රාවය

උතුරේ ජනයාට ආදරය කරන්නේ සිනමාවෙන් විතරද? – ප්‍රවීණ සාහිත්‍යවේදී, කථිකාචාර්ය – තරුපති මුණසිංහ

උතුරේ ජනයාට ආදරය කරන්නේ සිනමාවෙන් විතරද? – ප්‍රවීණ සාහිත්‍යවේදී, කථිකාචාර්ය – තරුපති මුණසිංහ

ඉන්දිකා නයෝමි

තරුපති මුණසිංහ කැලණි විශ්වවිද්‍යාලයේ ලලිත කලා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කරන අතර ඔහු මානව සංගීතවේදය සහ ප්‍රාසාංගික කලා අධ්‍යයනය පිළිබද පර්යේෂකයෙකි. ඕස්ටේ්‍රලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂකයකු වන ඔහු මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ ප්‍රාසාංගික කලා පීඨයෙන් නාද සැලසුම්කරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමිකරගෙන ඇත. තරුපති මුණසිංහ යනු සංගීතවේදී විශාරද ඔස්ටින් මුණසිංහගේ පුතුය. මේ ඔහු සමග රාවයට කළ අදහස් දැක්වීමකි.

පවුලේ ආභාෂය කලාවට තවත් පරම්පරාවක් දායක කරන්න බලපානවා යැයි ඔබ සිතනවාද?

මගේ පියා නිර්මාණකරුවකු වූ පමණින් මමත් නිර්මාණකරුවකු වෙනවා කියන දේ කවදාවත් වෙන්නේ නැති දෙයක්. මූලිකව යම් යම් ජානමය තත්ත්වයන් මත යම් යම් දේ ග්‍රහණය කර ගැනීම සහ ඉගෙන ගැනීමේ හැකියාව යම් ප්‍රමාණයකට තිබෙනවා. උදාහරණයක් ලෙස ගායකයකුගේ පුතෙක් පියාගේ හඬින්ම ගායනය කිරීම ජානමය තත්ත්වයක්. මගේ පියා නිර්මාණකරුවකු ලෙස කළේ මොකක්ද කියන දේ මම තවම හඳුනාගනිමින් සිටිනවා. මොකද ඔහුගේ නිර්මාණ කාර්යය එතරම් ගැඹුරු ලෙස මට පෙනෙනවා.

පියාගේ නිර්මාණකරණය පිළිබඳ ඔබේ කියවීම මොකක්ද?

විශේෂයෙන්ම වේදිකා නාට්‍ය සමග ඔහුගේ ජීවිතය සෑහෙන කාලයක් ගතවුණා. ඔහු වාමවාදී අදහස් තිබූ, තමන්ගේ ප්‍රතිපත්ති සමග ජීවත්වූ කලාකරුවෙක්. ඔහුගේ නිර්මාණ හරහා එන්නේ සමාජය සම්බන්ධව ඔහුගේ ප්‍රකාශනයයි. මූලිකවම සමාජය සම්බන්ධව සහ පුද්ගල සම්බන්ධතා පිළිබඳව ඔහු දැරුවේ මොනවගේ අදහසක්ද කියන දේ තමයි මම කියවීමට උත්සාහ කරන්නේ. ඔහු මිනිසුන්ට අසීමිත ලෙස ආදරය කළා. එය කිසිදු ලෙසකින් ව්‍යාජ ඇසුරක් වුණේ නැහැ. මම මේ මොහොතේ නිර්මාණකරුවකු ලෙස හෝ මූලික සමාජ සත්ත්වයෙක් ලෙස මේ සමාජය ඇතුලේ ජීවත් වන විට මට දැනෙන්නේ අව්‍යාජ මිනිසුන් නැති බවයි. බොහොම ව්‍යාජ ඇසුරක් තමයි අද දකින්න තිබෙන්නේ. ඒ නමුත් මගේ පියාට හමුවූ මිනිසුන් ඉතාම අව්‍යාජ, හිතෛෂී අය වුණා. ඒ අව්‍යාජ හිතවත්කම කියන දේ දැන් නැහැ. අව්‍යාජ මිනිසුන් නැති ව්‍යාජ මිනිසුන් අතරේ තමයි මම මේ මොහොත වන විට ජීවත් වන්නේ. ඒ සමාජය ඇතුලේ මම නිර්මාණකරුවකු ලෙස නැගිටින්නේ කොහොමද කියන දේ තීරණය වෙනවා.

