රාවය

රුධිර පාරවිලයනයෙන් ගසා කෑම

රුධිර පාරවිලයනයෙන් ගසා කෑම

රසික ගුණවර්ධන

වංචාව හා දූෂණය ලංකාවාසීන් වන අපට අලුත් වචනයක් නොවේ. එය කාලාන්තරක් තිස්සේ අහන මැතිවරණ කාලවලදී වැඩි වශයෙන් ඇසෙන වචන යුගලයකි. පසුගිය කාලයේ සෑම මැතිවරණ වේදිකාවක්ම ගිගුම් දුන්නේ වංචාව හා දූෂණය අවසන් කර රටට වඩා යහපත් අනාගතයක් උරුමකර දීමට වගබලා ගන්නා ඊනියා දේශපාලන පොරොන්දු මගිනි. ඉස්සර වංචාව හා දූෂණය ජයටම කෙරූ රෙජීමයද දැන් වංචා හා දූෂණ බරටම කරන හවුලද කියා වෙනසක් තිබුණේ නැත.
දේශපාලන හතුරෝ පවා එකට හොරකම් කරති. හොරකම් කරද්දී ඔවුහු ගජ මිතුරෝය. ඒ බව කියන තවත් වංචා රොත්තක් එළියට එන්නේ ජාතික රුධිර පාරවිලයනය, නැතිනම් ලේ බැංකුව හරහාය. මෙහි පිටුපස වංචා වුණා යැයි කියන මුදල මිලියන ගණනකි. මෙකී මූල්‍ය වංචා චෝදනා මූලික වශයෙන්ම එල්ල වන්නේ ජාතික රුධිර පාරවිලයනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ, එහි හිටපු වැඩබලන අධ්‍යක්ෂවරයාටයි. ඔහුට මේ ලියන මොහොත වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) I වෙත පත්වීමක් ලබාදී ඇත. අප මේ සම්බන්ධ සිදුවීම පසුගිය සතියේ ප්‍රවෘත්තියක් ලෙස හෙළි කළෙමු. මෙවර එහි සවිස්තරාත්මක වාර්තාවක් දක්වමු.

අධ්‍යක්ෂවරයා

ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන නමැත්තෙකි. ඔහුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ජාතික රුධිර පාරවිලයන සේවයේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස පත්කරනු ලබන්නේ 2017 දෙසැම්බර් මාසයේය. ඒ අනුව ඔහුව පත්කර තවම ගතවී ඇත්තේ මාස හයක තරම් කෙටි කාලයකි. මීට පෙර මොහු වැඩ තහනමට ලක්වන්නේ ජනාධිපතිවරයාට අපහාස කිරීමේ චෝදනාව යටතේය. මොහු වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පත්වන විටත් ජාතික රුධිර පාරවිලයන සේවයේ කටයුතු කළ අධ්‍යක්ෂවරයා ස්ථාන මාරුවක් ලබා සිටි හෙයින් මොහුට අධ්‍යක්ෂවරයාගේ බලතල මත කටයුතු කිරීමට හැකියාව ලැබේ. ඒ අනුව ඔහුගේ තනතුරු නාමය වැඩබලන අධ්‍යක්ෂ වුවත් අධ්‍යක්ෂවරයා නොමැතිවීම හේතුවෙන් ඔහු කටයුතු කරන්නේ අධ්‍යක්ෂවරයාගේ භූමිකාවේය. වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මීට පෙර වත්මන් සෞඛ්‍ය ඇමතිවරයා පිළිකා සම්බන්ධ ඖෂධ මෙරටට ගෙන ඒමේදී සිදුවන අක්‍රමිකතාවක් සම්බන්ධව චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ගිය නමුදු මෙවර ඔහුට චෝදනාව එල්ල වන්නේ සෞඛ්‍ය ඇමතිවරයාගේ ඥාති සහෝදරයකු සමග සම්බන්ධ වී මෙකී වංචාව සිදු කරන බවටයි.

