රාවය

සංවර්ධනයේ මූලෝපාය ඒකාධිපතිවාදය නෙමෙයි

සංවර්ධනයේ මූලෝපාය  ඒකාධිපතිවාදය නෙමෙයි

ආචාර්ය ධම්මික හේරත්
සමාජවිද්‍යා අධ්‍යයන අංශය – පේරාදෙණිය විශ්වවිද්‍යාලය

සංවාදය හා ඡායා- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

ජනවාරි අටෙන් කූටප්‍රාප්තියට ආව පුරවැසි සංවිධාන සහ විද්වත් කණ්ඩායම් මේ මොහොතේ දේශපාලනය පිළිබඳවත් එදා වගේම විමසිලිමත්භාවයක් පෙන්නනවද?

දෙදහස් පහළොවේ ජනවාරි අට පරිවර්තනයේ ගාමක බලවේගය මේ රටේ සිවිල් පුරවැසි සංවිධාන කියන එක ඇත්ත. විශේෂයෙන් මාදුළුවාවේ සෝභිත හිමියන් පුමුඛ සිවිල් බලවේග විසින් කූටප්‍රාප්තියට ගෙනාපු මේ අරගලය ගොඩනැගීමේදී විශ්වවිද්‍යාල ප්‍රජාවටත් ආරම්භයේ ඉඳන් ම මූලිකත්වය හිමිවුණා. අපි දන්නවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින් තමයි එවක තිබුණු රජයට විශාලතම අභියෝගය එල්ල කළේ. ඒ මැදිහත්වීම ඔවුන් සමහර වෙලාවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කියන නමින් සහ ඉන් බැහැරවත් ලබා දෙනු ලැබුවා. ඒ වගේම ආචාර්යවරුන්ට අමතරව සෙසු විද්වතුනුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයිනුත් මේ කෙරේ විශාල මැදිහත්වීමක් කළා.
මේ වෙනස නිසා සිවිල් සමාජය ලබා ගත්ත දෙයක් නෑ කියලා කියන්න බෑ. බලාපොරොත්තු වුණු මට්ටමේ වෙනසක් නොවුණත් යම් යම් පැතිවලින් පැහැදිලි ප්‍රගතියක් තියෙනවා. විශේෂයෙන්, පැවති කාලයට සාපේක්ෂව අද වන විට රට ප්‍රජාතන්ත්‍රවාදීව ඉස්සරහට ඇවිත් තියෙනවා. ජනමාධ්‍ය නිදහස තහවුරු වෙලා තියෙනවා. අද ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් සහ ඇමතිවරුන්ගෙන් පවා ඍජුව ප්‍රශ්න කරන්න පුළුවන්. නිදහසේ කතා කරන්න පුළුවන්. අධිකරණයේ යම්කිසි ස්වාධීනත්වයක් පේනවා. තොරතුරු දැනගැනීමේ අයිතිය ගොඩනැගෙමින් තියෙනවා. වෙනත් කොමිෂන් සභා පත් කරලා තියෙනවා.

එදා ගාමක සටන් පාඨය වුණේ දූෂිතයින් ඇල්ලීම. ගජමිතුරු දේශපාලනය තුළ මේක දියාරු වෙලා යද්දී ඒ කෙරේ ජාත්‍යන්තර මාධ්‍යයේ පවා අවධානය යොමු වුණා. ඒ වගේම එළියේ මේ ආණ්ඩුව දූෂිතයි කියන අය හැන්දෑවට බිරියන් ලවා ආණ්ඩුවේ ඇමතිවරුන්ට සහ බිරින්ට කතා කරනවා. අද වන විට දූෂණය සහ හොරු ඇල්ලීම කියන්නේ ගැලරියේ පාවිච්චි කරන දේශපාලනික ප්‍රචාරණ පාඨයක් විතරද?

