මා වෙනත් විෂයයක් වෙත මඳක් නැඹුරුවී යළිත් ආපසු මූලික කටයුත්තට ඒම මගේ සිරිතකි. අජිත් තිලකසේනගේ නිර්මාණයක් කියවීම, සමාජවාදී සමානාත්මතා පක්ෂයේ වෙබ් අඩවියට පිවිසීම එවැනි පිවිසීම්ය. ඒ දෙතැනදීම මා අත් විඳින්නේ අවංක බව, ගැඹුර, කැපවීම හා පරාර්ථය පිළිබඳ නිදර්ශනයන්ය.
පනස් වසරක් යනු මානව ජීවිතයකටත්, දේශපාලන ව්‍යාපාරයකටත් එකසේ ආපසු හැරී බැලිය හැකි කඩ ඉමකි. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට ඒ ආපසු හැරී බැලීම සිංහසෙයියාවෙන්ම කළ හැකිය.
දුරින් සිට වුව කලක සිට එකී ව්‍යාපාරය දෙස බලා සිටින විට මට වැටහුණේ, විකොස එක් සාමාජිකයකු මානව ගරුත්වය වෙනුවෙන් කැපවුණු සිය ගණනක් නියෝජනය කළාය යනුවෙනි. අප ළාබාල වියේ හමුවූ විකොස සාමාන්‍ය සාමාජිකයකු වූ වීරසේකර සහෝදරයා මෙන්ම එහි අනුත්තර නායකයා වූ කීර්ති බාලසූරිය සහෝදරයාටද කලාව පැත්තෙන් ගත් කල පතිරාජ, සුචරිත, ධම්ම ජාගොඩ, පියසීලි විජේගුණසිංහ වැනි අයටද වත්මන් පක්ෂ නායක විජේ ඩයස්ටද, අන් බොහෝ විකොස සමීපතමයන්ටද ඒ ගෞරවය දීමට මම මැලි නොවෙමි.
සිය න්‍යායික ස්ථාවරයන්ගෙන් බිඳකුදු වෙනස් වීමට සිය ඉතිහාසය පුරාම විකොස අකැමැති විය. ඒ අකමැති වීමම ඔවුන්ගේ පරිවාරය පෝෂණය නොවීමට බලපෑවේය. තම න්‍යායික ස්ථාවරයන් යම් වෙනසකට භාජනය කරගනිමින් සිය පරිවාරය පෝෂණය කර ගැනීමටද ඔවුන් උත්සාහ නොදැරුවෝය. ඒ නිසාම ලාංකීය කලා සංස්කෘතික සමාජයට මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී කලා ධාරාව තුළ තිබුණු සංකල්ප ලබාදී බලවත් ප්‍රකම්පනයක් සංස්කෘතික සමාජය තුළ ඇති කිරීමට ඔවුහු සමත් වූහ. එතෙක් තිබූ තම තම නැණ පමණින් සකස් කරගත් සෞන්දර්ය විචාර කතිකාවන් හා ගුණසේන විතාන වැනි මහතුන් විසින් ස්ථාපිත කරන්නට තැත් දැරූ සරල නොගැඹුරු ජනතාවාදයත් බලවත් අර්බුදයකට ලක් කිරීමට විකොස ආවරණය යටතේ පැවැතුණු මාක්ස්වාදී කලා විචාරය සමත් විය. විශේෂයෙන් සුචරිත ගම්ලත් හා පියසීලි විජේගුණසිංහ මේ කතිකාව මහජන මණ්ඩප වෙත ගෙන ගියෝය.
පසුගිය දශක ගණනාව තුළ ලාංකීය සමාජය ගිනියම් කළ දේශපාලනඥයන්ගේ මහා බඩජාරීකමට විකොස දේශපාලනය අසු නොවූහ. සමාජවාදී සමානතා පක්ෂය සාමූහිකව නිම්නයක් කරා පියාඹන වටුකුරුල්ලන් වන නමුත් ඔවුහු ෆීනික්ස් පක්ෂි ජවයකින් පියඹමින් සිටිති. සමාජයක් වශයෙන් මිනිසත්කමේ ගෞරවය කෙළෙසා ගත් අප අසබඩ කුඩා පහනක් රැගෙන පනස් වසරක් තිස්සේ ඔවුහු සැරිසරති.