රාවය

අනාගතයට යන පාර වැසුණු ඉඟිනිමිටියේ මිනිස්සු

අනාගතයට යන පාර වැසුණු ඉඟිනිමිටියේ මිනිස්සු

රසික ගුණවර්ධන

හැල්මේ යන බසය පසු කරන්නේ වියැලුණු බිම්ය, හිනැහෙන මිනිසුන්ය. පායා ඇති හිරුද චණ්ඩ විය. ඒ චණ්ඩ උණුහුම හැල්මේ යන බසයට හමනා සුළඟ පරයා දැනේ. ඒ නිසාම බොහෝ ගැහැනු සාරි පටින් ද පිරිමි අත්ලෙන් ද පවන් සලා ගනිති. බසය යන්නේ ආණමඩුවටය. එතැන් සිට තවත් දුර අප යා යුතුය.
මේ යන්නේ ඉගිණිමිටියේ, දැදුරු ඔයෙන් අසරන වූ මිනිසුන් සොයාගෙනය. ඒ ඔවුන් කියන කතාව අසන්නටය.
ඉගිණිමිටිය ශුෂ්කය. වැසි ලැබී ඇත්තේ මීට සති කිහිපයකට පොරොත්තුවය. මේ නිසා ඉගිණිමිටියේ මිනිස්සු කුඹුරු කරන්නේ ද කන්නෙ බොන්නේ ද එහෙන් මෙහෙන් ලබා ගන්නා වතුර ටිකකිනි.

පානීය ජලය

ශුෂ්ක නමුදු ඉගිණිමිටිය පොළොවේ වතුර හිඟයක් නැති බව ගම්මු කියති. එහෙත් ඒ හිඟ නොවන වතුර කිවුලය. ඒවා පානය කිරීම අපහසුය. එසේම මීට මාස කිහිපයකට පෙරාතුව ඉඟිණිමිටිය ප්‍රදේශයේ එක් ගමක සිදු කළ පරීක්ෂණයකදී හෙලිවී තිබුනේ ඉඟිණිමිටියේ මිනිසුන්ගෙන් 1/4 ක් එනම්, 23% ත් 24% ත් අතර ප්‍රමාණයක් වකුගඩු රෝගීන් බවය.
“මෙච්චර දෙයක් වෙලා තියෙද්දිවත් කවුරුවත් අපේ ගමට වතුර ටිකක් දෙන්ඩ උදව් කරන්නෙ නෑ. පානීය ජල ව්‍යාපෘතියක් කරනව නම් කරන්ඩ තියන එකම තැන තමයි ඉඟිණිමිටිය. හැබැයි දැන් තත්වෙ බලද්දි ඉඟිණිමිටියෙ පානීය ජල ව්‍යාපෘතියක් තියා ගොවිතැන් බතක් කරගන්ඩවත් හරියට වතුර ටිකක් නෑ. අන්තිමට පෝලිමේ මිනිස්සු මැරෙන්ඩ ගත්තහම තමයි ඔක්කොමල දුවගෙන එන්නෙ. දෙයක් වෙන්ඩ කලින් ඒක වලක්වාගන්න ක්‍රමයක් අපට නෑනෙ” එසේ කීවේ මන්තිලකය.
වකුගඩු රෝගයට තවමත් නිවැරදි හේතුවක් සොයාගෙන නොමැති නමුදු බොහෝ දෙනෙකුගේ විශ්වාසය අනුව කිවුල සහිත ජලය වකුගඩු රෝගයට හේතුවක් වන නිසා ඉගිණිමිටියේ මිනිසුන් වතුර බොන්නේ ලීටරයට රුපියල් හතර පහ බැගින් වැය කරමිනි.