ජනවාරි අට සිවිල් සමාජයේ ප්‍රධාන ඉල්ලීමක් වුණේ දූෂණය නතරකිරීම හා දූෂිතයින්ට දඬුවම් කරන එක තමයි. ඔබ කිව්වා වගේ ඒ දේ නිවැරදිව සිදුවුණේ නෑ. සිදුවුණේ නෑ නෙමෙයි ආණ්ඩුවේ නායකයින් ඒක හිතාමතාම වැළැක්වුවා කියලත් කියන්න පුළුවන්.
මොකද මේක මේ රටේ දේශපාලනඥයින් ගෙනාපු සංකල්පයක් නෙමෙයිනේ. ඒ අය කළේ සිවිල් සමාජය පදවගෙන ආපු බස්එකට මගදි නැග්ග එක. දේශපාලනඥයින් අතර ඒ පිළිබඳ පැහැදිලි අදහසක හිටි අය එක්කෙනෙක්වත් නෑ කියලා කියන්න බෑ තමයි. ඒත් බහුතරය කළේ ඒ වෙලාවේ අවශ්‍යතාව වෙනුවෙන් සිවිල් සමාජයේ සටන්පාඨ පවරාගැනීම. එහෙත් බලයට ආවට පස්සේ, යම් යම් සීමාවන් ඇතුළේ වුණත් ඔබ කිව්ව පොදු දේශපාලනික සංස්කෘතිය මතුවුණා.
ඒ නිසා ඒ අය දූෂණය ඇල්ලීම පැත්තකට දැම්මා. ඒ විතරක් නෙමෙයි දූෂණ ඇල්ලීම පැත්තක තියලා දූෂණය තිබුණ තැන ඉඳන් ඉස්සරහටත් අරන් ගියා.

එහෙම වෙද්දි මේ රටේ විද්වතුන් සහ පුරවැසි බලවේග එදා වගේ සංවේදී වුණු බවක් පෙණුනෙ නෑ. ඒකට හේතුව, දැන් වෙනකොට මේ බොහෝමයක් පිරිස පුරවැසි වගකීමෙන් ඈත්වෙලා බලයත් එක්ක සහ පක්ෂ එක්ක ගැටගැහීම ද? නැත්තම් මේ තියෙන තත්ත්වය ගැන සෑහීමද?

මේක කනගාටුවට කාරණාවක් තමයි. විශේෂයෙන් මේ රටේ විද්වතුන් කියන අය ගත්තාම ඒ අයගෙන් සියයට අනූවක් අනූපහක් විතර බිහිවෙලා තියෙන්නේ නිදහස් අධ්‍යාපනය හරහා. එතනිනුත් විශ්වවිද්‍යාලවල සේවය කරන විද්වතුන්ගේ වර්තමාන වැටුප පවා ගෙවන්නේ මේ රටේ ජනතාව ගෙවන බදු මුදලින්. ඒ නිසා රටේ දේශපාලනය ගැන මීට වඩා සක්‍රියවීමට ඒ අයට විශාල වගකීමක් තියෙනවා.
එහෙත් ඔබ කිව්වා වගේ අද වන විට බොහෝම අය පක්ෂ දේශපාලන තුළ බෙදිලයි ඉන්නේ. දැන් එක්සත් ජාතික පක්ෂයට වෙනම විද්වතුන් සහ ආචාර්යවරුන් කණ්ඩායමක් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ පොදුජන පෙරමුණට තව පිරිසක් ඉන්නවා. අනික් පක්ෂවලටත් එහෙමයි. විශේෂයෙන් මේ අයගෙන් බහුතරය මේ තැන්වල ඉන්නේ තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන්. ඒ අයට තියෙන්නේ අමුතුම සිහින. කෙනෙක් කැමතියි යම් ආයතනයක සභාපතිකමක් ගන්න. තවත් කෙනෙක් කල්පනා කරනවා තමන් පෙනී ඉන්න පක්ෂය බලයට ගෙනාවොත් තමන්ට තානාපතිකමක් ගන්න පුළුවන් කියලා. තව කෙනෙක් හිතනවා එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයා වෙන්න.
ඒ විදිහේ සාමාන්‍ය සිහින තමයි මේ රටේ විද්වතුන්ට තියෙන්නේ. ඇත්තටම ඒ වගේ තනතුරුවලට ගිහින් ඒ අයට කරන්න පුළුවන් රාජකාරියකුත් නෑ. මොකද ඒවා බොහෝ විට මේ අයට අදාළ සහ ගැළපෙන රාජකාරී නෙමෙයි. ඉතිං එහෙම ගිහින් ඒ අයට රටට කරන්න පුළුවන් සේවයක් නෑ. රටට සේවය කිරීම ඒ අයගේ පරමාර්ථය ජනතාවගේ බදු මුදලින් තවත් කුට්ටියක් කඩා ගැනීම සහ පිටරටවල ගිහින් සැප විඳීම විතරයි. මං කියන්නෙ නෑ විද්වතුන් පක්ෂවල සාමාජිකත්වය ගැනීම වැරදියි කියලා. ඒත් ඒ දේ වෙනවනම් වෙන්න ඕන විචාරශීලීව සහ මැද මට්ටමින් ඉඳලා. විද්වතුන්ට කරන්න පුළුවන් වෙනම කාර්යයක් සහ වගකීමක් තියෙනවා.

