නිව්යෝක් ටයිම්ස් ලිපිය ගැන විචාරයක්

එස්. නන්දලාල්

අමෙරිකාවේ පළවන ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත පසුගිය 25දා 2014 වසරේ අග භාගයේ ශ්‍රී ලංකාවේ සිදුවූ බව පැවසෙන මහා දූෂණයක තොරතුරු පිළිබඳ සවිස්තර වාර්තාවක් පළ කළේ ය. එය චීන මාධ්‍යවේදීන් දෙදෙනකුගේ සහ ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් තුන් දෙනකුගේ සහායයෙන් එම පත්‍රයේ ආසියා කලාපය භාර මාධ්‍යවේදිනී මාරියා අබි-හබිබ් විසින් සම්පාදිත ය.
එහෙත් ඒ ලිපියට පාදක වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇ. ඩො. මිලියනයක් ඉක්මවන අල්ලසක් හෝ කොමිස් මුදලක් හෝ චීනයෙන් ලබා ගත්තේ ය යන කාරණය පිළිබඳව මීට තරමක් වෙනස් ආකාරවලින් 2015 ජුනි 22 දින ශ්‍රී ලංකාවේ ඬේලි නිව්ස් පත්‍රයේ (අදාළ විස්තර රාවය පසුගිය කලාපයේ මුල් පිටුවේ පළ කැරිණි) සහ 2015 ජුලි 24දා රොයිටර් වෙබ් අඩවියේ පළ විය. පොලීසිය ඊට අදාළව පරීක්‍ෂණ පවත්වමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසූ බව රොයිටර් පුවතේ සඳහන් වූ නමුත් මේ වනවිට ඒ පරීක්‍ෂණ ආගිය අතක් නැත.
රොයිටර් වාර්තාවේ දැක්වෙන්නේ රාජපක්ෂ විසින් කොමිස් මුදල ලබාගත්තේ කොළඹ වරාය නගරය ව්‍යාපෘතියෙන් බවයි. එහෙත් නිව්යෝක් ටයිම්ස් කියන්නේ එය ලබා ගත්තේ හම්බන්තොට වරාය ව්‍යාපෘතියෙන් බවයි.
ඒ ලිපිය පිළිබඳ වෙනස් ආකාරයක විවේචනයක් පහත පළ වේ. මෙය උපුටාගන්නා ලද්දේ ලෝක සමාජවාදීන්ගේ වෙබ් අඩවියෙනි (www.wsws.org/en/articles/2018/06/29)  මෙහි මහින්ද රාජපක්‍ෂට එරෙහි ව එල්ල වී ඇති දූෂණ චෝදනාව ගැන කිසිවක් සඳහන් නැති අතර නිව්යෝක් ටයිම්ස් ලිපියේ යටි අරමුණු ගැන පමණක් විග්‍රහ කෙරේ. ‘ශ්‍රී ලංකාවේ චීන විරෝධී පිළිවෙත නිව්යෝක් ටයිම්ස් නැවත කියයි’  ( New York Times restates Washington’s anti-China agenda in Sri Lanka) යන හිසින් යුතු ව පසුගිය 29 දින එම වෙබ් අඩවියේ පළ වූ එම ලිපියේ දළ සිංහල පරිවර්තනයකි මේ:

***

ජුනි 25දා ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත Got Sri Lanka to Cough up a Port  යන හිසින් යුත් දීර්ඝ ලිපියක් සිය මුල් පිටුවේ පළ කළේ ය. වචන 3,800 ඉක්මැවූ මේ රචනාව ‘ද ටයිම්ස්’ විසින් සහ වොෂින්ටනයේ විදේශ ප්‍රතිත්ති ප්‍රචාරණ යාන්ත්‍රණය විසින් සාමාන්‍ය පරිදි ශ්‍රී ලංකාවේ වැඩෙමින් පවතින චීන බලපෑම පිළිබඳ ව වන අපවාද පුනරුච්චාරණය කළේ ය.
ලියැවිල්ලේ තානය සහ මුහුර්තනය කොළඹ පරිපාලනයට පැහැදිලි පණිවුඩයක් දීම ඉලක්ක කැර ගෙන ඇත. ‘එක්සත් ජනපද අධිරාජ්‍යය ඔබ ගැන සමීපස්ථ නිරීක්‍ෂණයක සිටියි. චීනයට එරෙහි යුද්ධයේ දී අපගේ මිලිටරිමය උපාය මාර්ගයට විරුද්ධ වන්නට අදහස් නොකළ යුතු ය.’