ගොවිතැන

ඉඟිණිමිටියේ වී වගාව සඳහා පමනක් කුඹුරු අක්කර 8000 ඇත. ඊට අමතරව වට්ටක්කා, කොමඩු, පිපිඤ්ඤා ආදී භෝග වගා කරනා බිම් ය. ඉඟිණිමිටිය ජලාශය නිම වන්නේ වගා අවශ්‍යතාවන් ද පානීය අවශ්‍යතාවන් ද උදෙසාය. එහෙත් ඉගිණිමිටිය ජලාශයේ දරන ජල ධාරිතාවය ඒ අවශ්‍යතාවන් පූරණය කිරීමට ප්‍රමාණවත් වන්නේ නැත. ඉන්පසු සිදු වූ කතාව අපට කීවේ එක්සත් ගොවි සංවිධානයේ සභාපති අබේකීර්ති විසිනි. “ඔය ඉගිණිමිටිය ජලාශේ වතුර මදි උනහම ඒකට පිළියමක් විදිහට තමයි දැදුරු ඔය ව්‍යාපෘතියෙන් ඉගිණිමිටියටත් වතුර දෙන්ඩ හැදුවේ. ඒකට මහ විශාල ඇළක් කැපුවා. අඩි විස්සක් විසි පහක් පළල අඩි හැටක් විතර ගැඹුර ඇලක්. ඒ ඇලෙන් දවසට ඉගිණිමිටිය ජලාශෙට අක්කර අඩි හයසීයක් ගේනවා කීවා.”
“ඉඟිණිමිටියට දැදුරු ඔය ව්‍යාපෘතිය එනව කීවහම අපි බොහොම සතුටු උනා. මොකද ඉස්සර බොහොම කලාතුරකින් තමයි අපට හරියට ගොවිතැනක් කරගන්ඩ වතුර ටිකක් ලැබුනේ. ඒත් ඇළ කපපු එක විතරයි වුණේ. ඒ හැටි වතුරක් ආවේ නෑ. දැදුරු ඔයේ ඕනේ තරම් වතුර තියනවා. වතුර එන්නෙ නැත්තේ මෙයාලා හරියට ඇළ හදල නැති නිසා. දැන් අපි කන්න ගාණක් බොහොම අමාරුවෙන් වැඩ කරන්නේ. මේක හරියට හදල අපට වතුර ටිකක් දුන්නනන් අපි ගොවිතැනක් කරගෙන ඉන්නවා” ඒ එකමුතු ගොවි සංවිධානයේ සභාපති අජිත් සුරේන්ද්‍රගේ හඬය.

කඩවුණු පොරොන්දුව

අපි අබේකීර්තිත් කැටිව ගියේ මොවුන්ගේ කතාවේ පදනම සොයා ඉගිණිමිටිය ව්‍යාපෘතියේ නේවාසික වාරිමාර්ග කළමනාකරු අයි.එච්.ජේ. කුමාර සොයාගෙනය. ඔහු කීවේ මෙවැනි කතාවකි. ”ඉගිණිමිටියට වතුර ගේන්න දැදුරු ඔයෙන් කපපු ඇලේ දවසකට අක්කර අඩි 600 ගේනව කියල තමයි මුලින් වැඩ පටන් ගත්තෙ. හැබැයි දැන් දවසකට එන්නෙ අක්කර අඩි 200 විතර. ඒක හින්ද දැන් ඉඟිනිමිටියේන් දෙන්ඩ පුළුවන් වතුර ප්‍රමාණයත් එක්ක කෑල්ල කෑල්ල වගා කරන්නේ. ඔක්කොම වගා කරන්ඩ වතුර මදි. එතකොට එක කන්නයක් කරල ඊළඟ කන්නය කරන්ඩ තව කන්න තුන හතරක් යනව.