සෝභිත හිමිගේ අපවත්වීමත් සමග පුරවැසි බලවේගයන් තුළ ඇතිවුණ නායකත්ව රික්තකයට පැහැදිලි ආදේශකයක් නොඒමත් මේ මූලික කාරණයට බලපෑවාද?

ඒකත් ඉතාම වැදගත් සාධකයක් තමයි. ආණ්ඩුව ගෙන ඒමට දායක වුණු අයගේ නිෂ්ක්‍රීයත්වයට සෝභිත හාමුදුරුවන්ගෙන් පස්සෙ ඇතිවුණු මගපෙන්වීමේ හිස්කමත් බලපෑවා. ඒ නායකත්වයට සමාන කරන්න හරිහැටි ආදේශකයක් සිවිල් සමාජය තුළ ගොඩ නැඟුණේ නෑ. ඒ නායකත්වය තිබුණානම් ආණ්ඩුව මේ මට්ටමට පිරිහෙන්නේ නෑ. එහෙනම් ඒ නායකත්වය සමග එකතුව පුරවැසි බලවේග විරුද්ධව නැගී සිටිනවා.
ඒ නිසා පොදු ප්‍රජාතන්ත්‍රවාදී අරමුණක් වෙනුවෙන් තනි නායකත්වයක් යටතේ ගොඩනැගුණු සිවිල් සමාජයක් වෙනුවට රටේ බිහිවුණේ විස්සයි විස්ස වෙනුවෙන් සංවිධානය වුණු කණ්ඩායම් දෙකක්. දැනට පැහැදිලිව පේන්න තියෙන කාරණා අනුව කියන්න පුළුවන් දෙදහස් විස්ස ඡන්දය දුවන්නේ දෙදහස් පහළොවේ දුවපු වේදිකාව මත නෙමේය කියන එක. මොකද කලින් කතා කළා වගේ දෙදහස් පහළොව මැතිවරණය තිබ්බෙ දූෂණය කියන සාධකය මුල් කරගෙන. ඒත් දැන් පේන විදිහට දෙදහස් විස්ස බොහෝ විට කේන්ද්‍රගත වෙලා තියෙන්නේ ජාතිවාදය පදනම් කරගෙන. මේ ඡන්දයේ ප්‍රතිඵලය තීන්දු වෙන්නේ සිංහල බෞද්ධ ජාතිවාදය මත. ඒ නිසා මේ විදිහට පක්ෂ බෙදිලා ඉන්න අයට මේ වෙලාවේ වැඩ කරන්න වෙන්නේ ඒ කාරණය එක්ක. ඒක එක පැත්තකින් භයානක සන්ධිස්ථානයක්.