අමෙරිකා එක්සත් ජනපදය සහ එහි අන්තර්ජාතික මිතුරු ඇලිය ඉන්දියානු සාගරයේ ආසියාව සහ අප්‍රිකාව යා කෙරෙන ප්‍රධාන මුහුදු මාර්ගයේ පිහිටා ඇති උපායමාර්ගික වැදගත්කමකින් යුත් ශ්‍රී ලංකාවට දිගු කලක් තිස්සේ පීඩනයක් එල්ල කරමින් සිටිති. එහි ප්‍රතිඵලයක් ලෙස අමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර පවතින භූ දේශපාලනික කුණාටුව සහ ඉන්දු පැසිෆික් සාගර කලාපය පුරා බෙයිජිං පාලනයේ බලපෑම නැති කැර දමන්නට වොෂින්ටනයේ සංහත ආර්ථික සහ හමුදාමය ප්‍රහාරක බලපෑම ශ්‍රී ලංකා වාසී ජනතාව වෙත තල්ලුවෙමින් පැවතෙනු දැකිය හැකි ය.
මෙම ටයිම්ස් ලිපියට අනුව චීනය ලොව පුරා බලාධිකාරය අත්පත් කැර ගැනීම සඳහා ණය සහ ආධාර උපයෝගී කැර ගන්නා අතර ඒවා ආපසු එකතු කැර ගැනීම සඳහා දැඩි අනුකම්පා විරහිත ක්‍රියාමාර්ග අනුගමනය කරයි. මෙය සනාථ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායේ ප්‍රධාන කොටස් අත්පත් කැර ගැනීම ගෙන හැර දැක්වේ. මේ අවස්ථාව නිර්මාණය කරන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පාලන සමයේ ය.
දෙවසරක් පුරා සාකච්ඡා කිරීමෙන් අනතුරුව පසුගිය දෙසැම්බරයේ ජනාධිපති මෛති්‍රීපාල සිරිසේනගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ‘චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩිං  (CMPH) වෙත හම්බන්තොට වරාය විධිමත් ලෙස පවරා දුන්නේ ය.
මේ ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව වරායේ අයිතියෙන් 70%ක්  CMPH   වෙත විකුණා දැමූ අතර ඉතිරි 30% ශ්‍රී ලංකා වරාය අධිකාරය සතුව තබා ගනියි.
ශ්‍රී ලංකාවේ විදේශ ආධාර කඳු ගැසෙන්නේ ය’යි ටයිම්ස් වාර්තා කරන අතර එක්සත් ජනපද අධිරාජ්‍යවාදීහු කලාපයේ චීන බලපෑම වැඩිවීම ගැන බිය පළ කරති. විශේෂයෙන් ම වරාය පෙළක් සහ චීනය යුරෝපයට යා කෙරෙන දුම්රිය මාර්ග මෙන් ම මහමාවත් ද ගොඩ නැගීම මගින් පුරාණ සේද මාවත යාකිරීම  (the Belt and Road Initiative) මීට පදනම ය.
වරාය පැවරීම මගින් චීනයට සිය පිළිමල් ඉන්දියාවේ මුහුදු වෙරළට සැතපුම් සීයක් දෙසීයක් තරම් ළඟින් සිට ඉන්දියානු වෙරළ සීමාව පාලනය කරන්නට ඉඩ ද, යාන්තම් පය තබා ගත හැකි උපාය මාර්ගික අංශුමාත්‍ර ඉඩක් ද ලබා දුන්නේ ය’යි ලිපියේ සඳහන් ය.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ණය බර ගැන ටයිම්ස් කනස්සල්ල ව්‍යාජයකි. එක්සත් ජනපදයේ රහස් ඔත්තු සේවා සඳහා ඍජු ප්‍රකාශකයකු වන ‘ද ටයිම්ස්’ වොෂින්ටනයේ අපරාධ සාධාරණීකරණය සඳහා ඉදිරිපත් කරන්නේ සාවද්‍ය කරුණු ය. ඉරාකයට සහ ඇෆ්ගනිස්තානයට කඩා වැදී කරන ලද යුද්ධයේ සිට සිරියාවේ අනුගමනය කෙරෙන බළලුන් ලවා කොස් ඇට බෑවීමේ ක්‍රියාමාර්ගයේ දී අමෙරිකානු යුද යාන්ත්‍රණයට සහ ඔත්තු සේවාවලට ‘ටයිම්ස්’ නැතිවම බැරි ය.
ශ්‍රී ලංකාවේ 2015 ජනාධිපතිවරණයේ දී තමන්ට හිතවාදී කණ්ඩායමක් බලයට ගෙන එන්නට අමෙරිකා එක්සත් ජනපදය කටයුතු කරමින් සිටින බව මෙම වෙබ් අඩවිය දිගින් දිගටම පෙන්වා දුන්නේ ය.
