රාවය

බහුලව කවීන් බිහිවන්නේ විරහවත් එක්ක – නිශාන්ත ප්‍රනාන්දු

බහුලව කවීන් බිහිවන්නේ විරහවත් එක්ක – නිශාන්ත ප්‍රනාන්දු

දිනී ජයසේකර
කවි බස

නූතනයේ කවියෙක් විදිහට නූතන කවිය ගැන ඔබේ අදහස කුමක්ද?

නූතන කවිය නිදහස්ව ගලාගෙන යනවා. කවියා නිදහසේ තම තමන්ගේ ලිවීම දිගටම කරගෙන යනවා. ගුරුකුල රැකීමකින් තොරව බැඳීම්වලින් මිදුණු කවියක් තමයි මේ වන විට පවතින්නේ. ඒ නිසා කවිය වටා එකතු වෙන පිරිස වැඩිවෙලා තියෙනවා. පසුගිය වසර කිහිපය තුළ කවිය සමාජගතවීමේ වර්ධනයක් තියෙනවා. කවි ලියන්නන් වගේම කවි කියවන්නන් තුළත් ඒ අවදිවීම තියෙන නිසාම කියල මම හිතනවා. කියවන්නන් ලියන්නන්ට ඉදිරියෙන් වගේම පසු පසින් සිට තමන්ගේ කියැවීම කරගෙන යනවා. කවි පොත් එළිදැක්වීම වගේම පසුගිය වර්ෂවලට වඩා පොත්වල අලෙවියේ යම්කිසි වර්ධනයක් පෙනෙන්නත් තියෙනවා. ඉතින් එහෙම බැලුවම නූතන කවිය ගැන සුබවාදී බලාපොරොත්තුවකින් බලන් ඉන්න පුලුවන්.

ආදරය සහ විරහව කියන දෙයාකාරය විසින්ද කවියෝ නිර්මාණය වෙන්නේ.?

ඒක සාපේක්ෂයි. හැබැයි බොහෝ කවීන් බිහිවෙන්නේ ආදරය සහ විරහව සමග තමා. ඕනෑම කෙනෙක්ට ජීවිතයේ අත්විඳින්න ලැබෙන දෙයක්නේ ප්‍රේමය. ඒක තමන්ගේ අම්මාගේ ඉදන් ඕනෑම කෙනෙක් පිළිබඳ ඇතිවෙන්න පුලුවන් හැඟීමක්. ඒත් ප්‍රේමයට වඩා විරහව කියන දේ මිනිස්සු තදින් අල්ලගෙන ඉන්නවා. අතීත කාමය එක්ක ඇලෙන මිනිස්සු විදිහට විරහව පැහැව පැහැවා පැතිරෙන්න ඉඩදෙනවා. ඒ වේදනාව තමයි කවිය විදිහට බොහෝ විට එළියට එන්නේ. ඒ කවිය ඇතළේ සමාජ කියවීමක් තියෙන්න පුලුවන්. ඒ වගේම දේශපාලනික වෙන්නත් පුලුවන්. හැබැයි බහුලව කවීන් බිහිවෙන්නේ. විරහවත් එක්ක.

කවිය නිසදැස් ආකෘතියකට රචනා කිරීම සම්බන්ධව ඔබ සිතන්නේ කුමක්ද?