NGS

රුක්ෂාන් බෙල්ලනට පළමු චෝදනාව එල්ලවන්නේ ඇමරිකන් ඩොලර් මිලියනයක් වංචා කිරීමට අදාළව කූඨ ලේඛන සැකසීම පිළිබඳවය. ඒ නෙදර්ලන්ත – ශ්‍රී ලංකා ව්‍යාපෘතියක මුදල් අවභාවිත කරමින්ය. අදාළ ව්‍යාපෘතිය මේ වන විට පවතින්නේ අවසාන අධියරයේ බැවින් එම ව්‍යාපෘතියේ ඉතිරිව ඇති ඇමරිකන් ඩොලර් මිලියන පමණ මුදලක් (රුපියල් කෝටි 160ක්) යොදවමින් ඔහු උත්සාහ ගන්නේ ඇට මිදුළු බද්ධය සඳහා අවශ්‍ය එන්.ජී.එස් (NGS) යන්ත්‍රයක් මිලදී ගැනීමටය. ඔහු ඒ සඳහා උක්ත ව්‍යාපෘතියේ මෙරට නියෝජිත ආයතනයට ලිපියක් යොමුකර ඇත. එම ලිපියට අනුව එහි අදාළ එන්.ජී.එස්. යන්ත්‍රය මිලදී ගත යුතු ආයතනය (Premium International) සඳහන් කරන අතර ඔහු ඒ සඳහා නිර්දේශ කරන මුදල රුපියල් කෝටි දාසයකි. එහෙත් තතු දන්නෝ පවසන්නේ මේ යන්ත්‍ර මිලදී ගැනීම සඳහා වැයවන මුදල කෝටි හතරක් පමණ වන බවයි.
අනෙක් කාරණාව නම් මොහු මේ යන්ත්‍රය මිලදී ගැනීමට උත්සාහ කරනු ලබන්නේ තමාට මෙය මිලදී ගැනීමට විශේෂඥ කමිටුවක් මගින් නිර්දේශ කළ බව පවසමිනි. එහෙත් එම විශේෂඥ වාර්තාව බැලීමේදී එවැනි යන්ත්‍රයක් මිලදී ගත යුතුයැයි කරන නිර්දේෂයක් එහි දැකගත නොහැකිය. එසේම ඔහු අදාළ සම්බන්ධ කරන ආයතනය තමාගේ ලිපිය යොමු කිරීමට පෙර ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන්ගේ විරෝධය ඊට එල්ලවීම නිසා මොහු උත්සාහ කර ඇත්තේ එම අදාළ ලිපියේ දිනය තමාට වාසිසහගත ලෙස වෙනස් කිරීමටය. ඒ මොහුට අදාළ ඩොලර් මිලියනයක මුදල කෙසේ වැය කළ යුතුදැයි යනුවෙන් 2018 මැයි මස 15 වැනිදා බෙල්ලනට ලිපිය ලැබෙන විටත් තමා එම ලිපිය අදාළ ආයතනය වෙත යොමු කළ බව හැඟවීමටය. එහෙත් සැබෑවටම මොහු එම ලිපිය ලියනු ලබන්නේ මැයි මස 21 වනදාය. එසේම මොහු කතා කරන හඬ පටයක සඳහන් වන්නේ තමාට බෙනරගම හා චන්ද්‍රගුප්ත පවසා ඇත්තේ ඇමති සොහොයුරාට අදාළ NGS යන්ත්‍රය උවමනා බවයි.
එසේම මීට ආවරණ සැපයෙන්නේ කාගෙන්දැයි ඉතාම වැදගත් ප්‍රශ්නයක් පැන නගින්නේ මොහු හඬ පටයේදී පවසන කාරණාවක් නිසාය. එනම් මොහු පවසන්නේ නීති විරෝධී දෙයක් තමා සිදු කරන්නේ, (විශේෂයෙන්ම ටෙන්ඩර් වංචා වැනි) තමාට ඉහළින් ආවරණයක් සැපයේ නම් පමණක් බවයි. එසේ ආවරණ සැපයිය හැක්කේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළම කෙනකුටය. ඒ කවුද?