ඔබ කියන විධියට අද සමාජය ව්‍යාජ නම් එහි කලාව පැවතිය නොහැකිද?

වචන ටිකකට තනුවක් යෙදීම හෝ චිත්‍රපටයකට සංගීතය මුසු කිරීම මම හිතන්නේ බොහොම කෘත්‍රිම ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලියට කොහොමද අව්‍යාජව දායකත්වය සපයන්නේ කියනදේයි වැදගත් වන්නේ. උදාහරණයක් ලෙස අපි මිනිසුන්ට ආදරය නොකර අපි කරන නිර්මාණ තුළ මිනිසුන්ගේ ආදරය ගැන කතා කරනවා. ඊළඟ මොහොතේ ඒ නිර්මාණකරුවාගේ නිර්මාණයක් යම්කිසි සමාජ සේවා කටයුත්තක් වෙනුවෙන් නොමිලයේ ඉදිරිපත් කරන්න කීවොත් එය ඉදිරිපත් කරනවාද. පරස්පරතාව තිබෙන්නේ එතැනයි. මම පියාගෙන් ඉගෙන ගන්නේ නිර්මාණකරුවෙක් ලෙස නිර්මාණ කරන්නේ කොහොමද කියනදේට වඩා මිනිසුන් සමග ජීවත්වුණේ කොහොමද කියනදේ පිළිබඳවයි. ඔහු නිර්මාණකරුවෙක් ලෙස එළියට එන සමාජයේ සංවෘත ආර්ථික ක්‍රමයක් යටතේ බොහොම බුද්ධිමය ගනුදෙනුවක් කරන්න පුළුවන් මිනිසුන් සමග ජීවත්වීමට ඔහුට වාසනාව තිබුණා. දැන් ආර්ථිකය විවෘතයි, ලෝකයට විවෘතයි. එහෙත් බුද්ධිමය වශයෙන් රාමු තුළ ජීවත්වන මිනිසුන් ගොඩක් අතරයි අපි ජීවත් වන්නේ.

ඔබට අනුව සංගීත අධ්‍යක්ෂවරයකුගේ කාර්යභාරය මොකක්ද?