ඇයි එහෙම උනේ? අපි ඇහුවේ නේවාසික කළමනාකරුගෙන් ඊට ඇති තාක්ෂණික ගැටලුව හෝ හේතුව සොයා ගැනීම සඳහාය. ඔහු ඊට පිළිතුරු දීමට පෙර එහි සිටි බොහෝ දෙනෙකු එක් විටම කීවේ, ”වාරිමාර්ගෙ ප්ලෑන් එක වැරදිලා” යනුවෙනි. එවිට වාරිමාර්ග කළමනාකරු සිදු කළේ සිනහවීමය. වාරිමාර්ග කළමනාකරු ට අනුව කතාව මෙසේය. ”දැදුරු ඔයෙන් එන ඇල කෙලින්ම ඉඟිණිමිටයට එන්නෙ නෑ. එකක මඟදි කිරිඳිවැල්ල සහ හිදෝගම කියන වැව් දෙකට වැටෙනව. මේ වැව් දෙකේ තමයි ප්‍රශ්නෙ තියෙන්නේ. ඇලේ අක්කර අඩි 600 එවන්ඩ තරම් ලොකු වතුරක් එව්වොත් මේ වැව් දෙකෙන් පිටාර යනව. මොකද ඒ වැව් දෙක පොඩී. ඒක නිසා තමයි අක්කර අඩි දෙසීයක විතර වතුර ප්‍රමාණයක් එවන්ඩ වෙලා තියෙන්නේ”
ඒ වැව් දෙක විශාල කරල වැඩි වතුරක් ගන්ඩ බැරිද? නැවතත් අප යොමු වූයේ වාරිමාර්ග කළමනාකරු දෙසටය. ”උවමනාවක් තියනවනම් බැරිකමක් නෑ. ඔය එක වැවක කණ්ඩියක් ඉස්සුවහම ඉස්කෝලයක් යටවෙනව කියනව. ඒත් ඒපැත්තෙන් කණ්ඩියක් ගැහැව්වනම් ඔය ප්‍රශ්නෙ නෑ” කළමනාකාරවරයාට අනුව මේ ව්‍යාපෘතිය සාර්ථක වීමට අවශ්‍ය වන්නේ වාරිමාර්ගයට උනන්දුවක් ඇති වීමයි. ව්‍යාපෘතිය අවසන්කර බොහෝ කාලයක් ගතව ඇතත් තවමත් උනන්දුවක් ඇතිනොවීම කාගේ ගැටලුවක් දැයි දැන් විමසා බැලිය යුතුය.
අප ඉඟිණිමිටිය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයට පැමිණියේ ඔවුන් මේ ව්‍යාපෘතියට ඝෘජුවම සම්බන්ධ නිසාය. එහෙත් ඔවුන්ගේ අදහස අනුව මේ ව්‍යාපෘතිය ඉතාම සාර්ථක ව්‍යාපෘතියකි. ඇත්තේ වතුර ලැබීමේ සුලු සුලු ගැටලුය. එනම් අක්කර අඩි 600 න් 200-300 පමණ ලැබෙන සුලු සුලු අඩුපාඩුය. එසේම අදාල ඇළට සම්බඳ වැව් දෙක විසාල කිරීමේ කටයුතු ඉතා ඉක්මනින් අවසන් කර දීමට අවශ්‍ය වැඩකටයුතු මේ වන විට ආරම්භ වී ඇති බවත් ඔවුහු අප සමග පැවසූහ. එහෙත් ඊට කෙතරම් කාලයක් ගතවේද? එතෙක් මේ ජනයා රැකෙන්නේ කෙසේ ද? මේවාට පිළිතුරු දෙන්නේ කවුද?

