රාවය

උතුරේ දකුණේ සුළුපන්න ධීවරයන්ගේ ශෝකාලාපය

උතුරේ දකුණේ සුළුපන්න ධීවරයන්ගේ ශෝකාලාපය

නිමල් අබේසිංහ

ඔවුහු සුළුපන්න ධීවරයෝය. වර්තමානය වනවිට ධීවර තාක්ෂණය දියුණු වුවත් තවමත් අපේ රටේ මත්ස්‍ය ආහාරවලින් වැඩි පංගුවක් නිපදවන්නේ ඔවුහුය. පැරණි ගීතයකට අනුව නම් ගැයෙන්නේ දෙතුන් දවසේ කන්ඩ නැතත්, විනෝද මිහිරක් ගෙනෙන ජීවිතයක් ඔවුන්ට ඇති බවය. එනිසාම අදට වඩා යහපත් දවසක් (එළිය සඳක්) උදාවෙතැයි යන්නය. වත්මන් තත්ත්වයේ හැටියට නම් තිරසාර විසඳුමක් නොලැබුණොත් ඔවුනට සිදුවන්නේ දෙතුන් දවසේ නොකා නොබී ඉන්නටමය.
ඉදින් මේ ලියැවෙන්නේ රටේ සිව් දිසාවේ සුළුපන්න ධීවරයන්ගේ ශෝකාලාපයය. 2018 ජූනි 29 දින මීගමුවේදී ඔවුහු සිය දුක්ගැනවිල්ල මෙසේ රටට හෙළි කළහ.
එන්.බී. සුබ්‍රමනියම් උතුරු පළාත් ධීවර එකතුවේ ලේකම්වරයාය.
1978ට ඉස්සරින් ලංකාවේ ට්‍රෝලින් ධීවර කර්මාන්තය තිබුණේ. එහෙත් මේවායින් වෙන විනාශය ගැන කවුරුත් හිතුවේ නැහැ. දැන් තමයි එයින් මත්ස්‍ය සම්පත විනාශ වන වග හොඳින්ම පෙනෙන්නේ.
යුද සමයේදී උතුරේ ධීවර ප්‍රජාවට සිය කර්මාන්තය කරගත නොහැකි වූයේ ඉන්දීය ධීවර යාත්‍රා බහුල ලෙස ලංකා මුහුදු තීරයට පැමිණ ධීවර කර්මාන්තය බහුලව සිදුකළ බවය සුබ්‍රමනියම් කියනුයේ. 2001 වසරේදී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සහ ප්‍රභාකරන් සමග ඇතිවූ සාම ගිවිසුමත් සමග ඔවුන් ධීවර කර්මාන්තය නැවත ආරම්භ කළත්, එකලත් ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත් ඩැහැ ගැනීම අත්හැර නැත. මේ වනවිට ඔවුන්ට තිබෙන විශාලතම අභියෝගය ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මත්ස්‍ය අස්වැන්න නෙළා ගැනීමය. කල්පිටිය හා මන්නාරම් මුහුදු තීරවල කිසියම් වෙනසක් සිදුව ඇතත්, උතුරේ තවමත් මේ අභියෝගය පවතී.
මේ ගැන ඔවුන් විරෝධය පළ කළා සේ ම ඉන්දියාවේ දිල්ලි නගරයේදීත් 2016 නොවැම්බර් 03 වැනි දින සාකච්ඡා කර තිබේ. ඉන්දියාවේ තීන්දුව වී ඇත්තේ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා ශ්‍රී ලංකා මුහුදු තීරයට එවන්නේම නැති බව වුවත් අදටත් ඉන්දීය ධීවර යාත්‍රා මුහුදු තීරය ආක්‍රමණය කරන්නේය.