නූතන කවි බහුතරය සමාජගත වෙන්නේ නිසඳැස් ආකෘතියට රචනා වීමෙන්. එතනදි අර මම කියපු ගුරුකුල රැකීමේ වෙහෙස කවියන්ට නොදැනෙන නිසා. හුදෙක් කවීන් නිදහසේ හැඟීම් ප්‍රකාශ තරන්න ඇති හැකියාව නිසා කවි ලියන්නන් නිසඳැස් ආකෘතියට වඩාත් නැඹුරු වෙනවා. දැං අපි ගෙවන්නේ මිනිස්සු ඉතා කාර්යබහුල වෙන යුගයකනේ. වැඩක් නැතත් මිනිස්සු කාර්ය බහුලයි. ඔවුන් බොහෝ වෙලාවට තමන්ට ලැබෙන නිදහස පාවිච්චි කරන්නේ නැහැ. ඔවුන් විශාල වශයෙන් පරිගණක තිරයක් මත එහෙම නැත්නම් අඟල් පහක ජංගම දුරකථන තිරය මත තමා රැඳෙන්නේ. ඉතින් කවි ලියන බහුතරය පවා ඉන්නේ ඔය රාමුව ඇතුළේ. එතනදි ඔවුන්ට තමන්ට ලැබෙන සුළු විවේකයකදි වුණත් තම හැඟීම කවියක් විදිහට ගොණු කරන්න සිද්ධ වෙන්නේ ඔය කියන අඟල් පහ ඇතුලේ. නිසඳැස් ආරෙන් කවිය ලිවීමට දැඩි ආයාසයක් අවශ්‍ය නැති නිසා ඔවුන් ඒ නිදහසෙන් ප්‍රයෝජන ගන්නවා. මම කියන්නේ ලියන්නා වගේම කියවන්නාත් පහසුවෙන් කියවන නිසාත් නොකියවන කෙනෙක් වුණත් කියවීමකට නැඹුරු වෙන නිසාත් නිසඳැස් ආකෘතියෙන් කවි රචනා කිරීම මගේ මතයට අනුව ධනාත්මකයි.

කවියේ බස සරල වන තරමට පාඨකයන්ව තමා වෙත ළං කර ගැනීමේ හැකියාවක් තිබේද?

අනිවාර්යෙන්ම. මොකද අපි කවුරුත් කැමතියි එක පාරක් දෙපාරක් කියවලා තේරුම්ගන්න පුලුවන් දේවල් වලට. උදාහරණයක් විදිහට අපිට පාසලේ පෙළ පොත්වල තියෙන ජාතක කතාවල අවස්ථා සම්බන්ධයට වඩා කෙටිකතාවක තියෙන අවස්ථා සම්බන්ධය මතකයිනේ. ඉතින් කවිය වුණත් ඒ වගේ තමයි. සරල වන තරමට පාඨකයන් කවිය වටා එක් වෙනවා. ඒත් ඉතා සරල වචන කිහිපයකින් ගැඹුරු අදහසක් දෙන්නත් පුලුවන්. ඒ කියන්නේ කවියක උඩු පෙළක් මෙන්ම යටි පෙළක් ඇතිව කවි ලියන්න පුලුවන්. ඒක රොමැන්තික කවියක් ඇතුළේ අතිශය දේශපාලනික කියැවීමක් ගැබ් කරන්න පුලුවන් අදහසක්. එහෙම වුණා කියලා කවියට හානියක් වෙන්නේ නැහැ වගේම කියවන්නාට අපහසුවක් වෙන්නෙත් නැහැ. බස සරල වන තරමට පාඨකයන්ට කවිය තමන්ට රිසි අයුරින් අරුත් ගන්වාගන්න පුලුවන්නම් ඒක තමයි කවියේ සාර්ථකත්වය. ඉතින් ගැඹුරු භාෂා රටාවකින් ලියනවාට වඩා සුමට බසකින් ලිවීමෙන් පාඨකයන්ගේ අවධානය ළගාකරගන්න පුලුවන්.

ඔබේ කුළුඳුල් කවිපොත ගැන ඔබේ අදහස?

මගේ කුළුඳුල් කවි පොත “නුඹ සුළං රැල්ලක්ව” පසුගිය පෙබරවාරි මාසේ එළි දැක්වුණා සයුර ප්‍රකාශනයක් විදිහට. පොත තනිකරම රොමැන්තික කියවීමක්. ප්‍රේමය හා විරහව තමයි මූලිකව ගැබ් වෙලා තියෙන්නේ. කෙනෙකුගේ ජීවිතය සර්කල් එකක් විදිහට මම දකින්නේ තනියම ඉන්න පුද්ගල යකු විරුද්ධ ලිංගිකයකු කෙරෙහි වන ආකර්ශනය ඒක ප්‍රේමයක් බවට පත්වීම හා විවාහය දක්වා විහිදීමත් අනිකාගේ වියෝවෙන් පසු ජීවිතයේ විඳින විරහවත් සමග වන තනිවීමත් තමයි මම කවි පොත හරහා ප්‍රකාශ කරන්නේ. මේක එක්තරා විදිහකට කාව්‍යමය කතාවක් කිව්වොත් නිවැරදියි.