ඉඟිණිමිටිය වැව

ඉඟිණිමිටිය වැව අයත්ව ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවටය. එහෙත් එය හිමි කරගෙන ඉන්නේ මහා පරිමාණ වගාකරුවන් පිරිසකි. ලිපියේ පෙර සඳහන් කරන ආකාරයට ඉඟිණිමිටිය ජලාශයේ ප්‍රමාණවත් ජලය නොමැති වීම නිසා බොහෝ ප්‍රමාණයක් ඇත්තේ ගොඩබිම ලෙසටය. මෙලෙස ජලය නොමැති ප්‍රමාණය දළ වශයෙන් අක්කර 200 වඩා වැඩි බව අපට පැවසූවේ වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ ම නිළධාරියෙකි.
අප මේ තත්වය නිරීක්ෂණය කිරීම සඳහා වාරිමාර්ගයේම නිළධාරීන් සමඟ වගා කරන ප්‍රදේශයට ගමන් කළේ ඔවුන්ගේම වාහනය අප යන වැවට පිවිස ඉදිරියට යන විට වේගයෙන් පැමිණි යතුරු පැදියක් අප පසුකර වගාකරණ භූමිය දෙසට කැළය මැදින් ගමන් කරන්නට විය. අප යන්නේ වැව් පිටියක නිසා ද එය කිසි සේත්ම වාහන ගමනාගමනයට සුදුසු නොවන නිසාද අපගේ ගමන ඒ තරමට වේගවත් වූයේ නැත. ඒ නිසා අදාළ ස්ථානයට ළඟාවන විට යතුරු පැදි කරු අප පැමිණෙන බවට වූ පණිවිඩය වගා කරුවන්ට ලබා දී තිබුණි. ඈතින් අප දුටුවේ වැව් පිටිය හෑමට ගෙන ආ විශාල ට්‍රැක්ටර් දෙකක් ඉතා වේගයෙන් කැළය තුළට ධාවනය කැරෙන අයුරුයි.
එය වැව් පිටියක් වුවද ඒ ප්‍රදේශය ගමක් තරමට දියුණුය. සරුසාර මඤ්ඤොක්කා වගාවන්, සරුවට වැඩුණු පොල් වතු, කැපූ පාරවල් සහ ස්ථීර අලි වැටවල් හොඳින් සෑදූ පැලක්, යතුරු පැදි ආසන්න වශයෙන් පහළොවක් පමණ ඒ භූමිය තුළ දක්නට ලැබිණි.
කෙසේ හෝ අප ඈතින් මිනිසුන් කිහිපදෙනෙකු සිටිනු දුටුවද අපට නුහුරු මාර්ගය දිගේ ඒ දෙසට පැමිණෙන විට ඔවුහු කොහේ හෝ අතුරුදන් වූහ. සී සා තිබූ භූමියට අප පැමිණෙන විට සිටියේ අප කිහිප දෙනා පමණි. බැලූවිට එක යායට අක්කර 200 පමණ භූමිය මුලු මුලින්ම තෙල් ගසා වගාවට සූදානම් කර තිබුණි. ඒ තෙරක් නොපෙනන භූමියෙන් හරිත පැහැය වියැකී ගොසින්ය. ඉන් තව කොටසක භූමිය වට්ටක්කා වගාව සඳහා සූදානම් කර ඇත. තැන වට්ටක්කා පැළවී ඇත. ඒවාට යෙදූ පොහොර කැට තවමත් දක්නට ඇත. එය වැව්පිටියකට ගිය විට දැනෙන හැගීම නොව හේනකට ගිය විට දැනෙන හැඟීමට සමානය.
වාරිමාර්ගයට අයත් භූමියක, අනෙක් අතට වැව් පිටියක් තුළ මෙවැනි ක්‍රියාවලියක් සිදුවන්නේ කෙසේ දැයි අප වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ නිළධාරියාගෙන් විමසූ විට ඔහු පැවසුවේ මේවා පිටුපස සිටින ව්‍යාපාරිකයන්ගේ බලපුලුවන්කාර කමට මේ දේවල් සිදු වන බවයි. ඒ අනුව ඔවුන් පොලීසියට, දිසාපතිට හා අනෙකුත් වගකිව යුත්තන්ට මේ පිළිබඳව පැමිණිළි කර ඇතත් තවමත් එයට කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.
මෙහි ඇති අවධානම ඉතාම ඉහළය. මේ වගාවන්ට අසීමිත ලෙස යොදන රසායනික පොහොර සියල්ලක්ම කවලන් වන්නේ වැව් ජලයටය. මේ විෂ ධීවර කර්මාන්තයට ඉතාම හානිදායකය. එසේම දෛනික අවශ්‍යතාවන් සඳහා ජලය ලබා ගන්නා දහස් ගණනක් වූ පිරිසගේ ජීවිත අනතුරේ හෙලීමකි. එපමණක් නොව රසායනික පොහොර වල ඇති පෝෂක කොටස් නිසා වැවේ ඇල්ගී වර්ධනය ඉහළ යාමටද හැකියාවක් ඇත.