මේ වනවිටත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 250ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔහු පවසයි. සාමාන්‍යයෙන් එක් ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා ධීවර වරායකට රැගෙන ඒමට රුපියල් ලක්ෂ 20ක් වැයවෙන බවත් ඔහු කියයි. මේ හේතුව නිසා ධීවරයන් නිදහස් කළත් ධීවර යාත්‍රා නිදහස් නොකිරීමට ආණ්ඩුව වගබලා ගත යුතු බව ඔහු පවසයි.
යුද්ධයේ නිමාවත් සමග ශ්‍රී ලාංකික සංක්‍රමණික ධීවරයන් උතුරට පැමිණීම විශාල වශයෙන් වැඩිවී තිබේ. මේ නිසාද උතුරේ සුළුපන්න ධීවරයන්ට ගැටලු මතුවී තිබේ.
“අපි දකුණෙන් එන ධීවරයෝ කියා කියන්න කැමති නෑ. එතකොට භේදයක් ඇතිවෙනවා. අපි කියන්නේ සංක්‍රමණික ධීවරයෝ” කියලයි. සුබ්‍රමනියම් කියයි.
මේ අය නිසා උතුරේ ධීවරයන්ට මතුවී තිබෙන ගැටලුද විශාලය. ඒ ගැන යාපන දිස්ත්‍රික් ධීවර සංවිධානයේ රත්නසිංහම් මුරලිදරන්ට කියන්න දේවල් එමටය.
“යුද්ධයෙන් පස්සේ දකුණෙන් ධීවරයෝ විශාල වශයෙන් ආවා, මුහුදු කූඩැල්ලෝ අල්ලන්න. ඒ අය පාවිච්චි කරන්නේ හෝස් ෆවර් 40ට වැඩි එංජින් හයිකරපු බෝට්ටු. මේ නිසා කුඩා මාළුන් විනාශ වෙනවා. ඒ වගේම මේ අය ලයිට්කෝස් පාවිච්චි කරනවා. එය තහනම් ක්‍රියාවක්. ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කීවට වැඩක් නැහැ.
ඔවුනට තිබෙන අනෙක් ප්‍රශ්නය වන්නේ යාපනයේ මුහුදුබඩ තිබෙන රජයේ ඉඩම් මේ ධීවරයන්ට ආණ්ඩුවෙන් බදු දීමය. එලෙසින් පෞද්ගලික ඉඩනුත් මේ අය බදු අරගෙන තිබේ.
අපිට තවම නවීන තාක්ෂණය පාවිච්චි කරන්න හැකියාවක් නැහැ. පිටතින් එන අය නවීන තාක්ෂණය යොදාගෙන මාළු අල්ලනවා. අපිට එවැනි හැකියාවක් නැහැ. අපි ඒ අයට කියන්නේ නිදහසේ අපේ රැකියාව කරගන්න ඉඩදෙන්න කියලයි. මෙහිදී අදහස් දැක්වූ මාරවිල ධීවර සංගමයේ ලොයෙල් පීරිස් පවසා සිටියේ, “ඉස්සරත් දකුණේ අය උතුරේ ධීවර කර්මාන්තය කළා. එහෙත් ඒ අයගෙන් උතුරේ ධීවරයන්ට කරදරයක් වුණේ නැහැ. දැන් අපේ අයගෙන් ඒ අයට හරිම කරදරයි. ඒ තහනම් දැල්පන්න යන්ත්‍ර භාවිත කරමින් ධීවර කටයුතු කිරීම නිසයි. අපි මේකට එකහෙළාම විරුද්ධ වෙනවා. දකුණෙත් සුළුපන්න ධීවරයාට තිබෙන්නේ මේ ගැටලුවම තමයි.”
යාපනයේ මුහුදු තීරයේ මුහුදු කූඩැල්ලන් අල්ලන සංක්‍රමණික ධීවරයන් යොදා ගැනෙනුයේ තහනම් ධීවර ආම්පන්නයක් වන සුරුට්ටු දැල්ය. එයට අමතරව ජී.පී.එස්. තාක්ෂණය යොදා ගනිමින් මාළු ගැවසෙන ස්ථාන සොයා ගන්නා ඔවුන් ඩයිනමයිට් යොදා මාළුන් ඇල්ලීම නිසා උතුරේ ධීවරයන්ට හාල්මැස්සන් අල්ලා ගැනීමට නොහැකි වී තිබේ.