2015 ජනවාරි 09දා අපි මෙසේ පළ කළෙමු: ‘සිරිසේන සමග බලවේග සහ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ඔබාමා පරිපාලනයේ තිරය පිටුපස මැදිහත්වීමේ ප්‍රතිඵලයයි. මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුව චීනය සමග ඇති කැර ගත්තාවූ සහ වැඩි දියුණු කරන ලද්දාවූ මිලිටරිමය සබඳතා ද ඇතුළත් සබඳතාවලින් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය වෙතින් චීනය දුරස් කිරීම පිණිස ඔහු පලවා හැරීම සඳහා වොෂින්ටනයේ දී තීරණ ගනු ලැබිණි. ඒ මැදිහත්වීම වොෂින්ටනයේ ආක්‍රමණශීලී ව්‍යාපෘතිය වන ආසියාවට විවර්තනිය  (Pivot to Asia) වෙතින් ඍජුව ම ගලා ආයේ ය.
සිරිසේන, රාජපක්‍ෂ ආණ්ඩුවෙන් ඉවත් ව තමා පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත් කළ 2014 නොවැම්බර් 21 දින ටයිම්ස් ලිපි දෙකක් ම පළ කළේය. ඒවායේ සිරස් මෙසේ ය: (1) එක්වරම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය නියම තරග දිවුමක් බවට පත්වෙයි. (2) සිය පිළේ ම අය පිලිමලුන් වීම නිසා ශ්‍රී ලංකාවේ ජනාධිපතිගේ නැවත තේරී පත්වීමේ සිහිනය බොඳ වෙයි.
පසුව සඳහන් කැරුණු ලිපිය රාජපක්‍ෂ හෙළා දකිමින් උද්‍යෝගිමත් ලෙස සිරිසේන වැණී ය.
රාජපක්‍ෂ අලුත් වරාය සහ මාර්ග සඳහා ඩොලර් මිලියන ගණන් පොම්ප කළ චීනය පැත්තට කපා වේගයෙන් ඒ දෙසට සිය රට ධාවනය කැරවී ය’යි එහි සඳහන් ය.
ජනාධිපතිවරණය පැවැත්වුණු දින රාජපක්ෂ පාලනය පෙරළා දැමීමේ මෙහෙයුම සිය තෘප්තිමත් බව හැඟවෙන ස්වරයෙන් හඬ අවදි කළේ ය. ඒ ගැන පළ වූ ලිපියේ සිරස වූයේ ‘ආරම්භයේ දී සිත අවුල් කැර ගත්තත් ශ්‍රී ලංකාවේ ජනාධිපති පරාජය ඒත්තු ගනියි’ යන අරුත් ඇති යෙදුමකි.
එහෙත් දේශපාලනික වශයෙන් බෙදී ගිය මත ඇති ශ්‍රී ලංකාවේ ඉහළ පාලන ස්ථරය වොෂින්ටනයේ විදෙස් පිළිවෙත සමග මු`ඵමනින් ම ඇලී නොසිටියි.
චීනය විසින් අරමුදල් යොදවන ලද කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය සිරිසේන විසින් අත්හිටුවන ලද නමුත් වෙනත් මූලික කාරණා කිහිපයක් නිසා ඔහුගේ ආර්ථික අර්බුදය උත්සන්න කළ හෙයින් බෙයිජිං වෙතින් මු`ඵමනින්ම ඉවත්වීම කළ නොහැක්කක් විය. සිය විදේශ සංචිත සහ ජාතික සංචිත නඩත්තු කිරීම සඳහා චීනයෙන් යෝධ ණය ලබා නොගෙන කළ නොහැකි ය.
බෙයිජිං පාලනයට සම්බන්ධ පාලනයක් ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ඇතිවන්නට ඉඩ ඇතැ’යි නිව්යෝක් ටයිම්ස් ලිපිය සාධනීය ලෙස අනතුරු අඟවයි. එක්සත් ජනපදය චීනයට එරෙහිව පවත්වා ගෙන යන යුද්ධයට සම්පූර්ණයෙන් අනුගත නොවන්නේ නම් කොළඹ පාලනය වෙනස් කිරීම පිළිබඳ වොෂින්ටනයේ ක්‍රියාන්විත නැවත සක්‍රිය වනු ඇති බවට සංඥාවකි මේ.
ඒ සමගම ටයිම්ස් දැඩි කම්පාවෙන් යුතු ව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වාගේ ‘ආණ්ඩු වෙනස් වන්නට ද ඉඩ තිබේ’ යන ප්‍රකාශයක් උපුටා දක්වයි.