මම සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස හඳුන්වා ගන්න කැමති නැහැ. මේ මොහොතේ අපිට එහෙම හඳුන්වා ගන්න බැහැ. එහෙම නම් දැන් ඉන්න සංගීත අධ්‍යක්ෂවරයකු බීතෝවන් සමග සන්සන්ධනය කළ යුතු වෙනවා. බීතෝවන් එදා සංගීත භාණ්ඩ මනසින් ඇසිය යුතු වුණා. එදාට වඩා දියුණු තාක්ෂණයක් අද තිබෙනවා. ඒත් ප්‍රශ්නය එදා බීතෝවන් ඒ සියලුම සංගීත භාණ්ඩ මනසින් අහනවා කියන්නේ ඔහුගේ මනස කෙතරම් දියුණු ද? ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේ අනෙක් රටවලත් මේ ප්‍රශ්නය ප්‍රශ්නයක්.
සංගීත අධ්‍යක්ෂවරයකුට තිබිය යුතු ගුණාංග පිළිබඳ ලැයිස්තුවක් සෑදුවොත් දැනට සිටින සංගීත අධ්‍යක්ෂවරු බොහෝ දෙනෙක් එම ලැයිස්තුවට ඇතුළත් කරන්න බැහැ. මොකද ලෝකයේ සංගීත අධ්‍යක්ෂවරුන්ගේ හැකියාවන් සමග සසඳද්දී අපේ අධ්‍යක්ෂවරු ඉන්නේ පහළ තැනකයි. ඒ නමුත් ගීතය ජනප්‍රිය වුණු සැණින් අපේ රටේ අධ්‍යක්ෂවරු වෙනවා. ගීතයක් ජනප්‍රිය වූ සැණින් ඔහු ගායකයෙක් වෙනවා. ඔහු අධ්‍යක්ෂවරයකු හෝ ගායකයකු කරන්නේ ජනප්‍රිය ද නැද්ද කියන දේ මතයි. ලෝකයේ නිර්ණායකය එය නොවෙයි. ඒ නිසා අපි ඉන්නේ ව්‍යාජ කලාවක් සහ ව්‍යාජබව පවත්වාගෙන යන සමාජයකයි. ඒ තුළ නිර්මාණකරුවන් ලෙස පෙනී සිටින සියලුදෙනා අව්‍යාජ නිර්මාණකරුවන් නොවෙයි කියා මම සිතනවා. සංගීත නිර්මාණකරුවකු ලෙස අපි යම් කෙනකු හඳුන්වනවා නම් ඔහු තුළ මූලික වශයෙන්ම සමාජය පිළිබඳ කියවීමක් තිබිය යුතුයි. උදාහරණයක් ලෙස බොබ් මාලේගේ විලාසිතා බොහෝ දෙනෙක් අනුගමනය කරනවා. අපි බොබ් මාලේ දන්නේ ඉතාම මතුපිටින් පමණයි. සමාජය පිළිබඳ ඔහුගේ විරෝධතාව පිළිබඳ ඔහු බොහොම අවංක ව්‍යාපාරයක නියැලුණා. ඔහු ව්‍යාජයක් කළේ නෑ. බොබ් මාලේලා, බොබ් ඩිලන්ලා කලාකරුවන් ලෙස අපි හඳුන්වන අතරතුරම අපි ව්‍යාජ නිර්මාණකරුවන් සමග ජීවත් වෙනවා. මේ සමාජය මේ මොහොතේ රසවින්දනය පිළිබඳ ඉතාම නිර්වින්දන තත්ත්වයකට පත්වූ සමාජයක් බවට පත්වන්නේ මේ කලාකරුවන් නිසායි. එය බරපතළයි කියා මම හිතනවා. මේ මොහොතේ මාධ්‍ය විසින් ගොඩනගන සමාජය සහ සමාජ වෙබ් අඩවි තුළ නිර්මාණකරුවන් වීමට දඟලන අය යන සියල්ලම එක්ක අපි කොහාටද යන්නේ කියන ප්‍රශ්නය තියනවා.

හැට හැත්තෑව දශකයේ ලංකාවේ කලාකරුවන්ගේ නිර්මාණ ගැන කථිකාවන් අදටත් ජීවමානයි. සාපේක්ෂව බලද්දී නව පරපුර අතින් හොඳ නිර්මාණ බිහිවෙන්නේ නැද්ද?

ලංකාව දූපතක් වෙන්නේ හැත්තෑහතෙන් පස්සේයි. ඊට කලින් ලංකාව දූපතක් නෙමෙයි. මොකද ලෝකයට විවර වූ නිර්මාණ කළ නිර්මාණකරුවන් සිටියේ හැත්තෑහතට කලියෙනුයි. අපි බොහොම කැමැත්තෙන් කතා කරන යුග පුරුෂයන් සිටියේ ඒ කාලයේයි. ඔවුන්ට දූපතකද ඉන්නේ නැද්ද කියන එක ගැන ගැටලුවක් තිබුණේ නැහැ. මගේ පියා නිර්මාණකරුවකු ලෙස හැදෙන පරිසරය වුණේ එයයි. ඒ තුළ ඔහු මනුෂ්‍යයෙක් ලෙස කකුල් දෙකෙන් හිටගත්තේ කොහොමද කියන දේ තමයි මම ඔහුගෙන් ඉගෙන ගන්නේ.
අපි අද සයිමන් නවගත්තේගම හෝ පතිරාජ හෝ කේමදාස හෝ සේකර හෝ ගැන කතා කරනවා. ඒ නමුත් තව අවුරුදු පනහකින් පසු මේ මොහොතේ සිටින කලාකරුවෙක් ගැන කතා කරන්න පුළුවන් වෙයි ද. මම හිතනවා එදා නිර්මාණ තුළින් බිහිවුණේ ඔවුන්ට සමාජය පිළිබඳ තිබූ කියවීමයි. ඔවුන්ගේ සාහිත්‍ය පිළිබඳව වූ සුවිශේෂී දැනුමයි. එය හුදු නිර්මාණයකට වඩා එම නිර්මාණකරුවාගේ ආත්ම ප්‍රකාශනයක් වුණා. ඒ ආත්ම ප්‍රකාශනයට තනුවක් දෙන්නේ හුදු වචන කීපයකට තනුවක් දැමීමක් ලෙස නොවෙයි. එහෙම සුසංයෝගයක් තමයි නිර්මාණයක් ලෙස එළියට ආවේ. අද ගීතයක් බිහිවෙන්නේ මොනවගේ අවශ්‍යතා මතද. දැන් බොහෝ නිර්මාණකරුවන්ට සමාජය සම්බන්ධව පරිකල්පනයක් නැහැ.