වැඩි මිලට නඩත්තු

වැඩබලන අධ්‍යක්ෂවරයාට එල්ල වන තවත් චෝදනාවක් නම්, අතිවිශාල මුදලක් නඩත්තු කටයුතු සඳහා යොදවා මූල්‍ය වංචාවක් සිදු කිරීමට උත්සාහ කිරීමයි. එහි තතු මෙසේය. දිවයින පුරා ඇති ලේ බැංකු 234 නඩත්තු කිරීම සඳහා වර්ෂ 2017 දී වැය වූ මුදල රුපියල් අටලක්ෂ තිස් හතර දහස් නවසිය හතළිස් පහකි (රුපියල් 834,945.00) එහෙත් මෙවර ඒ නඩත්තු කර්තව්‍ය සඳහා වැඩබලන අධ්‍යක්ෂවරයා ඇස්තමේන්තු කරන මුදල රුපියල් ලක්ෂ හත්සිය තිහකි (රුපියල් ලක්ෂ 730). ඒ අනුව මේ වසරේ පසුගිය වසරට සාපේක්ෂව වැඩි කරන ලද මුදල රුපියල් හත්සිය විසි එක් ලක්ෂ හැටපන්දාස් පනස් පහක් (රුපියල් 72,165,005.00) තරම් ඉහළ ප්‍රමාණයකි. ගැටලුව නම් වසරක් වැනි කාලයක් තුළ නඩත්තු වියදම මෙතරම් ඉහළ යන ආකාරයයි.
කෙසේ වෙතත් මෙම ඇස්තමේන්තුවට ටෙන්ඩර් කමිටුවේදී අනුමැතිය නොලැබීම නිසා වෛද්‍ය බෙල්ලන ටෙන්ඩර් කමිටුවට බැණ වැදුණා යැයි පවසන්නේ “අමාත්‍යාංශයෙන් සල්ලි දෙන්නේ උඹලට මොකක්ද අමාරුව” යනුවෙනි. මේ ලක්ෂ 730ක ටෙන්ඩරයද ලබාදීමට වැඩබලන අධ්‍යක්ෂවරයා උත්සාහ ගන්නේ පෙර එන්.ජී.එස්. උපකරණය ලබා ගැනීමේ වැඩපිළිවෙළට සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරූ Premium International ආයතනයම වේ.

ප්ලස්මා වංචාව

බෙල්ලනට එල්ල වන මීළඟ චෝදනාව නම් ප්ලස්මා ගනුදෙනුවක් ස්වකීය හිතවත් සමාගමකට ලබා දීමට උත්සාහ ගැනීමයි. සිදුවීම මෙසේය. රුධිර දායකයන්ගෙන් ලබාගන්නා රුධිරයේ ප්ලස්මා කොටස් හි අතිරික්තය ජාතික රුධිර පාරවිලයන සේවය මගින් විකිණීම සිදු කරයි. මේ කර්තව්‍ය බොහෝ කාලයක් තිස්සේ පටන් සිදුකෙරෙන්නකි. මෙම විකිණීම සිදුකරන්නේ මිලදී ගැනීමේ ආයතනවලින් ටෙන්ඩර් කැඳවීම හරහාය. මෙවර ටෙන්ඩර් කැඳවීමට අදාළව ආයතන පහකින් මිල ගණන් ලබාදී ඇත. එහි වැඩිම මිලදී ගැනීමට ඉදිරිපත් වන්නේ ඒබීසී පාර්මා නැමති ආයතනය විසිනි. ඒ එක් ලීටරයක් රුපියල් 5600 බැගින් මිලදී ගැනීමටය.
එහෙත් එම ටෙන්ඩර් කැඳවීමෙන් පසු රුධිර පාරවිලයනයේ හිටපු අධ්‍යක්ෂවරයාට පුද්ගලයකු ලිපියක් මගින් දැනුම් දෙන්නේ ටෙන්ඩර් ඉදිරිපත් කළ ආයතන අතුරින් කිහිපයක් විවිධාකාර වංචා හා දූෂණ වලට හවුල් බැවින් ඒ පිළිබඳව කරුණු සලකා බලා කටයුතු කරන ලෙසයි. එය එවනු ලබන්නේ ගයාන් අත්තනායක නමැත්තෙකි. ලේ බැංකුවේ වෛද්‍යවරුන් පවසන්නේ මේ ලිපිය ලියන ලද තැනැත්තාගෙන් අදාළ ලිපිය පිළිබඳව විමසූ විට ඔහු අධ්‍යක්ෂවරයාගේ අනුදැනුම මත අදාළ ලිපිය ලියන ලද බව ප්‍රකාශ කළ බවයි. ඒ අනුව අධ්‍යක්ෂවරයා නැවත ටෙන්ඩර් කැඳවීමකට මෙම ලිපිය උපයෝගී කර ගනී.
ඒ අනුව අධ්‍යක්ෂවරයා උත්සාහ ගන්නේ යැයි චෝදනා එල්ලවන්නේ සිය හිතවත් Premium International  සමාගමටම මෙම ටෙන්ඩරය ලබාදීමටය. එම සමාගම ලබාදෙන්නේ ලීටරයක් සඳහා රුපියල් 3600ක මුදලකි. එය ලබාදුනහොත් සිදුවන පාඩුව රුපියල් මිලියන 40 පමණ වෙතැයි ගණන් බලා ඇත.