අප එහි ගොස් බොහෝ වේලාවක් එහි ඇවිදිමින් ඡායාරූප ගනිමින් සිටින අතරතුර කැළේට මුවා වූ පිරිස එකා දෙන්නා අප සිටි දෙසට පැමිණෙන්නට විය. අප ඔවුන් සමග කතා කරමින් සිටින විට එම පිරිස ක්‍රමයෙන් ඉහළ යන්නට විය. අවසානයේ එහි එකතු වූ මිනිසුන් ගණන සියයකට අධිකය. මෙසේ වැව්පිටියේ වගා කිරීම ගැන විමසූ විට එහි සිටි අයෙකු අප හා පැවසූවේ මෙවැන්නකි.
“දරුවො ටික බඩගින්නෙ තියන්ඩ බැරි හින්දයි මොනව හරි දෙයක් හදල උන්ගෙ බඩවල් ටික පුරවන්ඩ හදන්නෙ. අපට ඉඩම් නෑ. තිබ්බ ඉඩම් ටික රජය ව්‍යාපෘතියට පවර ගත්ත. අපට ඉඩම් ලැබුණෙ නෑ.”
ඔවුන් එසේ කීවද මෙය මහාපරිමාණයෙන් සිදු කරන ව්‍යාපාරක් බව දකින ඕනෑම අයෙකුට අවබෝධ වෙයි. මෙහිදී එහි සිටි කාන්තාවක් දුන්නේ අපූරු පිළිතුරකි. ”ඒ ගොල්ලො ට්‍රැක්ටර් වල ආවෙ හාන්ඩ නෙවේ, එයාලට බයික් වල එන්ඩ අමාරු හින්ද ට්‍රැක්ටර් වල ඇවිල්ල තියෙන්නෙ.” මේ මිනිසුන් අපූරුය. නිවසේ අඹුදරුවන්ට කන්ඩ දෙයක් දීමට නැති වුවද යතුරු පැදි වෙනුවට ට්‍රැක්ටර් භාවිතා කිරීමට හැකියාවක් ඇත.
මොවුන් පවසන ඉඩම් නොලැබීම පිළිබඳව අප සොයා බැලූ අතර එහිදී අපට දැනගන්නට ලැබුණේ මේ ව්‍යාපෘතයෙහි ඉඩම් අත්පත් කරගැනීම් වලට අදාල ඉඩම් නැවත ලබාදීම් සිදුවන්නේ මීට අවුරුදු තිහකට පමණ පෙරය. එහිදී ඉඩම් ලබාදෙන්නේ පවුල් ලෙසටය. එනම් එක නිවසක විවාහක යුවල දෙකක් සිටීනම් ඔවුන්ට ඉඩම් දෙකක් හිමිවේ. එහෙත් නිවසේ අවිවාහක දරුවෙකු සිටින විට ඔහුට ඉඩමක් හිමි නොවේ. නැතිනම් කුඩා දරුවන්ටද ඉඩම් හිමි නොවේ. එහි රැස්ව සිටි පිරිස දෙස බලන විට එයින් බොහෝ දෙනෙක් අවුරුදු පනහ ඉක්මවූවෝ නොවූහ. ඒ අනුව ඔවුන් ඉඩම් ලබාදෙන සමය වන විට කුඩා දරුවන් විය යුතුය. එසේනම් ඔවුන්ට ඉඩම් ලබා දී නොමැති කතාව සත්‍යයකි. ඒ අනුව ඔවුන්ගේ තර්කයට අනුව ඉඩම් නැති පුද්ගලයන්ට රජයේ ඉඩම් භාවිතා කිරීමේ හැකියාවක් ඇත.
ඔවුන් පවසන්නේ මේ වගාවේ අස්වැන්න ලබා ගත් සැණින් මේ භූමියෙන් ඉවත්වන බවයි. එහෙත් එතෙක් ද වගාවට හෙලන සියලු දෑ වැවේ ජලය භාවිතා කරන්නෝ පරිභෝජනය කළ යුත්තෝය. “ඔයාලගේ ළමයිනුත් බොන්නේ මේ වතුරනේ” ලෙස උපුල් ජයන්ත ගැමුණු ගොවි සංවිධානයේ සභාපතිවරයා පෙන්වා දුන් විට ඔවුන් ලබාදුන් පිළිතුර කෙතරම් ආත්මාර්ථකාමී දැයි ඔබම විමසා බලන්න. ඔවුන් කීවේ, ”අපි මෙහේ නෙවේ” යනුවෙනි.

තැලෙන මිනිස්සු

කෙසේ හෝ අවසානයේ අසරණ වන්නේ ඉඟිණිමිටියේ ජනතාවය. ඔවුන්ට දැදුරු ඔයෙන් ලැබෙනවා යැයි කී ජලය ලැබෙන්නේ ද නැත. තියන වතුර ටිකද විනාශ කෙරෙමින් පවතී. ඒවා නවත්වන ස්වරූපක්ද නැත. සුවිශාල ඉඟිණිමිටිය ජලාශය ඇස් අද්දර තබාගෙන ඔවුන්ට සිදුව ඇත්තේ මුදලට වතුර බොන්නටය.
ඉඟිණිමිටියෙන් හිරු බැස යන්නේ වැව රත් පැහැ ගන්වමිනි. තැනින් තැන කැළෑ ගිණි තබා නැගෙන දුම් රොටු දවා ලන්නේ ඉඟිණිමිටිය මිනිසුන්ගේ අනාගතයදෝයි අපට සිතුනේ අප ඉඟිණිමිටියෙන් නැවත බස් රථයට ගොඩ වූ පසුය.