එදාට වඩා අද තාක්ෂණය තිබෙන්නේ ඉතා ඉදිරියෙන්. එසේ නම් ගැටලුව තිබෙන්නේ ප්‍රකාශනයේ ද?

මම දකින ප්‍රධානම දේ අද ඕනෑම කලාවක් සම්බන්ධයෙන් තාක්ෂණික වශයෙන් අපි ඉතාම ඉහළ තැනක ඉන්නවා. එදා එවැනි තාක්ෂණයක් තිබුණේ නෑ. ගැටලුව තිබෙන්නේ තාක්ෂණයේ නෙමෙයි. මේ මොහොතේ සිනමාවටත් සංගීතයටත් සිදුවී තිබෙන්නේ එකම ඛේදවාචකයයි. අපි කලාවෙන් ප්‍රකාශ කරන්නේ මිනිසුන් ගැනයි. තමන් අනෙකා සම්බන්ධව කියවීම අත්හැර, අනෙකා සමග මිතුරුවීම අතහැර නිර්මාණවලින් පමණක් අනෙකාට ආදරය කිරීමට උත්සාහ කරනවා. සිනමාව තුළින් උතුරේ ජනයාට ආදරය කරන්න හදනවා. ඒත් අපි ජීවිත ඇතුලේ ඒ මනුෂ්‍යයන් සමග ජීවත් වෙනවාද. අපි අනෙකා සම්බන්ධව නොසිතන තත්ත්වයකට ගිහින් අනෙකා සම්බන්ධව ආදරෙන් කතා කරනවා. පරස්පරය ඇතිවන්නේ එතැනයි. එවිටයි ඒ නිර්මාණය අවංක ප්‍රකාශනයක් නොවෙන්නේ. හිච්කොක් බර්ඞ් චිත්‍රපටය නිර්මාණය කරන්නේ අද සමග සංසන්දනය කරද්දී ඉතාම සීමා සහිත තාක්ෂණයක් යටතේයි. තාම අපි හීන දකින්නේ හිච්කොක්ගේ, තර්කොවුස්කිගේ සිනමාව ගැනයි. ප්‍රශ්නය තිබෙන්නේ ආර්ථිකමය වශයෙන් මේ සමාජයේ යම් යම් තත්ත්වයන්ට මුහුණදෙමින් වෙනස් වන විට ඒ සමාජය තුළ සිටින මිනිසුන්ට සිදුවන දේයි මේ නිර්මාණ ඇතුලේ පෙනෙන්නේ.

විශ්වවිද්‍යාලවලට හැම වසරකම කලාව හදාරන ශිෂ්‍ය පිරිසක් එකතු වෙනවා. ඒ පිරිස අතුරින් කලාකරුවන් පිරිසක් බිහිවෙනවාද කියන ගැටලුව තිබෙනවා නේද?