තවත් කතා

ජාතික රුධිර පාරවිලයන සේවයේ හිටපු අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලනට එල්ලවන තවත් චෝදනා කිහිපයක් වන්නේ ඔහුගේ කාර්ය මණ්ඩලය හරහාමය. ස්ථාන මාරුවීම් නිසි ක්‍රමවේදයෙන් බැහැරව ලබාදෙනු ලබන බවට ඔහුට චෝදනාවක් එල්ල වේ. ඒ සම්බන්ධයෙන් ඔහු සිදුකරන ප්‍රකාශයක් ඇතුළත් හඬ පටයක ඇත්තේ ඒවා ලේකම්වරයා සහ ඉහළ නිලධාරීන්ගේ උවමනාවට සහ තමාගේ කැමැත්ත මත තමාට ඇති බලතල උපයෝගී කරගනිමින් එම ස්ථාන මාරුවීම් ලබාදෙන බවයි.
එසේම වැඩ වර්ජනයකට යොමුවන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙන මොහොතක අප ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට ගොස් සිටින විට අධ්‍යක්ෂවරයා තාවකාලික පදනම මත සිටින වෛද්‍යවරුන්ගේ නාමලේඛනයක් කැඳවා තිබුණි. වෛද්‍යවරුන් පැවසූවේ ඒ ඔහු වෛද්‍යවරුන් බිය ගැන්වීමට සිදු කරනා ක්‍රියාවක් බවයි.

මල්ලී

Premium International  නම් ආයතනය පිටුපස සිටින බවට චෝදනා එල්ලවන්නේ සෞඛ්‍ය ඇමතිවරයාගේ සහෝදරයකුටය. ඔහු නිරන්තරයෙන් අධ්‍යක්ෂවරයා හමුවට පැමිණෙන බව ද ආයතනයේ වෛද්‍යවරු අප සමග පැවසූහ. රුපියල් මිලියන 160 වංචාවේ ද, ලක්ෂ 730 ක වංවාවේද රුධිර ප්ලාස්මා වංචාවේද යන ත්‍රිත්වයේදීම ප්‍රධාන වශයෙන් අධ්‍යක්ෂවරයා මෙහෙය වූවා යැයි චෝදනා එල්ල වන්නේ මොහුටය.
රුධිර පාරවිලයනය වේවා, රටේ ඕනෑම රාජ්‍ය ආයතනක් වේවා වංචාව හෝ දූෂණය ඒවා ගිලගෙන සිටී නම් සිදුවිය යුත්තේ ඒ වංචා හා දූෂණවලින් ඒ ආයතන මුදවා ගැනීමය. ඒ පිටිපස සිටින්නේ පුද්ගලයෙක් ද නැතිනම් පුද්ගල කණ්ඩායමක් ද යන්න වැදගත් නොවේ.
මෙම වංචාවන් පිටුපස සිටින්නේ හිටපු අධ්‍යක්ෂවරයා පමණක් නොවන බව ඊට අදාළ ඉහත කතා විමසා බැලීමේදී පෙනී යයි. එහෙත් ඊට බිත්තියට හේත්තු වී සිටින්නේ ඔහුය. ඔහුම කියන ආකාරයට මේ පිටුපසින් ඔහුට ඉහළ ආවරණයක් ලැබේ. එසේ නම් පාලනාධිකාරයෙන් මොහු පමණක් ඉවත් කිරීමෙන් පලක් වේ යැයි සිතිය නොහැකිය. එසේ යැයි කියා මොහු තවදුරටත් තබා ගැනීම සාධාරණීකරණය කිරීමට ද නොහැකිය. අවශ්‍ය සමස්ත ක්‍රියාවලියේම වෙනසකි.
මෙම විරෝධතාව මත දැනට වෛද්‍ය බෙල්ලනට සෞඛ්‍ය අමාත්‍යාංශයට මාරුවීමක් ලබාදී ඇති බව දැනගන්නට ලැබේ. ඒ අනුව ඔහු රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත් කර ඇති අතර මෙය අදාළ වංචාවත් වසා දැමීමට ලැබෙන ඉහළ ආවරණයක් දැයි සාධාරණ සැකයක් මතුවේ.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන
හිටපු වැඩබලන අධ්‍යක්ෂ, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය.