මේ ඡන්දයෙන් ජාතිවාදය හිස ඔසවලා ඊළඟට එන මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ගත්තොත් වෙන්ඩ තියෙන දේ තමයි මේ කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදීව වර්ධනය වුණු ව්‍යවස්ථාව කණපිට හැරෙන්න ඉඩ තිබීම. අනික් කරුණ තමයි ඒ වගේ තත්ත්වයක් තුළ ඊළඟට එන පුද්ගලයා වර්තමාන නායකයින්ට වඩා බලවත් සහ ඒකාධිපති ලක්ෂණවලින් යුතු කෙනෙක් වෙන්න පුළුවන්. තවමත් ලංකාවේ ජනාධිපති ධුරය ප්‍රමාණවත් සංවරණ සහ තුළන ක්‍රමයන්ට අනුගත වෙලා නැති තත්ත්වයක ඒ විදිහේ නායකයෙක් පත්වීම අතිශය භයානකයි. ජනාධිපතිවරයා අධිකරණයෙන් ප්‍රශ්න කරන්න පුළුවන් වටපිටාවක සහ දෝෂාභියෝගයකින් ප්‍රායෝගිකව ඉවත් කරන්න පුළුවන් අවස්ථාවක් අපිට නෑ. හැම දෙනාම මෙතනදි තදින් සැලකිල්ලට ගන්න ඕන. ඒ නිසා තමන් කැමති කෙනෙක් නායකත්වයට පත් කරන්න කලින් ඒ වගේ සංවරණ තුළන තත්ත්වයක් ව්‍යවස්ථාවට ගෙනත් පසුව ඔහු පත් කිරීමට හැමෝම බුද්ධිමත් වෙන්ඩ ඕන.

මේ වෙලාවේ ස්වාධීන විද්වතුන්ට කරන්න පුළුවන් වැදගත්ම කටයුත්ත මොකක් කියලාද ඔබ කල්පනා කරන්නේ?

අද අපේ සමාජය විශාල මුලාවක ඉන්නවානෙ ඒකාධිපතිවාදය සමානයි සංවර්ධනය කියලා. ලීක්වාන් යූ සිංගප්පූරුවත් මහතීර් මොහොමඞ් මැලේසියාවත් සංවර්ධනය කළේ ඒ අය ගෙන ගිය ඒකාධිපති ස්වරූපයේ පාලනයන් නිසා කියලා තමයි ඒ අය හිතන්නේ. ඒත් ඒවා වුණේ ඒ පිළිබඳ සුවිශේෂී ඓතිහාසික තත්ත්වයන් නිසා මිස ඒකාධිපති පාලනයන් නිසා නෙමෙයි. අනික ඒ අය දූෂණය පිළිබඳ ඉතාහාසයක් තිබුණ අය නෙමෙයි. දිගු දැක්මක් තිබුණු අය. සංවර්ධනයේ මූලික සාධක ඒකාධිපති පාලනයන් නම් අද වැඩිපුරම දියුණුවෙන්න ඕන අප්‍රිකානු මහද්වීපය. ඒත් අද ලෝකයේ තියෙන දුප්පත්ම මහද්වීපය ඒක. ඒ නිසා සමාජය මේ කෙරේ දැනුවත් කිරීම තමයි විද්වතුන් හැටියට මේ වෙලාවෙ කරන්න පුළුවන් ප්‍රධානම කාරණය.
අද රටේ තියෙන ප්‍රධාන පක්ෂ දෙක ම දූෂණයට එරෙහි සහ දිගු දර්ශනයක් සහිත දේශපාලනයක් ගැන සිහින දකින අය නෙමෙයි. ඒ නිසා මේ වෙලාවේ තුන්වැනි බලවේගයක අවශ්‍යතාව තදින්ම තියෙනවා. ඒත් තුන්වැනි බලවේගයක් කියන එක දේශපාලන පක්ෂයක් ම වෙන්න අවශ්‍ය නෑ.