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තිබෙන ස්ථානයේම හේවුඞ් නමින් තිබූ ආයතනයේ මගේ පියා වසර හයක පාඨමාලාවක් කළ ශිෂ්‍යයෙක් වුණා. මගේ පියා, සුජාතා අත්තනායක, සමන් දසනායක, මර්වින් පෙරේරා, වික්ටර් රත්නායක යන අයගේ නම් ලංකාවේ සංගීත ඉතිහාසය ගැන සඳහන් කරන විට අනිවාර්යෙන් සඳහන් වෙනවා. මේ අවුරුදු හයක පාඨමාලාවක් හදාරා එයින් එළියට ආ ශිෂ්‍යයෝයි. මගේ පියා එහි ගියේ සංගීතය සම්බන්ධව කිසිදු දැනුමක් නැතිවයි. ඒත් එහි සිටි ගුරුවරු ඒ අයව දැනුමෙන් පෝෂණය කළා. ඒත් පසුකාලීනව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය නමින් වසර හයේ පාඨමාලාව වසර හතරට කෙටි වුණා. සංසන්දනාත්මකව බැලුවොත් මෑත කාලය ඇතුළත බිහිවූ කලාකරුවන් කොහේද කියන ගැටලුව ඇති වෙනවා. දේශපාලනික වශයෙන් ලංකාව පිරිහෙන විට එම පිරිහීම තමයි මේ අධ්‍යාපන ආයතනවලටත් යන්නේ. විශ්වවිද්‍යාලවලට එන්නේ ඉගෙනීමේ අවශ්‍යතාව ඇති අයයි. ඒත් ඇවිත් සතියක් පමණ ගතවෙද්දී ඒ අය විනාශ වෙනවා. ඒ විනාශය කරන්නේ දේශපාලන පක්ෂයි. වාමාංශික කියන කොටස් තමන්ගේ බඩ වියත රැක ගැනීමට දේශපාලනය කරන පිරිස ඊළඟ පරම්පරාව ඔවුන්ගේ ඉත්තන් බවට පත්කර ගන්නවා. දැන් විශ්වවිද්‍යාලවලට එන බොහෝ දෙනාගේ අවශ්‍යතාව නිර්මාණකරුවන් වීමයි. හැබැයි එදා විශ්වවිද්‍යාලවලට ආව අයට නිර්මාණකරුවන් වීමට අවශ්‍යතාවක් තිබුණේ නෑ, ඒ අයට මුලින්ම අවශ්‍ය වුණේ විෂය ඉගෙන ගැනීමයි. ඉතා ඉක්මනින් මුදල් ඉපයීමේ පරමාර්ථ ඒ අයට තිබුණේ නෑ. මේ එන ශිෂ්‍යයාගේ මූලික පරමාර්ථ ටික හැදෙන්නේ බාහිර සමාජයෙන්. විශ්වවිද්‍යාලවටල එන්නේ පාසලේ දී කටපාඩම් කළ ගිරවෙක්. ඒ ගිරවා අවුරුදු හතරක් තුළ එතැනින් ගලවන්න අමාරුයි. එතැනින් ගැලවෙන කෙනෙක් පමණයි වෙනස් චින්තනයක් සමග සමාජයට වැඩදායක පුද්ගලයෙකු වන්නේ. උදාහරණයක් ලෙස කලා පීඨයකට අලුතෙන් පැමිණෙන ළමයකු දන්නේ නැහැ තමන් කැමති විෂය මොකක්ද කියලා. ඒ කිසිවක් නොදැනයි එන්නේ. එතැනයි ගැටලුව. පාසලෙන් එළියට එන්නේ කටපාඩම් කළ ශිෂ්‍යයෙක් නිසා විශ්වවිද්‍යාලයේ දීත් තිබෙන්නේ ඒ ගතිගුණයි. එය වෙනස් කරගන්නත් ඔහු උත්සාහ දරන්නේ නැහැ. මොකද ඒ පරිසරය තිබෙන්නේ ඊට රුකුළක් ලෙස නෙමෙයි. ලංකාවේ විශ්වවිද්‍යාල මේ විධියට පවත්වන්න බැහැ, එය අර්බුදයකට යනවා. සාම්ප්‍රදායික පන්ති කාමරයකින් ගිරවෙක් එළියට දාන්නේ නැතිව නිර්මාණාත්මක මනසක් සහිත අයෙක් එළියට දැමීමට අවශ්‍ය විධියේ යම් යම් දේ ඇතිවිය යුතුයි. ඒ සඳහා ශිෂ්‍යයන්ම යම් ආකාරයකට අදාළ දැනුමෙන් පෝෂණය කළ හැකි පරිසරයක් සකස් කළ හැකි ගුරුවරුන් සිටිය යුතුයි. ලංකාවේ විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක් ලෙස කළ යුත්තේ ශාස්ත්‍රීය දැනුම ගවේෂණය කිරීම සහ එම ශාස්ත්‍රීය දැනුම සමාජය වෙත නැවත බෙදා දීමයි. අද ලංකාවේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරු කීදෙනෙක් දේශපාලන පක්ෂවල උපදේශකවරු වී ඉන්නවාද, කී දෙනෙක් මාධ්‍ය ආයතන ප්‍රධානීන් ලෙස සිටිනවාද, තවත් ආයතනවල ඉන්නවා. ඒ නමුත් ලෝකයේ විශ්වවිද්‍යාල ආචාර්යවරු ඒ තැන්වල නැහැ. ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරු බහුශ්‍රැතයින් ලෙස එළියේ සමාජය දකිනවා, ඊළඟට ඔහුව කඬේ යවනවා. ඒත් ඔහුගෙන් වියයුතු දේ වෙන්නේ නෑ. මේ කාරණාවලට මේ මොහොතේ විසඳුම් සෙව්වේ නැති වුවොත් රටක් ලෙස ඉදිරියට යන්න බැහැ. සියලුම දේ තිබෙන්නේ සමාජය තුළයි. සමාජයක් විධියට පිරිහෙන විට ගීත, නාට්‍ය පමණක් ඉතිරිවේ යැයි සිතන්න බැහැ.