GMOA එකයි මායි සමාදානයකට එකතු වුණා. GMOA එකේ එක එක්කෙනාගෙ පුද්ගලික ඕනෑඑපාකම් තියනවනේ. මෙතන යන්නේ පුද්ගලික මට්ටමේ ගහගැනිල්ලක්. මේ කතාව මුලින් එළියට දැම්ම වෙබ් සයිට් එක. ඒක දැම්මෙ ඒකපාර්ශ්විකව. ඒක මට උත්තර දෙන්ඩ කිසිම අවස්ථාවක් දීල නෑ.
මේ අවලාද මට එනකොටම මම අමාත්‍යාංශ ලේකම්ට ලියලා මට නිදොස් කිරීමක් අවශ්‍යයි ඒ නිසා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියල ඉල්ලීමක් කළා. දැන් පරීක්ෂණය යනවා. ඒ පරීක්ෂණය හරහා ඒ ගොල්ලන්ගේ චේතනාව ඉටුකරගන්ඩ බැරි වෙනවා කියල පෙනුණහම මට මඩ ගහන්ඩ පටන් ගත්තා. මම මේ රජයට විරුද්ධ කෙනෙක් විදිහට මම වැරැද්දක් කරනකන් කට්ටිය බලාගෙන ඉන්නේ මට විරුද්ධව චෝදනා කරන්ඩ. මම හඬ පටයේ කියනවා ඉහළින් නියෝගයක් ආවොත් ඕනෑම දෙයක් කරනව කියලා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ මම වැරදි දෙයක් කරනව කියලා. ආයතන සංග්‍රහයේම තියනව මම ආයතන ප්‍රධානියා විදිහට එහෙම නොකළොත් මම අණ නොපිළිපැද්දයි කියල ක්‍රියාමාර්ගයක් ගන්ඩ පුළුවන්. මේක මාධ්‍යයෙන් පෙන්නන්නේ මම ඉහළත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනව කියලා. මම මේ හඬ පට ගැන සීඅයිඩීයට පැමිණිලි කරල තියනවා. මේගොල්ලෝ කොටස් වශයෙන් දාන්නෙ මම පැයක් කරන දේශනයක්.
රාජිත සේනාරත්නගේ මල්ලි මගෙ ළඟට ආවා. ඇවිල්ල කතා කළේ එයාල සංවිධානය කරල තිබ්බ ලේ දන්දීමේ ව්‍යාපාරයක් අපේ අතින් රිජෙක්ට් වීම ගැන. ඊට පස්සෙ මම ස්ටාෆ් එක ගෙන්නලා පැහැදිලි කරල දුන්න මේක ඇමතිතුමාගෙ මල්ලිගෙ වැඩක්, මේක රිජෙක්ට් කරන්ඩ හොඳ නෑ, අපි මේක කොහොම හරි කරල දෙමු කියලා.

ඇමතිගෙ මල්ලි වීම නිසාම දුන්න අවස්ථාවක් නේද ඕක?

නෑ නෑ. දවසක් මට එයා කතා කළා. කතා කරලා මම ඇමතිගෙ මල්ලි කීවෙ නෑ. මම ස්මයිල් සේනාරත්න කියන මනුස්සය මට මෙහෙම අසාධාරණයක් වෙලා තියනව මට උදව් කරන්ඩ කියලා.
මම මෙතනට ඇවිල්ලා මාස හයයි. මම 2017 සිද්ධි ගැන දන්නේ නෑ. මට මිලියන හැත්තෑ තුනක් යෝජනා කරන්ඩ බලයක් නෑ. මගෙ උපරිම බලය මිලියන දහයයි. මෙතන විරෝධතාව එන්නේ එයාල තෝරා ගත්ත සමාගම් එක්ක සේවා ගිවිසුම් ගහන එකටයි. එතකොට එයාල කැමති කම්පැණිවලට වෙළෙඳ ගිවිසුම් ගහන්නත් මම කියන එකට ගිවිසුම් නොගහන්ඩත් හේතුව මොකක්ද? ලේ බැංකුවේ ගොඩක් තැන්වල සේවා ගිවිසුම් ගහල නෑ. ඒ හින්දා නඩත්තු කටයුතු හරියට සිද්ධ වෙන්නේ නෑ. මේක මගෙ වැරැද්දද එයාලගෙ වැරැද්දද?
නෙදර්ලන්ත ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ ආයතනයෙන් එහෙම ලිපියක් ආවද කියල බලන්ඩ. මම එහෙම ලිපියක් යවල නෑ. ඔය ව්‍යාපෘතියට තිබ්බ මිලියන තිස් දෙකෙන් හොඳ හැටි කාලා හොඳ හැටි රඟපාල හිටපු අයට මම ආපු එකෙන් ලොකු බාධාවක් වුණා. මට මේ යන්ත්‍ර ගන්ඩ විශේෂඥ කමිටුවෙනුයි අමාත්‍යාංශයෙනුයි අවසර ලැබිල තියනවා.
මේ චෝදනා සේරම මට මඩගැහීමේ අරමුණින් කරන දේවල්. මාව අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කළේ නෑ. මේ විරෝධය නිසා මම ඉල්ලීමක් කළා මට අමාත්‍යාංශයට පත්වීමක් දෙන්ඩ කියලා. මට ඒක හම්බ වුණා.