මේවාට ඔවුන් විරුද්ධ වුවත් දකුණේ දේශපාලනඥයන්ගේත් ධීවර දෙපාර්තමේන්තුවෙත් නිලධාරීන්ගේ සහාය ඔවුනට ලැබෙන නිසා නීති විරෝධී ආම්පන්න යොදාගෙන දිගින් දිගටම ඔවුන් ධීවර කර්මාන්තයේ යෙදෙන බවද රත්නසිංහම් කියයි.
මේ හේතු නිසා දැන් දැන් උතුරේ ධීවරයන්ද තහනම් ධීවර ආම්පන්නයක් වන තංගුස් දැල් පාවිච්චි කරමින් ධීවර කර්මාන්තයේ යෙදෙන බවද ඔහු පවසයි. සංක්‍රමණිකයන් උතුරේ ධීවර සමිති සමග සහයෝගයෙන් වැඩ කරනවා නම් බොහෝ ප්‍රශ්න නිරාකරණය කරගත හැකි බවත් ඔවුහු පවසති. මේ වනවිටත් උතුරේ වඩමාරච්චි, නායර්, මුලතිව් වැනි ප්‍රදේශවල සංක්‍රමණික ධීවර වාඩි 200කට අධික සංඛ්‍යාවක් තිබෙන බවත් මේවායේ ඇතැම් පිරිස් ආරක්ෂක අංශවල සහාය ලබාගෙන නීති විරෝධී ලෙස මසුන් අල්ලන බවද මේ අයගේ චෝදනාව වේ.
සුළුපන්න ධීවරයන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමේ අවස්ථාවට මන්නාරම, පුත්තලම, ගාල්ල, මාතර, මීගමුව, මාරවිල ප්‍රදේශ නියෝජනය කරමින් ධීවර නියෝජිතයන් පැමිණ සිටි අතර ඔවුන්ට තිබූ ගැටලු බොහොමයක් පොදු ඒවා විය. භූමිතෙල් මිල, මාළු අස්වැන්න මිල තීරණය කිරීම, ණයගැතියන් වීම, තහනම් ආම්පන්න යොදාගෙන ධීවර කර්මාන්තයේ යෙදීම වැනි ගැටලු ඒවා අතරින් ප්‍රධාන වේ.
සමස්ත රටෙහිම ධීවරයන් ගෙන බැලුවහොත් ඔවුන්ගෙන් වැඩිදෙනා සුළු ධීවර පන්න භාවිත කරන්නවුන්ය. මත්ස්‍ය සම්පත හා මත්ස්‍යයින් ගැවසෙන බිජුලන ස්ථාන විනාශ වීම කුඩා මත්ස්‍යයන් විනාශවීම සුළු ධීවර කර්මාන්තයේදී සිදු නොවේ. එහෙත් නව තාක්ෂණය යොදා ගනිමින් ධීවර කර්මාන්තයේ යෙදෙන සුළු පිරිසක් හේතුවෙන් මත්ස්‍ය සම්පත විනාශ වීම නිසා ධීවර කර්මාන්තය අනාගතයේදී අනතුරේ වැටෙන වග ඔවුහු දැඩි ලෙස අවධාරණය කරති. ඉදින් ඔවුන් ඉල්ලා සිටින්නේ ධීවර කර්මාන්තය දිගු කලක් පවත්වා ගැනීම උදෙසා තිරසාර ප්‍රතිපත්තියක අවශ්‍යතාවයය. එයට මැදිහත්වීම රජයේ යුතුකම සහ වගකීමද වන්නේය. මේ සුළුපන්න ධීවරයන්ගේ ඒකායන හඬය.