ඔබ සංගීතය සහ ශබ්ද සම්බන්ධ පර්යේෂණ කෘති කීපයක් පාඨකයා වෙත දායාද කර තිබෙනවා. ඉන් ‘Sound Studies (with Special Reference to Sri Lanka Sonic Experience’ ග්‍රන්ථය ඔබ විසින් ලියන ලද සුවිශේෂී පර්යේෂණාත්මක කෘතියක්.

ලංකාවෙන් වෙනත් රටකට සංක්‍රමණය වුණාම සංගීතය සහ ශබ්දය පිළිබඳ මතකය කොහොමද පවත්වා ගන්නේ, ඒ මතකය කොහොමද ඒ පරිසරයට සංක්‍රමණය වුණාම පවතින්නේ, නව පරිසරයට ඔහු අනුගත වෙන්නේ කොහොමද කියන දේ. ශාබ්දික මතකය පිළිබඳ අපි සිතන්නේ නැති කාරණයක්, ඒත් ලෝකයේ ඉතා විශාල වශයෙන් එය අධ්‍යයනය කරන දෙයක්. මොකද එය මානව විද්‍යාව ගැන, මානව සංගීත විද්‍යාව ගැන පරීක්ෂණයක්. අපි කොහොමද ශබ්දවලට සංවේදී වෙන්නේ. මෙවැනි ශබ්ද අධ්‍යයනයක ආරම්භයක් මම ගන්නවා. ඒ සම්බන්ධවයි එම පොත ලියවෙන්නේත්. ඉංග්‍රීසි භාෂාවෙන් අපේ රටේ දේවල් ලියවිලා තිබෙනවා අඩුයි. තව අධ්‍යයනයක නිරතවන අයෙක්ට කියවීම සඳහාත් පහසුවීමට එය ඉංග්‍රීසි භාෂාවෙන් ලියා තිබෙනවා. මම හිතනවා නිර්මාණකරුවකු ලෙස නිර්මාණ කිරීම පමණක් නොවෙයි මේ දේවල් ලිවීමත් යම් විධියකට අවශ්‍ය කාරණයක් කියා. නිර්මාණයකට සාපේක්ෂව ලේඛනයේ පැවැත්ම ඊට වඩා වැඩියි සහ සමාජය ආමන්ත්‍රණය කරන ප්‍රමාණයත් ඊට වඩා වැඩියි කියලා මම හිතනවා. පොත් දෙක ලිවීමට හේතුව එයයි.